බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Monday, February 22, 2016

ධම්ම පදය – 04. පුප්ඵ වර්ගය


*සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවේ අද වගේ නවම් පුන් පොහෝ දිනක ය.

*ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය වූ 1250 ක් භික්ෂූන් වහන්සේලාගේ රැස් වීම සිදුවූයේ ද අද වගේ නවම් පුන් පොහෝ දිනක ය

*බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රථම වරට දේශනා කොට වදාළේ ද අද වගේ නවම් පුන් පොහෝ දිනක ය.

*බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන්මසකට පෙරාතුව ආයු සංස්කාර අත්හළේ ද අද වගේ නවම් පුන් පොහෝ දිනකදී ය. 


  • 04. පුප්ඵ වර්ගය
    (මල් උපමා කොට වදාළ කොටස)
  • 44.   කෝ ඉමං පඨවිං විජෙස්සති – යමලෝකඤ්ච ඉමං සදේවකං
            කෝ ධම්මපදං සුදේසිතං – කුසලෝ පුප්ඵමිව පචෙස්සති

  • මේ පෘථිවිය ජයගන්නෙ කවුද? අපාය ජයගන්නෙ කවුද? දෙවියන් සහිත වූ මේ ලෝකය ජයගන්නෙ කවුද? දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් තෝරාගෙනම නෙලාගන්නව වගේ මනාකොට දේශනා කරලා තියෙන මේ සදහම් පද අවබෝධ කරගන්නෙ කවුද? 

    (සැවැත් නුවරදී පෘථිවිය ගැන කථා කර කර සිටි පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි  
  • 45.  සේඛෝ පඨවිං විජෙස්සති – යමලෝකඤ්ච ඉමං සදේවකං
               සේඛෝ ධම්මපදං සුදේසිතං – කුසලෝ පුප්ඵමිව පචෙස්සති

ඒ අමා නිවන් මගේ ගමන් කරන කෙනා තමයි මේ පෘථිවිය දිනාගන්නෙ. අපාය දිනාගන්නෙත් ඒ තැනැත්තාමයි. දෙවියන් සහිත මේ ලෝකයම දිනාගන්නෙත් ඒ කෙනාම තමයි. දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් තෝරලා, නෙළාගන්නවා වගේ, මනාකොට දේශනා කරලා තියෙන මේ සදහම් පද අවබෝධ කරගන්නෙත් ඒ තැනැත්තාමයි.


එ් දිනවල අපගේ බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. ඔයාලා දන්නවා ඇති. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි තමයි වැඩිම කාලයක් වස් වසා වැඩසිටියේ. උන්වහන්සේ දහනව වතාවක් වස් වැසුවේ එ් දෙව්රම් වෙහෙරේමයි. බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩසිටියේත් එ් දෙව්රම් වෙහෙරේමයි.
එ් කාලෙ දැන් වගේ නොවෙයි. මහණ වුණාට පස්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා යටතේ අවුරුදු පහක් පමණ ධර්මය ඉගෙන ගන්නවා. විනය ඉගෙන ගන්නවා. එ් ධර්ම විනයට අනුව ජීවිතය සකස් කරගන්න මහන්සි ගන්නවා. එ් කාලෙ ධර්මය පොත්වල ලියලා තිබුණෙ නෑ. කටපාඩම් කිරීම තමයි තිබුණේ. අනික එ් කාලෙ ජීවත් වුණු පින්වත් ජනතාවට හොඳ ස්මරණ ශක්තියක් තිබුණා. ඉක්මනින් වටහාගන්නට හැකියාවකුත් තිබුණා. අවබෝධ කිරීමේ හැකියාවකුත් තිබුණා. එ් නිසයි බොහෝ දෙනෙක් මාර්ග ඵල ලැබුවේ.
මූලික ධර්ම අධ්‍යාපනයෙන් පස්සේ භික්ෂූන් වහන්සේලා හුදෙකලාවේ බණ භාවනා කිරීම පිණිස කණ්ඩායම් වශයෙන් චාරිකාවේ වඩිනවා. එදා එසේ චාරිකාවේ වැඩිය භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් දෙව්රම් වෙහෙරට වැඩම කළා. ගමන් විඩාව සංසිඳුවා ගත් එ් භික්ෂූන් වහන්සේලා මෙන්න මෙවැනි කතාවක් පටන් ගත්තා.“ආයුෂ්මතුන් වහන්ස, මහ පොළොව පිහිටා තියෙන හැටි හරි පුදුමයි නෙව. සමහර තැන්වල කඳු පන්ති පෝලිමට තියෙනවා. සමහර තැන්වල සමතලයි. එ් වගේම මහ පොළොවට වඩා ජලය කොයිතරම් වැඩිද?”
“නෑ ආයුෂ්මතුනි, ඔයිට වඩා වැඩියි ආකාශය. ආකාශයට සම්බන්ධ වෙලා තියෙන්නෙ වායු තලයක්. එ්කත් පොළොව වගේ තමයි.”
“නෑ ආයුෂ්මතුනි, ඊට වඩා පුදුමයි අපාය. යම රජ්ජුරුවෝ එ් ලෝකය පාලනය කරන්නේ.”
“නෑ ආයුෂ්මතුනි, පුදුම දෙය නම් දිව්‍ය ලෝකයයි. ශක‍්‍ර දෙවියන් තමයි චාතුම්මහාරාජික, තාවතිංස යන දිව්‍ය ලෝක පාලනය කරන්නේ.”
“හා… හා… ඕව වැඩක් නැහැ. දැන් ඔබවහන්සේලා වඩිද්දී කොයි පැත්තෙන්ද වැඩියේ?”
“දකුණු ප‍්‍රදේශයට වෙන්නට නම් පාරේ බොරළු ගතිය වැඩියි. හැබැයි ටිකක් එහාට ගියාම හොඳ කළු පසක් තියෙනවා. පොළොව සරුසාරයි. කලට වැසි වැස්සොත් සරුවට භෝග වැවෙනවා.”
“එ් වුණාට ආයුෂ්මතුනි, අසවල් පැත්තේ නම් කිසිම සරුවක් නැහැ. ගස් කොළන් එච්චර උසට නැහැ. ගමනත් අපහසුයි. දූවිල්ල වැඩියි.”
“නෑ ආයුෂ්මතුනි, ඔබවහන්සේලා අසවල් දිශාවේ වැඩියේ නැද්ද? එ් පැත්ත හරි ලස්සනයි නෙව. හිමිදිරි උදෑසන මීදුම බාලා පින්න වැටිලා තියෙන කොට හරිම අගෙයි. වතුර ටික වුණත් ලස්සනයි.”
“අනේ ආයුෂ්මතුනි, එහෙම නම් අපි ඊළඟ වතාවෙ චාරිකාවෙ වඩිද්දී එ් පැත්තට යමු.”
  එ් ස්වාමීන් වහන්සේලාගේ කතාවට ඔවැනි දේවල් එකතු වෙද්දී ධර්මය අමතක වෙන අවස්ථාව වැඩි වුණා. බුදුරජාණන් වහන්සේට මෙම කතාව දිව්‍ය ශ‍්‍රවණයෙන් අසන්නට ලැබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ එ් භික්ෂූන් වහන්සේලා මහා රසවත් විදිහට මහ පොළොව ගැන, වෙනත් ලෝක ගැන කතා කර කර ඉන්න තැනට වැඩියා.
“පින්වත් මහණෙනි, ඔබ ඔතරම් ප‍්‍රණීත විදිහට කුමක් ගැනද කතා කරන්නේ?”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපි මේ මහ පොළොව ගැන කතා කළා. යම ලොව ගැන කතා කළා. දිව්‍ය ලෝක ගැන කතා කළා. අපි ඇවිදගෙන යද්දී මුණ ගැසුන විවිධ පරිසර ගැන කතා කළා…” ආදී වශයෙන් එ් භික්ෂූන් වහන්සේලා කිසිවක් සඟවා නොගෙන ඇත්තම කිව්වා. එවේලෙහි මහා කරුණා ගුණැති බුදුරජාණන් වහන්සේ එ් භික්ෂූන් වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන් මේ ගාථා රත්නයන් දෙක වදාළා.
කෝ ඉමං පඨවිං විජෙස්සති – යමලෝකඤ්ච ඉමං සදේවකං
කෝ ධම්මපදං සුදේසිතං – කුසලෝ පුප්ඵමිව පචෙස්සති
මෙලොව හා පරලොව – එලෙස දෙවියන් ඇති ලොව
එ් අයුරින්ම දැනගෙන – ජය ලබන්නේ කවුරුද?
ලස්සන මල් නෙලන – දක්ෂ මල්කරු විලසින
සුදේසිත සදහම් පද – අත්දකින්නේ කවුරුද?
සේඛෝ පඨවිං විජෙස්සති – යමලෝකඤ්ච ඉමං සදේවකං
සේඛෝ ධම්මපදං සුදේසිතං – කුසලෝ පුප්ඵමිව පචෙස්සති
මෙලොව හා පරලොව – එලෙස දෙවියන් ඇති ලොව
එ් අයුරින්ම දැනගෙන – ජය ලබයි හික්මෙන කෙනා
ලස්සන මල් නෙලන – දක්ෂ මල්කරු විලසින
සුදේසිත සදහම් පද – අත්දකියි හික්මෙන කෙනා


බුදුරජාණන් වහන්සේ මේ ගාථා වලින් ඉතාම අර්ථවත් විස්තරයක් කියා දෙනවා. එ් කියන්නේ පළවෙනි ගාථාවෙන් කරන්නේ ප‍්‍රශ්න කීපයක් ඇසීමයි. මොනවාද එ් ප‍්‍රශ්න? 
මේ පොළොව අවබෝධ කරන්නේ කවුද? එ් වගේම යම ලෝකය හෙවත් අපාය අවබෝධ කරන්නේ කවුද? දිව්‍ය ලෝකය අවබෝධ කරන්නේ කවුද? එ් වගේම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් පද දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් එකතු කරනවා වගේ එක්රැස් කරමින් නුවණින් දකින්නේ කවුද? කියල. බලන්න කොයිතරම් ලස්සන ප‍්‍රශ්න කීපයක්ද මෙතන තියෙන්නේ. වර්තමානයේ ඔය ප‍්‍රශ්න ඇසුවොත් උත්තර දෙන එක ලෙහෙසි නෑ. එ්කට හේතුව දිව්‍ය ලෝක අපාය ආදිය අවබෝධ කරනවා තබා එ් ගැන කිසිවක්ම දන්නෙ නෑ.
එ් වගේම දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් එකතු කරනවා වගේ සුභාෂිත බුදු වදන් එකතු කරගෙන නුවණින් දකින්න දන්නෙත් නෑ. නමුත් එය කරන්නට පුළුවන් කෙනෙක් ලෝකයෙහි ඉන්නවා. එ් කවුද කියන එක දෙවෙනි ගාථාවෙන් විස්තර වෙනවා.
දෙවෙනි ගාථාවේ තිබෙන්නේ පිළිතුරයි. එ් පිළිතුර තුළින් බුදුරජාණන් වහන්සේ එ් සියලු ප‍්‍රශ්න විසඳාගත හැකි කෙනා මෙන්ම, අවබෝධය කරා යා හැකි කෙනාත් කවුදැයි කියා පෙන්වා දෙනවා. මේ ගාථාවේ විශේෂ පදයක් ඔබට හමුවෙනවා ඇති. එනම් ‘සේඛෝ’ යන වචනයයි. සේඛ කියන්නේ හික්මෙන තැනැත්තා කියන එකයි. හික්මෙන්නේ කොයි අයුරින්ද? ඔහු හික්මෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පෙන්වා දී ඇති ආකාරයටයි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගන්නේ සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨිය කියන්නේ ශ‍්‍රාවකයා තුළ බුදුරජාණන් වහන්සේ වදාළ දුක නම් වූ ආර්ය සත්‍යය ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. දුක හටගන්නට හේතු වූ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. එ් දුක නිරුද්ධ වීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙනවා. දුක ඉබේ නිරුද්ධ වෙන්නෙ නෑ. ප‍්‍රාර්ථනා කොට නිරුද්ධ වෙන්නෙත් නෑ. නමුත් එය නිරුද්ධ වෙන ක‍්‍රමයක් තියෙනවා. මාර්ගයක් තියෙනවා. වැඩපිළිවෙලක් තියෙනවා. ප‍්‍රතිපදාවක් තියෙනවා. එය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. 
ඉතින් එ් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් ශ‍්‍රාවකයා තුළ පැහැදිලි අවබෝධයක් තියෙනවා නම් ඔහු සම්මා දිට්ඨියෙන් යුක්තයි. ඔහුට තමයි සේඛ කියන්නේ. ඉතින් එ් ශ‍්‍රාවකයා එ් තුළින් තමයි සෝවාන් මාර්ගයටත්, ඵලයටත් පත්වන්නේ. දිගින් දිගටම ධර්මයේම හැසිරෙන විට තවදුරටත් එ් ආර්ය සත්‍යය පසක්වෙනවා. එවිට ක‍්‍රම ක‍්‍රමයෙන් සකදාගාමී මාර්ගය ප‍්‍රගුණ කරනවා. සකදාගාමී ඵලයට පත්වෙනවා. අනාගාමී මාර්ගය ප‍්‍රගුණ කරනවා. අනාගාමී ඵලයට පත්වෙනවා. අරහත් මාර්ගය ප‍්‍රගුණ කරනවා. මෙතෙක් දියුණු කරන වැඩපිළිවෙල තුළ ශ‍්‍රාවකයා හික්මෙන නිසා සේඛ කියනවා.
අරහත් ඵලයට පත්වීමත් සමඟ හික්මෙන වැඩපිළිවෙල සම්පූර්ණයි. හික්මිලා ඉවරයි. එතකොට කියන්නේ ‘අසේඛ’ කියලයි. එ් කියන්නේ හික්මෙන වැඩපිළිවෙල සම්පූර්ණ කරගත් කෙනා කියලයි. තවදුරටත් හික්මෙන්නට දෙයක් නැති කෙනා කියලයි. එතෙක් අවස්ථාවන්වලදී හඳුන්වන්නේ සේඛ කියලයි. එතකොට බලන්න සේඛ කියන වචනයට මොනතරම් පුළුල් අර්ථයක් තියෙනවාද?
ඉතින්  අන්න එ් මාර්ග ඵල ලාභී ශ‍්‍රාවකයාට නම් මේ පොළොව ගැන අවබෝධයක් ඇතිකරගන්න පුළුවන්. එතැනදී බුදුරජාණන් වහන්සේ පොළොව කියා වදාළේ පස් ගැන හෝ ජලය ගැන හෝ ගස් වැල් ගැන හෝ පර්යේෂණ කිරීම නොවෙයි. එතනදී උන්වහන්සේ වදාළේ මේ මහා පොළොව මත ජීවත් වෙන අප ගැනයි. සත්වයා ගැනයි. පුද්ගලයා ගැනයි. එ් කියන්නේ තමා ගැනයි. තමා ගැන අවබෝධ කරගත්තොත් ඔහු පොළොව ගැන අවබෝධ කළා වෙනවා.
  ඉතින් කුමක්ද මේ පොළොව? එනම් දුක නම් වූ ආර්ය සත්‍යයයි. කුමක්ද මේ පොළොවට අයිති දේ? එනම් ඉපදීමයි. ජරාවට පත් වීමයි. රෝග පීඩාවන් වැළඳීමයි. අප‍්‍රිය පුද්ගලයින් සහ අප‍්‍රිය දේවල් සමඟ එක්වන්නට සිදුවීමයි. ප‍්‍රිය පුද්ගලයන් ගෙන් හා ප‍්‍රිය දේවල් වලින් වෙන්වන්නට සිදුවීමයි. තමා කැමති දේ නොලැබීමයි. මේ සියල්ලටම පදනම රූප, වේදනා, සඤ්ඤා, සංඛාර සහ විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයේ පැවැත්මයි. මෙය එ් අයුරින්ම අවබෝධ කළොත් මහ පොළොව අවබෝධ කළා වෙනවා. එ් වගේම කර්මානුරූපව මේ සත්වයා නිරයේ යන ආකාරය අවබෝධ කළොත්, යම ලෝකය අවබෝධ කළා වෙනවා. එ් වගේම කර්මානුරූපව සත්වයා දෙව්ලොව උපදින ආකාරය ගැන අවබෝධ කළොත්, දෙව්ලොව අවබෝධ කළා වෙනවා.
එ් වගේම සතර සතිපට්ඨාන, සතර සම්‍යක් පධාන වීර්යය, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන බෝධි පාක්ෂික ධර්ම තිස් හත පිළිබඳව හොඳින් ඉගෙනගෙන එ් උතුම් ධර්මයන් තමා තුළට පමුණුවා ගන්නට දක්ෂ වුණෝතින් ඔහු ලස්සන මල් එකතු කරන දක්ෂ මල්කාරයෙක් වගේ තමයි. ලෝකයේ තිබෙන ලස්සනම ලස්සන දේ වන, ඉතාමත්ම සුන්දර දේ වන, මුල මැද අග සෑම තැනම සුන්දර දේ වන, ඉතාමත් අර්ථවත් දේ වන, පැහැදිලි වචන වලින් යුක්ත දේ වන එ් උතුම් සුභාෂිත දහම් පද ජීවිතයට රැස් කරගත් කෙනා බවට පත්වෙනවා.
බලන්න කොයිතරම් ලස්සන පිළිතුරක්ද. මේ පුංචි ගාථා දෙක තුළ ඇති පැහැදිලි අර්ථය හඳුනාගන්නට එ් භික්ෂූන් වහන්සේලා සමර්ථ වුණා. උන්වහන්සේලාට හොඳින් වැටහුනා. ඉතින් එ් භික්ෂූන් වහන්සේලා අනවශ්‍ය කතා බහ නැවැත්තුවා. අනවශ්‍ය මාතෘකාවල්වල පැටලි පැටලි ගියේ නැහැ. අනවශ්‍ය වාද විවාද හදාගත්තෙ නැහැ. ඉතාම නිහතමානීව ධර්මයේ හැසිරුණා. ඇත්තෙන්ම උන්වහන්සේලා මේ පොළොව අවබෝධ කළා. යම ලෝකයත් අවබෝධ කළා. දෙව්ලොවත් අවබෝධ කළා. දක්ෂ මල්කාරයෝ බවට පත්වුණා. දක්ෂ මල්කාරයන්ටත් වඩා දක්ෂ වුනා. ලොව තිබෙන ලස්සනම දේ රැස් කළා. එ් රැස් කළේ අතට නොවෙයි, හදවතටයි. එ් නිසා එ් භික්ෂූන් වහන්සේලා චතුරාර්ය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළා. නිකෙලෙස් වුණා. රහතන් වහන්සේලා බවට පත්වුනා. එ් කාලේ ජීවත් වුණු ශ‍්‍රාවකයින් මොනතරම් වාසනාවන්තද?
Ko imam pathavim vicessati
yamalokanca imam sadevakam
ko dhammapadam sudesitam

kusalo pupphamiva pacessati.

Sekho pathavim vicessati
yamalokanca imam sadevakam
sekho dhammapadam sudesitam
kusalo pupphamiva pacessati.


The Garland-Maker


  
Who will comprehend this earth,
the world of Yama, and the gods?
Who will discern the well-taught Dhamma
as one who’s skilled selects a flower.
Explanation:
 An expert in garland making will select, pluck
 and arrange flowers into garlands. 
In the same way who will examine the
 nature of life penetratingly?
 Who will perceive the real nature of life 
in the world, along with the realms of the 
underworld and heavenly beings?
 Who will understand and penetratively perceive
 the well-articulated doctrine, like an expert maker
 of garlands, deftly plucking and arranging flowers.


The Seeker Understands

One Trained will comprehend this earth,
the world of Yama, and the gods,
One Trained discern the well-taught Dhamma
as one who’s skilled selects a flower.





Explanation:
 In the previous stanza the question was raised as to
 who will penetrate the well-articulated doctrine? 
The present stanza provides the answer:
 the student, the learner, the seeker, 
the person who is disciplined. 
He or she will perceive the doctrine, 
like the expert garland-maker who recognizes 
and arranges flowers.
 It is the learner, the seeker, the student who will
 perceive the world of Yama, the realm of 
heavenly beings and existence on earth. 
He will discard and determine the various 
areas of the doctrine, life a deft garland-maker
 who plucks and arranges the flowers into garlands.


[Who shall examine this earth (i.e., this body), the world of Yama (i.e., the four Apayas) and the world of man together with the world of devas? Who shall examine the well-taught Path of Virtue (Dhammapada) as an expert florist picks and chooses flowers?

The Ariya Sekha , shall examine this earth (i.e., the body), the world of Yama (i.e., the four Apayas) and the world of man together with the world of devas. The Ariya Sekha shall examine the well-taught Path of Virtue (Dhammapada) as an expert florist picks and chooses flowers.

 one who is practising the Dhamma, and has entered the Path, but has not yet become an arahat. The term is applied to the first seven ariyapuggalas, the eighth or arahat being asekho. ]

The Story of Five Hundred Bhikkhus

While residing at the Jetavana monastery, the Buddha uttered  with reference to five hundred bhikkhus. 

Five hundred bhikkhus, after accompanying the Buddha to a village, returned to the Jetavana monastery. In the evening, while the bhikkhus were talking about the trip, especially the condition of the land, whether it was level or hilly, or whether the soil was clayey or sandy, red or black, etc., the Buddha came to them. Knowing the subject of their talk, he said to them, :     "Bhikkhus, the earth you are talking about is external to the body; it is better, indeed, to examine your own body and make preparations (for meditation practice)."

The Buddha then spoke in verses as above.

At the end of the discourse those five hundred bhikkhus attained arahatship.

Sekha/Ariya Sekha: one who practises the Dhamma and has entered the Path, but has not yet become an arahat.

ගෞරවණීය නමස්කාරය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට.

No comments:

Post a Comment