Monday, January 17, 2022

ධම්ම පදය බාල වර්ගය - 68 ගාථාව

 


තඤ්ච කම්මං කතං සාධු – යං කත්වා නානුතප්පති

යස්ස පතීතෝ සුමනෝ – විපාකං පටිසේවති

කළ විට යම් පිනක් කෙනෙක් – පින පල දෙයි නම් ඒකෙන්

එවිට සිනාසී සතුටින් – සැපම විඳියි නම් එපිනෙන්

හැම තිස්සෙම එබඳුම පින් – කිරීම හොඳ දෙයක් ම වෙයි

“පසු නොතැවෙන පින් කරන්න.”


පින්වතුනේ, පින්වත් දරුවනේ, පින් දහම් කිරීමේ දී සමහරුන්ට ඒකට අවස්ථාව ලැබෙන්නේ නෑ. ඇතැම් විට ලොකු වීරියක් ගන්න ඕන. ගොඩාක් කැපවෙන්න ඕන. හැබැයි එහෙම කරන්නත් එයාට පින ගැන පැහැදීම තියෙන්න ඕන නේද?

මේ කථාවෙන් කියවෙන්නේ අන්න ඒ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් පින් කරපු කෙනෙක් ගැනයි. මේ තැනැත්තා හිටියේ රජගහ නුවර. මෙයාගෙ නම සුමන. මෙයා රැකියාවට කරන්නේ බිම්බිසාර රජතුමාට සමන් පිච්ච මල් සපයන එක. ඉතින් දිනපතා සමන් පිච්ච මල් අට නැළියක් රාජ මාළිගාවට ගෙනියනවා. මෙයාට ඒ වෙනුවෙන් කහවණු අටක් ලැබෙනවා. එදා මේ සුමන මල්කරුවා සමන් පිච්ච අට නැළිය වට්ටියක දමාගෙන හිස මත තියාගෙන මාළිගාවට ගෙනියමින් සිටියා.

එවේලෙහි බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වීදියෙහි වඩිනවා. හැබැයි එදා යම්කිසි වෙනසක් තිබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් රැස් විහිදෙමින් තිබුණු එක. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ වඩින්නේ කිසි කෙනෙකුට විශේෂයක් සොයාගන්නට බැරි විදිහටයි. ඇතැම් දවස්වලදී තමයි ප්‍රාතිහාර්යය දක්වමින් වඩින්නෙ. එදාට යම්කිසි විශේෂයක් සිදුවෙනවාමයි. ඒ තුළින් අතිවිශාල ප්‍රබෝධයකුත් ඇතිවෙනවාමයි. බොහෝ දෙනෙක් ධර්මයත් අවබෝධ කරනවාමයි.

එදා බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් නිල්, කහ, රතු, සුදු, මදටිය පැහැයෙන් යුතු ෂඩ් වර්ණ බුද්ධ රශ්මිය විහිදුණා. උන්වහන්සේ වඩිද්දී මිනිසුන් සාදුකාර දෙමින් සිත පහදවා ගත්තා. සුමන මල්කරු මල් වට්ටිය බිමින් තිබ්බා. දණ ගහගත්තා. ඇස් දල්වාගත්තා. එක හුස්මට බලාගෙන හිටියා. මෙයාගෙ හිතේ ශ්‍රද්ධාව ඉහවහා ගියා. ඇඟ මවිල් කෙළින් වුණා. හිරිගඬු පිපුණා. හිතේ ප්‍රීතිය කොතෙක්ද කියන්නේ සතුටු කඳුළු කඩාහැලුණා.


“අනේ, මාගේ ශාස්තෘන් වහන්සේ ආශ්චර්යය වූ ඤාණයෙන් විතරක් නෙමෙයි, ආශ්චර්යය වූ බුද්ධ රශ්මි මාලාවෙනුත් සමන්විතයි. අසමයි. අසමසමයි. තුන්ලෝකාග්‍රයි. දෙවියන් බඹුන්ගේ පුද පූජාවට උතුම්මයි. අනේ…… අර … අර … ෂඩ් වර්ණ බුද්ධ රශ්මිය විහිදෙන අපූරුව…. අනේ…. මට මොනවා හරි පූජා කරගන්නට ඇත්නම්.

ඒත්…. මං කොහොමද කරන්නේ? මේ පිච්ච මල් මං අරගෙන යන්නේ රජ්ජුරුවන්ට නෙව. රජ්ජුරුවන්ට මෙය නොගෙනිච්චොත් මට අච්චු කරාවි. දඬුවම් දේවි. හිරේ විලංගුවෙ දමාවි. අහෝ….! මං මොකද කරන්නේ? කොහොමහරි මේ අවස්ථාවේ මං මොනවා හරි පූජා නොකරගත්තොත් මගේ ජීවිතයෙන් ඇති ඵලේ කුමක්ද?

නෑ… නෑ… මට ඒ එකක් වත් වැඩක් නෑ. රජ්ජුරුවෝ මාව හිරේ දානවා නම් දමාපුවාවේ. රටින් නෙරපනවා නම් නෙරපුවාවෙ. හිස ගසා දමනවා නම් දමාපුවාවෙ. මට ඒ එකක් වත් වැඩක් නෑ. මං මේ මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරනවා පූජා කරනවාමයි. ඒ විතරක් නෙවෙයි මං මගේ ජීවිතයත් පූජා කරනවා.”

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ සුමන මල්කරුවා ඉදිරියෙන් වඩින්න පිටත් වුණා. එතකොට සුමන මල්කරුවා දෝතට පිච්ච මල් නැළි දෙකක් ගත්තා. අරගෙන මෙහෙම කියලා අහසට වීසි කළා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ප්‍රාතිහාර්යය දක්වමින් ෂඩ් වර්ණ බුද්ධ රශ්මියෙන් බැබලි බැබලී, තුන් ලොව සනහමින් වඩින්නා වූ, දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වූ මාගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ පිච්ච මල් පූජා කරමි…. පූජා වේවා! මාගේ ජීවිතය ද පූජා කරමි…. පූජා වේවා! මෙය සියලු සතුන්ට හිත සුව පිණිස වේවා!” කියලා මහ හඬින් කෑ ගසමින් අහසට දැමූ ඒ පිච්ච මල් දෙනැළියක ප්‍රමාණය බිම වැටුණෙ නෑ. අහසේ වියනක් වගේ හිටියා. මිනිසුන් මහ හඬින් සාදු නාද දුන්නා.

මෙයාට තවත් සතුටුයි. මෙයා ආයෙමත් දෝතට පිච්ච මල් නැළි දෙකක් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ දකුණු පැත්තට වීසි කළා. එය පිච්ච මලින් කළ තිරයක් වගේ ලස්සනට පිහිටියා. ආයෙමත් දෝතට නැළි දෙකක පිච්ච මල් ගෙන වම් පසට වීසි කළා. එයත් ලස්සන මල් තිරයක් වගේ දිස්වුණා. ඊට පස්සේ පිටිපස්සටත් වීසි කළා. ඒ පිච්ච මල් නැළි දෙකත් ලස්සනට තිරයක් වගේ වැක්කෙරුණා. සියලු දෙනාටම පුදුමයි.

මේකේ තවත් විශේෂත්වයක් තිබුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වඩිද්දී මේ පිච්ච මලුත් ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ නවතිද්දී මේ පිච්ච මලුත් නවතිනවා. රජගහ නුවර පුරාවට මිහිරි සුගන්ධයක් වගේ මේ පිච්ච මල් ප්‍රාතිහාර්යය ගැන පැතිරිලා ගියා.

රජමාළිගයටත් මේ පිච්ච මල් ප්‍රාතිහාර්යය පැතිරිලා ගියා. රජතුමාත් එය බලන්න දුවගෙන ආවා. හැමෝටම හරිම පුදුමයක්. නමුත් රජතුමා දන්නෙ නැහැ මේ පිච්ච මල් තමන්ට ලැබෙන්න තිබුණු මල් බව. එදා රජතුමාට පිච්ච මල් ලැබුණෙ නෑ. සුමන මල්කාරයා සතුටු සිතින් ගෙදර ගියා. බිරිඳ ඇහුවා,

“මොකද මේ වුණේ? අද ඔයා මල් ගෙනිච්චේ නැද්ද?”

“නෑ. මං අද ඒ මල් මාගේ ශාස්තෘන් වහන්සේට පූජා කළා. මට දැන් මළත් කමක් නෑ. මොනවා වුණත් කමක් නෑ. මං සිත පහදවා ගෙන ඉවරයි. මං පින් රැස් කරගෙන ඉවරයි.”


එතකොට බිරිඳ හොඳටම බය වුණා. ඇස් ලොකු කරගත්තා. හිත කලබල කරගත්තා. හඬන්න පටන් ගත්තා. රණ්ඩු අල්ලන්න පටන්ගත්තා.

“නුඹ හරි මිනිහෙක් නෙව. නුඹට මොළයක් නැද්ද? දැන් අපි රජ්ජුරුවන්ට මොකක්ද කියන්නේ? ආයෙ දෙකක් නෑ, රාජ උදහසට ලක්වේවි! අපි ඔක්කොම විනාසයි! මට කරන්න දෙයක් නෑ. මං රජ්ජුරුවන්ට සැළකරනවා.”

ඉතින් ඒ බිරිඳ අතදරුවත් වඩාගෙන අනිත් දරුවා ඇඟිල්ලේ දවටගෙන හඬ හඬා මාළිගයට ගියා. රජතුමා ඉස්සරහා වැඳ වැටුණා.

“අනේ පින්වත් රජ්ජුරුවන් වහන්ස, ගැත්තීට අනුකම්පා කරන සේක්වා! මගේ මිනිහා ඔබවහන්සේට නියම වෙලා තිබුණු පිච්ච මල් අට නැළිය ශාස්තෘන් වහන්සේට පූජා කරලා හිස් අතින්ම ගෙදර ඇවිත් ඉන්නවා. අනේ ස්වාමීනී, අපි හිතාමතා කරපු වරදක් නොවෙයි. මේ මනුස්සයා කළ වැඩෙන් අපේ පවුලම විනාස වෙනවා. අනේ පින්වත් රජ්ජුරුවන් වහන්ස, මේ මෝඩ වැඩේ ගැන අනුකම්පා කරන සේක්වා!”

එතකොට බිම්බිසාර රජතුමා මෙහෙම කිව්වා.

“මෑණියනි, ඈ…. මොකක්? මට ගෙනාපු පිච්ච මල්වලින් ශාස්තෘන් වහන්සේට පූජා කළා කිව්වා නේද? පින්වත් මෑණියනි, මමයි ඒ පූජාව ශාස්තෘන් වහන්සේට කරන්න තිබුණේ. මම කළ යුතු දෙයක් තමයි ඒ කරලා තියෙන්නේ. ඒකාන්තයෙන් සුමන මල්කරුවා පිනක්මයි කළේ. සාදු! සාදු! මං ඒ පින අනුමෝදන් වෙනවා. පින්වත් මෑණියනි, නිකම්ම නිකම් මෝඩ ගැහැණියක් වෙන්න එපා! දැන්වත් ස්වාමියා කළ පින අනුමෝදන් වෙයන්.”

රජතුමා බුදුරජාණන් වහන්සේ මුණගැහිලා මේ කාරණය සැළකළා. එදා ඒ මල් වියන් වේළුවනාරාමයේ දොරටුව තෙක් පැමිණුනා. මේ පින්කම ගැන රජතුමා අනුමෝදන් වුණා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඇත්තටම මේ පුද්ගලයා ඔය පින්කම කරලා තියෙන්නේ ජීවිත පරිත්‍යාගයෙන්. ඒ නිසා ඔහුට ගෞරවයක් වශයෙන් මං සියලු සැප සම්පත් සමඟ අසූ හාර දාහක් කහවණු ධනයත් සමඟ, මාළිගයක් සමඟ ගම්වරයක් සහිතව සිටු තනතුර දෙනවා.”


ඉතින් සුමන මල්කරුවා සුමන සිටුවරයා වුණා. ඒ සුමන මල්කරුගේ අසිරිමත් පින්කම ගැන හැමෝම සතුටු වුනා.


ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගෙන් විමසුවා

“ස්වාමීනී, සුමන මල්කාරයා අද පටන් සිටුවරයෙක්. මේ අර පින්කමේ විපාක නේද?”

“පින්වත් ආනන්ද, ඔය තවම සුළු විපාකයයි. මා කෙරෙහි ඔහු සිත පහදවාගත්තු ආකාරය විශේෂ ජීවිතයක් කරා ඔහු යනවා” කියලා මෙහෙමත් වදාළා.

ඔහුගේ පිනේ විපාක හැටියට කල්ප ලක්ෂ වාරයක් සුගතියේ උපදිනවා. දෙවි මිනිසුන් අතරේ සැප විඳිනවා. අන්තිම ආත්මභාවයේ සුමන කියන නමින් පසේබුදු කෙනෙක් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ “යමෙක් කරනවා නම් කළ යුත්තේ පසුතැවෙන්නේ නැති සතුටු සිතින් විපාක විඳින දෙයක්මයි” කියලා මේ ගාථාව වදාළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ පින ගැන කළ මේ දේශනාව හැමෝටම ප්‍රයෝජනවත් වුණා. එතකොට සුමන මල්කරුවා පසේබුදුබව පත පත හිටපු කෙනෙක් නෙවෙයි. එයා කළේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගත්තු එකමයි. බුදුරජාණන් වහන්සේ තමයි ඒ අනාවැකිය කිව්වේ. මේ වගේ ආශ්චර්යවත් මනුස්සයන් කලින් කලට මිනිස් ලොවට එනවා. සුමන මල්කරුත් එහෙම කෙනෙක්.

එතකොට එදා ප්‍රාතිහාර්ය දක්වමින් රජගහ නුවර වැඩියේ සුමන මල්කරුවා උදෙසාමයි. ඔහු අරභයා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය නිසා එදා අසූ හාරදාහක් සෙනඟ සෝවාන් ඵලයට පත් වුණා.

අපටත් මේවා ඉගෙන ගෙන පින් දහම් දියුණු කරගෙන සැපය කරා යන්න ඇත්නම් කොයිතරම් අගේද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Tanca kammam katam sadhu
yam katva nanutappati
yassa patito sumano
vipikam patisevati.

That deed is well done if one has not to repent for having done it, and if one is delightful and happy with the result of that deed.


The Story of Sumana, the Florist

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (68) of this book, with reference to Sumana the florist.

A florist, named Sumana, had to supply King Bimbisara of Rajagaha with jasmin flowers every morning. One day, as he was going to the king's palace he saw the Buddha, with a halo of light-rays radiating from him, coming into town for alms-food accompanied by many bhikkhus. Seeing the Buddha in his resplendent glory, the florist Sumana felt a strong desire to offer his flowers to the Buddha. Then and there, he decided that even if the king were to drive him out of the country or to kill him, he would not offer the flowers to the king for that day. Thus, he threw up the flowers to the sides, to the back and over and above the head of the Buddha. The flowers remained hanging in the air; those over the head formed a canopy of flowers and those at the back and the sides formed walls of flowers. These flowers followed the Buddha in this position as he moved on, and stopped when the Buddha stopped. As the Buddha proceeded, surrounded by walls of flowers, and a canopy of flowers, with the six-coloured rays radiating from his body, followed by a large entourage, thousands of people inside and outside of Rajagaha came out of their houses to pay obeisance to the Buddha. As for Sumana, his entire body was suffused with delightful satisfaction (Piti).

The wife of the florist Sumana then went to the king and said that she had nothing to do with her husband failing to supply the king with flowers for that day. The king, being a Sotapanna himself, felt quite happy about the flowers. He came out to see the wonderful sight and paid obeisance to the Buddha. The king also took the opportunity to offer alms-food to the Buddha and his disciples. After the meal, the Buddha returned in the Jetavana monastery and the king followed him for some distance. On arrival back at the palace King Bimbisara sent for Sumana and offered him a reward of eight elephants, eight horses, eight male slaves, eight female slaves, eight maidens and eight thousand in cash.

At the Jetavana monastery, the Venerable Ananda asked the Buddha what benefits Sumana would gain by his good deed done on that day. The Buddha answered that Sumana, having given to the Buddha without any consideration for his life, would not be born in any of the four lower worlds (Apaya) for the next one hundred thousand worlds and that eventually he would become a paccekabuddha. After that, as the Buddha entered the Perfumed Hall (Gandhakuti) the flowers dropped off of their own accord.

That night, at the end of the usual discourse, the Buddha spoke in verse as follows:

That deed is well done if one has not to repent for having done it, and if one is delightful and happy with the result of that deed.  
saadhu saadhu saadhu. 

No comments:

Post a Comment

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...