Tuesday, January 1, 2013

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 7 iv - දෙවුරම් වෙහෙරේ පහන් සිතින් සැරි සැරුවෙමි.

අද අලුත් අවුරුද්දෙ ඔයාලට තවත් දෙවරම් වෙහෙරේ විස්තරයක්.


 සැමටම වාසනාවන්ත වූ තව තවත් ශ්‍රී සද්ධර්මය අවබෝධ වන වාසනාවන්ත නව වසරක් වේවා! කියල සෙනෙහසින්ම පතනවා. 


                   

මේ තමයි ආනන්ද බෝධීන් වහන්සේ.  ජේතවනයේ දෙව්රම්  වෙහෙරේ  වැඩ සිටින බුදුන් වහන්සේ විහාරයේ නොමැති අවස්ථා වල එහි පැමිණෙන සැදැහැවතුන්ට වන්දනා කිරීම පිණිස ආනන්ද හිමියන්ගේ ඉල්ලීම පිට බුදුන් වහන්සේගේ අනුමැතිය ඇතිව ගයාවේ සිරිමහා බෝධියේ අංකුරයක් දෙව්රම් වෙහෙරේ පැල කරන ලදී.  ආනන්ද  හිමියන් මුල්ව පැල කළ බැවින් එය ආනන්ද බෝධිය නමින් ප්‍රසිද්ධ විය. එම බෝධීන් වහන්සේ අදත් ජීවමානව දෙව්රම් වෙහෙරේ  වැඩ වෙහෙසෙති.  

 ආනන්ද හාමුදුරුවෝ සුද්ධෝදන රජතුමාගේ සහෝදරයකු වූ අමිතෝදන ශාක්‍ය රජුගේ පුතෙකි.එබැවින් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරයෙකි .  ආන්නද හාමුදුරුවෝ මල්ලරට අනුපිය අඹ උයනේදී බුදු සසුනේ පැවිදි වූයේ භද්දිය, භගු, අනුරුද්ධ, කිම්බල, දේවදත්ත යන කුමරුවන් පස් දෙනාත් උපාලි නම් කපුවාත් සමඟ ය.

 පුණ්ණ මන්තානි පුත්ත රහතන් වහන්සේ බණ අසා, ටික කලකින්ම ආනන්ද හාමුදුරැවෝ සෝවාන් වූ හ.
    
වයස අවුරුදු 55ක්ම ගතවන තුරුම භාග්‍යවතුන් වහන්සේට  ස්ථීර උපස්ථායකයෙක් නොවීය.නාගසමාල, නාගිත, සාගත, මේඝීය, රාඝ, උපවාන, සුනක්ඛත්ත සහ චුන්ද ආදී තෙරුන් වහන්සේ වරින් වර බුදුරදුන්ට උපස්ථාන කළ හ.  වයසට යද්දී ස්ථීර උපස්ථායකයෙකු සිටීම අවශ්‍ය බව බුදුරදුන්ට පෙණින. එබැවින් උන්වහන්සේ උපස්ථායකයෙකු වීමට සසර පෙරුම් සපුරා සිටි අනඳ තෙරුන් ඒ සඳහා පත්කර ගත්හ. අනඳ තෙරණුවෝ  මේ වටිනා තනතුරේ වගකීම් තමාට කිසිම ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවී ඉටුකිරීමට සිතට ගත් හ. තනතුර භාර ගත්තේ කොන්දේසී අටක් මතය.  

ඒ තමා (1) භාග්‍යවතුන් වහන්සේට ලැබෙන වටිනා චීවර ආදිය මට නොදිය යුතුයි (2) භාග්‍යවතුවන් වහන්සේට ලැබෙන ප්‍රණීත දානය මට නොදිය යුතුයි (3) භාග්‍යවතුන් වහන්සේ සිටින තැන වැඩ සිටින්නට මට නොදිය යුතුයි (4) භාග්‍යවතුන් වහන්සේ දානයට යම් ආරාධනාවක් බාර ගත්තද ඒ සඳහා නොවැඩ සිටින්නට මට අවසර තිබිය යුතුයි.  ඒ වගේම (5) මම විසින් යම් ආරාධනාවක් බාර ගත්තේනම් ඔබවහන්සේ එය පිළිගත යුතුයි (6) භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ඈත සිට යම් කෙනෙක් ආ විට ඔබවහන්සේ සමීපයට කැඳවාගෙන ඒමට අවසර තිබිය යුතුයි (7) ධර්මය සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවුවොත් එය අසා දැන ගැනීමට මට අවස්ථාව තිබිය යුතුයි (8) මම නොසිටිය අවස්ථාවක ඔබවහන්සේ යම් දේශනාවක් වදාළේනම් එය නැවත මට කියා දිය යුතුයි. ඔබ වහන්සේ මෙයට එකඟ වන සේක්වා කියා ඉල්ලා සිටියා. තථාගතයන් වහන්සේ එයට අවසර දුන්නා. ඉන්පසු ආනන්ද හිමියන් ක්‍රම ක්‍රමයෙන් ධර්ම භාණ්ඩාගාරික බවට පත්වුණා.

 ‘රහතන් වහන්සේ’ යන නම පවා ඇසීම සිත සනසන දෙයක්. රහතන් වහන්සේ නමක් දැක ගන්නට ලැබීම පවා ඇත්තටම වාසනාවක්. 
මිනිස් ලොව මිනිසුන් අතර සිටිමින් මහ පොළොව මත පා තබා ඇවිද ගිය ඒ රහතන් වහන්සේලා අයත් වන්නේ ආශ්චර්යවත් උත්තමයන්ගේ ගණයටයි.

ලෝකයේ ඒ අසිරිමත් උතුමන් බිහි වන්නේ බුද්ධ ශාසනයක පමණි. උන්වහන්සේලාගේ ජීවිත සැහැල්ලු ය. සරල ය. නිදහස් ය. ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටි එවන් අසිරිමත් රහතන් වහන්සේ නමක් ගැන මෙසේ සටහන් තබමි . ඒ තමා ධර්ම භාණ්ඩාගාරික ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ රහතන් වහන්සේ.

උපස්ථාන තනතුර ලැබූ දිනයේ සිට තථාගතයන් වහන්සේට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් දැහැටි දඬු, උණුදිය පිළියෙල කිරීම කුටිය පිරිමැදීම සිට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ තෙල් ගල්වා පා පිරිමැදීම ආදිය සිදුකළා.


දහවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින තැන සිට රාත්‍රිය කාලයේදීත් උන්වහන්සේට ආරක්ෂාව පිණිස නිදිවරා සිටියා.


 රාත්‍රියට නව වතාවක් දඬුවැටි පහනක් අරගෙන තථාගතයන් වහන්සේගේ කුටිය වටේ ඇවිදීම එක් අංගයක් බවට පත්කර ගත්තා.


"මාත් බුදු සමිඳුන් ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. දැන් ඉතින් මට පුනර්භවයක් නැහැ. අවුරුදු විසි පහක් මම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළේ මෛත්‍රී සිතින්මයි. මම සිටියේ උන්වහන්සේ අත හැර නොයන සෙවණැල්ල වගේ."
(ථෙර ගාථා)



 


 


ජේත වනයේ දම්සභා මණ්ඩපය තමයි මේ. මේ දම්සභා මණ්ඩපයේ දී තමයි බොහෝ සූත්‍ර දේශණා කරල තියෙන්නෙ. සඳ පහන් රැයක මහා පුණ්නමා සූත්‍රය දේශණා කෙරුනෙත් මෙතන දී. පටාචාරාවට දහම් දෙසුවෙත්, කිසා ගෝතමියට දහම් දෙසුවෙත්, සුනීත , සෝපාකට දම් දෙසුවෙත්, රාහුල සූත්‍රය ආදිය දෙසුවෙත් මේ අසිරිමත් දම්සභා මණ්ඩපයේ සිටයි.  


අනේ ! අප සිටියේ කොහිද? මේ දම් සභා මණ්ඩපය පිරිවරා කීදෙනෙක් සැනසුම ලැබුවාද? මගේ නෙත් කඳුලින් පිරී ගියේ නොදැනුවත්වමයි. 


 බොහෝ වෙලාවක් ඒ මණ්ඩපයේ හිස තබා ගෙන වන්දනා කලෙමි. මේ මණ්ඩපයේ කොතරම් කාලයක් බුදුපා පහස ලබන්නට ඇත්ද? මේ තරම් දහවලෙත් හිතට දැනුනේ මහා සිසිලක්.








මේ තමයි ශ්‍රී සුගන්ධ කුටිය. මාගේ සම්බුදු පියාණන් බොහෝ කාලයක් වැඩ වාසය කල කුටියයි මේ.   ආනන්ද ස්වාමීන් වහන්සේ රාත්‍රියට නව වතාවක් දඬුවැටි පහනක් අරගෙන තථාගතයන් වහන්සේගේ කුටිය වටේ ඇවිදීම එක් අංගයක් බවට පත්කර ගත්තා.

 බුදු සිසිලස ලබාපු මේ කුටිය මත හිසතබා වන්දනා කලේ මහත් බැතියෙන්. සවස අපි මෙතනම සත් බුදු වන්දනාවට එනවා. ඒ ගැන  පසුව විස්තරයක් දෙන්නම්. 





 
මෙතන ඉන්නේ අර කලින් කියාපු වගේ අන්‍ය තීර්ථකයෙක්. 


මේ තායි විහාරය. මේ විහාරයේ අපි භාවනා කලා. ඇතුලේ පින්තූර ගන්න දෙන්නෙ නෑ. මේ පිටතින් ගත් පිළිරූයි.




මීලඟට සත්බුදු වන්දනාව...........

16 comments:

  1. කියවද්දිත් හිතට සැනසිල්ලක් දැනුනා. එහෙනම් අක්කාටත් වැඩි වැඩියෙන් මෙවැනි ලිපි ලියන්නට ශක්තිය ලැබෙන සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා..! ඒ වගේම පවුලේ හැමෝටමත්..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි. මේක තමයි මා ලබන සතුට.

      ඔයාටත්, පවුලේ සැමටත් වාසනාව සතුට සම්පත පිරි නව වසරක් වේවා!

      Delete
  2. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! මල්ලි ඔයාටත්. බොහොම පිං මේ පැත්තෙ ආවට.

      Delete
  3. අවුරුද්දේ මුලම අපිත් ගියා වගේ තමා
    ඔබට පැතුම් ඉටුවන නව වසරක් වේවා මේ අවුරුද්ද...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! නලින් මල්ලි ඔයාටත් පවුලේ සියළු දෙනාටත්. බොහොම පිං මේ පැත්තෙ ආවට.

      Delete
  4. Replies
    1. ගයනි බොහෝ පිං. ඊයේ ගෙදර නොහොහිටිය නිසා මොනවත් ලියා ගන්න ලැබුනේ නෑ. ඔබටත් ලැබුවාවූ නව වසර වාසනාවන්ත නව වසරක් වේවා කියා පතනවා නංගි.

      Delete
  5. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....!! තව තවත් මෙවැනි හරවත් ළිපි ලිවීමට ශක්තිය ධෛර්ය ලැබේවා....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුව. ඔයාගෙත් සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාව සතුට සම්පත පිරි සුබ නව වසරක් වේවා! කියල සෙනෙහසින්ම පතනවා.

      Delete
  6. ඔබ ආනන්ද බෝධිය අසලදී ලැබූ සැනසුම සහ සිත නිවා පහන් කර ගැනිම අකුරිනුත් ඒ විදියටම තියෙනවා. නෙතින් නොදුටුවත් ආන්නද බෝදිය අසල මොහොතක් ගතකලා වගේ දැනුනා..

    ආනන්ද තෙරණුවන් මොන තරම් කුසලයක් කර තියෙන්න ඇද්ද බුදු හිමියන්ගේ ශ්‍රී පාද පද්මයට අත තබා පිරි මදින්න කියා හිතුනා.

    ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටත් නිරෝගී දිවියෙන් සපිරි සුබම සුබ නව වසරක් උදාවේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම පිං දයානන්ද මල්ලි. මගෙ හිතත් සැනසුනා ඔබේ මේ වදන් වලින්. මේ කරන දේ පිළිබඳව යම් සතුටක් ලබනවා නම් ඒ මේ වදන් කියවා ලබන සතුටයි නෙ මල්ලී. ඔබටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුව ගෙනෙන ධර්මය තව තවත් අවභෝධ වන්නාවූ වාසනාවන්ත නව වසරක් වේවා! කියා සෙනෙහසින්ම පතනවා.

      Delete
  7. කෙදිනක හෝ දඹදිව වන්දනා චාරිකාවක යෙදෙන්නට බලාපොරොත්තුව සිටින අප වැන්නන් හට ඉතාමත් වැදගත් වන තොරතුරු සහිත සවිස්තරාත්මක මෙවන් ලිපි පල කිරීමෙන් ඔඹ සිදු කර ගන්නේ මහත් වූ කුසලයකි. එම කුසලය ඔඹ බුදුන් වැඩසිටී ස්ථාන වැද පුදාගත් පින හා සමාන වන්නා වූ තවත් පිනකි.

    ඔඹ සැමට ලැබුවා වූ නව වසර නිරෝගීමත් වාසනාවන්ත නව වසරක්ම වේවා යැයි පතනෙමු.

    ReplyDelete
    Replies
    1. බොහොම පිං මල්ලි. ඔයා මේ පැත්තෙ ආව එකට සතුටුයි. කොච්චර ඈතක හිටියත් ලංකාවෙ උපන් අපි කොහේදි හරි කවදා හරි මුනගසේවි. ලෝකෙ දැන් හරිම පුංචියි නෙ. සාදරෙන් සෙනෙහසින්ම පිලිගන්නවා මේ පින්බර අඩවියට. වාසනාවන්ත නව වසරක් වේවා!
      නම දැක්කහම නම් බයක් ආවා.D;

      Delete
  8. මම ඔයගෙ පියුම් විල බැලුව. බොහොම පින්.

    ReplyDelete
    Replies
    1. චාලට් අක්කේ, සාදරෙන් සෙනෙහසින්ම පිලිගන්නවා මේ පින්බර අඩවියට. වාසනාවන්ත නව වසරක් වේවා!

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...