Showing posts with label සංයුක්ත නිකාය - භික්ඛුණී සංයුක්තය - භික්ඛුණී වර්ගය. Show all posts
Showing posts with label සංයුක්ත නිකාය - භික්ඛුණී සංයුක්තය - භික්ඛුණී වර්ගය. Show all posts

Wednesday, December 11, 2019

සංයුත්ත නිකාය - භික්ඛුණී සංයුක්තය- චාලා සුත්තං

අද උඳුවප් පුන් පොහෝ දා ඔබට සෙනෙහසින්. 

සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

5.1.6. චාලා සුත්තං

5.1.6. චාලා භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම

සාවත්ථියං.... සැවැත් නුවරදී ...........................
අථ ඛෝ චාලා භික්ඛුනී පුබ්බන්හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය සාවත්‌ථිං පිණ්‌ඩාය පාවිසි. සාවත්‌ථියං පිණ්‌ඩාය චරිත්‌වා පච්‌ඡාභත්‌තං පිණ්‌ඩපාතපටික්‌කන්‌තා යේන අන්‌ධවනං තේනුපසංකමි.  දිවාවිහාරාය. අන්‌ධවනං අජ්‌ඣෝගහෙත්‌වා අඤ්‌ඤතරස්‌මිං රුක්‌ඛමූලේ දිවාවිහාරං නිසීදි. අථ ඛෝ මාරෝ පාපිමා යේන චාලා භික්ඛුනී තේනුපසංකමි. උපසංකමිත්‌වා චාලං භික්‌ඛුනිං ඒතදවෝච. කින්නු ත්‌වං භික්ඛුනී න රෝචේසීති?
එදා චාලා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිඬුසිඟා වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා දවල් කාලෙ ගතකරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුළටම ගිහින් එක්තරා රුක්සෙවනක දවල් කාලෙ වාඩිවෙලා හිටියා.
එතකොට පවිටු මාරයා චාලා භික්ෂුණිය වෙත ආවා. ඇවිදින් චාලා  භික්ෂුණියට මෙහෙම කිව්වා. 
“ඒයි භික්ෂුණී, ඔයා අකමැති මෙනවාටද?”
(චාලා භික්ඛුනී) (චාලා භික්ෂුණිය) :
ජාතිං ඛ්‌වාහං ආවුසෝ න රෝචේමීති.
“ආයුෂ්මත, මං ඉපදීමට කැමති නෑ.”
(මාරෝ);(මාරයා) :
කින්නු ජාතිං න රෝචේසි ජාතෝ කාමානි භුඤ්‌ජතිකෝ නු තං ඉදමාදපයි ජාතිං මා රෝච භික්‌ඛුනීති.
“ඒ මොකද ඉපදීමට කැමති නැත්තෙ? ඉපදුනාම නෙව කම්සැප විඳින්න පුළුවන් වෙන්නෙ. ඒයි භික්ෂුණිය, ඉපදීමට ආශා කරන්න එපාය කියල කවුද ඔයාට ඉගැන්නුවේ?”
(චාලා භික්ඛුනී);(චාලා භික්ෂුණිය):
ජාතස්‌ස මරණං හෝති ජාතෝ දුක්‌ඛානි ඵුස්‌සති බන්‌ධං වධං පරික්‌ලේසං තස්‌මා ජාතිං න රෝචයේ.
“ඉපදිච්ච කෙනාට තමයි මරණය තියෙන්නෙ. ඉපදුනාම ලැබෙන්නෙ දුකයි. වධ බන්ධන, කරදර කම්කටොලු ඔක්කොම ලැබෙනවා. ඒ නිසා මං ඉපදීමට කැමති නෑ. 
බුද්‌ධෝ ධම්‌මමදේසේසි ජාතියා සමතික්‌කමංසබ්‌බදුක්‌ඛප්‌පහානාය යෝ මං සච්‌චේ නිවේසයි
ඉපදීම ඉක්මවන ධර්මය බුදු සමිඳුන් තමයි අපට කියල දුන්නෙ. සියලු දුක් නැති කරවන ඒ ආර්ය සත්‍ය තුළ මාව පිහිටෙව්වේ උන්වහන්සේ තමයි.
යේ ච රූපූපගා සත්‌තා යේ ච ආරුප්ප‌ඨායිනෝනිරෝධං අප්‌පජානන්‌තා ආගන්‌තාරෝ පුනබ්‌භවන්‌ති.
රූප ලෝකෙ ඉපදුනු සත්වයෝ ඉන්නවා. අරූප ලෝකෙ ඉපදුනු සත්වයෝ ඉන්නවා. ඔය කාටත් නිරෝධ සත්‍ය දැනනොගත්තොත්, ආයෙමත් භවයට එන්න සිද්ධ වෙනවා.”
අථ ඛෝ මාරෝ පාපිමා ....(පෙ).... තත්ථේවන්‌තරධායීති.
එතකොට පවිටු මාරයා, ‘චාලා භික්ෂුණිය මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම අතුරුදහන් වුනා.
සාදු! සාදු!! සාදු!!!

Tuesday, December 25, 2012

සංයුක්ත නිකාය - භික්ඛුණී සංයුක්තය - භික්ඛුණී වර්ගය - උප්පලවණ්ණා සූත්‍රය



උප්පලවණ්ණා භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම.
(උප්පලවණ්ණා සූත්‍රය )


සැවැත් නුවරදී.....

එදා උප්පලවණ්ණා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන ,
 පාත්‍ර - සිවුරු අරගෙන  සැවැත් නුවර පින්ඩපාතෙ කරගෙන    දානෙ වළඳල ,දවල් කාලෙ  ගත කරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුලට ගිහිල්ල මල් පිපී ගිය එක්තරා සල් රුක් සෙවනක වාඩි වෙලා හිටිය.
එදා පවිටු මාරයාට මේ විදිහේ කැමැත්තක් ඇතිවුනා.

 " උප්පලවණ්ණා භික්ෂුණිය බය කරවන්නට ඕනෙ. තැති ගන්වන්නට ඕනෙ , මවිල් කෙලින් කරවන්ට ඕනෙ. සමාධියෙන් දුරු කරවන්ට ඕනෙ" කියල. ඊට පස්සෙ මාරයා  උප්පලවණ්ණා භික්ෂුණිය ළඟට ගියා. ගිහින් උප්පලවණ්ණා භික්ෂුණිය ට ගාථාවක් පැවසුවා.

" ඒයි  භික්ෂුණි,  මුළ පටන් අගට ම මල් පිපිච්ච සල් රුකක් මුළට නෙව ඔයා ඇවිත් ඉන්නෙ. හැබැයි ඉතින් ඔයාගෙ රූපෙ ලස්සනේ හා සමාන දෙවැනි රූපයක් නම් නෑ. හැබැයි ඉතින් මෙහාට ආව අනෙක් කාන්තාවොත් ඔය විදිහම තමයි. ( මෙයින් අදහස් කරන්නේ ඔවුන් වීතරාගී බවයි. ) ඒයි  මෝඩි, ඔයා සල්ලාලයන්ට බය  නැද්ද? "

එතකොට උප්පලවණ්ණා   භික්ෂුණියට මෙහෙම හිතුණා.

 " කවුද මෙයා ?  මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක්ද?"  මේ ගාථා කියන්නෙ.

එතකොට  උප්පලවණ්ණා   භික්ෂුණියට මෙහෙම හිතුණා.

" මේ තමයි පවිටු මාරයා , මාව භය කරවන්ට , තැති ගන්වන්ට , ඇඟේ මවිල් කෙලින් කරවන්ට, සමාධියෙන්  දුරු කරවන්ට කමති වෙලා තමයි ඔය ගාථා කියන්නෙ"

එතකොට    උප්පලවණ්ණා   භික්ෂුණිය  මේ පවිටු මාරයා බව දැනගෙන, පවිටු මාරයාට  මේ ගාථා පැවසුවා.
" ඒයි මාරය ඔබ වැනි සල්ලාලයො ලක්ෂයක් ආවත් මගේ එක ලොම් ගහක් වත් සොළවන්නට බෑ. මං තැති ගන්නෙ නෑ. මං මේ තනියම හිටියත්, ඔබට බයත් නෑ. මං දැන් අතුරු දහන් වෙනව . ඔබේ බඩ ඇතුළට රිංගනව. ඇහි බැම මැද්දට රිංගනව. නහයෙනුත් රිංගනව. එතකොට ඔබට මාව දකින්න බැහැ. මේ සිත මට වසඟ වෙලයි තියෙන්නෙ. මං ඉර්ධිපාද හොඳට වඩලයි  තියෙන්නෙ. සියළු බන්ධන වලින් නිදහස් වෙලයි මං ඉන්නෙ. ආයුශ්මත,  මං ඔබට බය නෑ."

එතකොට පවිටු මාරයා, " මේ   උප්පලවණ්ණා   භික්ෂුණිය මාව දැනගත්තා නෙව "  කියල දුක් වුනා. නො සතුටු වුනා. එහිම  නොපෙනී ගියා.


සාදූ!   සාදූ!!   සාදූ!!!

Sunday, November 25, 2012

සංයුක්ත නිකාය - භික්ඛුණී සංයුක්තය - භික්ඛුණී වර්ගය - විජයා සූත්‍රය



විජයා භික්ෂුණිය මාරයාට  පැවසූ  දෙසුම.

(විජයා සූත්‍රය )

සැවැත් නුවරදී.....

එදා විජයා  භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන , පාත්‍ර - සිවුරු අරගෙන  සැවැත් නුවර පින්ඩපාතෙ කරගෙන    දානෙ වළඳල ,දවල් කාලෙ  ගත කරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුලට ගිහින් එක්තරා රුක් සෙවනක දවල් කාලෙ ගත කරන්න හිතාගෙන  වාඩි වෙලා හිටිය.

එදා පවිටු මාරයාට මේ විදිහේ කැමැත්තක් ඇතිවුනා.

 " විජයා   භික්ෂුණියව බය කරවන්නට ඕනෙ. තැති ගන්වන්නට ඕනෙ , මවිල් කෙලින් කරවන්ට ඕනෙ. සමාධියෙන් දුරු කරවන්ට ඕනෙ" කියල. ඊට පස්සෙ මාරයා විජයා   භික්ෂුණිය ළඟට ගියා. ගිහින් විජයා භික්ෂුණියට  ගාථාවක් පැවසුවා.

" ඒයි  ලස්සන තැනැත්තී, ඔයා තාම තරුණයි. මමත් යෞවන වයසෙ ඉන්න තරුණයෙක්. එන්න පංචාංගික තූර්ය නාදයෙන් සතුටු වෙමින් අපි ප්‍රීතියෙන් ඉඳිමු.

එතකොට විජයා   භික්ෂුණියට මෙහෙම හිතුණා.

 " කවුද මෙයා ?  මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක්ද?"  මේ ගාථා කියන්නෙ.

එතකොට  විජයා  භික්ෂුණියට මෙහෙම හිතුණා.

" මේ තමයි පවිටු මාරයා , මාව භය කරවන්ට , තැති ගන්වන්ට , ඇඟේ මවිල් කෙලින් කරවන්ට, සමාධියෙන්  දුරු කරවන්ට කැමති වෙලා තමයි ඔය ගාථා කියන්නෙ"

එතකොට   විජයා  භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, පවිටු මාරයාට  මේ ගාථා පැවසුවා.

"හිත ඇලෙන රූප ශබ්ද , ගන්ධ , රස, ස්පර්ශ තියෙනවා තමයි. ඒයි මාරය , මං ඒව ඔබටම දෙනව. මට ඕවයින් කිසිම වැඩක් නැහැ.".

" බිඳිල යන , වහා නැසිල යන , මේ කුණු සරීරෙ මට එපා වෙලා තියෙන්නෙ. ඒ ගැන මං ලැජ්ජයි. මං කාම තණ්හාව මුළින්ම උදුරලා දැම්ම."

"රූප ලෝක වලත් සත්වයො ඉන්නව. අරූප ලෝක වලත් සත්වයො ඉන්නවා. ශාන්තවූ සමාපත්තියත් තියෙනව. ඒ හැම දෙයක් ගැනම අවිද්‍යා අන්ධකාරය මට දුරු වුනා."


එතකොට පවිටු මාරයා, " මේ විජයා   භික්ෂුණිය මාව දැනගත්තා නෙව"  කියල දුක් වුනා. නො සතුටු වුනා. එහිම  නොපෙනී ගියා.


සාදූ!   සාදූ!!   සාදූ!!!

Thursday, November 8, 2012

සංයුක්ත නිකාය - භික්ඛුනී සංයුක්තය. 3


කිසාගෝතමී භික්ෂුණිය මාරයාට  පැවසූ  දෙසුම.

(ගෝතමී සූත්‍රය )


සැවැත් නුවරදී.....


එදා කිසාගෝතමී භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන , පාත්‍ර - සිවුරු අරගෙන  සැවැත් නුවර ට පිඬු සිඟා වඩියා.  සැවැත් නුවර  පිණ්ඩපාතෙ වැඩල , දන් වළඳල ,දවල් කාලෙ චිත්ත විවේකය ඇතිව ගත කරන්න කැමතිව අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුලටම ගිහින් එක්තරා රුක් සෙවනක දවල් කාලෙ ගත කරනව කියල හිතාගෙන වාඩි වුනා.

එතකොට පවිටු මාරයාට මේ විදිහට කැමැත්තක් ඇතිවුනා.

 " කිසාගෝතමී   භික්ෂුණියව බය කරවන්නට ඕනෙ. තැති ගන්වන්නට ඕනෙ , මවිල් කෙලින් කරවන්ට ඕනෙ. සමාධියෙන් දුරු කරවන්ට ඕනෙ" කියල. ඊට පස්සෙ මාරයා කිසාගෝතමී   භික්ෂුණිය ළඟට ගියා. ගිහින් කිසාගෝතමී  භික්ෂුණියට  ගාථාවක් කිව්ව.

"  හා ! ඔය මොකද? දරුවන් මැරිච්ච කෙනෙක් වගේ මූණත් එල්ල ගෙන , තනියම ඉන්නෙ මොකද? මේ වනන්තරෙ ඇතුලට ඇවිල්ල මිනිහෙක්ව හොයන්නට ආවද?  ."
එතකොට කිසාගෝතමී   භික්ෂුණියට මෙහෙම හිතුණා.

 " කවුද මෙයා ?  මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක්ද?"  මේ ගාථා කියන්නෙ.

ඉතින් කිසාගෝතමී  භික්ෂුණියට මෙහෙම හිතුණා.

" මේ තමයි පාපී මාරයා , මාව භය කරවන්ට , තැති ගන්වන්ට , ඇඟේ මවිල් කෙලින් කරවන්ට, සමාධියෙන්  දුරු කරවන්ට කමති වෙලා තමයි ඔය ගාථා කියන්නෙ"

එතකොට   කිසාගෝතමී  භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, මේ ගාථා පැවසුවා.

"  ඇත්ත වශ්යෙන්ම මං දරුවන් මැරුන කෙනෙක් තමයි. මිනිසුන් වත් ඒ පැත්තටම දීලයි ඉන්නෙ. මං ශෝක කරන්නෙ නැහැ. මං අඬන්නෙ නැහැ. ඒ වගේම ආයුශ්මත , මං ඔබට බයත් නැහැ. ".

" හැම දෙයක් ගැනම තන්හාව නැති කරල දැම්ම. අවිද්‍යා අන්ධකාරය බිඳල දැම්මා. මාර සේනාව ජය ගත්තා. මං දැන් ඉන්නෙ ආස්‍රව රහිතවයි." 
Chandi


එතකොට පවිටු මාරයා, " මේ කිසාගෝතමී   භික්ෂුණිය මාව දැනගත්තා නෙව"  කියල දුක් වුනා. නො සතුටු වුනා. එහිම  නොපෙනී ගියා.


සාදූ!   සාදූ!!   සාදූ!!!

Sunday, October 7, 2012

සංයුක්ත නිකාය - භික්ඛුනී සංයුක්තය. 2



භික්ඛුනී සංයුක්තය.

භික්ඛුනී වර්ගය

සෝමා භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම.

*** බලන්න, මේ සෝමා භික්ෂුණියගේ වදන් කොතරම් අපූරුද කියල. ධර්මය අවබෝධ කරගන්න ගැහැණු, පිරිමි භේදයක් ඇත්තේම නෑ. 

 සෝමා සූත්‍රය.
භාග්‍යවතුන් වහන්සේ ගෙන් මාහට අසන්නට ලැබුනේ මේ විදිහටයි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවන අසපුවේ.

එදා සෝමා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන , පාත්‍ර - සිවුරු අරගෙන  සැවැත් නුවර ට පිඬු සිඟා වඩියා.  සැවැත් නුවර  පිණ්ඩපාතෙ වැඩල , දන් වළඳල ,දවල් කාලෙ චිත්ත විවේකය ඇතිව ගත කරන්න කැමතිව අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුලටම ගිහින් එක්තරා රුක් සෙවනක දවල් කාලෙ වාඩි වෙලා හිටිය.

එතකොට පවිටු මාරයාට මේ විදිහට කැමැත්තක් ඇතිවුනා.

 " සෝමා  භික්ෂුණියව බය කරවන්නට ඕනෙ. තැති ගන්වන්නට ඕනෙ , මවිල් කෙලින් කරවන්ට ඕනෙ. සමාධියෙන් දුරු කරවන්ට ඕනෙ" කියල. ඊට පස්සෙ මාරයා සෝමා  භික්ෂුණිය ළඟට ගියා. ගිහින් සෝමා භික්ෂුණියට  ගාථාවක් කිව්ව.

" අවබොධයට ඉතා දුෂ්කර වූ තත්වයක් වන ඔය දේ ලැබන්නෙ ඉසිවරුන් විසින් නෙව. ඇඟිලි දෙකේ නුවණ තියෙන ගෑණුන්ට ඔවැනි තත්වයකට පත්වෙන්ට පුළුවන් කමක් නෑ."
එතකොට සෝමා  භික්ෂුණියට මෙහෙම හිතුණා.

 " කවුද මෙයා ?  මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක්ද?"  මේ ගාථා කියන්නෙ. 

ඉතින් සෝමා  භික්ෂුණියට මෙහෙම හිතුණා.

" මේ තමයි පාපී මාරයා , මාව භය කරවන්ට , තැති ගන්වන්ට , ඇඟේ මවිල් කෙලින් කරවන්ට, සමාධියෙන්  දුරු කරවන්ට තමයි ඔය ගාථා කියන්නෙ"

ඉතින්  සෝමා භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, මේ ගාථාවලින් පවිටු මාරයාට පිළිතුරු දුන්නා.

" හිත තියෙන්නෙ සමාධිමත් වෙලා නම් , ගෑණු කමෙන් මොකක් කරන්න ද? හොඳට යථා ස්වභාවය විදර්ශනා කරන්නට පුළුවන් එකේ , අවබොධ ඥානයත් ඇතිවෙන එකේ ගෑණු කම  මොකට ද?".

"යම්කිසි  කෙනෙකුට මමත් ගැහැණියෙක් , මමත් පිරිමියෙක්, මම කවුරු හරි කෙනෙක් කියල හිතනව නම් , මාරයෙක් විසින් ඔය කතාව කිව යුත්තෙ අන්න ඒ වගේ කෙනෙකුට."



එතකොට පවිටු මාරයා, " මේ සෝමා  භික්ෂුණිය   මාව දැනගත්තා නෙව"  කියල දුක් වුනා. නො සතුටු වුනා. එතනම නොපෙනී ගියා.


සාදූ!   සාදූ!!   සාදූ!!!



Saturday, October 6, 2012

භික්ඛුනී සංයුක්තය - ආළවිකා සූත්‍රය.



අද අලුත් සංයුක්තයක් පටන් ගන්නෙ. හරිම අසිරිමත්!  මේ භික්ෂුණින් වහන්සේලාගේ වදන්. 


භික්ඛුනී සංයුක්තය.

භික්ඛුනී වර්ගය 

ආළවිකා භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම.

ආළවිකා සූත්‍රය.

භාග්‍යවතුන් වහන්සේ ගෙන් මාහට අසන්නට ලැබුනේ මේ විදිහටයි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවන අසපුවේ.

එදා ආළවිකා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන , පාත්‍ර - සිවුරු අරගෙන  සැවැත් නුවර ට පිඬු
සිඟා වඩියා.  සැවැත් නුවර  පිණ්ඩපාතෙ වැඩල දන් වළඳල . චිත්ත විවේකය කැමතිව අන්ධ වනයට පිටත් වුනා.

එතකොට පවිටු මාරයාට මේ විදිහට කැමැත්තක් ඇතිවුනා. " ආළවිකා භික්ෂුණියව බය කරවන්නට ඕනෙ. මවිල් කෙලින් කරවන්ට ඕනෙ. චිත්ත විවේකය නති කරවන්ට ඕනෙ" කියල , ඊට පස්සෙ මාරයා ආළවිකා භික්ෂුණිය ළඟට ගියා. ගිහින් ආළවිකා භික්ෂුණියට  ගාථාවක් කිව්ව. 

"මේ ලෝකෙ නිවන කියල දෙයක් නෑ. ඔය චිත්ත විවේකයෙන්  කුමක් කරන්ට ද? කාම සැප විඳල ඉන්ට. ඔන්න පස්සෙ දුක් වෙන්ට එපා".

එතකොට ආළවිකා භික්ෂුණියට මෙහෙම හිතුණා.
 " කවුද මෙයා ?  මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක්ද?"  මේ ගාථා කියන්නෙ.  

ඉතින් ආළවිකා භික්ෂුණියට මෙහෙම හිතුණා.

" මේ තමයි පාපී මාරයා , මාව භය කරවන්ට , තැති ගන්වන්ට , ඇඟේ මවිල් කෙලින් කරවන්ට, චිත්ත විවේකයෙන් දුරු කරවන්ට යි ඔය ගාථා කියන්නෙ" 
ඉතින්  ආළවිකා භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, මේ ගාථාවලින් පවිටු මාරයාට පිළිතුරු දුන්නා.

 '' ලෝකයේ නිවන කියල දෙයක් තියෙනවා. මට ඒක ප්‍රඥාවෙන් අවබෝධ වුනා. පමාවූ ජනයාගේ  ඤාතියා වන මාරය, ඔබ ඒ අමා නිවන ගැන දන්නෙ නැති කෙනෙක්."

" කාමයෝ කියන්නෙ දරුණු ආයුධ වගේ දේවල්. මේ රූපස්කන්ධය  ඒ කාමයන්ට මස් වැදලි වගේ. ඔබ කාම සැපයක්ය කියල යම් දේකට කියනවා නම්, මට ඒක අරතියක්ම යි".

එතකොට පවිටු මාරයා, " මේ ආළවිකා භික්ෂුණිය මාව දැනගත්තා නෙව"  කියල දුක් වුනා. නො සතුටු වුනා. එතනම අතුරුදහන් වුනා. 


සාදූ!   සාදූ!!   සාදූ!!!

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...