Tuesday, June 11, 2013

විශාඛා කුමාරිකාවෝ. - සාකේත නුවර සැනකෙළිය.


අද මේ සටහන ලියැවෙන්නේ මාගේ දියණියන් 
උදෙසාමයි.
 මගේ දියණියන් වාගේම නිමාෂා, සමණලී, වැනි සුවහසක් අප ලාංකීය දියණියන් උදෙසා මේ වටිනා සටහන මා අතින් සෙනෙහසින්ම ලියැවේ. 

මේ පොත මා අතට පත්වූයේ මා විවාහ වී වසර කිහිපයක් ඇවෑමෙන්. නමුත් මා හැදූ වැඩූ දෙමාපියන්ට පින් සිදු වෙන්න මේ බොහොමයක් පුරුදු මා අත තිබූ බව කියන්නෙ මහත් ආඩම්බරෙන්.

 සමහර දේවල් වලට නම් මට අනුගත වෙන්න සිදු උන බව නොකියාම බැහැ.  ඒ මම සර්ව සම්පූර්ණයෙන්ම විශාඛාවක් නොවුන නිසා ය.

මේ වටිනා පොත් පිංච නිර්මාණය වෙන්නෙ පිංවත් නරමානේ බුද්ධරක්ඛිත හිමියන් අතින්. මේ සඳහා සැදැහැති දායකත්වය දැරෙන්නෙ විශේෂඥ  වෛද් සරත් අමරසේකර වෙදපියාණන් වෙතින්. එතුමා ලංකාවේ සිටිනා ඉතාම දක්ෂ ප්රසව හා නාරී විශේෂඥ වෛද් වරයෙක්.
එතුමා මෙහි පුණ්යානුමෝදනා වෙහි සඳහන් කරන පරිදි අද බොහෝ කාන්තාවන් විවාහය නිසා හෝ වෙනත් ලාබ ප්රයෝජන නිසා හෝ තම ආගමික විශ්වාසයන් අමතක කර දමා වෙනත් ආගම් ඇදහීමට පෙළබේ. බුදුන් වහන්සේ ගේ නිර්මල ධර්මයට සවන් දී වයස අවුරුදු හතේ දී සෝවාන් වූ විශාඛාව විවාහ  වූයේ අන්‍ය ආගමිකයෙකු සමඟ . නමුත් ඇය බුදු දහම පිළිබඳව තිබූ භක්තිය නැතිකර දමා තම සැමියාගේ ආගම වැළඳ ගත්තේ නැත. වෙනුවට ඇය කලේ තම සැමියා ඇතුළු මුළු මහත් නෑදෑ පරපුරම තුල බුදු දහම පිළිබඳව විශ්වාසයක් හා භක්තියක් ඇතිකරලීමය.

මෙයට අමතරව විවාහ කඩාකප්පල් කරගැනීමට අද දියණියන් බොහෝ විට පෙළබේ. විවාහ සංස්ථාව ආරක්ෂා කර ගැනීම මූලික වශයෙන්ම ගැහැණියක සතු යුතුකමක් බව දත යුතුය. ඉවසීම , කැපවීම, ගරු කිරීම වැනි වූ ගුණ ධර්ම ඇය විසින් කුඩා කාලයේ සිටම පුරුදු පුහුණු කල යුතු බව සිහියට ගත යුතුයි.

කාන්තා අයිතිවාසිකම් ලබාගැනීම සඳහා විශාල ආන්දෝලනයක් පවතින අද සමාජයේ ,බොදු බැතිමතුන් බහුතරයක් ඇති ලාංකීය සමාජයේ මේ සඳහා විශේෂ ප්රයත්නයක් දැරිය යුතු නොවේ. මීට හේතුව බෞද්ධ දර්ශනයේ සහ බෞද්ධ සංස්කෘතියේ කාන්තා අයිතිවාසිකම් පැහැදිළිවම ගැබව ඇති නිසාය.
අපේ බෞද්ධ සංස්කෘතියේ විශාඛාවගේ චරිතය ඊට කදිම නිදසුනකි.

ගැහැනු දරුවෙකුයා යුතු මග" පහදා ලීමෙහි ලා නරමානේ බුද්ධරක්ඛිත හිමියන් ගත් මේ පියවර සඳහා මහත් භක්තියෙන් පුණ්යානුමොදනා කරමි
අවසර නොමැතිව වුවද, පොත ඔබ වෙතට පත්වන්නේ එය සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයක් දුන් කතා පුවතක්  නිසාවෙනි. මේ හේතුවෙන් වරදක් වුණි නම් සමාවන සේක්වා.

දියණිවරුනිමේ සටහන් කියවීමෙන් ඔබ අදට වඩා යහපත්ව හෙට දවස ගෙවයි නම් මා ලබන උපරිම සතුටයි.  






දයාබර බුද්ධිමත් මාතාවක විසින් , තම දරුවනට ඉතා දයාවෙන් නොදන්නා දෙයක් පැහැදිලි කරදෙන කලෙකැ මෙන්, මේ නව යොවුන් රූබර යුවතිය විසින් පැහැදිලි කළ එම කරුණු ඇසීමෙන් බහුශ්‍රැත වූ වියපත් ඔව්හූ තව තවත් විශ්මයට පැමිණියාහුය. එපමණක් ද නොවේ, නාරී ලක්ෂණ විද්‍යාව ද මැනවින් හදාරා සිටි ඔවුනට මෙම කතා බහ අතර තුර දීම තව තවත් දේ දැක ගැනුමට ද හැකි විය. බිඹුපල වන් දැඩි රක්තවර්‍ණයෙන් හෙබි ඇගේ දෙතොලත්, එමගින්ම ආවරණයවැ තිබූ කපා ඔප මට්ටම් කළ අනගිතම මුතු ඇට පෙලක් මෙන් සුදුවන් රැස් දහරා නිකුත් වන, සිදුරු රහිත වූ ද එසේම රක්තවර්‍ණ වූ විදුරු මසින් මනාව බැදී සිටිනා වූ ද, දසන් දෙපෙළත්, එසේම මුදා හල කල්හි පාදාන්තය තෙක්ම දිගට වැටී උඩුකුරුව සිටිනා අක් ඇති නීල වර්‍ණ්යෙන් බබලන, නිරෝගිවැ වැඩුන කෙස් කළඹත් , ලා රතු රෝස මල් පෙත්තකට බඳු වූ වර්‍ණවත් වූ ඡවි කල්‍යාණයත් , එ කුමරිය වෙතැ පවත්නා අයුරු දැක ගැනුම ට ද ඔවුහූ සමත් වූහ. කොතෙක් දූ දරුවන් ලබමින් වියපත් වූව ද වයස් ගත ලකුණු පහළ නොවන අපූරු නාරී දේහයක් මෙතුමිය  වෙතැ ඇතැයි ද ඔවුහූ අනුමාන කළාහුය. 

" කුමරියනි, ඔබ කාගේ දුවණියක වන්නෙහි දැ? යි දැන ගැනීමට අපි කැමැත්තෙමු"
" පියවරුනි, මෙම සාකෙත නුවර ධනඤ්ජය  නම් වූ මහා සිටුතුමෙක් වෙති. එතුමන් ගේ දේවිය සුමනාවෝ වෙති. එම දෙපොලගේ එකම දියණිය වන මම'විශාඛා' නම් වෙමි"
" කුමරියනි, අප පිළිබඳවත් තොරතුරු බිඳක් පැවසීමට අවසර දෙන්නෙහිද?"
එසේ යැ පියවරුනි, කැමෙත්තෙන් සවන් දෙමි"

ඉක්බිති බ්‍රාහ්මණවරු තමන් සැවැත් නුවර මිගාර නම් වූ මහ සිටුවරයන්ගේ එක ම පුතණුවන් වූ පූර්‍ණවර්ධන නම් තරුණ සිටු කුමරු සඳහා පංච කල්‍යාණයෙන් යුතු සිට් කුමරියක සොයමින් දඹදිව පුරාම මාස කීපයකැ පටන්ම සංචාරය කළ බවත්, එහෙත් සුන් වූ අපේක්ෂා ඇතිවැ මෙම සාකෙත නගරයට පෙර දින සන්ධ්‍යා කාලයෙහි සැපැත්වැ ලැඟුම් ගත් අයුරුත්, පසු දිනෙහි පැවැත්වෙන මෙම සැනකෙළිය පිළිබඳව අසා උදෑසනින්ම ගඟ වෙත පැමිණ බලා සිටි අයුරුත් පැහැදිළි කළ හ. විශාඛා සිටු කුමරිය දුටු මොහොතෙහි ම තමන් මහත් සේ සොම්නසට සපැමිණි බවත් පැවසූ ඔව්හූ මිගාර මහ සිටුතුමාණන් විසින් සුදුසු සිටු කුමරියක දුටු මොහොතෙහිම ඇයට පළඳවනු පිණිස තමන්ට භාරදුන් කහවණු ලක්ෂයක් වටිනා රුවන් මාලය පැළඳවීමට ද අවසර ඉල්ලා සිටියාහු ය.

" පියවරුනි, එබඳු වූ  තීරණයක් ගැනුම මාගේ මාපියවරුන් සතු වූ කාරියකි. එහෙත් මාගේ  දෙමාපිය වරුන්ගේ කැමැත්ත  ලද හොත් මම ද ඊට එකඟ වන්නෙමි."

අනතුරුව විශාඛාවෝ තම සේවිකාවක කැඳවා තමාටත් තම පිරිසටත් පා ගමන් දැන් අනුචිත වන හෙයින්, ආපසු සිය  සිටු මැඳුරට එනු පිණිස, වහාම වාහන එවන මෙන් දන්වා යැව්වාය. බමුණු පිරිසට ද තම මාළිගයට පැමිණ මා පිය වරුන් හමුවන ලෙසට උපදෙස් දුන්නාය.


මේ යුගය වන විටැ ලොවැ ඉතාමත් ශිෂ්ට  සම්පන්න ජනතාවක් බවට පත්වැ සිටි දඹදිව මධ්‍ය දේශීය ආර්‍ය්යවරුන් අතර සම්ප්‍රදායිකවැ පැවැත ආ සුවිශේෂ සිරිත් විරිත් රැසක් ම තිබිණ. විවාහය පිළිබඳව යෝජනාවක් ලද යුවතියක විසින් අනුගමනය කරණු ලැබූ සිරිතක් වූයේ , එම මොහොතෙහි පටන් ම ඇගේ කෙළිලොල් ළමා වයස ද ඉක්ම ගිය බව වටහා ගැනුම යි.  මේ අනුව එම යුවතියෝ වෙනදා ගිය පා ගමන් වෙනුවට  රථයක් හෝ දෝලාවක් හෝ  යොදාගත් හ. එසේ නොකළහැකි වූ වනිතාවෝ  ඡත්‍රයක් හෝ ඒ සඳහා භාවිතා කළහ. එසේත් නොහැකිවූ තැන තමන් හැඳ සිටිනා සළුවේ කොණකින් හෝ හිස වසා ගත් හ. එදා විශාඛා කුමරිය තම පියානන් වූ  ධනඤ්ජය මහ සිටුවරයාණන් වෙතැ , ආපසු සිටු මැඳුරට  පැමිණෙනු පිණිස 'රථ එවනු මැනවැ'යි දන්වා යැවුයේ ද මෙම කුල සිරිත් අනුවය.

17 comments:

  1. ස්තුතියි, වටිනා ලියමනකි. කෙල්ලන් ටික කියවන්නෙ නම් මැනවි. :)

    ReplyDelete
    Replies
    1. ඔව්, රන්දිල් කෙල්ලන්ටම තමා වටින්නෙ. හැබැයි දෙගොල්ලන්ටම ගන්න දේවල් තියෙනවා මේ චරිතය තුල.

      Delete
  2. අනුලාවෙන් පස්සෙ විශාඛාවට ගිය නිසා මම මේ විශාඛාව ගැනත් බොහෝ දේවල් ඉගෙන ගත්ත. විශේෂයන්ම හැම තැනම කඩාගෙන බිඳගෙන දුවගෙන ගිය මගේ පුරුද්ද ටිකක් හරි අඩුවුනේ විශාඛාවට ගිය නිසයි!!!! අපිට ඉක්මණින් ඇවිදිමින් එහෙත් දුවන්නෙ නැතිව එහෙ මෙහෙ යන එන හැටි ගැන කියා දුන්න අය ඒ ඉස්කෝලේ නොමඳව සිටියා.

    //මේ යුගය වන විටැ ලොවැ ඉතාමත් ශිෂ්ට සම්පන්න ජනතාවක් බවට පත්වැ සිටි දඹදිව මධ්‍ය දේශීය ආර්‍ය්යවරුන් අතර සම්ප්‍රදායිකවැ පැවැත ආ සුවිශේෂ සිරිත් විරිත් රැසක් ම තිබිණ.// බමුණු කුලයේ සමහර "ශිෂ්ට සම්පන්න" යැයි සැලකූ සිරිත් විරිත් වලට බුදුරදුන් එකඟ වූයේ නැති බවත් මෙතැන දී මතක් නොකර බැහැ චාන්දි අක්කා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, අරුණි සමහර දේවල් බුදුරජාණන් වහන්සේ අනුමත කරල නැහැ. ඒවා අවබෝධයෙන්ම දැන ගන්න ඕනෙ. අනුලාවෙන් ලැබුනු පන්නරය තමා මේ තරම් දුරක් ගෙනාවෙ. මට විශාඛා වේ අත්දැකීමක් නෑනෙ.

      Delete
    2. ඔටුනු පලන් රජු නොදුවයි මගුලැතු නොදුවයි ලොවේ
      රහත්වරුද හැදුන වැඩුන ලිය නොදුවති මේ ලොවේ
      නොදුවති මේ සිව් දෙනා පිරිස් බලය පවතිනා

      තෙමුන සලුද අබරන හා වියලෙයි ගෙට ගිය කලේ
      අතක් පයක් කැඩුනෝතින් වරම් කොහිද හිමි ලොවේ
      ආගන්තුක පිරිසකි ඔබ නොදනිමි කවුරුන් කියා
      පති කුලයට නැත පැතුමන් පහන් දහම් සිත් නිසා
      පින්කම් ඇත සිත නිතී කුල ගෙයි හැගුමින් මිදී

      - විශාඛා ගීත නාටකයේ කවි පෙලක්

      Delete
  3. කාලයට උචිත ලියවිල්ලකි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! නුවන් මල්ලි. ඔයා ආයෙත් බ්ලොග් ලියන එක සතුටක්. හොද දෙයක් සමාජයට දෙන්න ලැබේවා! කියල සෙනෙහසින්ම පතනවා.

      Delete
  4. මේ හැම ආදර්ශයක් ම මගේ ජීවිතයට එකතු කරගන්න උපරිම උත්සහා කරනවාමයි...
    ඔබගේ ආදරණීය වෑයමට බොහෝ ම පින්!
    මම නිමාෂා..

    නැවතත් ඔබට පින්!

    ReplyDelete
    Replies
    1. ඔබ මට දියණියක් සේ යි දුව. මට මගේම කියා දියණියක් ලබන්නට වාසනාව තිබුනේ නෑ. නමුත් අමාලි දියණිය අපේ ලෝකෙට ආවාම ඒ හැම සතුටක්ම අප ලැබුවා. ඇය නිසා අද අපි දියණියකගේ සෙනෙහස විඳිනවා. මේ සටහන ඔබ වැනි පින්වත් දූ වරුන් උදෙසාමයි.

      Delete
  5. ගොඩක් වැදගත් ලිපියක් නැන්දේ..... ගෑනු ළමයින්ට විශාකාවන්ගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝයි. ඒවා මතක් කර දීම පිළිබදව නැන්දට බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! සමනලී. ඔබ වැනි පින්වත් දූ වරුන් උදෙසා පිදෙන මේ සටහන ඔබට ආභරණයක්ම වේවා!

      Delete
  6. විශාඛාව ගැන විස්තර මේ කාලේ තමා වැඩියෙන් ඕන.. ඒ උනාට නීලා නැන්දා කියන්නේ “විශාඛා තෝමෝ පැමිණි විලාසෙන් මට ඉන්නට බෑ නිසංසලේ“ කියලා.. වැදගත් ලිපියක්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නෙ දේශක තුමෝ මටත් සමහර වේලාවට එහෙම හිතෙනවා. තියෙන ප්‍රශ්න වලින් ගොඩ එන්න එහෙම ඉඳලා කොහොමද?D:

      Delete
  7. නූතන සමාජය තුළ "විවාහය" යන්න සරළ කාරණාවක් බවට පත්වෙමින් තිබෙනවා. විහේෂයෙන් විවාහ වන ප්‍රමාණයට සාපේක්ෂව දික්කසාද කෙරෙහි යොමුවීමේ ප්‍රවණතාවකයක් ද තියෙනවා මේ වා සරල කාරණා විදියට පණෙුනත් විශාල සමාජ ගැටලු.
    එවන් ගැටලු විසඳීමට බුදුදහමින් ලැබෙන පිටිවහල වැදගත් මෙවන් පොතක් ඔබ දරුදෙදනාට පමණක් නොව මුලුමහත් සමාජයටම කෙටියෙන් හෝ කියවන්නට ඉඩකඩ සළසා දිමම උතුම් පුන්‍යකර්මයක්ම වෙනවා.සමාජයක් යහමගට ගන්නට හැක්කේ මෙවැනි තැන්වලින්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! දයා මල්ලි වටිනා ඇගයීමට. මා මේ කරන මෙහෙවරින් මතු දිනයක එක් දරුවෙකු හරි යහ මඟට ඒ නම් මගේ සතුට සැනසීම ඒ වෙයි. මට ලැබුනේ දියණියක මිස ලේලියක නොවේ. ඈ සැබැවින්ම ගුණයහපත් දෙමාපියනගේ දැරියක්. එන්න ඉන්න දුවත් හරිම සංවේදී හිතක් තියෙන දුවක්. මා සැබැවින්ම වාසනාවන්තයි ඒ අතින්.

      Delete
  8. අද කාලෙට වටින ලිපියක්. වෙලාවක් තියේ නම් මේ පැත්තෙත් ඇවිත් යන්න. http://kurutugegeepota.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න දුව මම ඒ පැත්තෙත් ආව. හරිම සංවේදී ගී පෙලක්. ලස්සනයි . ආයෙත් එන්නම්. ස්තූතියි ඇගයීමට.

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...