Sunday, October 13, 2019

ධම්ම පදය - බාල වර්ගය 3

පුත්තා මත්ථි ධනම්මත්ථි – ඉති බාලෝ විහඤ්ඤති
අත්තා හි අත්තනෝ නත්ථි – කුතෝ පුත්තා කුතෝ ධනං
ලස්සන හැඩරුව ඇති හොඳ – දරුවන් මට ඉන්නවා
මහන්සියෙන් හම්බ කරපු – ධනයත් මට තියෙනවා
කියමින් අනුවණ කෙනා – එ් මත්තෙම නැහෙනවා
තමාවවත් තමාට නැති – බව ඒ අය දන්නෙ නැහැ
එනිසා තමහට පිහිටට – දරුවන් කොහොම ද ලැබෙන්නේ
ධනයත් කොහොමද ලැබෙන්නේ

බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන පින්වතුන් ජීවත්විය යුතු ආකාරය ඉතාම ලස්සනට පෙන්වා දෙනවා. එ් මෙහෙමයි. කෙනෙක් ඉන්නවා. එයාට ගොඩක් සල්ලි තියෙනවා. හැබැයි එ් සල්ලි හම්බකරලා තියෙන්නේ අධාර්මිකවයි. එතකොට සල්ලි තියෙන එක හොඳ වුණත් හම්බකළ විදිහ වැරදියි. එ් වගේම එ් සල්ලිවලින් එයා ගෙදරට සළකන්නේ නෑ. මව්පියන්ට සළකන්නේ නෑ. පින්දහම් කරන්නේ නෑ. එතකොට වියදම් කරන විදිහත් අසාර්ථකයි. එ් වගේම එ් සල්ලිවලටත් දේපල වස්තුවටත් අධික ලෝභකමකින් ඉන්නවා. එ්වා අනිත්‍ය වෙලා යන දේවල් කියලා දන්නෙ නෑ. එ්වා කෙරෙහි ඇති ඇල්ම කවදා නමුත් අත්හරින්නට සිදුවෙන නමුත් දන්නෙ නෑ. එ්කට අධික ලෙස ගිජු වෙලා ඉන්නවා. එ්කත් අසාර්ථකයි. එතකොට හම්බකළ විදිහත් අසාර්ථකයි. වියදම් කළ විදිහත් අසාර්ථකයි. උපයාගත් දේපල වස්තුවට ආසා කළ විදිහත් අසාර්ථකයි.
අන්න එ් ජාතියේ අසාර්ථක සිටුවරයෙක් ගැන කියවෙන දුක්මුසු කථාවක් මේක. මෙයා හිටියේ සැවැත් නුවර. මොහුට තිබුණා හතළිස් කෝටියක ධනයක්. මොහුට පුතෙකුත් හිටියා. ඔහුගේ නම මූලසිරි. දෙසතියකට වතාවක් මෙයා මූලසිරි පුතාව නෑදෑයන් මැදට කැඳවනවා. කැඳවලා උදේ දවල් හවස මේ විදිහට උපදෙස් දෙනවා.
“නුඹලා එක්කෙනෙක්වත් හිතන්න එපා හතළිස් කෝටියක් ධනය මහා ලොකු සම්පතක් ය කියලා. මේක මහා සොච්චමයි. එ් නිසා පෙනෙන්නට තියෙන ධනය කිසිකෙනෙකුට නොදිය යුතුයි. කළ යුත්තේ අළුතින් යමක් හම්බකරන එකයි. නුඹලා එකක් මතක තියාගන්න ඕන. කහවණුවක් වියදම් කළත් ඒක වියදමක් මිස ආදායමක් නොවෙයි. නුඹලාට වඩාත් හොඳ උපදේශයක් පිණිස මෙන්න මේ ගාථාව පාඩම් කරගනින්.
ඉතින් මේ ආනන්ද සිටුවරයා තමන්ගේ ධනය ගැන හරියට ආඩම්බර වුණා. එ් ගැනම මහා ඉහළින් කතා කළා. තමන් අරපිරිමැස්මෙන් වියදම් කරන සාර්ථක ව්‍යාපාරිකයෙක් හැටියට හුවාදැක්වුවා. පිරිස මැද්දේ මහා නම්බුනාම ලැබුවා. රැස් කරගත් ධනය ගැන සතුටු වෙවී හිටිය මේ සිටුවරයා මහා නිධන් පහකට තරම් ධනය රැස්කළා. අන්තිමේදී මේ සිටුවරයා හදිසියේ ම මැරුණා.
කොසොල් රජතුමා ආනන්ද සිටුවරයාගේ හදිසි අභාවය නිසා මූලසිරි පුත‍්‍රයාව කැඳවලා මහා සිටු තනතුර දුන්නා.
එතකොට ආනන්ද සිටුවරයා මැරිලා ගිහින් ඉපදුණේ අමුතුම තැනක. සැවැත් නුවර එක්තරා පැත්තක් තියෙනවා. එ් හරියේ තියෙන්නේ පැල්පත් විතරයි. වාසය කරන්නෙත් සැඩොල් කුලයේ මිනිස්සු. ඔවුන්ගේ රස්සාව වැසිකිළිවලින් අසූචි අදින එකයි. පැල්පත් දාහක් විතර තියෙනවා. එ් චණ්ඩාල ප‍්‍රදේශයේ එක්තරා සැඩොලියකගේ කුසේ මේ පුද්ගලයා ඉපදුණා.
ඔහු ඉපදිච්ච දවසේ ඉඳන් චණ්ඩාල ප‍්‍රදේශයේ කාටවත් හරිහමන් දෙයක් හොයාගන්න බැරිව ගියා. එ් උදවියට ලැබෙන බත් වැටුප් ලැබුණේ නෑ. කෑමක් බීමක් නැතුවයි ඉන්න සිද්ධ වුණේ. එතකොට වැඩිහිටි චණ්ඩාල උදවිය රැස්වුණා.
“මේක හරි වැඩක් නෙව. මීට කලින් දවසකට එක වේලක් හරි බඩපිරෙන්න බත් ටිකක් කනවා. දැන් එ්කත් නෑ. බත් වැටුප් ලැබෙන්නෙත් නෑ. කැඳ වතුරත් නෑ. අපට මොකක්ද මේ වුණේ. අපි අතරේ මහා කාලකණ්ණියෙක් ඉපදිලාවත්ද?”
ඊට පස්සේ එ් පිරිස මෙහෙම කතා වුණා.
“අපි මේ විදිහට මේක හොයා ගමු. අපේ පවුල් දාහ පන්සීය පන්සීය දෙකට බෙදා ගමු. ඊටපස්සේ විමසලා බලමු කෑම බීම නැත්තේ කොයි පැත්තට ද කියලා. ඊට පස්සේ සීය බැගින් බෙදමු. ඔය විදිහට බෙද බෙදා බලන කොට කාලකණ්ණියාව හොයාගන්න පුළුවන් වේවි.”
අන්තිමේදී අර ආනන්ද සිටුවරයා පිළිසිඳගත් මව්පියන් ඉන්න පවුල කාලකණ්ණි පවුල හැටියට තේරුණා. ඊට පස්සේ එ් ගෙදර පිරිස අර බඩදරු අම්මාව ගෙදරින් පැන්නුවා.
“තී නිසා තමයි අපටත් බඩගින්නේ ඉන්න වුණේ. තිගේ බඬේ ඉන්න කාළකණ්ණියා තමයි මේකට වගකියන්න ඕන.”
ඉතින් අර අසරණ කාන්තාව ඉතාම දුකසේ මැරී නොමැරී ජීවත් වුණා. ඉතාම දුකසේ දරුවෙක් වැදුවා. එ් දරුවා පුතෙක්. හැබැයි අත් පා ඇදවෙලා. ඇස් වපර වෙලා. කට ඇදවෙලා. කන් නාසා විකෘති වෙලා. බැලූ බැල්මට පෙනෙන්නේ ඇවිදින පිශාචයෙක් වගේ.
පින්වතුනේ, පින්වත් දරුවනේ, මව් සෙනෙහස කියන්නේ හරිම පුදුම එකක්. එ් අම්මා මේ දරුවට හරියට ආදරය කළා. දැන් දෙන්නටම කෑමක් නෑ. නමුත් අමාරුවෙන් කිරි දීලා මේ ළමයාව ඇවිදගන්න පුළුවන් තත්වයට ඇතිදැඩි කළා. දැන් තමන්ටම යමක් හොයාගෙන කන්න පුළුවන්. අම්මා මේ ළමයා අතට පොල්කට්ටක් දුන්නා.
මගෙ පුතේ, ඔයා නිසා මං මහා දුකක් වින්ඳා. අනේ රත්තරන් පුතේ, මට නම් ඔයාව හදාවඩාගන්න විදිහක් නෑ. දරු දුක නිසා මට පුළුවන් හැටියට ඔයාව පෝෂණය කළා. තවදුරටත් මට මේක කරන්න බැහැ පුතේ. මේ පොල්කට්ට අරගෙන අර හිඟන්නන්ට බත් බෙදන තැනින් මොකවත් කාලා ජීවත් වෙයන්. දවස් දෙක තුනකට වතාවක්වත් කවුරු හරි කන්න ටිකක් දෙනව නෙව.”
දැන් මේ අසරණ විරූපී දරුවා තනිවුණා. මහපාරේ දූවිලි ගොඩේම නිදියගත්තා. වැස්සට තෙමුණා. අව්වට වේලුණා. සීතලට වෙව්ලුවා. තනියම ජීවත්වෙන මේ දරුවා දිහා කවුරුවත් බලන්නේ නෑ.
දවස් ගාණකින් මෙයාට කෑමක් නෑ. ඉතින් මේ ළමයා පොල්කට්ටත් අරගෙන කෑම ටිකක් හොයාගන්න පිටත් වුණා. එදා මෙයා පාර දිගේ ඔහේ ගියා. හිතෙන හිතෙන පැත්තෙන් හැරි හැරී ගියා. එකවරටම මේ ළමයාටම අමුත්තක් තේරුණා.
“ම්….. ම්….. මට මේ පැත්ත පුරුදුයි වගේ. මීට කලින් මං මෙහෙ ඇවිල්ලා තියෙනවානේ. ආ…. අර තියෙන්නේ විශාල මාළිගාවක්. ඔව්…. මට මතකයි…. උඩු මහලේ රත්තරන් ඇඳක නේද මං හිටියේ. ඔව්….. කවුද දන්නෙ නෑ දැන් ඉන්නේ….?”
ඉතින් මේ විරූපී අසරණ හිඟන පැටියා අර මාළිගාව දෙස නෙත් විදහා බලා සිටියා. තමන්ට තේරුණේ වත් නෑ, තමන් ටික ටික එ් පැත්තට ගියා. එදා විශාල ගේට්ටුව ඇරලා තිබුණා. කවුරුවත් දැක්කේ නෑ. මෙයා හිමින් හිමින් ගේට්ටුවෙන් ඇතුළු වුණා. ඉස්තෝප්පුවට ආවා. කවුරුවත් දැක්කේ නෑ. මෙයා ඇස් පිය නොහෙලා බලාගෙන ඉන්නවා. ටිකෙන් ටික ගේ ඇතුළට ආවා. මෙයාට හරි සතුටුයි. එ් වෙලාවෙ මූලසිරි සිටුවරයාගේ පොඩිදරුවන් ගෙයි සාලෙ මාළිගාව මැද සෙල්ලම් කරමින් හිටියේ. එතකොටම අර දරුවන් ඉණට කිලුටු රෙදි කැබැල්ලක් ඔතාගත් කොර ගසමින් පැමිණි මේ විරූපී හිරිකිත හිඟන පැටියා දුටුගමන් හොඳටම භය වුණා. යටිගිරියෙන් කෑ ගහලා ඇඬුවා.
“බුදු අම්මෝ….! අපි ඉවරෝ….! මෙන්න පිශාචයෙක් ඇවිල්ලා….!”
එතකොට සිටු මාළිගයේ සේවකයන් පැමිණ පයින් ගැසුවා. මේ දරුවා වීසි වී ගිහින් වැටුණා. පයින්ම ගගහ එළියට දැම්මා. අන්තිමේදී පාර අයිනේ කුණුගොඩක වැටිලා හොඳටම තුවාල වෙලා අඬ අඬා හිටියා.
එවේලෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එතනින් පිඬු සිඟා වඩිනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා.
“පින්වත් ආනන්ද, මූලසිරි සිටුවරයා කැඳවන්න. මේ අසරණ දරුවා මැරිලා යාවි.”
සිටුතුමා කැඳෙව්වා. සිටුතුමාට කිව්වා “මේ ඉන්නේ තමුන්ගේ පියා” කියලා. ඔහු පිළිගත්තේ නෑ. එවිට බුදුරජාණන් වහන්සේ අර දරුවාට කතා කළා.
“පින්වත් දරුව, ජීවිතය ඔහොම තමයි. හරිහැටි පරිහරණය නොකළොත් විනාශ වෙනවා. දුකට පත්වෙනවා. දැන් ඔයාට මතකයිනෙ ඔයාගෙ පෙර ජීවිතය. ඔයා දැන් නිධන් කරපු පංච මහා නිධානය මේ ඇත්තන්ට පෙන්වන්න.”
එතකොට අර දරුවා අසිහියෙන් වගේ ගිහින් තමන් සඟවපු පංච මහා නිධානය ගොඩට ගත්තා. සියලු දෙනාටම පුදුමයි. අදහාගන්නත් අමාරුයි. එ්ත් එ්කමයි සත්‍යය. එවේලෙහි බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය වදාළා.
සමහර අය තමන්ගේ දූ දරුවන්ගේ යහපත ගැන හිත හිතා දිවා රෑ දෙකේම මහන්සි වෙනවා. එ් දූ දරුවන්ට තමයි තමන්ගේ ලෝකයේ ඔටුණු පළන්දලා ඉන්නේ. ඉතින් එ් දූ දරුවන් වෙනුවෙන්ම කටයුතු කිරීම තමයි එයාලට තියෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාර ගැන පැය විසිහතරේම කල්පනා කර කර ඉන්නවා. එ් වෙනුවෙන්ම කැපවෙනවා. ඇතැම් විට අඹුදරුවන් අත්හැර විදේශගත වෙනවා. නොවිඳිනා දුක් විඳිනවා. අන්තිමේදී දරුවන් තමන්ට වෙනස්කම් කරනවා. මහා දුකකින්, මහන්සියකින් හම්බකරපු ධනය නිස්කාරණේ වියදම් වෙනවා. තමන්ට සිදුවෙන්නේ ගෙවුනු අතීතය ගැන හූල්ල හූල්ල ඉන්න විතරයි.
සමහර අය මරණාසන්න වෙද්දී බලාපොරොත්තු වෙච්ච කවුරුවත් ළඟ නෑ. දූ දරුවෝ පිටරට පදිංචියට ගිහින්. නෑදෑ මිත‍්‍රයෝ අහලකවත් නෑ. තනිවෙලා ඉන්නේ. රැස්කරගත්තු පිනකුත් නෑ. පිහිටක් වෙන්න කියලා ඇතිකරගත්තු ගුණයකුත් නෑ. පුරුදු කරගත්තු ධර්මයකුත් නෑ. අන්තිමේදී භයෙන් තැතිගැනීමෙන් තමයි අසරණවෙලා මැරිලා යන්නේ.
දැක්කා නේද ආනන්ද සිටුවරයාට වෙච්ච දේ? දරුවන්ට හම්බකරන්න කියා දුන්නා. එ් සඳහා ගාථාවන් පවා ඉගැන්නුවා. තමන් හිඟන පැටියෙක් වෙලා එද්දී පා පහර කාලා පාරේ වැටෙන්න සිද්ධ වුණා. එතකොට කෝ තමන්ගේ දරුවන්? කෝ හම්බකරපු දේවල්?
මෙයින් පෙනෙන්නේ අපි දූදරුවන් වෙනුවෙන් මහන්සි වෙනවා වගේම, ධනය උපයන්න මහන්සි වෙනවා වගේම පින්දහම් කරන්නත් මහන්සි වෙන්න ඕන කියන එකයි. අපට පිහිට වෙන්නේ පින ම තමයි. පින් රැස්කරගත් කෙනාගේ ජීවිතය සාර්ථකයි. එයා ධාර්මිකව හම්බකරනවා. එතකොට මුදල් ඉපයීම සාර්ථකයි. එ් වගේම අඹුදරුවන්ට හොඳට සළකනවා. මව්පියන්ට සළකනවා. පින්දහම් කරනවා. අනුන්ට උදව්කරනවා. එතකොට වියදම් කිරීමත් සාර්ථකයි. එ් වගේම තමන් සතු ධන ධාන්‍ය අනිත්‍ය ලෝකයට අයිති බවත් දන්නවා. එ්වා කෙරෙහි ඇති ඇල්ම අත්හැර ගන්නට සිදුවෙන බවත් දන්නවා. එ් නුවණින් යුක්තව තමයි තමා සතු සම්පත් වලට ගිජු නොවී සතුටින් ඉන්නේ. එතකොට එ්කත් සාර්ථකයි. එවැනි සාර්ථකත්වයක් ඇතිකරගන්න ලැබුණොත් නම් යසයි!
"I have sons, I have wealth"; with this (feeling of attachment) the fool is afflicted. Indeed, he himself is not his own, how can sons and wealth be his?
The Story of Ananda, the Rich Man
While residing at the Jetavana monastery, the Buddha uttered  with reference to a miserly rich man, named Ananda.
There was once a very wealthy man named Ananda in Savatthi. Although he possessed eighty crores, he was very reluctant to give anything in charity. To his son, Mulasiri, he used to say, "Don't think the wealth we have now is very much. Do not give away anything from what you have, for you must make it grow. Otherwise your wealth will dwindle away." This rich man had five pots of gold buried in his house and he died without revealing their location to his son.
Ananda, the rich man, was reborn in a village of beggars, not far from Savatthi. From the time his mother was pregnant, the income of the beggars decreased; the villagers thought there must be a wicked and unlucky one amongst them. By dividing themselves up into groups and by the process of elimination, they came to the conclusion that the pregnant beggar woman must be the unfortunate one. Thus, she was driven out of the village. When her son was born, the son proved to be extremely ugly and repulsive. If she went out begging by herself, she would get as before, but if she went out with her son she would get nothing. So, when the boy could go out by himself, his mother placed a plate in his hand and left him. As he wandered about in Savatthi, he remembered his old house and his past existence. So he went into the house. When the sons of his son Mulasiri saw him, they were frightened by his ugly looks and began to cry. The servants then beat him and threw him out of the house.
The Buddha who was on his alms-round saw the incident and asked the Venerable Ananda to fetch Mulasiri. When Mulasiri came, the Buddha told him that the young beggar was his own father in his previous existence. But Mulasiri could not believe it. So, the Buddha directed the beggar boy to show where he had buried his five pots of gold. Then only, Mulasiri accepted the truth and from that time he became a devoted lay-disciple of the Buddha.
Then the Buddha spoke in verse as follows:
"I have sons, I have wealth"; with this (feeling of attachment) the fool is afflicted. Indeed, he himself is not his own, how can sons and wealth be his?
පුන්‍යාණුමෝදනා පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට.

No comments:

Post a Comment

ධම්ම පදය - බාල වර්ගය 3

පුත්තා මත්ථි ධනම්මත්ථි – ඉති බාලෝ විහඤ්ඤති අත්තා හි අත්තනෝ නත්ථි – කුතෝ පුත්තා කුතෝ ධනං ලස්සන හැඩරුව ඇති හොඳ – දරුවන් මට ඉන්නවා මහන්සියෙ...