බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Saturday, June 1, 2013

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 15 - විශාලා මහ නුවර



වෛශාලිය කියන්නෙ විශාලා මහ නුවරටයි. විශාලා මහ නුවර ඉතාම සමුර්දි සම්පන්නව ඉතාම දියුණුව තිබුණ රාජ්‍යයකි. නමුත් පසු කාලෙක රෝග, දුර්භික්ෂ, අමනුෂ්‍ය යන තුන් බියෙන් විශාලා මහ නුවර විනාශ වන්නට විය. රෝග බිය යනු මුළු නුවරම වැසියෝ ක්‍රමයෙන් රෝගී වූහ. වසංගත රෝග වලක්වාලීමට අපහසු වී මුළු විශාලා මහ නුවරම රෝගීන් ගෙන් පිරී ගියහ. සෑම ගෙදරකම සෑම කෙනෙක්ම රෝගී වූ වි දුර්භික්ෂය ඇතිවිය. එනම් කෑම බීම නැතිවීමයි. එවිට ලෙඩවූ පිරිස අධික බැවින්  කෑම බීම හිඟ වීම නිසා මරණයට පත්වන පිරිස ද අධික විය. තැන තැන මිනීකුණු අධික වී අමනුස්සයින්ගේ බිය ද අධික විය.  මේ තුන් බියෙන් විශාලා නුවරම ඇළලී ගිය අවස්ථාවේ දී මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව රතන සූත්‍රය දෙශනාකර පිරිත් පැන් නගරය පුරා ඉසීමෙන් තුන් බිය දුරු විය.  එතැන් පටන් අප සසුනේ සැදැහැවතුන් තම අපල උපද්‍රව සදහා රතන සූත්‍රය දේශනා කරවා පිරිත් පැන් පානය කරති. 



බුදුරජාණන් වහන්සේ ගේ පස්වන හා  අවසන් වස් විසීම වන හතලිස් පස් වන වස් විසීම සිදු කලේත් විශාලා මහ නුවරයි. 

ලිච්ඡවී රජ දරුවන්ගේ අග නගරය වූයේ විශාලා මහ නුවරයි. මේ රජ දරුවන් පිළිපැද්ද සප්ත අපරිහානී ධර්ම නිසා කිසිම කෙනෙකුට මේ රාජ්‍යය අල්ලා ගැනීම  නොහැකි බව බුදුන් වහන්සේ විසින් වරක් වදාලා.

 මේ අපරිහානි ධර්ම නම් -:

1. නිතර රැස්වීම.
2. සමඟිව රැස්ව සමඟිව කටයුතු කර සමඟිව විසිර යාම.
3. නොපැනවූ නීති නොපැනවීම හා පැනවූ නීති නොකැඩීම.
4. වැඩිහිටියන්ට ගරු කිරීම හා ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම.
5. කුල කාන්තාවන් ආරක්ෂා කිරීම.
6. පූජනීය ස්ථාන වල අවශ්‍යය වතාවත් කිරීම.
7. ගුණවත් රහතුන්ට සිය රාජ්‍යයේ නිසි  ආරක්ෂාව සැලසීම.  


මෙකී කරුණු පිළිපදිනා තෙක් කිසිම සතුරෙකුට ලිච්ඡවීන් පැරදවිය නොහැකි බව තථාගතයන් වහන්සේ වදාලා. මෙකී කරුණු භික්ෂූන් වහන්සේලා විසින් ද පිළිපදින්නේ නම් , රකින්නේ නම් ඉතාම හොඳ බව  බුදු රජාණන් වහන්සේ වදාලා. 



 ගංගානම් ගඟ  දෙපස.




පැරණි මාළිඟාවක නටඹුන්.





 ආනන්ද චෛත්‍ය. 



රාජාභිෂේක පොකුණ.



කූටාගාර ශාලාව.


අම්බපාලියගේ අඹ වනය.




අපි කූටාගාර ශාලාවට යන කොට සැන්දැව. ඉර බැස ගෙන යනකොට මේ ස්ථානය හරිම ලස්සනයි.  නොකැඩී තියෙන එකම අශෝක ස්ථම්භය මේ අශෝක කුළුණයි. කුසිනාරාව දෙසට මුහුණලා තියෙන සිංහ හිස සහිත  කුළුණ අදත් බුදු හිමියන් ආපසු එතැ'යි බලා සිටින්නාක් මෙන් පෙනේ. 




වරක් ලිච්ඡවී රජ දරුවන්ගේ ආරාධනාව අනුව බුදු රජුන් විශාලාවට වැඩම කල සේක. මේ වේලාවේ කූටාගාර ශාලාවට පැමිණි අම්බපාලී නම් ගණිකාව බණ අසා පැහැදී පසු දින දානයට බුදුන් සහිත මහා සඟනට ආරාධනා කළහ. බුදුන් වහන්සේ එම ආරාධනාව පිළිගත් බව නගරයේ ප්‍රසිද්ධ විය. ලිච්ඡවී රජ දරුවන්ට ද මෙය ආරංචි විය. අප රජ වීත් බුදුන් වහන්සේට දනක් පිළිගන්වන්නට නොහැකිවී යැයි සිතා වහාම ගොස් දනට ආරාධනා කළහ. අම්බපාලියගේ ආරාධනාව පිළිගත් හෙයින් එය ප්‍රතික්ෂේප කල බුදුන් වහන්සේ පැමිණීමට නොහැකි බව දැන්වූහ. මෙයින් ලිච්ඡවී රජ දරුවන් මහත් ලැජ්ජාවට පත්වූ බව කියවේ. 

පසු කලෙක රහත් මෙහෙණියක වූ අම්බපාලිය තම සිරුරේ අසාර බව පවසා ගෙතූ කවි ලෝකයේ ඉතාම පැරණි කවි ලෙස සැලකේ. අප තේරී ගාථා ලෙස හඳුන්වන්නේ මේ කවි වේ.


 මෙහෙණි සසුන පිහිටුවන ලෙස ඉල්ලා මහා ප්‍රජාපතී දේවිය පන්සියයක් පිරිස සමඟ කිඹුල්වත් නුවර සිට පැමිණියේ මේ කූටාගාර ශාලාවටයි. එහිදී යටි පතුල් පැලී ඉදිමී බොහෝ වෙහෙස වී සිටි ප්‍රජාපතී දේවිය ඇතුළු පිරිස දුටු, ආනන්ද හිමියන් ගේ මැදිහත් වීමෙන් කාන්තා ලොවට මහත් ශාන්තියක් ගෙනදුන් මෙහෙණි සසුන ස්ථාපිත විය. 


මාරයාගේ ඇරයුම පිළිගත් බුදුන් වහන්සේ ආයු සංස්කාරය හළේ ද මේ කූටාගාර ශාලාවේ දී ය. ඒ වාගේම මහරහත් මහා ප්‍රජාපතී ගෞතමිය හා යශෝදරාවන් ද පිරිණිවන් පෑමට අවසර ඉල්ලා බුදු හිමියන් හමුවට පැමිණියේ ද මෙම ශාලාවටය.

කුසිනාරාවට යාමට සැරසී මුළු සිරුරම හරවන හස්තිරාජයෙකුසේ බුදු සිරුර හරවා විශාලා මහ නුවර දෙස බලා "ආනන්දය, තථාගතයන් විශාලා මහ නුවර දකින අන්තිම අවස්ථාව මේ " යැයි වදාලා භාණ්ඩ ගමට වැඩම කල සේක. 






බුදු හිමියන්ගේ පිරිණිවන් පෑමෙන් පසු ද්‍රෝණ බමුණා විසින් බෙදූ සර්වඥධාතුන් ගෙන් කොටසක් ලිච්ජවී රජ දරුවන්ටද ලැබිණ. මේ ධාතු නිදන් කොට දාගැබක් ඉඳි කෙරිණ. පසු කාලෙක අශෝක රජ තුමා විසින් මේ දාගැබෙහි වැඩ හුන් ධාතූන් වහන්සේ ලා ගෙන් දහයෙන් පංගුවක් ඉතිරි කොට අනෙක් ධාතූන් වහන්සේලා අළුත් දාගැබ් වල තැන්පත් කෙරිණ. 1958 දී පැරණි දාගැබේ නටඹුන් හමුවූ අවස්ථාවේදී කරඬුවක බහා තිබූ ධාතූන් වහන්සේලා අද පැට්නා  කෞතුගාරයේ තැන්පත් කර ඇත. රමණීය භූමි භාගයක පිහිටි මෙම දාගැබ් වහන්සේ ඉන්දීය රජය විසින් ආරක්ෂා කරනු ලැබේ. 

විශාලා මහ නුවර ඇත්තෙන්ම හරිම සුන්දරයි. කෙසෙල්, අඹ, කෙත් වතු වලින් පිරි නගරයක්. වරෙක දෙවියන් දකින්නට කැමති නම් මහණෙනි ලිච්ඡවීන් දකින්නැයි බුදු හිමි පැවසූ වදන් සිහි කරමින් එහි ජනයා අදටත් ප්‍රිය ජනකයි. රන් වන් ශරීර ඇති අයයි. 

අපි නවාතැන් ගත්තේ විශාලා පන්සලේ. පහසුකම් හැම දෙයක්ම තිබුන පන්සල සිත නිවන තැනක් වුනා. වෙහෙස නිවා ගන්න ලැබුන එතැන අපට සුව නින්දක් ලැබුනා.

***මේ පුවරු ඵලක වල විස්තර කියවන්න ඔයාලත්. මගෙ කැමරාව හොදට ඒව සටහන් කලා ඔයාල වෙනුවෙන්.

ඊළඟට අපි යන්නෙ නාලන්දාවට. 

11 comments:

  1. අගේ ඇති පිංතූරත් එක්කම වටිනම සටහනක්. ඔබට පින් අක්කේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් මල්ලි. ඔබටත් බොහෝ පිං අත්වේවි.

      Delete
  2. සාදු සාදු මෙමා කළ පින් - පෑදි පෑදි තිබේවා !
    ආදි ආදි නොදැන කල පවු - සේදි සේදි ගෙවේවා !
    ජාති ජාතිත් දුකක් විපතක් - කිසිම කලකදි නොවේවා !
    සාදු සාදු මෙ'පින් බලයෙන් - නිවන් සම්පත් ලැබේවා !

    නැන්දට ගොඩක් පින් !...
    මම නිමාෂා..
    ( කවිය උපුටා ගත්තකි [සමන් වික්‍රමාරච්චි මහතා])

    ReplyDelete
    Replies
    1. පුන්චි වැරදීමක් උනා!
      ( කවිය උපුටා ගත්තකි - කමනි වික්‍රමාරච්චී ලෙස නිවැරදි වෙන්න ඕනා)
      වෙච්ච වරදට සමාව ලැබේවා!

      Delete
    2. මේ කවිය නිතරම බෞද්ධයා නාලිකාවෙන් ඇසෙනවානෙ දුව. ඔබට බොහෝ පිං!

      Delete
  3. අක්කාට බොහෝම පිං වටිනා විස්තරයක් හා ලස්සන සේයාරූ අප සමඟ බෙදාගත්තට!!.

    "ගංගානම්" ගංගාවේ දෙපස දැක්වෙන චායාරූපයක දක්නට ලැබෙන්නේ වැලි ගොඩදමන ට්රැක්ටර්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්, මල්ලි මේ ඒවා තමා. තව ටිකක් එහාත ගියාම පැට්නා පාලම හමු වෙනවා. මේ හරියෙ ගංගානම් ගඟ හරි පළලයි. සුදු වැල්ල නිසා හරි ලස්සනයි , හැබැයි ඔබට පෙනේවි තැන තැන මිනී පිච්චෙන දර සෑය වල් තියෙනවා ඒ අතරෙ. ස්තූතියි ! අගැයීමට.

      Delete
  4. කුමක් කියන්නද? ඔබේ මේ අපූරු සටහනත් එක්කම අපිත් හිතෙන් විසාලා මහනුවර නැඳගත්තා. අපූරු සටහන වගේම අපූරු පිංතූර ටිකත්. ඇත්තටම ඒපුර මිනිසුන් අද එතරම් රන්වන් පැහැයෙන් නම් බුදුන් දවස කොහොම හිටින්නට ඇත්දැයි හිතුනා.

    ReplyDelete
    Replies
    1. දයා මල්ලි, දැන් නම් විශාලාවට බුදුන් දෙසූ ලෙස වෙනස් වන දේ නියත කියන සත්‍ය වෙලා. බොහොම දුෂ්කර ප්‍රදේෂයක්. එ'නිසා මිනිසුන් වැහැරිලා ගිහින් , පාට නම් එහෙමමයි. නමුත් ජීවයක් නෑ. දුප්පත් කම නිසා මූනු වල දුක් පිරිල. අනියත දහම හැමටම එකයි. බොහෝම පින් විශාලාව වැදගත්ත එකට.

      Delete
  5. හුග දවසකින් නැන්දේ කියවන්න ආවේ. මග ඇරුණු ලිපි තියෙනවා. හිමින් සැරේ බලන්න ඕනි....
    වෙනද වගේම අපුරු සටහනක්. පින්තූර ටිකත් අපුරුයි...

    ReplyDelete
    Replies
    1. ඔව් දුව, ඔයා කමෙන්ට් නොකලට කියවන බව දන්නවා. මේ ටිකේ වැඩ කටයුතු කොහොමද? හොඳින් කෙරෙනවා ඇති කියා හිතනවා. තෙරුවන් සරණයි!.

      Delete