බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Thursday, July 9, 2015

හිත නිවූ හද නැලවූ සැදැහැ ගී සරණිය - වේරහැර බෝධිරාජපුර ශ්‍රි පුණ්‍යසාර දහම් පාසැලේ ගුරු මණ්ඩලයෙන් තිස්සමහාරාම වීරහෙල ශ්‍රී සාම විජය දහම් පාසලට සැදහැ ගී තිළිණයක්.


කාලෙකින් සටහනක් තැබෙන්නෙ. කාර්ය‍ය බහුලත්වය නිසා හරිම අමාරුයි දැන් හිත එකලස් කරගෙන යමක් ලියන්න. ඒ ගැන හැමගෙන් සමාව යදිනවා.



නිදි නැති රැයක් ගෙවිල උදා වුන හිමිදිරිය සුන්දරයි. දින ගනනාවක් ගතවුනු පුහුණුවීම් නිමා කරමින් අපි හිමිදිරියෙම පිටත් වුණෙ තිස්සමහාරාමෙ අපෙ හාමුදුරුවන් වැඩ වාසය කරන විහාරයට යන්නයි.  කියාගන්න බැරි සතුටකින් හිත පිරිල. මගෙ අසනීප ගති නිසා කොයි මොහොතෙ ගෙදර ඉන්න වෙයි ද කියල බයෙන් හිටියත් ගමන දවසෙ උදේ මට අසනීප ගතියක් දනුනෙම නෑ. යාන්තම් හිරු එළිය වැටෙන කොට අපි හොරණ රත්නපුරා පාරෙ ගමන් ගන්නව. ඒ පැත්තෙ ගහකොළ වලින්, දිය පාරවල් වලින් පිරිල බොහොම සුන්දර පරිසරයක්. කඳු වලලු මැද්දෙන් හිරු එළිය යාන්තමට වැටෙනව. මිහිරි සංගීතෙන් හිතත් පිරෙනව. ඒ අතරෙ වෙන විහිළු තහළුවක් අහිංසකව විඳගන්න හැමෝම හුරුවෙලා.

අපේ ගමනෙ අරමුණ වේරහැර ශ්‍රී පුණ්‍යසාර දහම් පාසැලේ ගුරු මණ්ඩලය තිස්ස කතරගම අතරේ තියෙන වීරහෙළ කියන ගමේ අපේ හාමුදුරුවන් වන බොරලැස්ගමුවේ විජිතසිරි ස්වාමින්වහන්සේ වැඩවසන පන්සලේ දහම් පාසැලට සැදැහැ ගී සරණියක් පවත්වන්නයි. 



උදෑසන හත කිටිටු වෙනකොට අපි සබරගමු මහ සමන් දේවාලය අසල.  කට්ටියක් බැහැල පාන් ගන්නා අතරෙ අනෙක් අය වෙනත් කටයුතු වලට ගිහින්. යලිත් ගමන් ඇරඹුම පැල්මඩුල්ලෙන් කහවත්ත හරහා පල්ලෙබැද්ද සංඛපාල රජමහා විහාරයට. වේලාව අටයි කාල විතර වෙනකොට අපි විහාරයට ලඟා වෙනව. හැමෝම විමසිල්ලෙන් ඩිලාන් පුතාගෙ මාමලාගෙ නිවසට යන්න. පන්සල ඉස්සරහම තියෙන නිවස නිසා හරිම පහසුවක් උනා අපිට. හරිම උනුසුම් පිළිගැනීමක්.


කට්ටියම ඉක්මනින්ම උදෑසන ආහාරය සූදානම් කලා. අපි පාන් , පරිප්පු, සීනි සම්බල හා කෙසෙල් ගෙඩි ගෙනිහින් තිබ්බා. ඒ සමඟ අපිට ඩිලාන් ගෙ මාමා ඒ අයට උයාපු බත් කතුරුමුරුංගා මැල්ලුමක්, සමඟ අනෙක් ව්‍යාංජන අරන් ආවා. නැන්දා ඉක්මනින්ම තේ සූදානම් කලා. එතනදී අපිට මුහුණ කට සෝදාගෙන පවිත්‍ර වෙන්නත් ලැබුනා. හොඳ උදෑසන ආහාරයකින් පසුව සංඛපාල පන්සලට ගියා.

පන්සිල් සමාදන් වෙලා මේ මනස්කාන්ත පරිසරයේ හෝරා දෙකක් පමණ ගත කරද්දි දක්නට ලැබුණු දේවල් අතරින් හක්ගෙඩි ගල, විහාරගෙයි බිතු සිතුවම්, රාජාධි රාජසිංහ රජ සමයේ විසූ කරතොට ධම්මාරාම තෙරුන් වදාල කවි සහ කටාරම් කෙටූ ඉපැරණි සෙල්ලිපිය විශේෂ තැනක් ගත්තා.








තුරු සෙවණට වී අවට සිරි නරඹමින් ඉන්න අතරෙ, විහාරයට පැමිණෙන බැතිමතුන්ගෙන් බොහෝ දෙනා හක්ගෙඩියක සලකුණ සටහන් කර ඇති ගල දෙස උනන්දුවෙන් මෙන්ම විමතියෙන් බලමින් ඒ ගැන කතා කරන අයුරු දක්නට ලැබුණා.  එකත් එකටම ඒ කතාවෙන්නෙ ඵුස්සදේව යෝධයාගෙ සංඛය ගැන ජනප්‍රවාද වෙන්නට ඕනෙ.

ගිරිකුල ඉහලටම යන්නට අදහසක් තිබුණත්, හිරු  රශ්මිය තද බව හා මගේ දනිස්සේ අබාධය නිසා පහල නැවතුනා. පදමලතා මිස් සමඟ මිස් ගේ පවුලේ තොරතුරු අහමින් සතුටින් හිටියා.   
නාගරික පරිසරයේ එදිනෙදා හමුවෙන කොන්ක්‍රීට් වනාන්තර, වාහන තදබදය හා ඝෝෂාවන් නිසා හෙම්බත් වෙන මනස සුවපත් කරන්නට නිස්කලංක පරිසරයක ගෙවෙන හෝරා දෙක  තුනක් නොසෑහෙන තරම්.    පියගැටපෙල බහින්නට පටන් ගත්තෙ, බැතිමත් බෞද්ධයන් ගැවසෙන ශාන්තවූ පරිසරයක වෙසෙමින්,  ඉතිහාසය හා අපේ උරුමය ගැන සාකච්ඡා කළ දැනුමින් පෝෂණය වූ අපූරු හෝරා දෙක  තුනක මිහිරි මතකයන් ජීවිතයට එක්කරගෙනයි.




අපේ මහත්තයාගෙ දේශන.










දුටුගැමුණු රජතුමාගෙ සේනාවෙ හිටපු ඵුස්සදේව යෝධයාට අයත් වෙලා තිබුණු සංඛය තැන්පත් කරලා මෙම විහාරය නිර්මාණය කලේ ඵුස්සදේව යෝධයා බවයි ඉතිහාසයෙ කියවෙන්නෙ. ඵුස්සදේව විසින් පර්වතයේ ඉහලට ගල් පඩිපෙලක් කපමින් ගොස්, හක් ගෙඩිය තැන්පත් කළ බව බොහෝදෙනා අතර ප්‍රසිද්ධ කතාවක්.  සංඛය තවමත් මෙහි තිබෙන බව පැවසෙන විවිධ කතාන්දරත් ජනවහරේ විරල නැහැ.  කෙසේ වෙතත් මෙම විහාරස්ථානය පිහිටි ප්‍රදේශය ඵුස්සදේව යෝධයාට ගම්වරයක් ලෙස දුටුගැමුණු රජතුමා ප්‍රදානය කළ වග සඳහන් වෙනවා.  ඒ වගේම ඵුස්සදේව යෝධයා භික්ෂු ජීවිතයට ඇතුලත් වෙලා අර්හත් ඵලය ලද බවත් ජනවහරේ වගේම වංශකතාවලත් සඳහන්.   විහාරස්ථානය  ඇතුලෙ ඵුස්සදේව යෝධයාගෙ ජීවිතයේ විවිධ අවස්ථා සිතුවම් කරලා තියෙන හැටිත් සිත් ගන්නා සුළුයි.



අපි පහලට බැස්සම ඔන්න සාස්තර කාරියක් අපේ පස්සෙන් වැටුන. අපේ මහත්තයට සිකුරු ලබල තියෙන්නෙ, හොඳ කාලෙ ලබල තියෙන්නෙ කියල අපේ පස්සෙන්ම එනව. මම ටිකක් ඈතින් ආවෙ. මට හිනා මේ කතාවට. අපේ මහත්තයා කියනව මේ අපේ නෝනා පිටිපස්සෙ ඉන්නව ඔය කතාව නම් ඇහෙන්න කියන්න එපාය කියල. මේ පාර එයා කියනව "මහත්තයාගෙ නෝනා හරිම සැර පරුෂ , කට සැර නෝනා කෙනක්" ය කියලා. මගෙ මහත්තයා කියනව " අන්න, අන්න ඕව නම් කියාගෙන එන්න එපා, එහෙම කොහොමද , ඔය සාස්තරේ නම් හරියන්නෙ නෑ" කියල. ඒ පාර තව කාවද අල්ලගෙන කියවන්න ගත්තා. ඒ අයත් මගහැරියාම "අනේ මහත්තයා කන්න මොකවත් ගන්නවත් කීයක් හරි දෙන්න කියලා පස්සෙන්ම ආව. මහත්තයා කිව්ව ඔය දේ කලින්ම කිව්වානම් ඉවර නේ කියලා.  ඊට පස්සෙ සුබා මිස් ලඟට ගිහින් කියව කියව හිටියා. මොනවා කිව්වද නම් දන්නෙ නෑ.

කොහොම උනත් අපි හරිම විනෝදෙන් බසයට  ගොඩ  උනේ, ඩිලාන් පුතාගෙ මාමට නොසෑහෙන්න ස්තූති කරල. ඒ මාම ගැනත් වචනයක් ලියන්න ඕනෙ. යුද්ධෙ කාලෙදී කොටින්ට අහුවෙලා බොහොම අමානුශික විදිහට ඒ අයගෙන් වද වේදනා විඳල පූරුවේ කල පිනකට කොටි හස්තයෙන් බේරිලා ආව අපේ රණ විරුවෙක්. ඒ වාගෙම අපි අද නිදහසේ ජීවත් වෙන්නෙ එයාල වගේ අය ජීවිත කැප කරපු නිසා නෙ. ඒ නිසාවෙන් නිදුක් නීරෝගී දිගා සිරි පතනවා ඒ දෙපලටම සෙනෙහසින්. ජීවිතේ අපිට හමුවන සුන්දර චරිතයක්.  අපිට මගදි කන්න හොද කට්ට සම්බලයක් එක්ක මයියොක්කා පාර්සලයකුත් ලැබුනා ඒ නැන්දා ගෙන්. බොහොම පින් ඒ අයට අපිට කල සත්කාර  වලට.

එතනින් චන්ද්‍රිකා වැවට. නාන්න බලා ඉන්න අයට. එතන හරි නෑ. ඒ පාර අපි ආවෙ සූරියවැව මහමෙවුනා අසපුවට. කලිනුත් ඇවිත් වන්දනා මාන කල සුන්දර පන්සලක්. බොහොම භක්තියෙන් බුදුගුණ වන්දනාව මගෙ මහත්තයා අතින් සිදු උනා.





අපි එතනින් පිටත් වුනේ පන්සලට පොඩි ආධාරයකුත් කරල. ඒ එන අතර මඟ ඩිලාන්ගෙ මාමා දුන්න මයියොක්කා ටිකටත් වග කිව්වෙ තලු මර මර.  මගදි දහවල් ආහාරය අරන් කෙලින්ම සිතුල් පව්ව බලා ගියා. දැන් මග දිගටම ගීත ගයමින් හරිම සතුටින් කට්ටිය යන්නෙ. සිතුල් පව්වට ලඟා වෙත්දිම අලි දෙන්නෙක් ඉස්සරහට. කරදරයක් නෑ අපිට. මොණරු, වළිකුකුලො, මුවන් ,වල් ඌරො සහ ගෝනෙක් දැක්ක.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමන සිහිවීම සඳහා ආගමික උත්සව පැවැත්වෙන ප‍්‍රධාන ස්ථානය අනුරාධපුරයයි. දෙවන ස්ථානය වශයෙන් සැළකිය හැක්කේ සිතුල් පව්වයි. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මාගම්පත්තුවේ පිහිටා ඇති මේ පුද බිම චිත්තපබ්බතචිතලපවනයන නම් වලින්ද හැඳින්වේ. පර්වතය මත ඉදි කළ චෛත්‍යයකි. මේ පුදබිම තනවා ඇත්තේ රුහුණු රට රජ පැමිණ රට කරවූ කාවන්තිස්ස රජතුමා. මේ ස්ථානයේ දාන ශාලා ධර්ම ශාලා , උපෝසථ ශාලා, ගිමන්හල් සක්මන් මළු ආදිය කරවු එතුමා දොළොස් දහසක් මහ රහතන් වහන්සේලා වැඩමවාගෙන සත්දිනක් උත්සව පවත්වා සිතුල්පව්ව සඟ සතු කර පූජා කළ බවද කියැවේ.



සිතුල් පව්ව, මහ සිතුල් පව්ව සහ කුඩා සිතුල්පව්ව යනුවෙන් කොටස් දෙකකි. මෙහි අතීතයේ මහ රහතන් වහන්සේට සෙවණ දුන් ගුහා සිය ගණනක් හදොළොස් දහසක් මහ රහතන් වහන්සේ වැඩ සිටි මෙම ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරය අද අලි , කොටි, වලසුන්ගෙන් ගහණ මහ වනයක් මැද පිහිටා ඇති විහාරයක් බවට පත් වී තිබේ. මෙහි පිහිටීම සැලැස්ම සහ නිර්මාණය පුරාවිද්‍යාඥයින්ගේ දැඩි අවධානයට යොමු වූ තිබේ.

ගාමිණී අභය (දුටුගැමුණු) රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් පළමුවැනියා වූ නන්දිමිත‍්‍ර සහ හත්වැනි යෝධයා වූ වේළුසුමන යන යෝධයන් දෙදෙනා විසින් කරවා පූජා කරන ලද ලෙන් දෙකක් මෙහි ඇත. දුටුගැමුණු රජතුමාගේ තමත් යෝධයකු වූ  ඵුස්සදේව යෝධයා, සිතුල්පව්ව ගමේ වැසියෙකි.


භාණක මලියදේව නම් හිමිපාණන් වහන්සේ නමක් සිතුල්පව්ව විහාරයට වැඩම කොට ජජක්ක සූත‍්‍රය දෙසීමෙන් පසු, වයස සැට වසරක් සපිරි තෙරුන් වහන්සේ සැට නමක් රහත් ඵලය ලබා ඇත. මෙම පුදබිමේ පුරාවිද්‍යාත්මක අතින් වැදගත් වටිනාකමක් ඇති පැරණි , ස්ථූප ලෙන් විහාර බෝධි සත්ව පිළිම ආදිය දක්නට ලැබේ. ප‍්‍රජා ශාලාවක නටබුන් ද වේ. මෙහි ඇති චිත‍්‍ර, සීගිරි සිතුවම් වලට වඩා පැරණි යැයි පුරාවිද්‍යාඥයෝ පවසති.

සිතුල්පව්ව, දෙකුන්දරා වැව, මඟුල් මහා විහාරය උද්ධකන්දර ආදී ස්ථානවල ඇති ගල් ගුහා හා මේ වටා විහිදුණු පරිසරයේ ඇති තවත් ගල් ලෙන් ගණන 400 ද ඉක්මවයි. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ සිතුල්පව් විහාරයේ දොළොස් දහසක් යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වැඩ වාසය කළ බවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අවට භූමියේ පැරැණි බ්‍රාහ්මී අක්‍ෂර සහිත ගල් ලෙන් සියයක් පමණ සොයාගෙන ඇත. සුවිසල් වපසරියක් තුළ වන සොයාගත් සහ තවත් ඝන වනයේ සැඟව ඇති ලෙන් සමූහය පිළිබඳ සිතීමේ දී එවන් විශාල භික්‍ෂු සමූහයක් මේ පිවිතුරු පුදබිම තුළ වැඩ සිටියා යැයි  සිතිය හැක.
රාජ්‍ය වර්ෂ පූර්ව 104 දී (බු.ව. 440 ) අනුරාධපුර රාජධානියේ රජ පැමිණි වට්ට ගාමිණී අභය (වළගම්බා) රජතුමා රාජ්‍ය වර්ෂ පූර්ව 88 (බු. ව. 455) එම රාජධානියේම දෙවන වරටත් රජ පැමිණි වසර දොළහක් රට කරවීය.








වලගම්බා රාජ්‍ය සමයේ දී, පැමිණි බැමිණිටියාසායේ දී මෙහි වැඩ සිටි දොළොස් දහසක් මහ රහතන් වහන්සේ සමඟ තිස්සමහාරාම බිමේ වැඩ සිටි දොළොස් දහසක් මහරහතන් වහ්නසේ කුසට මදක් හෝ අහරක් නොමැතිව කර කොළ වළඳමින් දිවි ගෙවා අවසාන නිමේශයේ දී එක්ව මියැදෙම්වායිපෑ අධිෂ්ඨාන බලයෙන් විසි හතර දහසක් මහරහතන් වහන්සේ මේ පුණ්‍ය භූමියේ දී පිරිනිවන් පෑ බලයෙන් එදා සිතුල්පව්ව පිරිනිවන් මංචකයක් බවට පත් වීය. ඒ ජනප්‍රවාද කතාව ය. එසේ විසිහතර දහසක් රහත් ඵල ලාභීන්ට පරිනිර්වාණය ආසන්නයේම වූ අජරාමර නිවන් සුවය පතා අවසන් නිදි සයනය සෑදුවේ උපේක්‍ෂාවෙන් සියල්ල විඳ දරාගත් මෙ පින් බිම ය.
ඉන්පසු කරුණු සොයා දැනගත් ගාල්ලේ යටිගල මහා විහාරාධිපතිව වැඩ වාසය කළ පූජ්‍ය කළහේ  ශ්‍රී රතනජෝති හිමිපාණන් වහන්සේ ඝන වනයට පිවිසි මෙම පුද බිම වර්ෂ 1927 දී එවකට පැවැති මහා බි‍්‍රතාන්‍ය රජයෙන් අවසර ගෙන වැඩි දියුණු කිරීම ආරම්භ කළහ.
අපි එතනින් පිටත්ව ආවෙ බොහොම පහන් හැඟීමෙන්. අපි අතරෙ හිටිය දහනායක මිස් කිහිප වතාවක් මේ පුදබිම වඳින්න ආවත් නොහැකි වූ බවත් අද මහත් සතුටින් වැඳ පුදා ගත් බවත් කීවෙ ඇසේ කඳුලක් ඇතිව.  ගමනෙදී විහිළු තහලු නම් කෙලවරක් නෑ. නමුත් ඇස් රතුවෙන දේවල් නෑ. හරිම විනෝදෙන් අපි හැමෝම ගමන් ගත්තෙ.


ඊලඟ නැවතුම කතරගම කිරි වෙහෙර. මම හරිම කැමතියි මේ කිරිවෙහෙර භූමියේ පහසට. කොච්චර වැන්දත් ආයෙ ආයෙමත් එන්න හිතෙන්නෙ ඇයිද? මන්දා. රත්නමාලි වෙහෙර වගේම හිතට මහත් සුවයක් දැනෙන තැනක්. නෙළුම් මල් අරන් අපි කිරිවෙහෙර වන්දනාවෙ. ඒ අතරෙ තවත් කට්ටියක් කතරගම දේවාලෙ වන්දනාවට ගියා. 






එතනින් අපි වීරහෙල පන්සල් භූමියට ආවෙ බිම් කළුවර වැටෙත්දි. අපේ හාමුදුරුවන් ගෙන් උනුසුම් පිළිගැනීමක්. අපේම පවුලෙ හතරවරිගයම නිවන් දකින්න පින් පුරවන අපේ හාමුදුරුවන් වහන්සේ. දැක්කම හිතට සතුටුයි. මම පවුලෙ වැඩිමල් අක්කා විදිහට මට මහත් ගෞරවයක් උන්වහන්සේ ලඟ තියෙන්නෙ. ඒ වාගෙම අපිත් උන්වහන්සේට සලකන්නෙ ඉමහත් ගෞරවයෙන්. මේ දුශ්කර ප්‍රදේශයට වැඩම කරල උන්වහන්සේගෙන් මේ ගමට පලාතට වෙන සේවය මෙතැකැයි කියා නිම කරන්න බැහැ. කෑම සියල්ල සැනෙකින් ලෑස්තියි. අපි ඇඟපත සෝදා පිරිසිදු වෙලා කෑම කාලා ආයෙත් ධර්ම ශාලාවට. පෙර පුහුණුවක් හෙට වැඩ සටහනට. ඒක ඉවර උනේ රාත්‍රී එකොළහ පමන වෙලා. නින්දට ගියෙ පහන් සිතින්. වෙහෙස උනත් ඒ නවතැනේ සුවපහසුව නිසා හැමටම කරදයක් නැතිව නිදි සුව.


ඉතිරි කොටස විගසින්ම ලියන්නම්. සැමට තුති!



2 comments:

  1. අනේ අක්කේ හරිම ලස්සණ ගමනක්නේ . අපි කහවත්තේ නිතර ගියාට කවදාවත් ඇඹිලිපිටි යන්න ලැබුනේ නැහැ . සංඛපාල විහාරෙට ගිහිනුත් නැහැ .
    හරි ආසාවෙන් කියෙව්වා ....
    අපොයි සාත්තර කාරී අක්කට කට සැරයි කිව්වා නම් ඉතින් උන්දැගේ සාත්තර එතනම බොරු .

    ReplyDelete
  2. අයෙ ආවහම යන්න නංගි, ලස්සන විහාරයක්. ඊට ටිකක් එහායින් මහමෙවුනා අසපුව සූරියවැව. එතනත් ලස්සනයි, බලන්න.
    සාස්තර කාරි නම් කියපු එක දෙයක්නම් හරි, අපේ මහත්තයාට සිකුර ලබල කිව්වනෙ. පේනවනෙ තව ඉස්සරහ කොටස කියවනකොට තේරේවි. ඉතිරිය ඉක්මනින් ලියන්නම්. D;

    ReplyDelete