Friday, August 1, 2014

විශාඛා කුමරිකාවෝ - 2

පලමු කොටසට මෙතැනින්      http://piyumvila.blogspot.com/2013/06/blog-post_11.html




ගෞතම බුදුරජාණන් වහන්සේ මාගධ රාජ්‍යයේ අඟුරට, භද්දිය නගරයට වැඩම කළ දා...
ගෞතම බුදුරජාණන් වහන්සේ සම පන්තිස් වියෙහි දී, වෙසක් මස පුර පසොලොස්වක් පොහෝ දින සම්බෝධිඥානය ලබාගෙන සත් සතියක්ම නේරංජනා ගං ඉවුරේ ගතකොට පස්වග මහණුන්ට දම්දෙසා ඒ අය හා අනතුරුව යස කුල පුත් ඇතුළු පිරිසට ද දම් දෙසා ලොව පළමු රහත් හැට නමට මේ උතුම් දහම ලොවට කියා දෙනු පිණිස එක් එක් දිසාවන්ට පිටත් කොට තමන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කල සේක. භද්‍ර වර්ගික කුමාර වරුන් ද, උරුවෙල් කාශ්‍යප ගයා කාශ්‍යප හා නදී කාශ්‍යපයන්ද රහතුන් බවට පත්කොට රජගහ නුවරට වැඩම කලහ. එහිදී බිම්බිසාර මහ රජතුමා ඇතුළු බොහෝ පිරිසක් ආර්‍ය ශ්‍රාවකයන් බවට පත් විය. මේ සමයෙහි කෝලිත හා උපතිස්ස කුමාරවරුන්ද මහරහත් බව ලැබූහ. 

බිම්බිසාර මහරජුගේ මාගධ රජ්‍යයට ම අයත්වූ භද්දිය නම්වූ නගරයක් විය.  මෙය මෙණ්ඩක මහ සිටුවරයා ගේ වාස භූමිය විය.
ධනඤ්ජය සිටුවරයා ඔහුගේ පුත්‍රයා විය. මේ ධනඤ්ජය සිටුවරයා හා සුමනා කුමරියගේ දියණිය විශාඛා කුමරිය වූවාය. මේ වනවිට ඕතොමෝ සත් හැවිරිදි වූවාය. දිනක් ගෞතම බුදුරජාණන් වහන්සේ  භද්දිය නගරයට වැඩම කරනා බව ඇසූ මෙණ්ඩක මහ සිටුතුමා තම සිඟිති මිණිබිරිය වූ විශාඛාවන් අමතා මෙසේ පැවසුවේය. 

"දුව මේ මහ පොළවෙහි මෙතෙක් පහළවූ සියලු මුනිවරුනට ම අග්‍ර වූ ,එසේම මහා පුරිස ලකුණෙන් හා අසූවක් පමණවූ අවශේෂ ශාරීරික මංගල ලක්ෂණයන්ගෙන ද විරාජමාන වූ පිදිය යුත්තන් අතර අග්‍ර වූ , සියලුම කෙලෙස් ගති සම්පූර්ණයෙන් ම නැසුවා වූ , ශාක්‍ය රාජ කුලයෙන් නික්ම පැවිදි වූ අපගේ ගෞතම ශාක්‍ය මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ දහස් ගණනක් වූ තම ශ්‍රාවක මහ රහතුන් වහන්සේලා ද පිරිවරා ගෙන අද උදය වරුවේ මේ නුවරට, වඩිනා සේක.

දුවගේ යෙහෙලියන් පිරිවරාගෙනැ ඒ බුදුරදුන් වඩිනා පෙර මගට මහ පෙරහරින් ගොස් ඒ උතුමන් පිළිගෙන අපේ නගරයට වැඩම කරවාගෙනැ ආ යුතුයි.  අපිත් ඔබ පිරිසට පසු පසින් එන්නෙමු. මෙය ඔබ සැමටත්, එසේම අප සැමටත් මහත්වූ මංගල්‍යයෙකි"





ඉක්බිති විශාඛාවෝ පන්සියයක් පමණ වූ තම යෙහෙළියන් ද සුදුවතින් හා සියලු අබරණින් සරසවා තුමූ ද සැරසී මලින් සරසූ රන් පුන් කළස් දෙ අත්මතැ තබා ගෙනැ බුදුරදුන් වඬිනා පෙර මගට ගොස් සුවඳ මලින් හා රන් පුන් කළසින් බුදුරදුන් පුදා, දෙපා මුල වැඳ වැටී නමස්කාර කලාහුය.  අනතුරුව මෙණ්ඩක සිටුවරයා හා ප්‍රධාන නගර වාසීහූ ද සුවඳ මලින් හා රන් පුන් කළසින් බුදුරදුන් හා මහ රහතුන් පුදමින් නමස්කාර කළාහු ය. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ  එ තැනට රැස්වූ භද්දිය නුවර වාසීන් හා විශඛා ඇතුලු පන්සියයක් කුමරියනට විශේෂ ධර්ම දේශනාවක් පැවත්වූ හ. සත් හැවිරිදි වියෙහි වූ විශාඛාවන් ප්‍රමුඛ කුමරියන්  සියලුම දෙනාම එම දම් දෙසුම අවසානයෙහි සෝතාපත්ති මහ ඵල නුවණ ලබමින් ආර්ය ශ්‍රාවිකාවන් බවට පත්වූ හ.



මෙණ්ඩක මහ සිටුතුමා ආදී නගර වාසීහු ද බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසා සෝතාපත්ති මග ඵල නුවණ ලබමින් ආර්‍ය් ශ්‍රාවකවරු වූහ. මෙණ්ඩක මහ සිටුතුමා තම මාලිගයට බුදුන් ඇතුලු මහ සඟරුවන වඩමවා දෙසතියක් පුරා මහ දන් දෙමින් මහත් වූ පුද සත්කාර කලේය.

මේ සමයෙහි බිම්බිසාර මහ රජතුමාගේ මාගධ රාජ්‍යය බොහෝ ධනවතුන් ගෙන් පිරි වාස භූමියක් විය. මහා ධන සිටුවරු පස්දෙනෙක්ම මෙහි වාසය කලහ. එහෙත් සැවත් නුවර අගනුවර කොටගත් කෝසල දේශයෙහි එකම එක් සිටුවරයෙක් වත් නොවූහ. මේ අඩුව සපුරා ගනු පිණිස ප්‍රසේනජිත් කෝසල මහ රජතුමා වරක් රාජගහ නගරයට පැමිණ තම ඥාතිවරයාණන් වූ බිම්බිසාර මහ රජතුමා ගෙන් තම රාජ්‍යයටද මහධන සිටුවරයෙක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කලේය.  මේ නිසා බිම්බිසාර  රජතුමා මෙණඩක සිටුවරයා කැඳවා සියලු පුවත් සැලකොට එකල මහ පිනැතියෙකු ලෙස ප්‍රකටව සිටි ඔහුගේ පුත් ධනඤ්ජය මහ සිටුතුමා සාවස්ථියට පිටත් කර යවන්නට කටයුතු කලේය. නගරයට වඩා පිටත වාසයට කැමතිවූ ධනඤ්ජය සිටුතුමා "සාකේත" නමින් නව නගරයක් නිමවා තම මාලිගය එහි නිම කොට දඹදිව මහ නගර සයෙන් එකක් බවටද මෙම නගරය පත් කලේය. කාලාරාම , කණ්ටකී වන හා අංජන වන නම්වූ ප්‍රසිද්ධ ආරාම තුණක් ම පසු කාලයෙහි මේ අවට ඉදිකරවන ලදී. 

2 comments:

  1. මෙවන් වු ධර්මයෙහි වැදගත් වන්නාවූ කරුණු කියාදෙන ඔබට පින්සිදු වේවා.... විශාඛා සිටුකුමරිය අග්‍රමහා ශ්‍රාවිකාවන් අතර මුල්තැන ඉන්නවානේ

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහෝ පින් දයා මල්ලී. මේ විශාඛා චරිතයෙන් අපේ දියණියන්ට ගත යුතු පාඩම් බොහෝයි. ඒ තරම් වටිනා චරිතයක් තවත් මා දන්නේ නෑ. මේ පොත් පිංච මා අතට පත්වූ දා සිට මාත් මගේ ජීවිතය ගොඩනගා ගත්තේ මේ චරිතය ලියාපු ස්වාමීන්වහන්සේටත් එය පළකරන්නට දායක වූ විශේෂඥ වෛද්‍ය සරත් අමරසේකර වෛද්‍යතුමාටත් අනේක වාරයක් පින් දෙමින්. එතුමා ළඟකදී මට ශල්‍යකර්මයක් කලා. ඒ වෙලාවේ පුංචි සටහනක් මේ පිළිබඳව ලියා දහම් පොත් කීපයක් එතුමාට පරිත්‍යාග කිරීමට ලැබීමත් මහත්වූ භාග්‍යයක්.

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...