Sunday, October 7, 2012

සංයුක්ත නිකාය - භික්ඛුනී සංයුක්තය. 2



භික්ඛුනී සංයුක්තය.

භික්ඛුනී වර්ගය

සෝමා භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම.

*** බලන්න, මේ සෝමා භික්ෂුණියගේ වදන් කොතරම් අපූරුද කියල. ධර්මය අවබෝධ කරගන්න ගැහැණු, පිරිමි භේදයක් ඇත්තේම නෑ. 

 සෝමා සූත්‍රය.
භාග්‍යවතුන් වහන්සේ ගෙන් මාහට අසන්නට ලැබුනේ මේ විදිහටයි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවන අසපුවේ.

එදා සෝමා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන , පාත්‍ර - සිවුරු අරගෙන  සැවැත් නුවර ට පිඬු සිඟා වඩියා.  සැවැත් නුවර  පිණ්ඩපාතෙ වැඩල , දන් වළඳල ,දවල් කාලෙ චිත්ත විවේකය ඇතිව ගත කරන්න කැමතිව අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුලටම ගිහින් එක්තරා රුක් සෙවනක දවල් කාලෙ වාඩි වෙලා හිටිය.

එතකොට පවිටු මාරයාට මේ විදිහට කැමැත්තක් ඇතිවුනා.

 " සෝමා  භික්ෂුණියව බය කරවන්නට ඕනෙ. තැති ගන්වන්නට ඕනෙ , මවිල් කෙලින් කරවන්ට ඕනෙ. සමාධියෙන් දුරු කරවන්ට ඕනෙ" කියල. ඊට පස්සෙ මාරයා සෝමා  භික්ෂුණිය ළඟට ගියා. ගිහින් සෝමා භික්ෂුණියට  ගාථාවක් කිව්ව.

" අවබොධයට ඉතා දුෂ්කර වූ තත්වයක් වන ඔය දේ ලැබන්නෙ ඉසිවරුන් විසින් නෙව. ඇඟිලි දෙකේ නුවණ තියෙන ගෑණුන්ට ඔවැනි තත්වයකට පත්වෙන්ට පුළුවන් කමක් නෑ."
එතකොට සෝමා  භික්ෂුණියට මෙහෙම හිතුණා.

 " කවුද මෙයා ?  මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක්ද?"  මේ ගාථා කියන්නෙ. 

ඉතින් සෝමා  භික්ෂුණියට මෙහෙම හිතුණා.

" මේ තමයි පාපී මාරයා , මාව භය කරවන්ට , තැති ගන්වන්ට , ඇඟේ මවිල් කෙලින් කරවන්ට, සමාධියෙන්  දුරු කරවන්ට තමයි ඔය ගාථා කියන්නෙ"

ඉතින්  සෝමා භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, මේ ගාථාවලින් පවිටු මාරයාට පිළිතුරු දුන්නා.

" හිත තියෙන්නෙ සමාධිමත් වෙලා නම් , ගෑණු කමෙන් මොකක් කරන්න ද? හොඳට යථා ස්වභාවය විදර්ශනා කරන්නට පුළුවන් එකේ , අවබොධ ඥානයත් ඇතිවෙන එකේ ගෑණු කම  මොකට ද?".

"යම්කිසි  කෙනෙකුට මමත් ගැහැණියෙක් , මමත් පිරිමියෙක්, මම කවුරු හරි කෙනෙක් කියල හිතනව නම් , මාරයෙක් විසින් ඔය කතාව කිව යුත්තෙ අන්න ඒ වගේ කෙනෙකුට."



එතකොට පවිටු මාරයා, " මේ සෝමා  භික්ෂුණිය   මාව දැනගත්තා නෙව"  කියල දුක් වුනා. නො සතුටු වුනා. එතනම නොපෙනී ගියා.


සාදූ!   සාදූ!!   සාදූ!!!



No comments:

Post a Comment

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...