Sunday, November 25, 2012

සංයුක්ත නිකාය - භික්ඛුණී සංයුක්තය - භික්ඛුණී වර්ගය - විජයා සූත්‍රය



විජයා භික්ෂුණිය මාරයාට  පැවසූ  දෙසුම.

(විජයා සූත්‍රය )

සැවැත් නුවරදී.....

එදා විජයා  භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන , පාත්‍ර - සිවුරු අරගෙන  සැවැත් නුවර පින්ඩපාතෙ කරගෙන    දානෙ වළඳල ,දවල් කාලෙ  ගත කරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුලට ගිහින් එක්තරා රුක් සෙවනක දවල් කාලෙ ගත කරන්න හිතාගෙන  වාඩි වෙලා හිටිය.

එදා පවිටු මාරයාට මේ විදිහේ කැමැත්තක් ඇතිවුනා.

 " විජයා   භික්ෂුණියව බය කරවන්නට ඕනෙ. තැති ගන්වන්නට ඕනෙ , මවිල් කෙලින් කරවන්ට ඕනෙ. සමාධියෙන් දුරු කරවන්ට ඕනෙ" කියල. ඊට පස්සෙ මාරයා විජයා   භික්ෂුණිය ළඟට ගියා. ගිහින් විජයා භික්ෂුණියට  ගාථාවක් පැවසුවා.

" ඒයි  ලස්සන තැනැත්තී, ඔයා තාම තරුණයි. මමත් යෞවන වයසෙ ඉන්න තරුණයෙක්. එන්න පංචාංගික තූර්ය නාදයෙන් සතුටු වෙමින් අපි ප්‍රීතියෙන් ඉඳිමු.

එතකොට විජයා   භික්ෂුණියට මෙහෙම හිතුණා.

 " කවුද මෙයා ?  මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක්ද?"  මේ ගාථා කියන්නෙ.

එතකොට  විජයා  භික්ෂුණියට මෙහෙම හිතුණා.

" මේ තමයි පවිටු මාරයා , මාව භය කරවන්ට , තැති ගන්වන්ට , ඇඟේ මවිල් කෙලින් කරවන්ට, සමාධියෙන්  දුරු කරවන්ට කැමති වෙලා තමයි ඔය ගාථා කියන්නෙ"

එතකොට   විජයා  භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, පවිටු මාරයාට  මේ ගාථා පැවසුවා.

"හිත ඇලෙන රූප ශබ්ද , ගන්ධ , රස, ස්පර්ශ තියෙනවා තමයි. ඒයි මාරය , මං ඒව ඔබටම දෙනව. මට ඕවයින් කිසිම වැඩක් නැහැ.".

" බිඳිල යන , වහා නැසිල යන , මේ කුණු සරීරෙ මට එපා වෙලා තියෙන්නෙ. ඒ ගැන මං ලැජ්ජයි. මං කාම තණ්හාව මුළින්ම උදුරලා දැම්ම."

"රූප ලෝක වලත් සත්වයො ඉන්නව. අරූප ලෝක වලත් සත්වයො ඉන්නවා. ශාන්තවූ සමාපත්තියත් තියෙනව. ඒ හැම දෙයක් ගැනම අවිද්‍යා අන්ධකාරය මට දුරු වුනා."


එතකොට පවිටු මාරයා, " මේ විජයා   භික්ෂුණිය මාව දැනගත්තා නෙව"  කියල දුක් වුනා. නො සතුටු වුනා. එහිම  නොපෙනී ගියා.


සාදූ!   සාදූ!!   සාදූ!!!

5 comments:

  1. කැළඹුණු සිත් නිවන තැනකි මේ.අදත් අර්ථවත් වින්දනයක් ලැබුවෙමි.තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. පින්! ගයනි, ඔබ කොතරම් වැඩ තිබුනත් ඇවිත් යන්න එන එක හරියට අගයනවා නංගි. ඔයාගෙත් තෙරුවන් සරණින් සියළු කටයතු සාර්ථක වේවා! කියල පතනවා.

      Delete
  2. එක හුස්මට කියවගෙන යන්න පුලුවන් වෙන තරමට සරල කරල ලියල තියෙන නිසා ලෝභ නැතුව කියවන්න පුලුවන්...නැත්නම් ඇත්තටම මට බර බණ පද කියෙව්වම හිතත් බර වෙනවා නෙව..

    ඔය හැමෝම
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. රතී, ඔබ වැන්නවුන් මේ දේවල් කියවන්න එන එකම හරි වටිනවා. හිත බර කරගන්නෙ අපිමනෙ. හිමිහිට නිදහසේ කියවන විට හොඳින් තේරුම් ගන්න පුළුවන් පැහැදිලි ශ්‍රී සද්ධර්මයක් අපිට තියෙන්නෙ. තෙරුවන් සරණයි! මල්ලි ඔයාටත්.

      Delete
  3. නිවුනු සිතක අපූර්වත්වය ඔබ විසින් ඉතාමත් ලගන්නා අයුරින් සටහන් කර තිබීම ප්‍රශංසනීයයි. කෙලෙස් රහිත සිතක සංහිඳියාව මෙතරම් මනරම්ද???

    ReplyDelete

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...