බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Wednesday, April 10, 2013

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 12 - අසිරිමත් කුසිනාරාව

                 සැවැත් නුවර සිට කිඹුල්වත් පුරයට ආව අපි එතැන්සිට ලුම්බිනියට ගියෙමු. සවස් කාලය නිමාවන විට බොහෝ වෙහෙස වී සිටියත් යායුතු මග බොහෝදුර බැවින් වේලාසන පිටත්වීමු. නමුත් දුර්ගා පූජාවට පවත්වන්නා වූ පෙරහැර නිසා මග දෙපස ජනීජනයා පිරී මාර්ගය  අවහිර වී තිබුණි. මහ රෑ බෝවන තෙක් අප මහමග සිටියෙමු.
 රාත්‍රියේ අප කුසිනාරාවේ ජපන් පන්සලට පැමිණියෙමු. එය ඉතාම පිරිසිදු පන්සල් භූමියකි. මෙහි වැඩ වාසය කරන අස්සජී හිමියන් බැහැ දැක්කෙමු.

  වේලාවේ හැටියට ඉක්මනින් පිළියෙල කරගත හැකි ආහාරයක් අපට ලැබුණි.

 නින්දට වැටුනු අපි පාන්දර නැගිට බුදුන් වහන්සේ පිරිනිවන් පෑ කුසිනාරා නුවර විහාරයට ගියෙමු. ඉතාම සංවේගයෙන් දහම් කවි කියමින් ගමන් ගත් මේ ගමන මගේ මතකයෙන් කිසිදා නොමැකෙනු ඇත. විහාරගෙය මත හිසතබා කඳුළු පිරි නෙතින් වන්දනා කලෙමි. හරිම සංවේගයක් උපදින්නෙ මේ වෙහෙර බිමේ. ඒක මටත් තේරුම් ගන්න බැරි වූණා. උදෑසන සිසිලෙන් වෙහෙර බිම නැහැවිලා මනස්කාන්ත දර්ශනයක් මවා පෑවා.





 කුසිනාරාවේ පින් බිම ළඟ මේ - සම්මා සම්බුදු සමිඳුන් සිහිවේ
අතීතයට මේ සිත යන මොහොතේ - කඳුළින් මාගේ නෙතු අග තෙත් වේ
...............
................
දහම් අමා ගඟ නැවතී යනවා - මහ කරුණා තෙත් පියවී යනවා
ඒ බුදු සිත පිරිනිවන් පානවා - පහන් සිලක් ලෙස නොපෙනී යනවා................



ලා හිරු රැස් මැදින් පෙනෙනා වෙහෙර බිම බලන්න ලස්සනයි.



එක් දිනක් ආනන්ද හිමියන් අමතා මෙසේ වදාලහ.
" ආනන්දය ..... බොහෝ කලකට පෙර මහා සුදර්ශන නමින් බලවත් රජකෙනෙක් විසූහ. හේ රජුන්ටත් රජ විය. කුසාවතී නමින් එකල හැඳින්වූ මේ කුසිනාරාව සුදර්ශන රජුගේ රාජකීය නගරය විය" 
බුදු හිමියන්ගේ පරිනිර්වානය උදෙසා මල්ලව රජ දරුවන්ගේ අගනුවර වූ කුසිනාරාව සුදුසු යැයි ගත් තීන්දුව වෙනස් කීරීම පිණිස ආනන්ද හිමියන් ගත් උත්සාහයේදී ඊට පිළිතුරු ලෙස දුන්  බුදු හිමියන්ගේ මේ පිළිතුර මේ කුඩා නගරය අතීතයේදී ශ්‍රී විභූතියෙන් පිරි නගරයක් වූ බවට කදිම සාක්ෂියකි.

අප අද දකින්නේ මේ අසිරිමත් කුසිනාරාවය.




------------------------------------
ඉන් පසු බුදු පියාණෝ කුසිනාරාවේ උපවත්තන සල් උයනට වැඩියහ.

“ආනන්ද, මට ක්ලාන්තයක් දැනෙනවා. මේ සල් ගස් දෙක අතර මට සැතපෙන්න තැනක් පිළියෙල කරන්න,” බුදු හිමියෝ වදාළහ.

සැතැපෙන තැන පිළියෙල විණ. බුදු පියාණෝ දකුණු පය මත වම් පය මඳක් මෑත් කොට තබා සිංහ සෙය්‍යාවෙන් එහි සැතැපුණහ. සල් ගස් දෙකේ අකලට පිපුණු මල් හිමියන්ගේ සිරුර අසල පතිත විණ. අහසින් දිව සඳුන් සුනු වැගිරිණ. දිව්‍ය මදාරා මල් ද වැටිණ. දිව්‍ය සංගීතය ද ඇසිණ.

බුදු නෙත් විවර විණ. ආනන්ද හිමියන්ට මෙසේ කී හ:

“ආනන්ද, මේ මල්, සුවඳ, මේවා තථාගතයන්ට කරන සැබෑ පූජා නො වෙයි. යමකු ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් යුක්ත ව, ධර්මානුකූල ව වසයි ද, අන්න ඔහු තථාගතයන්ට උතුම් ප්‍රතිපත්ති සත්කාර කරයි, පුදයි.”

සැදැහැති කුල පුතකුට දැකීමට සුදුසු වූ, සංවේග කටයුතු වූ ස්ථාන හතර කුමක් දැයි ද, බුදු හිමියෝ මෙහිදී වදාළහ. බුදු හිමි උපන් තැන, බුදු වූ තැන, දම්සක් පැවැත්වූ තැන, පිරිනිවන් පෑ තැන ඒ උතුම් තැන් හතර යි. ආනන්ද හිමියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බුදු රජාණන් වහන්සේ සර්වඥයන් වහන්සේගේ ආදාහනය සිදු කළ යුතු ආකාරය ද පැහැදිලි කළහ.

ආනන්ද හිමියෝ බුදු හිමියන් කෙරෙන් මඳක් ඈත් ව කණුවකට හේත්තු වී ඉකිබිඳිමින් හඬන්නට වූ හ.

“අනේ! මට තාමත් රහත් වීමට බැරි වුණා… මට මහත් දයාවෙන් අවවාද අනුශාසනා කළ බුදු රජාණන් වහන්සේ අද පිරිනිවන් පානවා. හෙට සිට මා මුහුණ සේදීමට වතුර දෙන්නේ කාට ද? පා සොදන්නේ කාගේ ද? කාගේ සේනාසන පිළියෙල කරන්නේ ද? කාගේ පාත්‍රා සිවුරු ගෙන ඇවිදින්නේ ද?”

බුදු හිමියෝ ආනන්ද හිමි ළඟට කැඳවාගත්හ. අවවාද දුන්හ.




බුදු රජාණන් වහන්සේගේ අවසාන ශ්‍රාවකයා වූයේ සුභද්‍ර ය. මඳ වේලාවකට පසු බුදුහු නැවත ආනන්ද හිමියන් ඇමැතූ හ.

“මගෙන් පසු මා දෙසූ දහම ශාස්තෘ වශයෙන් සලකන්න.”

භික්ෂූන් වහන්සේලාට වැදගත් වන අවවාද රැසක් මේ අවස්ථාවේ බුදු හිමියන්ගෙන් ලැබිණ. උන් වහන්සේ අවට සිටි භික්ෂූන් දෙස බලා මෙසේ විමසූ හ:

“මහණෙනි, මේ එක භික්ෂුවකට වත්, බුදුන්, දහම්, සඟුන් කෙරෙහි හෝ මේ ධර්ම මාර්ගය කෙරෙහි හෝ ප්‍රතිපදාව කෙරෙහි හෝ සැකයක්, විමතියක් තිබෙනවා ද? එසේ නම් දැන් මගෙන් විමසන්න. ‘අනේ! අපි බුදුන් හමුවෙලත් මෙය අසාගන්නට බැරි වුණා’ යි පසුව කණගාටුවෙන්න එපා.”

භික්ෂූහු නිහඬ ව සිටියහ. බුදු හිමියෝ තෙවරක් ම විමසූ හ. භික්ෂූන්ගේ නිශ්ශබ්දතාව නො බිඳිණ.

“එසේ නම් මහණෙනි, දැන් අවසාන වශයෙන් ඔබ අමතමි. සියලු සංස්කාරයෝ වෙනස් වනසුලු යි. අප්‍රමාද ව නිවන් අවබෝධයට උනන්දු වන්න.

“වය ධම්මා සංඛාරා – අප්පමාදේන සම්පාදේථ”.

බුදු මුවින් නැඟුණු මේ අවසන් හඬත් සමඟ ම උන් වහන්සේ ප්‍රථම ධ්‍යානයට සමවැදුණහ; ඉක්බිති ඉන් නැඟී දෙවැනි ධ්‍යානයට ද, තෙවැනි ධ්‍යානයට ද, සිව් වැනි ධ්‍යානයට ද සමවැදුණහ. ඉන් නැඟී ආකාසනඤ්ඤායතනයට, විඤ්ඤාණඤ්ඤායතනයට, ආකිඤ්චඤ්ඤායතනයට, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සහ සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදුණහ.

එවිට ආනන්ද හිමියෝ අනුරුද්ධ හිමියන්ගේ කනට කොඳුරා, “බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑවා” යි කී හ.

“නැහැ. සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවැදුණා පමණ යි. තාම පිරිනිවන් පෑවේ නැහැ.” අනුරුද්ධ හිමියෝ කී හ.

ඉක්බිති බුදු රජාණන් වහන්සේ ඒ සමාපත්තියෙන් නැඟී නේවසඤ්ඤායතනයේ සිට ප්‍රථම ධ්‍යානය දක්වා සමවැද, යළි ප්‍රථම ධ්‍යානයෙන් නැඟී දෙවැනි, තෙවැනි, සිව්වැනි ධ්‍යානවලට පැමිණ අවසානයේ එයින් නැඟී පිරිනිවන් පෑ සේක.






මෙවන් පුතුන් ලද අම්මා කෙනෙකුගේ වාසනාව කොපමණද? මේ අම්මා ගැන මුල් සටහන් වල ලීවා. මේ පුතා බුදුවේවා! කියා  අම්මා කීප විටක් කීවා. අපේ නෙතටත් කඳුලක් එක් කලා මේ අම්මා. නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා එතුමියට. 


අද ඔයාලට මේ සටහන තබන්නේ විහාර මලුවේ දර්ශන පමනයි. ඇතුලේ දර්ශන ගැන ලියන්නට ගියොත් සටහන දුගු වේවි.

සැමට වාසනාවන්ත නව වසරක් වේවා!'යි සෙනෙහසින්ම පතමි.

13 comments:

  1. ඉතාමත්ම වටිනා ලිපියක්. එත් ආයි කවදාක මේ පැතිවල යන්න ලැබෙයිද කියලනම් හිතන්න අමාරැයි.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම ප්‍රශ්නෙ විසදේවි කියා හිතනවා නලින් මල්ලි. මේ තැන් අපේ උරුම. ඉන්දියාවෙ අයට මේවායෙ අගයක් නෑ. එයාලා බුදු දහමේ හරය නොදැන මිත්‍යාදෘශ්ඨියේ ඉන්නා නිසා නේ මේ හැම දේම.

      Delete
  2. වෙනද වගේම වටිනා තොරතුරු එකතුවක්. උදෑසන දර්ශනය නම් හරිම සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. බොහොම පින් චන්දන මල්ලී. ඔව්, ඇත්තෙන්ම සුන්දරයි.

      Delete
  3. වසර හයකට පෙර ලද අත්දැකීම නැවත විඳින්නට හැකිවුනා. ඔබගේ කුසල් තව වැඩේවා

    ReplyDelete
    Replies
    1. බොහොම පින්! ඔබටත්.

      Delete
  4. බුද්ධ චරිතයේ බුදුන් වහන්සේගේ අවසන් තුන් මස විග්‍රහ කරන මහා පරිනිබ්බාන සුත්‍රය මතකයට නැගුණා මේ සටහන කියෙව්වාම. කුසිනාරාව, උපවර්තන සල්වනය සිය දෙනෙතින් දුටු දහසුන් සඟවාගෙන නිහඬව ඉන්නවා නොවේද

    ඔබටත් පවුලේ සියලු දෙනාටත් ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද වාසානවාන්ත එකක් වේවා..

    ReplyDelete
    Replies
    1. දයා මල්ලී, ඔබට ගිහම තේරේවි මේ සල් උයන කොපමන දේවල් සඟවා ඉන්නවාද? කියලා. ඉතිරි සටහනෙන් බලා ගන්න මේ භූමිය කොතරම් ද කියලා. මහ පුදුම හැඟීමක් හිතට එන්නෙ එතනදී. අපි පිරිනිවන් පෑව ස්ථානය කියල හිතන තැනදී කඳුළු වැගුරුවා හැමෝම වාගේ. අපේ අජිත් මහත්තයා බොහොම සංවේදීව මේ විස්තරය කලේ. එතුමා සමහර තැන් වලදි හඬා වැටුනා. ඒ තරම් සංවේදියි මේ ස්ථානය. අනේ අපි මේ සංසාරේ ඒ කාලෙ කොහේ හිටියද ? කියලා තමයි මගේ හිතට ආවෙ. සුබ අලුත් අවුරුද්දක් වේවා! මල්ලී ඇතුළු පවුලේ සැමටත්.

      Delete
  5. උදෑසන වෙහෙර බිමේ පිංතූර හරිම බෙහෙවින්ම සිත් ගත්තා.

    ලබන්නාවූ නවවසර; ඔබ සැමට නිදුක් නිරෝගී-වාසනාවන්තම වසරක් වේවා යැයි පතන්නෙමි.

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා! මල්ලී ඇතුළු පවුලේ සැමට. බොහොම ස්තූතියි මල්ලී අගය කිරීමට. ඈත ඉන්න කොට ලංකාව මේ අවුරුදු කාලයට මතක් වෙනවා වැඩියි නේද? අපිත් කාලයක් එහෙම උන්න නිසා දන්නවා. කෝ කැවුම් ගෙඩියක් වත් එවන්න විදිහක් නෑ නොවැ.

      Delete
  6. අඩේ මං ප්‍රතිචාරයක් දැම්ම නෙව කලින්.. අක්ක ඒක ගිල්ලයි..

    ReplyDelete
    Replies
    1. ඒ ගිය පාර නේද? මන්දා මොනව උනාද? ඒකට.
      සුබ අලුත් අවුරුද්දක් වේවා! දේශකතුමා ඇතුළු පවුලේ සැමට.

      Delete
  7. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete