Showing posts with label බාල වර්ගය.. Show all posts
Showing posts with label බාල වර්ගය.. Show all posts

Monday, May 6, 2024

ජම්බුක තෙරුන්ගේ කථා වස්තුව 70

 මාසේ මාසේ කුසග්ගේන – බාලෝ භුඤ්ජේථ භෝජනං

න සෝ සංඛාතධම්මානං – කලං අග්ඝති සෝළසිං

තණ කොළ අග හොදි තවරා – මසකට එක් වරක් බැගින්
දිව මත තබනා අනුවණ – කෙනා එයට පින් දෙයි නම්
එනමුදු රහතුන් පුදනා – කොතරම් සුලු දෙයක් නමුත්
සොළොස් කලාවෙන් බෙදුවත් – සමකළ නොහැකිමයි එයට


“රහතුන්ට දෙන දේමයි මහානිසංස වන්නේ.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, බොහෝ දෙනෙක් දුරදිග බලන්නේ නෑ. හිතෙන හිතෙන පව් කරනවා. ඒ පව් කිරීමෙන් සතුටුවෙනවා. සමහර පව් අවුරුදු දහස් ගණන්, ලක්ෂ ගණන් විපාක දෙනවා. නිවන් දකින තුරු විපාක දෙනවා. මේ කර්ම විපාක කියල කියන්නේ සිතින් සිතලා ඉවර කරන්නට බැරි මහා අද්භූත දෙයක්.

තමන්ගේ වරදින් කරගත්තු දෙයක් නිසා බොහෝ කලක් සසරේ දුක්වින්ද අවාසනාවන්ත චරිතයක් සසරෙන් එතෙර වෙන්න වාසනාව ලැබූ හැටි කියවෙන කථාවක් තමයි දැන් සඳහන් වෙන්නෙ.

රජගහ නුවර එක්තරා ධනවත් පවුලක සැප සම්පත් පිරුණු පවුලක දරුවෙක් උපන්නා. මේ දරුවා කවදාවත් බත් කෑවෙ නෑ. කුඩා අවදියේ ඉඳන්ම තමන්ගේම අසූචි කන්න පටන්ගත්තා. දෙමව්පියන් කොතෙකුත් උත්සාහ කළත් මේ ළමයාගේ අසූචි කෑම නවත්වන්න බැරිවුණා.

කුඩා අවදියේ ඉඳන්ම ඇඳුමක් අන්ඳවගන්න හරි අමාරුයි. අන්ඳවන අන්ඳවන ඇඳුම ගලවලා දානවා. මේ පොඩි දරුවා සෙලුවෙන්මයි ඉන්නේ. ඒ වගේම මේ දරුවාව ඇඳක නිදිකරවන්න බැහැ. ඇවිත් බිමම නිදියනවා. බිම ඇලවුණොත් විතරයි මේ දරුවාට නින්ද යන්නේ. මෙච්චර කෑම බීම තියෙන, ඇඳුම් පැළඳුම් තියෙන, ඇඳ පුටු තියෙන පවුලක ඉපදුණත් මේ ළමයාට තිබුනෙ මහා ආසාමාන්‍ය දුක්ඛිත ගතිගුණ.

මේ දරුවාට දෙමව්පියන් හරි ආදරෙයි. ඒ නිසා මේ සෑම දෙයක්ම සඟවාගෙන සිටියා. නමුත් හැමදාම සඟවන්න බැහැ. හැඬූ කඳුලින් යුතු දෙමව්පියන් මේ ළමයාගේ ඉරණම ගැන සාකච්ඡා කළා.

“සොඳුර…. අපේ පුතාට මොකද කරන්නේ? මේ ගතිගුණ රට්ටු දැනගත්තොත් අපට වහකන්නයි වෙන්නේ. අපි කොහොමද සමාජයට මුහුණ දෙන්නේ? අපි කොහොමද ගමනක් යන්නෙ? අපි කොහොමද මේ ළමයාගේ අනාගතය හදන්නේ? බත් කටක් කන්නෙ නෑ. තමන්ගේම අසුචි කන්නෙ. ඇඳුමක් අඳින්නෙ නෑ. නිරුවතින්මයි ඉන්නෙ. ඇඳක නිදියන්නෙ නෑ. බිමමයි නිදියන්නෙ. අනේ හැබෑට අපිට මේ මොකද වුණේ…?”

එතකොට මේ දරුවාගේ අම්මා කඳුළු වගුරුවමින් හූල්ල හූල්ල ගොතගහන්න පටන්ගත්තා.

“අනේ දෙවියනේ…. මොන විපතක්ද මේ වුනේ…? මේ ළමයාට මොන කලදසාවක් යාවිද? හිමියනි, මට අදහසක් ඇතිවුණා. අපි මේ දරුවාව නිගණ්ඨ ආරාමයකට භාරදෙමු. උන්දැලාටත් ඇඳුම් නැහැ නොවැ. තියෙන දෙයක් කාලා එතකොටවත් ඉඳීවි.”

“ඒ අදහස නම් යසයි! ඉතින් එතකොටවත් අපේ ළමයා හැදෙන්නෙ නැතෑ.”

දෙමව්පියන් මේ ළමයා රැගෙන නිගණ්ඨයින් ළඟට ගියා.

“පින්වත් නිගණ්ඨයන් වහන්ස, අපේ ළමයා හරීම පින්වත්. සංසාරයේ පුරන ලද මහා ගුණයෙන් යුක්තයි. කිසිම දේකට ආසාවක් නෑ. රසවත් ආහාර පානයකට ආසාවක් නෑ. ලස්සන ඇඳුමකට ආසාවක් නෑ. ඇඳ පුටු මේසයකට ආසාවක් නෑ. ඔබවහන්සේලාගේ ගතිගුණවලට මේ දරුවා හොඳටම සෑහෙනවා. පොඩි වුණාට පින්කඳක්!”

නිගණ්ඨයින්ට හරි සතුටුයි. දරුවව ළං කරගත්තා. ඔළුව අතගෑවා. ආදරයෙන් කතා කළා.

“බොහෝම හොඳ පුතෙක් වගෙයි. හැබැයි ඇඟ පත කෙට්ටුවෙලා මාන්දම් ගතියක් තියෙන්නෙ මොකද? කුඩා අවදියේ ඉඳන් රූක්ෂ තපස් පුරන්න පෙරුම් පුරාගෙන ආපු දරුවෙක් වෙන්න ඇති. ඔහොම තමයි…. ඔහොම තමයි…. පින් ඇති උදවිය අපි ළඟට කැරකිලා එනව නොවැ.”

ඉතින් දෙමව්පියන් මේ දරුවාව සතුටින් භාර දුන්නා. නිගණ්ඨයින් මේ දරුවාට තපස් රකින හැටි ඉගැන්නුවා. තනි කකුලෙන් හිටගෙන ඉන්න හැටි ඉගැන්නුවා. තනි කකුලෙන් හිටගෙන අනිත් කකුල නවාගෙන කලවට තද කරගන්නවා. මේ විදිහේ නොයෙක් තපස් ක්‍රම ඉගැන්නුවා. දවස් ගණන් නොනා ඉන්න හැටි ඉගැන්නුවා.

මේ ළමයා හැම දෙයක්ම ඉක්මනින් ඉගෙන ගත්තා. හැබැයි නිගණ්ඨයින් අතරේ කසු කුසුවක් ඇතිවුණා.

“ඒකයැ භවත්නි, මේ ආපු කොලු පැටියා මහා අද්භූත සත්වයෙක් නොවැ. කිසි දෙයක් කන්නෙ නැහැ. කොහොමද මෙයා ජීවත් වෙන්නේ? ඒ වගේම හරිම දක්ෂයි. හැම තපස් ක්‍රමයක්ම කියල දෙන විදිහටම ඉගෙන ගන්නවා. සමහර විට දෙවියන්ගේ ආනුභාවය වෙන්න ඇති. මේ ළමයා කොහොමද මෙහෙම නොකා නොබී ඉන්නේ. කෑවෙ නෑ කියලා කිසි අමුත්තක් නෑ නොවැ.”

“නෑ…. මේකෙ මොකක් හරි රහසක් ඇති. මං මේක හොයාගන්නම්.”

දවසක් එක නිගණ්ඨයෙක් මේ දරුවා ඉන්න තැන සැඟවී හිටියා. රාත්‍රී එකට පමණ මේ ළමයා කරුවලේම නැගිට්ටා. කරුවලේම පිටත් වුණා. අර නිගණ්ඨයා හොරෙන් හොරෙන් පිටිපස්සෙන් ගියා. මේ ළමයා වටපිට බල බල සැකෙන් සැකෙන් අඩි තිය තිය හොර ගමනක් යනවා. ඒ පස්සෙන් නිගණ්ඨයත් ගියා. මෙයා නැවතුණේ ඒ ගම පිටිපස්සේ ඇති වැසිකිළි වල ළඟයි. එතන තමයි මිනිසුන් වැසිකිළි කරන්නේ.

එතනට ගිය මේ ළමයා අර අසුචි කාගෙන කාගෙන ගියා. තොල කට ලෙවකාලා අතපිහදාලා සෝදගෙන ආපහු හැරිලා ආවා. මේ තැනැත්තාගේ අසුචි අනුභවය නිගණ්ඨ ආරාමයේ සියලු දෙනා දැනගත්තා.

දැන් මොකද කරන්නේ? නිගණ්ඨයින් හොඳටම කලබල වුණා.

“හපොයි…! හපොයි…! මේකා හිටියොත් අපිත් විනාසයි. දෙමව්පියො කිව්වෙ මහා පින්වන්තයෙක් කියලයි. අපිත් හිතුවෙ එහෙම නෙව. මේ පුද්ගලයා අසුචි අනුභව කරලයි ජීවත් වෙන්නෙ. මේක දැනගත්තොත් අපට මේ ප්‍රදේශය දාලා යන්න වෙයි” කියල නිගණ්ඨයන් අර පුද්ගලයාව එළෙව්වා.

දැන් මෙයාට යන එන මං නෑ. තනියම කල්පනා කළා.

‘ඔව්… මං දැන් තපස් ක්‍රම දන්නවා. මට අසුචි නොකා ඉන්න බැහැ. බත් දකින කොට අප්පිරියයි. ඉතින් මං කොහොමද බත් කන්නෙ? දැන් මට කරන්න තියෙන්නෙ එක දෙයයි. මං තනියම ජීවත් වෙනවා. මට හොඳට තපස් කරන්න පුළුවන්. මං මිනිස්සුන්ට තපස් කරලා පෙන්නනවා. එතකොට මිනිස්සු දැනගනීවි මං මහා ආනුභාව සම්පන්න කෙනෙක්ය කියලා. එතකොට කාටවත් මාව එළවන්න බැහැ’ කියලා මොහු එක්තරා ගල්තලාවක් මතට නැග්ගා. නැගලා දවසම තනි කකුලෙන් හිටගෙන ඉන්නවා.

කඳු ගැටයකට අත්දෙක තියාගෙන උඩු අත බලාගෙන කට ඇරගෙන ඉන්නවා. අමුතුම විදිහේ තපස් කරන කෙනෙක් මෙහෙ ඉන්නවා කියලා ආරංචි වුණා. ඔහුගේ නම ‘ජම්බුක’ නමින් ප්‍රසිද්ධ වුණා. මිනිස්සු මේ තාපසයාව බලන්න දුර ඉඳල එන්න පටන් ගත්තා. මිනිස්සු අහනවා,

“තමුන්නාන්සේ ඇයි පොළොවට කකුල් දෙකම තියන්නේ නැත්තෙ?”

“නුඹලා මොනවා කියනවද? මං මේ කකුල් දෙකම පොළොවේ තිබ්බොත් මහා පොළොව සෙලවී යාවි. කඳු පර්වත පෙරලේවි. කම්පා වේවි. මහා පොළොවට එහෙම උහුලගන්න පුළුවන්කමක් නෑ.”

එතකොට මිනිස්සු පුදුමයෙන් වගේ බලාගෙන සාදු නාද දුන්නා. මහා බලසම්පන්න උත්තමයෙක් ආවා කියලා වැඳ වැටුණා. මිනිස්සු තවත් ප්‍රශ්න කළා.

“පින්වත් මහා තාපසයන් වහන්ස, තමුන්නාන්සේ මොකද උඩ බලාගෙන කට ඇරගෙන ඉන්නෙ?”

“ඔව්… නුඹලා බොහොම වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. නුඹලාට තේරෙනවාද සුළං හමනවා?”

“එහෙමයි. අපට තේරෙනවා.”

“මං මෙහෙම කට ඇරගෙන ඉන්න කොට අන්න ඒ සුළඟ මගේ කුසට ඇතුල් වෙනවා. ඒක තමයි මගේ ආහාරය. හහ්… හහ්… හා…! සුළං වලින් ජීවත් වෙන වෙන කවුරුවත් නුඹලා දැකලා තියෙනවද?”

එතකොට මිනිස්සු භයෙන් තැතිගත්තා. මේ පුදුමාකාර තාපසයා ඉදිරියේ වැඳවැටුණා. මිනිස්සු කතා වුනා.

“මේ වගේ උතුම් කෙනෙකුට දානෙ ටිකක් දෙන්න ඇත්නම් කොයිතරම් හොඳද?” කියලා අති ප්‍රණීත වූ ආහාර පාන පිළියෙල කරගෙන ගිහින් මේ තාපසයා ඉදිරියේ දණගහගෙන ඒ භාජන ඔසවාගෙන හිටියා.
“අනේ… උතුම් තාපසයන් වහන්ස, අප කෙරෙහි අනුකම්පාව උපදවා මේ දානයෙන් බිඳක්වත් වළඳන සේක්වා!”

එතකොට ජම්බුක ආජීවකයා මෙහෙම කියනවා.

“ආහාරයෙන් මට වැඩක් නැතිබව නුඹලා දන්නවා නෙව. හොඳා! නුඹලා කෙරෙහි අනුකම්පාවෙන් මං යම් උපකාරයක් කරන්නම්. අන්න අර තණ කොළ ගහ ගලවගෙන වරෙන්….. ඕන්න බලාපන්… මේ වෑංජනවල මේ තණකොල ගහ ගෑව්වා…. ඔන්න බලාපන්… මං යාන්තං දිවේ තැවරුවා….. හරි… දැන් හරි…. දැන් අරගෙන පලයල්ලා. නුඹලාට හිතන්න බැරි තරම් පිනක් අයිති වුණා.”

මිනිස්සු සාදුකාර දුන්නා. වැඳ වැටුණා. පින් දිදී පිටත් වුණා.

රාත්‍රියට ජම්බුක ආජීවකයා කකුල් දෙක පොළොව උඩ තියලා කට පියාගන්නවා. හොරෙන් හොරෙන් අඩි තියලා පිටත් වෙනවා. ඒ යන්නේ මිනිසුන්ගේ අසූචි දමන බෑවුමටයි. එතනට ගිහින් අර අසුචි කාගෙන කාගෙන යනවා. හොඳට බඩ පිරෙන්න කනවා. ඊට පස්සේ වගක් නැතුව නොදන්නවා වගේ ආපහු ඇවිත් ඉන්නවා.

මේ විදිහට මොහුගේ ජීවිතය පනස් පස් අවුරුද්දක් ගෙවුණා. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් රාත්‍රී වෙලාවක මෙතනට වැඩියා. වැඩලා “පින්වත් ජම්බුක” කියලා ජම්බුක ආජීවකයා ඇමතුවා. එතකොට ජම්බුක තාපසයාට කේන්ති ගියා.

“මට නම කියලා කතා කරන්න පුළුවන් ජගතෙක් තුන් ලෝකයේම නෑ. ඔබ කවුද?” කියලා ඇහුවා.

“මම ශ්‍රමණයෙක්. මට අද රාත්‍රියේ මෙහෙ නවතින්න ඕන.”

එතකොට ජම්බුක ආජීවකයා නවාතැන් දෙන්න කිසිසේත්ම කැමැති වුණේ නෑ. නැවත නැවත කරුණු කියලා කැමැත්ත ගත්තා. ඒ පර්වතයට පහළින් නවතින්න අවසර දුන්නා.

රාත්‍රී ප්‍රථම යාමයෙහි සතර වරම් දෙව් මහරජ දරුවන් මුළු මහත් පර්වතය බබුළුවාගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නට පැමිණියා. මධ්‍යම යාමයෙහි සක්දෙව් රජු පැමිණියා. පශ්චිම යාමයෙහි දස දහසක් සක්වල එළිය කරගෙන මහා බ්‍රහ්ම රාජයා පැමිණුනා.

මෙය දුටු ජම්බුක ආජීවකයාගේ මාන්නය දුරුවුණා. දමනය වුණා. නැමුණු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වන්දනා කළා. වන්දනා කොට වාඩිවුණා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ජම්බුක ආජීවකයාගේ අතීත ජීවිතය හෙළිදරව් කළා.

“පින්වත් ජම්බුක, ඔබ අවුරුදු පනස් පහක් තිස්සේ ජීවත් වුණේ ආහාරයක් නැතුව කියල නේද මිනිස්සු හිතාගෙන ඉන්නෙ? ඔබ මිනිස්සුන්ට කියන්නෙත් ඔහොම නේද? පින්වත් ජම්බුක, ඔබ ඔය අසූචි කන්න පටන්ගත්තේ ඔබේම වරදක් නිසයි. ඒ වරද ඔබ කළේ අද ඊයෙ නොවෙයි.

පින්වත් ජම්බුක, කාශ්‍යප නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වුණා. ඒ කාලෙ ඔබ ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වූ භික්ෂුවක්. අවුරුදු විසිදාහක් ආයුෂ තිබුණු ඔබ හොඳට සිල් රැක්කා. නමුත් කෙලෙස් දුරුකරන්න මහන්සි ගත්තෙ නෑ. ඔබ තුළ තිබුණු ඊර්ෂ්‍යාව නිසයි ඔබට මේ විපත වුණේ.

ඉතින් ඔබ ගමක පන්සලක වාසය කළා. සැදැහැවතුන් ඔබට ආදර ගෞරවයෙන් උපස්ථාන කළා. දවසක් ඒ පන්සලට තව භික්ෂුවක් වැඩියා. ඒ භික්ෂුව රහතන් වහන්සේ නමක්. ඔබ එය හිතුවේ නෑ. ඒ භික්ෂුව කෙරෙහි පැහැදුණෙත් නෑ. ඔබ පැහැදිලා හිටියේ ඔබට ලැබෙන සත්කාර සම්මාන ගැන විතරයි.

ඉතින් එක් දායකයෙක් අර භික්ෂුවගේ ගුණ ඔබ ඉදිරියේ කියන්න ගත්තා. ඔබට ඒ ගැන ඊර්ෂ්‍යාව ඇතිවුණා. දවසක් ඒ දායකයා අර භික්ෂුවට සිවුරක් පූජා කළා. ඔබට ඒ ගැනත් ඊර්ෂ්‍යාවක් ඇතිවුණා. දවසක් ඒ දායකයා කැමැත්තෙන්ම ඇවිත් කරණවෑමියෙක් ලවා ඒ භික්ෂුවගේ හිස බෑවා. ඔබට තවත් ඊර්ෂ්‍යාව ඇතිවුණා. ඔබ ඒ භික්ෂුවට නින්දා කරන්න පටන් ගත්තා.

“හහ්! ඔහේ කවුද මෙහෙට රිංගගෙන මගේ දායකයො අල්ලගන්න? මේ දායකයින්ටත් පිටස්තර භික්ෂුවක් දැක්ක ගමන් ඒකවමයි ලොකු වෙන්නෙ. ඔහේ මගේ දායකයින්ගේ දානෙ වළඳනවට වඩා හොඳයි අසූචි කෑව නම්. ඔහේ ඔය සිවුරු පොරෝනවට වඩා හොඳයි සෙළුවෙන් හිටිය නම්. මහ ලොකුවට කරණවෑමියන් ලවා හිස බාවගත්තා. ඔයිට වඩා හොඳයි තල් ඇට දෙකකින් තද කොට ඔය කෙස් උදුරගත්තා නම්.”

ඊට පස්සේ පින්වත් ජම්බුක, ඒ අරහත් භික්ෂුව ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඒ පන්සල දාලා ගියා. ඔබ මරණින් මතු නිරයේ උපන්නා. බොහෝ වර්ෂ ගණනක්, වර්ෂ දහස් ගණනක්, ලක්ෂ ගණනක් නිරයේ දුක්වින්ඳා. දැන් ඔබ ඒ කර්මයේ ඉතිරි විපාකත් විඳිනවා. ඔබ තවමත් අසූචි කනවා. තවමත් සෙළුවෙන් ඉන්නවා. තවමත් කෙස් උදුරනවා. පින්වත් ජම්බුක, දැන් ඉතින් දුක් වින්ඳා ඇති.”

එතකොට ජම්බුක ආජීවකයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත්වුණා. බුදුරජාණන් වහන්සේ ජම්බුකට චතුරාර්ය සත්‍යය දේශනා කළා. ජම්බුක සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත්වුණා.

බුදුරජාණන් වහන්සේ වැඩම කළ බව දැනගත් පොදු ජනයා පසුදින උදේ වැල නොකැඩී එන්න පටන් ගත්තා. ජම්බුක ආජීවකයාට පැහැදුණු බොහෝ දෙනෙක් හිතුවේ බුදුරජාණන් වහන්සේ ජම්බුකගේ ගෝලයෙක් වූ බවයි. ඒ පිරිස ඇවිදින් බුදුරජාණන් වහන්සේ දෙස බලනවා, ජම්බුක දෙස බලනවා. එවේලෙහි ජම්බුක ආජීවකයා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටුණා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මාගේ ශාස්තෘන් වහන්සේ ඔබවහන්සේ ය. මං වනාහී ශ්‍රාවකයා වෙමි” කියලා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ දකුණු ශ්‍රී හස්තය දිගුකොට ජම්බුක ආජීවක ඇමතුවා.

“පින්වත් භික්ෂුව, එන්න. මේ ශාසනයේ තුළ මනාකොට දේශනා කළ ධර්මයක් තියෙන්නෙ. දුක් කෙළවර කිරීම පිණිස දහමේ හැසිරෙන්න” කියල වදාළා.

එතකොට ජම්බුකගෙන් හිස කෙස් රැවුල් නොපෙනී ගියා. සෙළුවත් නොපෙනී ගියා. මනා කොට සිවුරු හැඳ පොරවා ගත් පාත්‍රය අතට ගත් උපශාන්ත භික්ෂුවක් පෙනී සිටියා. මිනිසුන් සියලු දෙනා සාදුකාර දුන්නා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ දේශනාව අවසානයේ ජම්බුක භික්ෂුව අරහත්වයට පත්වුණා. ඔහුගේ තපස් ජීවිතය ගැන පිරිස අතරේ කතාබහක් ඇතිවුණා.

ඒ කතාව අරභයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය වදාළා.

පින්වත් දරුවනේ, මෙයින් පෙනෙන්නේ අපි යමක් පූජා කරද්දී එය අවබෝධයෙන් කළ යුතු බවයි. කෙනෙක් ප්‍රසිද්ධ වූ පමණින් රූක්ෂ තපස් පිරූ පමණින් ඔහුට පිදූ දෙය මහත්ඵල මහානිශංස වෙන්නේ නෑ. ඒ වගේම කෙනෙක් භික්ෂුවකගේ වේශයෙන් සිටි පමණින් ඔහුට පිදූ දෙයත් මහත්ඵල මහානිශංස වෙන්නේ නෑ. මෙතන පෙන්වා දෙන්නේ රහතුන්ට පුදන දෙය මහත්ඵල මහානිශංස වන බවයි.
සාමාන්‍යයෙන් රහතන් වහන්සේ හඳුනාගන්න එක ලේසි නෑ. ඒ නිසා අප කළ යුත්තේ භික්ෂූන් වහන්සේලාට දෙනවා නම් පුද්ගලික හිතවත්කම් මුල්කර නොගෙන ආර්ය සංඝයා උදෙසා දන්දීමයි. එතකොට දානයෙන් ලැබෙන සැබෑම පින අපට ලැබෙනවා.

Mase mase kusaggena
balo bhunjeyya bhojanam
na so sankhatadhammanam
kalam agghati solasim.

Verse 70: Even though, month after month, the fool (living in austerity) takes his food sparingly with the tip of a grass blade, he is not worth even one-sixteenth part of those who have comprehended the Truth (i.e., the ariyas).


The Story of Thera Jambuka

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (70) of this book, with reference to Thera Jambuka.

Jambuka was the son of a rich man in Savatthi. Due to his past evil deeds he was born with very peculiar habits. As a child, he wanted to sleep on the floor with no proper bed, and to take his own excreta for food instead of rice. When he grew older, his parents sent him to the Ajivakas, the naked ascetics. When those ascetics found out about his peculiar food habits they drove him away. At nights he ate human excreta and in the day time stood still on one leg and kept his mouth open. He used to say that he kept his mouth open because he only lived on air and that he stood on one leg because it would otherwise be too heavy for the earth to bear him. "I never sit down, I never go to sleep," he boasted and on account of this, he was known as Jambuka, a 'jackal'.

Many people believed him and some would come to him with offerings of choice food. Then Jambuka would refuse and say, "I do not take any food except air." When pressed, he would take just a little of the food with the tip of a blade of grass and say, "Now go, this little will give you enough merit." In this way, Jambuka lived for fifty-five years, naked and taking only excreta.

One day, the Buddha saw in his vision that Jambuka was due to attain arahatship within a short time. So, in the evening, the Buddha went to where Jambuka was staying and asked for some place to spend the night. Jambuka pointed out to him a mountain-cave not far from the stone slab on which he himself was staying. During the first, second and third watches of the night, the Catumaharajika devas, Sakka and Mahabrahma came to pay homage to the Buddha in turn. On all the three occasions, the forest was lit up and Jambuka saw the light three times. In the morning, he walked over to the Buddha and enquired about the lights.

When told about the devas, Sakka and Mahabrahma coming to pay homage to the Buddha, Jambuka was very much impressed, and said to the Buddha, "You must, indeed, be a wonderfully great person for the devas, Sakka and Mahabrahma to come and pay homage to you. As for me, even though I have practised austerely for fifty-five years, living only on air and standing only on one leg, none of the devas, nor Sakka, nor Mahabrahma has ever came to me" To him, the Buddha replied, "O Jambuka! You have been deceiving other people, but you cannot deceive me. I know that for fifty-five years you have been eating excreta and sleeping on the ground."

Furthermore, the Buddha explained to him how in one of his past existences during the time of Kassapa Buddha, Jambuka had prevented a thera from going with him to the house of a lay-disciple where alms-food was being offered and how he had also thrown away the food that was sent along with him for that thera. It was for those evil deeds that Jambuka had to be eating excreta and sleeping on the ground. Hearing that account, Jambuka was horrified and terror-stricken, and repented for having done evil and for having deceived other people. He went down on his knees and the Buddha gave him a piece of cloth to put on. The Buddha then proceeded to deliver a discourse; at the end of the discourse Jambuka attained arahatship and joined the Buddhist Order on the spot.

Soon after this, Jambuka's pupils from Anga and Magadha arrived and they were surprised to see their teacher with the Buddha. Thera Jambuka then explained to his pupils that he had joined the Buddhist Order and that he was now only a disciple of the Buddha. To them, the Buddha said that although their teacher had lived austerely by taking food very sparingly, it was not worth even one-sixteenth part of his present practice and achievement.

Then the Buddha spoke in verse as follows:

Verse 70: Even though, month after month, the fool (living in austerity) takes his food sparingly with the tip of a grass blade, he is not worth even one-sixteenth part of those who have comprehended the Truth (i.e., the ariyas).


Wednesday, February 16, 2022

ධම්ම පදය බාල වර්ගය 69

 මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති

යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති

තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ
පවිටු බාලයා සිතන්නේ – මී පැණි සේ මිහිරි ලෙසයි
එහෙත් අහෝ! යම් දිනෙකදි – පල දෙනවිට ඒ පව්කම්
එවිටයි බාලයා එයින් – බොහෝ දුකට පත්වන්නේ


“කරන කලට පව් මිහිරිය මී සේ – විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ”

පින්වතුනේ, පින්වත් දරුවනේ, රාගය කියන්නේ හරි භයානක දෙයක්. රාගයෙන් හිත ඇවිස්සුණාම හොඳ නරක මොකුත් තේරෙන්නේ නෑ. වැරැද්ද නිවැරැද්ද තේරෙන්නේ නෑ. යහපත අයහපත තේරෙන්නේ නෑ. දුර දිග බලන්නෙ නෑ. කොහොම හරි කල්පනා කරන්නේ තමන් සිතපු දේ ඉෂ්ට කරගන්නයි. අන්තිමේදී රාගයට යට වූ සිතින්, කයින්, වචනයෙන් දුශ්චරිතයේ යෙදිලා මරණින් මත්තේ නිරයේ උපදිනවා. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ රාගය ප්‍රහාණය කරන්න කියලා වදාළේ.

එවැනි අවාසනාවන්ත ඉරණමක් කරා ගිය පුද්ගලයෙකුගේ පහත් ක්‍රියාවක් ගැන මේ කථාවේ සඳහන් වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ සැවැත් නුවර සිටු පවුලක ඉතාම රූබර දියණියක් හිටියා. නිල් මහනෙල් මලේ පැහැය තමයි ඇයට තිබුණේ. ඒ නිසා ඇයට උප්පලවණ්ණා කියන නම ලැබුණා. ඇගේ දෑස් මහනෙල් පෙති වගෙයි. රන්වන් කේශ කලාපයක් තිබුණා. ඇය ඉතාමත්ම ලස්සනයි. සෝභාසම්පන්නයි. ඇයගේ රූප සෞන්දර්යය ගැන මුළු දඹදිවම ප්‍රසිද්ධ වුණා. එතකොට සිටුවරු ඒ සිටුපවුලට තෑගි සහිතව පඬුරු එව්වා. අපට මේ දියණිය දෙන්න කියලා.

එතකොට සිටුතුමා මෙහෙම කල්පනා කළා.

“මේක හරි ප්‍රශ්නයක් නෙව. එක සිටුවරයෙකුට අපගේ දියණිය දුන්නොත් අනිත් සිටුවරු අමනාප වෙනවා. සියලු දෙනාම සතුටු කරන්න බැහැ…. එතකොට මං මොකක්ද මේකට කරන්නේ? ඔව්…. එකම දෙයයි මට මේකට කරන්න තියෙන්නේ. එකම පිහිට බුද්ධ ශාසනය විතරයි. මං මේ දරුවාව මහණ කරනවා. එතකොට ඒ ප්‍රශ්න මොකවත් නෑ.”

ඉතින් එදා සිටුතුමා දියණිය කැඳෙව්වා.

“පින්වත් දුවේ, ඔයා ගොඩාක් තරුණයි. සිටුවරු පඬුරු එවනවා. තම තමන්ගේ සිටු මාළිගයට ඔයාව එවන්න කියලා. හැබැයි දරුවෝ, මේ සිටු මාළිගාවල ඇති නිසරු ජීවිතවලින් පලක් නෑ. ඇත්තෙන්ම….. මං ….. කැමති ඔයා සිටුමාළිගයක කම් සැප විඳිමින් වාසය කරනවා දකින්න නොවෙයි. ඇත්තෙන්ම …… මං කැමති ඔයා බඹසර රකිනවා දකින්නයි. ඔයා ඔය හිස බාලා, ඔය කනකර ආබරණ ගලවලා, ඇඳුම් ආයිත්තම් ඉවත් කරලා, පඬු පොවාපු කසාවතක් දරාගෙන පිඬු සිඟා යනවා දකින්නයි මං කැමති.

එතකොට දරුවෝ ඔයාට පුළුවනි නිදහසේ ශාක්‍ය දුහිතෘ වූ භික්ෂුණීන් අතරට ගිහින් වීතරාගීව වාසය කරන්න. එතකොට ඔයාට පුළුවනි කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් යුතු සමාධිමත් සිතකින් වාසය කරන්න. මගේ පින්වත් දුවේ, මං කැමති ඔයා සසරේ යනවට නොවෙයි. සසරෙන් එතෙර වෙනවටයි.”

එතකොට උප්පලවණ්ණා කුමරිය සිටු පියාණන්ගේ දෙපා අල්ලාගෙන වැඳ වැටුණා.

“පියාණන් වහන්ස, ඔබ කිව්වේ ඇත්තක්මයි. ඒකාන්තයෙන්ම එය ඇත්තක්මයි….. පියාණන් වහන්ස, මං මේ කාම ජීවිතයට කැමැති නැහැ. මට කිසි ආසාවක් නැහැ. මං කැමැති හිස බාලා සිවුරු දරාගෙන පාත්‍රයක් අතට අරගෙන භික්ෂුණීන් අතරට යන්න තමයි.”

ඉතින් උප්පලවණ්ණා කුමරිය මව්පියන්ගේ ආශිර්වාදයෙන් භික්ෂුණී ආරාමයකට ගියා. පැවිදි වුණා. පැවිදි වී සුළු කලෙකින් ඉර්ධිබලයෙන් යුතු මහානුභාව සම්පන්න රහත් මෙහෙණින් වහන්සේ නමක් වුණා.
ඉතින් ඕ තොමෝ ජනපද චාරිකාවේ වැඩමකොට ආයෙමත් සැවැත් නුවරට වැඩියා. ඒ කාලෙ අන්ධවනයේ තමයි බොහෝ භික්ෂුණීන් භාවනා කරන්න යන්නේ. ඒ අන්ධවනයේමයි භික්ෂුණීන්ට කුටි තිබුණේ. හුදෙකලාවෙහි ඇලී වාසය කළ උප්පලවණ්ණා භික්ෂුණිය ඈත වනයේ තනියම සිටින්න හරිම ආසයි. ඉතින් ඈ පුංචි පැල්පතක හුදෙකලාව වාසය කළා. වනය මැදින් හුදෙකලාවේ පිණ්ඩපාතේ වැඩියා. ගස් යට හුදෙකලාවේ භාවනා කළා. අහස වගේ නිදහස් සිතින් වාසය කළා.

උප්පලවණ්ණා භික්ෂුණියගේ මාමාගේ පුතෙක් හිටියා. උප්පලවණ්ණාට මස්සිනා වෙනවා. මොහුගේ නම නන්ද. ගිහි කාලෙ මේ නන්ද කියන පුද්ගලයාට උප්පලවණ්ණා කුමරිය විවාහ කරගන්න වුවමනාවක් තිබුණා. ඒ ගැන තමයි මේ නන්ද කියන පුද්ගලයා හිත හිතා හිටියේ. උප්පලවණ්ණා කුමරිය මහණ වුණත් මේ පුද්ගලයාගේ සිතේ ඇති අදහස අත්හැරියේ නෑ. අන්තිමේදී මේ පාපිෂ්ටයා කල්පනා කළේ කොහොමහරි මං ඇයව දූෂණය කරනවා කියලා. ඇය සිවුරු පෙරෙව්වත් නැතත් මට ඒක වැඩක් නෑ කියලා හිතුවා.

දවසක් මොහු අන්ධවනයට රිංගුවා. වන ගොමුවක් අස්සේ හැංගිලා හිටියා. උප්පලවණ්ණා අරහත් භික්ෂුණිය බිමට නැඹුරු වූ ශාන්ත දෙනෙතින් ඉතා සිහි නුවණින් යුතුව කුටියෙන් එළියට වැඩියා. දොර අඩවල් කළා. පාත්‍රය අතට ගෙන පිණ්ඩපාතේ වැඩියා.

එදා ටිකක් ඈතට වැඩියා. දානෙ ස්වල්පයයි ලැබුණේ. එය අරගෙන හෙමින් හෙමින් ආපහු කුටියට වැඩියා. එතුමියට ටිකක් මහන්සියි. කුටියට ඇවිදින් පාත්‍රය බිමින් තිබ්බා. ඇඳේ හාන්සි වුණා. දෑස පියාගත්තා. මහන්සිය නිවෙනකම් චිත්ත සමාධියෙන් සංසුන්ව හිටියා.

එතකොටම දැඩි පුරුෂයෙක් කුටිය ඇතුළට කඩා පැන්නා. දොර වැහුවා. මේ අරහත් භික්ෂුණීන් වහන්සේගේ ඇඟ මතට වැටුණා. යකඩ අඬුවකට අහුවුණා වගේ උප්පලවණ්ණා භික්ෂුණිය අසරණ වුණා.
“අසත්පුරුෂ තැනැත්ත, වැනසෙන්න එපා! අඥාන බාලය, වැනසෙන්න එපා!”

කියල නැගිටින්න වෑයම් කරද්දි මේ පවිටු අසත්පුරුෂයා තමන් හිතාගෙන පැමිණි කාරණය ඉෂ්ට කරගත්තා. මහා ජයග්‍රාහී ලීලාවෙන් හිනාවෙන්න පටන්ගත්තා.

“උප්පලවණ්ණා, නුඹට මතකද ඒ කාලෙ මං උඹට ආදරෙන් හිටිය වග” කියලා හයියෙන් හිනා වුණා. එළියට පිටත් වුණා. එළිපත්තෙන් පිටට අඩිය තිබ්බා විතරයි මහ පොළොව දෙබෑ වුණා. ගිනිදැල් මතුවුණා. පණපිටින්ම ගිලා බැස්සා. අවීචි මහා නිරයේ උපන්නා.

උප්පලවණ්ණා රහත් මෙහෙණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන වැඩියා. වැඩම කොට මේ කාරණය සැළකළා. එවෙලේ භික්ෂු භික්ෂුණී පිරිස මැද බුදුරජාණන් වහන්සේ උප්පලවණ්ණා භික්ෂුණිය ගෙන් මෙහෙම ඇහුවා.

“පින්වත් උප්පලවණ්ණා, අර පවිටු පුද්ගලයා අනතුරු කරද්දී ඔබට සිතුණේ කුමක්ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මං සතර සතිපට්ඨානය තුළ හිටියේ. මගේ සිත මේ ඇසටවත්, කනටවත්, නාසයටවත්, දිවටවත්, කයටවත්, සිතටවත් සම්බන්ධ වෙලා තිබ්බේ නෑ. කපා දැමූ කෙහෙල් කඳක් වගෙයි මං හිටියේ. මට කිසිම හැඟීමක් නෑ. මං අහසට පොළොව වගේ ඈත් වෙලා හිටියේ. මගේ සිත මේ කිසි දේකට සම්බන්ධ නෑ. රාගය කියන්නේ කුමක්ද කියලා මට තේරෙන්නේ නෑ. එය මගේ සිතෙන් බැහැර වූ දෙයක්”

එවේලෙහි බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා


 ඒ නිසා සතුට ප්‍රීතිය සොම්නස ඇතිවුණාය කියලා පව් කරන්න යන්න එපා. පවිටු පුද්ගලයා පව් කරද්දී සිතන්නේ තමන් මහා උදාර දෙයක් කරනවා කියලයි. ඒක එයාට මී පැණි වගේ රසවත්. ඒ රසය තියෙන්නේ ඒ පව් විපාක නොදී තියෙනකම් විතරයි. යම් වෙලාවකදී ඒ පව් විපාක දෙන්නට පටන්ගත් විට බාලයාට තේරේවි පව් කොතරම් භයානකද කියලා. කෙළවරක් නැති දුකකට පත්වෙලයි ඉවර වෙන්නේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The Story of Theri Uppalavanna

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (69) of this book, with reference to Theri Uppalavanna.

Once there was a young daughter of a rich man in Savatthi. Because she was so beautiful, with looks so tender and sweet, like a blue lotus flower, she was called "Uppalavanna", the blue lotus. The fame of her beauty spread far and wide and there were many suitors: princes, rich men and many others. But she decided that it would be better for her to become a bhikkhuni, a female member of the Buddhist Order. One day, after lighting a lamp, she kept her mind fixed on the flame and meditating on the fire kasina (object of concentration) she soon achieved Magga Insight and finally attained arahatship.

Some time later, she moved to the 'Dark Forest' (Andhavana) and lived in solitude. While Theri Uppalavanna was out on her alms-round, Nanda, the son of her uncle, came to her monastery and hid himself underneath her couch. Nanda had fallen in love with Uppalavanna before she became a bhikkhuni; his intention obviously was to take her by force. When Uppalavanna returned she saw Nanda and said, "You fool! Do no harm, do not molest." But he would not be stopped. After satisfying himself, he left her. As soon as he stepped on the ground, the earth opened wide and he was swallowed up.

Hearing about this, the Buddha spoke in verse as follows:

Verse 69: As long as the evil deed does not bear fruit, the fool thinks it is sweet like honey; but when his evil deed does bear fruit, the fool suffers for it.

At the end of the discourse, many attained Sotapatti Fruition.

The Buddha next sent for King Pasenadi of Kosala and told him about the dangers that bhikkhunis living in forests had to face from irresponsible persons obsessed with sex. The king then promised to build monasteries for bhikkhunis only in towns or close to the towns.



Saturday, December 18, 2021

ධම්ම පදය බාල වර්ගය - 67 ගාථාව

 



න තං කම්මං කතං සාධු – යං කත්වා අනුතප්පති

යස්ස අස්සුමුඛෝ රෝදං – විපාකං පටිසේවති

කළ විට යම් පවක් යමෙක් – පව් පල දෙයි නම් එ්කෙන්

එවිට හඬා කඳුළු මැදින් – දුකට වැටෙයි නම් එපවින්

කිසි දිනකදි එබඳු පවක් – කිරීම හොඳ දෙයක් නොවෙයිි

“පසුතැවෙන දේ කරන්න එපා!”

පිවතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයට කරදර ඇතිවෙන්නේ සිහිනෙකින්වත් හිතපු නැති විදිහටයි. එතකොට බොහෝ දෙනෙක් අන්ත අසරණ බවට පත්වෙනවා. එ් හේතුවෙන්ම අනන්ත අප‍්‍රමාණ දුකට පත්වෙනවා. තමන් නිර්දෝෂීව සිටිද්දී නොකළ වරදට හසුවෙලා නින්දා විඳින අය කොච්චර ඉන්නවාද? දඬුවම් විඳින අය කොච්චර ඉන්නවාද? දුකට වැටෙන අය කොච්චර ඉන්නවාද?

මේ කථාවත් එහෙම එකක්. නොකළ වරදකට හසු වූ අසරණ ගොවියෙක් ගැනයි මේ කථාව.

සැවැත් නුවරට නුදුරින් කුඹුරු යායක් තිබුණා. දවසක් සොරු රංචුවක් එක්තරා සිටුවරයෙකුගේ ගෙයක් බින්ඳා. රන් රිදී ආභරණ සොරකම් කළා. කුඹුරට වතුර බෙදන සොරොව්ව පැත්තෙන් ඇවිදින් කුඹුරට ආවා. එකිනෙකාට භාණ්ඩ බෙදා ගත්තා. එතකොට එක හොරෙක් එ් හොරුන්ටත් වංචා කරලා කහවණු දහසක් වටිනා තැල්ලක් තමන්ගේ ගොඩට දාගත්තා. එකිනෙකා විසිරිලා යද්දී අර තැල්ල මේ හොරාගෙ මල්ලෙන් වැටුණා. හොරා එ්ක දැක්කෙ නෑ. පිටත් වෙලා ගියා.

පසුවදා බුදුරජාණන් වහන්සේ මහා කාරුණික බුදුනෙතින් ලොව බලද්දී අසරණ අහිංසක ගොවියෙක් නිස්කාරණේ විශාල විපතක වැටෙනවා කියලා දැක්කා. දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේට මෙය වදාළා.

“පින්වත් ආනන්ද, සැවැත් නුවර අසවල් කුඹුරු යාය පැත්තට අපි අද යන්න ඕන. අසරණයෙකුට පිහිට වෙන්න තියෙනවා.”

ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ කුඹුරු යාය දිගේ වඩින්න පිටත්වුණා. එතකොට එක්තරා ගොවියෙක් පාන්දරින් උදැල්ලත් අරගෙන තමන්ගේ කුඹුරට ආවා. ඇවිදින් කුඹුර කොටන්න පටන්ගත්තා. එ් කිට්ටුව තමයි අර කහවණු දහසක් වටිනා තැල්ල තිබුණේ. නමුත් අර ගොවියා එ් තැල්ල දැක්කේ නෑ. බුදුරජාණන් වහන්සේ නියර දිගේ වඩිනවා දැකලා එ් ගොවියා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ආයෙමත් කුඹුරට බැහැලා කොටන්න පටන්ගත්තා. බුදුරජාණන් වහන්සේ එ් තැල්ල ළඟ නැවතුණා.

“පින්වත් ආනන්ද, පේනවා නේද අර භයානක සර්පයාගේ හැටි?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, හැබෑමයි ඌ නම් මහා භයානක සර්පයෙක්මයි” කියලා පිළිතුරු දුන්නා.

එතකොට අර ගොවියාට මේ කතාබහ ඇහුණා. “හප්පේ….. අර ශ‍්‍රමණයන් වහන්සේලා කතාවුණේ මහා භයානක සර්පයෙක් ඉන්නවා කියලා. කෝටුවකින් අරගෙන ඈතට වීසි කරන්න ඕන.”

ගොවියා එතනට එනකොට දැක්කෙ භයානක සර්පයෙක්ව නොවෙයි. කහවණු දහසක් වටිනා තනි රත්තරන් තැල්ලක්. මෙයා පුදුම වුණා. නෙත් විදහා බලාසිටියා. එ් තැල්ල අතට ගත්තා. අතේ තියාගෙන පුදුමයෙන් කල්පනා කළා.

‘හරි පුදුමයි…! එතකොට ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ භයානක සර්පයා කිව්වෙ මේකට නේද? මේ ආභරණය ලොකු ප‍්‍රශ්නයකට සම්බන්ධ දෙයක් වෙන්න ඇති. නැත්නම් එවැනි කතාවක් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේගේ මුවින් පිටවෙන්නේ නෑ’

එහෙමනම් මේකෙන් මට යහපතක් වෙන එකක් නෑ කියලා එතනම දාලා පස්වලින් වැහුවා. වහලා කුඹුර කොටන්න පටන්ගත්තා.

රාජපුරුෂයින්ට සිටු මාළිගයක සිදු වූ සොරකම ගැන සැළවුණා. සොරකම කළ සොරුන්ගේ පියවර ඔස්සේ සොය සොයා එන්නට පටන්ගත්තා. සොරොව්ව ළඟට ආවා. සොරොව්වෙන් ගොඩ වුණා. කුඹුරට ආවා. සොරු රැස්වුණු ලකුණු තියෙනවා. තව සොයන්න පටන්ගත්තා. එතකොට රාජපුරුෂයෙක් කෑ ගැහුවා.

“එ්යි වරෙල්ලා…. මෙන්න බඩු තියෙනවා. මේ තියෙන්නේ කහවණු දහසක් වටිනා තැල්ලක්!”

රාජපුරුෂයන් ගොවියා දිහා රවලා බලාගෙන හිටියා.

“එ්යි හොරා…. මෙහෙ වරෙන්” කියල කතා කළා. කුඹුරෙන් ගොඩට ඇදලා අරගෙන එතනම ඇදගෙන වැටෙන්න ගැහුවා.

“උඹ ගෙවල් බිඳලා හිට කුඹුර කොටනවා වගේ ඉන්නවා නේද? උඹේ කෙරුවාවල් අදින් ඉවරයි.”

රාජපුරුෂයන් අර ගොවියාගේ දෑත් පිටුපසට කොට බැන්දා. කසෙන් තල තලා ඇදගෙන ගියා. රජ්ජුරුවන්ට අර ගොවියාව පෙන්නුවා. රාජ පුරුෂයෝ දැනුම් දුන්නේ හොරාව අල්ලගත්තා කියලයි. හොරාට දඬුවම් නියම වුණා. කසයෙන් තල තල හිස ගසන තැනට අරගෙන ගියා. පාර දෙපැත්තේ සෙනඟ හොරා බලන්න රැස්වුණා. එතකොට මේ අහිංසක ගොවියාට කරකියාගන්න දෙයක් නෑ. ගොවියා කෑ ගගහ කිය කිය ගියා.

“පින්වත් ආනන්ද, පේනවා නේද අර භයානක සර්පයාගේ හැටි?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, හැබෑමයි ඌ නම් මහා භයානක සර්පයෙක්මයි” කියලා.


දිගටම ගොවියා කිව්වේ ඕකමයි. එතකොට රාජපුරුෂයෝ ඇහුවා

“ඈ… හොරෝ…? නුඹ මොකද ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේගේ නමත්, ආනන්ද තෙරුන්ගේ නමත් කියවන්නේ….? නුඹ මේකෙන් මගහරින්නද හදන්නේ?”

“නෑ…. මං සොරකමක් කළේ නෑ. එ්ක ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ දන්නවා.”

එතකොට රාජපුරුෂයන් කල්පනා කළා ‘මේ පුද්ගලයා ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ නම ඉදිරියට අරගෙන කතාකරන්නේ මේකේ තව මොනවා හරි ඇති.’ ආපහු රජතුමා ළඟට මොහු අරගෙන ගියා.

එතකොට කොසොල් රජ්ජුරුවෝ මෙහෙම කිව්වා.

“රාජපුරුෂය, ලෝකයෙහි අග‍්‍ර වූ උත්තමයා වන අපගේ ශාස්තෘන් වහන්සේ සාක්කියට තබාගෙන මේ පුද්ගලයා කියන දේ අහක දැමිය යුතු නෑ. මම ම මේ කාරණය දැනගන්නම්. දැනට ඔය පුද්ගලයාව හිරකරන්න. සවසට මෙයාවත් අරගෙනම යමු.”

සවස රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගියා. ගොවියා දෑත් පිටුපසට බැඳගෙන ඇඟ පුරා කස තැලුමෙන් ලේ පෙරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟ අසරණව වාඩිවෙලා ඉන්නවා. එතකොට රජතුමා මෙහෙම අහනවා.

“ස්වාමීනී, මේ පුද්ගලයා හොරෙක්. නමුත් මොහු අමුතු කතාවක් කියනවා. භයානක සර්පයෙක් ගැන ඔබ වහන්සේ කිව්වාය කියලා මොකක්දෝ දෙයක් කියනවා.”

“පින්වත් මහරජ, එ්ක ඇත්ත. එ් භයානක සර්පයා පණ තියෙන සතෙකුටත් වඩා භයානකයි. එ් භයානක සර්පයා නිසා අසරණ අහිංසකයොත් අමාරුවේ වැටෙනවා. බොහෝ අය පව් රැස්කරගන්නවා.

එ් භයානක සර්පයා වෙන අමුතු සතෙක් නොවෙයි. කහවණු දහසක් වටිනා රන් තැල්ලක්. මං ඕක ආනන්දයන්ට පෙන්නුවා. ‘පින්වත් ආනන්ද, පේනවා නේද අර භයානක සර්පයාගේ හැටි?’ කියලා.

ආනන්දයන් වහන්සේත් මට උත්තර දුන්නා

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, හැබෑමයි ඌ නම් මහා භයානක සර්පයෙක්මයි” කියලා.

එ් කථාව නිසයි අද මේ අසරණ ගොවියා බේරුණේ. මහරජතුමනි, මෙයා හොරෙක් නොවෙයි. මම කියල ගියේ එච්චරයි. නුවණැති කෙනාට එ්ක තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. දැන් බලන්න මේ පින්වත් ගොවියා නුවණින් තේරුම් ගත්තනේ මං කියපු කාරණාව මොකක්ද කියලා. අන්න එහෙම තමයි වැඩකරන්නට ඕන. තමන් දුකට පත්වෙන දේවල් කරගන්න හොඳ නෑ” කියලා බුදුරජාණන් වහන්සේ මෙම ගාථා රත්නය වදාළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, යමක් කළාට පස්සේ එ් කළ දේ ගැන නුවණින් සලකද්දී පසුතැවෙන්නට වෙනවා නම්, එ් වගේ ම එ් පාපයේ විපාක වශයෙන් නිරයේ ඉපදිලා දුක් විඳින්නට වෙනවා නම් එවැනි දෙයක් කවදාවත් කරන්න එපා. හඬ හඬා කඳුළු පෙරමින් විඳවන්නට වැඩ කිරීමේ තේරුම මොකක්ද?

බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කොට ධර්ම දේශනා කළා. එතකොට ගොවියා එ් ධර්මය අවබෝධ කළා. සෝතාපන්න ශ‍්‍රාවකයෙක් බවට පත්වුණා. බුදුරජාණන් වහන්සේ ගොවියාව මරණින් බේරගත්තා. සතර අපායෙනුත් බේරාගත්තා. නිවනටත් යොමු කළා. බුදු කරුණාව ලොවට සැපයක්මයි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Dhammapada Verse 67

Na tam kammam katam sadhu
yam katva anutappati
yassa assumukho rodam
vipakam patisevati.

 That deed is not well done, if one has to repent for having done it, and if, with a tearful face, one has to weep as a result of that deed.


The Story of a Farmer

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (67) of this book, with reference to a farmer who handled poison.

One day, some thieves having stolen some valuables and cash from the house of a rich man came to a field. There, they divided the stolen property among themselves and dispersed; but a packet containing one thousand in cash, having dropped from one of the thieves, was left behind unnoticed.

Early in the morning on that day, the Buddha, on surveying the world with his supernormal power, perceived that a farmer, cultivating near that field, would attain Sotapatti Fruition on that very day. So, the Buddha went there, accompinied by the Venerable Ananda. The farmer on seeing the Buddha paid obeisance to him and continued to plough the field. The Buddha seeing the packet of money said to the Venerable Ananda, "Ananda, look at that very poisonous snake," and Ananda replied, "Venerable Sir, yes, it is, indeed, a very poisonous snake!" Then, both the Buddha and the Venerable Ananda continued their way.

The farmer, hearing them, went to find out if there really was a snake and found the packet of money. He took the picket and hid it in a place. The owners of the property coming after the thieves came to the field, and tracing the footprints of the farmer, found the packet of money. They beat the farmer and took him to the king, who ordered his men to kill the farmer. On being taken to the cemetery, where he was to be killed, the farmer kept on repeating, "Ananda, look at that very poisonous snake. Venerable Sir, I see the snake; it is, indeed, a very poisonous snake!" When the king's men heard the above dialogue between the Buddha and the Venerable Ananda being repeated all the way, they were puzzled and took him to the king. The king surmised that the farmer was calling upon the Buddha as a witness; he was therefore taken to the presence of the Buddha. After hearing from the Buddha everything that had happened in the morning, the king remarked, "If he had not been able to call upon the Buddha as a witness of his innocence, this man would have been killed." To him, the Buddha replied, "A wise man should not do anything that he would repent after doing it."

Then the Buddha spoke in verse as follows:

That deed is not well done, if one has to repent for having done it, and if, with a tearful face, one has to weep as a result of that deed.

At the end of the discourse, the farmer attained Sotapatti Fruition.

Sunday, August 22, 2021

ධම්ම පදය බාල වග්ගය 65 ගාථාව

 


මුහුත්තම්පි චේ විඤ්ඤූු – පණ්ඩිතං පයිරුපාසති

ඛිප්පං ධම්මං විජානාති – ජිව්හා සූපරසං යථා

ඉදින් නුවණ තියෙන කෙනා – මොහොතක සුළුකලක් තුළදි
ඇසුරු කළොත් නැණවතෙකුව – සැණෙකින් ධර්මය දන්නේ
හොඳ රසවත් බොජුන් සැණින් – දිව මත තැවරෙන විටදිම
එ් බොජුනේ තැවරී ඇති – හැම රසයන් වැටහෙන්නේ්


නුවණ කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ප‍්‍රඥාවන්ත කෙනෙක් වෙන්න මොනතරම් වාසනාවක් තියෙන්න ඕනද? හැමෝටම ප‍්‍රඥාවන්ත වෙන්න බැහැ නෙව. බුදුරජාණන් වහන්සේගේ කාලෙ වුණත් එහෙම තමයි. ප‍්‍රඥාවන්ත පිරිස ඉන්නේ ටිකයි.

බුදුරජාණන් වහන්සේගේ කාලේ බරණැසත් උරුවෙලත් අතර පාවා කියන ප‍්‍රදේශයේ වාසය කළ තිහක් පමණ තරුණ යහළුවන් හිටියා. දවසක් මේ ඇත්තන්ට උයන් ක‍්‍රීඩාවට යන්නට ආසාවක් ඇතිවුණා. හැබැයි විසිනව දෙනෙකුට කුමාරිකාවන් ඉන්නවා. එක්කෙනෙකුට කුමාරිකාවක් නැහැ. ඉතින් එ් කුමාරයා සඳහා තරුණ කාන්තාවක් මිලට ගත්තා. මේ කාන්තාව වෙසඟනක්. එ් උද්‍යාන ක‍්‍රීඩාවේ යෙදෙන තරුණයන් මේ තරුණිය ගැන කිසි අවිශ්වාසයක් කළේ නැහැ. අවස්ථාව බලලා මේ කාන්තාව මොකද කළේ, සියලු දෙනාගේ බඩුමුට්ටු ආභරණ අරගෙන පැනලා ගියා.

ඊට පස්සේ මෙය දැනගත් තරුණයෝ ටික කලබල වුණා. තමන්ගේ කුමාරිකාවන් ගෙවල්වලට පිටත් කළා. සොරකම් කළ කාන්තාව සොයන්නට කලබලෙන් එහෙ මෙහෙ ගියා. එ් උද්‍යානයේ එක්පැත්තක රුක්සෙවණක බුදුරජාණන් වහන්සේ වැඩසිටියා. මේ අය ගිහින් ඇහුවා,

“පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, මේ පැත්තෙන් ගෑණු ළමයෙක් ගියාද?”

“පින්වත් තරුණයනි, ගෑණු ළමයා හොයන එකද හොඳ? සැබෑවටම තමන් කවුද කියලා හොයන එකද හොඳ?”

“පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, අපට නම් හිතෙන්නේ ගෑණු ළමයා හොයන එකට වඩා තමන් කවුද කියලා අවබෝධ කරගන්න එක උතුම් කියලයි.”

ඊට පස්සේ මේ තරුණයන්ට බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න ලැබුණා. එදා මේ සියලු දෙනාටම චතුරාර්ය සත්‍යය ගැන යම්කිසි වැටහීමක් ඇතිවුනා. එ් කියන්නේ හැමෝම සෝවාන් වුණා.

දවසක් එ් ස්වාමීන් වහන්සේලාට හිතුණා යලිත් බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට යන්න ඕන කියලා. ඉතින් එ් ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට රජගහනුවර වේළුවනයට වැඩියා.

එදා බුදුරජාණන් වහන්සේට මෙහෙම හිතුණා.

‘මේ භික්ෂූන් වහන්සේලා වාඩි වී සිටින ආසනයේදීම සියලු කෙලෙස් සිතෙන් දුරු වී යන ආකාරයෙන් ධර්ම දේශනා කරන්නට ඕන’ කියලා.

එදා කළ දේශනාව හරිම පුදුමයි. ඉපිද ඉපිද මැරි මැරී පැමිණි සසරේ කෙනෙකුට විඳින්නට ලැබෙන අනන්ත අප‍්‍රමාණ දුක් කන්දරාව ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එදා එ් භික්ෂූන් වෙනුවෙන් කළ දේශනය සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයේ තිංසමත්ත සූත‍්‍රය නමින් සඳහන් වෙනවා.

“පින්වත් මහණෙනි, මේ ඉපදෙන මැරෙන ස්වභාවයේ ඉවර වීමක් නැහැ. කවදා පටන්ගත්තාද කියල කොණක් පොටක් පෙනෙන්නෙත් නැහැ. චතුරාර්ය සත්‍යය අවබෝධ වෙලා නැතිකම නැමැති අවිද්‍යාවට වැසුණු සත්වයන් එ් නිසාම තණ්හාවට බැඳෙනවා. එහෙම තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඉපදි ඉපදි මැරි මැරී ආවේ.

පින්වත් මහණෙනි, ඔබට කුමක්ද හිතෙන්නේ? ඔබ මේ සා දීර්ඝ වූ සසර පුරාවට පැමිණි ගමනේදී හිසගැසුම් කන්නට සිදුවීම නිසා ගලාගෙන ගිය ලේද වැඩි? සතර මහා සාගරයේ ජලයද වැඩි?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධයෙන් දේශනා කරන ලද ධර්මය මේ විදිහටයි අපි දන්නේ. එ් කියන්නේ ස්වාමීනී, මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි සසරේ ඇවිද ඇවිද පැමිණි ගමනේ දී අපට හිස ගැසුම් කන්නට සිදුවීම නිසා ගලාගෙන ගිය ලේමයි වැඩි, සතර මහා සාගරයේ ජලය නොවේ.”

“සාදු! සාදු! පින්වත් මහණෙනි. පින්වත් මහණෙනි, මා විසින් අවබෝධයෙන්ම දෙසන ලද ධර්මය ඔබ දරාගෙන සිටිනා අයුරු ඉතා යහපත්. එ් කියන්නේ පින්වත් මහණෙනි, ‘මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි සසරේ ඇවිද ඇවිද පැමිණි ගමනේ දී ඔබට හිස ගැසුම් කන්නට සිදුවීම නිසා ගලාගෙන ගිය ලේමයි වැඩි, සතර මහා සාගරයේ ජලය නොවේ’ කියල.

එ් වගේ ම පින්වත් මහණෙනි, ‘මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි සසරේ ඇවිද ඇවිද පැමිණි ගමනේ දී ඔබට ගවයන් වෙලා ඉපදීම නිසා හිස ගැසුම් කන්නට සිදුවීමෙන් ගලාගෙන ගිය ලේමයි වැඩි, ……………….. මීහරක් වෙලා ඉපදීම හේතුවෙන් ………………. එළුවන් වෙලා ඉපදීම හේතුවෙන් ……………….. කොටළුවන් වෙලා ඉපදීම හේතුවෙන් ……………….. මෘගයින් වෙලා ඉපදීම හේතුවෙන් ……………….. ඌරන් වෙලා ඉපදීම හේතුවෙන් …………………. කුකුලන් වෙලා ඉපදීම හේතුවෙන් ……………….. ගම් පහරන සොරුන් වෙලා ඉපදීම හේතුවෙන් ………………. මං පහරන සොරුන් වෙලා ඉපදීම හේතුවෙන් ………………… හොර අඹුවන් කරා යාම හේතුවෙන් ………………… සතර මහා සාගරයේ ජලය නොවේ’ කියල.

එනිසා පින්වත් මහණෙනි, මේ ඉපදෙන මැරෙන ස්වභාවයේ ඉවර වීමක් නැහැ. කවදා පටන්ගත්තාද කියල කොණක් පොටක් පෙනෙන්නෙත් නැහැ. චතුරාර්ය සත්‍යය අවබෝධ වෙලා නැතිකම නැමැති අවිද්‍යාවට වැසුණු සත්වයන් එ් නිසාම තණ්හාවට බැඳෙනවා. එහෙම තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඉපදි ඉපදි මැරි මැරී ආවේ.

පින්වත් මහණෙනි, එනිසා සසර කෙරෙහි කළකිරෙන එකම යි හොඳ. සසරෙන් නිදහස් වෙන එකමයි හොඳ.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, එතකොට එ් භික්ෂූන් වහන්සේලා සිත එකඟ කරගෙන මේ භයානක සසර ගමන ගැන කිසිදිනෙක නොඇසූ විරූ විස්තර බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටිද්දී එ් භික්ෂූන් වහන්සේලාට ජීවිතය ගැන ඉතා ගැඹුරු අවබෝධයක් ඇතිවුණා. අවබෝධයෙන්ම සසර පැවැත්ම එපා වුණා. එ් නිසා ඇල්ම නැතිවුණා. ඇල්ම නිරුද්ධ වුණා. එ් වාඩි වී සිටි ආසනයේදීම සියලූ කෙලෙසුන්ගෙන් නිදහස්ව අරහත්වයට පත්වුණා.

එතකොට අනෙත් භික්ෂූන් වහන්සේලා මේ තිස්නමගේ නුවණැති බව ගැන පුදුමයට පත්වුණා. “අහෝ! මේ භික්ෂූන් වහන්සේලා ඉතා ඉක්මනින් අරහත්වයට පත්වුණා නෙව. මෙය නම් ආශ්චර්යයි!” කියලා.

එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ අරභයා මෙම ගාථාරත්නය වදාළා.


මේ කථාවෙන් කොතරම් අපූරුවට නුවණේ මහිමය පැහැදිලි වෙනවාද? අර භික්ෂූන් වහන්සේලා වාඩි වී සිටි ආසනයේදීම නිකෙලෙස් බවට පත්වුණා නෙව. එතකොට එ් හැකියාව ලැබුනේ තමන්ගේම නුවණ නිසයි. බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ සුළුකාලය තුළ උන්වහන්සේගේ මුවින් ගලා ගිය එ් උතුම් ධර්මය සැණෙකින් අවබෝධ කරගත්තා. දිවට රස දැනෙනවා වගේ.

අපටත් එ් වගේ සැණෙකින් ධර්මය අවබෝධ කරගන්න තරම් ප‍්‍රඥාවක් තියෙනවා නම් කොතරම් වාසනාවක්ද!

Muhuttamapi ce vinnu
panditam payirupasati
khippam dhammam vijanati
jivha suparasam yatha.

Verse 65: An intelligent man, even though he is associated with a wise man only for a moment, quickly understands the Dhamma, just as the tongue knows the taste of soup.


The Story of Thirty Bhikkhus from Paveyyaka

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (65) of this book, with reference to thirty bhikkhus from Paveyyaka.

Thirty youths from Paveyyaka were, on one occasion, enjoying themselves with a prostitute in a forest, when the prostitute stole some of their valuable ornaments and ran away. While searching for her in the forest, they met the Buddha on the way. As the Buddha delivered them a discourse the youths attained Sotapatti Fruition, and all of them joined the Order of the Buddha and followed him to the Jetavana monastery. While staying at the monastery, they strictly observed the austerity or purification practice (dhutanga). Later, when the Buddha delivered the Anamatagga Sutta (Discourse on Countless Existences), all those bhikkhus attained arahatship.

When other bhikkhus commented that Paveyyaka bhikkhus were very quick in attaining arahatship, the Buddha replied to them in verse, as follows:

Verse 65: An intelligent man, even though he is associated with a wise man only for a moment, quickly understands the Dhamma, just as the tongue knows the taste of soup.

Sunday, October 13, 2019

ධම්ම පදය - බාල වර්ගය 3

පුත්තා මත්ථි ධනම්මත්ථි – ඉති බාලෝ විහඤ්ඤති
අත්තා හි අත්තනෝ නත්ථි – කුතෝ පුත්තා කුතෝ ධනං
ලස්සන හැඩරුව ඇති හොඳ – දරුවන් මට ඉන්නවා
මහන්සියෙන් හම්බ කරපු – ධනයත් මට තියෙනවා
කියමින් අනුවණ කෙනා – එ් මත්තෙම නැහෙනවා
තමාවවත් තමාට නැති – බව ඒ අය දන්නෙ නැහැ
එනිසා තමහට පිහිටට – දරුවන් කොහොම ද ලැබෙන්නේ
ධනයත් කොහොමද ලැබෙන්නේ

බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන පින්වතුන් ජීවත්විය යුතු ආකාරය ඉතාම ලස්සනට පෙන්වා දෙනවා. එ් මෙහෙමයි. කෙනෙක් ඉන්නවා. එයාට ගොඩක් සල්ලි තියෙනවා. හැබැයි එ් සල්ලි හම්බකරලා තියෙන්නේ අධාර්මිකවයි. එතකොට සල්ලි තියෙන එක හොඳ වුණත් හම්බකළ විදිහ වැරදියි. එ් වගේම එ් සල්ලිවලින් එයා ගෙදරට සළකන්නේ නෑ. මව්පියන්ට සළකන්නේ නෑ. පින්දහම් කරන්නේ නෑ. එතකොට වියදම් කරන විදිහත් අසාර්ථකයි. එ් වගේම එ් සල්ලිවලටත් දේපල වස්තුවටත් අධික ලෝභකමකින් ඉන්නවා. එ්වා අනිත්‍ය වෙලා යන දේවල් කියලා දන්නෙ නෑ. එ්වා කෙරෙහි ඇති ඇල්ම කවදා නමුත් අත්හරින්නට සිදුවෙන නමුත් දන්නෙ නෑ. එ්කට අධික ලෙස ගිජු වෙලා ඉන්නවා. එ්කත් අසාර්ථකයි. එතකොට හම්බකළ විදිහත් අසාර්ථකයි. වියදම් කළ විදිහත් අසාර්ථකයි. උපයාගත් දේපල වස්තුවට ආසා කළ විදිහත් අසාර්ථකයි.
අන්න එ් ජාතියේ අසාර්ථක සිටුවරයෙක් ගැන කියවෙන දුක්මුසු කථාවක් මේක. මෙයා හිටියේ සැවැත් නුවර. මොහුට තිබුණා හතළිස් කෝටියක ධනයක්. මොහුට පුතෙකුත් හිටියා. ඔහුගේ නම මූලසිරි. දෙසතියකට වතාවක් මෙයා මූලසිරි පුතාව නෑදෑයන් මැදට කැඳවනවා. කැඳවලා උදේ දවල් හවස මේ විදිහට උපදෙස් දෙනවා.
“නුඹලා එක්කෙනෙක්වත් හිතන්න එපා හතළිස් කෝටියක් ධනය මහා ලොකු සම්පතක් ය කියලා. මේක මහා සොච්චමයි. එ් නිසා පෙනෙන්නට තියෙන ධනය කිසිකෙනෙකුට නොදිය යුතුයි. කළ යුත්තේ අළුතින් යමක් හම්බකරන එකයි. නුඹලා එකක් මතක තියාගන්න ඕන. කහවණුවක් වියදම් කළත් ඒක වියදමක් මිස ආදායමක් නොවෙයි. නුඹලාට වඩාත් හොඳ උපදේශයක් පිණිස මෙන්න මේ ගාථාව පාඩම් කරගනින්.
ඉතින් මේ ආනන්ද සිටුවරයා තමන්ගේ ධනය ගැන හරියට ආඩම්බර වුණා. එ් ගැනම මහා ඉහළින් කතා කළා. තමන් අරපිරිමැස්මෙන් වියදම් කරන සාර්ථක ව්‍යාපාරිකයෙක් හැටියට හුවාදැක්වුවා. පිරිස මැද්දේ මහා නම්බුනාම ලැබුවා. රැස් කරගත් ධනය ගැන සතුටු වෙවී හිටිය මේ සිටුවරයා මහා නිධන් පහකට තරම් ධනය රැස්කළා. අන්තිමේදී මේ සිටුවරයා හදිසියේ ම මැරුණා.
කොසොල් රජතුමා ආනන්ද සිටුවරයාගේ හදිසි අභාවය නිසා මූලසිරි පුත‍්‍රයාව කැඳවලා මහා සිටු තනතුර දුන්නා.
එතකොට ආනන්ද සිටුවරයා මැරිලා ගිහින් ඉපදුණේ අමුතුම තැනක. සැවැත් නුවර එක්තරා පැත්තක් තියෙනවා. එ් හරියේ තියෙන්නේ පැල්පත් විතරයි. වාසය කරන්නෙත් සැඩොල් කුලයේ මිනිස්සු. ඔවුන්ගේ රස්සාව වැසිකිළිවලින් අසූචි අදින එකයි. පැල්පත් දාහක් විතර තියෙනවා. එ් චණ්ඩාල ප‍්‍රදේශයේ එක්තරා සැඩොලියකගේ කුසේ මේ පුද්ගලයා ඉපදුණා.
ඔහු ඉපදිච්ච දවසේ ඉඳන් චණ්ඩාල ප‍්‍රදේශයේ කාටවත් හරිහමන් දෙයක් හොයාගන්න බැරිව ගියා. එ් උදවියට ලැබෙන බත් වැටුප් ලැබුණේ නෑ. කෑමක් බීමක් නැතුවයි ඉන්න සිද්ධ වුණේ. එතකොට වැඩිහිටි චණ්ඩාල උදවිය රැස්වුණා.
“මේක හරි වැඩක් නෙව. මීට කලින් දවසකට එක වේලක් හරි බඩපිරෙන්න බත් ටිකක් කනවා. දැන් එ්කත් නෑ. බත් වැටුප් ලැබෙන්නෙත් නෑ. කැඳ වතුරත් නෑ. අපට මොකක්ද මේ වුණේ. අපි අතරේ මහා කාලකණ්ණියෙක් ඉපදිලාවත්ද?”
ඊට පස්සේ එ් පිරිස මෙහෙම කතා වුණා.
“අපි මේ විදිහට මේක හොයා ගමු. අපේ පවුල් දාහ පන්සීය පන්සීය දෙකට බෙදා ගමු. ඊටපස්සේ විමසලා බලමු කෑම බීම නැත්තේ කොයි පැත්තට ද කියලා. ඊට පස්සේ සීය බැගින් බෙදමු. ඔය විදිහට බෙද බෙදා බලන කොට කාලකණ්ණියාව හොයාගන්න පුළුවන් වේවි.”
අන්තිමේදී අර ආනන්ද සිටුවරයා පිළිසිඳගත් මව්පියන් ඉන්න පවුල කාලකණ්ණි පවුල හැටියට තේරුණා. ඊට පස්සේ එ් ගෙදර පිරිස අර බඩදරු අම්මාව ගෙදරින් පැන්නුවා.
“තී නිසා තමයි අපටත් බඩගින්නේ ඉන්න වුණේ. තිගේ බඬේ ඉන්න කාළකණ්ණියා තමයි මේකට වගකියන්න ඕන.”
ඉතින් අර අසරණ කාන්තාව ඉතාම දුකසේ මැරී නොමැරී ජීවත් වුණා. ඉතාම දුකසේ දරුවෙක් වැදුවා. එ් දරුවා පුතෙක්. හැබැයි අත් පා ඇදවෙලා. ඇස් වපර වෙලා. කට ඇදවෙලා. කන් නාසා විකෘති වෙලා. බැලූ බැල්මට පෙනෙන්නේ ඇවිදින පිශාචයෙක් වගේ.
පින්වතුනේ, පින්වත් දරුවනේ, මව් සෙනෙහස කියන්නේ හරිම පුදුම එකක්. එ් අම්මා මේ දරුවට හරියට ආදරය කළා. දැන් දෙන්නටම කෑමක් නෑ. නමුත් අමාරුවෙන් කිරි දීලා මේ ළමයාව ඇවිදගන්න පුළුවන් තත්වයට ඇතිදැඩි කළා. දැන් තමන්ටම යමක් හොයාගෙන කන්න පුළුවන්. අම්මා මේ ළමයා අතට පොල්කට්ටක් දුන්නා.
මගෙ පුතේ, ඔයා නිසා මං මහා දුකක් වින්ඳා. අනේ රත්තරන් පුතේ, මට නම් ඔයාව හදාවඩාගන්න විදිහක් නෑ. දරු දුක නිසා මට පුළුවන් හැටියට ඔයාව පෝෂණය කළා. තවදුරටත් මට මේක කරන්න බැහැ පුතේ. මේ පොල්කට්ට අරගෙන අර හිඟන්නන්ට බත් බෙදන තැනින් මොකවත් කාලා ජීවත් වෙයන්. දවස් දෙක තුනකට වතාවක්වත් කවුරු හරි කන්න ටිකක් දෙනව නෙව.”
දැන් මේ අසරණ විරූපී දරුවා තනිවුණා. මහපාරේ දූවිලි ගොඩේම නිදියගත්තා. වැස්සට තෙමුණා. අව්වට වේලුණා. සීතලට වෙව්ලුවා. තනියම ජීවත්වෙන මේ දරුවා දිහා කවුරුවත් බලන්නේ නෑ.
දවස් ගාණකින් මෙයාට කෑමක් නෑ. ඉතින් මේ ළමයා පොල්කට්ටත් අරගෙන කෑම ටිකක් හොයාගන්න පිටත් වුණා. එදා මෙයා පාර දිගේ ඔහේ ගියා. හිතෙන හිතෙන පැත්තෙන් හැරි හැරී ගියා. එකවරටම මේ ළමයාටම අමුත්තක් තේරුණා.
“ම්….. ම්….. මට මේ පැත්ත පුරුදුයි වගේ. මීට කලින් මං මෙහෙ ඇවිල්ලා තියෙනවානේ. ආ…. අර තියෙන්නේ විශාල මාළිගාවක්. ඔව්…. මට මතකයි…. උඩු මහලේ රත්තරන් ඇඳක නේද මං හිටියේ. ඔව්….. කවුද දන්නෙ නෑ දැන් ඉන්නේ….?”
ඉතින් මේ විරූපී අසරණ හිඟන පැටියා අර මාළිගාව දෙස නෙත් විදහා බලා සිටියා. තමන්ට තේරුණේ වත් නෑ, තමන් ටික ටික එ් පැත්තට ගියා. එදා විශාල ගේට්ටුව ඇරලා තිබුණා. කවුරුවත් දැක්කේ නෑ. මෙයා හිමින් හිමින් ගේට්ටුවෙන් ඇතුළු වුණා. ඉස්තෝප්පුවට ආවා. කවුරුවත් දැක්කේ නෑ. මෙයා ඇස් පිය නොහෙලා බලාගෙන ඉන්නවා. ටිකෙන් ටික ගේ ඇතුළට ආවා. මෙයාට හරි සතුටුයි. එ් වෙලාවෙ මූලසිරි සිටුවරයාගේ පොඩිදරුවන් ගෙයි සාලෙ මාළිගාව මැද සෙල්ලම් කරමින් හිටියේ. එතකොටම අර දරුවන් ඉණට කිලුටු රෙදි කැබැල්ලක් ඔතාගත් කොර ගසමින් පැමිණි මේ විරූපී හිරිකිත හිඟන පැටියා දුටුගමන් හොඳටම භය වුණා. යටිගිරියෙන් කෑ ගහලා ඇඬුවා.
“බුදු අම්මෝ….! අපි ඉවරෝ….! මෙන්න පිශාචයෙක් ඇවිල්ලා….!”
එතකොට සිටු මාළිගයේ සේවකයන් පැමිණ පයින් ගැසුවා. මේ දරුවා වීසි වී ගිහින් වැටුණා. පයින්ම ගගහ එළියට දැම්මා. අන්තිමේදී පාර අයිනේ කුණුගොඩක වැටිලා හොඳටම තුවාල වෙලා අඬ අඬා හිටියා.
එවේලෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එතනින් පිඬු සිඟා වඩිනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා.
“පින්වත් ආනන්ද, මූලසිරි සිටුවරයා කැඳවන්න. මේ අසරණ දරුවා මැරිලා යාවි.”
සිටුතුමා කැඳෙව්වා. සිටුතුමාට කිව්වා “මේ ඉන්නේ තමුන්ගේ පියා” කියලා. ඔහු පිළිගත්තේ නෑ. එවිට බුදුරජාණන් වහන්සේ අර දරුවාට කතා කළා.
“පින්වත් දරුව, ජීවිතය ඔහොම තමයි. හරිහැටි පරිහරණය නොකළොත් විනාශ වෙනවා. දුකට පත්වෙනවා. දැන් ඔයාට මතකයිනෙ ඔයාගෙ පෙර ජීවිතය. ඔයා දැන් නිධන් කරපු පංච මහා නිධානය මේ ඇත්තන්ට පෙන්වන්න.”
එතකොට අර දරුවා අසිහියෙන් වගේ ගිහින් තමන් සඟවපු පංච මහා නිධානය ගොඩට ගත්තා. සියලු දෙනාටම පුදුමයි. අදහාගන්නත් අමාරුයි. එ්ත් එ්කමයි සත්‍යය. එවේලෙහි බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය වදාළා.
සමහර අය තමන්ගේ දූ දරුවන්ගේ යහපත ගැන හිත හිතා දිවා රෑ දෙකේම මහන්සි වෙනවා. එ් දූ දරුවන්ට තමයි තමන්ගේ ලෝකයේ ඔටුණු පළන්දලා ඉන්නේ. ඉතින් එ් දූ දරුවන් වෙනුවෙන්ම කටයුතු කිරීම තමයි එයාලට තියෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාර ගැන පැය විසිහතරේම කල්පනා කර කර ඉන්නවා. එ් වෙනුවෙන්ම කැපවෙනවා. ඇතැම් විට අඹුදරුවන් අත්හැර විදේශගත වෙනවා. නොවිඳිනා දුක් විඳිනවා. අන්තිමේදී දරුවන් තමන්ට වෙනස්කම් කරනවා. මහා දුකකින්, මහන්සියකින් හම්බකරපු ධනය නිස්කාරණේ වියදම් වෙනවා. තමන්ට සිදුවෙන්නේ ගෙවුනු අතීතය ගැන හූල්ල හූල්ල ඉන්න විතරයි.
සමහර අය මරණාසන්න වෙද්දී බලාපොරොත්තු වෙච්ච කවුරුවත් ළඟ නෑ. දූ දරුවෝ පිටරට පදිංචියට ගිහින්. නෑදෑ මිත‍්‍රයෝ අහලකවත් නෑ. තනිවෙලා ඉන්නේ. රැස්කරගත්තු පිනකුත් නෑ. පිහිටක් වෙන්න කියලා ඇතිකරගත්තු ගුණයකුත් නෑ. පුරුදු කරගත්තු ධර්මයකුත් නෑ. අන්තිමේදී භයෙන් තැතිගැනීමෙන් තමයි අසරණවෙලා මැරිලා යන්නේ.
දැක්කා නේද ආනන්ද සිටුවරයාට වෙච්ච දේ? දරුවන්ට හම්බකරන්න කියා දුන්නා. එ් සඳහා ගාථාවන් පවා ඉගැන්නුවා. තමන් හිඟන පැටියෙක් වෙලා එද්දී පා පහර කාලා පාරේ වැටෙන්න සිද්ධ වුණා. එතකොට කෝ තමන්ගේ දරුවන්? කෝ හම්බකරපු දේවල්?
මෙයින් පෙනෙන්නේ අපි දූදරුවන් වෙනුවෙන් මහන්සි වෙනවා වගේම, ධනය උපයන්න මහන්සි වෙනවා වගේම පින්දහම් කරන්නත් මහන්සි වෙන්න ඕන කියන එකයි. අපට පිහිට වෙන්නේ පින ම තමයි. පින් රැස්කරගත් කෙනාගේ ජීවිතය සාර්ථකයි. එයා ධාර්මිකව හම්බකරනවා. එතකොට මුදල් ඉපයීම සාර්ථකයි. එ් වගේම අඹුදරුවන්ට හොඳට සළකනවා. මව්පියන්ට සළකනවා. පින්දහම් කරනවා. අනුන්ට උදව්කරනවා. එතකොට වියදම් කිරීමත් සාර්ථකයි. එ් වගේම තමන් සතු ධන ධාන්‍ය අනිත්‍ය ලෝකයට අයිති බවත් දන්නවා. එ්වා කෙරෙහි ඇති ඇල්ම අත්හැර ගන්නට සිදුවෙන බවත් දන්නවා. එ් නුවණින් යුක්තව තමයි තමා සතු සම්පත් වලට ගිජු නොවී සතුටින් ඉන්නේ. එතකොට එ්කත් සාර්ථකයි. එවැනි සාර්ථකත්වයක් ඇතිකරගන්න ලැබුණොත් නම් යසයි!
"I have sons, I have wealth"; with this (feeling of attachment) the fool is afflicted. Indeed, he himself is not his own, how can sons and wealth be his?
The Story of Ananda, the Rich Man
While residing at the Jetavana monastery, the Buddha uttered  with reference to a miserly rich man, named Ananda.
There was once a very wealthy man named Ananda in Savatthi. Although he possessed eighty crores, he was very reluctant to give anything in charity. To his son, Mulasiri, he used to say, "Don't think the wealth we have now is very much. Do not give away anything from what you have, for you must make it grow. Otherwise your wealth will dwindle away." This rich man had five pots of gold buried in his house and he died without revealing their location to his son.
Ananda, the rich man, was reborn in a village of beggars, not far from Savatthi. From the time his mother was pregnant, the income of the beggars decreased; the villagers thought there must be a wicked and unlucky one amongst them. By dividing themselves up into groups and by the process of elimination, they came to the conclusion that the pregnant beggar woman must be the unfortunate one. Thus, she was driven out of the village. When her son was born, the son proved to be extremely ugly and repulsive. If she went out begging by herself, she would get as before, but if she went out with her son she would get nothing. So, when the boy could go out by himself, his mother placed a plate in his hand and left him. As he wandered about in Savatthi, he remembered his old house and his past existence. So he went into the house. When the sons of his son Mulasiri saw him, they were frightened by his ugly looks and began to cry. The servants then beat him and threw him out of the house.
The Buddha who was on his alms-round saw the incident and asked the Venerable Ananda to fetch Mulasiri. When Mulasiri came, the Buddha told him that the young beggar was his own father in his previous existence. But Mulasiri could not believe it. So, the Buddha directed the beggar boy to show where he had buried his five pots of gold. Then only, Mulasiri accepted the truth and from that time he became a devoted lay-disciple of the Buddha.
Then the Buddha spoke in verse as follows:
"I have sons, I have wealth"; with this (feeling of attachment) the fool is afflicted. Indeed, he himself is not his own, how can sons and wealth be his?
පුන්‍යාණුමෝදනා පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට.

Friday, June 14, 2019

ධම්ම පදය - බාලවර්ගය 2

චරඤ්චේ නාධිගච්ඡෙය්‍ය – සෙය්‍යං සදිසමත්තනෝ
එ්කචරියං දළ්හං කයිරා – නත්ථි බාලේ සහායතා
කෙනෙකුගෙ ඇසුරට නිසි කල – උතුම් කෙනෙකු නොලැබෙන විට
අඩු ගණනේ තම ගතිගුණ – හා සම වූ අය නැතිවිට
තනියම ජීවත් වෙන්නට – දැඩි ලෙස ඔහු සිතිය යුතුය
පවිටු බාල අසත්පුරුෂ – ඇසුරක් නම් නොකළ යුතුය.
.
 එක්කෝ තමන්ගේ සීලයට උපදෙස් ගතහැකි, තමන්ට වඩා උසස් සිල් රකින කෙනෙක් ඇසුරු කරන්න ඕන. එක්කො තමන්ගේ සමාධිය දියුණු කරගන්නට උපදෙස් දිය හැකි උතුම් කෙනෙක් ඇසුරු කරන්න ඕන. එක්කො තමන්ගේ නුවණින් විමසීම දියුණු කරගන්න පුළුවන් උතුම් කෙනෙක් ඇසුරු කරන්න ඕන. එතකොට තමයි එයා ටිකෙන් ටික සත්පුරුෂ ගතියෙන් පෝෂණය වෙන්නේ. ඤාණවන්තයෙක් වෙන්නේ. කෙළෙහි ගුණ දන්නා ගුණවතෙක් වෙන්නේ.
එහෙම උතුම් කෙනෙක් මුණ නොගැහුණොත් අඩු ගණනේ තමා තරමින් වත් සීලවන්ත කෙනෙක් ඇසුරු කරන්න ඕන. තමා තරමින් වත් ධර්මයේ හැසිරෙන කෙනෙක් ඇසුරු කරන්න ඕන. එහෙම නොවුණොත් තමන්ට ලොකු අනතුරක් තියෙනවා.
සමහරවිට අපි කෙනෙකුට හිතවත් වෙන්න පුළුවන්. එ් හිතවත්කම නිසා අපට අපේ ගුරුවරු කෙරෙහි, මව්පියන් කෙරෙහි, වැඩිහිටි උතුමන් කෙරෙහි අපේ පැහැදීම නැතිවෙනවා නම්, අර අසත්පුරුෂයා අපිව ගුරුවරුන්ට, මව්පියන්ට විරුද්ධව කටයුතු කරන්නට පොළඹවනවා නම්, එ් වගේම දුස්සීල වෙන්නට පොළඹවනවා නම්, එ් තුළින් සිදුවෙන හානිය මෙතෙකැයි කියලා වචනයෙන් කියා නිමකරන්නට බැහැ. අසත්පුරුෂ ආශ‍්‍රය නිසා රැස් කරගන්නා පව් හේතුවෙන් කල්ප ගණන් නිරයේ පැහෙන්න වේවි. එ් නිසා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අසත්පුරුෂ ආශ‍්‍රය අත්හරින්න කියලා නැවත නැවතත් පෙන්නා දෙන්නේ. උන්වහන්සේ වදාළේ තනියම ජීවත් වීමට දැඩිව අධිෂ්ඨාන කරගන්න කියලයි. අසත්පුරුෂයන් එක්ක ඇයි හොඳයි කතාවක් ඕනම නෑ.
මහා කස්සප මහරහතන් වහන්සේ ගැන ඔබ දැනටමත් දන්නවා. උන්වහන්සේ උත්කෘෂ්ට වූ සීලයෙන් යුක්තයි. ගුණයෙන් යුක්තයි. එ් වගේම දෙවිවරුන්ට උන්වහන්සේව ඉතාමත් ප‍්‍රියයි. එ් වගේම සබ‍්‍රහ්මචාරීන් වහන්සේලාටත් උන්වහන්සේගෙන් ලැබෙන ආදර්ශය, අවවාදය හරිම ශ්‍රේෂ්ඨයි. ගෞතම ශාසනය බබලවන මහෝත්තමයන් වහන්සේ නමක්. දෙව්මිනිසුන් අතර එ්කාන්තයෙන්ම වන්දනාවට සුදුසු උතුම් රහතන් වහන්සේ නමක්.
මේ මහා කස්සප මහරහතන් වහන්සේ ළඟ තරුණයන් කිහිප දෙනෙක් පැවිදි වුණා. එයින් දෙනමකට වත්පිළිවෙත් කරන්නට අවස්ථාවක් ලැබුණා. එක නමක් ඉතාමත් ශ‍්‍රද්ධාවෙන් වත්පිළිවෙත් කළා. මහා කස්සප මහරහතන් වහන්සේට දැහැටි සූදානම් කිරීම, පැන් සූදානම් කිරීම, පා දෝවනය කරන පැන් සූදානම් කිරීම ආදී වත් පිළිවෙත් ඉතාම ශ‍්‍රද්ධාවෙන් කළා.
අනිත් නම හරිම කපටියි. බණ භාවනා කරන්නෙත් නෑ. ධර්මය ඉගෙන ගන්නට මහන්සි ගන්නෙත් නෑ. වත්පිළිවෙත් කරන්නට මහන්සි ගන්නෙත් නෑ. යහපත් පොඩි නම දැහැටි දඬු, පැන් සූදානම් කළ විට කපටි නම ඉක්මනින්ම මහා කස්සප තෙරුන් ළඟට යනවා. ගිහින් දෙකට තුනට නැමිලා කියනවා.
“පින්වත් ස්වාමීන් වහන්ස, අන්න මං ස්වාමීන් වහන්සේට දැහැටි දඬු පිළියෙල කළා. පැන් පිළියෙල කළා.”
සමහර අවස්ථාවලදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පැන්පහසු වෙන්න උණු පැන් පිළියෙල කරනවා. යහපත් පොඩි නම එය සූදානම් කරනකම් කපටි පොඩි නම නොදන්නවා වගේ ඉන්නවා. සූදානම් කොට අවසන් වූ ගමන් තමන් කළ දෙයක් වගේ පෙන්නනවා.
දවසක් අර යහපත් පොඩි නම අමුතු වැඩක් කළා. එ් තමයි මහරහතන් වහන්සේ උදෙසා නහන පැන් වෙනම පිළියෙල කරලා වෙනදට පැන් තියෙන තැනින් වතුර ස්වල්පයක් භාජනයක දාලා වහලා තිබ්බා. අර කපටි පොඩි නම දුවගෙන ගිහින් කිව්වා ”ස්වාමීනී, පැන් සූදානම්. නාන්න වඩින්න” කියලා. මහරහතන් වහන්සේ පැන්පහසු වීම පිණිස වැඩම කළා. ගිහින් භාජන ඇරලා බැලූවා.
“පොඩි නම, කෝ පැන් නැහැ නෙව.”
එතකොට කපටි පොඩි නම කලබලයෙන් ඇවිත් බැලුවා. පැන් නැහැ. කලබල වුණා. ඊළඟ භාජනයෙත් බැලුවා. එ්කෙත් පැන් නැහැ.
“මේක අර දුෂ්ට උන්නාන්සේගේ වැඩක්! හිස් භාජනය තමයි වහල තිබිලා තියෙන්නේ. මං හිතුවේ වතුර ලෑස්තියි කියලා….!”
ඉතින් කපටි පොඩි නම හිස් බඳුන අරගෙන පැන් තොටට යද්දී අනෙත් පොඩි නම ඉක්මනින් ම පැන් සූදානම් කොට දුන්නා. මහරහතන් වහන්සේ අනෙත් පොඩි නමගෙන් ඇහුවා.
“ඈ… පොඩිනම? මොකක්ද මේ වැඩේ තේරුම? මේ නාන පැන් පිළියෙල කළේ අර පොඩිනම නෙවෙයිද?”
“අනේ නෑ ස්වාමීනී, මෙතෙක් කලක් මං තමයි හැම දෙයක්ම කළේ. එයා කරන්නේ අනුන් කරන දේවල් තමන්ගේ හැටියට පෙන්නන එක විතරයි.”
මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහත් සංවේගයක් ඇතිවුණා. අර පොඩිනමට අවවාද කළා.

Dhamma-padaya_5_1“පොඩිනම, කළ වැඩේ හොඳ නැහැ නෙව. මීට පස්සේ තමන් කළ දේ පමණක් තමන් කළ බව කියන්න. අනුන් කළ දෙයක් තමන්ගේ නමට ගාව ගන්න එපා! එ් වගේම අනිත් නමට කිපිලා කෑ ගසමින් පැන් තොටට යන්න එපා!”
එතකොට කපටි පොඩිනම මොකුත් කිව්වෙ නෑ. ඇස් රතු කරගෙන බිමට රවාගෙන හිටියා.
“හහ්….! එතකොට මං මොකක් කළත් වැරදියි. අනික මේ වතුර චුට්ටක් හින්දා ඔයතරම් කෑගහන්න ඕනද? ඔච්චර අවවාද කරන්න දෙයක් මේකෙ වුණේ නැහැ නෙව. හොඳයිකො. මං පෙන්නන්නම් හොඳ නොහොඳ මොකක්ද කියලා.”
එදා දවස පුරාම පොඩිනම ද්වේෂයෙන් හිටියේ. ද්වේෂය ඇතිවෙන විදිහටම කල්පනා කර කර හිටියා. පහුවදා මහා කස්සප මහරහතන් වහන්සේ සමඟ පිණ්ඩපාතෙ වඩින්න පොඩිනම ආවෙ නෑ. රහතන් වහන්සේ පිඬුසිඟා වැඩිවේලේ අර පොඩිනම වෙනත් දායක පවුලක් වෙත ගියා. ගිය වෙලෙහි එ් දායක ගෙදර උදවිය මෙහෙම ඇහුවා.
“පොඩි ස්වාමීන් වහන්ස, අපේ ස්වාමීන් වහන්සේ කෝ?”
“පින්වත්නි, මහ තෙරුන් වහන්සේට සනීප නෑ. වෙහෙරෙමයි ඉන්නේ.”
“අනේ ස්වාමීනී, එහෙනම් දානෙට පිණ්ඩපාතෙ වැඩියේ නැතුව ඇති නෙව. එතකොට මොකද කරන්නේ?”
“එහෙම නම් පින්වත්නි, මේ මේ දේවල් දානෙට තියෙනවා නම් අගෙයි. මං දානෙ ගෙනිහින් දෙන්නම්.”
එතකොට ඔහු තමන්ට වුවමනා දානමාන ඉල්ලාගෙන යන ගමන් අතරමගදී වළඳලා තනියම අරණ්‍යයට ගියා.
පසුවදා මහා කස්සප තෙරුන් වහන්සේ අර දායක පවුල සිටි ප‍්‍රදේශයේ පිණ්ඩපාතේ වැඩියා. මහ තෙරුන් වහන්සේ දුටු දායක පින්වතුන් ඉතාමත් සතුටට පත්වුණා.
“අනේ ස්වාමීනී, දැන් සනීප ද? අපට අර පොඩි නම කියූ හැටියට සෑහෙන්න අසනීපයි කියල හිතුණේ. ඉතින් අපි දානෙත් හදලා පිටත් කළා. වැඩම කළ එක කොයිතරම් දෙයක්ද?”
මහරහතන් වහන්සේ නිශ්ශබ්ද වුණා. දන් පැන් වළඳා පුණ්‍යානුමෝදනා කොට ආපසු වැඩියා.
“පොඩිනම, ඊයෙ අර දායක ගෙදරකට ගිහින් මොකක්ද කිව්වේ? ඇයි බොරු කියලා දානෙ අරගත්තේ? එහෙම අරගෙන වළඳන්නට වටින්නේ නැහැ නෙව. පැවිද්දන්ට කිසිසේත්ම සුදුසු නැහැ නෙව.”
කපටි පොඩිනම බිමට රවාගත්තා. ඇස් රතු කරගත්තා. දත්කූරු කන්න ගත්තා.
“කලින් දවසේ වතුර චුට්ටක් නිසා මට බොරුවට බැණ වැදුණා. අද බත් මිටක් නිසා දානෙ ඉල්ලලා අරගෙන වළඳන්න හොඳ නැතෙයි කියලා නිකම් ගෝරනාඩු කරනවා. හොඳයිකො. මං මහ තෙරුන් වහන්සේට කළ යුත්ත කරලා පෙන්නනම්කෝ” කියල බද්ධ වෛර ඇති කරගත්තා.
පසුවදා මේ පොඩිනම පිණ්ඩපාතේ වැඩියෙ නැහැ. මහරහතන් වහන්සේ පිණ්ඩපාතෙ වඩිනකම් බලාගෙන හිටියා. ලොකු පොල්ලක් අතට ගත්තා. එ් කාලෙ තිබුණෙ මැටි භාජන විතරයි. ඉතින් මහරහතන් වහන්සේට පැන් පහසු වෙන්න තිබුණු සියලු මැටි බඳුන්, සියලු උපකරණ පොඩි පට්ටම් කළා. කුටිය ගිනි තිබ්බා. ගිනි ඇවිල්ලෙන්නෙ නැති යම් බඩුවක් මුට්ටුවක් තිබුණා නම් එ් හැම දෙයක් ම කුඩු පට්ටම් කළා. සිවුරු දාලා පැනලා ගියා.
ඔහු ටික කලකදී බලවත්ව රෝගාතුරව මරණයට පත්වුණා. නිරයේ උපන්නා. එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට ගොස් මේ පවිටු පුද්ගලයාගේ දරුණු ක‍්‍රියාව හෙළිදරව් කළා. එවේලෙහි අපගේ ශාස්තෘ වූ එ් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කාටත් ප‍්‍රයෝජනයක් වන මෙම ගාථාරත්නය වදාළා.

පින්වත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා. 

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...