බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Tuesday, January 28, 2014

ධම්ම පදය - චිත්ත වර්ගය 5



දූරංගමං ඒකචරං – අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොක්ඛන්ති මාරබන්ධනා

දුර ගමන් යයි මේ සිත
සැරිසරා යයි හුදකලාවේ
සිරුරක් නොමැති මේ සිත
වසයි කය නම් වූ ගුහාවේ
යමෙක් මේ සිත දැනගෙන
මනාකොට දමනය කරයි නම්
මිදී යයි ඔහු සොඳ ලෙස
මේ මාර බන්ධනයෙන්

මේ සිතට බොහෝම දුර ගමන් තියෙනවා. හැබැයි තනියම තමයි යන්නෙ. හිතට ඇඟක් නෑ නමුත් මේ හිත වාසය කරන්නෙ ශරීරය නැමති ගුහාවෙ. යම් කෙනෙක් එබඳු හිත දමනය කර ගත්තොත් , අන්න ඒ උදවියට මාර බන්ධනයෙන් නිදහස් වෙන්ට පුළුවනි.  

Death’s Snare Can Be Broken By Tamed Mind

Drifting far, straying all alone,
formless, recumbent in a cave.
They will be free from Mara’s bonds
who restrain this mind.
Explanation: The mind is capable of travelling vast distances - up or down, north or south, east or west - in any direction. It can travel to the past or the future. It roams about all alone. It is without any perceptible forms. If an individual were to restrain the mind fully, he will achieve freedom from the bonds of death.

භාගිනෙය්ය සංඝරක්ඛිත තෙරුන්ගේ කථා වස්තුව
“සිත සංවර කළොත් මාර බන්ධනයෙන් නිදහස් වෙනවා”

සිත නොමඟ යෑමෙන්මයි හැමදෙනෙක්ම අමාරුවේ වැටෙන්නෙ. සිත ගැන අවබෝධයක් නැති නිසා අමාරුවේ වැටුන බව සොයාගන්න තේරෙන්නෙත් නැහැ. එනිසාම බොහෝ දෙනෙක් සසර දුකින් එතෙර විය නොහැකිව දුකින් දුකටම පත්වෙනවා. සිත නොමඟ යන විට හඳුනා නොගත්තොත් දුමකින් වැහෙනවා වගේ කුසල් වැහිලා යනවා. කරුවල වෙනවා වගේ පව් එකතු වෙනවා. කළ්‍යාණ මිත‍්‍රයන් වහන්සේලාගේ උපකාරයකින් තොරව සිත ජයගැනීම ගැන සිතා ගන්නටත් අමාරුයි. වාසනාව තියෙන පින්වතුන් අවසාන මොහොතේදි හරි බේරෙනවා. නොමඟ ගිය සිත නිසා අමාරුවේ වැටෙන්නට ගිය කෙනෙක් යාන්තමින් බේරුන විස්තරයයි මෙම කථාවෙහි සඳහන් වන්නේ.










































































සැවැත් නුවර සංඝරක්ඛිත නම් තෙරුන් වහන්සේ නමක් වැඩසිටියා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් ගැන, කතා බහ ගැන, ලද දෙයින් සතුටු වීම ගැන, නෑයන් කෙරෙහි නොඇලීම ගැන, පවුලේ සියලූ දෙනා මහත් සතුටට පත්වුනා. තම සහෝදරයන් වහන්සේ ගෞතම බුදු සසුන තුළ ඒකාන්තයෙන්ම පිහිටක් ලබාගෙන ඇතැයි නෑදෑයන් සියලූ දෙනා කල්පනා කළා.
මේ සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේට සහෝදරියක් සිටියා. ඇය ඉතාමත් ශ‍්‍රද්ධාවන්තයි. නිතර සිල් රකිනවා. භාවනා කරනවා. ධර්මය ඉගෙන ගන්නවා. ඇය නිතර සිතුවේ “අනේ…. මට පුතෙක් ලැබුනොත් අපගේ සහෝදර ස්වාමීන් වහන්සේ ළඟ මගේ පුතාව පැවිදි කරනවා” කියලයි. වාසනාවට මෙතුමියට පුත්රුවනක් ලැබුනා. සහෝදර ස්වාමීන් වහන්සේ කෙරෙහි ඇති මහත් භක්තිය නිසාම මේ දරුවාට සංඝරක්ඛිත කියන නම තැබුවා. ඒ ස්වාමීන් වහන්සේගේ සහෝදරියගේ පුතු නිසා මේ කුඩා දරුවා භාගිනෙය්ය සංඝරක්ඛිත නමින් කවුරුත් හැඳින්වුවා. තම දරුවා හොඳින් වැඩුනු පසු මෙතුමිය තම සහෝදරයන් වහන්සේ ළඟ පැවිදි කළා. භාගිනෙය්ය සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ ඉතා කීකරුයි. ඒ වගේම තමන්ගේ ඤාති ස්වාමීන් වහන්සේටත් ගොඩාක් ආදරෙයි. ඉතාමත් ගුරු ගෞරවයෙන් යුක්තයි.

ඉතින් මේ භාගිනෙය්ය සංඝරක්ඛිත තරුණ ස්වාමීන් වහන්සේ තම ගුරුදේවයන් වහන්සේට වන්දනා කොට අවසර ගෙන සඟ පිරිසත් සමඟ චාරිකාවේ වැඩියා. ඈත ප‍්‍රදේශයක වස් වැසුවා. වස් අවසානයේදී නැවත චාරිකාවේ වඩින්නට පිටත් වෙද්දී සැදැහැවත් පින්වතුන්ගෙන් සිවුරකට හොඳින් ගැලපෙන සත් රියන් වස්ත‍්‍රයක් සහ අට රියන් වස්ත‍්‍රයක් යන වස්ත‍්‍ර දෙකක් ලැබුනා. භාගිනෙය්ය සංඝරක්ඛිත තරුණ ස්වාමීන් වහන්සේගේ අතට මේ අලූත් වස්ත‍්‍ර යුගල ලැබුණු ගමන් මතක් වුනේ තමන්ගේ ගුරුදේවයන් වහන්සේ වන සංඝරක්ඛිත මහ තෙරුන් වහන්සේවයි. වස්ත‍්‍ර යුගල අතේ තියාගෙන ඉතාමත් සතුටින් කල්පනා කළා. “මට හරි වාසනාවක් ලැබුනේ. මේ සැදැහැවත් පින්වතුන් අපූරු වස්ත‍්‍ර යුගලක් පූජා කළා. මේ වස්ත‍්‍ර යුගලෙන් අට රියන් වස්ත‍්‍රය ගැලපෙන්නේ මාගේ ඤාතී වූ ඒ මාගේ ගුරුදේවයන් වහන්සේටමයි. මේ වස්ත‍්‍රය උන්වහන්සේට පූජා කරන්නට ඕන. මේකෙන් සිවුරක් මහලා, පඬු පොවලා දෙන්නට ලැබුනොත් උන්වහන්සේ ඒ සිවුර පොරවාවි. උන්වහන්සේගේ ශාන්ත බව තවත් වැඩිවේවි. මට හරිම වාසනාවක්.

ඉතින් භාගිනෙය්ය සංඝරක්ඛිත තරුණ ස්වාමීන් වහන්සේ මහත් සතුටින් යුක්තව ගුරුදේවයන් වහන්සේව සොයාගෙන පැමිණියා. තම ගුරුදේවයන් වහන්සේ නිකෙලෙස් මහරහතන් වහන්සේ නමක් බව මේ ස්වාමීන් වහන්සේ දන්නෙ නැහැ. ලෞකික දේවල් ගැන උන්වහන්සේගේ සිතෙහි කිසි ආශාවක් නැති බව දන්නෙත් නැහැ. මහත් සතුටින් යුක්තව තමන් රැගෙන පැමිණි වස්ත‍්‍රය ගුරුදේවයන් වහන්සේට ආදරෙන් පිළිගැන්නුවා. උන්වහන්සේගේ සිතෙහි අමුතු සතුටක් ඇති වුනේ නැහැ. ඒ පිළිගැන්නූ වස්ත‍්‍රය නැවත පොඩි නමටම දුන්නා. තමන් මහත් දුර බැහැර සිට රැගෙන පැමිණි මේ වස්ත‍්‍රය මේසා ආදර ගෞරව දක්වන ගුරුදේවයන් වහන්සේ නොපිළිගන්නේ මන්ද? උන්වහන්සේගේ සිත ප‍්‍රීතියට පත් නොවුනේ මන්ද? කියා මේ පොඩි නම කල්පනා කරන්නට පටන් ගත්තා. ගුරුදේවයන් වහන්සේ පොඩි නමගේ සිතේ ඇති වූ කලකිරීම හඳුනා ගත්තා. හඳුනාගෙන ඒ සිත සතුටු කරවීම පිණිස ගුරුදේවයන් වහන්සේට පවන් සලන්න කියා කිව්වා.
පොඩි නමට ගොඩාක් දුක හිතුනා. ගුරුදේවයන් වහන්සේට පවන් සල සලා මහත් දුකෙන් යුක්තව කල්පනා කරන්නට පටන් ගත්තා. “මගේ ගුරුදේවයන් වහන්සේ දැන් මා කෙරෙහි සෙනෙහෙවන්ත නැහැ. මා පැමිණියා කියල කිසි විශේෂයක් දැක්වුවෙත් නැහැ. මා ගෙනා පිරිකර පිළිගත්තෙත් නැහැ. උන්වහන්සේට දැන් මගේ උපස්ථාන වුණත් වටින්නෙ නැතුව ඇති. මට උන්වහන්සේගේ කරුණා මෛත‍්‍රිය නැතිව මේ සිවුරෙන් ඇති ඵලය කුමක්ද? ඒ නිසා තවදුරටත් මා රැඳී සිටියොත් කැලේ දාපු දරකඩක් වගේ මට ඉන්නට සිදුවේවි.” දැන් පොඩි නම දිගින් දිගටම සිත නොමඟ යන ආකාරයටම කල්පනා කරනවා. අයෝනිසෝ මනසිකාරයෙහි යෙදෙනවා. දැන් ටික ටික නූපන් අකුසල් උපදින්නට පටන් ගන්නවා. සිහි නුවණින් තොරව කල්පනා කරන පොඩි නමට තම සිත විසින් තමාව නොමඟ යවන ආකාරය ගැන තේරුම් ගන්නට බැරිව යනවා. තම ගුරුදේවයන් වහන්සේට පවන් සල සලා සිතින් පොඩි නම සිහින ලොවක අතරමං වෙනවා.

ඔව්…. මං ගෙදර යනවා. මට ගුරුදේවයන් වහන්සේ නැතිව ඇති පලක් නැහැ. ඔව්…. ගෙදර යන එක තමයි මට කරන්න තියෙන්නෙ. එහෙත් ගිය ගමන් මිල මුදල් හම්බ කරන එක ලෙහෙසි නැහැ. ඒ වුනාට මට හොඳට අතේ පයේ හයිය තියෙනවා. මම කම්මැලි නෑ. මට හොඳට වෙහෙස මහන්සි වෙන්න පුළුවන්. පහසුම ක‍්‍රමය නම් කිරි එළදෙනක් ගන්න එකයි. අනික දැන් ඉන්න කිරිඑළදෙන්නු ඉක්මනින් වදනවා නෙව. එතකොට පැටවුත් ලැබෙනවා. එහෙත් එළදෙන ගන්න සල්ලි කෝ….? ගෙදරට එකවරටම කියන්නත් බෑ. හොඳම ක‍්‍රමය මේ පිරිකර විකුණගන්න එකයි. එතකොට එළදෙන ගන්න පුළුවනි. පැටියා වැදුවාම හැමදාම කිරි ලැබෙනවා. මම එතකොට ඒ කිරි විකුණනවා. වැඩි කලක් යන්නෙ නෑ. සෑහෙන ගාණක් එකතු කරගන්න පුළුවන්. වීරියවන්ත කෙනෙකුට කවුරුත් කැමතියි. මං හොඳ තැනකින් ලස්සන ගෑණු ළමයෙක් කසාද බඳිනවා. පුංචි පැලක් හදාගෙන, පොඩි ගොවිපලක් හදාගෙන, කුඹුරු කෑල්ලක් කරගෙන, මගේම කියල නිදහස් ලෝකයක් මං ගොඩනගා ගන්නවා. මං කැමති පුතෙක් ලබන්නයි. චූටි පුතාට මං ලස්සන නමක් දානවා. ලස්සන ධර්ම චක‍්‍රයක් බෙල්ලෙ එල්ලනවා. එතකොට මගේ පොඩි පුතාවත්, බිරිඳවත් ලස්සනට සරසා ගෙන මෙයට වඩා හොඳ පිරිකරක් අරගෙන ගුරුදේවයන් වහන්සේව බැහැදකින්න එනවා. එතකොට උන්වහන්සේට මං ගැන ආදරය හිතෙයි. හැබැයි මං එනගමනෙදි අශ්ව කරත්තෙකින් ආවොත් තමයි ගොඩක්ම හොඳ. ඒ වුනාට ඔය අශ්ව කරත්තෙට නගිද්දි බැරිවෙලාවත් මගේ බිරිඳ අතින් ළමයා වැටුනොත් ආයෙ දෙකක් බලන්නෙ නෑ, එවෙලෙම උන්දැගෙ ඔළුවට අනිනවා” කියලා එකපාරටම අර පවන් සළමින් සිටිය වටාපතින් ගුරුදේවයන් වහන්සේගේ හිසට පහර දුන්නා.

පොඩි නමගේ ඇස් ලොකු වුනා. ඇඟ සීතල වුනා. හිරි වැටිලා ගියා. සිහිය ඉපදුනා. තමන් මේ පහර දුන්නේ මේ සා ආදර ගෞරව දක්වන තමන්ගේම ඤාතී වූ ගුරුදේවයන් වහන්සේට නොවේද? ගුරුදේවයන් වහන්සේට හිනහා ගියා. පොඩි නම දිහා හිනහ වෙවී බැලූවා. “අනේ…. අනේ…. සංඝරක්ඛිත. බිරින්දෑට ගහන්නට ගොහින් බැරි වුන තැනේදි අපට නෙව තැලූවෙ.

භාගිනෙය්ය සංඝරක්ඛිත පොඩි නමට මහා ලැජ්ජාවක් ඇති වුනා. වටාපත බිමින් තිබ්බා. ගුරුදේවයන් වහන්සේට වැන්ඳා. පැනල දුවන්න සූදානම් වුනා. අනිත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේව අල්ලගත්තා. කලබල සිත සංසිඳෙව්වා. ගුරුදේවයන් වහන්සේ පොඩි නමට ආදරෙන් කථා කළා.“සංඝරක්ඛිත, මේ සිතේ හැටි ඔහොම තමා. කලබල වෙන්න එපා. සිවුරු අරින්නට කල්පනා කරන්න ඕන නෑ. හිතට ලැජ්ජාවක් ඇති කරගන්නත් එපා. අපි බුදුරජාණන් වහන්සේව බැහැදකින්න යමු. බුදුරජාණන් වහන්සේගෙන් මේ හිත දියුණු කරන ධර්මය අසමු” කියලා බුදුරජාණන් වහන්සේ ළඟට රැගෙන ගියා.

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මහත් අනුකම්පාවෙන් සිතෙහි පවතින මේ භයානක ස්වභාවය පෙන්වා දුන්නා. සිත ගැන ඉතාමත් පැහැදිලිව තේරුම් ගත හැකි ලෙස මෙම ගාථාව වදාළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් දුන් පොඩි නමගේ සිතට මහත් සතුටක් ඇති වුනා. සිතේ කලබල ගතිය තුරන් වුනා. නැවතත් සිත ධර්මයට යොමු වුනා. තම ගුරුදේවයන් වහන්සේ පිරිකර පූජාව භාර නොගත්තේ තමා ගැන අමනාපයෙන් නොවන බව අවබෝධ වුනා. උන්වහන්සේ ලෝකයෙන් නිදහස්ව සිටින කෙනෙක් බවත් අවබෝධ වුනා. ඒ වගේ ඇලීමෙන් තොරව වාසය කිරීමේ උතුම්කම පොඩි නමට වැටහුනා. නැවතත් නිවන් මගට ආසා කළා. සතර සතිපට්ඨානයේ සිත පිහිටුවන්නට වීරිය කළා. පොඩි නමගේ උත්සාහය සාර්ථක වුනා. නොමඟ ගිය සිත දමනය කරගත්තා. සංවර කරගත්තා. මාර බන්ධනයන්ගෙන් නිදහස් වුනා. රහතන් වහන්සේ නමක් බවට පත්වුනා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, අද විතරක් නෙවෙයි සිතේ ස්වභාවය එදත් මේ විදිහමයි. සිතට යන ගමනේ සීමාවක් නෑ. සිතන්නට පටන් ගත් විට සිත යන දුර කාටවත් සිතාගන්නට බැහැ. දැන් අර පොඩි නමගේ සිත මොනතරම් දුරක ගියාද? තමන්ගේ ගුරුදේවයන් වහන්සේට වටාපතින් ගසනා තුරු තමන් සිටින තැනත් අමතක වුනා නේ. මේ විදිහට අපි මොනතරම් හිතනවද? සිතෙන් ගෙවල් හදනවා. සිතෙන් විභාග පාස් කරනවා. සිතෙන් මාළිගා හදනවා. සිතෙන් පැන් පොකුණු හදනවා. සිතෙන් යාන වාහන ගන්නවා. සිතෙන් රජ වෙනවා. සිතෙන් නොකරන දෙයක් නැතිතරම්.
මේ සිත ඉතාම වේගයෙන් එක එක සිතුවිලිවල පැටලෙනවා. නූල් බෝලයකටත් වඩා අවුල් වෙනවා. හරිම මායාකාරියි. මේ මායාවට හසුවුනාට පස්සේ ගැලවෙන එක ලේසි නෑ. තමන් ඉන්නෙ කොහෙද? තමන් කුමක්ද කරන්නෙ? තමන්ගේ තත්වය කුමක්ද? තමන්ගේ තරාතිරම කුමක්ද? මේ කිසිවක් මතක නෑ. මේ සිත මිනිසුන්ව රවට්ටන්නේ මැජික්කාරයෙක් මැජික් පෙන්වනවා වගෙයි. මවාගත්තු සිහින ලෝකවල ජීවත් වෙමින් සිතෙන් තෘප්තියක් ලබන්න කී දෙනෙක් මහන්සි ගන්නවාද? පියවි සිහියට එනකොට තමන් හිතපු දේවල් ගැන තමන්ටම ලැජ්ජා හිතෙනවා.
මේ සිත තනිවමයි මේ වැඬේ කරන්නෙ. එක එක විදිහට එක එක නිර්මාණ සකස් කර කර ඒ තුළම අපි ජීවත් වෙන්න හදන්නෙ. මේ සිතට ඕනම දෙයක් හිත හිත ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ සිතට ආවේණික සිරුරක් නැති නිසා නේද? ඒ වුනාට මේ සිත ශරීරය නම් වූ ගුහාව තුළ තමයි පදිංචි වෙලා ඉන්නෙ. සිතේ ඇති මෙම මායාකාරී ස්වභාවය හඳුනාගෙන මේ සිත දමනය කරනවා නම්, සංවර කරගන්නවා නම්, ඒ කෙනා මහා වීරියවන්තයෙක්. මහා නැණවතෙක්. කුසලතා පූර්ණ කෙනෙක්. ඒ කෙනාට පුළුවනි කිසි දවසක නොගිය ඒ අමා නිවන කරා යන්නට. ඒ කෙනා තමයි මේ මාර බන්ධනයෙන් ගැලවිලා යන්නෙ. සිතේ මායාවන්ට හසු නොවී මේ මාර බන්ධනයෙන් ගැලවිලා නිදහස් වෙන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද.

බුදුරජාණන් වහන්සේ සිහිය පිහිටුවීම ගැන වදාළ දෙසුමක චිත්තානුපස්සනාව නමින් භාවනාවක් උගන්වා තිබෙනවා. එම භාවනාවෙහි සිත ගැන හොඳට පහදා දෙනවා. සිහියෙන් ඉන්න කෙනෙකුට මේ සිත නොයෙක් ආසාවල පැටලී ඒ හේතුවෙන් කිලූටු වෙද්දී හොඳින් හඳුනාගන්න පුළුවන්. එම කිලූටෙන් සිත බේරාගන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදී හිතට ද්වේෂය ඇතිවෙනවා. එතකොට මේ සිතේ ඉතාම මායාකාරී විදිහට මෙම ද්වේෂය නිර්මාණය වෙනවා. සිත ගැන කල්පනාවෙන් නොසිටියොත් ද්වේෂය නැමැති අකුසලයේ ගොදුරක් බවට ඔහු පත්වෙන්නෙ ඔහුටත් නොදැනීමයි. ඒ වගේම භය, තැතිගැනීම, සැකය, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය, අනුන්ට අපහාස කිරීම, අනුන් හෙලාදැකීම ආදී නොයෙක් අකුසල් මේ සිතේ හටගන්නවා. එබඳු අකුසල් නිසා නොමඟ යන ජීවිත මොන තරම් තියෙනවාද? මේ නිසා අපි මෙම මායාකාරී චිත්ත ස්වභාවයට හසු නොවී ධර්මය තුළින් මෙම සිත උදාර තත්වයට ගොඩනගමු.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ



5 comments:

  1. හැමදාම වගේ පින් තමා... හොදේ..

    ReplyDelete
  2. ඉතාමත් සාරවත් වූත් , හරවත් වූත් ලිපි වලින් පෝෂිත අඩවියක්. ඔබ කරන්නෙ විශාල පුණ්‍යකර්මයක්. ( සබ්බ දානං ධම්ම දානං ජිනාති )
    මටත් කියන්න තියෙන්නෙ ඔබට පිං කියලා තමා

    ReplyDelete
  3. වැඩි වෙලාවක් අරන් හෙමින් හෙමින් කියෙව්වා.. පින් සිදු වෙවා..!

    ReplyDelete
  4. ටම්ම පදය වගේම තෙර ථේරි ගාතාවන් සරලව කියවන්න පුළුවන් තැන මෙැතනයි...

    පින්සිදු වේවා.....

    ReplyDelete
  5. නැන්දා පතන්නා වූ බෝධියකින් උතුම් වූ අමා මහා නිවන් සම්පත් ලඟා කරගන්න මේ ධර්ම දානය හේතු වේවා!!!!!
    මම පුලුවන් හැම වෙලාවක ම පින් දෙනවා මට ධර්ම මාර්ගය, යහ මාර්ගය පෙන්වූ අයට.. නැන්දටත් ඒ පින අයිතියි...
    බොහොමත් ම පිං නැවතත්
    මම නිමාෂා..

    ReplyDelete