Thursday, June 20, 2013

ධම්ම පදය - අප්පමාද වර්ගය - 10



අප්පමාදේන මඝවා – දේවානං සෙට්ඨතං ගතෝ
අප්පමාදං පසංසන්ති – පමාදෝ ගරහිතෝ සදා

ඔය ශක‍්‍ර දේවේන්ද්‍රයා මිනිස් ලොව මඝ මානව කාලෙ 
අප‍්‍රමාදීව පින් කරගත් නිසාමයි දෙවියන් අතර 
ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ. බුදුවරයන් වහන්සේලා ප‍්‍රශංසා
 කරන්නේ අප‍්‍රමාදයමයි. ප‍්‍රමාදය කියන්නේ සදාකාලයටම 
ගැරහුම් ලබන දෙයක්.

(විසාලා මහනුවරදී සක්දෙව් රජ අරභයා වදාළ ගාථාවකි ෴)


Mindfulness Made Him Chief Of Gods


Heedfulness is always praised,
heedlessness is ever blamed.
By heedfulness did Magha go
to lordship of the gods.

Explanation: The brahmin youth Magha, through his mindfulness, was born as the Chief of Gods. Therefore mindfulness is always praised, and sloth and unmindfulness are always condemned.


පින්වලට කවුරුත් කැමතියි. නමුත් පින් වලින් ලැබෙන සැප මොනවාද කියා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. ඒ නිසා පින් කරන්න කැමති වුනත්, පින්වලට උනන්දුවක් නැහැ. පින ගැන අවබෝධයක් තියෙනවා නම්, ඒ කෙනා දක්ෂ මල් කාරයෙක් වගෙයි. මල් නෙලන්නට මල් තියෙන තැන් සොය සොයා යනව වගේ පින් රැස්කරගන්නට පුළුවන් සෑම තැනකින්ම ප‍්‍රයෝජනය ගන්නවා.

චාතුම්මහාරාජික, තාවතිංස නමින් දිව්‍ය ලෝක දෙකක් තියෙනවා. එම දිව්‍ය ලෝක දෙකේම අධිපති භාවය ලැබූ කෙනාට තමයි සක් දෙවිඳු කියන්නේ. සක‍්‍ර දෙවියන් කලින් මිනිස් ලොව හිටිය කෙනෙක්. ඔහු ගොඩාක් පින් කළා. දවසක් ලිච්ඡුවි කුමාවරුන් සක‍්‍ර දෙවියන් ගැනත්, බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ සක‍්‍ර දෙවියන්ගේ අතීත ජීවිත කථාව පෙන්වා වදාළා.

එකමත් එක කාලෙක මගධ දේශයෙහි ‘මචල’ කියල ගමක් තිබුනා. මේ ගමේ තරුණයෙක් හිටියා. ඔහුගෙ නම මඝ. මඝ මාණවකයා කියලයි ඔහු ප‍්‍රසිද්ධ වුනේ. ඔහු මිනිසුන්ට හරිම ආදරෙයි. හැමෝටම උදව් කරනවා. හැම දෙනාගෙම සැපදුක් බලනවා. ඒ වගේම ඔහු සිල්වන්තයි. ඔහු ජීවිත කාලය පුරාම උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වෙලා හිටියා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා වදාළා.
”පින්වත් මහණෙනි, සක‍්‍ර දෙවියන් මිනිස් ලොව ජීවත්ව සිටියදී, උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වුනා. ඒ ගුණ ධර්ම හත නම් මේවාය.
1. දිවි තිබෙන තුරා මං මව් පිය දෙදෙනාට ආදර භක්තියෙන් යුක්තව උපස්ථාන කරන කෙනෙක් වෙනවා.

2. දිවි තිබෙන තුරා මං වැඩිහිටියන්ට සලකන, ගුරුදෙගුරුන්ට සලකන, ආදර ගෞරව දක්වන කෙනෙක් වෙනවා.

3. දිවි තිබෙන තුරා මං ඉතා යහපත් මුදු මොළොක් වචන කතා බස් කරන කෙනෙක් වෙනවා.

4. දිවි තිබෙන තුරා මං කේලාම් නොකියන කෙනෙක් වෙනවා.

5. දිවි තිබෙන තුරා මං ගිහි ගෙදර වාසය කරද්දී ලෝභ රහිත සිතින් යුක්ත වෙනවා. දන් දෙන කෙනෙක් වෙනවා. මං ළඟට ඕනෑම කෙනෙක් යමක් ඉල්ලගෙන එනවා නම් ඒ ඉල්ලීමට සුදුසු කෙනෙක් වෙනවා. දන් දීම පිණිස අත් සෝදාගත්තු කෙනෙක් වෙනවා. දානය පිණිසම සිත යෙදවූ කෙනෙක් වෙනවා. ඉතා සතුටින් දන් දෙන කෙනෙක් වෙනවා. පරිත්‍යාග කරන කෙනෙක් වෙනවා.

6. දිවි තිබෙන තුරා මං සත්‍ය වචන කතා කරන කෙනෙක් වෙනවා.

7. දිවි තිබෙන තුරා මං ක්‍රෝධ සිත් නැති කෙනෙක් වෙනවා. යම් හෙයකින් මා තුළ ක්‍රෝධයක්, තරහක්, වෛරයක් හටගත්තොත් ඒ ක්ෂණයෙන්ම මං ඒ අකුසලය දුරුකරනවා. බැහැර කරනවා. නැති කරනවා.
මෙන්න මේ ගුණයෙන් යුතු මඝ මාණවකයා තමයි සක් දෙවිඳු බවට පත්වුනේ.”
මේ ආකාරයෙන් ගුණ ධර්ම සතක් සමාදන් වෙලා එම ගුණධර්ම නොකඩා ආරක්ෂා කොට දියුණු කරගත්ත නිසා ඔහු ශක‍්‍ර දෙවියන් බවට පත්වුනා. මෙම ශක‍්‍ර දෙවියන්ට නම් කීපයක් තිබෙනවා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ මේ අයුරින් වදාළා.
”පින්වත් මහණෙනි, ශක‍්‍ර දෙවියන්ට ‘මඝවා’ කියල කියනවා. එයට හේතුව ඔහු මඝ මාණවකයන් ලෙස මිනිස් ලොව බොහෝ පින් කරමින් ගත කිරීමයි. ඒ වගේම ශක‍්‍ර දෙවියන්ට ‘පුරින්දද’ කියල කියනවා. එයට හේතුව මොහු මිනිස් ලොව සිටිද්දී සියලු දෙනාටම ආදර්ශ ඇතිවෙන පරිදි හැමටම ප‍්‍රථමයෙන් විවිධාකාරයෙන් දන් පැන් දීමයි. ඒ වගේම ශක‍්‍ර දෙවියන්ට ‘සක්ක’ කියනවා. එයට හේතුව මිනිස් ලෝකයේ සිටියදීත් මොහු ඉතාමත්ම පිළිවෙලකට, ඉතාමත් ක‍්‍රමාණුකූල ලෙස හොඳින් සකස් කොට දන් පැන් පිදීමයි. ඒ වගේම ශක‍්‍ර දෙවියන්ට ‘වාසව’ කියල කියනවා. එයට හේතුව මිනිස් ලොව සිටියදී මොහු දුගී දුප්පත් ජනතාවට නොයෙක් ආකාරයෙන් නිවාස තනවා පරිත්‍යාග කිරීමයි. ඒ වගේ ම ශක‍්‍ර දෙවියන්ට ‘සහස්සක්ඛ’ (දහසක් ඇස් ඇති කෙනා) කියනවා. එයට හේතුව ශක‍්‍ර දෙවියන්ට මොහොතකින් කරුණු දාහක් ගැන සිතන්නට පුළුවන්කමයි. ඒ වගේම ශක‍්‍ර දෙවියන්ට ‘සුජම්පති’ කියල කියනවා. සුජා කියලා අසුර කුමාරිකාවක් හිටියා. ඒ අසුර කුමාරිකාව ශක‍්‍ර දෙවියන්ගේ බිසව බවට පත්වුනා. ඒ නිසයි සුජම්පති කියන්නෙ. ශක‍්‍ර දෙවියන්ට ‘දේවානමින්ද’ කියල කියනවා. එයට හේතුව තව්තිසා වැසි දෙවියන්ගේ ප‍්‍රධානත්වයට පත්වෙලා සියලු යස ඉසුරින් පිරි දිව්‍ය රාජ්‍යයේ අධිපති බවට පත්වීමයි.”
මෙයින් අපට එක දෙයක් පැහැදිලිව පෙනෙනවා. එනම් දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන් බවට උපත ලබා සිටින්නේ මිනිස් ලොව සිටි මඝ නම් වූ තරුණයෙක් බවයි. මේ තරුණයා ඔය උතුම් ගුණ ධර්ම හත තුළ පිහිටලා මහත් සේවාවක් කළා. විශ‍්‍රාම ශාලා හැදුවා, පැන් පොකුණු හැදුවා, මංමාවත් හැදුවා. හොඳ දේවල් වලට විරුද්ධ අය ලෝකයේ හැමදාම ඉන්නවා. මඝ මාණවකටත් සමහර අය විරුද්ධ වුනා. එයට හේතුව මඝ මාණවකගේ සේවා කටයුතු නිසා අනිත් අයගේ ආනුභාවය අඩුවෙලා ගියා. මඝ මාණවකගේ කීර්ති රාවය පැතිරිලා ගියා. නමුත් මඝ මාණවක ඒ කිසිදු නින්දා අපහාසයකින් කම්පා නොවී තමන්ගේ සේවාව කරගෙන ගියා. තමන් යම් තැනක සේවාවක් කරමින් සිටිද්දී එතැනට බාධා කරනවා නම් එතුමා කාටවත් දොස් නොකියා එතැන අත්හරිනවා. වෙන තැනකට යනවා. මඝ මාණවක එවැනි ආකාරයට තමන්ගේ පුණ්‍ය කටයුතු දිගින් දිගටම කරගෙන ගියා. තමන් සමාදන් වූ උතුම් ගුණධර්ම හත තුළ රැඳී සිටියා. ඒ හේතුව නිසාමයි ශක‍්‍ර දිව්‍යරාජයා බවට උපත ලැබුවේ.
සක් දෙවිඳු බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට පැමිණෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ ළඟ බණ ඇසූ සක් දෙවිඳුන් සෝවාන් ඵලයට පත් වුනා. ඒ වගේම ඔහුගේ පින අවසන් වෙලා තිබුන වෙලාවෙ ඒ ශක‍්‍ර දිව්‍ය තනතුරෙන් චුත වෙලා ඒ මොහොතේම යළිත් සක් දෙවිඳු බවට පත්වුනා. මේ සක් දෙවිඳුගේ අප‍්‍රමාදීව පුණ්‍ය සම්පත් රැස් කරගැනීමේ සමර්ථකම මතු කරමින් බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.
මඝ කුමරුන් නිරතුරු පින් කරමින්
නොපමාවම පින් කෙරුව නිසා
දෙව්ලොව දෙවියන් අතර රජුන් විය
මුල්ම තැනට ආවේ එනිසා
නුවණැති උදවිය නිති පසසන්නේ
හැමට උතුම් වූ නොපමාවයි
ප‍්‍රමාද බව නම් ලොව නුවණැතියන්
සදාකල්ම ගරහනවාමයි
පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් ඔබට හොඳට වැටහෙනවා ඇති. මඝ කුමාරයා මොන තරම් යහපත් දේවල් පුරුදු කරපු කෙනෙක්ද. පින් නිසාමයි එබඳු අදහස් කෙනෙකුගේ සිතට පහළ වන්නේ. සමහරුන්ට මේ වගේ ඉතාමත් ලස්සන අදහස් ඇතිවෙනවා. ඒ අදහස් වලින් සතුටු වෙලා මෙවැනි, මෙවැනි ගුණධර්ම මමත් ඇති කරගන්නවා කියලා කෑ ගහලා කියනවා. පිරිස මැද්දේ ආඩම්බරයෙන් කියනවා. නමුත් ඒ උදවියගේ ඒ ලස්සන අදහස් කතාවට විතරක් සීමා වෙනවා. ක‍්‍රියාවට නැංවෙන්නේ නෑ. එයට හේතුව ප‍්‍රමාදයයි. එහෙම නම් හිතේ ඇතිවෙන ලස්සන අදහස් වලින් ඵල ලබන්න නම්, ඒ කෙනා අප‍්‍රමාදීවෙන්න ඕන නේද? මඝ කුමාරයා අප‍්‍රමාදීව උතුම් ගුණධර්ම හතක් දිවි තිබෙන තුරාවට අඛණ්ඩව පුරුදු කරපු නිසා දෙවියන් අතර රජුන් බවට පත්වුනා.
මේ නිසා අප‍්‍රමාදීබව කියන්නෙ ලෝකයෙහි මනුෂ්‍යයන්ව ශ්‍රේෂ්ඨත්වයට පත්කරවන ප‍්‍රධානම බලවේගයයි. මේ ගැන බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා මහත් ඉහළින් වර්ණනා කොට තියෙනවා. බුදුරජාණන් වහන්සේ අප‍්‍රමාදය ගැන ඉතාමත් ලස්සන උපමාවක් වදාළා. ලෝකයෙහි සෑම සත්වයෙකුටම තමන්ගේ පාදයේ යම්කිසි ප‍්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේ සත්වයන්ගේ පා සටහන් විවිධත්වයෙන් යුක්තයි. මේ සියලු සත්වයන් අතර ඇතාගේ පා සටහන ගොඩක්ම විශාලයි. මේ ඇතාගේ පා සටහන තුළට ඕනම සත්වයෙකුගේ පා සටහනක් ඇතුල් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා ”අප‍්‍රමාදය” කියන්නේ ඇතාගේ පා සටහන වැනි දෙයක් බවයි. ඇත් පිය සටහන තුළට සියලු සතුන්ගේ පියවර සටහන් ඇතුල් කරන්නට පුළුවන් වගේම අප‍්‍රමාදය නම් වූ මේ එකම ගුණය තුළට සියලු ගුණධර්ම ඇතුල් කරන්න පුළුවන්. එනිසා අප‍්‍රමාදය නිසා ලොව ජයගත් ඒ සියලු උතුමන් නිරතුරුවම අප‍්‍රමාදයට ප‍්‍රශංසා කරනවා. උන්වහන්සේලාගේ අතින් ගැරහුම් ලබන්නේ ප‍්‍රමාදයයි.
බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සිටි ජනතාවට නිතර නිතර අප‍්‍රමාදී බවෙහි අනුසස් අසන්නට ලැබුනා. ඒ වගේම ප‍්‍රමාදයට දොස් ලැබුනා. එනිසා ප‍්‍රමාදීව ජීවත් වෙන්න සැදැහැවත් උදවිය කැමති වුනේ නෑ. අප‍්‍රමාදීව සිල් රැක්කා. දන් පින් කම් කළා. බණ භාවනා කළා. පින් රැස්කර ගත්තා. අප‍්‍රමාදීව පින්කම් කළ නිසාම ඔවුන්ට දෙව්ලොව සැප ලැබුනා. එපමණක් නොවෙයි, උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ වාසනාව පවා උදාවුනා.


පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.

2 comments:

  1. බොහොම ස්තුතියි ඒ වගේම ඔබට පින් මේ උදැසන.

    ReplyDelete
  2. චන්දි නැන්දා ට ගොඩක් පින්!
    හිත ගොඩක් පැහැදුනා... තව තව පින් කරන්න ආස හිතුනා..

    නැන්දාට ගොඩක් පින්!
    මම නිමාෂා..

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...