Saturday, August 29, 2015

බුදු සසුනේ උදාර චරිත - ආනන්ද ස්වාමීන් වහන්සේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔබ දන්නවා ඇති අපේ බුදුරජාණන් වහන්සේට නිරන්තරයෙන් උපස්ථාන කරන පින්වත් ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ තමයි ආනන්ද නමින් හඳුන්වන්නේ. එ් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ශ‍්‍රද්ධාවෙනුයි බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කළේ.
දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ සවස් වරුවේ භාවනා කරමින් සිටින විට මෙවැනි සිතුවිල්ලක් ඇතිවුණා.
අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුවඳ වර්ග තුනක් ගැන අපට වදාළා. එ් තමයි මුල් වලින් හමන සුවඳ, අරටුවෙන් හමන සුවඳ, එ් වගේම මල් සුවඳ. ඇත්තෙන්ම මේ සුවඳ හමන්නේ යටි සුළඟේ විතරයි. උඩු සුළඟට හමන්නේ නෑ. ඉතාමත් ඈතට විහිද යන්නෙ නෑ. නමුත් අපි නොදන්නා ඈතට විහිද යන සුවඳ වර්ග ගැන බුදුරජාණන් වහන්සේ දන්නවා ඇති. එ් ගැන මං දැනගන්න කැමතියිකියා කල්පනා කළා.

ඉතින් බුදුරජාණන් වහන්සේ බැහැදැක ආදරයෙන් වන්දනා කළ ආනන්ද ස්වාමීන් වහන්සේ ඈත එපිට දක්වා විහිද යන සුවඳ කුමක්ද?’ කියා අසා සිටියා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ඈතට විහිද යන්නේ කවර සුවඳක්ද යන වග මේ අයුරින් පහදා දුන්නා.
පින්වත් ආනන්ද, එක්තරා සුවඳක් තියෙනවා. එ් සුවඳ උඩු සුළඟටත් හමනවා. යටි සුළඟටත් හමනවා. හැම දිශාවටත් හමනවා. එය හොඳම හොඳ සුවඳක්.
ස්වාමීනී, එ් සුවඳ කුමක්ද?”
පින්වත් ආනන්ද, යම් ගමක හෝ ප‍්‍රදේශයක කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ බුදුරජාණන් වහන්සේව සරණ ගියොත්, ධර්මය සරණ ගියොත්, ආර්ය සංඝයා සරණ ගියොත්, එ් වගේම එ් තැනැත්තිය හෝ තැනැත්තා සතුන් මැරීමෙන් වැළකී සිටිනවා නම්, සොරකමින් වැළකී සිටිනවා නම්, වැරදි කාම සේවනයෙන් වැළකී සිටිනවා නම්, බොරු කීමෙන් වැළකී සිටිනවා නම්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටිනවා නම්, එ් වගේම සිල්වත් නම්, යහපත් ගුණධර්මයන් ගෙන් යුක්ත නම්, ලෝභ නැත්නම්, නිතර දන්පැන් පුදනවා නම්, අන් අයට උදව්පදව් කරනවා නම් එ් කෙනා ගැන ශ‍්‍රමණ බ‍්‍රාහ්මණවරු මෙහෙම කතා කරනවා. එම්බා පින්වත්නි, දන්නවාද? අසවල් ගමේ, අසවල් ප‍්‍රදේශයේ ස්ත‍්‍රියක් ඉන්නවා. පුරුෂයෙක් ඉන්නවා. මේ විදිහටයි තෙරුවන් සරණ ගිහින් ඉන්නේ. මේ විදිහටයි සිල් රකින්නේ. මේ විදිහටයි දන් දෙන්නේකියල ගුණ කියනවා.


එපමණක් නොවෙයි, දෙවියනුත් ඔවුන්ගේ ගුණ කියනවා. ඉතින් පින්වත් ආනන්ද, උඩු සුළඟටත් හමනා, යටි සුළඟටත් හමනා, හැම දිශාවටත් හමනා, හොඳම හොඳ සුවඳ නම් එයයි.
මෙය වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය වදාළා.
න පුප්ඵගන්ධෝ පටිවාතමේති
න චන්දනං තගරමල්ලිකා වා
සතඤ්ච ගන්ධෝ පටිවාතමේති
සබ්බා දිසා සප්පුරිසෝ පවාති

නැත මල් සුවඳ උඩු සුළෙඟහි ගැවසෙන්නේ
තුවරලා සඳුන් හර නැත දුරට විහිදෙන්නේ
තිසරණ සිල් ගුණැති යහපත් මිනිසුන්නේ
ගතිගුණ ලොවෙහි පැතිරෙයි
මිහිරි සුවඳක් විලසින්නේ

චන්දනං තගරං වාපි උප්පලං අථ වස්සිකී
එ්තේසං ගන්ධජාතානං සීලගන්ධෝ අනුත්තරෝ

සඳුන් තුවරල සමන් මහනෙල් – සුවඳ විහිදෙන නමුත් සුළෙඟහි
පරදවා එ් සුවඳ මනකල් – උතුම් සිල් සුවඳ හමයි හැම කල්

පින්වතුනේ, පින්වත් දරුවනේ, ලෝකයෙහි විවිධාකාර සුවඳ වර්ග තියෙනවා තමයි. විශාල මල් වතු යායවල් තියෙන්න පුළුවනි. නමුත් එ් සෑම සුවඳක්ම හමන්නේ යටි සුළඟේ විතරයි. උඩු සුළඟේ හමාගෙන යන්නේ නෑ. යම් කෙනෙක් තිසරණ සිල් රකිනවා නම්, උඩු සුළඟට එ් සුවඳ හමාගෙන යනවා.
පින්වතුනේ, පින්වත් දරුවනේ, දවසක් හරි අපූරු දෙයක් වුණා. සක්දෙව් රජතුමා දිව්‍ය මාළිගාවෙන් එළියට බැස හැම දිශාවටම වන්දනා කළා. එතකොට මාතලී රථාචාර්යයා සක් දෙවිඳුගෙන් මෙහෙම ඇහුවා.
පින්වත් ශක‍්‍ර දේවේන්ද්‍රය, ඔබවහන්සේට සියලු බ‍්‍රාහ්මණයන්, රජවරුන්, සතරවරම් දෙවි මහරජදරුවන්, තව්තිසා දෙවියන් ආදී සියලු දෙනාම වඳිනවා. එ් විදිහට වැඳුම් ලබන ඔබ ඔය වන්දනා කළේ කාටද?”
මාතලී, බ‍්‍රාහ්මණයන්, රජවරුන්, පොළොවවැසි සියල්ලන්, සතරවරම් දෙවි මහරජදරුවන්, තව්තිසා දෙවියන් ආදී සියල්ලන්ම මට වන්දනා කරන බව හැබෑව. මමත් මේ වන්දනා කරන්නේ සීලයෙන් යුක්ත, භාවනාව තුළින් චිත්ත සමාධිය ලබාගෙන බොහෝ කල් වාසය කරන, පිරිසිදු බ‍්‍රහ්මචාරී ජීවිත ගෙවන ශ‍්‍රමණයන් වහන්සේලාටයි. එ් වගේම මම මේ වන්දනා කරන්නේ තෙරුවන් සරණ ගිය සිල්වත්ව ගිහි ජීවිතය ගත කරමින්, පින්දහම් කරමින් ධාර්මිකව අඹුදරුවන් පෝෂණය කරන ගිහි පින්වතුන්ටයි.
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි අහලා තියෙනවා හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳීකියල කියමනක්. එහෙමනම් අපිත් මුළු හදවතින්ම තෙරුවන් සරණ යමු. සමාදන් වන පන්සිල් හොඳින් ආරක්ෂා කරගනිමු. ලෝභ රහිත සිතින් දන්පැන් පූජා කරමු. එ් වගේම ධාර්මිකව මිල මුදල් උපයාගෙන සියලු දෙනාට සලකමින් සතුටින් කල් ගෙවමු. එ්ක ගිහි ජීවිතය ගතකරන කෙනෙකුට කොයිතරම් වාසනාවක්ද!

අපගේ ලොකු ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

No comments:

Post a Comment

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...