බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Wednesday, June 25, 2014

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 17 - රජගහ නුවර





ඉතින් නාලන්දාවෙ විස්මිත නිර්මාණ දැක්කනෙ.  නාලන්දාවෙන් අපි ආවෙ විරූඩභ කුමාරයාගෙ ගැල එරුන තැන බලන්න. එතැන තාමත් නොමැකී තියෙන හැටි නම් පුදුමයි. මේ සිද්දියේ විස්තරේ ධම්ම පදයෙ   බලන්න.





ඊළඟට අපි ගියෙ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ සිටි ලෙනට. එහිදී බොජ්ජංග පිරිත කිව්වෙ සැමටම නිදුක් නීරෝගී සුව පතා. එතනට ගිහාම හරිම සනීපයක් දැනුන. තාමත් රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා වාගෙ. මොකද? හාත්පස දැඩි හිරු රශ්මියෙන් දැවෙන කොට ලෙන ඇතුල හරිම සීතලයි. සිසිල් බව කොහෙන් ලැබෙන්නද? 






මේ ගල් ගුහාව අපි සාමාන්‍යයෙන් හදුන්වන්නේ සප්තපර්නී ගුහාව නමින්.  බිම්බිසාර රජතුමාගේ රාජධානියේ සප්තපර්නී ගල් ගුහාව පිහිටා ඇත. පළමු වෙනි ධර්ම සංඝායනාව මෙහිදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට යෙදී ඇත. මෙම ගුහාව දිග අඩි 30 ක් පමණ වේ.යි. පළල අඩි 15ක් පමණ උස යි. තනිකර කළු ගලෙන් නිමකරන ලද ගුහාවකි. එක් පැත්තක අඩි 3-6 පමණ දොරටුවක් මෙන් වෙන්වූ පිපුරුම් සහිත කොටසක් ඇත. මෙහි නිධන් වස්තු ඇතෑයි බොහෝ දෙනා විශ්වාස කරන අතර නොයෙක් මන්තර කරුවන් පැමිණ එම දොර ඇරීම සදහා යාග හෝම කරනා බව කියැවේ . නමුත් මේ වන තුරුත් ඇර ගැනීමට නොහැකිවී ඇත.



මේ එහි තිබූ ගල් කැටයම්. ඒ කාලෙ මිනිසුන් හරිම දක්ෂ වෙන්න ඕනෙ මේ විදිහට තැන් නිර්මාණය කරන්න. 






සමහර රූප නම් අශෝක රාජ සමයේ කල ඒවා කියා කියවුනා. 

ඊලඟට අපි ගියෙ ගිජුකුළු පව්වට. යන්න ඕනෙ නම් කේබල් කාරයෙ. අම්මේ මම නම් පන ගැහි ගැහි ඒකට නැග ගත්තෙ. හරිම කෙටි වෙලාවකදි ගොඩ උනේ නැත්නම් අනෙක් එකේ හැපිල බිම විසි වෙනව.


බුද්ධ කාලයේ බලවත් රාජ්‍යයක් වූ මගධයේ අගනුවර වූයේ රජගහනුවරයි.  මගධයේ අභිෂේක ලබාසිටියේ බිම්බිසාර රජතුමායි. බිම්බිසාර රජු සොතාපන්න වූ ශ‍්‍රාවකයෙකි.


රජගහ නුවර පිහිටි ගිජුකුළු පව්ව සැදැහැවත් බොදුනුවන්ගේ මුදුන් මල්කඩක් බඳුයි.  ගිජු ළිහිණියකුගේ හැඩය විදහාලන නිසා මෙම පව්ව ගිජුකුළු පව්ව ලෙස හැඳින්වේ. ගිජුකුළු පව්ව තරණය කරන මාවතේ, එදා දස දහස් ගණන් මහ රහතුන් මෙන්ම භාග්‍යවතුන් වහන්සේ ද දස දහස් වාරයක් වැඩම කර ඇතිද?


ගිජුකුළු පිවිසුම මහ ගල් පඩි පෙළින් යුතුව තනා ඇත්තේ බිම්බිසාර රජතුමාය.  


මෙම ගල් පඩි පෙළ නවීකරණය කර ඇතත්, අද ද මෙම මාවත හැඳින්වෙන්නේ "බිම්බිසාර පාත්”  නමිනි.



එදා සශ්‍රීක ඉසුරුමත් රාජ්‍යයක් වූ මගධයට අද උදාවී ඇති කලක්? උග‍්‍ර වියළි කාලගුණයක් සහිත නිසරු කටු පදුරින් හෙඹි හුදකලා පෙදෙසක් වූ රජගහනුවර ගිජුකුළු පව්වේ පාමුල සිට කඳුමුදුනත දක්වාම යාචක යන් ගෙන් පිරී පවතී. 

ගිනියම් හිරුකිරණින් මෙන්ම, රක්ත  වර්ණ  වූ මහ පොළොවේ උණුසුමින් දැවි දැවී සිඟමන් යදින බොහෝ යාචකයන්ගේ දෙනුවන් අන්ධය. ගත වැරහැළිය. රූප  සෝබාව අඳුරු ය.

ගිජුකුළු පාමුල සිට කඳු මුදුනත දක්වා  ගමන් කලේ අජිත් මහතා විසින් ගායනා කරන ලද කිරිබත්ගොඩ ඤාණානන්ද   ස්වාමීන් වහන්සේ විසින් රචිත "ගිජුකුළු වන්දනා” පැදි  වලට සවන් දෙමින් ම ගිජුකුළු මුදුනතට පැමිණියෙමු. 






භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ගිජුකුළු මුදුනත වන සුවඳ කුටිය තුළ අද ද උන්වහන්සේ ජීවමානව වැඩ සිටින් බැව් දැනේ.  අප ගෙන ගිය මල් අදිය ජීවමාන භාග්‍යවතුන් වහන්සේ උදෙසාම සිතා පූජා කළෙමු.


ගිජුකුළු පව්ව හා බැඳි ඓතිහාසික සිදුවීම් රැසකි. වක්කලි හිමියන්, භාගවතුන් වහන්සේ බැහැදැකීමට පැමිණියේ ගිජුකුළු පව්වටය. ගිජුකුළු පාමුල සක්මනේ නිරතව හුන් බුදුන් වහන්සේගේ සිරසට දෙව්දතුන් ගල්කුළක් පෙරළුවේ ගිජුකුළු මුදුනත සිටය.


භාග්‍යවතුන් වහන්සේගේ සිව්වනක් පිරිස ආරක්ෂා කරවනු පිණිස, සතරවරම් දෙව් රජුන් පැමිණ ආටානාටිය සූත‍්‍රය දේශනා කරන ලදදේ ගිජුකුළු මුදුනත දීය. එම ඓතිහාසික සිදුවීම පුනරාවර්තන කරමින්, අදද  භික්ෂූ, භික්ෂුණී, උපාසක උපාසිකා සිව්වනක් බුදු පිරිස ගිජුකුළු මුදුනතදී, ආටානාටිය සූත‍්‍රය සජ්ජායනා කරති .


ගිජුකුළු මුදුනත ආසන්නයේම ආනන්ද මහ රහතන් වහන්සේ වැඩසිටි කුටියද වෙයි.  ඊට අමතරව ගිජුකුළු පව්ව  වටා පසේ බුදුන් දහස් ගණන් වැඩසිටි ඉසිගිලි, පාණ්ඩව, වේපුල්ල හා වේහාර පව්වන්ද වෙයි.








මේ තමා වාලසංඝාටය. මේ කියන කාලයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ කුසිනරාවේ දී ධතු බෙදාදීම කල ද්‍රෝණ බ්‍රාහ්මණයා විසින් රජගහ නුවර රජවූ අජාසත්ත රජු වෙත රාම ග්‍රාමයේ ධාතුන් වහන්සේලා හැර අනෙකුත් සියලුම ධාතූන් වහන්සේලා එක්තැන් කොට ලබා දෙන ලදී. ඒ ධාතූන් වහන්සේලා නිදන් කොට කරවූ ස්තූපය වාල සංඝාට යන්ත්‍රය ලෙස  හඳුන්වනු ලැබේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ අදහස වූයේ අනාගතයේ පහලවන ධර්මාශෝක මහ රජාණන් විසින් ධර්ම ප්‍රචාරය සඳහා අසූහාරදහසක් වෙහෙර විහාර තනවන බවත් ඒ සඳහා ඒවා ආරක්ශා සහිතව තැන්පත් කල යුතු බවය. මේ සෙල්ලිපිය සටහන් කොට වාල සංඝාට යන්ත්‍රය කිසිවෙකුටවත් ගත නොහැකි පරිද්දෙන් සාදා නිම කලහ.  ඒ අනුව සෙල් ලිපිය කියවූ ධර්මාශෝක මහ රජාණන් එය විවුර්‍ත කොට එහි තිබූ ධාතූන් නිදන් කොට මුළු දඹදිව් තලය පුරා අසූහාරදහසක් වෙහෙර විහාර කරවීය.





ඔබ මේ දකින්නේ බිම්බිසාර රජ සිර කුටියේ නටඹුන්ය. මෙහි සිට ඈතින් (ඉහත පින්තූරයේ)පෙනෙන ගිජුකුළු පව්වේ සක්මන් කරනා බුදුහිමියන් දෙස බලමින් වන්දනා කරමින් රජතුමා අවසන් හුස්ම පොද වා තලයට මුසු කොට ඇත. සුදු පැහැති චෛත්‍යය සාම චෛත්‍යයයි.
ජපන් ජාතික සුප්‍රසිද්ධ හිමි නමක් වූ   ෆියුජි ගුරුජී විසින් මෙම ශාන්ති ස්තූපය නිමවා ඇත.


සාම චෛත්‍යය.

එන්න වෙන්නෙ නම් මෙහෙම තමයි. ඇඟ කිලිපොලා යනව මේ කේබල් කාරයෙ නඟින විදිහ දැක්කම. ඇත්තම කිව්වොත් මාත් බයෙන් නැග්ගෙ.








 මෙහෙම තමා පහලට බැහැගෙන එන්න තියෙන්නෙ.


රජගහ නුවර සුන්දර චාරිකාවේ නිමාව මෙලෙස සනිටුහන් කරමි. 

6 comments:

  1. සප්තපර්නියේ ඇරගන්න බැරි දොරක් කිව්වට ඒක තනි කළු ගලක් විතරයි.. දොරක් කියන එක විශ්වාසයක්ම විතරයි...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ද්වාරයක් .

      Delete
  2. අගනා චාරිකා සටහනක් ලස්සන පිංතුරත් එක්කම ස්තුතියි අක්කා..

    ReplyDelete
  3. බොහොම පින් නලින් මල්ලි.

    ReplyDelete
  4. අපූරු දඹදිව චාරිකාව අගනා විස්තරය දඹදිව වන්දනාවෙ යන දවසක මේව ප්‍රෙයා්ජනයට ගන්න පුලුවන්. මගෙත් එක බලාපොරොත්තුවක් අපිට ආසන්නම රටේ සංස්කෘතිය බලන්න දවසක එහි යාම

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් දයා මල්ලි. කොහොම හරිම ආයෙත් යන්න මාත් ආසයි. මහත්තයාත් මට පොරොන්දු උනා ආයෙමත් මාව එක්ක යනවා කියලා. ලෝකෙ කොයි තරම් මම ඇවිදලා තියෙනවද? මේ ගමන තරම් දුෂ්කර ගමනකුත්, සුන්දර හිතට සැනසුම දුන්න ගමනකුත් නෑ කියල තමයි මට හිතෙන්නෙ.

      Delete