බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Monday, August 19, 2013

ධම්ම පදය - චිත්ත වර්ගය 1 - 2

1. ඵන්දනං චපලං චිත්තං – දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවි – උසුකාරෝ ව තේජනං
හරි කලබලයි මේ සිත – එලෙසින්ම සිත චපලය
රැක ගැනුම අසීරුය – පවින් වැළකුමද අසීරුය
එනමුත් නුවණ ඇති අය – දහම තුළ ඍජු කරයි මේ සිත
හී දණ්ඬේ ඇද හරිනා – නුවණැති හී වඩුවා ලෙස

The Wise Person Straightens The Mind

Mind agitated, wavering,
hard to guard and hard to check,
one of wisdom renders straight
as arrow-maker a shaft.
Explanation: In the Dhammapada there are 
several references to the craftsmanship of the 
fletcher. The Buddha seems to have observed 
the process through which a fletcher 
transforms an ordinary stick into an efficient 
arrow-shaft. The disciplining of the mind is
 seen as being a parallel process. In this 
stanza the Buddha says that the wise one 
straightens and steadies the vacillating mind 
that is difficult to guard, like a fletcher 
straightening an arrow-shaft.

2. වාරිජෝව ථලේ ඛිත්තෝ – ඕකමෝකත උබ්භතෝ
පරිඵන්දතිදං චිත්තං – මාරධෙය්යං පහාතවේ
ජලයෙන් ගොඩට ගත් විට – දුකින් දඟලන මාළුවෙකු ලෙස
සැප දුක ලැබෙන විට – නිතර දඟලයි සිතද මෙලෙසට
හැමවිටම සැලෙනා සිත – දැන හොඳින් දමනය කොට
හසු නොවී මාර උගුලට – එය බැහැර කළ යුතුමය


he Fluttering Mind

As fish from watery home
is drawn and cast upon the land,
even so flounders this mind
while Mara’s Realm abandoning.
Explanation: When making an effort to abandon the realm of Mara (evil), the mind begins to quiver like a fish taken out of the water and thrown on land.


 පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේ මේ සිත ගැන මොනතරම් දන්නවාද. උන්වහන්සේට මොනතරම් ගැඹුරු අවබෝධයක් මේ සිත ගැන තිබිල තියෙනවාද. ඒ නිසානෙ හිතේ මෙම ස්වභාවය තිබෙන බව මෙතරම් ලස්සනට කියල දෙන්නෙ. මේ සිත අරමුණක් පාසා සැලෙනවා. ඒ වගේම කිසිම කලක මේ සිත නම් විශ්වාස කරන්නට හොඳ නෑ. වෙලාවකට මේ සිත ඉතාමත් ශාන්තයි. එතකොට අපි මේ සිතට රැවටෙනවා. ආයෙ කලබල වෙන එකක් නෑ කියල හිතනවා. නමුත් ඊළඟ මොහොතේ මේ සිත විසිරෙනවා. සිත සංවර වෙලා තියෙන කොට අපට හිතෙන්නෙ ආයෙත් නම්, මේ සිත කිලූටු වෙන එකක් නෑ කියලයි. නමුත් අපටත් හොරාම සිත වෙනස් වෙනවා. කිලූටු වෙලා යනවා. මේ සිත කියන්නේ චපල දෙයක්. මේ චපල වූ සිත නිසාමයි අපට මේ සසරේ මෙතරම් දුරක් ගෙව ගෙවා පැමිණෙන්නට සිද්ධ වුනේ. තවදුරටත් සසරේ යන්නට සිද්ධ වන්නේ සිතේ චපලකම නිසාමයි.
මේ සිත රැක ගැනීම ලේසි දෙයක් නෙවෙයි. මහත් වීරියක් වුවමනයි. මේ සිත රැකගන්නෙ නුවණැති කෙනෙක්මයි. නුවණැති කෙනා අකුසල් හඳුනාගෙන බැහැර කරනවා. කුසල් දියුණු කරනවා. කුසලයේම සිත පිහිටුවනවා. ඒ තුළින් තමයි මේ සිත ආරක්ෂා කරගන්නට පුළුවන් වන්නෙ. අකුසල් වලින් බේරාගෙන කුසලයේම සිත පිහිටුවාගෙන ඉන්නවා කියන්නෙ මහා ආනුභාව සම්පන්න දේකටයි. එබඳු කෙනෙක් තමන්ගෙ ජීවිතය ඉතාමත් සාර්ථක කරගන්නවා.
දෙවෙනි ගථාවෙන් මේ හිතේ තියෙන ලාමක ස්වභාවය හොඳින් පෙන්වා දෙනවා. පින්වත් දරුවනේ, වතුරෙන් ගොඩට ගත්තු මාළුන්ව ඔබ දැකල ඇති. ඒ මාළු ඉන්නෙ හරි අමාරුවෙන්. හරිම පීඩාවෙන්. ඒ මාළු උඩ පැන පැන දඟලනවා. වතුර නැති නිසාමයි දඟලන්නෙ. මේ සිතත් සැප ලැබෙන වෙලාවට සැප රඳවගන්න දඟලනවා. දුක් ලැබෙන වෙලාවට දුකින් පැන යන්න දඟලනවා. හරිම විසිරීමකින් පවතිනවා. ඉතාමත්ම කලබලයි. මහත් පීඩාවකින් යුක්තයි. මේ වගේ දඟලන සිත නැවත නැවතත් ඇදිලා යන්නෙ වතුර ලැබෙන වෙලාවට සතුටු වෙන මාළුවා වගේ කාම අරමුණුවලටමයි. ඒ කාම අරමුණුවලට හසුවුන කෙනා ලෙහෙසියෙන් ගැලවෙන්නෙ නෑ.
 ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ කාම අරමුණු කියන්නේ මාරයාගේ තොණ්ඩුව කියලයි. ඒ මාර උගුලට හසුවෙන්නෙ හිතේ ඇති මේ ස්වභාවය හඳුනා නොගත් කෙනයි. හිතේ මෙම ලක්ෂණය හඳුනාගත් කෙනා හෙමින් හෙමින් මේ සිත දමනය කරනවා.
සිත දමනය කිරීම ඉතාමත් අසීරු දෙයක් බව සිතේ ස්වභාවය දන්නා කවුරුත් පිළිගන්නවා. එබඳු සිතට හසු නොවී ජය ගැනීමට නම් තමන් තුළ විශේෂ ගුණධර්ම දියුණු කරගත යුතුයි. ඇත්තෙන්ම ජීවිත අවබෝධය සඳහා වුවමනා කරන කුසලතා ඇතිවයි බොහෝ දෙනෙක් උපදින්නේ. නමුත් ඔවුන් අභ්‍යන්තර ගුණධර්ම දියුණු කිරීම ගැන අවධානය යොමු නොකරන නිසා කලක් යන විට තම කුසලතා පිරිහී යනවා. වයසට යන විට දුර්වල වෙනවා. කල්පනාව නැතිව යනවා. නොමඟ ගිය සිතක් සමඟ ජීවත් වෙලා මිය යනවා. එසේ මිය යාමේදී ඔහුට සිත දියුණු කිරීමේ දුර්ලභ අවස්ථාව අහිමි වීමෙන් අවසනාව තමයි ඉතුරු වෙන්නෙ.
මේ සිත දමනය කළ යුත්තේ ඒ නිසයි. ඒ ගැන බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාළා. මෙහි පළමු ගාථාවෙන් එම උපමාව සඳහන් වෙනවා. හී වඩුවෙක් ඉන්නවා. ඔහුට ලැබෙන්නේ ඇද වෙච්ච යකඩ කූරු. ඔහු ඒ යකඩ කූරු හොඳට රත් කරනවා. ඊට පස්සේ හොඳින් රත් වුණු ඒ යකඩ කූරු මිටියෙන් තලනවා. ටිකෙන් ටික ඍජු කරනවා. අන්තිමේදි ඉතාමත්ම ඍජු හී දඬු සදන්නට ඔහු සමත් වෙනවා.
 අන්න ඒ වගේ නුවණැති කෙනා මේ සිතට රැවටෙන්නෙ නෑ. සිතට අවවාද කරනවා. කීකරු කරගන්නවා. මෙවැනි ලාමක සිතක් ධර්මය තුළ දමනය කරගෙන නිවන් මගට ඍජු කරන්නට ඇත්නම් මොන තරම් වාසනාවක්ද.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ!

**  මේ ටිකේ මට බොහෝ දේ මගහැරුනා. සමාවෙන්න ඕනෙ. හරියට වැඩ. පොඩියට පෙර පාසැලක් පටන් ගන්නවා. ඒ සඳහා
 මගේ කාලයෙන් වැඩි කොටසක් වැය උනා. මෙන්න තැන.

9 comments:

  1. බුද්ධාගම යැයි බුද්ධාගමේ නොවෙන කතා බහුලව ඇහෙන සමයක මෙවැනි අනගි සටහනක් දමා සිත ප්‍රමෝදයට හා ප්‍රබෝධයට පත් කළාට බොහොම පින් චාන්දි අක්කාට!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! අරුණි නංගි. ඔයාගෙ සටහන් කියෙව්වත් කමෙන්ටුවක් දාන්න ඉවරයක් නෑ. අපි ළදරු පාසැලක් ආරම්භ කලා. පොඩියට පටන් ගත්තෙ.

      Delete
  2. බෞද්ධයාගේ අත්පොත කියලා ධම්ම පදයට නිකම්ම නෙවෙයි. එහි ගෙදරක ඉන්න අයට ඉගනගන්න බොහෝ දේ තියෙනවා. හරියට හදාරන්න හැකිනම් ඔය අර බොදු බල සේනාථ අර සේනා, මේසේනා, වගේම මාර සේනාවත් පරාජය කරන්න පුළුවන්. මේවා අඩුම තරමින් බෞද්ධයෝවත් කියවන්නෙ නැති එකයි මිනිසුන්ගේ කර්මය කියල කියන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! දයා මල්ලි. මේ ටිකේ ඉවරයක් නෑ. අපි ළදරු පාසැලක් ආරම්භ කලා. පොඩියට පටන් ගත්තෙ.

      Delete
  3. ධර්මය යනු ජිවිතය පවත්වාගෙන යාමට උපකාරයකි.එය අදහන්න අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ විශ්වාසය පමණි.අක්කා මොකද දැන් පෙන්න නැත්තේ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! ගයනි. මේ ටිකේ ඉවරයක් නෑ. අපි ළදරු පාසැලක් ආරම්භ කලා. පොඩියට පටන් ගත්තෙ. දරුවන් එක්ක ඉන්න එක හරිම සතුටක්.

      Delete
  4. අගනා සටහනක්..

    මං ඒත් බැලුවෙ පහුගිය ටිකේ චාන්දි අක්කා පේන්න හිටියෙ නැත්තෙ මොකද කියල. සුන්දර වැඩක් පටන් අරන් නෙ. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! චන්දන මල්ලි. දරුවන් එක්ක ඉන්න එක හරිම සතුටක්.

      Delete
  5. සුබ පැත්ම් අක්කේ අලුතෙන් පටන් ගත්තයි කීව පසල වෙන්වෙන්. හැමදෙයක්ම ධර්මය අනුව ඒ පිලිසරණත් ඇතුව හොඳින් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා. බොහොම අනගි සටහනක්...++++

    ReplyDelete