බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Monday, December 16, 2013

ථේර ගාථා - 31



සෝපාක තෙරුණ් ගේ ගාථාව. 

තමන් ගේ එකම දරුවාට සෙනෙහෙවන්ත වෙන පරිද්දෙන් ම යි සියලු සත්වයන් ගැනම සෙනෙහෙවන්ත විය යුත්තේ.

 මේ වනාහී ආයුශ්මත් සෝපාක නම් රහත් මුණිඳුන් වඳාළ ගාථාවයි. 

Sunday, December 15, 2013

ථේරි ගාථා - දුක නිපාතෝ 8




අභය මාතා තෙරණිය ගේ ගාථා.

පිංවත් අම්මේ, මේ යටිපතුලෙන් උඩත්, කෙස් රොදින් යටත්, අතර පවතින මේ කුණුවෙලා යන පිළිකුල් ශරීරය දිහා නුවණින් ම බලන්න. 

(තම පුතාවූ අභය තෙරුන් ගේ අවවාදය අනුව )
මං ඒ විදිහටම ජීවිතේ දිහා බැලුවා. හැම රාගයක්ම නැති කරල දැම්ම. දැන් මං සිහිල් උන කෙනෙක්. 

මේ වනාහී අභය මාතා නම් රහත් තෙරණිය වදාල  ගාථාවන් ය.


'Upward from sole of foot, O mother dear,
Downward from crown of hair this body see.
Is't not impure, the evil-smelling thing?' 


This have I pondered. meditating still,
Till every throb of lust is rooted out.
Expunged is all the fever of desire.
Cool am I now and calm–Nibbana's peace. 

Abhayā's Mother.

Heaping up merit under former Buddhas, she, in the time of Tissa Buddha, saw him going round for alms, and with glad heart took his bowl and placed in it a spoonful of food. Reborn for that among gods and among men, she was born also for that, in this Buddha-dispensation, and became the town belle of Ujjenī, by name Padumavatī.  And King Bimbisāra (of Magadha) heard of her, and expressed to his chaplain the wish to see her. By the power of his spells, the chaplain summoned a Yakkha who, by his might, brought the King to Ujjenī. And when she afterwards sent word to the King that she was with child by him, he sent back word, saying: 'If it be a son, let me see him when he is grown.' And she bore a son and called him Abhaya. When he was seven years old she told him who was his father, and sent him to Bimbisāra. The King loved the boy, and let him grow up with the boys of his court. His conversion and ordination is told in the Psalms of the Elders.  And, later on, his mother heard her son preach the Dhamma, and she, too, left the world and afterwards attained Arahantship, with thorough grasp of the Dhamma in form and meaning. She thereupon recalled and repeated the verse wherewith her son had admonished her, and added her own thereto:



Abhayā.

She, too, having made her resolve under former Buddhas, and heaping up merit of age-enduring efficacy in this and that state of becoming, was, in the time of Sikhi Buddha,  reborn in a great noble's family, and became the chief queen of his father Aruṇa. And one day she worshipped the Exalted One with offering of red lotuses given her by the King, when Sikhi Buddha, at alms-time, entered the palace. Reborn for this among gods and men, she was, in this Buddha-dispensation, born once more at Ujjenī in a respectable family, and became the playmate of Abhaya's mother. And when the latter had left the world, Abhayā, for love of her, also took orders. Dwelling with her at Rājagaha, she went one day to Cool-Grove to contemplate on a basis of some foul thing.  The Master, seated in his Fragrant Chamber, caused her to see before her the kind of object she had been directed to choose. Seeing the vision, dread seized her. Then the Master, sending forth glory, appeared as if seated before her, and said:


Brittle, O Abhayā, the body is,
Whereto the worldling's happiness is bound.
For me I shall lay down this mortal frame,
Mindful and self-possessed in all I do.
For all my heart was in the work whereby
I struggled free from all that breedeth Ill.
Craving have I destroyed, and brought to pass
That which the Buddhas have revealed to men.

Saturday, December 14, 2013

ධම්ම පදය - චිත්ත වර්ගය 4



උකටලී භික්ෂුවකගේ කථා වස්තුව

සිත රැකගත්තොත් සැප ලැබෙනවාමයි

සුදුද්දසං සුනිපුණං - යත්ථ කාමනිපාතිනං
චිත්තං රක්ඛේථ මේධාවී - චිත්තං ගුත්තං සුඛාවහං

සිතේ ඇත්ත ස්වභාවය දකින එක හරිම අමාරුයි. ඒ සිත ගොඩාක් සියුම්. හිතුමනාපෙ ආසකරන දේටම ඇදිලා යනවා. බුද්ධිමත් කෙනා තමයි එබදු සිත නො මගට වැටෙන්න නො දී රැක ගන්නෙ. හොඳින් රැක ගත් සිතින් මහා සැපයක් ලබන්න පුළුවනි.

පින්වතුනේ, පින්වත් දරුවනේ,
සිතේ ස්වභාවය දකින එක ලෙහෙසි නෑ. ඒකට හේතුව අපි බොහෝ කලක් තිස්සේ මම කියා සිතාගෙන සිටින්නේ සිත ගැනයි. සිත පැහැදිලිවම දැකගන්නට අසීරු නිසා බොහෝ දෙනෙක් මේ සිතටමයි රැවටෙන්නෙ. නමුත් මේ රැවටීමෙන් බේරිලා සිතේ සැබෑ ස්වභාවය හඳුනාගෙන අකුසලයට වැටෙන්නට නොදී සිත රැකගන්නා වීරියවන්තයන් ඉන්නවා. එබඳු වීරියවන්තයන් වුනත් යම් යම් අවස්ථාවන්වලදී මේ සිතේ ඇති මායාකාරී ස්වභාවයන් නිසා පසුබසින අවස්ථාවන් තිබෙනවා. එවැනි මොහොතකදී අවවාද කොට මේ සිතේ ස්වභාවය පෙන්වාදී නැවත ධර්මය තුළ පිහිටුවන්නේ කළ්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා විසිනුයි. මෙතෙක් ලොව පහළ වූ උතුම්ම කළ්‍යාණ මිත‍්‍රයන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ආධාර ලබාගෙන සසර දුකින් අත් මිදුන ස්වාමීන් වහන්සේ නමක් ගැනයි මෙහි සඳහන් වන්නේ.

සැවැත් නුවර එක්තරා සිටු පවුලක් සිටියා. ඒ සිටු පවුලේ එකම තරුණ දරුවා ඉතාමත් ශ‍්‍රද්ධාවන්තයි. ඒ ශ‍්‍රද්ධාව ඔහු තුළ ඇතිවුනේ කළ්‍යාණ මිත‍්‍ර වූ ස්වාමීන් වහන්සේ නමක් නිසයි. ඒ ගුණවත් ස්වාමීන් වහන්සේගේ ඇසුර නිසා මේ තරුණයාට චතුරාර්ය සත්‍යය ගැන විස්තර වශයෙන් අසන්නට ලැබුනා. මේ තරුණයාගේ ශ‍්‍රද්ධාව තව තවත් දියුණු වුනා. බුදුරජාණන් වහන්සේ ගැන මහත් සේ පැහැදුනා. ඒ ශ‍්‍රී සද්ධර්මය ගැනත් පැහැදුනා. මග ඵල ලාභී සඟරුවන ගැනත් පැහැදුනා.

මේ තරුණ කුමාරයා සේඛබල පහම හොඳින් පිහිටුවා ගත්තා. සේඛබල කියන්නේ ධර්ම මාර්ගයට පැමිණි ශ‍්‍රද්ධාවන්ත ශ‍්‍රාවකයින් විසින් හික්මිය යුතු ගුණ ධර්ම පහකටයි. ඒ කියන්නේ ඒ ශ‍්‍රාවකයා තුළ ශ‍්‍රද්ධාව නම් වූ සේඛ බලය තිබිය යුතුයි. එතකොට ඔහු ශ‍්‍රද්ධාව තුළ හික්මෙනවා. ඒ වගේම සීලය නම් වූ සේඛ බලය තිබිය යුතුයි. එතකොට ඔහු සීලය තුළත් හික්මෙනවා. ඒ වගේම සුත නම් වූ සේඛ බලය තිබිය යුතුයි. එතකොට ඔහු බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුද්ධ දේශනා ඉගෙන ගන්නවා. විස්තර වශයෙන් තේරුම් ගන්නවා. චතුරාර්ය සත්‍යය ධර්මය විස්තර වශයෙන් ඉගෙන ගන්නවා. ඒ ධර්මය මතක තබාගන්නවා. මතක තබා ගත් ධර්මය වචනයෙනුත් පුරුදු කරනවා. වචනයෙන් පුරුදු කරනා ධර්මය නුවණින් මෙනෙහි කරනවා. ඒකට තමයි සුත බලය කියන්නෙ. ඒ වගේම චාග නම් වූ සේඛබලයද තිබිය යුතුයි. ඒ කියන්නේ ඔහු දන් දෙන කෙනෙක්. දන් දීම පිණිස දෑත සෝදාගෙන සිටින කෙනෙක්. ඉතාමත්ම ශ‍්‍රද්ධාවෙන් සංඝෝපස්ථාන කරන කෙනෙක්. වැඩිහිටියන් පුදන කෙනෙක්. මව්පිය උපස්ථාන කරන කෙනෙක්. දැසි දස්සන්ට සේවක කාරකාදීන්ට උපස්ථාන කරන කෙනෙක්. ඤාති සංග‍්‍රහ කරන කෙනෙක්. දුගී මගී යාචකාදීන්ට දන් දෙන කෙනෙක්. මේ තමයි ත්‍යාග නම් වූ බලය. ඒ වගේම පඤ්ඤා නම් වූ සේඛ බලයද තිබිය යුතුයි. ඒ කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ පංච උපාදානස්කන්ධ, ආයතන, ධාතු, පටිච්චසමුප්පාද ආදී ගැඹුරු ධර්මය ගැන නුවණින් විමසනවා. ජීවිතයේ තිබෙන යථා ස්වභාවය විනිවිද දකින්නට සමර්ථ වූ තියුණු විමසීම් නුවණක් ඇති කරගන්නවා. ඒක තමයි ඔහු තුළ තියෙන ප‍්‍රඥාව නම් වූ සේඛ බලය.

ඉතින් මේ කුමාරයා මේ සේඛ බල පහත් තමන් තුළ දියුණු කරගන්නට මහන්සි ගත්තා. ගිහි ජීවිතයේ ඇති කරදර කම්කටොලූ ගැන ටිකෙන් ටික වැටහෙන්නට වුණා. සියලූ බැඳීම් වලින් නිදහස් වූ, පරම පවිත‍්‍ර වූ ජීවිතයක් පැවිදි බව තුළ දියුණු කරගත හැකි ආකාරය වැටහෙන්නට වුනා. ඒ නිසා මේ තරුණයා මව්පිය අවසරය ගෙන අර ස්වාමීන් වහන්සේ ළඟට ගියා. උන්වහන්සේගේ උපදෙස් ලබා ගෞතම බුදු සසුන තුළ පැවිදි වුනා.
පැවිදි වූ දා සිට මේ ස්වාමීන් වහන්සේට ඉතාම හොඳ කළ්‍යාණ මිත‍්‍රයන් වහන්සේලාගේ ආශ‍්‍රය ලැබුනා. එක ස්වාමීන් වහන්සේ නමක් ධර්මය ඉගැන්නුවා. අනිත් ස්වාමීන් වහන්සේ විනය ඉගැන්නුවා. එතකොට මේ අලූත පැවිදි වූ ස්වාමීන් වහන්සේට විනය ශික්ෂා පද එකින් එක ඉගෙන ගනිද්දී තේරුනේ තමන්ගේ නිදහස ඇහිරෙන බවයි. සිතු මනාපයට කිසිසේත්ම කටයුතු කළ නොහැකි බවයි. සිතේ ඇති වූ ප‍්‍රමාදය නිසා එම විතර්කය ටික ටික බලවත් වුනා. සිත නොසන්සුන් වුනා. සිත කලබල වුනා. සිතේ ස්වභාවය අපැහැදිලි වුනා. ඊට පස්සේ නිදහස කියල හිතුවෙ සිවුරු හැරයාමයි. මේ ස්වාමීන් වහන්සේ තුළ සතුටක් නැති බව වැටහුන ආචාර්යයන් වහන්සේලා විසින් කරන ලද්දේ මේ ස්වාමීන් වහන්සේව බුදුරජාණන් වහන්සේට මුණගැස්ස වීමයි. බුදු රජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේගේ නොසතුටට කාරණාව විමසා වදාළා.

තමන්ගේ ඇත්ත ස්වභාවය නොසඟවා මතු කරන ආජානේය අශ්වයෙක් වගේ, තමාගේ සිතේ ඇති ස්වභාවය මතු කර පෙන්නන දමනය වනු කැමති හස්තිරාජයෙක් වගේ මේ ස්වාමීන් වහන්සේ ඉතාම නිහතමානීව තමන්ගේ සිතේ ඇති වී තිබෙන මේ ලාමක ස්වභාවය ගැන පවසා සිටියා. අනේ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම මේ බුද්ධ ශාසනයේ පැවිදි වුනේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමේ ආශාවෙන්මයි. ඒ සඳහා මම ධර්ම විනය ඉගෙන ගනිද්දි මට මහා අපහසුවක් දැනුනා. මට හිතුනේ මම ටිකෙන් ටික හිර වෙනවා වගේ. හිතුමනාපේ අතපය දිග හරින්නට තරම් වත් අවසරයක් නෑ වගේ. එතකොට මට හරි අපහසුවක් දැනුනා. එන්න එන්නම හිත විසිරුනා. හිතේ ස්වභාවය හරිම අපැහැදිලියි. එතකොට මට හිතුනා මේ පැවිදි ජීවිතය ගත කරන එක මට හරි දුෂ්කරයි. මං ආයෙමත් ගිහි වෙනවා. එතකොට මට කලින් වගේ සංඝෝපස්ථාන කරන්නටත් පුළුවනි. පින් දහම් කරගන්නටත් පුළුවනි කියල.

එවේලෙහි බුදුරජණන් වහන්සේ මේ හිතේ ස්වභාවය අපහැදිලි වන්නේ පංච නීවරණ බලපවත්වන විට බවත් පෙන්වා වදාළා. මේ සිතේ ස්වභාවය දැකීමට දුෂ්කර බව පෙන්වා වදාළා. මේ සිතේ ක‍්‍රියාකාරීත්වය ඉතාමත් සියුම් බව පෙන්වා වදාළා. ආසා කරන අරමුණු වලමයි මේ සිත කැරකි කැරකි යන්නෙ. ආස කරන අරමුණුවල බැසගෙන සිටීම පිණිස මේ සිත එක එක වෙස් ගන්නවා. දැන් පින් කරගැනීමේ වේශයෙන් මේ සිත දඟලන්නේ දමනය නොවී පරණ පුරුද්දට වැටෙන්නටයි. මේකට රැවටෙන්න එපා. මේ සිතේ ඇති මායාකාරී ස්වරූපය හඳුනාගන්න ඕන. ඒ වගේම නොයෙක් අකුසල් මේ සිතට ඇතුළු වන්නට නොදී රැක ගන්නත් ඕන. මේ සිත රැකගෙන සතර සතිපට්ඨානයෙහි හොඳින් පිහිටුවා ගන්නත් ඕනෙ. එතකොට තමයි අපට මහා සැපයක් ලබා ගැනීමට පුළුවන් වන්නේ.



සුදුද්දසං සුනිපුණං යත්ථ කාමනිපාතිනං
චිත්තං රක්ඛේථ මේධාවී චිත්තං ගුත්තං සුඛා වහං

හඳුනා ගැනුම මේ සිත පහසුවෙන් කළ නොහැකිය
සියුම් ලෙස හැසිරෙන සිත ඇලෙයි මේ සිත ආස දෙයටම
නැණවතා මේ සිත දැන හොඳින් රැකගත යුතුමය
හොඳින් රැකගත් සිත මහත් සැපයකි ලබා දෙන්නේ.

පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් ඔබට මේ සිත ගැන ටිකක් හෝ වැටහෙනවා ඇති. අපි හිතනවාට වඩා මේ සිතේ ස්වභාවය තේරුම් ගන්නා එක ඉතාමත් දුෂ්කරයි. අපි මොනතරම් මේ සිතට රැවටෙනවාද? එහෙම රැවටෙන්නේ මේ හිතේ ස්වභාවය හඳුනාගන්නට ඇති අපහසුව නිසාමයි. සිත අතට හසුවන එකක් නොවේ. සිහියෙන්මයි, වීරියෙන්මයි, නුවණින්මයි සිතේ ස්වභාවය අල්ලා ගන්නට තියෙන්නේ. ඉතින් එහෙම වන්නේ සිත සියුම් නිසයි. නමුත් බුද්ධිමත් කෙනා සිත කිලූටු වීම නිසා ජීවිතය කිලූටු වන ආකාරය හොඳින් තේරුම් ගන්නවා. ඒ නිසා අකුසල්වලට සිත ඩැහැ ගන්නට ඉඩතියන්නෙ නැහැ. ඔහු සිත රැකගන්නවා. එහෙම රැක ගන්න සිත තමයි නිවන් මග තුළ යොදවන්නෙ.

බුදුරජාණන් වහන්සේ තමයි පළමුවෙන්ම මේ සිත ජය අරගෙන ලෝකය ඉදිරියේ අභිමානවත් ලෙස නැගී හිටියේ. සිතට වසඟ වූ ලෝකයට මෙය අදහාගත නොහැකි තරම් අසිරිමත් දෙයක්. සාමාන්‍යයෙන් සසරේ ගමන් කරන ජීවිත තුළ තියෙන්නේ අවබෝධයක් නැති කමයි. ඒ නිසා හැම තිස්සේම ඒ අවබෝධයක් නැතිකම නම් වූ අඳුරට තමයි සත්වයා ඇදී යන්නේ. එයින් නිදහස් වන්නට නම්, අවබෝධයක් ලැබිය යුතුයි.


බුදුරජාණන් වහන්සේ දඹදිව් තලය සිසාරා පා ගමනින් වැඩම කරමින් ධර්ම දේශනා කොට වදාළේ මේ සිත ජය ගැනීම පිණිසයි. මේ සිත දමනය කිරීම පිණිසයි. සිත වසඟ කළ සියල්ලෙන්ම නිදහස් වීම පිණිසයි. බුදුරජාණන් වහන්සේගේ එම ධර්ම දේශනා වලින් මිනිසුන් ලැබූ ආධ්‍යාත්ම ශක්තිය විශ්මයජනකයි. සිත ජය ගත නොහැකිව පසුබටව සිටි ජනයා එම සිත ජය ගැනීම තුළින් අභිමානවත් ලෙස නැගී සිටියා. එසේ සිදු නොවුනේ නම් ලෝකයේ කිසිදාක රහතන් වහන්සේලා බිහි වන්නේ නැහැ. රහතන් වහන්සේලා යනු සිත දමනය කළ, සිත ජයගත්, සිතට වසඟ නොවූ අභිමානවත් චරිත සංවර්ධනයක් ඇති කරගත් මනුෂ්‍ය රත්නයන් හැටියටයි ලොව දිස්වන්නේ. එනිසා ඒ සඳහා මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් විට ලොව අලූත්ම යුගයක් උදාවුනා. එදා දඹදිව් තලයේ සිටි මිනිසුන් ගෙන් බොහෝ දෙනෙක් බුදු සසුන කෙරෙහි පැහැදුනා. බුදුරජුන් ළඟ පැවිදි වුනා. සිත දමනය කළා. සිත ජයගත්තා. රහතන් වහන්සේලා බවට පත්වුනා. එපමණක් නොවෙයි, උන්වහන්සේලා අහසින් වැඩියා. ජලයේ සක්මන් කළා. පොළොවේ කිමිදුනා. ඉර්ධි බලයෙන් හිරු සඳු ස්පර්ශ කළා. නොපෙනෙන ලෝක සමඟ කතා බස් කළා. දෙවියන් සමඟ සාකච්ඡා කළා. දුර ඈත සිටින සත්වයන් සමඟ කතා බස් කළා. අනුන්ගේ සිත්වල ස්වභාවය මැනවින් දැනගත්තා. තමන් සසරේ ගමන් කළ ආකාරය තමන් තුළින්ම දැනගත්තා. මිනිසුන් මියයන ආකාරයත්, උපදින ආකාරයත් දැනගත්තා. කෙළෙසුන්ගෙන් නිදහස් වන ආකාරයත් දැනගත්තා. මේ සියලූ දේ කළේ බාහිර උපකරණවල ආධාරයෙන් නො වෙයි. සිත ජයගැනීමෙන්මයි. සිත ජයගත් කල්හි ඔහුට ජය නොගත හැකි දෙයක් ඇද්ද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

Thursday, September 19, 2013

ධම්ම පදය - චිත්ත වර්ගය 3


දුන්නිග්ගහස්ස ලහුනෝ – යත්ථ කාමනිපාතිනෝ

චිත්තස්ස දමථෝ සාධු – චිත්තං දන්තං සුඛා’වහං

නිගරු කොට මේ සිතට – අසීරුය දමනය කරන්නට
වෙනස් වෙයි හැමවිටම – ඇලෙයි මේ සිත ආස දෙයටම
මේ ලෙසින් පවතින සිත – දමනය කෙරුම යහපති
දමනයට පත් වූ සිත – මහත් සැපතකි ලබා දෙන්නේ.

නිගරු කොට මේ සිතට – අසීරුය දමනය කරන්නට
වෙනස් වෙයි හැමවිටම – ඇලෙයි මේ සිත ආස දෙයටම
මේ ලෙසින් පවතින සිත – දමනය කෙරුම යහපති
දමනයට පත් වූ සිත – මහත් සැපතකි ලබා දෙන්නේ.

මේ ‘සිත’ කියන්නේ නිග‍්‍රහ කරලා දමනය කරන්නට 
අමාරු දෙයක්. එක මොහොතින් වෙනස් වෙනවා. 
ආස කරන දේටමයි ඇදිලා යන්නේ. එබඳු සිතක් දමනය 
කරගැනීම කොයිතරම් හොඳ දෙයක්ද. දමනය කළ 
සිතින් මහා සැපයක් ලබන්නට පුළුවනි.
(සැවැත් නුවරදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)

බුදුරජාණන් වහන්සේගේ කාලෙ බොහෝ භික්ෂූන් වහන්සේලා මේ සිත ජයගත්තා. ඒ ජයගැනීම කළේ අප‍්‍රමාදය නිසාමයි. හිත කාම අරමුණුවල වැටෙද්දී කැමති කැමති අරමුණුවල බැසගනිද්දී එයින් බැහැර කොට සතර සතිපට්ඨානයේ නැවත නැවත පිහිටුවා ගන්නට දක්ෂ කෙනා විතරයි මේ සිත ජයගන්නෙ.

කොසොල් ජනපදයේ අල්ලිගාම නම් ගමක් තිබුනා. මේ ගමට වස් වැසීමට ස්වාමීන් වහන්සේලා හැට නමක් වැඩම කළා. ඒ 
ගමේ ප‍්‍රධාන දායිකාව වුනේ මාතිකමාතා නමින් ප‍්‍රසිද්ධ වූ ඉතාමත්ම කරුණාවන්ත උපාසිකා මාතාවක්. එතුමිය ස්වාමීන් වහන්සේලා සීල, සමාධි, ප‍්‍රඥා දියුණු කරගන්නවාට ඉතාමත්ම කැමතියි. උන්වහන්සේලාගේ ධර්ම මාර්ගය දියුණු වන ආකාරයට ඇප උපස්ථාන කිරීම ගැන හැමතිස්සේම කල්පනා කළා.


ස්වාමීන් වහන්සේලාත් මාතිකමාතා මහෝපාසිකාව නිසා වඩවඩාත් උත්සාහවන්ත වුනා. වීරියවන්ත වුනා. උන්වහන්සේලා කතා වුනා.

“පින්වත් ආයුෂ්මතුන් වහන්ස, දැන් බලන්න…. අපගේ මේ මාතිකමාතා මෑණියන් බලවත් ශ‍්‍රද්ධාවකින් අපට දන් පැන් පූජා කරනවා. ඉතාමත් ප‍්‍රණීත ආකාරයෙන් දන් පැන් පූජා කරනවා. අපගේ කුටිවල අඩු පාඩු සොයා බලනවා. සේනාසන පහසුකම් සපයනවා. සක්මන් මළු තනවනවා. පැන් පොකුණු තනවනවා. අපි සියලූ දෙනා මේ ධර්ම මාර්ගය දියුණු කරගන්නවාට මාතිකමාතා මෑණියන් මොනතරම් ශ‍්‍රද්ධාවෙන් කැපවෙලා ඉන්නවද. අපිත් බාහිර කතා බහට යොමුවෙන්න හොඳ නෑ. අනවශ්‍ය දේවල්වල පැටලෙන්න හොඳ නෑ. නිවන් මගට බාධක කරුණු සිතන්න හොඳ නෑ. ඒ නිසා වැඩිපුර මුනිවත රකිමු. නිශ්ශබ්ද වෙලා ඉමු. සතියකට වරක් විතර ධර්ම සාකච්ඡා කළහම ඇති. පින්වත් ආයුෂ්මතුන් වහන්ස, අපට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ විදිහටයි නේද?

‘සන්නිපතිතානං වෝ භික්ඛවේ, ද්වයං කරණීයං වදාමි. ධම්මීවා කථා අරියෝවා තුණ්හීභාවෝ.’

පින්වත් මහණෙනි, ඔබ විසින් එක් රැස් වූ විට කරුණු දෙකක් කළ යුතු යැයි කියමි. එක්කෝ ධර්ම කථාව කළ යුතුය. එසේ නැත්නම් නිශ්ශබ්දව භාවනා කළ යුතුය.

ඉතින් පින්වත් ආයුෂ්මතුන් වහන්ස, අපි ඒ දෙකම ඉෂ්ට කර ගැනීමට නුවණින් යුක්තව කටයුතු කරමු.” කියල ඒ ස්වාමීන් වහන්සේලා ඉතාමත් සමඟි සම්පන්නව කතා බස් කළා. වාද විවාද කරගත්තෙ නෑ. ඉතාමත් සතුටු වුනා. කිරියි, වතුරයි එක්වුනා වගේ එකිනෙකා මහත් මෛත‍්‍රී සහගත සිතින් වාසය කළා.

දවසක් මාතිකමාතා මහෝපාසිකාව සංඝෝපස්ථාන පිණිස සේනාසනයට පැමිණියා. කිසි කෙනෙක් පෙනෙන්න නැහැ. පාළු වෙලා තිබුනා. එතුමිය මේ ගැන කල්පනා කළා. එතකොට ගෙඩිය ගසනවා ඇසුනා. ටික වෙලාවකින් පොඩි පොඩි අඩිපාරවල් දිගේ බිමට නැඹුරු වූ නෙතින් යුතුව ඉතාමත්ම නිශ්ශබ්දව, ඉතාමත්ම ශාන්තව ස්වාමීන් වහන්සේලා වැඩියා. ස්වාමීන් වහන්සේලාට වන්දනා කළ මාතිකමාතාව ශෝකභරිතව කථා කරන්නට පටන් ගත්තා.

අනේ ස්වාමීන් වහන්ස, ඔබවහන්සේලා අමනාප වී සිටිනා හැඩයි. අහෝ….! මෙවන් උදාර වූ බුදු සසුනක පැවිදි වූ ඔබවහන්සේලා සිත විතරක් කිලූටු කරගන්න එපා! අමනාපය ඇතිකරගන්නට එපා! තරහ සිත් ඇතිකරගන්ට එපා! ක්‍රෝධය ඇති කරගන්නට එපා! ඔබවහන්සේලාගේ නිවන් මග ඒ තුළින්ම වැනසිලා යාවි.

පින්වත් උපාසිකා මෑණියනි, අපි අමනාප වෙලා නැහැ. තරහ වෙලත් නැහැ. අපි කවුරුවත් එකිනෙකාට ක්‍රෝධ කරන්නෙත් නැහැ. අවලාද කියාගන්නෙත් නැහැ. අපහාස කරගන්නෙත් නැහැ. අපි එකිනෙකා දෙස බලන්නෙ ප‍්‍රිය මනාප වූ සිතින් යුක්තවයි. මුහුණු පුළුටු කරගෙන නොවෙයි. පින්වත් උපාසිකා මෑණියනි, අපගේ බුදුරජාණන් වහන්සේ අපට වදාළේ, නිශ්ශබ්දතාවයම බහුල වශයෙන් පවත්වන්න කියලයි. එක්රැස්වූ විට එක්කො ධර්ම කථාව කරන්න. නැත්නම් පාඩුවෙ භාවනා කරන්න කියලයි. ඉතින් අපි ඒ නිශ්ශබ්දතාව තමයි මේ පුරුදු කරන්නෙ.

සාදු! සාදු! පින්වත් ස්වාමීන් වහන්ස, සමඟි වූ භික්ෂූන් වහන්සේලා සමඟි සම්පන්නව බණ භාවනා කරනවා දැකීමත් වාසනාවක්මයි. අනේ ස්වාමීනී, සතර සතිපට්ඨානය වඩන්නට මමත් ආසයි. සතිපට්ඨානය තුළ සිත පිහිටුවා ගන්නට තිබෙනවා නම්, මොනතරම් වාසනාවක්ද. පින්වත් ස්වාමීන් වහන්ස, ගිහි ගෙදර මොන තරම් කටයුතු තිබුනත්, සිත දියුණු කරන මේ ධර්මය නම් අත්හරින්ට හොඳ නෑ.

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, අර ස්වාමීන් වහන්සේලා මාතිකමාතා මහෝපාසිකාවට සතර සතිපට්ඨානය ඉගැන්නුවා. අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යය ගැන විස්තර වශයෙන් කියල දුන්නා. ප‍්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යය ගැන විස්තර වශයෙන් කියල දුන්නා. දුක්ඛ නිරෝධය නම් වූ ඒ අමා මහ නිවන ගැන විස්තර වශයෙන් කියල දුන්නා. දුකෙන් නිදහස් වන ඒකායන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් විස්තර වශයෙන් කියල දුන්නා. පංච උපාදානස්කන්ධය ගැන, පටිච්චසමුප්පාදය ගැන කියල දුන්නා. ඒ මහා පින්වත් උපාසිකාව සිදුරු නැති භාජනයකට පැන් පුරවා ගන්නවා වගේ ඒ සෑම වචනයක්ම සිතේ දරා ගත්තා. හොඳින් මතක තබාගත්තා. ගෙදර ගිහින් ඒ විදිහටම තමන්ගේ පාඩුවේ බණ භාවනා කළා. පුරසාරම් දොඩන්න ගියේ නෑ. ඉතාම ටික දවසයි ගත වුනේ. ඒ පින්වත් මාතිකමාතා උපාසිකාව සෝවාන් වුනා. සකදාගාමී වුනා. අනාගාමී වුනා. එතුමිය දියුණු කරන ධ්‍යාන බලයෙන් අනුන්ගේ සිත දකින්නට තරම් පරචිත්ත විජානන ඤාණයත් උපදවා ගත්තා.

දිනක් මාතිකාමාතා උපාසිකාව ස්වාමීන් වහන්සේලාගේ චිත්ත දියුණුව ගැන විමසා බැලූවා. ‘අහෝ! තවමත් ස්වාමීන් වහන්සේලා මග ඵල ලබල නෑ. නිවන අවබෝධ කරල නෑ. මේකට හේතුව කුමක්ද’ කියල විමසා බැලූවා. ඒ ස්වාමීන් වහන්සේලාට ලැබෙන දාන මානවල යම් යම් අඩුපාඩු තියෙනවා. සේනාසනවල සකස් විය යුතු තැන් තියෙනවා. දැන් මාතිකමාතා උපාසිකාව ආදරණීය මව් කෙනෙක් දරුපිරිසකට උපස්ථාන කරන්නාක් මෙන් වස් වසා පිළිවෙත් පුරන සඟරුවනට මඟ ඵල නිවන් සලසා දෙන්නට ඇප උපස්ථාන කරනවා. සිතේ කයේ පහසුව ඇතිවෙන ආහාර පාන පිළියෙල කර දෙනවා. අෂ්ටපාන වර්ග පිළියෙල කර දෙනවා. උණු පැන්, සිසිල් පැන් පිළියෙල කර දෙනවා. ඉතා හොඳින් ලැබෙන සාත්තු සප්පායම් නිසා ලෙඩ රෝග සුවවෙනවා වගේ මේ ස්වාමීන් වහන්සේලාගේ සිත් සතන් කෙමෙන් කෙමෙන් ධර්මයේ පිහිටියා. සතර සතිපට්ඨානයේ පිහිටියා. සීල, සමාධි, ප‍්‍රඥා වැඩෙන්න පටන් ගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගන්නට පුළුවන් වුනා. ඒ ස්වාමීන් වහන්සේලා හැට නමම උතුම් අරහත් ඵලයට පත් වුනා.

වස් කාලය අවසන් වුනා. මාතිකමාතාවට මහත් සේ පුණ්‍යානුමෝදනා කළ සඟ පිරිස බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට පිටත් වුනා. උන්වහන්සේ බැහැ දැක තමන් හට නිවන් මගට මහත් සේ උපකාර කළ උදාර කළ්‍යාණ මිත‍්‍ර ගති ඇති මාතිකමාතා උපාසිකාව ගැන ප‍්‍රශංසා මුඛයෙන් කතා කළා. එතැන සිටි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මෙය අසා සිටියා. උන්වහන්සේටත් අල්ලගාමයට වඩින්නට ආසාවක් ඇති වුනා. උන්වහන්සේත් අල්ලගාමයට වැඩියා.

මේ ආගන්තුක ස්වාමීන් වහන්සේට මාතිකමාතා මහෝපාසිකාව මහත් ආදර ගෞරවයෙන් ඇප උපස්ථාන කළා. ඒ ස්වාමීන් වහන්සේට සිත පාලනය කරගන්න අමාරුයි. වළඳපු නැති ආහාර පාන ගැන හිතනවා. මාතිකමාතා උපාසිකාව එය දැනගෙන පසුවදාට උන්වහන්සේ සිතන ලද ආහාරපාන ප‍්‍රණීතව සකස් කොට පූජා කරනවා. ටික දවසක් ගතවෙද්දී මේ ස්වාමීන් වහන්සේට මහත් භයක් ඇති වුනා.

හප්පා…. මේ මහෝපාසිකාව මං සිතන සිතන දේ දැනගන්නවා නෙව. මං තාම සිත දියුණු කරගෙන නෑ. මගේ සිත තවමත් චපලයි. එක එක ආස කරන අරමුණුවල මේ සිත බැසගන්නවා. මෙවැනි පිරිහුණු සිතකින් නම් මේ උතුම් මාතිකමාතාවගේ අතින් උපස්ථාන ලබන එක සුදුසු නෑ” කියල ඒ ස්වාමීන් වහන්සේ මහත් සංවේගයට පත්වුනා. දුකට පත්වුනා. සිත ගැන කළකිරුනා. බුදුරජාණන් වහන්සේව සොයාගෙන වැඩියා. බුදුරජාණන් වහන්සේට මේ කාරණය සැළ කළා. ඒ වෙලාවෙහි මෙම ගාථාව වදාළ බුදුරජාණන් වහන්සේ නැවතත් අල්ලගාමයටම යන ලෙස උන්වහන්සේට වදාළා. මේ ගාථාව තුළින් සිත ශක්තිමත් කරගත් ඒ ස්වාමීන් වහන්සේ අල්ලගාමයට වැඩම කළා. මාතිකමාතාවගේ උපස්ථාන ලබමින් දැඩි වීරියකින් භාවනා කළා. ටික දවසකින් උතුම් අරහත්වයට පත් වුනා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ සිතට මොන තරම් අවවාද කළත් කීකරු කර ගන්නට ඉතාමත්ම අමාරුයි. මොනතරම් ගැරහුම් ලැබුවත්, ඒ හේතුවෙන් වත් මේ සිත කීකරු කරගන්න එක ලෙහෙසි නෑ. ආස කරන දේවල්වල පැටලෙන්නෙ ගහක එතෙන වැලක් වගේ. ආස කරන අරමුණුවල මේ සිත ගිලෙන්නෙ දිය සුළියකට හසුවන රොඩු කැබැල්ලක් වගේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුළින් විතරමයි සිතට රැකවරණයක් ලබාගන්න තියෙන්නෙ. සිත රැකගත යුතු ආකාරය මෙතරම් පැහැදිළි ලෙස ලෝකයේ වෙන කිසිම කෙනෙක් කියා දීලා නැහැ. ඒ නිසා අපට මේ සිතේ ස්වභාවය ඉතාම පැහැදිලිව දකින්න පුළුවන් වෙන්නෙ ශ‍්‍රී සද්ධර්මය තුළින් පමණයි. 

මේ සිත මොනතරම් භයානකද කියල වැටහෙන්නේ චිත්තානුපස්සනාවේ යෙදෙන කෙනෙකුට විතරයි. එයා සිත ගැන කල්පනාවෙන් ඉන්නවා. නොමඟ යන කොට වහාම සුමඟට යොමු කරගන්නවා. කල්පනාවෙන් නොසිටියොත් මේ සිත විසින් පුද්ගලයාව නිරයටම ඇදගෙන යනතුරු දැනගන්නට ලැබෙන්නෙ නැහැ. මේ නිසා මේ සිත දමනය කිරීමමයි යහපත් වන්නෙ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ!

Monday, August 19, 2013

ධම්ම පදය - චිත්ත වර්ගය 1 - 2

1. ඵන්දනං චපලං චිත්තං – දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවි – උසුකාරෝ ව තේජනං
හරි කලබලයි මේ සිත – එලෙසින්ම සිත චපලය
රැක ගැනුම අසීරුය – පවින් වැළකුමද අසීරුය
එනමුත් නුවණ ඇති අය – දහම තුළ ඍජු කරයි මේ සිත
හී දණ්ඬේ ඇද හරිනා – නුවණැති හී වඩුවා ලෙස

The Wise Person Straightens The Mind

Mind agitated, wavering,
hard to guard and hard to check,
one of wisdom renders straight
as arrow-maker a shaft.
Explanation: In the Dhammapada there are 
several references to the craftsmanship of the 
fletcher. The Buddha seems to have observed 
the process through which a fletcher 
transforms an ordinary stick into an efficient 
arrow-shaft. The disciplining of the mind is
 seen as being a parallel process. In this 
stanza the Buddha says that the wise one 
straightens and steadies the vacillating mind 
that is difficult to guard, like a fletcher 
straightening an arrow-shaft.

2. වාරිජෝව ථලේ ඛිත්තෝ – ඕකමෝකත උබ්භතෝ
පරිඵන්දතිදං චිත්තං – මාරධෙය්යං පහාතවේ
ජලයෙන් ගොඩට ගත් විට – දුකින් දඟලන මාළුවෙකු ලෙස
සැප දුක ලැබෙන විට – නිතර දඟලයි සිතද මෙලෙසට
හැමවිටම සැලෙනා සිත – දැන හොඳින් දමනය කොට
හසු නොවී මාර උගුලට – එය බැහැර කළ යුතුමය


he Fluttering Mind

As fish from watery home
is drawn and cast upon the land,
even so flounders this mind
while Mara’s Realm abandoning.
Explanation: When making an effort to abandon the realm of Mara (evil), the mind begins to quiver like a fish taken out of the water and thrown on land.


 පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේ මේ සිත ගැන මොනතරම් දන්නවාද. උන්වහන්සේට මොනතරම් ගැඹුරු අවබෝධයක් මේ සිත ගැන තිබිල තියෙනවාද. ඒ නිසානෙ හිතේ මෙම ස්වභාවය තිබෙන බව මෙතරම් ලස්සනට කියල දෙන්නෙ. මේ සිත අරමුණක් පාසා සැලෙනවා. ඒ වගේම කිසිම කලක මේ සිත නම් විශ්වාස කරන්නට හොඳ නෑ. වෙලාවකට මේ සිත ඉතාමත් ශාන්තයි. එතකොට අපි මේ සිතට රැවටෙනවා. ආයෙ කලබල වෙන එකක් නෑ කියල හිතනවා. නමුත් ඊළඟ මොහොතේ මේ සිත විසිරෙනවා. සිත සංවර වෙලා තියෙන කොට අපට හිතෙන්නෙ ආයෙත් නම්, මේ සිත කිලූටු වෙන එකක් නෑ කියලයි. නමුත් අපටත් හොරාම සිත වෙනස් වෙනවා. කිලූටු වෙලා යනවා. මේ සිත කියන්නේ චපල දෙයක්. මේ චපල වූ සිත නිසාමයි අපට මේ සසරේ මෙතරම් දුරක් ගෙව ගෙවා පැමිණෙන්නට සිද්ධ වුනේ. තවදුරටත් සසරේ යන්නට සිද්ධ වන්නේ සිතේ චපලකම නිසාමයි.
මේ සිත රැක ගැනීම ලේසි දෙයක් නෙවෙයි. මහත් වීරියක් වුවමනයි. මේ සිත රැකගන්නෙ නුවණැති කෙනෙක්මයි. නුවණැති කෙනා අකුසල් හඳුනාගෙන බැහැර කරනවා. කුසල් දියුණු කරනවා. කුසලයේම සිත පිහිටුවනවා. ඒ තුළින් තමයි මේ සිත ආරක්ෂා කරගන්නට පුළුවන් වන්නෙ. අකුසල් වලින් බේරාගෙන කුසලයේම සිත පිහිටුවාගෙන ඉන්නවා කියන්නෙ මහා ආනුභාව සම්පන්න දේකටයි. එබඳු කෙනෙක් තමන්ගෙ ජීවිතය ඉතාමත් සාර්ථක කරගන්නවා.
දෙවෙනි ගථාවෙන් මේ හිතේ තියෙන ලාමක ස්වභාවය හොඳින් පෙන්වා දෙනවා. පින්වත් දරුවනේ, වතුරෙන් ගොඩට ගත්තු මාළුන්ව ඔබ දැකල ඇති. ඒ මාළු ඉන්නෙ හරි අමාරුවෙන්. හරිම පීඩාවෙන්. ඒ මාළු උඩ පැන පැන දඟලනවා. වතුර නැති නිසාමයි දඟලන්නෙ. මේ සිතත් සැප ලැබෙන වෙලාවට සැප රඳවගන්න දඟලනවා. දුක් ලැබෙන වෙලාවට දුකින් පැන යන්න දඟලනවා. හරිම විසිරීමකින් පවතිනවා. ඉතාමත්ම කලබලයි. මහත් පීඩාවකින් යුක්තයි. මේ වගේ දඟලන සිත නැවත නැවතත් ඇදිලා යන්නෙ වතුර ලැබෙන වෙලාවට සතුටු වෙන මාළුවා වගේ කාම අරමුණුවලටමයි. ඒ කාම අරමුණුවලට හසුවුන කෙනා ලෙහෙසියෙන් ගැලවෙන්නෙ නෑ.
 ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ කාම අරමුණු කියන්නේ මාරයාගේ තොණ්ඩුව කියලයි. ඒ මාර උගුලට හසුවෙන්නෙ හිතේ ඇති මේ ස්වභාවය හඳුනා නොගත් කෙනයි. හිතේ මෙම ලක්ෂණය හඳුනාගත් කෙනා හෙමින් හෙමින් මේ සිත දමනය කරනවා.
සිත දමනය කිරීම ඉතාමත් අසීරු දෙයක් බව සිතේ ස්වභාවය දන්නා කවුරුත් පිළිගන්නවා. එබඳු සිතට හසු නොවී ජය ගැනීමට නම් තමන් තුළ විශේෂ ගුණධර්ම දියුණු කරගත යුතුයි. ඇත්තෙන්ම ජීවිත අවබෝධය සඳහා වුවමනා කරන කුසලතා ඇතිවයි බොහෝ දෙනෙක් උපදින්නේ. නමුත් ඔවුන් අභ්‍යන්තර ගුණධර්ම දියුණු කිරීම ගැන අවධානය යොමු නොකරන නිසා කලක් යන විට තම කුසලතා පිරිහී යනවා. වයසට යන විට දුර්වල වෙනවා. කල්පනාව නැතිව යනවා. නොමඟ ගිය සිතක් සමඟ ජීවත් වෙලා මිය යනවා. එසේ මිය යාමේදී ඔහුට සිත දියුණු කිරීමේ දුර්ලභ අවස්ථාව අහිමි වීමෙන් අවසනාව තමයි ඉතුරු වෙන්නෙ.
මේ සිත දමනය කළ යුත්තේ ඒ නිසයි. ඒ ගැන බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාළා. මෙහි පළමු ගාථාවෙන් එම උපමාව සඳහන් වෙනවා. හී වඩුවෙක් ඉන්නවා. ඔහුට ලැබෙන්නේ ඇද වෙච්ච යකඩ කූරු. ඔහු ඒ යකඩ කූරු හොඳට රත් කරනවා. ඊට පස්සේ හොඳින් රත් වුණු ඒ යකඩ කූරු මිටියෙන් තලනවා. ටිකෙන් ටික ඍජු කරනවා. අන්තිමේදි ඉතාමත්ම ඍජු හී දඬු සදන්නට ඔහු සමත් වෙනවා.
 අන්න ඒ වගේ නුවණැති කෙනා මේ සිතට රැවටෙන්නෙ නෑ. සිතට අවවාද කරනවා. කීකරු කරගන්නවා. මෙවැනි ලාමක සිතක් ධර්මය තුළ දමනය කරගෙන නිවන් මගට ඍජු කරන්නට ඇත්නම් මොන තරම් වාසනාවක්ද.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ!

**  මේ ටිකේ මට බොහෝ දේ මගහැරුනා. සමාවෙන්න ඕනෙ. හරියට වැඩ. පොඩියට පෙර පාසැලක් පටන් ගන්නවා. ඒ සඳහා
 මගේ කාලයෙන් වැඩි කොටසක් වැය උනා. මෙන්න තැන.

Saturday, July 20, 2013

ධම්ම පදය - අප්පමාද වර්ගය - 11 - 12



11 . අප්පමාද රතෝ භික්ඛු – පමාදේ භයදස්සිවා

සංයොජනං අණුංථූලං – ඩහං අග්ගී ව ගච්ඡති



යම් භික්ෂුවක් අප්‍රමාදයෙහි ඇලී සිටිනවා නම්, ප්‍රමාදවීමේ 

ඇති භයානක අනතුර දකිනවා නම්, හැම දෙයක්ම 

දවාගෙන යන ගින්නක් වගේ, ලොකු කුඩා හැම 

බන්ධනයක්ම නසා ගෙන ඒ අමා නිවන කරාම යනවා.


(ජේතවනාරාමයේ දී එක්තරා භික්ෂුවක් අරභයා වදාල ගාථාවකි )


Appamādarato bhikkhu pamāde bhaya dassivā
Saṃyojanaṃ aṇuṃ thūlaṃ ḍahaṃ aggīva gacchati. 


The monk, as the seeker after truth is frightened of mindlessness because he knows that if one is unmindful ,one will be caught up in the unending suffering of samsara.   Therefore , he forges ahead diligently , and mindfully  burning away those bonds that  fetter people to worldliness. 



ත්සාහය කියන්නේ පුදුම දෙයක්. කැපවීම කියන්නේ පුදුම දෙයක්. නුවණින් විමසනවා කියන්නේ පුදුම දෙයක්. මේ සියලු දේ ඕනම කෙනෙකුගේ සාර්ථකත්වය පිටුපස තියෙනවා. මේ සියලු දේ තුළින් තමයි සියලු බාධක මැඬගෙන ඉදිරියට යන්නෙ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ වුනත් සසුන්ගත වූ භික්ෂූන් වහන්සේලා හට ඉබේම සිල් පිහිටියේ නෑ. ඉබේම සිත සමාධිමත් වුනේ නෑ. ඉබේම ප‍්‍රඥාව ඇති වුනේ නෑ. බොහෝම මහන්සි වුනා. කැපවුනා. වීරියවන්ත වුනා. අඩු පහසුකම් වලින් සතුටු වුනා.

එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වදාළා භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙක් ඉක්මනින්ම අරහත්වයට පත්වීමට උන්වහන්සේලාගේ කැපවීම මහත් සේ උපකාරී වූ බව. ඒ කාලයේ බොහෝ භික්ෂූන් වහන්සේලා නිතර නිතර උත්සාහ කළේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමටයි. ඇතැම් අවස්ථාවලදී නින්දට කිසිම තැනක් දුන්නෙ නෑ. හිසට තබා ගත්තෙ ලී කොට්ට. ඒ නිසා නිදාගැනීමෙන් සතුටක් ලැබුවෙ නෑ. නිදාගත්තෙ වෙහෙස නිවාගන්න විතරයි. සිහිනුවණින්ම සැතපුනා. සිහිනුවණින්ම අවදිවුනා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ පුළුන් කොට්ට ලැබුනට පස්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා නින්දට ආසා කළ බවයි. ඒ නිසාම අප‍්‍රමාදී බවට ආසා කරන භික්ෂූන් අඩු වුනා.
මෙම කථාවේ සඳහන් ස්වාමීන් වහන්සේ ඉතා හොඳ වීරියකින් යුතු අප‍්‍රමාදී කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටිද්දී උන්වහන්සේගෙන් භාවනා උපදෙස් ලබාගත් මෙම ස්වාමීන් වහන්සේ වනාන්තරයකට වැඩියා. වනයට පැමිණි දවසේ සිට සතර සතිපට්ඨානය තුළ සිත පිහිටුවා ගන්නට මහත් උත්සාහයක් ගත්තා. නමුත් සාර්ථක වුනේ නෑ. මොහොතක්වත් චිත්ත සමාධිය ඇතිකරගන්නට පුළුවන් වුනේ නෑ. නමුත් මෙම ස්වාමීන් වහන්සේ ඒ ගැන දුකට පත්වුනේ නෑ. කම්පා වුනෙත් නෑ. උත්සාහය අත්හැරියෙත් නෑ. දිගින් දිගටම උත්සාහ කළා. හිත කළබල කරගත්තේ නෑ. මෙසේ කාලයක් ගත වූ නමුත් ප‍්‍රතිඵලයක් නැති නිසා උන්වහන්සේ යළිත් බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට කල්පනා කළා.
සැවැත් නුවරට වඩිද්දී හැම මොහොතේම සිහි නුවණින් යුතුව පා තැබුවා. සිහි නුවණින් යුතුව වටපිට බැලුවා. සිහිනුවණින් යුතුව ගමන් කළා. උන්වහන්සේට ඒ ගමනේදී එක්තරා වන ලැහැබකදී ඇවිලෙමින් තිබෙන මහා ගිනිකඳක් දකින්නට ලැබුනා. ඒ ගිනිකඳ විශාල ගස් වෙලා ගන්නවා. පුංචි ගසුත් ගොදුරු කරගන්නවා. ගින්නට අහු නොවෙන දෙයක් නෑ. ගිනි දැල් වලින් වනයේ සෑම දෙයක්ම වෙලා ගෙන පුළුස්සා දමනවා. ඒ ස්වාමීන් වහන්සේ බුර බුරා ඇවිලෙන ගින්න දෙස පුදුමයෙන් වගේ බලාගෙන සිටියා. ”මේ ගින්න හරි අපූරු දෙයක් නෙව. හැම දෙයක්ම පුළුස්සා දමනවා. ගින්නට හසු නොවී බේරෙන්නට මේ කිසිම ගහකොළකට පුළුවන් කමක් නැහැ නෙව. අර…. අර…. මහ ගිනි දැල් වලින් ගස් වැල් වෙලෙනවා. ඒ ගින්නට මැදිවෙන ගස් වැල් ඇඹරිලා කඩාවැටෙනවා. පුංචි ගස්වල මේ ගින්න සැණෙකින් වෙලෙනවා. ඒ ගස් ගින්නෙන් ඇඹරිලා පිළිස්සිලා යනවා. අළුයි, දැලියි තමයි අන්තිමට විසිරිලා යන්නෙ. අනේ මටත් මේ ගින්න වගේ විදර්ශනා ප‍්‍රඥාව උපදවා ගන්න ඇත්නම්…. එතකොට මේ සිතේ තියෙන කුඩා මහත් හැම ක්ලේශයක්ම ඒ විදර්ශනා ප‍්‍රඥාව නැමැති ගින්නෙන් පුළුස්සා දමන්න පුළුවනි.”
තමන් බලා සිටින ගින්න තුළින් දියුණු කරමින් යන ධර්මය ගැන වැටහෙන්න පටන් ගත්තා. මෙතෙක් කලක් කොතෙක් උත්සාහ කළත් සංසුන් කරගත නොහැකිව තිබුනු සිත සංසුන් වෙන්න පටන් ගත්තා. ශාන්ත වෙන්න පටන් ගත්තා. සංසිඳෙන්න පටන් ගත්තා. සැවැත් නුවර වැඩසිටි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ වීරියවන්ත භික්ෂුවගේ සිතේ ඇතිවෙන අප‍්‍රමාදී සංකල්පනා දැක්කා. බුදුරජාණන් වහන්සේ ආලෝක ධාරාවක් ඒ භික්ෂුව දෙසට පෙනෙන්න සැලැස්සුවා. ඉර්ධි බලයෙන් එතැනට වැඩම කළා. ”පින්වත් භික්ෂුව, ඒක ඇත්ත. මේ ආර්ය මාර්ගය දියුණු කරන්න ගන්න උත්සාහය තුළ ඇතිවෙන විදර්ශනා ප‍්‍රඥාව මේ ගින්න වගේ තමයි. ඔබ සිතුවා හරි. ඒ විදර්ශනා ප‍්‍රඥාව නැමැති ගින්නට සතර අපායේ උපදවන සියලු කෙලෙස් පුළුස්සා දමන්න පුළුවන්. සසරේ ඇදි ඇදී යන යළි යළි උපත ලබා දෙන සියලු කෙලෙස් පුළුස්සා දමන්න පුළුවන්. ඒ වගේම කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ යන මේ ඕනම භවයක උපතක් කරා ගෙනයන සියලූම කෙලෙස් නැති කර දමන්න විදර්ශනා ප‍්‍රඥාව නැමැති ගින්නට පුළුවන්.”
ඒ ස්වාමීන් වහන්සේගේ සිත මහත් ප‍්‍රමෝදයට පත් වුනා. ප‍්‍රීතියට පත් වුනා. ධර්මය සිහි කිරීම නිසා සිත, කය සැහැල්ලු වුනා. සමාධිමත් වුනා. ඒ ස්වාමීන් වහන්සේ ඒ අවවාදයෙහි පිහිටා සිහි නුවණින් යුතුව ගින්න නොමැති පැත්තට වැඩියා. රුක් සෙවණක වාඩි වුනා. නුවණින් විමසන්න පටන් ගත්තා. සතර සතිපට්ඨානය තුළ ඉතා හොඳින් සිත පිහිටියා. බොජ්ඣංග ධර්මයන් දියුණු වුනා. චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිමින් අරහත්වයට පත් වුනා. බුදුරජාණන් වහන්සේ ඒ වීරියවන්ත භික්ෂුවගේ අප‍්‍රමාදී බව අගය කරමින් මෙම ගාථාව වදාළා.
ප‍්‍රමාදයෙහි බිය දකිමින් – නොපමා බවෙහිම ඇලෙමින්
නිවන් මගම පුරුදු කරන - නුවණැති සමණෙක් වෙයි නම්
ප‍්‍රඥා ගිනි දැල්ල තුළින් – කුඩා මහත් සියලු කෙලෙස්
හැම වනසා දමන්නේය – ලැව් ගින්නක් දවන ලෙසින්
මේ ස්වාමීන් වහන්සේ ජය ගත්තේ නිරතුරුවම උත්සාහය පැවැත් වූ නිසයි. තමන්ගේ උතුම් අදහස මුදුන්පත් වන තුරු සිත ශක්තිමත්ව තබා ගෙන සිටි නිසයි. ඒ ස්වාමීන් වහන්සේ ප‍්‍රමාදය ගැන බියට පත්වෙන කෙනෙක්. ප‍්‍රමාදයට හේතු වන කරුණු ගැන බියවන නිසා ප‍්‍රමාදී වන්නෙ නෑ. අප‍්‍රමාදයේමයි ඇලී වාසය කරන්නෙ. තමන්ගේ සිත සමාධිමත් වුනේ නෑ කියල බාහිර වැඩවල යෙදුනෙ නෑ. තමන්ගේ සිත විසිරුනා කියල කලබල වුනේ නෑ. සිවුරු හරින්න කල්පනා කළේ නෑ. සිතේ ස්වභාවය ගැන හොඳ අවබෝධයකින් හිටියා. එනිසාම ප‍්‍රමාදය ඇතිවෙන දෙයට යොමු වුණේ නෑ. තමන්ගේ උතුම් අදහස අත්හැරියෙත් නෑ. මෙවැනි වීරියක් පවත්වන්නට පුළුවන් නම්, ජය ගැනීම එතරම් දුර තියෙන දෙයක් නෙවෙයි.



12. අප්පමාද රතෝ භික්ඛු – පමාදේ භයදස්සිවා

අභබ්බෝ පරිහානාය – නිබ්බාණස්සේව සන්තිකේ

යම් භික්ෂුවක් අප්‍රමාදයෙහි ඇලී සිටිනවා නම්, ප්‍රමාදවීමේ ඇති භයානක අනතුර දකිනවා නම්, ඔහු පිරිහෙන්නට සුදුසු කෙනෙක් නෙවෙයි. ඒ අමා නිවන ඔහු ළඟමයි.

(නිගමතිස්ස තෙරුන් අරභයා දෙසන ලදී)

The Heedful Advances To Nibbana

The bhikkhu liking heedfulness,
seeing fear in heedlessness,
never will he fall away,
near is he to Nibbana.
Explanation: The monk as the seeker after the truth, see fear in lack of mindfulness. He will certainly not fall back from any spiritual heights he has already reached. He is invariably in the proximity of Nibbana.

නිගමතිස්ස තෙරුන්ගේ කථා වස්තුව
”අප‍්‍රමාදී කෙනා පිරිහෙන්නෙ නෑ….
කෙනෙකුගේ පිරිහීම ඇතිවන්නේ පව්වලට ඇති බය නැති වූ විටයි. ඊට පස්සේ ඒ කෙනා කෙමෙන් කෙමෙන් පාපී ක‍්‍රියාවල යෙදෙනවා. පාපී වචන කතා කරනවා. පාපී සිතුවිලි සිතනවා. ඒ ප‍්‍රමාදී පුද්ගලයා බලාගෙන සිටිද්දීම පිරිහී යනවා. නමුත් අප‍්‍රමාදී පුද්ගලයා එවැනි අනතුරකට පත්වන්නේ නෑ. ඔහු කෙමෙන් කෙමෙන් සිහි නුවණ දියුණු කරනවා. සිල්වත් බව දියුණු කරනවා. නුවණින් විමසීම දියුණු කරනවා. සමාධිය දියුණු කරනවා. ප‍්‍රඥාවන්ත කෙනෙක් වෙනවා. එබඳු කෙනා පිරිහෙන්නෙ නෑ. එබඳු කෙනා ළංවෙන්නෙ සසරට නොව අමා මහ නිවනටයි.

මෙම කථාවේ සඳහන් ස්වාමීන් වහන්සේ නිවනට ළං වූ කෙනෙක්. උන්වහන්සේට ඒ අමා නිවන බොහෝ දුර වුනේ නෑ. නිවන බොහෝ දුර වෙන්නෙ ප‍්‍රමාදී පුද්ගලයන්ටයි. අකුසල්වල සිත පිහිටුවන පුද්ගලයන්ටයි. අප‍්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනා කෙමෙන් කෙමෙන් නිවනට ළංවෙනවා.

සැවැත් නුවරට ආසන්නයේ කුඩා නගරයක් තිබුණා. ඒ නගරයේ ධනවත් පවුලක තරුණ පුතෙක් හිටියා. මේ පුතාට බුදුරජාණන් වහන්සේගෙන් උතුම් ධර්මය අසන්නට ලැබුනා. බුදුරජාණන් වහන්සේ තුළ පවතින අතිවිශිෂ්ට වූ අවබෝධය ගැන මේ තරුණ පුතා පුදුමට පත් වුනා. ඒ ගැන මහත් සේ පැහැදුනා. මේ පුතා මව්පියන්ගෙන් අවසර ගෙන බුදු සසුනට ඇතුලූ වුනා. ස්වාමීන් වහන්සේලා යටතේ ධර්ම විනය ඉගෙන ගත්තා. ලද දෙයින් සතුටු වෙන ජීවිතයක් පුරුදු කළා. චාරිකාවේ යෙදෙමින්ම හිටියෙ නෑ. සමහර ස්වාමීන් වහන්සේලා එක එක ප‍්‍රදේශවල විවිධත්වය නරඹන්නට ආසාවෙන් චාරිකාවේ වඩිනවා. එවැනි ඇවිදගෙන යාමක් තුළින් මේ ස්වාමීන් වහන්සේ සතුටක් ලැබුවෙ නෑ. හැම තිස්සෙම කල්පනා කළේ පාඩුවේ පිළිවෙත් පිරීමටයි. ඉතින් තමන්ගේ ඤාති මිත‍්‍රාදීන් එකතු වෙලා තමන්ගේ ගමට ආසන්නයේ වන ලැහැබක කුටියක් හදලා දුන්නා. මේ ස්වාමීන් වහන්සේ ඒ කුටියට වැඩියා. ගමට පිණ්ඩපාතය වඩිමින් ආගන්තුක භික්ෂුවක් හැටියටයි. ”අසවල් තැන මගේ දෙමව්පියෝ ඉන්නවා. අසවල් තැන අසවල් අසවල් ඤාතීන් ඉන්නවා. මං ඒ ඒ ගෙවල්වලට ගියොත් ප‍්‍රණීත ආහාර පාන වලින් මට දානෙ හදල දේවි” කියල අදහසක් මේ ස්වාමීන් වහන්සේට කවදාවත් ඇතිවුනේ නෑ. අහසේ මෝදු වෙන අලූත් සඳක් වගේ මේ ස්වාමීන් වහන්සේ හැමදාම ගමට වැඩියේ අලූත් කෙනෙක් හැටියටයි. ඤාතීන් කෙරෙහි සිත් අලවා ගත්තේ නෑ.

ඤාතීන් සිටින ප‍්‍රදේශය ආසන්නයේ ඇති කුටියක වාසය කරමින් වෙන කොහේවත් නොවඩිනා මේ ස්වාමීන් වහන්සේ ගැන අමුතු කතා පැතිරුනා. ”නිගමතිස්ස තෙරුන් නෑදෑයන්ට ඇලිලයි ඉන්නෙ. නෑයන්ගේ ආහාර පානවලට සිත බැඳිල වගේ තියෙන්නෙ. නෑයන්ගෙ ගෙවල්වල නිතර නිතර යනව ඇති. නෑයන්ගෙ මඟුල් තුලාවලට අවවාද අනුශාසනා කරනවත් ඇති. එහෙම නැත්නම් ඇයි චාරිකාවෙ වඩින්න බැරි? ඇයි වරින් වර සැවැත් නුවර වඩින්න බැරි? මේ භික්ෂුව කුලයන්හි ඇලී වාසය කරන කෙනෙක් වෙන්නම ඕන. මේ භික්ෂුවට මේක මහා අවාසියක්. ඔය විදිහට දිගටම හිටියොත් පැවිදි කාරණය ඉෂ්ට කරගන්න බැරිව යනවා. නැදෑයන්ගෙන්ම සතුටු වෙන්නට ගියොත් අත්හැර ගන්න බැරිව යනවා. ඒ නිසා මේ භික්ෂුව ඔය අනතුරින් මුදවා ගන්නට ඕන.” කියල භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට නිගමතිස්ස තෙරුන් ගැන කරුණු ඉදිරිපත් කළා.

බුදුරජාණන් වහන්සේ නිගමතිස්ස තෙරුන් කැඳවා එම කරුණේ ඇති සත්‍ය අසත්‍යතාවය විමසුවා. නිගමතිස්ස ස්වාමීන් වහන්සේ කලබල වුනේ නෑ. තරහගත්තේ නෑ. අනිත් උදවිය කේලාම් කිව්වා කියල බොරුවට කිපුනෙ නෑ. ඉතාම කරුණාවෙන් යටහත් පහත්ව පිළිතුරු දුන්නා.”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඒ චෝදනාවේ පුංචි ඇත්තක් තියෙනවා. ඒ තමයි මම නෑයන් විසින් තනවා දීපු කුටියක වාසය කිරීම. නමුත් ස්වාමීනී, මම ඤාතීන් සමඟ කිසිම ආකාරයක ගිහි කල්පනාවක් ඇති කරගෙන නෑ. ඤාතීන්ට ඇලී වාසය කරන්නෙ නෑ. ඤාතීන්ගේ ආහාර පාන වලින් සතුටු වන්නේ නෑ. ස්වාමීනී, ඒ කිසිවක් මට වැදගත් නෑ. මං හැම තිස්සේම කල්පනා කරන්නේ නොඇල්ම පුරුදු කරන්නයි. මම හැමතිස්සේම වීරිය කරන්නේ සතර සතිපට්ඨානය වඩන්නයි. මා ගමට පිණ්ඩපාතය යන්නේ ආගන්තුක භික්ෂුවක් කියල හිතාගෙනයි. නැදෑකම් වලින් මට ප‍්‍රයෝජනයක් නෑ. මට ප‍්‍රයෝජනය තියෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධයට උපකාර වන ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කිරීමෙන්. ඉතින් ස්වාමීනී, මං චාරිකාවේ වඩින්න කැමති වුනේ නැත්තෙත් මගේ සිත පිරිහේවි කියන බිය නිසයි. ඇවිදින්න පුරුදු වේවි කියන බිය නිසයි. එවැනි පුරුද්දක් ඇති වුනොත් අත්හැර ගන්නට බැරිවේවි කියන බිය නිසයි. ඉතින් ස්වාමීනී, මගේ උත්සාහය ටික ටික සාර්ථක වන බවක් මට තේරෙනවා. දැන් මගේ සිත ඉස්සර වගේ විසිරෙන්නෙ නෑ. සතර සතිපට්ඨානයේ පිහිටනවා. නොඇල්ම ඇතිවෙනවා. මං හැම තිස්සේම කල්පනා කරන්නේ සිහියෙන් සිටීම ගැනයි. නිදාගැනීම පිණිස මං එච්චර කාලයක් ගන්නෙ නෑ. ප‍්‍රමාදී පුද්ගලයෙක් වෙන්න මං බයයි.”
බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. උන්වහන්සේ මේ ගාථාව දේශනා කොට නිගමතිස්ස තෙරුන් වහන්සේගේ උත්සාහය මහත් සේ අගය කළා. මේ තුළින් වඩ වඩාත් අප‍්‍රමාදී වූ මෙම ස්වාමීන් වහන්සේ ඒ මොහොතේම අරහත්වයට පත් වුනා.
ප‍්‍රමාදයෙහි බිය දකිමින් – නොපමා බවෙහිම ඇලෙමින්
නිවන් මගම පුරුදු කරන – නුවණැති සමණෙක් වෙයි නම්
නැත කිසි දින පිරිහෙන්නේ – නිවනටමයි යොමු වන්නේ
නොපමා වන ඒ සමණා – නිවන ළඟයි නවතින්නේ
අපට මේ කථා වස්තුව තුළින් අප‍්‍රමාදී බවෙහි ඇති අනුසස් ඉතා හොඳින් පැහැදිලි වෙනවා. උතුම් රහතන් වහන්සේලා ලෝකෙ බිහිවුනේ ප‍්‍රමාදයෙහි බිය දුටු අප‍්‍රමාදයෙහි ඇලූණු ශ‍්‍රමණයන් වහන්සේලා නිසයි.
වරක් ධර්මාශෝක රජතුමා සඳළුතලයේ සිට ඈත බලා සිටියා. රජ මිදුලේ ඉතාමත්ම කුඩා සත් හැවිරිදි වියේ පසුවන ළදරු ස්වාමීන් වහන්සේ නමක් ශාන්තව වඩින අයුරු දකින්නට ලැබුනා. ඒ දර්ශනයට රජතුමා වසඟ වුනා. මේ ළදරු ශ‍්‍රමණයන් වහන්සේ සමඟ කතා බස් කරන්න ඕන කියලා රජතුමාට සිතුනා. රජතුමා පණිවිඩ යවලා මේ ස්වාමීන් වහන්සේව වඩම්මවා ගත්තා. කිසි කලබලයක් නැතිව තැති ගැනීමක් නැතිව සිනා මුසු මුහුණින් මේ කිරිකැටි ශ‍්‍රමණයන් වහන්සේ මාළිගාවට වඩින අයුරු රජතුමා මහත් ආදරයෙන් බලා සිටියා. ”පුංචි ස්වාමීන් වහන්ස, මේ රාජ මන්දිරයේ කැමති ආසනයක වැඩඉන්න” කියල රජතුමා කිව්වා. පුංචි ස්වාමීන් වහන්සේ වන නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ පුංචි ඇස් වලින් වටපිට බැලූවා. රජතුමාගේ මුහුණ බැලූවා. සිනහ වුනා. ශාන්ත ගමනින් සිංහාසනය ළඟට වැඩියා. මේ පොඩි ස්වාමීන් වහන්සේ වාඩිවෙන්නට හදන්නේ සිංහාසනය මත බව රජතුමාට තේරුනා. පුංචි වුනත් මෙම ස්වාමීන් වහන්සේ තුළ තිබෙන අසාමාන්‍ය නිර්භීතකම ගැන රජතුමා සතුටු වුනා. ඒ ස්වාමීන් වහන්සේට සිංහාසනයට නැඟගන්නට බැහැ. උස මදි. රජතුමා උදව් කළා. සිංහාසනයට නැගලා භාවනා ඉරියව්වෙන් වාඩි වුනා. රජතුමාගේ සිතෙහි මහත් ආදරයක් පැන නැංගා. ”මගේ ආදරණීය පුංචි ස්වාමීන් වහන්ස, ධර්මය දන්නවාද?” ”පින්වත් මහරජ, එසේය. මා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගත්තා.” ”පින්වතුන් වහන්ස, එසේ නම් මට ඒ උතුම් බණ ටිකක් වදාළ මැනව.” නිග්‍රෝධ ස්වාමීන් වහන්සේ ඉතාමත් මිහිරි ස්වරයෙන් ධම්ම පදයෙහි අප‍්‍රමාද වර්ගයට අයත් මෙම කොටසේ ගාථා දොළහම පැවසුවා. තේරුම කියලා දුන්නා. රජතුමා පැහැදුනා. ගොඩාක්ම පැහැදුනා. ඒ පැහැදීම මුලූ ලෝකය පුරා ධර්මය පැතිරීමේ ආරම්භය බවට පත්වුනා.

අප‍්‍රමාදය තුළ සඳහන් උත්සාහය, වීරිය, නොපසු බැසීම, සිත ශක්තිමත් කරගැනීම, අකුසල් දුරුකිරීම, කුසල් වැඞීම, උතුම් අදහස මුදුන් පත්වන තුරු අඛණ්ඩ උත්සාහයක යෙදීම ධර්මාශෝක රජතුමා හැමවිටම ක‍්‍රියාත්මක කළා. අප‍්‍රමාදයේ අනුසස් දන්නා නිසා ධර්මය පතුරුවන්නට මහත් මහන්සියක් ගත්තා.

 අපගේ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන සල්වනයේ පිරිනිවන් පාන්නට මොහොතකට කලින් සියලූ දෙනා අමතා උන්වහන්සේගේ අවසන් අවවාදය වදාළා. එනම්, ”හන්දදානි භික්ඛවේ, ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා. අප්පමාදේන සම්පාදේථ” ”පින්වත් මහණෙනි, මා දැන් ඔබව අවසන් වතාවට අමතමි. සකස් වී තිබෙන සෑම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්තයි. එම නිසා අප‍්‍රමාදීව නිවන් අවබෝධ කිරීමට මහන්සි ගන්න.” කියාය.

සැදැහැවතුන්ගේ සිත් සතන්
දහම් රසයෙන් සනසනු පිණිස ලියන ලද
”අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය”
දෙවෙනි කොටස වන අප්පමාද වර්ගය නිමා විය.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

විසින් දෙසනා ලද දේශනා ඇසුරෙනි.