Tuesday, August 4, 2015

හිත නිවූ හද නැලවූ සැදැහැ ගී සරණිය - වේරහැර බෝධිරාජපුර ශ්‍රි පුණ්‍යසාර දහම් පාසැලේ ගුරු මණ්ඩලයෙන් තිස්සමහාරාම වීරහෙල ශ්‍රී සාම විජය දහම් පාසලට සැදහැ ගී තිළිණයක්. 2 කොටස

කුරුළු හඬ මැද්දෙ, මොණරුන්ගෙ කෑ ගැසීම මැද්දෙ අවදි උනේ. ඒ අතරෙ ඇසෙන්නෙ  පන්සලේ පිරිත් හඬ. හිමිහිට මුහුණ කට සෝදා ගෙන තේ වත්කරන්න ගියා. ඒ යනකොටත් සන්ධ්‍යා මිස් එතන. තේ බීව කිව්ව. අනෙක් අයටත් එක්ක තේ හැදුව. 

ඒ ඉවර වෙලා ඉක්මනින්ම පන්සල් භූමියට උදෑසන බෝධී වන්දනාව සඳහා. අපේ හාමුදුරුවන් හැමදාකම කරන ශ්‍රී මහා බෝධි වන්දනාව. බුදු හිමියන් බුදුවන අවස්ථාවේ පිට දුන් ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ අංකුර ශාඛාවකටත් කරන්නාවූ සත්කාරයට අපිත් සහභාගි වෙන්නේ බොහොම බැතිබරව.  අපි හැමෝම බොධි මළුවට එකතු උනා. වන්දනාව සඳහා හැමෝම ලැහැස්තියි. 








අපේ හාමුදුරුවන් වහන්සේ වන බොරලැස්ගමුවේ විජිතසිරි ස්වාමීන් වහන්සේ සමඟ පොඩි ස්වාමින්වහන්සේලා දෙපළම බෝධි මළුවට වැඩම කලා.

ඉතින් අපේ ශ්‍රී මහා බෝධි වන්දනාව හරිම ශ්‍රද්ධාවෙන් කලේ. ඒ පූජාව දකින්න ලැබෙන එකත් හරිම පිනක්. මම දැක්ක දහනායක මිස්ගෙ ඇස් වල කඳුළු. පස්සෙ කීප වතාවක් කිව්ව, ඒ පූජාවට ගොඩාක් සතුටෙන් භක්තියෙන් සම්බන්ධ වුනු බව.  ඊට පස්සෙ හැමෝම බුදු මැදුරට ගිහින් වන්දනාමාන කල්‍රා. 

අපි උදෑසන ආහාරය ගත්තෙ ඊළඟට. ඒ කටයුතු ඉවර වෙලා හරිම කලබලෙන් ආයෙත් පන්සල් භූමියට එකතු උනා. අපේ මහත්තයාට නම් ඉවරයක් නෑ, ඒ හැම කටයුත්තක්ම සොයා බලන්නෙ එයා. රෝහිත සර් හා ඩිලාන් පුතා සමඟ වෙනුර පුතාත් එයාට සහය වෙනව.


මේ අපේ නවාතැනෙදි. රත්නාවලී විශ්‍රාම ශාලාව වීරහෙළ තිස්සමහාරාමය.

පෙර සූදානම. 



අපිත් එක්ක මේ ගමනට දහම් පාසැලේ ගුරු මණ්ඩලයට අමතරව තව සංගීත ගුරුවරයෙකුත් සිය පවුලම සමග සහභාගි උනා. ඒ ගුරුතුමා ගැන පහුගිය සටහනේ කිසිවක් නොලීවෙ හරියටම විස්තර නොදැන ලියන එක හරි නැති නිසා.



 ( පුංචි දරුවන් ඉගෙනීමට ලැහැස්තිව අපේ උදාරි දුව සමඟ සතුටින්.)









රෝහිත ගුරුතුමා සමඟ අපේ මහත්තයා
රෝහිත සර් අපිත් එක්ක එකතු වෙච්ච එක අපිට ලොකු ශක්තියක් උනා. ඒ ශක්තියෙන් අපිට මිල කල නොහැකි විශාල මෙහෙයක් ඉටු කරන්න අපි කාටත් හැකි උන බව කියන්නම ඕනෙ.  

රෝහිත සර් සංගීත විශාරද වරයෙක් වගේම ගුරුවරයෙක්. කලකට ඉහත දී නිර්මාණය කල බොරලැස්ගමුව නගරසභා ගීතයට ආසියාවේ හොඳම ගීතයට සම්මානයක් ලැබුණ බව කීවෙ ලොකු පුතා.  බිරිඳ නම් රැකියාවක් කරන්නෙ නෑ. ඇය ඉතාම සුහද ශීලි කරුණාවන්ත කෙනෙක්. 



ලොකු පුතා සංගීතයට බොහොම දක්ශ දරුවෙක්. පන්නිපිටියෙ ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබල දැන් රැකියාවක් කරන අතරෙ ගෘහණිර්මාණ ශිල්පය හදාරනවා. තව ගීත නිර්මාණයේ යෙදනව.  

අප කාගෙත් හුරතලා වූ චූටි පුතා තාම හත වසරෙ ඉගෙන ගන්නෙ, බොරලැස්ගමුව මහා විද්‍යාලයෙ.  එයත් හරිම දක්ශයි සංගීතයට.  ලොකු පුතාගෙ නම ගීතක ධනංජය.  චූටි පුතා විමුක්ති ස්වරකල්පන. ලස්සන නම් දෙකක්. සංගීතයටම උචිත නම්. මේ අය අපි වාගෙ බෞද්ධ ආගමේ නෙවෙයි. කතෝලික ආගමේ. නමුත් අපිත් එක්ක හැම දෙයකටම සහභාගි උනේ හරිම ලෙන්ගතුව. වෙනසක් දැනුනෙම නෑ අපට. මම ගිය සටහනේ දමාපු කිරිවෙහෙර පින්තූර සර්ගෙ කැමරාවෙන්. 




ගුරු මණ්ඩලය




මම පන්සල් මළුවට එනකොට කටිටියම පෙළ ගැහිල ඒ දහම් පාසැලේ ගුරුවරුන්ගෙ පිළිගැනීමට. ඒ අයට බුලත් හුරුළු දීල පිළිගත්තෙ ඒ පාලාතෙ ග්‍රාම නිළධාරී තුමාගෙ බිරිඳ. අපි කාලයක් තිස්සෙ ආශ්‍රය කරන ගුරුමෑණි කෙනෙක්. බොහොම  ලෙන්ගතුව ස්තූති පූර්වකව ඒ පිළිගැනීමෙන් පස්සෙ අපි හැමෝම දරුවන් විසින් දෙපා නැමද පිළිගත්තෙ බොහොම ආදරෙන්. මට නම් හරිම සංවේදී උනා ඒ පිළිගැනීම. 



ඒ අය බුලත් හුරුළු අරන් පේළියට සංවරව හිඳිමින් අපිට නමස්කාර කලේ. ඒ ගැන ඒ ගුරුබවතුන්ට වගේම දරුවන්ටත් මග පෙන්වූ අපේ ස්වාමින්වහන්සේටත් ස්තූතිපූර්වක ගෞරවය. 





අපේ දහම් පාසැලේ ඒ කියන්නෙ වේරහැර ශ්‍රී පුන්‍යසාර දහම් පාසැලේ ගෞරවණීය ස්වාමින්වහන්සේ වන කටුවන චන්ද්‍රරතන ස්වාමින්වහන්සේගේ කාරුණික මග පෙන්වීම නොවන්නට මේ සත්කාරය මේ අයුරින් සාර්ථක කරගන්නට අපිට ලැබෙන්නෙ නෑ.  
ඒ ස්වාමින්වහස්සේටත් ස්තූතිපූර්වක   ගෞරවණීය නමස්කාරය. හදිසියේ යෙදුන කටයුත්තක් නිසා ස්වාමින්වහන්සේට මේ සත්කාරයට සහභාගි වෙන්න ලැබුනෙ නෑ.



අපේ ස්වාමින්වහසේ වන බොරලැස්ගමුවේ විජිතසිරි ස්වාමීන් වහන්සේ සමඟ පුංචි හාමුදුරුවරු දෙපලත් අසුන්ගත්තා. ඒ අනුව අපිත් නියමිත තැන්වල ධර්ම ශාලාවෙ අසුන් ගත්තා.

ඉතින් පැමිණ සිටි දෙමාපියන් හා දරුවන් සමඟ ගුරුවරුන් හැමෝම පිළිගෙන පන්සිල් හි පිහිටුවීම අපේ හාමුදුරුවන් අතින් සිදුවුනා. 


ඊළඟට අප දහම් පාසැල ගැන පොඩි හැඳින්වීමක්.  ඒ සමඟම අරමුණ පැහැදිළි කලා වෙනුර පුතා විසින්.

සැදැහැ ගී සරණියේ ආරම්භය. මේ නම දැම්මෙ අපේ වේරහැර කටුවන චන්ද්‍රරතන ස්වාමින්වහන්සේ . බැති ගී සරණිය වෙනුවට සැදැහැ ගී සරණිය.  ඒ නමට මමත් හරිම කැමතියි.




කට්ටිය අළුත් ඔසරි ඇදල හරිම ලස්සනයි බලන්න. ඇහැට බොහොම ප්‍රිය වර්ණයක්. ගුරුවරුන් ජාතික ඇඳුමින්. මේ ඇඳුම් සියල්ල පිළියෙල වුනේ සන්ධ්‍යා මිස් අතින් . අනෙක් අයත් ඇයට උදව් කල බව ඈ කීවා. ඒවට ලස්සන මල් අලවලා බොහොම හිත් ඇදගන්න විදිහට කල නිර්මාණය හැමෝම අගය කලා. ඒ සඳහා සෑහෙන මහන්සියක් වෙන්න ඇති. ස්තූතිය ! ඇයට.


        මේ අපේ නවාතැනේදි. සන්ධ්‍යා මිස් වමේ සිට තුන් වෙනියා


අපේ මේ ගමනට අසින්තා මිස්, ලක්ෂ්මි මිස්, ඩේසිකා මිස්, රසිකා මිස්, සන්ධ්‍යා මිස්, අයෝමි මිස්, සුභාශිණී මිස්, දහනායක මිස්, පද්මලතා මිස්, කුමුදුණී මිස්, උදාරි මිස්, වෙනුර පුතා, ඩිලාන් පුතා, අපේ මහත්තයා, රෝහිත සර්, සර් ගෙ පුතාල දෙන්නා සහ බිරිඳ හා මම ඇතුළුව 19 දෙනෙක් සහභාගි උනා.










සැදැහැ ගී සරණිය ආරම්භ උනේ “මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝ ලියලා”   කියන ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා ලියූ මියුරු ගීයෙන්. පුංචි කාලෙ ඒ නිවසට යන එන හැටිත් දිලී ඇන්ටිගෙ අම්මා ඒ විස්තර කියන විට බොහොම ආසාවෙන් අසා ඉන්නා හැටිත් අදටත් සිහි කරන්නේ සොම්නසින්. ඒ කාලෙ මේ සොඳුරු කලාකරුවා ගැන බොහෝ දේ  නොදැන හිටියත් පසුකාලෙක පොත් පත් කියවීමෙන් මේ මහා කලා කරුවා ගැන බොහෝ දේ ඉගෙන ගත්තේ හරිම ආසාවෙන් .


 ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ‘මලක මිහිර’ කව්පෙළ මින් අඩ සිය වසකටත් වඩා කලින් ලියූවක් වුනත් අදත් මල් දකින විට ඒ කව්පෙළෙන් වෑහණු මිහිර අපට එකසේ දැනෙනවානෙ.  මල් පිපෙන කාලෙට කුරුලූ නාදයෙන් හා පිපුණු මලින් විහිදෙන සුවඳින් අවට පරිසරයම  පිරී යනවා. වෙසක් කාලෙට  හැමදෙනාගෙම සිත් පුබුදු කරමින් වසන්තය උදාකරමින් මලින් පිරී යන පරිසරයේ සුන්දරත්වය අප කුඩා කාලයේ අප ගම් පියසේ මිහිරි මතකයන්. කිංස්ලි ජයසේකර මහතා හා   පි‍්‍රසිලා  ඕපාත මැතිණිය මේ ගීතය මියුරු හඬින් ගැයූ බව මට මතකයි.




සැදැහැ ගී සරණියට අපි ගීත අටක් ගැයූවා. ඒ අතර තුර අපේ ඩිලාන් පුතා ඒ දරුවන් ළඟට ගිහින් ඒ අයගේ විස්තරත්, ඒ අයට ද ගීත ගයන්නට ඇරයුම් කලා. බොහොම සුහද ශීලීව ඒ කටයුත්ත ලස්සනට ඉටුවුණා. අතරින් පතර අපේ මහත්තයාත් , රෝහිත සර් හා අපේ හාමුදුරුවනුත් කරුණු කීවා.

ඒ දහම් පාසැලෙත් හරිම දක්ශ දරුවන් හිටිය. ඉතින් අපි ඒ අයටත්  ආරාධනා කලා ගීත ගයන්න. ඒ අතරෙ කන්ඩායම් හා තනි තනිව ගීත ගැයුනා. සිත් ගත්ත ගීත කීපයක්ම ඒ අතර තිබුන. තාත්තා ගැන කියන ගීයට හරිම කැමතියි. 

" හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ.. කසාය පරාදයි වරදෙදි සැර ඔබේ.. ඇහැ ගහගෙන සිටී - සමාජෙ ගැන කියයි.... හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ.. ආදර මගෙ තාත්තේ   ........."

ආසාවෙන් අහන් හිටියා. හැමෝම කැමති උනා මේ ගීත වලට. කවුරුවත් නැඟිටලා ගියේ නෑ අතර මඟ. ඒ දහම් පාසැලෙ දරුවො හරිම සංවරව අහන් හිටියා. අපිටත් ඒ ගැන සතුටුයි. මේ පලාත්වලට වඩා සංවරව දරුවො හිටිය එක ගැන අපි ස්තූති කලාම, ගුරු මැණියන් කිව්වෙ මුල ඉදලම දහම් පාසැලේ ගුරු හාමුදුරුවන් ගේ   මග පෙන්වීමෙන් ඒ ටික පුරුදු කරන වගයි. 




දහම් පාසැලේ ආදි ශිෂ්‍යාවක් වූ බුද්ධිකා ජයමාලි මෙනෙවිය මියුරු ගී කීපයක්ම ගැයුවා. ඈ කලින් කිහිප විටක් මට මුණගැහිල තිබුනත් මේ තරම් දක්ෂ දැරියක් කියල මා දැනන් හිටියෙ නෑ. සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ අවසන් වසර නිමාකරල මේ දිනවල ඈ ඉන්නෙ. ජයම පතනවා! ඒ දුවට සෙනෙහසින්ම. 







ඒ අතරට ශ්‍රි සාම විජය දහම් පාසැලෙ ගුරු මෑණිවරුන් ගෙන් ද ගීත කීපයක් තිළින උනා.



මේ අතර වාරෙ අපි දරුවන්ටත් ,දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත් කේක් තැටි හදාගෙන ගියා, ඒව  දරුවන්ට දීල පන්සලෙන් තේ පැන් සංග්‍රහයක් තිබුණ.





ශ්‍රි සාම විජය දහම් පාසැලේ දරුවන් නොමද සතුටක් වින්ද බව අපි හැමෝම දැක්ක. ඒ ගැන නිරාමිස සතුටක් මම ලැබුවෙ.    අපේ රෝහිත සර් ගේ පුංචි පුතාටත් ගීයකට අරාධනා. ඉපිද මැරේ   ………..යලි ඉපිදේ………නොතිර සසර සාගරේ……….අතර තුරේ ………නොමැරී මැරේ……දස දහස් වරේ.....   හරිම ලස්සන ගැබුරු කටහඬක් තියෙන්නෙ විමුක්ති පුතාට.



රෝහිත සර් හා ගීතක ධනංජය ලොකු පුතාත්, විමුක්ති ස්වරකල්පන චූටි පුතාත් අපේ අසින්තා මිස් හා අපේ මහත්තයාත් තමයි වාදන වෘන්දයට සහායට හිටියෙ.



මොනවද? මේ රහස් කතා.


  අවසන් වෙන වෙලාව ආවහම අපේ ස්වාමින්වහන්සේ ගෙන් ආරාධනාවක් පුංචි දුවකට ස්තූති කථාවට. ඈ ඒ කථාව බොහොම ලස්සනටත් දක්ශ ලෙසත් කලා. ඒ පුංචි දුවට හොද අනාගතයක් තියෙන බව නම් පැහැදිළියි.



ඉතින් අවසානයේ අපි ඔක්කොම රජවරු ගීය ගයා ජාතික ගීය ගැයීමෙන් වැඩ සටහන නිමා උනා.

වැඩ සටහන නිමාවට කලින් අපි අරන් ගිය පොඩි පොඩි තිළිණ වගයක් දරුවන්ට බෙදා දුන්නා. ඒවා දරුවන් මහත් ආසාවෙන් අරගත්තෙ ස්තූති පූර්වකව.    




   එතනින් ගෙනියන බඩුමුට්ටු ලැහැස්ති කරල අපි හැමෝම ආයෙත් විශ්‍රාම ශාලාවට ආවෙ දහවල් ආහාරය සඳහා. වෙලාව දෙකත් පහුවෙලා කට්ටියටම බඩගිනියි. අපේ ස්වාමින් වහන්සෙ හැම දේම අපට ලැහැස්ති කරල තිබුන. ඒ


 දහම් පාසැලේ ගුරුමෑණි වරුත් අපිත් එක්කම ආහාර ගන්න අයට උපකාර කලේ බොහොම ලෙන්ගතුව.

 ආහාර ගන්නා අතරෙ අපේ හාමුදුරුවන් කිරි හට්ටි කීපයක් අරන් ආව අපිට කන්න. ඒකට වෙච්ච දේ නම් කියන්නෙ කොහොමද?

හැමෝම කිරි නෑව. සමහරු බත් කෑවෙත් කිරි හට්ටි දිහා බලාගෙන, ඒව ඉවර වෙයි කියල. අපේ ගෙදරක කෑව නම් එක හට්ටිය අට දෙනෙක් නවදෙනෙක් කනව නෙ. එතන එකක් හතර දෙනෙක් වත් කෑවෙ නෑ ඔන්න. 
අපිට ඒ දහම් පාසැලෙන් තිළිණයන් වගයකුත් ලැබුනා. ඒවා බොහොම ආදරෙන් අපේ කට්ටිය පිළිගත්තා. වීරහෙළ ශ්‍රී සාම විජය දහම් පාසැලේ ගුරු මණ්ඩලයට , පොඩි හාමුදුරුවන් දෙපළට හා ගෞරවණීය ලොකු හාමුදුරුවන් වහන්සේට බොහෝම ස්තූතියි! වගේම පින්.

භාජන එහෙම අස්පස් කරල ඒ ගුරුමැණි වරුන් පිටත් උනේ අපි හැමටම ආචාර කරල සමුදීලයි.  ඔය අතර වාරෙ මම එක්තරා කාරණාවකට එක කාමරයකට ගියා, එක්කෙනෙක් කිරි හට්ටියක බැහැ ගෙන කනව. නම දාන එක හොඳ නෑනෙ. මට ඔළුවෙ අත ගැහුන. හිනාව නවත්තා ගන්න බැහැ. දන්නවා නම් තව හට්ටි ටිකක් ගෙන්න ගන්නවානෙ. "අන්දරේ කිරි කෑවටත් හපන්!!.

ඉක්මණින්ම කාමර එහෙම අස්පස් කරල යන්න පිටත් වුනා. ආයෙත් අපි සංඝාවාසෙට ඇවිත් හාමුදුරුවන්ට පොත් පාර්සලයක් දුන්නා පුස්තකාලෙට. ඒවා ලබා දීල අපිට පිරිත් නූල් ගැට ගහල ලස්සන ශ්‍රී මහා බෝ පත්‍රය බැගින් ආශීර්වාදකව ලබා දුන්නෙ ලොකු හාමුදුරුවො විසින්.




අපි ආයෙත් කොළඹට එන්න පිටත් වෙනකොට හවස හතර විතර වෙලා මයෙ හිතේ. මම හැමටම තැගි ගත්තත් අපේ රෝහිත සර්ගෙ පුතාල දෙන්නාටත් පුංචිම හරි තෑග්ගක් දෙන්න ඕනෙ කියල හිතල අපි එන්න කලින් දවසෙ හන්දියෙන් පොඩි ටී ෂර්ට් එකකුයි කමිසයකුයි අරගත්තා. ඒ දරුවො දෙන්නා අපිත් එක්ක පුහුණු වීම් වලට ආව. හරියට කැපවීම් කලා එයාලගෙ වැඩ පාඩු කරගෙන මේ වැඩ සටහන උදෙසා. අනෙක දෙන්නම කිසිම පැකිලීමකින් තොරව උදව් උනා හැම දෙයටම. ජනප්‍රියත්වය හඹාගෙන යන්නැතිව නිහඬව සේවයක් කරන දරුවො දෙන්නෙක්. ඒ සඳහා අපෙන් සුළු තිළිණයක්. ඒ පුතාල දෙන්නාම ඉතාම සතුටින් ඒ තිළිණය බාර ගත්තෙ ස්තූති පූර්වකව.

මඟ දිඟටම නාන්න තැන් හොයනවා. අතරමග ගීත ගායනා, විහිළු තහළු කෙලවරක් නෑ.  මාතරට එනකොට යාන්තමට ඇඳිරි වැටිල. ඒ වෙලාවෙ මුහුද සැරයි, වගේම කොහෙ ගියත් අපේ රටේ මත්වතුර තොල ගාගෙන ඉන්න තරුන කට්ටිය ගැවසෙන තැන් බොහොමයක් තිබුනෙ. අපි ඒව මඟ හැරල හොඳ තැනක් බලාගෙන ආවත් හත විතර වෙනකල් ලැබුනෙ නෑ. අපි තැනක නැවත්තුව රාත්‍රියට ආප්ප කන්න. මුහුද අයිනෙ ලස්සන තැනක්. කෑම ගේන කල් හොඳ සීතල සුලං. එක පාරටම වහින්න ගත්ත තද සුළඟක් එක්ක . ආප්ප හුළගෙ පාවෙනවා. හිරිකඩ හැමෝගෙම ඇගේ. කරන්න දෙයක් නෑ . සැම දෙනාම ඒව ඉවසා හිටිය වැස්ස අඩුවෙනකල්. හොඳ ඉඟුරු තේ කෝප්පයක් හා කෝපි ලැබුන කැමති අයට.


අපි රාත්‍රියට ගත්ත ආහාරය සුළු උනත් හැමෝම විහිළුවෙන් තහළුවෙන් එය පිළිගත්ත බව පෙනුන. හැමටම මහන්සිය දැනෙන වෙලාව. නාන අදහස දැන් අත්හැරියා. අපි එන අතරෙ එක එක ගුරුමෑණියන් ගැන විස්තරයක් අපේ මහත්තයා අතින්. 


මුළින්ම පිටි පස්සෙම වාඩිවෙලා හිටිය අය ගැන. පිළිවෙල නම් මේ වෙනකොට මට අමතකයි.  

අපේ සුභාෂිණී මිස්, ලඟකදී දහම් පාසැලට ආවත් කැපවෙලා වැඩ කරන ගුණගරුක හැමෝම එක්ක සහයෝගෙන්  විහිළුවෙන් හිටිය     මිස් කෙනෙක්.

 ඊලඟට සන්ධ‍යා මිස්, දරුවොන්ගෙ වැඩ අස්සෙත් අපේ දහම් පාසැලේ දරුවන් උදෙසා කැපවෙලා වැඩ කරන දක්ෂ ගුරුතුමියක්.
ඩිලාන් පුතා, මහත් කැපවීමෙන් ක්‍රියාකරන අපිට මේ ගමනට බස් රථය හා සමහර දේවල් සපයා දීල උනන්දුවෙන් උපකාර කල ගුරුතුමෙක්.

අපේ අසින්තා මිස්. මේ ගමනට අවශ්‍ය බෙහෙත් හේත් සැපයූවත් ඒවා තමන් පාවිච්චි නොකල, මග දිගට වමනෙ දැම්ම ඒ උනාට දක්ශලෙස බෙර වාදනය කරන ගීත ගයන ගුරුතුමියක්.

වෙනුර පුතා, පුතාගෙ ගෙදර බොහොම ප්‍රශ්න තිබුනත් අපිත් එක්ක හැකි හැම වෙලාවෙම මේ වැඩ කටයුතුවලට බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වෙන නිතරම නපුරිත් එක්ක පැටලෙන දහම් පාසැල් වැඩ වලට  සහාය දෙන ගුරුතුමෙක්.

සර්ගෙ ලොකු පුතා. හැම වෙලාවෙම සර්ත් එක්ක ඇවිත් රාත්‍රිය වෙනකල් සමහරදාට පුහුණුවීම් වලට උදව් උන, ගිටාර් වාදනයෙන් අපිට සහායවුනු පුතෙක්.

සර්ගෙ පොඩි පුතා අපි කාගෙත් හුරතලා. දක්ශ ලෙස ගීත ගයන,  වාදනයෙන් උදව්වෙන හැම වෙලාවෙම නාන්නම බලාගෙනම හිටිය, නිතරම අක්කලා සමඟම ගැවසුන හුරතල් කතා කියමින් දබර කර ගත්ත පුතෙක්.

අපේ රසිකා මිස්, පෞදගලික අවශ්ය‍යතාවයක් පසුවට කල් දාගෙන බොහොම කැපවීමෙන් මේ ගමනට සහභාගිවෙලා දක්ශ ලෙස ගීත ගායනාකල ගුරුතුමියක්. එතුමියගේ අනාගත ජීවිතය සරවප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! කියා ප්‍රාර්ථනා කරනවා සෙනෙහසින්ම.

ඊළගට අපේ නපුරී, නෑ….. නෑ…….. අපේ සුදු දුව!  ඒ තමයි අපේ අයෝමි මිස්. නිතරම කටකාර වචන කියන රණ්ඩුවට බර ඒ උනාට හොඳ හදවතක් තියෙන සින්දු කියන්න බෑ කිව්වට බස් එකේදි ලස්සනට, නොනවත්වාම සින්දු කිව්ව දඟකාර, කටකාර, ගුණගරුක , දහම්පාසලට හිතැති ගුරුතුමියක්.

ඊලඟට පද්මලතා මිස්. ගොඩාක් කරදර මැද්දෙ දරුවන් ලොකුමහත් කරගෙන ඉන්න දිරිය කාන්තාවක් වගේම දහම් පාසැලේ හැම වැඩකටම නොපැකිලවම සහාය දෙන ගුරුමෑණි කෙනෙක්.

ඊගාවට ලක්ෂ්මි මිස්. ඒ මිස් මේ වැඩසටහනෙදි පුළුවන් විදිහට හැම දෙයකටම සහභාගි වෙමින් උපකාර කල දක්ශ ගුරුවරියක්.

ඊළඟට කුමුදුණි මිස්. දරුවන් දෙන්නෙක් ගෙ විභාග වැඩ කටයුතු මැද්දෙ, දහම් පාසැලේ හැම කාර්ය්‍යකටම සහභාගීවෙන නිතරම ගුරුහරුකම් දෙමින් හැමෝම එක්ක සුහදව කටයුතුකරන, මේ ගුරුවරියන් දරුවන් සේ බලා ගත්ත ආරක්ශා කල ගුරුමෑණි කෙනෙක්.

ඊළඟට හිටියෙ අපේ දහනායක මිස්. මිස් තමයි ඉන්න වැඩිහිටිම මිස්. බොහොම ආසාවෙන් අසනිප තත්වයන් මැද උනත් දහම් පාසැලේ වැඩ වලට සම්බන්ධ වෙන්නෙ. අපේ මහත්තයා දෙන කැඳවේල හදන්නෙත් ඒ මිස්. ඒ හැම දේම කරගෙන මේ ගමනට සහභාගි උනේ. නම වතාවක් කතරගම ආවත් සිතුල්පව්වට ඒ එකපාරක් වත් ගිහින් නැති උනත්, අද මේ ගමනෙදි හැමෝගෙම උදව්වෙන් උඩටම ගිහින් සිතුල්පව්ව රාජ මහා විහාරය බොහොම භක්තියෙන් වැඳපුදා ගත්ත ගුරුතුමියක්.

ඊළඟට හිටියෙ මම. මම ගැන කිව්වෙ, "මගෙ වැඩ කටයුතු වලට ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් ඉන්න මගෙ යෙහෙලියක් වගේ කටයුතු කරන. " ළමයින්ට බනින කොට , දොස් කියන කොට මාව කොනිත්තන, නිතරම මට සහාය වෙන, හැම දේම සොයා බලන මගෙ බිරිඳ. ………….. ඉතිරිය අමතකයි.

ඊළඟට රෝහිත සර් ගැන. අපේ වාසනාවට අපිත් එක්ක එකතු වෙච්ච හොඳ හදවතක් තියෙන දක්ශ ගුරුවරයෙක්. ගීත ගායනා කරන්න අපිට ඉතා ඉවසීමෙන් ඉගැන්වූ දක්ෂ ගුරුතුමෙක්. ගයන්නට බැරිව හිටිය අය ගායක ගායිකාවන් බවට පත් කල , මේ වැඩ සටහන ඉතාමත් හොඳින් සාර්‍ථකව නිමා කරන්න උදව් කල ඉතා නිහතමානී ගුරුතුමෙක්.



සර් ගෙ බිරිඳ, හැම වෙලාවෙම අපේ කරදර ඉවසා සර්ට මේ කටයුත්ත කරගෙන යන්න උදව් කල, අපිත් එක්ක බොහොම සුහදව ගමනට සහභාගි උන ප්‍රියමනාප සුහද ශීලී මිස් කෙනෙක්.

ඊළඟට අපේ ඩිලාන්ගෙ මල්ලි. අපිත් එක්ක ගමනට සහභාගි වෙලා නොයෙක් අයුරින් උදව් උපකාර කල බස් එකේ හැමදෙයක්ම බලා ගෙන පිරිසිදුකල  චාමර පුතා.

ඊගාවට අපේ බස් රථයේ රියදුරු මහතා වන ඩිලාන් පුතාගෙ මාමා. අපිව කරදරයක් නැතුව සුව පහසුව මේ තාක් කල් ගෙනාව, නපුරී   අංකල් කියල දොස් අහපු, වන්දනා නඩයට ඕනෙ ඕනෙ තැන්වල  අරන් ගිය මාමා හෙවත්  අංකල් උනාට තාම තරුණ තුෂාර පුතා.










ඔන්න ඉතින් කට්ටියම ගැන අපේ මහත්තයා කියපුවා. ඒ විදිහටම මට දැන් මතක නෑ. එයාලගෙ පින්තූර ටික දාන්න ඉල්ලුවම , මට ලැබුනෙ සති ගානක් පරක්කුවෙලා. ඉතින් අර කියාපු කරපුවා මතක තියේවි ද? කවුරුත් මට දොස් කියන එකක් නැතිවෙයි කියල හිතනවා. ඉතින් සැමටම ස්තූතියි! කියල කතාව නතර කලා.

දහනායක මිස් අපේ මහත්තයා ඇතුළු සියලුම දෙනාට අනේක වාරයක් පින් දෙමින්, ස්තූතිය පුදකරමින් ස්තූති කතාව සිදුකලේ කදුළු පිරි දෙනෙතින්.

අදට හරියටම අපි ගමන ගිහින් මාසයක් ගතවෙලා.


ඒ සොඳුරු මතකය අදටත් හරිම සුන්දරයි. සැමටම ස්තූතියි! වගේම බොහොම පින්!




Friday, July 31, 2015

ධම්ම පදය චිත්ත වග්ගය.10


දිසෝ දිසං යන්තං කයිරා – වේරී වා පන වේරිනං

මිච්ඡාපණිහිතං චිත්තං – පාපියෝ නං තතෝ කරේ


හොරෙක් තවත් හොරෙකුට දරුණු විපතක් කරනවාටත් වඩා, වෛරක්කාරෙයෙක් තවත් වෛරක්කාරයෙකුට දරුණු විපතක් කරනවාටත් වඩා, මිත්‍යා දෘෂ්ටියේ පිහිටවා ගත් සිත විසින්, තමාව ඊටත් වඩා පාපියෙකු කරනවා.


(කොසොල් ජනපදයේදී නන්ද ගොපල්ලා අරභයා වදාළ ගාථාවකි )


All Wrong Issue Out Of Evil Mind


Whatever foe may do to foe,
or haters those they hate
the ill-directed mind indeed
can do one greater harm
.
Explanation: When one bandit see another, he attacks the second bandit. In the same way, one person sees someone he hates, he also does harm to the hated person. But what the badly deployed mind does to the possessor of that mind is far worse than what a bandit would do to another bandit or what one hater will do to another hater.
The Story of Nanda, the Herdsman
While on a visit to a village in the kingdom of Kosala, the Buddha uttered, with reference to Nanda, the herdsman.

Nanda was a herdsman who looked after the cows of Anathapindika. Although only a herdsman, he had some means of his own. Occasionally, he would go to the house of Anathapindika and there he sometimes met the Buddha and listened to his discourses. Nanda requested the Buddha to pay a visit to his house. But the Buddha did not go to Nanda's house immediately, saying that it was not yet time.

After some time, while travelling with his followers, the Buddha went off his route to visit Nanda, knowing that the time was ripe for Nanda to receive his teaching properly. Nanda respectfully received the Buddha and his followers; he served them milk and milk products and other choice food for seven days. On the last day, after hearing the discourse given by the Buddha, Nanda attained Sotapatti Fruition. As the Buddha was leaving that day, Nanda carrying the bowl of the Buddha, followed him for some distance, paid obeisance and turned back to go home.

At that instant, a hunter who was an old enemy of Nanda, shot him down. The bhikkhus who were following the Buddha, saw Nanda lying dead. They reported the matter to the Buddha, saying, "Venerable Sir, because you came here, Nanda who made great offerings to you and accompanied you on your return was killed as he was turning back to go home." To them, the Buddha replied, "Bhikkhus, whether I came here or not, there was no escape from death for him, as a wrongly directed mind can do oneself much greater harm than an enemy or a thief can."
Then the Buddha spoke in verse as follows:
 
"A thief may harm a thief; an enemy may harm an enemy; but a wrongly directed mind can do oneself far greater harm."

Thursday, July 9, 2015

හිත නිවූ හද නැලවූ සැදැහැ ගී සරණිය - වේරහැර බෝධිරාජපුර ශ්‍රි පුණ්‍යසාර දහම් පාසැලේ ගුරු මණ්ඩලයෙන් තිස්සමහාරාම වීරහෙල ශ්‍රී සාම විජය දහම් පාසලට සැදහැ ගී තිළිණයක්.


කාලෙකින් සටහනක් තැබෙන්නෙ. කාර්ය‍ය බහුලත්වය නිසා හරිම අමාරුයි දැන් හිත එකලස් කරගෙන යමක් ලියන්න. ඒ ගැන හැමගෙන් සමාව යදිනවා.



නිදි නැති රැයක් ගෙවිල උදා වුන හිමිදිරිය සුන්දරයි. දින ගනනාවක් ගතවුනු පුහුණුවීම් නිමා කරමින් අපි හිමිදිරියෙම පිටත් වුණෙ තිස්සමහාරාමෙ අපෙ හාමුදුරුවන් වැඩ වාසය කරන විහාරයට යන්නයි.  කියාගන්න බැරි සතුටකින් හිත පිරිල. මගෙ අසනීප ගති නිසා කොයි මොහොතෙ ගෙදර ඉන්න වෙයි ද කියල බයෙන් හිටියත් ගමන දවසෙ උදේ මට අසනීප ගතියක් දනුනෙම නෑ. යාන්තම් හිරු එළිය වැටෙන කොට අපි හොරණ රත්නපුරා පාරෙ ගමන් ගන්නව. ඒ පැත්තෙ ගහකොළ වලින්, දිය පාරවල් වලින් පිරිල බොහොම සුන්දර පරිසරයක්. කඳු වලලු මැද්දෙන් හිරු එළිය යාන්තමට වැටෙනව. මිහිරි සංගීතෙන් හිතත් පිරෙනව. ඒ අතරෙ වෙන විහිළු තහළුවක් අහිංසකව විඳගන්න හැමෝම හුරුවෙලා.

අපේ ගමනෙ අරමුණ වේරහැර ශ්‍රී පුණ්‍යසාර දහම් පාසැලේ ගුරු මණ්ඩලය තිස්ස කතරගම අතරේ තියෙන වීරහෙළ කියන ගමේ අපේ හාමුදුරුවන් වන බොරලැස්ගමුවේ විජිතසිරි ස්වාමින්වහන්සේ වැඩවසන පන්සලේ දහම් පාසැලට සැදැහැ ගී සරණියක් පවත්වන්නයි. 



උදෑසන හත කිටිටු වෙනකොට අපි සබරගමු මහ සමන් දේවාලය අසල.  කට්ටියක් බැහැල පාන් ගන්නා අතරෙ අනෙක් අය වෙනත් කටයුතු වලට ගිහින්. යලිත් ගමන් ඇරඹුම පැල්මඩුල්ලෙන් කහවත්ත හරහා පල්ලෙබැද්ද සංඛපාල රජමහා විහාරයට. වේලාව අටයි කාල විතර වෙනකොට අපි විහාරයට ලඟා වෙනව. හැමෝම විමසිල්ලෙන් ඩිලාන් පුතාගෙ මාමලාගෙ නිවසට යන්න. පන්සල ඉස්සරහම තියෙන නිවස නිසා හරිම පහසුවක් උනා අපිට. හරිම උනුසුම් පිළිගැනීමක්.


කට්ටියම ඉක්මනින්ම උදෑසන ආහාරය සූදානම් කලා. අපි පාන් , පරිප්පු, සීනි සම්බල හා කෙසෙල් ගෙඩි ගෙනිහින් තිබ්බා. ඒ සමඟ අපිට ඩිලාන් ගෙ මාමා ඒ අයට උයාපු බත් කතුරුමුරුංගා මැල්ලුමක්, සමඟ අනෙක් ව්‍යාංජන අරන් ආවා. නැන්දා ඉක්මනින්ම තේ සූදානම් කලා. එතනදී අපිට මුහුණ කට සෝදාගෙන පවිත්‍ර වෙන්නත් ලැබුනා. හොඳ උදෑසන ආහාරයකින් පසුව සංඛපාල පන්සලට ගියා.

පන්සිල් සමාදන් වෙලා මේ මනස්කාන්ත පරිසරයේ හෝරා දෙකක් පමණ ගත කරද්දි දක්නට ලැබුණු දේවල් අතරින් හක්ගෙඩි ගල, විහාරගෙයි බිතු සිතුවම්, රාජාධි රාජසිංහ රජ සමයේ විසූ කරතොට ධම්මාරාම තෙරුන් වදාල කවි සහ කටාරම් කෙටූ ඉපැරණි සෙල්ලිපිය විශේෂ තැනක් ගත්තා.








තුරු සෙවණට වී අවට සිරි නරඹමින් ඉන්න අතරෙ, විහාරයට පැමිණෙන බැතිමතුන්ගෙන් බොහෝ දෙනා හක්ගෙඩියක සලකුණ සටහන් කර ඇති ගල දෙස උනන්දුවෙන් මෙන්ම විමතියෙන් බලමින් ඒ ගැන කතා කරන අයුරු දක්නට ලැබුණා.  එකත් එකටම ඒ කතාවෙන්නෙ ඵුස්සදේව යෝධයාගෙ සංඛය ගැන ජනප්‍රවාද වෙන්නට ඕනෙ.

ගිරිකුල ඉහලටම යන්නට අදහසක් තිබුණත්, හිරු  රශ්මිය තද බව හා මගේ දනිස්සේ අබාධය නිසා පහල නැවතුනා. පදමලතා මිස් සමඟ මිස් ගේ පවුලේ තොරතුරු අහමින් සතුටින් හිටියා.   
නාගරික පරිසරයේ එදිනෙදා හමුවෙන කොන්ක්‍රීට් වනාන්තර, වාහන තදබදය හා ඝෝෂාවන් නිසා හෙම්බත් වෙන මනස සුවපත් කරන්නට නිස්කලංක පරිසරයක ගෙවෙන හෝරා දෙක  තුනක් නොසෑහෙන තරම්.    පියගැටපෙල බහින්නට පටන් ගත්තෙ, බැතිමත් බෞද්ධයන් ගැවසෙන ශාන්තවූ පරිසරයක වෙසෙමින්,  ඉතිහාසය හා අපේ උරුමය ගැන සාකච්ඡා කළ දැනුමින් පෝෂණය වූ අපූරු හෝරා දෙක  තුනක මිහිරි මතකයන් ජීවිතයට එක්කරගෙනයි.




අපේ මහත්තයාගෙ දේශන.










දුටුගැමුණු රජතුමාගෙ සේනාවෙ හිටපු ඵුස්සදේව යෝධයාට අයත් වෙලා තිබුණු සංඛය තැන්පත් කරලා මෙම විහාරය නිර්මාණය කලේ ඵුස්සදේව යෝධයා බවයි ඉතිහාසයෙ කියවෙන්නෙ. ඵුස්සදේව විසින් පර්වතයේ ඉහලට ගල් පඩිපෙලක් කපමින් ගොස්, හක් ගෙඩිය තැන්පත් කළ බව බොහෝදෙනා අතර ප්‍රසිද්ධ කතාවක්.  සංඛය තවමත් මෙහි තිබෙන බව පැවසෙන විවිධ කතාන්දරත් ජනවහරේ විරල නැහැ.  කෙසේ වෙතත් මෙම විහාරස්ථානය පිහිටි ප්‍රදේශය ඵුස්සදේව යෝධයාට ගම්වරයක් ලෙස දුටුගැමුණු රජතුමා ප්‍රදානය කළ වග සඳහන් වෙනවා.  ඒ වගේම ඵුස්සදේව යෝධයා භික්ෂු ජීවිතයට ඇතුලත් වෙලා අර්හත් ඵලය ලද බවත් ජනවහරේ වගේම වංශකතාවලත් සඳහන්.   විහාරස්ථානය  ඇතුලෙ ඵුස්සදේව යෝධයාගෙ ජීවිතයේ විවිධ අවස්ථා සිතුවම් කරලා තියෙන හැටිත් සිත් ගන්නා සුළුයි.



අපි පහලට බැස්සම ඔන්න සාස්තර කාරියක් අපේ පස්සෙන් වැටුන. අපේ මහත්තයට සිකුරු ලබල තියෙන්නෙ, හොඳ කාලෙ ලබල තියෙන්නෙ කියල අපේ පස්සෙන්ම එනව. මම ටිකක් ඈතින් ආවෙ. මට හිනා මේ කතාවට. අපේ මහත්තයා කියනව “මේ අපේ නෝනා පිටිපස්සෙ ඉන්නව ඔය කතාව නම් ඇහෙන්න කියන්න එපා”ය කියල. මේ පාර එයා කියනව "මහත්තයාගෙ නෝනා හරිම සැර පරුෂ , කට සැර නෝනා කෙනක්" ය කියලා. මගෙ මහත්තයා කියනව " අන්න, අන්න ඕව නම් කියාගෙන එන්න එපා, එහෙම කොහොමද , ඔය සාස්තරේ නම් හරියන්නෙ නෑ" කියල. ඒ පාර තව කාවද අල්ලගෙන කියවන්න ගත්තා. ඒ අයත් මගහැරියාම "අනේ මහත්තයා කන්න මොකවත් ගන්නවත් කීයක් හරි දෙන්න කියලා පස්සෙන්ම ආව. මහත්තයා කිව්ව ඔය දේ කලින්ම කිව්වානම් ඉවර නේ කියලා.  ඊට පස්සෙ සුබා මිස් ලඟට ගිහින් කියව කියව හිටියා. මොනවා කිව්වද නම් දන්නෙ නෑ.

කොහොම උනත් අපි හරිම විනෝදෙන් බසයට  ගොඩ  උනේ, ඩිලාන් පුතාගෙ මාමට නොසෑහෙන්න ස්තූති කරල. ඒ මාම ගැනත් වචනයක් ලියන්න ඕනෙ. යුද්ධෙ කාලෙදී කොටින්ට අහුවෙලා බොහොම අමානුශික විදිහට ඒ අයගෙන් වද වේදනා විඳල පූරුවේ කල පිනකට කොටි හස්තයෙන් බේරිලා ආව අපේ රණ විරුවෙක්. ඒ වාගෙම අපි අද නිදහසේ ජීවත් වෙන්නෙ එයාල වගේ අය ජීවිත කැප කරපු නිසා නෙ. ඒ නිසාවෙන් නිදුක් නීරෝගී දිගා සිරි පතනවා ඒ දෙපලටම සෙනෙහසින්. ජීවිතේ අපිට හමුවන සුන්දර චරිතයක්.  අපිට මගදි කන්න හොද කට්ට සම්බලයක් එක්ක මයියොක්කා පාර්සලයකුත් ලැබුනා ඒ නැන්දා ගෙන්. බොහොම පින් ඒ අයට අපිට කල සත්කාර  වලට.

එතනින් චන්ද්‍රිකා වැවට. නාන්න බලා ඉන්න අයට. එතන හරි නෑ. ඒ පාර අපි ආවෙ සූරියවැව මහමෙවුනා අසපුවට. කලිනුත් ඇවිත් වන්දනා මාන කල සුන්දර පන්සලක්. බොහොම භක්තියෙන් බුදුගුණ වන්දනාව මගෙ මහත්තයා අතින් සිදු උනා.





අපි එතනින් පිටත් වුනේ පන්සලට පොඩි ආධාරයකුත් කරල. ඒ එන අතර මඟ ඩිලාන්ගෙ මාමා දුන්න මයියොක්කා ටිකටත් වග කිව්වෙ තලු මර මර.  මගදි දහවල් ආහාරය අරන් කෙලින්ම සිතුල් පව්ව බලා ගියා. දැන් මග දිගටම ගීත ගයමින් හරිම සතුටින් කට්ටිය යන්නෙ. සිතුල් පව්වට ලඟා වෙත්දිම අලි දෙන්නෙක් ඉස්සරහට. කරදරයක් නෑ අපිට. මොණරු, වළිකුකුලො, මුවන් ,වල් ඌරො සහ ගෝනෙක් දැක්ක.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමන සිහිවීම සඳහා ආගමික උත්සව පැවැත්වෙන ප‍්‍රධාන ස්ථානය අනුරාධපුරයයි. දෙවන ස්ථානය වශයෙන් සැළකිය හැක්කේ සිතුල් පව්වයි. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මාගම්පත්තුවේ පිහිටා ඇති මේ පුද බිම “චිත්තපබ්බත” චිතලපවන” යන නම් වලින්ද හැඳින්වේ. පර්වතය මත ඉදි කළ චෛත්‍යයකි. මේ පුදබිම තනවා ඇත්තේ රුහුණු රට රජ පැමිණ රට කරවූ කාවන්තිස්ස රජතුමා. මේ ස්ථානයේ දාන ශාලා ධර්ම ශාලා , උපෝසථ ශාලා, ගිමන්හල් සක්මන් මළු ආදිය කරවු එතුමා දොළොස් දහසක් මහ රහතන් වහන්සේලා වැඩමවාගෙන සත්දිනක් උත්සව පවත්වා සිතුල්පව්ව සඟ සතු කර පූජා කළ බවද කියැවේ.



සිතුල් පව්ව, මහ සිතුල් පව්ව සහ කුඩා සිතුල්පව්ව යනුවෙන් කොටස් දෙකකි. මෙහි අතීතයේ මහ රහතන් වහන්සේට සෙවණ දුන් ගුහා සිය ගණනක් හදොළොස් දහසක් මහ රහතන් වහන්සේ වැඩ සිටි මෙම ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරය අද අලි , කොටි, වලසුන්ගෙන් ගහණ මහ වනයක් මැද පිහිටා ඇති විහාරයක් බවට පත් වී තිබේ. මෙහි පිහිටීම සැලැස්ම සහ නිර්මාණය පුරාවිද්‍යාඥයින්ගේ දැඩි අවධානයට යොමු වූ තිබේ.

ගාමිණී අභය (දුටුගැමුණු) රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් පළමුවැනියා වූ නන්දිමිත‍්‍ර සහ හත්වැනි යෝධයා වූ වේළුසුමන යන යෝධයන් දෙදෙනා විසින් කරවා පූජා කරන ලද ලෙන් දෙකක් මෙහි ඇත. දුටුගැමුණු රජතුමාගේ තමත් යෝධයකු වූ  ඵුස්සදේව යෝධයා, සිතුල්පව්ව ගමේ වැසියෙකි.


භාණක මලියදේව නම් හිමිපාණන් වහන්සේ නමක් සිතුල්පව්ව විහාරයට වැඩම කොට ජජක්ක සූත‍්‍රය දෙසීමෙන් පසු, වයස සැට වසරක් සපිරි තෙරුන් වහන්සේ සැට නමක් රහත් ඵලය ලබා ඇත. මෙම පුදබිමේ පුරාවිද්‍යාත්මක අතින් වැදගත් වටිනාකමක් ඇති පැරණි , ස්ථූප ලෙන් විහාර බෝධි සත්ව පිළිම ආදිය දක්නට ලැබේ. ප‍්‍රජා ශාලාවක නටබුන් ද වේ. මෙහි ඇති චිත‍්‍ර, සීගිරි සිතුවම් වලට වඩා පැරණි යැයි පුරාවිද්‍යාඥයෝ පවසති.

සිතුල්පව්ව, දෙකුන්දරා වැව, මඟුල් මහා විහාරය උද්ධකන්දර ආදී ස්ථානවල ඇති ගල් ගුහා හා මේ වටා විහිදුණු පරිසරයේ ඇති තවත් ගල් ලෙන් ගණන 400 ද ඉක්මවයි. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ සිතුල්පව් විහාරයේ දොළොස් දහසක් යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වැඩ වාසය කළ බවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අවට භූමියේ පැරැණි බ්‍රාහ්මී අක්‍ෂර සහිත ගල් ලෙන් සියයක් පමණ සොයාගෙන ඇත. සුවිසල් වපසරියක් තුළ වන සොයාගත් සහ තවත් ඝන වනයේ සැඟව ඇති ලෙන් සමූහය පිළිබඳ සිතීමේ දී එවන් විශාල භික්‍ෂු සමූහයක් මේ පිවිතුරු පුදබිම තුළ වැඩ සිටියා යැයි  සිතිය හැක.
රාජ්‍ය වර්ෂ පූර්ව 104 දී (බු.ව. 440 ) අනුරාධපුර රාජධානියේ රජ පැමිණි වට්ට ගාමිණී අභය (වළගම්බා) රජතුමා රාජ්‍ය වර්ෂ පූර්ව 88 (බු. ව. 455) එම රාජධානියේම දෙවන වරටත් රජ පැමිණි වසර දොළහක් රට කරවීය.








වලගම්බා රාජ්‍ය සමයේ දී, පැමිණි බැමිණිටියාසායේ දී මෙහි වැඩ සිටි දොළොස් දහසක් මහ රහතන් වහන්සේ සමඟ තිස්සමහාරාම බිමේ වැඩ සිටි දොළොස් දහසක් මහරහතන් වහ්නසේ කුසට මදක් හෝ අහරක් නොමැතිව කර කොළ වළඳමින් දිවි ගෙවා අවසාන නිමේශයේ දී “එක්ව මියැදෙම්වායි” පෑ අධිෂ්ඨාන බලයෙන් විසි හතර දහසක් මහරහතන් වහන්සේ මේ පුණ්‍ය භූමියේ දී පිරිනිවන් පෑ බලයෙන් එදා සිතුල්පව්ව පිරිනිවන් මංචකයක් බවට පත් වීය. ඒ ජනප්‍රවාද කතාව ය. එසේ විසිහතර දහසක් රහත් ඵල ලාභීන්ට පරිනිර්වාණය ආසන්නයේම වූ අජරාමර නිවන් සුවය පතා අවසන් නිදි සයනය සෑදුවේ උපේක්‍ෂාවෙන් සියල්ල විඳ දරාගත් මෙ පින් බිම ය.
ඉන්පසු කරුණු සොයා දැනගත් ගාල්ලේ යටිගල මහා විහාරාධිපතිව වැඩ වාසය කළ පූජ්‍ය කළහේ  ශ්‍රී රතනජෝති හිමිපාණන් වහන්සේ ඝන වනයට පිවිසි මෙම පුද බිම වර්ෂ 1927 දී එවකට පැවැති මහා බි‍්‍රතාන්‍ය රජයෙන් අවසර ගෙන වැඩි දියුණු කිරීම ආරම්භ කළහ.
අපි එතනින් පිටත්ව ආවෙ බොහොම පහන් හැඟීමෙන්. අපි අතරෙ හිටිය දහනායක මිස් කිහිප වතාවක් මේ පුදබිම වඳින්න ආවත් නොහැකි වූ බවත් අද මහත් සතුටින් වැඳ පුදා ගත් බවත් කීවෙ ඇසේ කඳුලක් ඇතිව.  ගමනෙදී විහිළු තහලු නම් කෙලවරක් නෑ. නමුත් ඇස් රතුවෙන දේවල් නෑ. හරිම විනෝදෙන් අපි හැමෝම ගමන් ගත්තෙ.


ඊලඟ නැවතුම කතරගම කිරි වෙහෙර. මම හරිම කැමතියි මේ කිරිවෙහෙර භූමියේ පහසට. කොච්චර වැන්දත් ආයෙ ආයෙමත් එන්න හිතෙන්නෙ ඇයිද? මන්දා. රත්නමාලි වෙහෙර වගේම හිතට මහත් සුවයක් දැනෙන තැනක්. නෙළුම් මල් අරන් අපි කිරිවෙහෙර වන්දනාවෙ. ඒ අතරෙ තවත් කට්ටියක් කතරගම දේවාලෙ වන්දනාවට ගියා. 






එතනින් අපි වීරහෙල පන්සල් භූමියට ආවෙ බිම් කළුවර වැටෙත්දි. අපේ හාමුදුරුවන් ගෙන් උනුසුම් පිළිගැනීමක්. අපේම පවුලෙ හතරවරිගයම නිවන් දකින්න පින් පුරවන අපේ හාමුදුරුවන් වහන්සේ. දැක්කම හිතට සතුටුයි. මම පවුලෙ වැඩිමල් අක්කා විදිහට මට මහත් ගෞරවයක් උන්වහන්සේ ලඟ තියෙන්නෙ. ඒ වාගෙම අපිත් උන්වහන්සේට සලකන්නෙ ඉමහත් ගෞරවයෙන්. මේ දුශ්කර ප්‍රදේශයට වැඩම කරල උන්වහන්සේගෙන් මේ ගමට පලාතට වෙන සේවය මෙතැකැයි කියා නිම කරන්න බැහැ. කෑම සියල්ල සැනෙකින් ලෑස්තියි. අපි ඇඟපත සෝදා පිරිසිදු වෙලා කෑම කාලා ආයෙත් ධර්ම ශාලාවට. පෙර පුහුණුවක් හෙට වැඩ සටහනට. ඒක ඉවර උනේ රාත්‍රී එකොළහ පමන වෙලා. නින්දට ගියෙ පහන් සිතින්. වෙහෙස උනත් ඒ නවතැනේ සුවපහසුව නිසා හැමටම කරදයක් නැතිව නිදි සුව.


ඉතිරි කොටස විගසින්ම ලියන්නම්. සැමට තුති!



Tuesday, June 2, 2015

පොසොන් උදානය



දෙව්ලොව දෙවියන් අදටත් වඩිනා මිහින්තලාවේ
අනුබුදු හිමි දෙසූ දහම් නිති  අසන මිනිසුනේ
රාග ද්වේශ මෝහ නසා නිවන පතන්නේ
මේ බිම අපි සැම දෙනා ම පිනට උපන්නේ

මහමෙවුනා උයන පුරා සාදු කාර දී
දහසක් දන වැතිර වැටී මුණිදු වඳිත් දී 
මහ කරුණා මුණිදු දහම සිහියට එත්දී
කෙලෙස් මලෙන් දුරුවන සිත් පිරිසිදු වෙත්දී


වෙනසක් නෑ සියළු දෙනා එකසේ රැස් වේ
ගල් පඩි නඟිමින් යන මේ මිහින්තලාවේ
සාදු සාදු  හඬ පැතිරේ ගුවන් තලාවේ
දෙවිවරු සැම රැස් වී හිඳ දහම් සභාවේ

මල් වරුසා වස්සවමින් සාදු කාරදී
පාපෙන් මුදවා යහමඟ අපට කියාදී
රකිමින් නිති  සැදැහැවතුන් නිතර පිං දිදී
දිවැස් හෙලයි බැලුම් බලා වඬින තුරු නිතී

කලින් පළකරපු නිර්මාණයක්.

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...