බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Sunday, December 3, 2017

ධම්ම පදය - ඵුප්ප වග්ගය 7

ධම්ම පදය  - ඵුප්ප වග්ගය 7 

න පරේසං විලෝමානි – න පරේසං කතාකතං
අත්තනෝ’ව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච
අනුන්ගෙ නින්දා ගැරහිලි – අනුන් කරපු නොකරපු දේ
සිතමින් අපගේ සිතුවිලි – අවුල් නොකර ගත යුත්තේ
තමන්ගෙ දියුණුව සිතමින් – තමන් කරපු නොකරපු දේ
සිතමින් අපගේ දියුණුව – නිති සලසා ගත යුත්තේ



බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කාලයේ ඉතා අහිංසක පවුලක් වාසය කළා. එ් නිවසේ ඉතාමත් කාරුණික අම්මා කෙනෙක් හිටියා. ඇයට දරුවන් කිහිප දෙනෙක් හිටියා. ඇය දරුවන්ට වගේම එක්තරා මිථ්‍යා දෘෂ්ටික පැවිද්දෙකුට උපස්ථාන කළා. පාවෙය්‍යක ආජීවක නමිනුයි එ් මිථ්‍යා දෘෂ්ටික පැවිද්දාව හඳුන්වන්නේ. මේ අහිංසක අම්මාත්, දරුවනුත් මේ හිස් පුද්ගලයාට උදව් කළේ ශ‍්‍රද්ධාවෙන්මයි. පවුලෙ කෙනෙකුට වගේ සැලකුවා. ආදරයෙන් ඇප උපස්ථාන කළා. පවුලේ හැම කටයුත්තක්ම කිරීමට මොහුගේ ආශිර්වාද ගත්තා. අන්තිමේදී මොහුගෙන් නොඅසා කිසි දෙයක් නොකරන මට්ටමට මේ පවුල පත්වුණා.
මිථ්‍යා දෘෂ්ටික පැවිද්දෙකුගේ ග‍්‍රහණයට හසු වූ මේ පවුලට වටිනා දේවල් කරා යන්නට ලැබුණේ නැහැ. එ් සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් වැඩසිටි කාලයයි. එ් බණ අසන්නට යන මිනිසුන් සවසට සුවඳ මල්ගෙන සැවැත් නුවර දෙසට යද්දී අර අම්මා පුදුමයෙන් වගේ බලා සිටියා. නමුත් මේ අම්මාට ජේතවනාරාමයට යාමට අර පාවෙය්‍යක නම් වූ ආජීවකයා තහනම් කරලයි තිබුණේ. හැමතිස්සේම බුදුරජාණන් වහන්සේ ගැනත්, ශ‍්‍රාවකයන් ගැනත් මොහු ඉතා අසාධාරණ විදිහට විවේචනය කරමින් සිටියා.
බුදුබණ අසා පැහැදෙන මිනිසුන් ඉතාම සතුටෙන් බුදුගුණ කිය කියා, බුදුරජාණන් වහන්සේගේ අසිරිය කිය කියා එන අයුරු මේ අම්මා ආශාවෙන් බලා සිටියා. ඇයටත් දෙව්රම් වෙහෙරට යන්නට ආශාවක් ඇතිවුණා. ඉතින් ඇය උපස්ථාන කරන ආජීවකයා ළඟට ගියා.
“පින්වත් ආර්යයන් වහන්ස, දෙව්රම් වෙහෙරට යන අය බුදුගුණ කිය කියා ආපසු යන හැටි අසන විට අනේ…. මටත් දෙව්රම් වෙහෙරට යන්නට ආශාවක් ඇති වුණා. ඉතින් මං කල්පනා කළේ බණ අසන්නට යන්නයි. ඔබවහන්සේ එ් ගැන මොකක්ද කියන්නේ?”
“අහෝ…! රත්තරන් මෑණියනි, දෙව්රම පැත්ත පළාතෙ යන්න එපා! එතන ගුරුකම් කරනවා. යන යන අය මුලා කොට රවටා ගන්නවා. තරුණ පිරිස මහණ වෙනවා. එතකොට ජාතිය වඳවෙලා යනවා. එ් නිසා ඔය පැත්ත පළාතට යන්න එපා! භාවනා කරන්න ගිහින් පවුල් අවුල් වෙලා තියෙන්නෙ. එ් නිසා ශ‍්‍රමණ ගෞතමයන්ගේ උපදෙස් ගන්න යන්න එපා!” කියල මේ අසත්පුරුෂයා අර අම්මාගේ ධර්මශ‍්‍රවණයට බාධා කළා. තමන් මේ සා භක්තිමත්, ආජීවක තැන විසින් දෙන උපදෙස් වලට පිටුපාන්නට අම්මා බිය වුණා. එ් නිසා එ් ගමන නැවතුණා.
සැදැහැවතුන්ගේ ජීවිත වලට පින් රැස්වන අයුරු දකිනා විට එ් අම්මාට නැවත නැවතත් ආශාව ඇතිවුණේ දෙව්රම් විහාරයට යන්නටයි. එ් සෑම අවස්ථාවේදීම අම්මා කළේ අර මිථ්‍යා දෘෂ්ටික පැවිද්දාගෙන් අවසර ඉල්ලීමයි. එ් පුද්ගලයා කිසිසේත්ම අවසර දුන්නේ නැහැ. අන්තිමේදී අම්මාට මෙහෙම හිතුණා.
“අනේ පුතේ, අපේ ආර්යයන් වහන්සේ අපි දෙව්රම් විහාරයට යනවාට කැමැති නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසනවාට කැමැති නැහැ. මිනිසුන්ට නිවනක් වුවමනා නැහැලු. අනේ පුතේ, මට නම් වුවමනා බුදුබණ අසන්නමයි. මේ නිසා පුතා ගිහින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න අපගේ නිවසට වඩින්න කියලා. මං දානෙ ටිකකුත් සූදානම් කරන්නම්.”
අම්මාගේ වචනය පිළිගත් පුතා කෙළින්ම ගියේ අර මිථ්‍යා දෘෂ්ටික පැවිද්දා ළඟටයි. ගිහින් කාරණාව කියා හිටියා. එ් පැවිද්දාට හොඳටම කේන්ති ගියා.
“එ්යි රත්තරන් දරුවා, නුඹට පිස්සුද? නුඹලාගේ අම්මාට මනස්ගාතයක් වැදිලා. ඔය අලුත් විලාසිතාවට අහුවෙලා ඉන්නෙ. ආපහු ගෙදර පලයන්.”
“අනේ ආර්යයන් වහන්ස, එහෙම කරන්න බැහැ. අම්මා මට බනීවි.”
“නෑ… නෑ… අම්මා බනින්නේ නැහැ. දානෙ හදාපුවාවෙ. මං දානෙට වඩින්නම්. වෙන කවුරුවත් ඕන නැහැ. නුඹ හැරිලා පලයන්.”
“අනේ ආර්යයන් වහන්ස, මට නම් එහෙම කරන්න බැහැ. අම්මා මට කුමක් කරාවිද දන්නෙ නැහැ.”
“රත්තරන් දරුවෝ, එහෙනම් නුඹ මෙහෙම කරපන්. දෙව්රම් වෙහෙරට ගිහින් ශ‍්‍රමණ ගෞතමයන්ට දුර පාරක් කියාපන්. එතකොට දානෙට වඩිද්දී රවුම ගහගෙන එනවිට වෙලාව ගිහින් ඉවරයි. ඊට පස්සේ දානෙ අපට තමයි. හික්…. හික්….”
රත්තරන් දරුවෝ කියපු නිසා මේ දරුවා මේ මිථ්‍යා දෘෂ්ටික පැවිද්දාට හසුවුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඉතාමත්ම දුර පාරක් කිව්වා. කියල නැවත අර මිථ්‍යා දෘෂ්ටික පැවිද්දා මුණගැසුණා.
“පින්වත් ආර්යයන් වහන්ස, නුඹ වහන්සේ කියූ පරිද්දෙන්ම මං පාර වරදින විදිහට ආරාධනා කළා.”
“මගේ රත්තරන් පුතේ, යසයි! ශ‍්‍රමණ ගෞතමයන්ට පාර වරද්දවන්නමයි තියෙන්නෙ.”
අර පින්වත් අම්මා ඉතාමත් සතුටට පත්වුණා. ගොම ගා ගෙය පිරිසිදු කළා. මල් විසිරෙව්වා. බුදුරජාණන් වහන්සේට වැඩසිටින්නට ගරු සරු ඇතිව ආසනයක් පැණෙව්වා. එදා කාටත් හොරා අර පාවෙය්‍යක ආජීවකයා කුස්සිය පැත්තෙන් ගෙට රිංගුවා. කාමරයට වැදිලා නිශ්ශබ්දව හිටියා. උන්දෑ බලාපොරොත්තු වුණේ කාල වේලා ඉක්මගිය පසු පිසින ලද දානය අනුභව කිරීමටයි.
මහා කාරුණික බුදුරජාණන් වහන්සේව නොමග යවන්නට දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයේ කිසිවෙකුටවත් බැරි බව අර මිථ්‍යා දෘෂ්ටික පැවිද්දා දන්නෙ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් යුතුව එ් නිවසට වැඩම කළා. අම්මාට පුදුමාකාර සතුටක්. එ් අම්මා ඉතාමත්ම ශ‍්‍රද්ධාවෙන් දන්පැන් පූජා කළා. දන් වළඳා අවසානයේ බුදුරජාණන් වහන්සේ එ් අම්මාට චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කරන්නට පටන් ගත්තා. සතුට ඉවසුම් නැති අම්මා, ඉතාම ප‍්‍රීතියෙන් යුක්තව තුන් යලක් “සාදු! සාදු! සාදු!” කියා සාදුකාර දුන්නා. එතකොට කාමරයේ සිටි පාවෙය්‍යක ආජීවකයාට මේ සාදුනාදය ඇසුනා. ඔහුට ඊර්ෂ්‍යාව ඉහිලුම් නැතුව ගියා. “තට… තට…” ගාමින් වෙව්ලන්න පටන් ගත්තා. මැද්දට කඩා පැන්නා.
“එ්යි කාලකණ්ණි ගැහැණිය, තී විනාශ වෙලා පල! තිට දැන්ද සත්කාර කරන්න පැවිද්දන් ඕන වුණේ? තිට සාදුකාර කියවෙන්නේ දැන්ද? නීච ගැහැණිය, තී මගේ බසට පිටුපා මේ ශ‍්‍රමණයාගේ බණ අසා චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නටද තී හදන්නේ…?” කියා නින්දා අපහාස කොට පලා ගියා.
එ් අම්මාගේ හදවත කඩාගෙන වැටුණා වගෙයි. විශාල කම්පනයක් ඇතිවුණා. අම්මා දෑස වසාගෙන හඬන්න පටන්ගත්තා. අම්මාගේ සිත නොසන්සුන් වුණා. ධර්ම දේශනාවට එකඟ වෙලා තිබුණු සිත වේදනාවෙන් භරිත වුණා. සිහිය යොමුකරගන්නට බැරි වුණා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අම්මා දිහා ආදරයෙන් බැලුවා.
“පින්වත් උපාසිකාව, ලෝකයේ පවතින ඔය විෂම කතාබහට අපි පැටලෙන්න ඕන නැහැ. අන් අයගේ නින්දා අපහාස ගණන් ගත යුතු නැහැ. එ්වා ගැන අපි සිතන්නට ඕනත් නැහැ. එ්වා නොසලකා හැර අපි තම තමා කළ නොකළ දේ ගැන පමණක් කල්පනා කරමු. දැන් කළ යුතු දේ ධර්මශ‍්‍රවණයයි. එ් ගැන විතරක් දැන් හිතන්න. මේ ධර්ම දේශනාවටම සවන් දෙන්න. මේ ගැනම හිතන්න” කියා බුදුරජාණන් වහන්සේ මිහිරි ස්වරයෙන් මෙම ගාථාරත්නය වදාළා.
මෙය ඉතාම වැදගත් උපදේශයක්. අපි ඉතාම ශ‍්‍රද්ධාවෙන් හඬ නගා බුදුන් වැන්දොත් සමහර විට තව කෙනෙක් එ්කට දොස් කියාවි. “ඔයාගෙ පාඩුවෙ ඔයා වඳින්න. ඔච්චර හයියෙන් ගාථා කියන්නේ මොකද? ඔයා ශ‍්‍රද්ධාවන්ත කෙනෙක් කියල ලෝකෙට පෙන්නන්න ඕනද?” මෙවැනි දේ කියල අනුන්ට ගරහන අය හැමතැනම ඉන්නවා. එ් නිසා අනුන්ගේ නින්දා අපහාස අපට වැඩක් නැහැ.
අපි තව එකක් මතක තබාගන්න ඕන. අනුන්ට නින්දා අපහාස කරන, අනුන්ට ගරහන සියලු දෙනාම එය කරන්නේ පිරිසිදු සිතකින් නොව, පිරිහුණු සිතකිනුයි. එ් නිසා ඔවුන් හානිකරගන්නේ තමන්ටමයි. තමන්මයි පිරිහිලා යන්නේ. අනුන්ට ගරහලා නින්දා අපහාස කරලා අභූත චෝදනා කරලා එ් හේතුවෙන් සැපයට පත්වුණු කෙනෙක් ලෝකයේ නැහැ. එ් නිසා ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවාවෙ. අපි කරන හොඳ වැඩ දිගටම කරමු. අපිත් රකින සිල් තව තවත් හොඳින් රකිමු. අපි තව තවත් හොඳින් බණ භාවනා කරමු. ධර්මය ඉගෙන ගනිමු. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමු. එ් නිසා අපි ධර්මයේ හැසිරෙන අය වෙමු.
පුන්‍යාණුමෝදනා : පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට.

Na paresam vilomani
na paresam katakatam
attanova avekkheyya
katani akatani ca.
Verse 50: One should not consider the faults of others, nor their doing or not doing good or bad deeds. One should consider only whether one has done or not done good or bad deeds.

The Story of the Ascetic Paveyya

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (50) of this book, with reference to the ascetic Paveyya and a rich lady.
A rich lady of Savatthi had adopted Paveyya, an ascetic, as a son and was looking after his needs. When she heard her neighbours talking in praise of the Buddha, she wished very much to invite him to her house to offer him alms-food. So, the Buddha was invited and choice food was offered. As the Buddha was expressing appreciation (anumodana), Paveyya, who was in the next room, fumed with rage. He blamed and cursed the lady for venerating the Buddha. The lady heard him cursing and shouting and felt so ashamed that she could not concentrate on what the Buddha was saying. The Buddha told her not to be concerned about those curses and threats, but to concentrate only on her own good and bad deeds.
Then the Buddha spoke in verse as follows:

At the end of the discourse the rich lady attained Sotapatti Fruition.