බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Wednesday, June 18, 2014

"චුල්ලහත්ථිපදෝපම සූත්‍රය"



අසිරිමත් පොසොන් පොහෝ දවස ලාංකික බෞද්ධයාට වෙසක් පොහෝ දවස වගේම අති පාරිශුද්ධ දවසක්. ලංකා ඉතිහාසය සම්පූර්ණයෙන් විප්ලවයකට පාත්‍ර වුනේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරවා බුදුදහම හඳුන්වා දීම සිදු කරපු පින්බර දවස වූ පොසොන් දවස නිසයි. 

බුදු දහම මෙරට වැසියන්ට අදත් තිබෙන උත්තම සම්පතයි. අද වුවද සීල – භාවනා, දන්සැල් වැනි දේ නිසා ආධ්යාත්මික සුවයක් ගෙනෙන මේ දිනය වූ පොසොන් දවසේ සුව හදවතට දන්වන්නක්. බෞද්ධ වූ අප සිත් පහන් කර සැනසෙන ඒ දිනය මුළු මහත් ශ්‍රී ලංකාවාසීන්ට ද සෙත සලසන කාලයක්.

අපට කලාව, සාහිත්යය, කෘෂිකර්ම ,වැව් පොකුණු වැනි මේ සියලු දායාදයන් මෙන් අදීන, අතීත පෞරුෂයකින් හෙබි ජාතියක් රටක් ලෙස අදටත් ලොවේ ගෞරවයට පාත්‍ර වන්නේ බුදුදහම නිසයි.

මිහිඳු මා හිමියන් ලක්දිවට වැඩම කොට දේවානම්පියතිස්ස මහ රජ තුමාට දෙසූ මේ දහම් පණිවිඩය ඔබට තිළිණ කරන්නේ හද පිරි බැතියෙන්.

දිනක් මහ දහවල “ජාණුස්සොණි” නම් වූ බ්‍රාහ්මණයා සුදුම සුදු වෙළෙදුන් යෙදූ රියකින් සැවැත්නුවර වටා ඇවිදිමින් සිටියා.  ඉර මුදුන් වු මහා දහවල "තිලෝතික"නම් පරිබ්‍රාජකයෙක් “ජාණුස්සෝණි” බමුණාට මුණගැසුණා.
ඔබ මේ මහා දහවල කොහේ සිට එන්නේ දැයි බමුණා පිලෝතිකගෙන් ඇසූවිට ඔහු කීවෙ ගෞතම බුදුරදුන් ළඟ සිට එන බවයි. 

කොහොමද? ගෞතමයන් වහන්සේ ඤාණවන්තද? වියත්ද? පණ්ඩිතද? උගත්ද?  යනුවෙන් බමුණා ඇසූවිට ඔහුට ලැබුණ පිළිතුරු වූයේ ගෞතම බුදුරදුන් ශ්රේෂ්ඨයන්ගෙනුත් ශ්රේෂ්ඨය යන්නයි. උන්වහන්සේ හරියට හඳුන්වා දීමට මම අසමත්ය යන්නය. ඇත්තෙන්ම බුදුවරයෙක්ම තමයි උන්වහන්සේ හඳුන්වා දීමට සමත් වන්නේ යනුවෙන් කීය.

ඔබ ඔයතරම් වර්ණනා කරන බුදුරදුන් ගැන පැහැදීමට හේතු දක්වන්න හැකිදැයි ඇසූ විට ඇතුන් ගැන සොයන අයෙක් දිගින් පළලින් මහත් වූ ඇතෙකුගේ පා සටහනක් දැක මහා ඇතෙකු බව හඳුනා ගන්නාක් මෙන් මටද බුදුරදුන්ගේ ඤාණවන්ත කරුණු හතරක් දැක බුදුරදුන්ද ධර්මයද, ශ්රාවක සංඝයාද අති උතුම් බව හඳුනා ගතිමි'යි කීය.

පළමුවන කරුණ නම්, ක්ෂත්රියයන් අතර සියුම් නුවණ ඇති විශාරද ඤාණයකින් පිරිපුන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන මහා බුද්ධිමතුන් බුදුරදුන් හා විවාද කිරීමට මුලින්ම කරුණු ගොනුකර සංවිධානය වී ආවද, ඔවුහු බුදුරදුන් හමුවී කරන පළමු සාකච්ඡාවේදීම දමනය වී පැහැදී බුද්ධාශ්රාවක යෝ වෙති. තමන් ආ විවාද අමතක කරති. විවාදයක් කිරීමට අසමත් වෙති.

දෙවෙනි කරුණ නම් විශාරද බමුණූ පණ්ඩිතයන්ද වාද විවාද කිරීමට පැමිණියද, අවසානයේදි බමුණු උගතුන්ද බුද්ධශ්රාවක වී තෙරුවන් සරණ ගිය සැදැහැති උපාසකයෝ වෙති.

තුන්වැනි කරුණ නම් විවිධ සමාජයීය උගත්තුද වාද කිරීමට ආවත් බුදුරදුන් හා කළ ප්‍රථම සාකච්ඡාවෙදීම බුද්ධ ශ්‍රාවක වී තෙරුවන් සරණ ගිය උපාසකයෝ වෙති.

හතරවැන්න නම් විවිධ ආගමික ශ්‍රමණ පිරිස් වාද විවාද කිරීමට පැමිණ ඒවා අමතක කර බුද්ධ ශ්‍රාවක වී පරණ ආගමික මතවාද අත්හැර දැනුයි අපි නියම ශ්‍රමණයන් වූයේ. දැනුයි නියම ධර්මය, සත්යය අවබෝධ කරන්නේ යයි උදම් අනති.

මෙසේ විශාරද ක්ෂත්රිය , බ්‍රාහ්මණ, ගෘහපති , ශ්‍රමණ, කොටස් බුදුරදුන් කෙරෙහි දමනය වී කටූයුතු කරන අයුරු සියැසින් දැකීමෙන්ම උන්වහන්සේ කෙරෙහි මාගේ අචල ප්‍රසාදයක්,ගෞරවයක් ඇතැයි පිලෝතික පිරිවැජියා ජාණුස්සෝණි බමුණාට පහදා දුනි.

මෙය ඇසූ බමුණා වාහනයෙන් බැස තම සළුව සකස්කොට භාග්යවතුන් වහන්සේ සිටින දිසාවට නමස්කාර පාඨය තුන් විටක් කියා බැතිබරව වන්දනා කෙරිණි.

මමත් බුදුරදුන් දැකීමට යායුතු යයි සිතා දෙව්රම් වෙහෙරට ගොස් භාග්යවතුන් වහන්සේට පිලෝතික පිරිවැජියා හා තම සිදුකළ සංවාදයද මතක් කෙළේය. එහිදි ඇතුන් සොයන්නෙකු ඇත් පා සටහනින් ඇතුන් හඳුනා ගන්නා අයුරු දැක්වූ පුවත කීමෙන් පසු බුදුරූදුන් එම උපමාව සම්පූර්ණ නැති බවත් එය සම්පූර්ණ වන්නේ මෙසේයි බමුණාට කරුණු පහදා දුන්හ.


"බමුණ, වනයෙහි මහත් පියවර සටහන් ඇති "වාමනි" නම් ඇතින්නියො වර්ගයක් ඇත. උන් ශරීරයෙන් කුඩාය. එම නිසා එතනැනින් නො නැවැතී තවත් සෙවිය යුතුය. එසේ විමසන ඔහුට තවත් විශාල ඇත් පියවරවල් හා ගස්වල ඉහළින් අතු කැඩූ ලකුණූ දකින්නට ලැබේ. එයද වහා ඇති යයි නිගමනය කිරීමට කරුණු නොවේ. "උච්චා කාළාරිකා " යන ඇතින්නියො වර්ගයක් ඇති බැවිනි. තව තවත් සොයන විට වාමූනිකා උච්චා කාළාරිකා යන ඇත්නිනියටත් වඩා පියවරින් ඇග පතින් විශාල “උච්චා කණෙරුකා” නම් ඇතින්නියන්ගේ පියවර දකින්නට ලැබේ. එයින් සෑහීමකට පත් නොවී තවත් සොයන විට ඉතා ඉහළින් ගස්වල අතු කැඩු ඉතා ඉහළින් ගස්වල, පිට ඉලූ මහා විශාල ඇත් පියවරවල් ඇති හස්ති රාජයෙකුගේ ලක්ෂණ දකින්නට ලැබේ. මේ අනුව ඇතුන් සොයන පුද්ගලයාට මහා කැලයේ තනිව වෙසෙන මහා දල ඇති තේජාන්විත ශරීරයකින් හෙබි මහා පියවරවල් වලින් යුතු එළිමහනේ ඇවිදින හෝ සිටින හෝ නිදාගෙන සිටින හෝ මහා හස්ති රාජයෙකු දකින්නට ලැබේ.මේ තමයි මහා ඇතා යයි නිගමනය කිරීම දැන් සුදුසුය. 

බමුණ, මෙසේම ලොවට අසහාය දෙවි මිනිසුන්ට ගුරුවූ භාග්යවතුන් වහන්සේ නමක් ලොව උපදියි. බුදුරදුන් ලොවට පිරිසුදු ධර්මය දේශනා කරයි. එය ඇසු ගිහියෙක් ගිහිගෙදර ඇති කරදර සිහිකොට පැවිද්දේද ඇති නිදහස දැක සසරින් එතරවීමට සිතා සියල්ල අත හැර මහණවෙයි. භාවනාවකට සුදුසු තැනක හුදකලා වෙයි. අපිස් ජීවිතයකට හුරුවෙයි. ඉඳුරන් සංවර කර ගනී. දවස පුරා භාවනාවේ නිරත වේ. ඔහුට ඉහළ මානසික තත්ත්වයක් වූ ප්‍රථම ධ්‍යානයක ඇත්දැකීම ලැබේ. මෙම මානසික සුවය බුදුරූදුන් අත් දුටු දෙයක් බව ඔහු දැන ගනී. බුදුරදුන්, ධර්මය සංඝයා ගැන ප්‍රසාදය තවත් දියුණුවෙයි.

දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන තත්ත්වයන්ද ලබා ඒවා අත්හදා බලයි. මේ සියලු අවස්ථා බුදුරදුන් අත් විඳි මානසික ස්වභාවයන් බව ඔහු හඳුනා ගනී. තෙරුවන් ගැන අචල ප්‍රසාදය ශ්‍රද්ධාව දැන් තවත් දියුණුය.

ඉන්පසු  පූර්වේනිවාසානුස්මෘති ඤාණය ,ආස්වක්‍ය ඤාණය චුතූපපාත ඤාණය ආදි විශිෂ්ට ඤාණ ලබා ගනී. මේ ඤාණ ශක්තින්ද  බුදූරදුන් අත්විඳි මානසික සුවයන් බව දැන තවත් ශ්‍රද්ධාවෙන් සමන්විත වෙයි.

තවත් දිරිමත්ව කැපවෙන ඔහුට චතුරාර්ය සත්යය අවබෝධ වෙයි. කාම, භව, අවිද්යා ආදි ආශ්‍රවයන්ගෙන් සිත මිදෙයි. ඉපදීම අවසන් වුනා. බ්‍රහ්මචරියාව සම්පූර්ණ වුනා. දැන් භවයෙන් මිදෙන්නට තවත් කළ යුතු දෙයක් නැතැයි වැටහෙයි.

 නිවන ලැබුණූ ඔහු අතින්  අපේ බුදුපියාණන්  වහන්සේත් මෙ ශාන්ත සුවය අත්විඳින,  බුදුසිත රැඳුන, එහි සුවය අත්හදා බැලු තත්ත්වයක්ම නේ දැයි නුවණින් දැක තෙරුවන් ගැන අසීමිත අචල ප්‍රසාදයක් භුක්ති විඳියි.


බමුණ අන්න එහෙමයි මේ  ඇත් උපමාව සම්පූර්ණ වන්නේ යයි බුදු සමිඳාණෝ කරුණු පහදා දීම අවසන් කළහ.


බුදුපියාණෙනි, හරිම හොඳයි, හරිම හොඳයි. යටිකුරු දෙයක් උඩුකුරු කළාක් මෙන් වැහුනු දෙයක් විවෘත කළාක් මෙන්, වැහුනු දෙයක් විවෘත කළාක් මෙන් මං මුළා වූවෙකුට මග පෙන්වා දුන්නා මෙන්, ඇස් ඇති අයෙකුට රූප පෙනෙන්නාක් මෙන් අන්ධකාරයේ දී පහනක් දැල්වූවාක් මෙන් ඔබ වහන්සේ දහම් දෙසුවා. අද සිට මාගේ ජීවිත අවසානය දක්වා තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස පිළිගන්න යැයි ජාණුස්සෝණි බමුණා අවසන් වශයෙන් ඉල්ලා සිටියේ ය.

මිහිඳු මාහිමියන් දේවානම්පියතිස්ස මහ රජුට තෙරුවන් පිළිබඳවත් බෞද්ධ චින්තනය පිළිබඳවත් හඳුන්වාදීමට "චුල්ලහත්ථිපදෝපම සූත්‍රය" මේ අයුරින්  දේශනා කළේය. දේශනාවසානයෙහි රජු ප්‍රමුඛ සතළිස් දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ. 


ගෞරවණීය නමස්කාරය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට.

සියලු දෙනාට තෙරුවන් සරණයි!


4 comments:

  1. ඉතාම සිත්ගන්න සුළු අයුරින් ඉදිරිපත් කොට ඇත. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ගොඩක් පින් දේශකතුමා.

      Delete
  2. මේ සූත්‍ර දේශනාව ගැන වැඩිය යමක් දැනගෙන හිටියෙ නෑ... එහි නිධාන ත.ාන අද දැනගත්තා ස්තූතියි

    ReplyDelete
  3. බොහොම පින් දයා මල්ලි.

    ReplyDelete