බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Sunday, December 2, 2012

බෙස්ට් ලයිෆ් වන්දනා සමඟ - 5 අග්‍රා බලා.



20/10/2012
අග්‍රා බලා………..







 අතර මඟ දර්ශන.


අපි කාන්පූර් සිට අග්‍රා බලා පිටත් උනේ පාන්දර 4.30 ටයි. අපි උදේ තේ පානය කර පිටත් වුනෙමු. උදේ 7.00 ට පමණ අතර මග නවතා පාන්, සම්බල හා අල හොදි සමඟ උදේ ආහාරය ගත්තෙමු. දහවල් වෙනවිට මඟ දෙපස දිගටම ගඩොල් පෝරණු තිබෙනු දක්නට ලැබුණි. වෙල්යාය වල්, කෙත් වතු, විශාල තණ බිම් , දක්නට ලැබුණි. 


                                                                    ගීත ගායනයක්. 




මේ අතර ඊයේ කෝසම්බිය බලා ගමන් ගත්දී කෙරුණු එකිනෙකා හඳුනා ගැනීමේ වැඩ සටහන ගැන ලියන්නට සිතුනි.

 මේ වැඩ සටහන ඉතාම වටිනා වැඩ සටහනක් බව කියනු කැමැත්තෙමි. වන්දනාවට සහභාගී වූ අප සැම ලංකාවේ සෑම පලාතකින්ම පැමිණි අය වෙමු. එක් එක් වයස් කාණ්ඩ වල අය වීමු. එක් එක් රැකියාවල නියතු වූවෝ වෙමු. මේ හැම දෙනෙක් ම විවිධ අදහස් ඇති අය වීමු. මේ හඳුනාගැනීමේ වැඩ සටහනෙන් පසුව අපි  එකි නෙකා ගැන දැන ගත්තෙමු. ඊට පසුව ඒ අය ගැන ගෞරවයකින් බලන්නට හැකි වූ බව කිව යුතුමය. කෙනෙක් තේ දළු කඩන්නෙකු විය, කෙනෙක් දහම් පාසැල් ගුරු මෑණී කෙනෙකි, කෙනෙක් විදුහල්පතිනියකි, කෙනෙක් විශ්‍රාමික හෙදියකි, කෙනෙක් විශ්‍රාමික දුරකතන ක්‍රියා කරවන්නියකි, කෙනෙක් කළමණාකාරිනියකි, කෙනෙක් ගුරුමෑණී කෙනෙකි, කෙනෙක් හමුදා නිළධාරියෙකි , කෙනෙක් ගෘහණියකි, මේ හැම දෙනෙක්ම එකම පවුලක් සේ එක් වූයේ මේ හඳුනා ගැනීමේ වැඩ සටහනෙන් පසුවය. ඒ ගැන බෙස්ට් ලයිෆ් ආයතනයටත්, අජිත් මහතා හා කීර්ති පුතාටත් මගේ ආදර ස්තූතිය පුදමි.

 මා මෙසේ කියන්නේ කෙනෙක් ගේ ඇගේ හැපී තව කෙනෙකුට අසන්නට ලැබුනේ හොඳක් නම් නෙමෙයි. නමුත් මේ දිනයෙන් පසුව එවැනි සිද්ධියක් ඇති නොවුණු නිසාය. ඒ අපි එකිනෙකා තේරුම් ගෙන ඒ අනුව හැඩ ගැසුණු නිසා ය. බොහෝ අම්මලා ඉතාම අහිංසක අය ය. සිරිපා ගමේ සිට, ගිලීමලේ සිට තේ දළු කඩා මුදල් එකතු කරගෙන මේ ගමන ඇවිත් තිබුණි. විදෙස් මුදල් පරිහරණය වත් හරි හැටි නොදැන සිටි අය ය. අපිට ඒ අයට හැකි පමණින් උදව් වීමට හැකිවීම එක් අතකින් අප ලැබූ පිනකි. මේ අය රවටා ගැනීමට බලා සිටි අයගෙන් අප කිහිප විටක් මේ අයව බේරා ගත්තෙමු. අප කණ්ඩායමේ නායක තුමා ද ඉතාමත් විමසිල්ලෙන් සිටි නිසා අප කාටත් මේ අයගෙන් කරදරයක් නොවුණි.



Dr. B.R. Ambedkar





 අම්බෙක්කාර් තුමාගේ බෞද්ධ විහාරය.

අපි සවස හතරට පමණ අග්‍රා නගරයට ආවෙමු. අපි මුළින්ම පැමිණියේ අම්බෙක්කාර් තුමා විසින් ඉඳිකරන ලද අග්‍රාවේ ඇති එකම බෞද්ධ පන්සල වෙතටයි. ඉතාම කුඩා විහාරයකි. බලා ගන්නේ ස්වාමී කෙනෙකි. එතුමාට මහත් පින් අත්වේවා! නෙතට රසඳුනක් වූ එකම විහාරය තව දීර්ග කාලයක් බලා කියා ගන්නට එතුමාට දීර්ඝායුෂ ලැබේවා! පැතුවෙමි. මේ කුඩා සුන්දර විහාරය අපි වන්දනා කලෙමු.


බීම් රාවෝ රාම්ජී අම්බෙක්කාර් තුමා 1891 අප්‍රියෙල් මස 14 දින ඉතාම දිළිඳු පවුලක දහහතරවන දරුවා ලෙස උපත ලැබීය. මධ්‍ය ප්‍රදේශයේ මහාර් නම් කුලයක උපන් ඔහු ඉන්දියාවේ භ්‍රාහ්මණයන් විසින් කොන් කරනු ලැබීය. දිනක් ඔහු නාන තොටුපලේදී ඉතා දරුණු ලෙස හිංසනයට ලක්විය. ඒ භ්‍රාහ්මණයන් නාන තැනක නාන්නට යෙදුනු බැවින් පහර කෑමට ලක්විය. නමුත් ඉතාම දුක් මහන්සියෙන් ඉගෙන ගෙන ඉතාම ඉහල තලයකට එන්නට ඔහු සමත් විය. බොම්බායේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇමෙරිකාවට ගොස් ඉතිරි විභාග සමත්වෙන්නට තරම් දක්ෂයෙක් විය. පසුව එන්ගලන්තයේ දී නීතියද හදාරා ආපසු ඉන්දියාවට පැමිණ පහත් කුලවල අයට නීති උපදෙස් දෙමින් දේශපාලනයට පිවිසියේය.

අති පූජ්‍ය හම්මැල්ලව සද්ධාතිස්ස හිමියන් මුණ ගැසීමෙන් පසුව බෞද්ධයෙක් ලෙස 1950 සිට බොදු දහම හදාරා 1956 දී නිත්‍ය පංච ශීලය සමාදන්වී 500,000 පිරිස සමඟ බොදු මගට පිවිසියේය.  අම්බෙක්කාර් තුමා වටා විශාල බෞද්ධයින් පිරිසක් එකතුවන්නට විය. මෙය ගාන්ධී අනුගාමිකයින්ට මහත් හිසරදයක් විය. මේ නිසා ක්‍රමයෙන් එතුමාව රවටා ගාන්ධි අනුගාමිකයින් එම පක්ෂයට එතුමාව එක් කරගත්තේය. 

ඉන්දීය පාර්ළිමේන්තු පනත් සැකසීමේ ප්‍රධානියා ලෙස ඔහු කටයුතු කලේය. සැමට සම අයිතිය බොදු මගේ යමින් සිටි එතුමාගෙන් ඉන්දියාවට ලැබුණු මහත් දායාදයකි.  එතුමා විසින් ආරම්භ කල විහාරය   අපි සැදැහැ සිතින් වන්දනා කලෙමු. ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම එතුමාගේ පිළිරූ දුටුවෙමු.   සැම ප්‍රදේශයකම පාහේ එතුමා නමින් ඉන්දියාවේ පාසැල් හා නීති විද්‍යාල මෙන්ම විශ්ව විද්‍යාලයන්ද පිහිටුවා අදටත් ඉන්දීය ජනයා එතුමාට ගරු බුහුමන් දක්වති.
 
 1956 දෙසැම්බර් වන දින අවුරුදු හැට පහක් ආයු වළදා දිල්ලියේදී එතුමා මෙලොව හැර ගියේය. වරින් වර පහළවන බෝසත්තුමෙක් ලෙස ඉන්දියානු ජනයා අදත් එතුමාව ගෞරවයෙන් සිහි කරති.

අපි තවත් අග්‍රාවේ ප්‍රසිද්ධ ස්මාරකයක් දුටුවෙමු.  ඒ ටාජ්මහලයි. ඒ ගැන විස්තරයක් මෙහි නොලියමි.  ඈතින් සිට නැරඹූවද ටාජ්මහල මනරම් දර්ශණයක් බව නොකියාම බැරිය. 



 ටජ්මහල

ඊට පසුව රතු බලකොටුව නම් මෝගල් අධිරාජ්යෙකු වූ සාජහාන් රජ තුමා විසින්ම  කරවන ලද බලකොටුව ද  පිටතින් නැරඹුවෙමු. 




 රතු බලකොටුව

  මෙහිදී අපට පාවහන් මිලදී ගැනීමට හැකිවිය. අග්‍රා වල පාවහන් හා ගමන් මළු ලාබෙට ගත හැකිය. හැබැයි කපටි ඉන්දියන් වෙළඳුන් ගෙන් ඔබ පරිස්සම් විය යුතුයි. ඒ ගැන අප කළමණාකාර තුමා කලින්ම පැහැදිලි කල නිසාවෙන් අපට කරදරයක් නොවිණි.
 
රාත්‍රී හත පමණ වෙනවිට අපි අග්‍රාවේ ඩිලුක්ස් ප්ලාසා හෝටලයට පැමිණියෙමු. හැමදාම වගේ තේ පානයෙන් පසුව රාත්‍රී ආහාරය පිළියෙල විය. හෝටලය ඉතාම පිරිසිදු අලංකාර නවාතැනකි. සුව පහසුව නින්දට වැටුනෙමු.

ඊලඟට  අපි යන්නෙ සංකස්සෙටයි.

16 comments:

  1. වටිනා විස්තර ටිකක් ....ස්තුතියි ..

    ReplyDelete
    Replies
    1. බොහොම පින් ! සංජය. මේ පැත්තෙ ආවට ස්තූතියි!

      Delete
  2. හොඳ ලිපියක් අක්කේ. රතු බලකොටුව ඇතුලට යන්න දෙන්නේ නැද්ද..

    ReplyDelete
    Replies
    1. යන්න දෙනව චන්දන. ඒකට ඉන්දියානු රුපියල් 700/ විතර යනව කිව්ව. මොනව බලන්න ද? අපේ වෙහෙර විහාර කඩා බිඳ දමල ඒවායේ තිබ්බ වටිනා මුතු මැණික් ගෙනෙහින් තමයි මේ මෝගල් වරු මේව ගොඩනගා ඇත්තෙ. අපි තව මුදල් ගෙවල ඇයි ? මේවට යන්නෙ? අපි ඒ මුදල අපේ දුශ්කර පන්සලකට දෙනව කියල (කොසබෑව, කපිලවස්තුව වගේ) හිතුන.

      මේ රතු බලකොටුව හරිම විශාල තැනක් , දවසක් දෙකක් යනව සේරම බලන්න.

      Delete
  3. ආනේ ..මටත් යන්නම ආසාවෙන් ඉන්න තැනක් . ගොඩක් පින් අක්කට

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම යන්ට ලැබේවා! කියල ඔන්න මාත් ප්‍රාර්ථනා කරනවා බින්දි.

      Delete
  4. දඹදිව වන්දනාවේ ගිහින් නැතත් අපේ අප්පච්චි මිට වසර එක හමාරකට විතර කලින් ඒ ගමනට සහභාගි කළා. ඒ ගමන ගැනනම් මටත් සතුටක් දැනුනා ජීවිතේ සැඳෑ සමයේ ඉන්න අප්පච්චිට හිතේ හැටියට වැඳ පුදාගන්න අවස්ථාව ලබාදුන්න එක ගැන.

    මමත් කැමැත්තෙන් ඉන්නවා මතු දවසක අපේ ආසන්නම රට වන ඉන්දියාවේ ටිකක් ඇවිදල එන්න.

    දඹදිව චාරිකා සටහන් පෙල නම් ලස්සනයි. පින් සිදුවේවා..

    ReplyDelete
    Replies
    1. කොච්චර ලොකු පිනක් ද දයානන්ද මල්ලී දෙමාපියන්ට මේ අවස්ථාව ලබා දුන්න එක.
      අපේ මහත්තයා තමයි එයාගෙ අම්මවයි තාත්තවයි හොඳට ඇවිදින්න පුළුවන් කාලෙ දඹදිව වන්දනාවෙ ගෙනිච්චෙ. ඒ ගැන මියෙන තෙක්ම එයාලා පින් දුන්නා. මගෙ අම්මයි තාත්තයි ඒ ගමන මෑතකදී ගියා. අම්මා යලිත් යන්න ආසයි කියනවා. බලන්න ඕනෙ එන වසරෙ එක්ක යන්ට.
      ඔබටත් තෙරුවන් සරණින් ඉක්මනින්ම දඹදිව යන්න ලැබේවා! කියල සෙනෙහෙන්ම ප්‍රාර්ථනා කරනවා මල්ලි.

      Delete
  5. ඔන්න මගේ බ්ලොග් එකේ තිබ්බ ලින්ක් එක හරහා මාත් මෙහාට ගොඩ වැදුනා..... :)

    අපේ අම්මලත් මේ අවුරුද්දේ මුල ගියා දඹදිව වන්දනා කරන්න. මට යන්න බැරි වුනා විභාගයක් තිබුන නිසා. ඒත් අපරාදේ කියලා හිතුනා අම්මාලා ඇවිත් විස්තර කියනකොට. මොනා කරන්නද ඉතිං... කවද හරි දවසක යන්නම ඕනි.

    මේ ලිපි පෙලේ මුල් ටික පස්සේ වෙලාවක නිවී සැනසිල්ලේ බලන්න ඕනි.....

    ReplyDelete
    Replies
    1. බොහොම පින්! දුව මේ පැත්තෙ ආවට. කොහොම හරිම මේ ගමන යන්න වැඩි වයසට යන්න කලියෙන්. ඔයා ධර්මයේ ඉන්න කෙනෙක් නිසා ඒ ගමන හරිම වැදගත් වේවි. අනිත් ලිපිත් ඉවර ඇති විටෙක කියවන්න කො. ඔයාගෙ ඉදිරි ජීවිතේ වාසනාවන්ත වේවා! කියල පතනවා.
      මම ඇත්තටම ආවෙ සප්ත ආර්ය ධනය කියන හෙඩිම දැකල තමයි.

      Delete
  6. බොහොම ලස්සනට ලියල තියෙනවා. ටජ්මහල් හා රතු බලකොටුව ගැන මෙතැන ලියල නෑ. මං සමකයට ලියන්නම් ඒ තැන් දෙක ගැන පෝස්ටුවක්.මම නං එහේ ගියේ වන්දනාවට නොවෙයි.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! නලින් , මේ ටජ්මහල් හා රතු බලකොටුව ගැන මම වැඩි යමක් කියන්න දන්නෙ නැහැ නලින්. මේ ගැන විස්තරයක් පුළුවන්නම් දාන්න මල්ලි. මොකද මේ ගැන චන්දන මල්ලි අහල තිබ්බ. ඒ වගේ නොදන්න අයටත් අපටත් වැදගත් වෙයි ඒක.

      Delete
  7. ගොඩාක් වටිනවා අක්කේ....තැන්කූ අපිටත් මේවා දුන්නට..

    ReplyDelete
    Replies
    1. බොහොම පින්! මේ පැත්තෙ ආවට මල්ලි.

      Delete
  8. ටාජ් මහල් බලන්න ගියේත් නැද්ද ?

    ReplyDelete
  9. බොහොම පින් අත්දැකීම් බෙදාගත්තට

    ReplyDelete