Sunday, August 22, 2021

ධම්ම පදය බාල වග්ගය 65 ගාථාව

 


මුහුත්තම්පි චේ විඤ්ඤූු – පණ්ඩිතං පයිරුපාසති

ඛිප්පං ධම්මං විජානාති – ජිව්හා සූපරසං යථා

ඉදින් නුවණ තියෙන කෙනා – මොහොතක සුළුකලක් තුළදි
ඇසුරු කළොත් නැණවතෙකුව – සැණෙකින් ධර්මය දන්නේ
හොඳ රසවත් බොජුන් සැණින් – දිව මත තැවරෙන විටදිම
එ් බොජුනේ තැවරී ඇති – හැම රසයන් වැටහෙන්නේ්


නුවණ කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ප‍්‍රඥාවන්ත කෙනෙක් වෙන්න මොනතරම් වාසනාවක් තියෙන්න ඕනද? හැමෝටම ප‍්‍රඥාවන්ත වෙන්න බැහැ නෙව. බුදුරජාණන් වහන්සේගේ කාලෙ වුණත් එහෙම තමයි. ප‍්‍රඥාවන්ත පිරිස ඉන්නේ ටිකයි.

බුදුරජාණන් වහන්සේගේ කාලේ බරණැසත් උරුවෙලත් අතර පාවා කියන ප‍්‍රදේශයේ වාසය කළ තිහක් පමණ තරුණ යහළුවන් හිටියා. දවසක් මේ ඇත්තන්ට උයන් ක‍්‍රීඩාවට යන්නට ආසාවක් ඇතිවුණා. හැබැයි විසිනව දෙනෙකුට කුමාරිකාවන් ඉන්නවා. එක්කෙනෙකුට කුමාරිකාවක් නැහැ. ඉතින් එ් කුමාරයා සඳහා තරුණ කාන්තාවක් මිලට ගත්තා. මේ කාන්තාව වෙසඟනක්. එ් උද්‍යාන ක‍්‍රීඩාවේ යෙදෙන තරුණයන් මේ තරුණිය ගැන කිසි අවිශ්වාසයක් කළේ නැහැ. අවස්ථාව බලලා මේ කාන්තාව මොකද කළේ, සියලු දෙනාගේ බඩුමුට්ටු ආභරණ අරගෙන පැනලා ගියා.

ඊට පස්සේ මෙය දැනගත් තරුණයෝ ටික කලබල වුණා. තමන්ගේ කුමාරිකාවන් ගෙවල්වලට පිටත් කළා. සොරකම් කළ කාන්තාව සොයන්නට කලබලෙන් එහෙ මෙහෙ ගියා. එ් උද්‍යානයේ එක්පැත්තක රුක්සෙවණක බුදුරජාණන් වහන්සේ වැඩසිටියා. මේ අය ගිහින් ඇහුවා,

“පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, මේ පැත්තෙන් ගෑණු ළමයෙක් ගියාද?”

“පින්වත් තරුණයනි, ගෑණු ළමයා හොයන එකද හොඳ? සැබෑවටම තමන් කවුද කියලා හොයන එකද හොඳ?”

“පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, අපට නම් හිතෙන්නේ ගෑණු ළමයා හොයන එකට වඩා තමන් කවුද කියලා අවබෝධ කරගන්න එක උතුම් කියලයි.”

ඊට පස්සේ මේ තරුණයන්ට බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න ලැබුණා. එදා මේ සියලු දෙනාටම චතුරාර්ය සත්‍යය ගැන යම්කිසි වැටහීමක් ඇතිවුනා. එ් කියන්නේ හැමෝම සෝවාන් වුණා.

දවසක් එ් ස්වාමීන් වහන්සේලාට හිතුණා යලිත් බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට යන්න ඕන කියලා. ඉතින් එ් ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට රජගහනුවර වේළුවනයට වැඩියා.

එදා බුදුරජාණන් වහන්සේට මෙහෙම හිතුණා.

‘මේ භික්ෂූන් වහන්සේලා වාඩි වී සිටින ආසනයේදීම සියලු කෙලෙස් සිතෙන් දුරු වී යන ආකාරයෙන් ධර්ම දේශනා කරන්නට ඕන’ කියලා.

එදා කළ දේශනාව හරිම පුදුමයි. ඉපිද ඉපිද මැරි මැරී පැමිණි සසරේ කෙනෙකුට විඳින්නට ලැබෙන අනන්ත අප‍්‍රමාණ දුක් කන්දරාව ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එදා එ් භික්ෂූන් වෙනුවෙන් කළ දේශනය සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයේ තිංසමත්ත සූත‍්‍රය නමින් සඳහන් වෙනවා.

“පින්වත් මහණෙනි, මේ ඉපදෙන මැරෙන ස්වභාවයේ ඉවර වීමක් නැහැ. කවදා පටන්ගත්තාද කියල කොණක් පොටක් පෙනෙන්නෙත් නැහැ. චතුරාර්ය සත්‍යය අවබෝධ වෙලා නැතිකම නැමැති අවිද්‍යාවට වැසුණු සත්වයන් එ් නිසාම තණ්හාවට බැඳෙනවා. එහෙම තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඉපදි ඉපදි මැරි මැරී ආවේ.

පින්වත් මහණෙනි, ඔබට කුමක්ද හිතෙන්නේ? ඔබ මේ සා දීර්ඝ වූ සසර පුරාවට පැමිණි ගමනේදී හිසගැසුම් කන්නට සිදුවීම නිසා ගලාගෙන ගිය ලේද වැඩි? සතර මහා සාගරයේ ජලයද වැඩි?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධයෙන් දේශනා කරන ලද ධර්මය මේ විදිහටයි අපි දන්නේ. එ් කියන්නේ ස්වාමීනී, මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි සසරේ ඇවිද ඇවිද පැමිණි ගමනේ දී අපට හිස ගැසුම් කන්නට සිදුවීම නිසා ගලාගෙන ගිය ලේමයි වැඩි, සතර මහා සාගරයේ ජලය නොවේ.”

“සාදු! සාදු! පින්වත් මහණෙනි. පින්වත් මහණෙනි, මා විසින් අවබෝධයෙන්ම දෙසන ලද ධර්මය ඔබ දරාගෙන සිටිනා අයුරු ඉතා යහපත්. එ් කියන්නේ පින්වත් මහණෙනි, ‘මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි සසරේ ඇවිද ඇවිද පැමිණි ගමනේ දී ඔබට හිස ගැසුම් කන්නට සිදුවීම නිසා ගලාගෙන ගිය ලේමයි වැඩි, සතර මහා සාගරයේ ජලය නොවේ’ කියල.

එ් වගේ ම පින්වත් මහණෙනි, ‘මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි සසරේ ඇවිද ඇවිද පැමිණි ගමනේ දී ඔබට ගවයන් වෙලා ඉපදීම නිසා හිස ගැසුම් කන්නට සිදුවීමෙන් ගලාගෙන ගිය ලේමයි වැඩි, ……………….. මීහරක් වෙලා ඉපදීම හේතුවෙන් ………………. එළුවන් වෙලා ඉපදීම හේතුවෙන් ……………….. කොටළුවන් වෙලා ඉපදීම හේතුවෙන් ……………….. මෘගයින් වෙලා ඉපදීම හේතුවෙන් ……………….. ඌරන් වෙලා ඉපදීම හේතුවෙන් …………………. කුකුලන් වෙලා ඉපදීම හේතුවෙන් ……………….. ගම් පහරන සොරුන් වෙලා ඉපදීම හේතුවෙන් ………………. මං පහරන සොරුන් වෙලා ඉපදීම හේතුවෙන් ………………… හොර අඹුවන් කරා යාම හේතුවෙන් ………………… සතර මහා සාගරයේ ජලය නොවේ’ කියල.

එනිසා පින්වත් මහණෙනි, මේ ඉපදෙන මැරෙන ස්වභාවයේ ඉවර වීමක් නැහැ. කවදා පටන්ගත්තාද කියල කොණක් පොටක් පෙනෙන්නෙත් නැහැ. චතුරාර්ය සත්‍යය අවබෝධ වෙලා නැතිකම නැමැති අවිද්‍යාවට වැසුණු සත්වයන් එ් නිසාම තණ්හාවට බැඳෙනවා. එහෙම තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඉපදි ඉපදි මැරි මැරී ආවේ.

පින්වත් මහණෙනි, එනිසා සසර කෙරෙහි කළකිරෙන එකම යි හොඳ. සසරෙන් නිදහස් වෙන එකමයි හොඳ.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, එතකොට එ් භික්ෂූන් වහන්සේලා සිත එකඟ කරගෙන මේ භයානක සසර ගමන ගැන කිසිදිනෙක නොඇසූ විරූ විස්තර බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටිද්දී එ් භික්ෂූන් වහන්සේලාට ජීවිතය ගැන ඉතා ගැඹුරු අවබෝධයක් ඇතිවුණා. අවබෝධයෙන්ම සසර පැවැත්ම එපා වුණා. එ් නිසා ඇල්ම නැතිවුණා. ඇල්ම නිරුද්ධ වුණා. එ් වාඩි වී සිටි ආසනයේදීම සියලූ කෙලෙසුන්ගෙන් නිදහස්ව අරහත්වයට පත්වුණා.

එතකොට අනෙත් භික්ෂූන් වහන්සේලා මේ තිස්නමගේ නුවණැති බව ගැන පුදුමයට පත්වුණා. “අහෝ! මේ භික්ෂූන් වහන්සේලා ඉතා ඉක්මනින් අරහත්වයට පත්වුණා නෙව. මෙය නම් ආශ්චර්යයි!” කියලා.

එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ අරභයා මෙම ගාථාරත්නය වදාළා.


මේ කථාවෙන් කොතරම් අපූරුවට නුවණේ මහිමය පැහැදිලි වෙනවාද? අර භික්ෂූන් වහන්සේලා වාඩි වී සිටි ආසනයේදීම නිකෙලෙස් බවට පත්වුණා නෙව. එතකොට එ් හැකියාව ලැබුනේ තමන්ගේම නුවණ නිසයි. බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ සුළුකාලය තුළ උන්වහන්සේගේ මුවින් ගලා ගිය එ් උතුම් ධර්මය සැණෙකින් අවබෝධ කරගත්තා. දිවට රස දැනෙනවා වගේ.

අපටත් එ් වගේ සැණෙකින් ධර්මය අවබෝධ කරගන්න තරම් ප‍්‍රඥාවක් තියෙනවා නම් කොතරම් වාසනාවක්ද!

Muhuttamapi ce vinnu
panditam payirupasati
khippam dhammam vijanati
jivha suparasam yatha.

Verse 65: An intelligent man, even though he is associated with a wise man only for a moment, quickly understands the Dhamma, just as the tongue knows the taste of soup.


The Story of Thirty Bhikkhus from Paveyyaka

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (65) of this book, with reference to thirty bhikkhus from Paveyyaka.

Thirty youths from Paveyyaka were, on one occasion, enjoying themselves with a prostitute in a forest, when the prostitute stole some of their valuable ornaments and ran away. While searching for her in the forest, they met the Buddha on the way. As the Buddha delivered them a discourse the youths attained Sotapatti Fruition, and all of them joined the Order of the Buddha and followed him to the Jetavana monastery. While staying at the monastery, they strictly observed the austerity or purification practice (dhutanga). Later, when the Buddha delivered the Anamatagga Sutta (Discourse on Countless Existences), all those bhikkhus attained arahatship.

When other bhikkhus commented that Paveyyaka bhikkhus were very quick in attaining arahatship, the Buddha replied to them in verse, as follows:

Verse 65: An intelligent man, even though he is associated with a wise man only for a moment, quickly understands the Dhamma, just as the tongue knows the taste of soup.

No comments:

Post a Comment

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...