බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Thursday, October 5, 2017

සිත නිවන පියුම් විල: ධම්ම පදය - පුප්ඵ වග්ග 5

සිත නිවන පියුම් විල: ධම්ම පදය - පුප්ඵ වග්ග 5

ධම්ම පදය - පුප්ඵ වග්ග 5

ධම්ම පදය 48 .5



පුප්ඵානි හේ'ව පචිනන්තං – බ්‍යාසත්ත මනසං නරං
අතිත්තං යේ'ව කාමේසූ - අන්තකෝ කුරුතේ වසං

මල්කාරයෙක් , නෙලාගන්ට මල් සොය සොයා ගමක් ගමක් ගානේ යනවා වගේ,  මේ කම් සැපයට ඇළුණු පුද්ගලයා කාමයම සොය සොයා යනව. අන්තිමේදි ඔහු මාරයාගෙ ග්‍රහණයට හසුවෙන්නෙ , ඒ කාමයන් ගැන තෘප්තියකට පත් නොවී සිටිත්දී ම යි. 


( සැවත් නුවර දී පතිපූජිකා අරභයා වඳාළ ගාථාවකි )


කතාවත් හරිම අගෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටිද්දී තමයි මෙය සිදුවුණේ. තව්තිසා දෙව්ලොව මාලභාරී කියලා දිව්‍ය පුත‍්‍රයෙක් සිටියා. ඔහුට දිව්‍ය අප්සරාවන් දාහක් හිටියා. ඉතින් මාලභාරී දිව්‍ය පුත‍්‍රයා මේ දාහක් අප්සරාවන් පිරිවරාගෙන උද්‍යාන ක‍්‍රීඩාවට යනවා. එහිදී පන්සියයක් අප්සරාවන් මල් ගස්වලට නගිනවා. නැග මල් ගස් සොලවනවා. එ් වැටෙන වැටෙන මල් අනික් අප්සරාවන් පන්සිය දෙනා ඇහිඳිනවා. ඉන්පසු එ් මල් ගෙන අර දිව්‍ය පුත‍්‍රයාව අලංකාර කරනවා. දවසක් එක දෙව්දුවක් මල් ගසට නැග එ් මල් ගසේ අත්තක් සොලවමින් සිටිද්දී එතනම චුත වුණා. පහන් සිලක් නොපෙනී ගියා වගේ ඇය චුත වුණා. ඉතින් එ් දෙව්දුව සැවැත් නුවර මිනිස් පවුලක ඉපදුණා. ඇය හරිම ලස්සනයි. ඇයට කුඩා කාලයේදීම ඇගේ අතීත ජන්මය මතක් වුණා.
‘අනේ මං මාලභාරී කියන දිව්‍යපුත‍්‍රයාට බිරිඳ වෙලා සිටිය කෙනෙක්. මට මේ මොකද වුනේ?’ කියල ඈ මිනිස් උපත ගැන කැමති වුණේ නෑ. ආයෙමත් ස්වාමියා ළඟම උපදින්නට ඕන කියල නිතර නිතර ප‍්‍රාර්ථනා කළා. මෙය ඉෂ්ට කරගන්නට පුළුවන් වන්නේ හොඳින් පින් කිරීමෙන් බව ඇය දැනගත්තා.
ඉතින් මේ දැරිය සොළොස් වස් වූ කළ විවාහ කොට දුන්නා. දැන් ඇය නිතර නිතර භික්ෂූන් වහන්සේලාට දන් දෙනවා. සෑම පින්කමක්ම කරලා ඇය කියන්නේ “මේ පින මට මා කලින් සිටිය ස්වාමියා ළඟම උපදින්නට උපකාරී වේවා!” කියලයි. එනිසාම ඇය චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නට උත්සාහ කළේ නෑ. දිව්‍ය කාම සැපයටම ආශා කර කර සිටියා. නමුත් හොඳට පින්කළා. භික්ෂූන් වහන්සේලා ඇගේ පතිභක්තිය දැක පතිපූජිකා කියන නම දැම්මා. ඊට පස්සේ ඇය ප‍්‍රසිද්ධ වුණේ එ් නමින්.
ඇය චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නට මහන්සි නොවුණාට ඉතාමත්ම ශ‍්‍රද්ධාවන්තයි. ඇය විශේෂයෙන්ම කළේ දන්දීමයි. සිල් රැකීමයි. ඈට දරුවන් සතර දෙනෙක් ලැබුනා. කිසි කටයුත්තක් අතපසු නොකොට සෑම දෙයක්ම කරමින් නිතර දන් දුන්නා. ප‍්‍රණීතව දන් දුන්නා. දාන ශාලා ඇමදීම, පැන් පෙරාගෙන පැමිණීම, ආසන පැණවීම ආදී සෑම දෙයක්ම ඇගේ අතින්ම කරනවා.
දිනක් ඈ දන් දී සිල් සමාදන් වී සතුටෙන් සිටිද්දී හදිස්සියේ ඇති වූ රෝගාබාධයකින් කළුරිය කළා. එසැණින් ඈ මාලභාරී දිව්‍ය පුත‍්‍රයා ළඟ ඉපදුණා. දිව්‍ය පුත‍්‍රයා ඇය දැක,
“භවතී, උදේ සිට මේ සවස් වන තුරු දැක්කෙ නෑ. කොහේද ගියේ?”
“ස්වාමීනී, මං චුත වුණා.”
“චුත වුණා…?”
“එසේය ස්වාමීනී”
“ඉතින් මොකද වුණේ?”
“ස්වාමීනී, මං මිනිස් ලෝකෙ උපන්නා. සැවැත් නුවර ගෙදරකයි ඉපදුණේ.”
“ඉතින් එහේ ඔයා කොච්චර කල් හිටියද?”
“මව් කුසේ දස මාසයක් හිටියා. වයස දාසයේදී විවාහ වුණා. දරුවො හතර දෙනෙකුත් ලැබුණා. මං හැබැයි ගොඩාක් පින් කරගත්තා. ඊට පස්සේ තමයි ආයෙමත් මගේ දිව්‍ය පුත‍්‍රයා ළඟට මං ආවෙ.”
“මනුෂ්‍යයින්ට ආයුෂ කොච්චරක් තියෙනවද?”
“අවුරුදු සීයයක් විතර තියෙනවා”
“අපොයි! එච්චරක්ද?”
“එසේය ස්වාමීනී.”
“ඉතින් එහෙමනම් මිනිස් ලොව ඉපදුණු අය කෑමට, බීමට, නින්දටද වැඩිය කාලය යොදන්නේ? එහෙම නැත්නම් දානාදී පින්කම් කරනවාද?”
“අනේ ස්වාමීනී, මොනවද මේ අහන්නෙ? මිනිස්සු හිතාගෙන ඉන්නේ අසංඛෙය්‍ය ගණන් ආයුෂ තියෙනවා කියලයි. උන්දැලා අජරාමර වෙලා කියලයි හිතාගෙන ඉන්නේ. කිසි ගාණක්වත් නෑ.”
එතකොට මාලාභාරී දිව්‍ය පුත‍්‍රයා මහා සංවේගයට පත්වුණා. ”අනේ… අවුරුදු සියයක් ආයුෂ ඇතුව උපත ලබා මේ මිනිස්සු ලෞකික ජීවිතය ගැනම ප‍්‍රමාද වෙවී ඉන්නවා නම්, එ් මිනිස්සු දුකින් මිදෙන්නේ කවදාද?”
මිනිසුන්ගේ ආයුෂ අවුරුදු සියයක් තව්තිසාවේ එක දවසයි. එවැනි දවස් වලින් තිස් දවසක් මාසයයි. එවැනි මාස දොළහක් අවුරුද්දයි. එවැනි අවුරුදු දහසක ආයුෂ තව්තිසා දෙවියන්ට තියෙනවා. මිනිසුන්ගේ ආයුෂ වලින් ගත්තොත් අවුරුදු තුන් කෝටි හැට ලක්ෂයක් වෙනවා. එහේ දිව්‍ය පුත‍්‍රයෙකුගේ එක දවසක් ගෙවී යන්නටත් කලින් මිනිස් ලෝකෙ ආයුෂ ඉවර වෙලා යනවා.
භික්ෂූන් වහන්සේලා පසුවදා දානයට වඩිද්දී වෙනදා තරම් දාන ශාලාව ලස්සන නැහැ. හොඳින් අතුපතු ගාලත් නෑ. පිළිවෙලකට ආසන පණවලත් නෑ. පැන් පෙරලා ගෙනැවිල්ලත් නෑ. භික්ෂූන් වහන්සේලා විමසුවා.
“පතිපූජිකාව කොහෙවත් ගියාද?”
“ස්වාමීනී, ඔබවහන්සේලා දැක්කෙ නැහැ නෙව. ඔබවහන්සේලා දන් වළඳා වැඩියාට පස්සේ හවස් වරුවේ ඇය මියගියා.”
භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මෙම කරුණ විමසුවා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සංඝයාට ඉතාමත්ම හොඳින් ඇප උපස්ථාන කළ, වත් පිළිවෙත් කළ පතිපූජිකාව මිය ගිහින්. ඈ කොහේද උපන්නේ?”
“පින්වත් මහණෙනි, ඇය තමන්ගේ ස්වාමියා ළඟ නෙව ඉන්නේ”
“අනේ ස්වාමීනී, පතිපූජිකාවගේ ස්වාමියා ළඟ අද ඇය නැහැ.”
“පින්වත් මහණෙනි, පතිපූජිකාව මේ ස්වාමියාව පැතුවෙ නෑ. ඇය පැතූ ස්වාමියා සිටියේ දෙව්ලොවයි. ඔහුගේ නම මාලභාරී. ඔහු සිටින තැන දිව්‍ය අප්සරාවන් මල් සරස සරසා ඉන්නේ. දැන් ඇය එතන මල් නෙලනවා.”
මෙසේ වදාළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතාමත් මිහිරි ස්වරයෙන් මෙම ගාථාව වදාළා.
මේ නිසා නුවණැති කෙනා කාමයන්ට මුළා නොවී පින් කරගන්නට මහන්සි විය යුතුයි. දන් දීම පුරුදු කළ යුතුයි. සිල් රැකීමත් පුරුදු කළ යුතුයි. භාවනා කිරීමත් පුරුදු කළ යුතුයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට ලැබුණොත් එ් තැනැත්තාට නම් භය වෙන්නට කිසි දෙයක් නෑ. සතර අපායේ උපදින්නෙ නැහැ නෙව. සෝවාන් වුණු කෙනෙක් ඉපදුනොත් උපදින්නේ දෙව්ලොවත්, මනු ලොවත් විතරයි. එනිසා සෝවාන් වෙන්නට ලැබුණොත්, එ් කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට ලැබුණොත් කොයිතරම් ලාභයක්ද?
The Story of Patipujika Kumari 

While residing at the Jetavana monastery, the Buddha uttered  this  with reference to Patipujika Kumari.

Patipujika Kumari was a lady from Savatthi. She married at the age of sixteen and had four sons. She was a virtuous as well as a generous lady, who loved to make offerings of food and other requisites to the bhikkhus. She would often go to the monastery and clean up the premises, fill the pots and jars with water and perform other services. Patipujika also possessed Jatissara Knowledge through which she remembered that in her previous existence she was one of the numerous wives of Malabhari, in the deva world of Tavatimsa. She also remembered that she had passed away from there when all of them were out in the garden enjoying themselves, plucking and picking flowers. So, every time she made offerings to the bhikkhus or performed any other meritorious act, she would pray that she might be reborn in the Tavatimsa realm as a wife of Malabhari, her previous husband.
One day, Patipujika fell ill and passed away that same evening. As she had so ardently wished, she was reborn in Tavatimsa deva world as a wife of Malabhari. As one hundred years in the human world is equivalent to just one day in Tavatimsa world, Malabhari and his other wives were still in the garden enjoying themselves and Patipujika was barely missed by them. So, when she rejoined them, Malabhari asked her where she had been the whole morning. She then told him about her passing away from Tavatimsa, her rebirth in the human world, her marriage to a man and also about how she had given birth to four sons, her passing away from there and finally her return to Tavatimsa.
When the bhikkhus learned about the death of Patipujika, they were stricken with grief. They went to the Buddha and reported that Patipujika, who was offering alms-food to them early in the morning, had passed away in the evening. To them the Buddha replied that the life of beings was very brief; and that before they could hardly be satiated in their sensual pleasures, they were overpowered by Death.
Then the Buddha spoke in verse as follows:
 Pupphani heva pacinantam
bysssasattamanasam naram
atittanneva kamesu
antako kurute vasam. 
Like one who picks and chooses flowers, a man who has his mind attached to sensual pleasures and is insatiate in them is over powered by Death.

ථේරි ගාථා . 48.




දන්තිකා තෙරණිය ගේ ගාථා.
48.
මං දවල් කාලෙ ගිජුකුළු පර්වතේ ගත කරල , නික්මිලා යනකොට ගඟෙන් ගොඩට ආපු ඇතෙක් ගංතෙරේ ඉන්නව දැක්ක.


හෙන්ඩුවක්  අතට ගත්ත මිනිහෙක් ඒ ඇතාට කිව්ව පය දික්කරන්ට කියල. ඇතා කකුල් දික්කලා. අර මිනිහා එතනින් තමයි ඇතා ගෙ පිට උඩට නැග ගත්තෙ.
මේ ඇතා ඉස්සර දමනය වෙච්ච එකෙක් නොවේ. මිනිස්සු තමයි ඇතාව දමනය කරල ගත්තෙ. ඉතින් මං බලාගෙන හිටිය දමනය කරපු ඒ ඇතා දිහා. ඒක මං හිතට ගත්තා. මාත් වනාන්තරය ට ගිහින් හිත සමාධිමත් කළා.

මේ වනාහී දන්තිකා නම් මහ රහත් තෙරණිය නම් වඳාල ගාථා වන්‍ වේ.

Monday, August 7, 2017

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 20 - අසිරිමත් ගයාවේ


අද මේ ලියන්නේ අප ගයාවෙ ගතකල අවසන් දිනයයි. ශීලසමාදානයෙන් පසුව අප නැවතී සිටි නවාතැනට එනවිට බොහෝ රෑ බෝවී තිබුනා. වෙහෙසත් සමග සිතේ සතුටත් සමග අපේ ගමනාන්තයට ලක්වන බව වැටහුනා. දැන් බුද්ධගයාවේ නවාතැන් බොහොමයක් තියෙනවා.  ඉන්දියාවේ මහා බෝධි සමාගමේ නවතැන්පලවල් වල ඉතාම සාධාරණ මුදලකට නවාතැන් ගත හැක. ඔබට පහත සදහන් මහා බෝධි සමාගමේ දුරකථන අංකයෙන් විස්තර ලබා ගතහැක. 
ඉන්දියාවේ මහා බෝධි සමාගම 0091-631-2200742
0091-631-2200716  ඊ මේල්- mbsi_1891@yahoo.com


බුද්ධගයාව තරම් සිත් පහන් කරන තැනක් මේ මිහිපිට ඇතැයි මට නොසිතේ. දින කීපයක් මෙහි ගතකරන්නට තිබුනානම් කියා නොයෙක් වර සිතුණි. මෙහි ශ්‍රී මහා බෝධිය අසල තියෙන සිසිලස හා සෙවන අනුරපුර අප ශ්‍රී මහා බෝධි සෙවනේ මෙන් ගත සිත සිසිල් කරයි. මෙහිදී අප සියළු දෙනාටම සැදැහැවත් කුලපුත්‍රයෙක්, කුලවමියක් ලෙස හදුන්වා සහතික පත්‍රයක් ලැබුණි. 

ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිදුහත් කුමරු උපන් අවස්ථාවේම පහලවූ වස්තූන්ගෙන් එකකි. 

අප මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව පළමුසතිය නිවන්සුව විඳිමින් ද දෙවන සතියේ එම වෘක්ශයට ගරුකිරීමක් ලෙස අනිමිසලෝචන පූජාවෙන් පිදූ සේක. මෙලෙස පිදුම් ලැබූ බෝධීන් වහන්සේට පළමුවෙන්ම උවදුරක් සිදුවන්නේ අශෝක රජුගේ කාලයේය. 
පසුව ධර්මාශෝක රජතුමාගේ පසුකාලෙක බිසවවූ තීක්ෂණ රක්ෂිතා නම් කුමරියක විසින් බමුණන් ලවා විසකටු ගසා බෝධීන්වහන්සේ මරාදැමීමට කටයුතු යෙදූහ.  එහෙත් විස්මයකට මෙන් බෝධීන් වහන්සේ නැවත් එම ස්ථානයේන්ම පැන නැගුණි.  රජතුමාගේ අවසන් කාලයේ මහත් ශ්‍රද්ධාවෙන් සත්කාර කල බව කියැවේ.

පසුකාලෙක දි බටහිර බෙංගාලයේ ශශංක නම් රජතුමා ද බෝධීන් වහන්සේ කපා දමා ගිනිතබා උක්පැණි වත්කර විනාශ කළහ. පසුව මගධයේ රජවූ පූර්ණවර්ධන නම් රජතුමා කල සත්කාර නිසා මුල් වලින් නැවතත් එක් අංකුරයක් පැන නැගුණි. එය ප්‍රවේශම් කිරීම සඳහා අඩි විසි හතරක් උස තාප්පයක් බඳවා ආරක්ශා කෙරුණි.

නාලන්දා විශ්වවිද්‍යාලය විනාශකල මුස්ලිම් ආක්‍රමණ සමයේ යළිත් ගිණිබත් වූ බෝධීන් වහන්සේ යලිත් පැන නැගී ඇත. 

ඉතා ආශ්චර්යවත් ව යලිත් මහා සුළිකුණාටුවකට පසුව හත්වෙනිවරටත් විරාජමාණව අසිරිමත්ව නැගී සිටියහ.  
අද අපි වන්දනාමාන කරන්නේ එම ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේටය.





  බුද්ධගයා පරිශ්‍රයේ කුඩා විහාර දහ හතක් වේ. වරින් වර රජ වූ රජ වරුන් විසින් මේවා ඉදිකර ඇතැයි විශ්වාස කෙරේ. 


අද අපහට මෙම විහාර පරිශ්‍රය වැදපුදා ගැනීමට හැකිවන්නේ ශ්‍රීමත් අනගාරික ධර්මපාළ තුමාහට පින් සිදුවන්නටය.

අප නවාතැනට පැමිණ රාත්‍රී ආහාරයෙන් පසුව ශාලාවේ සියළු දෙනා එක්ව අපහට අනේක විධ අයුරින් උපකාර කල ඉන්දියානු දරුවන්ට ස්තූති කිරීමක්ද සිදුකරන ලදී. 





අප විසින් කුඩා තිළිණ ප්‍රදානයක් ද කෙරුණි. සැම දෙනාම පසුදා යලි මව්බිම බලා යාමට සූදානම් විය යුතු විය.






මෙය මේ චාරිකාවේ අවසන් සටහනයි. මේ සටහන මට නිමා කරන්නට වන්නේ ඉතාම කණගාටු දායක ආරංචියකින් මයි. අප සමඟ අපේ ගමන් නියමුවාවූ අජිත් ක්‍රිශාන්ත මහතා පසුගිය සතියේ අප අතැර ගියේ ජීවිතයේ අනියත බව පසක් කරමින්. ඉතාම මහත්මා ගතිගුණයන්ගෙන් පිරි මිනිසෙකු අපහට ඇසුරු කිරීමට ලැබීමත් භාග්‍යක් සේ සලකමි. 

ඔබ අප මේ වන්දනාවෙන් සිදුකර ගත්තාවූ සියළුම පුන්‍ය ධර්මයන් එතුමාට අත්පත් වේවා!  ඉතා කෙටිකලකින් සසර දුක් නිවා නිවනේ සැනසීම ලැබේවා!  

මේ සදහා අපහට උපකාර කල සියළුම දෙනාට මේ පින් අත්පත් වේවා.
 හැමටම සසර දුක් නිමාවී නිවනේ සැනසීම ලැබේවා!




Saturday, July 8, 2017

ධම්ම පදය – 04. පුප්ඵ වර්ගය 4

පහුගිය ධම්ම පද ගාථා රත්නයට පාදක වුන කථා ප්‍රවුත්තිය අද ඔබට කියන්නේ බොහොම සතුටින්. වෛරය අපේ ජීවිත වලට කොයි තරම් බලපානවද කියල ඔබටම හිතා ගත හැකි. මේ ගථාරත්නය අද කාලයට කොයිතරම් ගැලපෙනවාද කියල ඔබට තේරේවි.


“ආශාව පසුපස ගිහින් මාරයාට ගොදුරු වෙනකම් දන්නෙම නෑ”


විඩූඩභගේ අවසානය පිළිබඳව අනුවේදනීය කතාව
 තමයි දැන් ඔබට අසන්නට ලැබෙන්නේ. කාමයන්
 පසුපස යන මිනිසා නවතින්නේ නිරයේ බව 
කිසිකෙනෙකුට සිතාගන්නටවත් බැහැ. 
කාමයන් වටා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, බද්ධ වෛරය, 
පළිගැනීම, එකට එක කිරීම පෙළගැසෙන්නේ 
තමාටත් නොදැනීමයි. රජවරුන්ගේ ජීවිතවල සිට 
සාමාන්‍ය මනුෂ්‍යයාගේ ජීවිතය දක්වා වෙලී ඇති 
කාමාශාව විසින් ඔවුන්ව ඉතාමත් සංකීර්ණ වූ 
දයාවිරහිත වූ විකෘති පළිගැනීම් තෙක් ගෙන යනවා. 
එහි අනිෂ්ට විපාක පොදු ජනයාට විඳවන්නට සිදුවන 
ආකාරය විඩූඩභගේ සිද්ධිය තුළින් දිස්වෙන්නේ 
කැඩපතකින් දකින්නාක් පරිද්දෙන්.
කොසොල් රජ්ජුරුවන්ට විඩූඩභ කියලා පුතෙක් 
සිටියා. එ් පිළිබඳව පසුබිම් කථාව මේකයි. 
අනේපිඬු සිටුතුමා, විශාකා මහෝපාසිකාව, සුප්පියා
 උපාසිකාව ආදීන් දිනපතා භික්ෂූන් වහන්සේලාට
 දන් දුන්නා. අනේපිඬු සිටු මාළිගාවේ දිනපතා 
දෙදහසක් භික්ෂූන්ට දන් දුන්නා. විශාඛාව ද සුප්පියා 
ද දිනපතා පන්සියයක් භික්ෂූන්ට දන් දුන්නා.
මෙය දුටු කොසොල් රජතුමාටත් පන්සියයක් 
භික්ෂූන්ට දිනපතා දන්දෙන්නට ආසා ඇතිවුණත්,
 භික්ෂූන් වහන්සේලා රාජමාලිගයෙහි දන් පිණිස 
එතරම් කැමැත්තකින් වැඩියේ නෑ. එනිසා සංඝයාගේ
 විශ්වාසය දියුණු කරගැනීමේ අදහසින් කොසොල්
 රජ්ජුරුවන්ට ශාක්‍ය වංශය සමඟ ඤාති 
සම්බන්ධයක් ඇතිකරගන්නට වුවමනා වුණා. 
රජතුමා ශාක්‍ය වංශික රජවරුන්ට සංදේශයක් 
යැව්වා. රාජමාළිගාවට වහාම ශාක්‍ය කුමාරිකාවක් 
එවන්න කියලා.
ශාක්‍යවරුන් රැස්වුණා. ඔවුන් කිසි කෙනෙක් 
ශාක්‍ය කුමාරිකාවක් රජතුමාට දෙන්නට කැමැති
 වුණේ නෑ.
 කොසොල් රජතුමා ක්ෂත‍්‍රීය වංශිකයෙක් වුනත් 
ශාක්‍ය වංශයෙන් පහළයි. මේ නිසා ‘යවලත් බෑ. 
නොයවාත් බෑ’ යන තත්වයට පත්වුණා. අන්තිමේදී 
මහානාම ශාක්‍ය රජු නිසා එම මාළිගයේ දාසියකගේ
 කුසේ උපන් වාසභ ඛත්තියා කියන දාසිය යවන්නට
 තීරණය කළා.
ශාක්‍ය වංශිකයන් ශාක්‍ය රාජකුමාරිකාවක් 
දෙන්නට පොරොන්දු වූ බවට කොසොල් රජතුමාට
 පණිවිඩය ආවා. රජතුමා මෙහෙම කිව්වා.
“ශාක්‍ය වංශිකයන්ගේ කතා විශ්වාස කරන්නට 
බැහැ. නුඹ මෙහෙම කරපන්. නුඹ ගිහින් බලාපන්
 මහානාම ශාක්‍ය රජු සමඟ වාසභඛත්තියා එකට 
වාඩි වී කෑම කනවාද කියා. හැබැයි ශාක්‍ය 
වංශිකයන් වෙන කිසිවෙකු සමඟ එකට වාඩි වී 
කෑම කන්නේ නෑ. ඔය කුමාරිය රාජවංශයේ 
නොවෙයි නම් ලේසියෙන්ම සොයා ගන්න පුළුවන් 
ක‍්‍රමය එ්කයි.”
රාජපුරුෂයන් ගියා. හොයලා බැලුවා. මේ බව 
දැනගත් මහානාම ශාක්‍යයා වාසභඛත්තියාව
 ලස්සනට සරසලා එකම කෑම මේසේ වාඩිකරවා
 ගත්තා. පොදුවේ ආහාර ගන්නා බව හැඟෙව්වා. 
ඊට පස්සේ රාජකීය පෙරහැරකින් වාසභඛත්තියාව 
කොසොල් රාජ මාළිගාවට කැඳවාගෙන ආවා. 
වාසභඛත්තියා අතිශයින්ම රූප සම්පන්නයි. 
ඇගේ රූපයට කොසොල් රජු වසඟ වුණා. ඇයටත්
 ප‍්‍රධාන බිසෝ තනතුරක් ලැබුණා. ටික කලකදී 
ලස්සන රූපයක් තියෙන පුංචි කුමාරයෙක් 
වාසභඛත්තියා විසින් බිහි කළා.
කුමාරයාට නමක් තබන්නට රජතුමා තම 
මිත්තණිය ළඟට ඇමතියෙක් පිටත් කළා.
 ඇමතියාට මිත්තණිය කීවේ, “වාසභඛත්තියා 
මාළිගාවට පැමිණ සියලු දෙනාම අබිභවා ගියා. 
දැන් ඉතින් සියලුම සම්පත්තියට වල්ලභ (ස්වාමියා)
 වෙනවා” කියලයි.
 මේ වල්ලභ කියන වචනය ඇමැතියාට ඇහුනේ 
‘විඩූඩභ’ කියලයි. ඔහු ගිහින් රජතුමාට එ් නම 
කිව්වා. රජතුමා කුමාරයාට විඩූඩභ කියන නම 
තිබ්බා.
කුමාරයාට කුඩා කාලයේදීම සේනාපතිකමක් 
ලැබුනා. කොසොල් රජතුමාට ගොඩාක්ම ඕන කළේ 
ශාස්තෘන් වහන්සේ සමඟ සමීප සම්බන්ධතාවයක් 
මේ කුමාරයා තුළින් ගොඩනගන්නයි. විඩූඩභ 
කුමාරයා කුඩා අවදියේ සිට වාසභඛත්තියාට නිතර 
නිතර කිව්වේ නෑදෑයන් බලන්න යන්න ඕන කියලයි.
 එ් සෑම වතාවකදීම ඇය කුමක් හෝ බොරුවක් 
කියා එය මඟහරිනවා. විඩූඩභ කුමාරයාට වයස
 දහසය වෙද්දී නෑදෑයන් බලන්න යන්න ඕන කියල 
දැඩි තීරණයක් ගත්තා. වාසභඛත්තියා මහානාම
 ශාක්‍ය රජුට මෙය දැනුම් දුන්නා.
ශාක්‍යවංශිකයන් නොසන්සුන් වුණා. ඔවුන් 
විඩූඩභට වඩා වයසින් බාල කුඩා කුමාරවරුන් 
රාශියක් කැඳෙව්වා. 
පිළිගැනීමේ උත්සවයක් තිබ්බා. එහෙත් වැඩිහිටි 
කුමාරවරු කෝ? එ් අය විඩූඩභ කුමරාට ගෞරව 
කරන්නට නොඑන්නේ ඇයි? මේ සියල්ල විඩූඩභට 
හරි ප‍්‍රශ්නයක් වුණා. ඉතින් විඩූඩභ කිසියම් 
අපහසුතාවයකට පත්වෙන බව ශාක්‍ය රජවරුන්ට 
තේරුණා. ඔවුන් ඉතාමත්ම හොඳින් රාජකීය 
ආකාරයට කුමාරයාට සැළකුවා. ටික දවසක් රැඳී
 සිට රාජකීය පෙරහැරකින් නැවත සැවැත් නුවරට
 පිටත් වුණා. එදා එක්තරා රාජපුරුෂයෙකුට 
තමන්ගේ ආයුධය අමතක වුණා. ඔහු ඉක්මනින් 
අමතක වූ ආයුධය ගෙනයන්න ආවා. එ් වෙලාවේ 
ශාක්‍ය දාසියක් “වාසභඛත්තියා නම් වූ ශාක්‍ය 
දාසියගේ පුතා අපගේ ආර්යයන් වහන්සේලාගේ 
ආසනය කිලුටු කළා නෙව” කියා කෑගසමින් 
විඩූඩභ වාඩි වූ පුටුව කිරි දියරයෙන් සෝදන අයුරු 
අර පුද්ගලයාට දකින්නට ලැබුණා. වාසභඛත්තියා
 ක්ෂත‍්‍රීය වංශික කුමාරිකාවක් නොවන බවත්, 
දාසියක් බවත් දැනගන්නට ලැබුණා. එතකොට 
විඩූඩභ කියන්නේ මව් පාර්ශවයෙන් කිලුටු වූ 
දාසියකගේ පුතෙක් බවත් දැනගන්නට ලැබුනා. 
මෙය දැනගත් විඩූඩභ විෂඝෝර සර්පයෙක් වගේ 
කිපුණා. ඇස් ලොකු කළා. දත්මිටි කෑවා. අත මිටි 
මොලවාගෙන මෙහෙම කිව්වා.
“හොඳයිකො, දැන් තොපි මං වාඩි වූ ආසනය කිරි 
දියරයෙන් සෝදාපල්ලා. මං තොපේ බෙලි කපා 
එයින් ගලනා ලෙයින් ඔය ආසනය සෝදන කාලය
 වැඩි ඈතක නෑ” කියල වෛරය හිතේ පිහිටුවා
ගත්තා.
වාසභඛත්තියා දාසියක් යන කරුණ ලැව්ගින්නක් 
වගේ පැතිර ගියා. රජමාළිගාවේ සියලු දෙනාගේ 
විහිළුවට ලක්වුණා. මෙය ඇසූ කොසොල් රජු 
කිපුනා. වාසභඛත්තියාටත්, විඩූඩභටත් තිබුණ 
සැලකිල්ල නැතුව ගියා. ඔවුන්ගේ සත්කාර සම්මාන 
පහතට වැටුණා. පිළිගැනීම් නැතුව ගියා. කැළැඹුණු 
සිතින් යුතු රජතුමා බුදුරජාණන් වහන්සේ 
සොයාගෙන ගියා. බුදුරජාණන් වහන්සේට වන්දනා
 කොට මෙය පැමිණිලි කළා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගේ 
ඤාතීන් විසින් මට එවලා තියෙන්නේ දාසියකගේ 
දුවක් නෙව. එ්නිසා මං ඇයගේ පුතාවත්, ඇයවත් 
සියලු තනතුරු වලින් පහකළා.”
“පින්වත් මහාරාජ, ශාක්‍යවරුන් කරලා තියෙන්නේ
 අයුත්තක්. ලබා දෙනවා නම් දිය යුත්තේ සමාන 
ජාතියට අයිති කෙනෙක්ව නෙව. පින්වත් මහාරාජ, 
වාසභඛත්තියා ක්ෂත‍්‍රීය වංශික රජුගේ මාළිගයෙහි 
ක්ෂත‍්‍රීය රාජකුමාරිකාවක් ලෙස අභිෂේක ලැබුවා
 නෙව. විඩූඩභ උපන්නෙත් ක්ෂත‍්‍රීය රජු කෙනෙක් 
නිසා නෙව. එ් නිසා මවගේ ගෝත‍්‍රයෙන් ඇති ඵලය 
කිම? පියාණන්ගේ ගෝත‍්‍රය ප‍්‍රමාණවත් නෙව. 
පුරාණ පණ්ඩිතවරු දර අදින කුලයේ උපන් දිළිඳු 
දියණියක් අග‍්‍රමහේෂිකා ස්ථානයේ තැබූ කතාවක් 
තියෙනවා. ඇයගේ කුසින් උපන් කුමාරයා යොදුන් 
දොළහක් විශාල බරණැස ජනපදයෙහි රජ වෙලා 
‘කට්ඨවාහන රාජා’ නමින් ප‍්‍රසිද්ධ වුණා නෙව” කියල 
බුදුරජාණන් වහන්සේ කට්ඨහාරි ජාතකය දේශනා
 කළා. මෙය ඇසූ රජතුමා සිත සනසාගත්තා.
“එ්ක ඇත්ත. පිය පාර්ශවයෙන් තියෙන පිරිසිදුකම
 ප‍්‍රමාණවත් නෙව” කියල නැවතත් 
වාසභඛත්තියාටත් විඩූඩභටත් කලින් ලැබූ 
තනතුරු ලබාදුන්නා.
ඔය අතරේ තව සිදුවීමක් වුණා. කුසිනාරාවේ මල්ල 
රාජපුත‍්‍රයෙක් වන බන්ධුල නම් කුමාරයෙක් 
කොසොල් රජ්ජුරුවන්ගේ ප‍්‍රධාන සෙන්පතියෙක් 
වුණා. බන්ධුල සේනාපතිට කුසිනාරාවේ මල්ල 
රාජකුමාරිකාවක් වන මල්ලිකා කියා කුමරියක්
 හිටියා. මේ දෙදෙනාට දරුවන් නැහැ. දවසක් මේ 
ගැන බහින් බස් වීමක් ඇති වුණා. බන්ධුල 
සේනාපතියා ”දැන් ඉතින් ඔහේට කරන්න 
තියෙන්නේ ආපහු ගෙදර යන එකයි” කියා ඇයව 
පිටත් කළා. 
ඉතින් ඇය කල්පනා කළා මං ගෙදර යන්නට කළින් 
ශාස්තෘන් වහන්සේව බැහැදැකලා වන්දනා කරලා 
යනවා කියලා. ඇය බුදුරජාණන් වහන්සේට හඬ හඬා කිව්වා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට ගෙදර යන්න 
සිද්ධ වෙලා තියෙනවා.”
“එ් මොකද මල්ලිකා?”
“ස්වාමීනී, මං වඳ එකියක්ලු. දරුවන් බිහිකරන්නට
 අසමර්ථයිලු. අවාසනාවන්තයිලු.”
“මල්ලිකා, ගෙදර යන්න ඕන නෑ. ආපහු බන්ධුලගේ
 නිවසට යන්න.”
මල්ලිකාට හරි සතුටුයි. ඈ ලෝකයක් ජයගෙන වගේ 
මහා ප‍්‍රීතියකින් ශාස්තෘන් වහන්සේට වන්දනා 
කොට බන්ධුල සෙනෙවියාගේ නිවසට ගියා. ගිහින් 
ඇය මෙහෙම කිව්වා.
“මං කොහේවත් යන්නෙ නෑ. දසබලයන් 
වහන්සේ මට වදාළේ කොහේවත් යන්න එපා 
කියලයි.”
එතකොට බන්ධුල සෙනෙවියත් හිතුවා බුදුරජාණන්
 වහන්සේ කුමක් හෝ දුරදක්නා නුවණකින් තමයි
 මෙය වදාළේ කියල. ටික දවසකින් ඇයට දරු 
උපතක ලකුණු පහළ වුනා. එ් සමඟම ඇයට 
දොළදුකක් හටගත්තා. එය ඉෂ්ට කරන්නට හරි 
අමාරුයි. එ් තමයි විශාලා මහනුවර ඉතාමත්ම 
ආරක්ෂා සම්පන්නව තිබෙන අභිෂේක මංගල 
පොකුණේ වතුර නා එම පැන් පානය කරන්නට
 ඇති ආශාවයි. බන්ධුල සෙනෙවියාට මෙය පැවසූ 
විට නිර්භීත සෙනෙවියා එය කරන්නට එකඟ වුණා. 
අශ්ව රථයකට නැගුණු දෙදෙනාම පොකුණ බලා 
පිටත් වුණා. ඔවුන් ඇතුළු වුණේ මහාලි නම් ලිච්ඡවී
 රජතුමා විසින් කරවන ලද දොරටුවෙනුයි. මහාලි 
රජතුමාගේ මාළිගය තියෙන්නේ එ් අසලමයි. එ් රථයේ
 ශබ්දය අසා මහාලි රජතුමා මෙහෙම සිතුවා.
“නොවැරදීම මේ ශබ්දය නම් බන්ධුලයාගේ රථයේ 
ශබ්දයයි. අද ලිච්ඡවීන්ට කිසියම් භයක් උපදිනා 
හැඩයි.”
පොකුණේ ආරක්ෂාව අතිශයින්ම තරකරලයි 
තියෙන්නෙ. පොකුණේ ඇතුළට යන්නටත් බැහැ. 
පිටත සිටින්නටත් බැහැ. උඩින් ලෝහ දැලක් 
අතුරලයි තියෙන්නෙ. නමුත් බන්ධුල සේනාපතියා 
රථයෙන් බැස ආරක්ෂක භටයින්ට පහර දී ඔවුන්ව
 පළවා හැර ලෝහ දැල සිඳ මල්ලිකාව පොකුණට 
බැස්සෙව්වා. ඇය සිතු මනාපයට නා ගත්තා. බන්ධුල 
සෙනෙවියාත් වතුර නෑවා. රථයට නැගී සැණෙකින්
 පලා ගියා.
පොකුණ ආරක්ෂක භටයන් ලිච්ඡවී රජවරුන්ට 
දැනුම් දුන්නා. රජවරුන් හොඳටම කිපුණා.
“බන්ධුල මල්ලයා අල්ලාපියව්” කියා කෑ ගසාගෙන 
පන්සියයක් අශ්වරථවල නැගී පසුපස හඹා ගියා. 
එ් ප‍්‍රවෘත්තිය මහාලි රජ්ජුරුවන්ට දැනගන්න ලැබුණා.
“නුඹලා කවුරුවත් යන්නට එපා! හැමදෙනාම විනාශ 
වේවි.”
“බැහැ…. අපි යනවාමයි.”
“එහෙම නම් බන්ධුලයාගේ රථ රෝදය වැල්ලේ 
භාගයක්ම බැස්සොත් හැරිලා වරෙල්ලා. එයිනුත් 
නොහැරී පසුපස්සෙන් යනවා නම් හෙණ හඬ වැනි 
ශබ්දයක් ඇසුනොත් ආපසු හැරී වරෙල්ලා. නුඹලාගේ
 රථවල සිදුරක් දැක්කොත් යන්නට එපා! හැරී 
වරෙල්ලා….”
ලිච්ඡවී කුමාරවරුන් දැඩි කෝපයෙන් සිටියේ. ඔවුන් 
මහාලි ලිච්ඡවී රජුට සවන් දුන්නේ නෑ. පස්සෙන්
 පන්නාගෙන ගියා. පසු පස්සෙන් එන සේනාව දුටු 
මල්ලිකා කෑගසන්නට පටන් ගත්තා.
“ස්වාමීනී, අන්න මහාසේනාවක් පේනවා….”
“මල්ලිකා, ඔය සේනාව එකම පෙළට එන විට මට
 කියන්න.”
“ස්වාමීනී, දැන් සේනාව එන්නෙ එකම පෙළටයි.”
“එහෙම නම් මේ රැහැන් පට අල්ලා ගන්න. මං වැඩේ
 කරන්නම්” කියල බන්ධුල සෙනෙවියා ඊතලය 
සූදානම් කොට වේගයෙන් අදින්නට වීරිය ගනිද්දී 
කරත්ත රෝදයේ භාගයක්ම පොළොවේ එරුණා.
 ලිච්ඡවීන් එය දැකලත් ආපස්සට හැරුණේ නැහැ. 
තව සුළු වෙලාවකින් හෙණ හඬක් වැනි ශබ්දයක්
 ඇසුණා. එ්ත් ලිච්ඡවී රජවරු නැවතුණේ නැහැ. 
එතකොට බන්ධුල සෙනෙවියා තව එක ඊතලයක් 
විද්දා. එය රථ පන්සීයේම වහලවල් සිදුරු කරගෙන 
ගිහින් පොළොවට වැටුණා. එතකොට ඔවුන් 
”ඔහොම නැවතියන්…. ඔහොම නැවතියන්….” කියල 
බන්ධුල සෙනෙවියාට කෑ ගැසුවා. බන්ධුල සෙනෙවියා
 රථය නවත්වා
“නුඹලා මැරිලා ඉන්නෙ. මැරිච්ච උදවිය සමඟ මගේ 
යුද්ධ කිරීමක් නෑ.”
“නෑ… අපි මැරිලා නෑ… මැරිච්ච අය අපි වගේ 
නොවෙයි.”
“එහෙමනම් සියල්ලන්ටම පිටිපස්සේ ඉන්න 
කෙනාගේ යුද සැට්ටය ගලවන්න. මොකක්ද වුණේ
 කියා බලාගන්න පුළුවනි.”
එතකොට ඔවුන් සියල්ලන්ටම පිටුපසින් සිටිය
 ලිච්ඡවි කුමාරයාගේ යුද සැට්ටය ගැලෙව්වා. එ්
 මොහොතේම ඔහු මැරී වැටුණා.
“නුඹලා සියලු දෙනාම ඔය වගේ තමයි. එ් නිසා 
තමන්ගේ ගෙවල්වලට ගිහින් දූ දරුවන්ට අනුශාසනා 
කොට නුඹලාගේ යුද සැට්ටත් ගලවාගන්න එකයි 
තියෙන්නෙ.”
එ් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්වුණා.
ඉතින් බන්ධුලමල්ලිකාවට නිවුන් දරු උපතක් 
ලැබුණා. ඇයට දහසය වතාවක්ම නිවුන් දරුවන් 
ලැබුණා. සියලු දෙනාම පුතාලා. ඔවුනුත් තාත්තා
 වගේම අතිශයින්ම දක්ෂයි. උස මහතින් යුක්තයි. 
එ් එක එක්කෙනාට පරිවාර පුරුෂයන් දාහ බැගින් 
හිටියා. තමන්ගේ පියා සමඟ රාජ මාළිගාවේ මිදුලට 
රැස් වූ විට ඔවුන්ගෙන්ම රාජාංගණය පිරිලා යනවා.
රජ මාළිගාවෙහි නඩු විභාග කරන තැනට බන්ධුල 
සෙනෙවියා පැමිණි විට යම්කිසි අසාධාරණ
 විනිශ්චයක් සිදුවෙමින් තිබුණා. බන්ධුල සෙනෙවියා
 එහි සැබෑ තතු විචාරා අයිතිකාරයින්ට ඔවුන් සතු 
දේවල් දුන්නා. ජනතාව 
මෙයට පැහැදී මහා හඬින් සාදුකාර දුන්නා. එ් සාදු
කාරය ඇසුණු රජතුමා විනිශ්චය ස්ථානයට බන්ධුල
 සෙනෙවියා පත්කොට අනිත් ඇමතිවරුන්ව තනතුරු
 වලින් පහකළා. එ් ඇමතිවරු බන්ධුල සෙනෙවියා
 කෙරෙහි වෛර බැඳගත්තා. බන්ධුල සෙනෙවියාට 
විරුද්ධව කොසොල් රජතුමාට කේළාම් කිව්වා. 
බන්ධුල සෙනෙවියා රජකම ලබන්නට කූට සැලසුමක්
 කරන බවට දිගින් දිගටම කියන විට කොසොල් 
රජ්ජුරුවන්ට එ් ගැන සැකයක් ඇතිවුණා. නමුත්
 කරන්නට කිසි දෙයක් නැහැ.
‘මං බැරිවෙලාවත් බන්ධුල සෙනෙවියාව මැරුවොත්
 එ්ක ලොකු අර්බුදයක් බවට පත්වෙනවා. එ් නිසා 
කරන්නට තිබෙන්නේ ඈත ජනපදයකට පිටත් 
කොට යවා මරවන එකයි.’
රජතුමා බන්ධුල සෙනෙවියා කැඳෙව්වා.
“ප‍්‍රිය සේනාපතිය, අසවල් ඈත ජනපදය තුළ සොර 
බියක් ඇතිවෙලා තියෙනවා. ඔබේ පුතුන් තිස් 
දෙදෙනා සමඟ වහාම එ් ප‍්‍රදේශයට ගිහින් එය 
සමථයට පත්කරන්න” කියල පිටත් කොට යැව්වා.
 බන්ධුල සෙනෙවියා ඇතුළු පුතුන් තිස්දෙදෙනාගේ
 හිස් රැගෙන එන ලෙස වෙනත් යෝධයන්ව රහසේ
 පිටත් කළා. මේ කිසිවක් නොදත් බන්ධුල සෙනෙවියා
 යන විට සොරු පළා ගියා. ඔහු එම ප‍්‍රදේශයේ 
සෝදිසි මෙහෙයුම් පිණිස නැවතී සිට ආපසු එද්දී 
නගරාසන්නයේ තැනකදී යෝධයින් ගෙන් සියලු 
දෙනාම මැරුම් කෑවා.
රජතුමා මෙම ශෝක පණිවිඩය බන්ධුලමල්ලිකාවට
 ලැබෙන්නට සැලැස්සුවා. රජතුමා බොහෝ දුක්වුණා.
 බන්ධුලමල්ලිකාවට වරයක් දෙන්නටත් පොරොන්දු
 වුණා. මේ සිද්ධියෙන් පස්සේ බන්ධුල සෙනෙවියාගේ
 දරුවන් විවාහ වී සිටි කුමාරිකාවන් සියලු දෙනා 
ඔවුන්ගේ නිවෙස්වලට යන්නට තීරණය කළා.
බන්ධුලමල්ලිකාවත් නැවත කුසිනාරාවට යන්නට
 තීරණය කළා. බන්ධුලමල්ලිකාව රජතුමාගෙන් 
වරයක් හැටියට තම තමන්ගේ නිවෙස් බලා යන්නට 
අවසර ගත්තා.
රජතුමා බන්ධුල සේනාපතියාගේ සහෝදරයෙකු වන
 දීඝකාරායන නම් කුමරාට සේනාපති තනතුර දුන්නා.
 ‘මාගේ මලනුවන් මැරුවේ මොහු විසින් තමයි. මටත් 
අවස්ථාවක් එ්වි’ කියල දීඝකාරායන රජුගෙන් 
පළිගන්නට අවස්ථාවක් බල බලා සිටියා.
රජතුමාට බන්ධුල සෙනෙවියාව නිරපරාදේ ඝාතනය
 කරවීම නිසා කිසි සැනසිල්ලක් ලැබුණේ නැහැ. කිසි
 සතුටක් තිබුණේ නෑ. රජසැපයක් වින්දේ නෑ. එදා 
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේදතලුම්ප නම් 
නියම්ගමේ වැඩසිටිද්දී රජතුමා ද බුදුරජාණන් 
වහන්සේව සොයාගෙන පැමිණියා. 
එහිදී බුදුරජාණන් වහන්සේ සමඟ හුදෙකලාවේ
 කතා කරන්නට ආසා වෙලා රජතුමාගේ
 පංචකකුධ භාණ්ඩ දීඝකාරායන අතට දුන්නා. 
ගන්ධ කුටියට පිවිසුණා.
 බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී පාද පත්මය අල්ලා 
ගෙන සිඹිමින් වන්දනා කළා. එ් අවස්ථාවේ සියලු 
විස්තර ධම්මචේතිය නම් සූත‍්‍ර දේශනාවේ සඳහන් 
වෙනවා. රජතුමා එළියට එන විට කවුරුවත් නැහැ.
 දීඝකාරායන සෙනෙවියා පංචකකුධ භාණ්ඩ රැගෙන
 සේනාව සමඟ ආපහු ගිහින්. රජතුමාට උපස්ථාන 
කරන්නට එක් ස්ත‍්‍රියක් පමණක් නැවතී සිටියා.
කොසොල් රජතුමා මෙහෙම හිතුවා.
‘හොඳයි…. මං සහෝදරයා ළඟට ගිහින් සේනාව 
පිළියෙල කරගෙන විඩූඩභයාව අල්ලගන්නවා’ කියා
 රජගහ නුවරට යද්දී හොඳටම රෑ වුණා. නගරයේ 
ප‍්‍රධාන දොරටුව වසා තිබුණා. එදා හුදෙකලාවේම 
එක් ශාලාවක සීතල සුළං හමද්දී කලන්තෙ හැදිලා 
දාසියගේ ඔඩොක්කුව මත නිදාසිටියා. මධ්‍යම 
රාත‍්‍රියේදී එතනදීම රජතුමා මරණයට පත්වුණා.
විඩූඩභ තනියම ඔටුණු පළඳාගෙන රජවුණා. දැන් 
පළිගන්නට වාරයයි.
“හහ් …. හහ්… හා…! දැන් එක ශාක්‍යයෙක්වත් 
ඉතුරු කරන්නෙ නෑ.”
ආයුධ සන්නද්ධ මහා සේනාව පැමිණ පන්සිල් රකින 
ශාක්‍ය වංශිකයන් ඝාතනය කරන්නට පිටත් වුණා. 
එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර 
සිට කපිලවස්තු නගරය ආසන්නයට අහසින් වැඩියා.
 එතන හොඳට සෙවණ තියෙන විශාල නුගරුකක්
 තියෙනවා. එයට ආසන්නව යන්තම් කොළ තියෙන 
ගසක් තියෙනවා. එ් ගස් සෙවණේ ගිනිමද්දහනේ වැඩසිටියා.
විඩූඩභ කපිලවස්තු රාජ සීමාවට පැමිණුනා. 
බුදුරජාණන් වහන්සේව දැක ළඟට ගිහින් වන්දනා
 කළා.
“ස්වාමීනී, මේ මහා රස්නෙ වෙලාවෙ සෙවණක් නැති
ඔය රුක් සෙවනෙහි මොනවට ඉන්නවාද? අතන
 විශාල නුගරුක යට හොඳ සිසිල් සෙවණක් 
තියෙන්නෙ. එතන වැඩසිටින සේක්වා!”
“මහරජතුමනි, එය එසේ වේවා! නමුත් ඤාතීන්ගේ 
ඡායාවමයි මට සිසිල දෙන්නේ.”
ශාස්තෘන් වහන්සේ ඤාතීන්ව දැකගන්නට පැමිණ
 සිටින්නේ යැයි සිතා බුදුරජාණන් වහන්සේට වන්දනා
 කළ විඩූඩභ නැවත සැවැත් නුවරට පැමිණුනා. 
ඔහුගේ වෛරය අවසන් වෙන්නෙ නෑ. පළිගන්නා 
තුරු සිතට සහනයක් නෑ.
දෙවෙනි වතාවෙත් සේනාව සමඟ පිටත් වුණා. 
බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවෙදිත් ඔහුගේ 
ගමන වැළැක්වුවා. තුන්වෙනි වතාවෙදිත් සේනාව 
සමඟ පිටත් වුණා. තුන්වෙනි වතාවෙදිත් 
බුදුරජාණන් වහන්සේ ඔහුගේ ගමන වැළැක්වුවා.
සතරවෙනි වතාවෙදිත් ඔහු ශාක්‍යයන්ගෙන්
 පළිගන්නට තීරණය කළා. සසරේ කරන ලද 
කර්ම විපාකයක් පල දෙන්නට සූදානම්ව තිබෙන
 බව බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා. තම 
ඤාති වර්ගයා මහපොළොවෙන් අතුගා දමන්නට
 කඩු තල මුවහත් කරමින් සිටින පවිටු විඩූඩභ 
නවත්වන්නට නොහැකිව තිබෙන්නේ එ් කර්ම 
විපාකය නිසා බව වටහා ගත් බුදුරජාණන් වහන්සේ 
එ් වතාවේදී නිශ්ශබ්ද වුණා.
බුදුරජාණන් වහන්සේගේ ඤාතීන් වන ශාක්‍ය 
වංශිකයන් කිසි දවසක මනුෂ්‍ය ඝාතනයක් 
කරන්නෙ නැහැ. ඔවුන්ට නම වැටිලා තිබුණේ 
‘අසත්තඝාතක’ කියලයි. එනම් තමන් මරද්දීත් 
අනුන්ගේ ජීවිත ඝාතනය නොකරන අය කියලයි. 
ශාක්‍ය වංශිකයන් මෙහෙම හිතුවා.
‘මහා ඍෂි වූ අපගේ ඤාතිවරයාණන් වහන්සේ අපව
 හික්මවා තිබෙන්නේ සියලු සතුන් කෙරෙහි මෙත් 
සිත වඩන්නටයි. අපට අනුන්ව මරන්නට 
පුළුවන්කමක් නැහැ. එ් නිසා අපි විඩූඩභගේ 
සේනාවට රිංගලා ඔවුන් ගේම කොටසක් වගේ 
ඉඳලා පැනලා යමු.’
මෙය සැළ වූ විඩූඩභ සේනාවට මෙහෙම කිව්වා.
“එම්බා පුරුෂයෙනි, කවුරුහරි කිව්වොත් අපි 
ශාක්‍යවරුන් කියලා, ඔවුන් සියලු දෙනාම මරාපල්ලා.
 මගේ මෑණියන්ගේ පරපුරේ මහානාම ශාක්‍යයාගේ
 දූවරුන්ට පමණයි ජීවත් වෙන්න දිය යුත්තේ.”
සේනාව ශාක්‍යවරුන්ව මරද්දී ඇතැම් ශාක්‍යවරුන් 
ගිහින් තණකොළ බදාගන්නවා. ඇතැම්
 ශාක්‍යවරුන් ගිහින් උණ පඳුරු බදාගන්නවා.
“කියාපල්ලා…. තොපි ශාක්‍යවරු නේද?”
“අනේ…. මේවා ශාක නොවේ. මේවා තෘණ. 
අනේ… මේවා ශාක නොවේ. මේවා උණ” කියා
 කියන්න පටන් ගත්තා. එ් කවුරුවත් ඉතුරු කළේ නෑ.
 නමුත් ඔවුන් ගෙන් බේරුන අයට තෘණ ශාක්‍යයන්, 
උණ ශාක්‍යයන් කියල නම් පටබැඳුණා. ශාක්‍ය 
වංශිකයන්ගේ මළකඳන් රැස්වීම් ශාලාවල් පුරා 
ගොඩගැහුවා. එදා විඩූඩභ වාඩි වී සිටි කිරි වලින් 
දෙවූ ආසනය ශාක්‍යයන්ගේ හිස ගසා ගලා ගිය 
උණු ලේ වලින් සේදුවා.
ඔවුන් මහානාම ශාක්‍යයාව අල්ලාගත්තා. ”නුඹ දැන් 
අපිත් සමඟ උදේ ආහාර ගන්නට ආ යුතුයි” කිව්වා. 
ශාක්‍ය වංශිකයන් හීන කුලීනයන් සමඟ ආහාර 
නොගන්න බව මොවුන් දන්නවා. ජීවිතය ගියත් 
දාසියෙකුගේ පුත‍්‍රයෙකු සමඟ ආහාර නොගන්න
 බව දන්නවා. මහානාම ශාක්‍යයා විඩූඩභට මෙහෙම 
කිව්වා.
“පුත‍්‍රය, මගේ ශරීරය අපවිත‍්‍රයි. මට දැන් නාගන්නට
 ඕන” කියල.
මහානාම ශාක්‍යයා මෙහෙම සිතුවා. ‘මං මොවුන් 
සමඟ ආහාර නොගත්තොත් මේ උදවිය මාව 
මරනවාමයි. ඊට වඩා හොඳයි මම තනියම 
මැරෙනවා’ කියල මහානාම රජු කෙස් කළඹ ලිහා
 දැම්මා. එහි කොණ ගැටයක් ගැසුවා. එ් ගැටය
 පාදයේ ඇඟිලිවල පටලවා ගත්තා. ඉන්පසු වතුරේ
 ගිලුණා. ගඟ යටට කිමිදුණා. මහානාම ශාක්‍යයා 
විසින් මෙය කරන ලද්දේ දියේ ගිලී මිය යන්නටයි. 
මහානාම ශාක්‍යයාගේ ගුණ තේජස නිසා දිය යටින් 
පැමිණි නාගරාජයෙක් ඔහුව පෙණය මත හිඳුවා 
ගෙන නාග භවනයට රැගෙන ගියා. මහානාම 
ශාක්‍ය රජු එ් නාග භවනයෙහි දොළොස් අවුරුද්දක් 
ජීවත් වුණා.
විඩූඩභ ගේ රථ එරුණ තැන අදටත් දකින්න පුලුවන්.

විඩූඩභ එදා ”මාගේ මුත්තණුවන් දැන් ගොඩට එ්වි. 
දැන් ගොඩට එ්වි” කියා බලගෙන සිටියා. නම කියා 
කෑ ගැසුවා. මිනිසුන්ව දිය යටට බස්සලා සෙව්වා. 
හමුවුනේ නෑ. ඉන්පසු ඔවුන් සේනාව සමඟ ආපසු 
හැරී ආවා. අචිරවතී ගංගාව අසබඩ වැලිතලාවේ 
ඔවුන් ගිමන් හැරියා. ඔවුන් අතරින් එ් පවට සහභාගී 
නොවුණු අය වාඩිවුණු වාඩිවුණු තැන තෙල් කුහුඹි 
මතු වුණා. ඉතින් ඔවුන් වැලිතලාවෙන් ඔබ්බට නැගී 
ගොස් කඳු ගැටයක නිදාගත්තා. පව්කාරයන් සියලු 
දෙනාම වැලිතලාවේ හාන්සි වුණා. හොඳට නින්ද 
ගියා. උඩහ ප‍්‍රදේශයට කඩා හැලුණු මහා වැස්සක් 
නිසා අචිරවතී ගඟෙහි ජල පහර වේගයෙන් ගසා
ගෙන විත් විඩූඩභ ඇතුලු සියලු දෙනාම ගසාගෙන 
ගියා. ඔවුන් සියලු දෙනාම මරණයට පත්වුණා.
මේ අතිශයින්ම සංවේගජනක අනුවේදනීය කථාව 
අංග, මගධ, කාසි, කෝසල ආදී සියලු ජනපදවාසීන්
 තුළ මහා කම්පාවක් ඇතිකළා. ඔවුන් දින 
ගණනාවක් කම්පාවෙන් සිටියේ. ශාක්‍ය වංශිකයන් 
මහ පොළොවෙන් සදහටම අතුරුදහන් කරන්නට
 එකම එක පව්කාරයෙකුගේ පවිටු සිතුවිල්ල
 ප‍්‍රමාණවත් වුණා.
භික්ෂූන් වහන්සේලා අතරද මේ සංවේගජනක
 ප‍්‍රවෘත්තිය රැව් පිළිරැව් දුන්නා. විඩූඩභ මෙතරම් 
ශාක්‍යයන් මරලා තමන්ගේ මනෝ රථය මුදුන්පත්
 කරගන්නට නොහැකිවම මහා සාගරය දක්වා 
ගසාගෙන ගොස් මාළුන් හට ආහාර බවට පත්වුණා
 කියා කතා බස් වන විට බුදුරජාණන් වහන්සේ 
වදාළේ මේ ගාථාරත්නයයි.

මේ කථාව මා ඇසුවේ පින්වත් ලොකු ස්වාමීන් වන 
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගෙනි.