Friday, January 4, 2013

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 7 v - දෙවුරම් වෙහෙරේ පහන් සිතින් සැරි සැරුවෙමි.

මේ කල්ප සියය ඇතුලත මේ ලෝක ධාතුවේ වැඩ සිටි සත් බුදුරජාණන් වහන්සේලා වන්දනා කරන්නටයි මේ ඇරයුම. 

මේ වන්දනාව බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සිටම මහ රහතුන් විසින් සිදුකරගෙන එන වන්දනාවක්.

මේ අසිරිමත් වූ වන්දනාව සිදු වන්නේ ශ්‍රී සුගන්ධ කුටියෙ දීයි. සුගන්ධ කුටිය සාදා තිබී ඇත්තේ සඳුන් ලීයන්. නිතර නිතර දෙව් බඹුන් පරසතු , මදාරා වැනි දෙව්ලොව සුවඳින් අනූනවු මල් ගෙනවිත් බුදුරදුන්ට පිදූ බව කියවේ. අදත් ඒ අසිරිය සමහර දිනවලදී දැකිය හැකි බව අපට මෑණියන්වහන්සේ කීවා.  මහා මංගල සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මෝර පිරිත වැනි සූත්‍ර දේශණා සිදු කලේ ද මහා කරුණා සමාපත්තියට සම වැදී ලෝක සත්වයා දෙස මහාකරුණාවෙන් බැලුවේත් මේ සුගන්ධ කුටියේ දී යි. 


කල්ප සියයක් ඇතුලත , ලොව පහළවී වී වදාළ විපස්සී නම් වූ බුදුරජාණන් වහන්සේ ද , සිඛී නම් වූ බුදුරජාණන් වහන්සේ ද, වෙස්සභූ නම් වූ බුදුරජාණන් වහන්සේ ද, කකුසඳ නම් වූ බුදු රජාණන් වහන්සේ ද, කෝණාගමණ නම් වූ බුදුරජාණන් වහන්සේ ද , කාශ්‍යප නම් වූ බුදුරජාණන් වහන්සේ ද , ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ යන සත් බුදුරජාණන් වහන්සේලා ඒකාන්තයෙන්ම අරහං වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ  නම් වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානම් වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක. 






විපස්සී  බුදු රජු  -

මෙයින් අනූ එ
ක් වෙනි කල්පයේ දී එකල මිනිසුන් ගේ වයස ආයුෂ වර්ෂ 80,000 යි. විපස්සී බුදුරදුන් ක්ෂත්‍රීය වංශිකයි. පළොල් රුක් සෙවනකදී සම්බුද්ධත්වයට පත් වුණා. ඛණ්ඩ , තිස්ස යනු අගසව් දෙනමයි.  අසෝක යනු අග්‍ර උපස්ථායක භික්ෂුවයි.  පියා බන්ධුම රජුයි. මව බන්ධුමා දේවියයි. රාජධානිය බන්දුමතී රාජධානියයි.


ලොවේ ඇති හැම අඳුර නසනා - මහා නුවණැති මුනිරජාණනි
සදා සැනසිලි සුවය සදනා  -  ලොවේ ආසදිස දම් රජාණෙනි
විපස්සී යන නමින් තිලොවේ - වැඳුම් ලබනා බුදුරජාණෙනි
දෑත නළලේ තවා වඳිනා -  වැඳුම් පිළිගත මැන සුවාමිනි


නසා සියළුම කෙලෙස් සතුරන් - ජය ලැබූ ලොව දම් රජාණෙනි
පළොල් රුක් සෙවනේදී බුදු රැස් - විහිදුවාලූ සිහ රජාණෙනි
මල් පහන් හා සුවඳ දුම් මේ - සිසිල් පැන් හා ගිලන් පස හැම
පුදමි සම්බුදු පියාණෙනි මම  - පතා ගෙන ඒ අම නිවන් සුව





සිඛී  බුදු රජු -

මෙයින් තිස් එක් වෙනි කල්පයයි. එකල මිනිසුන්ගේ ආයුෂ වර්ෂ 70,000 යි.  සිඛී බුදුරදුන් ක්ෂත්‍රිය වංශිකයි. හෙළඹ රුක් සෙවනකදී සම්බුද්දත්වයට පත් වුණා. අභිභූ,  සම්භව අගසව් දෙනමයි.  ඛේම්න්කර  අග්‍ර උපස්ථායක භිෂුවයි. පියා අරුණ  රජුයි.  මව ප්‍රභාවතී දේවියයි.  රාජධානිය අරුණ රාජධානියයි.

හෙළඹ රුක් සෙවණෙ දී බුදුරැස් -  විහිදුවාලූ මුනි රජාණෙනි
බිම්බරක් දස මාර සේනා - පරදවාලූ වීරයාණෙනි
සිඛී යන නාමයෙන් තුන් ලොව - පිදුම් ලබනා බුදු රජාණෙනි
දෑත නළලේ තබා වඳිනා -  වැඳුම් පිළිගත මැන සුවාමිනි

ලොව ඇති දුක් තැවුල් නිවනා - කාරුණික සම්බුදු රජාණෙනි
නුවණ වසනා අඳුර නසනා - මහා නුවණැති ගුණවතාණෙනි

මල් පහන් හා සුවඳ දුම් මේ - සිසිල් පැන් හා ගිලන් පස හැම
පුදමි සම්බුදු පියාණෙනි මම  - පතා ගෙන ඒ අම නිවන් සුව




වෙස්සභූ බුදු රජු -


මෙයින් තිස් එක් වෙනි කල්පයේ දී. එකල මිනිසුන් ගේ වයස ආයුෂ වර්ෂ 60,000 යි. වෙස්සභූ  බුදුරදුන් ක්ෂත්‍රීය වංශිකයි.  සල් රුක් සෙවනකදී සම්බුද්ධත්වයට පත් වුණා.  සෝණ, උත්තර යනු අගසව් දෙනමයි. උපසාන්ත යනු අග්‍ර උපස්ථායක භික්ෂුවයි. පියා සුප්පතීත  රජුයි.  මව යසවතී  දේවියයි. රාජධානිය අනෝම  රාජධානියයි.


වෙස්සභූ යන නමින් තුන් ලොව - එළිය කරනා බුදු රජාණෙනි
සාල රුක් සෙවනේදී බුදු රැස් - විහිදුවාලූ සිහ රජාණෙනි
සියලු ලෝ සත වෙත දයාවෙන් - නිවන් සැප දුන් බුදු පියාණෙනි
දෑත නළලේ තබා වඳිනා -  වැඳුම් පිළිගත මැන සුවාමිනි


සිල් සමාහිත නුවණ  පැතිරූ - වෙස්සභූ සම්බුදු රජාණෙනි
මිහිරි සදහම් සුවය සැලසූ - ලොවේ අසදිස දම් රජාණෙනි 
මල් පහන් හා සුවඳ දුම් මේ - සිසිල් පැන් හා ගිලන් පස හැම 
පුදමි සම්බුදු පියාණෙනි මම  - පතා ගෙන ඒ අම නිවන් සුව






කකුසඳ   බුදුරදුන් - 



මේ මහා භද්‍ර කල්පයේ දී.  එකල මිනිසුන් ගේ වයස ආයුෂ වර්ෂ 40,000 යි. කකුසඳ   බුදුරදුන් බ්‍රාහ්මණ වංශිකයි.  මහරි  රුක් සෙවනකදී සම්බුද්ධත්වයට පත් වුණා. විධුර, සංජීව  යනු අගසව් දෙනමයි.  බුද්ධිජ  යනු අග්‍ර උපස්ථායක භික්ෂුවයි. පියා අග්ගිදත්ත   බ්‍රහ්මණය යි.  මව විසාඛා බැමිණි ය යි. රාජධානිය ක්ෂේමවතී  රාජධානියයි.


උදාහිරු ලොව දිලෙන විලසින් - ලොවට වඩිනා බුදු රජාණෙනි
මහරි  රුක් සෙවනේදී බුදු රැස් - විහිදුවාලූ දම් රජාණෙනි
නමින් කකුසඳ ලෙසින් තුන් ලොව  -  වැඳුම්  ලබනා   රජාණෙනි 
දෑත නළලේ තබා වඳිනා -  වැඳුම් පිළිගත මැන සුවාමිනි


හඬා වැළපෙන ලොවට සැනසුම -  බෙදා දෙන  සම්බුදුරජාණෙනි
අමා සැප ඇති නිවන් සැප දෙන -  කාරුණික වූ දම් රජාණෙනි 
මල් පහන් හා සුවඳ දුම් මේ - සිසිල් පැන් හා ගිලන් පස හැම 
පුදමි සම්බුදු පියාණෙනි මම  - පතා ගෙන ඒ අම නිවන් සුව






කෝණාගමන   බුදුරදුන් - 


මේ මහා භද්‍ර කල්පයේ දී.  එකල මිනිසුන් ගේ වයස ආයුෂ වර්ෂ 30,000 යි. කෝණාගමන   බුදුරදුන් බ්‍රාහ්මණ වංශිකයි. දිඹුල්   රුක් සෙවනකදී සම්බුද්ධත්වයට පත් වුණා. භීයෝස, උත්තර  යනු අගසව් දෙනමයි. සොත්ථිජ   යනු අග්‍ර උපස්ථායක භික්ෂුවයි. පියා යඤ්ඤදත්ත  බ්‍රහ්මණය යි.  මව උත්තරා බැමිණි ය යි. රාජධානිය සොභවතී  රාජධානියයි.




දෙව් මිනිස් ලොව එළිය කරනා - මහා නුවණැති  මුනි රජාණෙනි
දිඹුල් රුක් සෙවනේදී බුදු රැස් - විහිදුවාලූ සිහ රජාණෙනි
නමින් කෝණාගමන  ලෙස  ලොව -  වැඳුම්  ලබනා  ගුණවතාණෙනි 
දෑත නළලේ තබා වඳිනා -  වැඳුම් පිළිගත මැන සුවාමිනි

මහා කරුණා නෙතින් බලනා - කාරුණික  සම්බුදු පියාණෙනි
වළාකුළු නැති අහසෙ දිලෙනා - සුපුන් සඳ වන් පින්වතාණෙනි
මල් පහන් හා සුවඳ දුම් මේ - සිසිල් පැන් හා ගිලන් පස හැම 
පුදමි සම්බුදු පියාණෙනි මම  - පතා ගෙන ඒ අම නිවන් සුව








කාශ්‍යප   බුදුරදුන්-

මේ මහා භද්‍ර කල්පයේ දී.  එකල මිනිසුන් ගේ වයස ආයුෂ වර්ෂ 20,000 යි. කාශ්‍යප   බුදුරදුන් බ්‍රාහ්මණ වංශිකයි. නුග   රුක් සෙවනකදී සම්බුද්ධත්වයට පත් වුණා. තිස්ස , භාරද්වාජ  යනු අගසව් දෙනමයි. සර්වමිත්‍ර   යනු අග්‍ර උපස්ථායක භික්ෂුවයි. පියා බ්‍රහ්මදත්ත බ්‍රහ්මණය යි.  මව ධනවතී බැමිණි ය යි. රාජධානිය කිකී  රාජධානියයි.


සදාකාලික සුවය සදනා - කාරුණික සම්බුදු රජාණෙනි
නුග  රුක් සෙවනේදී බුදු රැස් - විහිදුවාලූ සිහ රජාණෙනි
නිවා හැම දුක් තැවුල් තිලොවේ - අමා සැප දුන් මුනි රජාණෙනි   
දෑත නළලේ තබා වඳිනා -  වැඳුම් පිළිගත මැන සුවාමිනි

ලොවට සැනසුම පතා ගෙන වැඩි - තථාගත  සම්බුදු රජාණෙනි
සැමට යහපත උදාකරනා - කාරුණික වූ මුනි රජාණෙනි
මල් පහන් හා සුවඳ දුම් මේ - සිසිල් පැන් හා ගිලන් පස හැම 
පුදමි සම්බුදු පියාණෙනි මම  - පතා ගෙන ඒ අම නිවන් සුව











ගෞතම   බුදුරදුන්- 

මේ මහා භද්‍ර කල්පයේ දී.  එකල මිනිසුන් ගේ වයස ආයුෂ වර්ෂ 120 යි. ගෞතම   බුදුරදුන් ක්ෂත්‍රිය වංශිකයි. ඇසතු    රුක් සෙවනකදී සම්බුද්ධත්වයට පත් වුණා. සාරිපුත්ත , මොග්ගල්ලාන  යනු අගසව් දෙනමයි. ආනන්ද    යනු අග්‍ර උපස්ථායක  භික්ෂුවයි. පියා සුද්දෝධන රජ තුමා යි.  මව මහා මායා දේවි ය යි. රාජධානිය කපිලවස්තු රාජධානියයි.



පුරා දස පාරමී  ගුණ දම් - ලොවට වැඩි මහ ගුණවතාණෙනි  
ඇසතු   රුක් සෙවනේදී බුදු රැස් - විහිදුවාලූ  බුදු රජාණෙනි
නමින් ගෞතම  ලෙසින් තුන් ලොව - වැඳුම් ලබනා  මුනි රජාණෙනි   
දෑත නළලේ තබා වඳිනා -  වැඳුම් පිළිගත මැන සුවාමිනි

අඳුරු වූ ලොව එළිය කරනා - මහා නුවණැති බුදු රජාණෙනි
අපට සැනසිලි සුවය සදනා - පිහිට ඔබ ම යි  මුනි රජාණෙනි
මල් පහන් හා සුවඳ දුම් මේ - සිසිල් පැන් හා ගිලන් පස හැම 
පුදමි සම්බුදු පියාණෙනි මම  - පතා ගෙන ඒ අම නිවන් සුව

මේ සියළුම පූජාවෝ විපස්සී නම් වූ බුදුරජාණන් වහන්සේ ගේ පටන් ගෞතම නම්වූ අපගේ බුදුසමිඳුන් දක්වා සත් බුදුරජාණන් වහන්සේලා උදෙසා සාදර ගෞරවයෙන් පූජා කරමි. පූජා වේවා!  පූජා කරමි.  පූජා වේවා!!  පූජා කරමි. පූජා වේවා !!!

සාදූ!    සාදූ!!     සාදූ!!!





අපිට මේ අසිරිමත් වූ සත්බුදු වන්දනාව සිදුකලේ අජිත් මහත්තයාම තමයි. එතුමා ඒ වන්දනාව මහමෙවුනාවේ වාගේම බොහොම ශ්‍රද්ධාවෙන් සිද්ධකලා. එතුමාට බොහෝ පින් අත්වේවි මේ අසිරිමත් වන්දනාවට. ඒ සඳහා සහාය දුන් කීර්ති පුතාටත් , අසෝක පුතාටත් බොහොම පිං. සත්බුදුරජාණන් වහන්සේලා වැඩම කරවලා ඒ අවශ්‍ය කටයුතු සිදු කලේ මේ අයම තමයි. දෙවුරමට මේ වන්දනාව අසන්නට දෙවිවරු පැමිණියා වගේ අහස් කුසත් අසිරිමත් ආශ්චර්යයමත් දර්ශණයක් මවා පෑවා.
මේ අසිරිමත් වූ වන්දනාව වෙලාවෙ තායි යුවතියක් බොහොම ශ්‍රද්ධාවෙන් මේ වන්දනාවට සහභාගී උනා ඒ අයගෙ වන්දනාව අතරේදී. මේක අපිටත් හරිම පුදුමයක්. මොකද මේ අය ඒ රටේ ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක හිටියෙ. ඒ උනත් ඇය ඒ  වෙලාවෙ අපේ වන්දනාවට සහභාගී උනා.






ඔබට ඒ දර්ශණත් එක් කලා බලන්නට.














අපි සැවැත් නුවර ශ්‍රී ලංකාරාමයට ආවෙ රෑ බෝ වෙලා. රසවත් කෝපි කෝප්පයක් සීතලටත් එක්ක ලැබුණා. මේ දිනවල ඉන්දියාවෙ ශීත කාලය ආරම්භ වෙන කාලෙ. මදින් මද දැන් ශීතල දැනෙනවා. අපිට පරාටා සමඟ රසවත් බත් වේලක් ලැබුනා වෙනසකටත් එක්ක. අපි බොහොම ආසාවෙන් කෑම ගත්තා උයාපු පුතාලට පින් දෙමින්. මේ ගමන්ම මගෙ මහත්තයාටයි දෙමාපියන්ටයි පිං දෙන්න ඕනෙ. එයාල තමයි මගෙ මේ වන්දනා ගමනට අනුග්‍රහය දැක්වූයෙ.  පාන්දරින්ම යන්නෙ කිඹුල්වතට. ඒ නිසා ඉක්මනින්ම නින්දට ගියා බොහොම සැහැල්ලුවෙන් මෙන්ම පහන් සිතින්. 

ඔන්න අදින් දෙවුරම් වෙහෙර වන්දනාව නිමා වෙනවා.


මීළඟට ..............බුදුන් උපන් දේශයට...........යමු.

8 comments:

  1. සාධු සාධු සා.....ධු..
    ඔබට පින්....

    ReplyDelete
    Replies
    1. නලින් මල්ලී, ඔබටත් බොහෝම පිං.

      Delete
  2. විස්තරයට බොහොම පින් අක්කට..! අර ආකාශය පෙන්වන පින්තූර විශාලනය කරලා බලද්දී ඒ දර්ශනය පැහැදිලිව පෙනෙන්න තියනවා.

    ReplyDelete
    Replies
    1. චන්දන මල්ලී බොහෝම පිං මේ දේවල් කියවන්න එනවටත්. ඔයා නිසාමයි ඔන්න ඒවා නම් දැම්මෙ. එදාත් ඔයා ඒ පින්තූර බලපු නිසා. බලන්න කොච්චර අසිරිමත් ද කියලා. මේවා දැකපු කෙනෙක් මිස කීවට කවුරුත් විස්වාස කරන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. මාත් කාලයක් එහෙමයි. කිව්වට විස්වාසයක් තිබ්බෙ නෑ.

      Delete
  3. හැමදාමත්ම මේ සටහන් පෙල කියෙව්වාම හිතෙන් දඹදිව ගිහින් එව හැඟීමක් එනවා

    ReplyDelete
  4. බොහොම පිං දයානන්ද මල්ලි.

    ReplyDelete
  5. මමත් චන්දි අක්කා එකක ගියා වගේ දැනෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! නංගි. ඇත්තටම නංගි අපි සසරේ මේ ලෙස ඇවිදින්න ඇති කියල මටත් හිතෙනවා. අපි මෙහෙම ආයිත් කවදා හරි යාවි එකතු වෙලා. කොච්චර සතුටු වෙයිද එදාට අපි.

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...