දීඝා ජාගරතෝ රත්ති – දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ – සද්ධම්මං අවිජානතං
නොනිදා නිදි වරනා විට – දිගු වෙයි එ් රැය ඔහු හට
වෙහෙසින් ගමනක් යන විට – යොදුනත් දිගමයි ඔහු හට
සදහම් නොදකින කෙනෙකුට – අසත්පුරුෂ බාලයාට
යන විට උපතින් උපතට – සසරත් දිගමයි ඔහු හට
Digha jagarato ratti
digham santassa yojanam
digho balana samsaro
saddhammam avijanatam.
Long is the night to one who is wakeful; long is (the journey of) one yojana to the traveller who is tired; long is samsara (round of rebirths) to the fool, who is ignorant of the true Dhamma (the Teaching of the Buddha).
To a sleepless person the night is very long. To the weary the league seems quite long. To the ignorant, bereft of an awareness of the Dhamma, the cycle of existence is very long, as he is not aware of how to shorten it.
ඔයාලා දන්නවා බුද්ධ කාලේ දඹදිව තිබුණා විශාල ජනපද. එ් කියන්නේ විශාල ප්‍රදේශ. කොසොල් ජනපදය කියන්නේ එයින් එකක්. කොසොල් ජනපදය හරි විශාලයි. එහේ නායකයා තමයි පසේනදී කොසොල් රජතුමා. මේ රජතුමා මුල් කාලෙදී බුදුරජාණන් වහන්සේට එතරම් හිතවත්ව සිටියේ නෑ. නමුත් පස්සෙ කාලෙ ඉතාමත්ම හිතවත් වුණා. ලැදිවුණා.
බුදුරජාණන් වහන්සේ පවා කොසොල් රජ්ජුරුවන් කෙරෙහි අනුකම්පාවෙන් නොයෙක් අවස්ථාවන්වලදී ධර්මය කියා දීලා තියෙනවා. බිම්බිසාර රජතුමා නම් සෝතාපන්න වුණු බව ඔබ දන්නවා. නමුත් කොසොල් රජතුමාට එවැනි වාසනාවක් උදා වූ බවක් දැනගන්නට නැහැ.
දවසක් කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ ගෙන් ගොඩාක් බුද්ධිමත් ප්‍රශ්නයක් ඇහුවා. එ් මේකයි.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කෙනෙකුගේ සිතෙහි තමන්ට අයහපත පිණිස, දුක් පිණිස, විපත පිණිස යම් යම් දේවල් ඇතිවෙන්නට පුළුවනි. එ් මොනවාද?”
“පින්වත් මහරජ, කෙනෙකුට අයහපත, දුක, විපත පිණිස තමා තුළ කරුණු තුනක් උපදිනවා. එ් තමයි ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්.”
පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙවැනි ධර්මයන් අසන්නට වාසනාව තිබූ කොසොල් රජතුමා තම සිතේ හටගත් ලෝභ සිතුවිලි හේතුවෙන් සෑහෙන්න කරදරේ වැටිලා තියෙනවා. රජකෙනෙක් වුණත්, සාමාන්‍ය කෙනෙක් වුණත් කරන දෙය පවක් නම් එ්කෙන් ලැබෙන්නේ අයහපත් විපාකමයි.
දවසක් කොසොල් රජතුමා වීදි සංචාරය කළා. එ් කියන්නේ තමන්ගේ රාජධානියේ වීදිවල ඇතා පිටේ නැගලා රාජකීය ලීලාවෙන් ගමන් කරනවා. එතකොට මිනිස්සු පාර දෙපැත්තේ රැස්වෙලා රජ්ජුරුවන්ට ස්තුති ප්‍රශංසා කරනවා. මල් වීසිකරනවා. රජතුමාත් වටපිට බල බල හිනහ වෙවී යනවා.
ඉතින් එදා ඔය විදිහට රජතුමා වීථි සංචාරය කරද්දී එක්තරා නිවසක සඳළුතලයේ හිටපු දුප්පත් කාන්තාවක් හරි ආසාවෙන් මෙය බලාගෙන හිටියා. අහම්බෙන් වගේ රජතුමාට මේ කාන්තාව දකින්නට ලැබුණා. ඈ හරිම ලස්සනයි. රන්වන් පාටයි. නිල් පාට ඇස් දෙකක් තිබුණේ. ලස්සන කෙස් කළඹක් තිබුණා. කොඳ කැකුළු වැනි දත් පෙළ විදහා හිනහා වුණා. රජ්ජුරුවන්ගේ හිත කැළඹිලා ගියා. රාගය ඇවිස්සුණා. පිස්සු වැටුණා වගේ වුණා. රජ්ජුරුවෝ ඉක්මනින් වීදි සංචාරය අවසන් කළා. මාළිගයට ආවා. ඇවිදින් විශ්වාසවන්ත ඇමතියෙකුට කතා කළා.
“එ්යි යහළුවා, මේ කතාව ආයෙ කටින් පිටකරනවා එහෙම නොවෙයි. නුඹට මතකද වීදි සංචාරය කරද්දී අර පෙරදිග වීදියේ අසවල් තැන උඩු මහලේ එක්තරා ස්ති‍්‍රයක් මං දිහා බලාගෙන හිටියා.”
“දේවයන් වහන්ස, මොකෝ මතක නැත්තේ? එවෙලෙ ඉඳලා තමුන්නාන්සේ වෙනස් වුණා නෙව. තමුන්නාන්සේගේ ඇල්ම බැල්ම කතා බහ හැම දෙයක්ම හිරිවැටිලා ගියා වගේ වුණා නෙව.”
“එ්යි යහළුවා, එ්ක ඇත්ත. මං පිස්සු වැටුණා. හැබෑටම ඔය ස්ත්‍රිය කවුද?”
“දේවයන් වහන්ස, ඇය කන්‍යාවක් නොවෙයි. ඇය ගැහැණියක්. ඇයට ස්වාමියෙක් ඉන්නවා. බොහොම දුප්පත් පවුලක්. කරදරයක් නැතුව පාඩුවේ ඉන්න පිරිසක්.”
එතකොට රජතුමා කල්පනාවට වැටුණා.
“ම්…. ම්… එහෙමද? එහෙමනම් එ්කි බැඳපු එකියක් ඈ…. ඒකට මොකෝ? මං තමයි මේ රටේ රජා. මගේ ආනුභාවයට සියලු දෙනා යටත් විය යුතුයි. නමුත් ස්වාමියා ඉන්දැද්දී මෙයාව ගෙන්නගන්න එක හරි නෑ. කණවැන්දුම් කරවන්නට ඕන. ස්වාමියාව මරවලා දමන්නට ඕන. එතකොට මාළිගාවට ගෙන්න ගන්න එක සුළු දෙයක්.”
රජතුමා අර ස්වාමියාට පණිවිඩයක් යැව්වා. එ් ස්වාමියා බියෙන් බියෙන් රජු ඉදිරියට ආවා.
“එම්බා පුරුෂය, නුඹට මහා සතුටකට කාරණාවක් තියෙනවා. නුඹේ වාසනාව මතුවුණා. මං අද ඉඳලා රජවාසලේ සේවයට නුඹව කැඳවගන්නවා.”
“අනේ දේවයන් වහන්ස, ගැත්තාට අනුකම්පා කරන සේක්වා! මං බොහොම අහිංසකව නිදහසේ කුලී වැඩ කරලා ජීවත් වෙන කෙනෙක්. ඔබවහන්සේට යම් බදු ගෙවීමක් කරන්නට තියෙනවා නම් මං එ් සෑම දෙයක්ම ඉෂ්ට කරන්නම්. ඔබවහන්සේගේ අනුකම්පාවෙන් මගේ පරණ රස්සාව කරගෙන යන්න අවසර දෙන සේක්වා!”
“නැත…. නැත…. පුරුෂය, මට නුඹගෙන් කිසි බදු අයකිරීමක් අවශ්‍ය නැත. නුඹේ යහපත්කම ගැනයි මං පැහැදුණේ. එ් නිසා නුඹ ඔය කුලී වැඩ කළ යුතු නෑ. හොඳයි! හෙට ඉඳලා රාජකාරියට වරෙන්.”
දැන් අර පුද්ගලයා ඉතාමත්ම භක්තිමත්ව රජවාසලට සේවය පිණිස යනවා. ටික දවසකින් රජතුමා අර තැනැත්තා ඇමතුවා.
“එම්බා පුරුෂය, මට හදිසියේම කඩුපුල් මලුයි ලා සුදු පැහැයේ අරුණුවන් මැටියි අවශ්‍ය වෙලා තියෙනවා. හවසට මං නාන වෙලාවට එ්වා අරගෙන එන්න ඕන. දැන්මම පිටත්විය යුතුයි. මෙයින් යොදුනක් දුරින් තමයි එ්වා තියෙන්නේ. හැබැයි නාවොත් වැඩ වරදියි!”
අර පුද්ගලයා හොඳටම බය වුණා. හනිකට ගෙදර දිව්වා. මරණභයෙන් වෙව්ල වෙව්ල කියන්න ගත්තා.
“සොඳුරිය, ඉක්මනින්ම බත්මුලක් බැඳලා දෙන්න.”
“හිමියනි, තාම බත් ලිපේ. බත ඉදෙනකම් ඉන්න.”
“අපොයි! කොහොම ඉන්නද? පැය කීපයයි තියෙන්නේ. ඔය තියෙන දෙයක් ඉක්මනින් බැඳලා දෙන්න. මට වෙලාවට එන්න බැරිවුණොත් මං ගැන ඔයා බලාපොරොත්තු තියාගන්න එපා!”
බිරිඳ ඉක්මනින්ම බාගෙට තැම්බුණු බත් දාලා බත්මුලක් හැදුවා. මේ තැනැත්තා බත්මුලත් අරගෙන දුවන්න පටන් ගත්තා.
“අයියෝ! කඩුපුල් මල්! ලා සුදු පාට අරුණුවන් මැටි! හප්පේ…. මේවා තියෙන්නේ නාග ලෝකෙ නෙව. මං මේවා කොහෙන් ගේන්නද?”
ඔය විදිහට හිත හිතා යද්දී අතරමගදී අසරණ කෙනෙක් හම්බවුණා. ඔහු බඩගින්නේ හිටිය කෙනෙක්. තමන්ගේ බත්මුලෙන් කොටසක් ඔහුට කන්න දුන්නා. දැන් මෙයාට බත් කන්න සිහියක් නෑ. නමුත් කටක් දෙකක් කෑවා. ඉතුරු බත්ටික මාළුන්ට දැම්මා. මෙයා ගඟ ළඟට ගිහින් මාළුන්ට බත් දාලා අහස දිහා බලාගෙන කෑ ගහලා මෙහෙම කිව්වා.
“අනේ….! මේ ගඟ ඇසුරෙන් අධිගෘහිත නාගයෝ ඉන්නවා නම්, දෙවියෝ ඉන්නවා නම් මාගේ වචනය අහන්න. රජ්ජුරුවෝ මට අණ කළා. කඩුපුල් මල් ගේන්නලු! අරුණුවන් මැටි ගේන්නලු! අනේ…. දෙවිවරුනේ, මං දැන් කුසගිනි ඇති මනුස්සයෙකුට බත් කන්න දුන්නා. මාළුන්ට බත් දුන්නා. මිනිහෙකුට කෑම දුන්නොත් දහස් ගුණයක අනුසස් තියෙනවා. සතෙකුට කෑම දුන්නොත් සිය ගුණයක අනුසස් තියෙනවා. එ් සියලු පින් මං තමුන්නාන්සේලාට පූජා කරනවා. අනේ මට කඩුපුල් මලුයි, අරුණුවන් මැටියි ලැබෙන පිළිවෙලක් සලස්වන සේක්වා!”
කඳුළු වගුරුවමින් මේ අසරණ මිනිසා කෑ ගසා කියූ දෙය එම ප්‍රදේශයේ හිටපු නාගරාජයෙකුට ඇසුණා. එතකොට ඔහු සීයා කෙනෙකුගේ වේශයෙන් එතනට ආවා. ඇවිත් මෙයාගෙන් විස්තරය ඇහුවා.
“එහෙමනම් තමුසේ මට ඔය පින දෙනවාද? මං කඩුපුල් මලුයි අරුණුවන් මැටියි දෙන්නම්.”
“අනේ සීයේ, මං තමුන්නාන්සේට මේ පින දෙනවා දෙනවාමයි. මගේ මොකක්දෝ වාසනාවකටයි සීයා මුණ ගැහුණේ.”
එතකොට එ් සීයා වේශයෙන් හිටපු නාගරාජයා අර මනුස්සයාට කඩපුල් මලුයි අරුණුවන් මැටියි දුන්නා.
ඔය අතරේ කොසොල් රජ්ජුරුවෝ මෙහෙම කල්පනා කරනවා. ‘මිනිස්සු කියන්නේ අමුතුම සත්ව කොට්ඨාශයක්. මිනිස්සුන්ගේ කට්ට කයිරාටිකකම් හොයා ගන්න එක ලේසි නෑ. ඔය පුද්ගලයා කොයියම්ම ක්‍රමේකින් හරි ඉල්ලපු දේවල් හොයාගෙන ආවොත් මගේ වැඩේ හරියන්නේ නෑ’ කියලා වේලාසනින් දොරටුව වැස්සෙව්වා.
එතකොට අර මනුස්සයා හරියටම නාන වෙලාවට දුවගෙන ආවා. නමුත් වැඩේ හරිගියේ නෑ. දොර වහලා. ඔහු කෑ ගහලා කිව්වා
“එම්බල දොරටුපාලය, මං රාජපුරුෂයෙක්. මං රාජකාරියකට ගියේ. වහාම දොර ඇරපන්. මේක රජ්ජුරුවන්ගේ අවශ්‍යතාවයක්.”
නමුත් දොරටුපාලයෝ දොර ඇරියේ නෑ. එතකොට ඔහු එ් දොරටුව ළඟ අරුණුවන් මැටි මත කඩුපුල් මල් තියලා නගරවාසීන්ට කෑ ගහලා කිව්වා,
“අනේ….! නගර වැසියනේ…. බලාපල්ලා…. මං ඔන්න රාජ අණ ඉෂ්ට කළා. රජ අණ කැඩුවේ නෑ. හැබැයි රජතුමා මට අච්චු කළොත් එ් කරන්නේ නිස්කාරණේ මිසක් සාධාරණව නෙවෙයි” කියල.
ඔහු තනියෙන් හිතන්න ගත්තා. ‘දැන් මං කොහෙද යන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මෘදු හදවතින් යුක්තයි. එ් නිසා මං එ් භික්ෂූන් වහන්සේලා ඉන්න තැනකට යනවා. ඔවුන් හැර මට වෙන පිළිසරණක් නෑ’ කියල භික්ෂූන් වහන්සේලා වැඩසිටින ආවාසයකට ගියා.
රජතුමාට මතක් වෙන්නේම අර ස්ත්‍රියයි. රාගයෙන් දැවි දැවී ඉන්නවා.
‘ඔව්…! හෙට උදේ උන්දෑ ඉවරයි. ඊට පස්සේ එ් ලස්සන කාන්තාව ඉන්නෙ කොහේද? වෙන කොහේද ඉතින් මං ළඟ මිසක්කා.’
එදා රෑ රජ්ජුරුවන්ට නින්ද ගියේ නෑ. රාජ යහනේ එහා මෙහා පෙරලි පෙරලී කාම ගින්නෙන් දැවි දැවී නින්දක් නැතුව ඉන්න කොට එක පාරටම අමුතු නිශ්ශබ්දතාවයක් ඇතිවුණා. ඊට පස්සේ භයානක හඬින් ශබ්ද හතරක් ඇසුනා. “දු …….. ස ………. න ………….. සෝ ………..” කියන මේ අමුතු සද්දය ඇහෙන කොට රජතුමා උඩ විසිවුණා. ඇස් ලොකු වුණා. දහඩිය දෑවා. ගැහෙන්න පටන් ගත්තා. ඇඳේ වාඩිවෙලා, බිරාන්ත වෙලා කල්පනා කරන්න ගත්තා.
“හප්පේ….. මහා භයංකාර සද්දයක්. මුළු මාළිගයම වෙව්ලුං කෑවා. ජනපදයම වෙව්ලුං කෑවා. මොකක්ද හැබෑවටම එ් සද්දේ…? භූතයෙක්වත්ද?”
රජතුමාගේ රාගය කොහෙන් ගියාද නෑ. එළිවෙනකම් නින්දක් නෑ. පහුවදා පුරෝහිත බමුණන් කැඳෙව්වා. එ් සද්දය මොකක්ද කියලා විමසුවා. පුරෝහිත බමුණා නිමිති බැලුවා. බලලා මෙහෙම කිව්වා.
“දේවයන් වහන්ස, මහා භයානක කාලයක් එනවා. නව ග්රහයොම කිපිලා. මහා එ්රාෂ්ටකයක් ලබලා තියෙන්නේ. මේකෙන් නම් ගැලවෙන එක ලේසි නෑ. අනතුර තියෙන්නේ තමුන්නාන්සේටමයි.”
රජතුමා තවත් බයවුණා.
“අහෝ….! ආචාර්යෝත්තමයාණන් වහන්ස, එතකොට මේ වේදයට අනුව මට පිහිටක් නැද්ද?”
එ් වෙලාවේ පුරෝහිත බමුණා නළල රැළි නංවා බරපතල විදිහට කල්පනා කළා. දිව පටලෝ පටලෝ කෙඳිරි ගෑවා. ජටා මඬුළු අතගෑවා. විසඳුමක් හම්බවුණා වගේ ගාම්භීර විදිහට කිව්වා.
“මහ රජ්ජුරුවන් වහන්ස, අපගේ උතුම් වූ මේ වේදයේ විසඳුම් නැත්නම් ආයෙ ලෝකයේ විසඳුම් නැත! එනිසා අපේ මේ නැකත්, තරු ආදිය පිහිටා තියෙන පිළිවෙල බැලුවාම අගේට පෙන්නුම් කරනවා. මහ රජ්ජුරුවන් වහන්ස, විසඳුමක් තියෙනවාමයි. හැබැයි සෑහෙන ධන ධාන්‍ය කැප කරන්න වේවි. මහා යාගයක් කළ යුතුයි! මේ යාගයට කියන්නේ ‘සර්වසියය’ කියලයි. එ් කියන්නේ රජ්ජුරුවන් වහන්ස, මේකට ගන්න ඕන ඇත්තු සීයක්. අස්පයෝ සීයක්. ගවනාම්බෝ සීයක්. ගවදෙන්නු සීයක්. බූරුවෝ සීයක්. එළුවෝ සීයක්. කුකුලෝ සීයක්. ඌරෝ සීයක්. දරුවන් සීයක්. දැරියන් සීයක්. එ් සියලු දෙනාම එකම නැකතට මරන්න ඕන.”
රජ්ජුරුවෝ වහාම ඇමති මණ්ඩලය රැස්කළා. තීරණය දැනුම් දුන්නා.
“දැන් තමුසෙලා වහාම, කිසිසේත් ප්‍රමාද නොකොට මේ සෑම යාග උපකරණයක්ම රැස්කළ යුතුයි. රජු රැකුණොත් රට රැකෙන බව දත යුතුයි.”
එතකොට තමන්ගේ දූදරුවන් යාගය පිණිස මරන්න එකතුකරද්දී මිනිසුන් අතර මහා දුක් අඳෝනාවක්, මහා වැළපීමක් හටගත්තා. මුහුදුරළ ඝෝෂාවක් වගේ එ් ශෝකී ස්වරය දෝංකාර දුන්නා.
රජතුමා හැම දෙයක්ම එපා වුණා වගේ මූණ එල්ලගෙන බර කල්පනාවක හිටියා. මල්ලිකා බිසව රජතුමාගෙන් විමසුවා.
“මහා රජාණෙනි, තමුන්නාන්සේට මොකද මේ…? මූණකට මැළවිලා. සුදුමැලිවෙලා. කලන්තේ වගේ. මොකද වුණේ?”
“මොකද වුණේ…..? එම්බා මල්ලිකා, නුඹ මොකවත් දන් නෑ නේ. පේන්නැද්ද? මගේ කන ළඟටම ඝෝර විෂ ඇති සර්පයෙක් ඇවිදින් ඉන්න බව. ඊයෙ රෑ මාළිගයත් ජනපදයත් මුළුමහත් ආකාසෙත් දෙදුරුම්කාගෙන ආපු සද්දෙ නුඹට ඇහුණෙ නැද්ද? අනේ හැබෑට, නුඹට කිසි වගක් නැති හැටි!”
“මහරජතුමනි, මේ… මොකද මෙතරම් සත්තු රැස් කරන්නේ. මහා ඝෝෂාවක් නෙව. මිනිස්සුත් කෑ ගහනවා. වැළපෙනවා. මොකක්ද මේ වෙලා තියෙන්නේ?”
“මල්ලිකා, මට භයානක එ්රාෂ්ටකයක් ලබලා තියෙනවා. ගිරහයෝ නව දෙනාම කුලප්පුවෙලා. උන්දැලාව සතුටු කරන්න තියෙන්නේ මහානුභාව සම්පන්න යාගයක් කරලා විතරයි. එ්ක නෙව ඔය සූදානම් කරන්නේ……. මගේ මේ ජීවිතයේ වටිනාකම ඔය වගේ සතුන් කීප දෙනෙක් මැරුණා කියලා සංසන්දනය කරන්න පුළුවන්ද?”
මල්ලිකා දේවියට බලවත් දුකක් ඇතිවුණා. මල්ලිකා දේවිය ඉක්මනින්ම තම ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට ගියා. ගිහින් මේ සියල්ල සැළකළා.
“අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මේ මිථ්‍යා විශ්වාස නිසා බොහෝ දෙනෙකුගේ ලෙයින් රාජාංගනය තෙමිලා විශාල පවක් රැස්වෙන්නයි යන්නේ. අනේ ස්වාමීනී, මෙයට පිළිසරණ වන සේක්වා!”
බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමා මුණ ගැසුනා. මුණගැසිලා රජතුමාට වදාළා.
“පින්වත් මහරජ, මේ සද්දය භයානක හඬක් බව හැබෑව. නමුත් එය ඔබට අදාළ නැහැ. රටවැසියන්ට අනතුරකුත් නැහැ. ඔබට අනතුරකුත් නැහැ. මෙය වෙනත් දෙයක්.
ගොඩාක් ඉස්සර කාලෙක කාශ්‍යප නමින් බුදුරජාණන් වහන්සේ නමක් වැඩසිටියා. එ් කාලෙ බරණැස් නුවර යහළු සිටුවරු කිහිප දෙනෙක් හිටියා. දවසක් ඔවුන් රැස්වෙලා කතාබස් කළා.
“දැන් අපට ඕන තරම් සල්ලි තියෙනවා. අපි මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්නවා. අපි හොඳට දන්දෙමු. සිල් රකිමු. පුද පූජාවන් පවත්වමු.”
එතකොට තව එක්කෙනෙක් මෙහෙම කිව්වා.
“හනේ….. හනේ…. ඔහේට පිස්සුද? ධනය තියෙන්නේ ඕකටද? මස් මාළු අරක්කු ආදිය තියෙන්නේ වේලෙන්න දාන්නද? එ්ව ගන්න තමයි සල්ලි තියෙන්නේ. හොඳට කාලා බීලා ඉම්මු.”
තව කෙනෙක් මෙහෙම කිව්වා.
“සල්ලි තියෙනවා නම් මොනවද නැත්තේ? ඇයි කෑම බීම විතරද ඕන? සල්ලි තියෙනවා නම් ගෑණුත් ඕන තරම් ඉන්නවා. එ් නිසා මේ…… ඔය විකාර කතා නොකර ඉන්න ටික දොහේ ජීවිතයේ උපරිම ප්‍රයෝජනය ගනිමු.”
ඉතින් මේ අය හැම සතයක්ම වියදම් කළා. කෑවා බිව්වා. ස්ත්‍රී දූෂණයේ යෙදුණා. පවුල් කඩාකප්පල් කළා. මරණින් මතු නිරයේ උපන්නා. මේ දිනවල ඔවුන් ඉන්නේ ලෝකුඹු නිරයේ ඉපදිලා. වර්ෂ දහස් ගණනක් ගතවුණා. එ් බුදු සසුන තියෙන කාලෙ මනුස්සයින්ගේ ආයුෂ අවුරුදු විසිදාහයි. දැන් වැඩිම වුණොත් අවුරුදු සියයයි. නැත්නම් එකසිය විස්සයි. මෙතෙක් ආයුෂ අඩුවෙන තුරුම ඔවුන් නිරයේ. ඉතින් මේ හතර දෙනා ලෝකුඹු නිරයෙන් උඩට මතුවුණා. එ් වෙලාවේ ගාථාවක් කියන්න මහන්සි ගත්තා. එ් අයට කියන්න පුළුවන් වුණේ එක අක්ෂරයයි. මහරජතුමනි, ඔබට ඉස්සෙල්ලාම ඇහුණේ මොකක්ද?”
“ස්වාමීනී, මට ඉස්සෙල්ලාම ඇහුණේ ‘දු’යන්න.”
“මහරජතුමනි, එයාට කියන්න ඕන වුණේ මෙන්න මේ ගාථාවයි.
‘දුජ්ජීවිතං අජීවිම්හ – යේ සන්තේ න දදම්හසේ
විජ්ජමානේසු භෝගේසු – දීපං නාකම්ම අත්තනෝ
අපට දන් දෙන්න ඕන තරම් දේවල් තිබුණා. නමුත් පින් කරගත්තේ නෑ. දුස්සීල ජීවිතයක් ගෙව්වේ. භෝග සම්පත් තියෙද්දී තමන්ට පිහිටක් කරගත්තේ නෑ.’
“මහරජතුමනි, ඔබට ඊළඟට ඇහුණේ මොකක්ද?”
“ස්වාමීනී, මට ඇහුනේ ‘ස’ යන්න.”
“මහරජතුමනි, අනිත් එක්කෙනාට කියන්න ඕන වුණේ මෙන්න මේ ගාථාවයි.
‘සට්ඨි වස්ස සහස්සානි – පරිපුණ්ණානි සබ්බසෝ
නිරයේ පච්චමානානං – කදා අන්තෝ භවිස්සති
දැන් නිරයේ පැහෙන්න අරගෙන සම්පූර්ණයෙන්ම අවුරුදු හැටදහසක් පිරුණා. අයියෝ…. මේ දුක අවසන් වෙන්නේ කවදාද?’
“මහරජතුමනි, ඔබට ඊළඟට ඇහුණේ මොකක්ද?”
“ස්වාමීනී, මට ඇහුණේ ‘න’ යන්න.”
“මහරජතුමනි, ඊළඟ එක්කෙනාට කියන්න ඕන වුණේ මෙන්න මේ ගාථාවයි.
‘නත්ථි අන්තෝ කුතෝ අන්තෝ – න අන්තෝ පටිදිස්සති
තදා හි පකතං පාපං – මම තුය්හඤ් ච මාරිසා
අනේ දෙවියනේ….. නුඹත් මාත් යම් දවසක බොහෝ පව් කළානේ. මේ විපාකවල ඉවරයක් නෑ. කවද්ද ඉවර වෙන්නේ? මේකෙ ඉවරයක් නම් පෙනෙන්නෙ නෑ.’
“මහරජතුමනි, ඔබට ඊළඟට ඇහුණේ මොකක්ද?”
“ස්වාමීනී, මට ඇහුණේ ‘සෝ’ යන්න.”
“මහරජතුමනි, හතරවැනියාට කියන්න ඕන වුණේ මෙන්න මේ ගාථාවයි.
‘සෝ’හං නූන ඉතෝ ගන්ත්වා – යෝනිං ලද්ධාන මානුසිං
වදඤ්ඤූ සීලසම්පන්නෝ – කාහාමි කුසලං බහුං
අනේ මං මෙතනින් බේරිලා ගිහින් මට ආයෙමත් මනුස්ස ජීවිතයක් ලැබුණොත් මං ළඟට ඇවිත් යමෙක් යමක් ඉල්ලනවා නම් එ් ඉල්ලීමට සුදුස්සෙක් වෙනවා. සිල්වත් වෙනවා. බොහෝ කුසල් කරනවා.’
මහරජතුමනි, ඕක තමයි ඔය ශබ්ද හතරේ තේරුම. ඔවුන්ට සම්පූර්ණයෙන්ම කියාගන්නට ලැබුණේ නෑ.”
රජ්ජුරුවන්ට හීන් දාඩිය දැම්මා. ‘හප්පේ….! එතකොට අනුන්ගේ කාන්තාවන් සේවනය කිරීම මහා බරපතල දෙයක් නෙව. එක බුද්ධාන්තර කල්පයකුත් ගෙවිලා තවම අවසන් වෙලා නැහැ නෙව’ කියල හිතලා බුදුරජාණන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, මට මේ රාත්‍රිය පුදුමාකාර දීර්ඝ රාත්‍රියක්.”
එතකොට අර කඩුපුල් මල් ගෙනාපු පුද්ගලයත් සෙනඟ අතර හිටියා. ඔහු පැත්තකින් වැඳගෙන මෙහෙම කියනවා.
“අපේ මහරජ්ජුරුවන් වහන්සේට රැය ඉතාම දීර්ඝයි. මටත් එ් වගේමයි. මේ යොදුනක දුර මොනතරම් දුරක්ද කියලා තේරුණේ ඊයෙ තමයි.”
එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.
මේ සිද්ධියෙන් ඔබට තේරෙනවා ඇති සසර ගමන කොතරම් බරපතලද
කියලා. අපි හිතන තරම් ලස්සන ගමනක් නෙවෙයි. වැඩිපුර අපට
ලැබෙන්නේ සත්පුරුෂ ආශ්‍රය නොවෙයි. අසත්පුරුෂ ආශ්‍රයයි.
දැක්කනේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙ පාප මිත්‍ර
ආශ්රයෙන් වෙච්ච දේ. කෙනෙකුට ඕන වුණා පින් කරගන්න. සිල්
රකින්නත් ඕන වුණා. දන් දෙන්නත් ඕන වුණා. නමුත් අසත්පුරුෂ
බාලයන්ගේ බහට හසුවුණු යහපත් පුද්ගලයන් පවා විනාශ වුණා.
නිරයේ වැටිලා දුක් විඳින කොට අරයා කිව්වා, මෙයා කිව්වා කියලා
බේරෙන්න බැහැ නෙව.
මේ සත්‍ය තත්වය අපි තේරුම් ගන්නට ඕන.
එදා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව විස්තර කොට චතුරාර්ය සත්‍යය
වදාළා. අර කඩුපුල් මල් ගෙනාපු පුද්ගලයා එම ආසනයේදීම
සෝවාන් ඵලයට පත්වුණා. සතර අපායෙන් සදහටම අත්මිදුණා.
රජතුමා හොඳටම පැහැදුණා. අඥාන පුරෝහිතයන්ගේ ආකාසේ
ඉන්න නවග්‍රහයන් ගැන කළකිරුණා. යාගය වහාම නැවැත්තුවා.
සියලු සතුන් නිදහස් කෙරෙව්වා. හොඳට සංග්‍රහ කරලා පිටත් කළා.
එ් වගේම රජතුමා මල්ලිකා දේවියට බොහොම පින් දුන්නා.
The Story of a Person
While residing at the Jetavana monastery, the Buddha uttered with
reference to a certain young man and King Pasenadi
of Kosala.
One day King Pasenadi, while going out in the city,
happened to see a beautiful young woman standing at
the window of her house and he instantly fell in love
with her. So the king tried to find ways and means of
getting her. Finding that she was a married woman,
he sent for her husband and made him serve at
the palace. Later, the husband was sent on an impossible
errand by the king. The young man was to go to a place,
a yojana (twelve miles) away from Savatthi, bring back
some Kumuda lotus flowers and some red earth
called 'arunavati' from the land of the dragons (nagas)
and arrive back at Savatthi the same evening, in time
for the king's bath. The king's intention was to kill the
husband if he failed to arrive back in time, and to take
the wife for himself.
Hurriedly taking a food packet from his wife, the young
man set out on his errand. On the way, he shared his
food with a traveller. He also threw some rice into the
water and said loudly, "O guardian spirits and dragons
inhabiting this river! King Pasenadi has commanded
me to get some Kumuda lotus flowers and arunavati
red earth for him. I have today shared my food with a
traveller; I have also fed the fish in the river; I now share
with you the benefits of the good deeds I have done today.
Please get the Kumuda lotus and arunavati red earth for me."
The king of the dragons, hearing him, took the appearance
of an old man and brought the lotus and the red earth.
On that evening, King Pasenadi, fearing that the young
husband might arrive back in time, had the city-gates
closed early. The young man, finding the city-gates closed,
placed the red earth on the city-wall and stuck the flowers
on the earth. Then he declared loudly, "O citizens! Be my
witnesses! I have today accomplished my errand in time as
instructed by the king. King Pasenadi, without any
justification, plans to kill me." After that, the young man
left for the Jetavana monastery to take shelter and find
solace in the peaceful atmosphere of the monastery.
Meanwhile, King Pasenadi, obsessed with sexual desire,
could not sleep, and kept thinking out how he would get rid
of the husband in the morning and take his wife. At about
midnight, he heard some eerie sounds; actually, these
were the doleful voices of four persons suffering in
Lohakumbhi Niraya . Hearing those weird voices, the king
was terrified. Early in the morning, he went to the Buddha,
as advised by Queen Mallika. When the Buddha was
told about the four voices the king heard in the night, he
explained to the king that those were the voices of four
beings, who were the sons of rich men during the time of
Kassapa Buddha, and that now they were suffering in
Lohakumbhi Niraya because they had committed sexual
misconduct with other people's wives. Then, the king
came to realize the depravity of the deed and the severity
of the punishment. So, he decided then and there that he
would no longer covet another man's wife. "After all, it was
on account of my intense desire for another man's wife
that I was tormented and could not sleep the whole
of last night," he reflected. Then King Pasenadi
said to the Buddha, "Venerable Sir, now I know how long
the night is for one who cannot sleep." The young man
who was close at hand also said, "Venerable Sir, because
I had travelled the full distance of a yojana yesterday,
I, too, know how long the journey of a yojana is to one who
is weary."
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
No comments:
Post a Comment