Monday, August 19, 2013

ධම්ම පදය - චිත්ත වර්ගය 1 - 2

1. ඵන්දනං චපලං චිත්තං – දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවි – උසුකාරෝ ව තේජනං
හරි කලබලයි මේ සිත – එලෙසින්ම සිත චපලය
රැක ගැනුම අසීරුය – පවින් වැළකුමද අසීරුය
එනමුත් නුවණ ඇති අය – දහම තුළ ඍජු කරයි මේ සිත
හී දණ්ඬේ ඇද හරිනා – නුවණැති හී වඩුවා ලෙස

The Wise Person Straightens The Mind

Mind agitated, wavering,
hard to guard and hard to check,
one of wisdom renders straight
as arrow-maker a shaft.
Explanation: In the Dhammapada there are 
several references to the craftsmanship of the 
fletcher. The Buddha seems to have observed 
the process through which a fletcher 
transforms an ordinary stick into an efficient 
arrow-shaft. The disciplining of the mind is
 seen as being a parallel process. In this 
stanza the Buddha says that the wise one 
straightens and steadies the vacillating mind 
that is difficult to guard, like a fletcher 
straightening an arrow-shaft.

2. වාරිජෝව ථලේ ඛිත්තෝ – ඕකමෝකත උබ්භතෝ
පරිඵන්දතිදං චිත්තං – මාරධෙය්යං පහාතවේ
ජලයෙන් ගොඩට ගත් විට – දුකින් දඟලන මාළුවෙකු ලෙස
සැප දුක ලැබෙන විට – නිතර දඟලයි සිතද මෙලෙසට
හැමවිටම සැලෙනා සිත – දැන හොඳින් දමනය කොට
හසු නොවී මාර උගුලට – එය බැහැර කළ යුතුමය


he Fluttering Mind

As fish from watery home
is drawn and cast upon the land,
even so flounders this mind
while Mara’s Realm abandoning.
Explanation: When making an effort to abandon the realm of Mara (evil), the mind begins to quiver like a fish taken out of the water and thrown on land.


 පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේ මේ සිත ගැන මොනතරම් දන්නවාද. උන්වහන්සේට මොනතරම් ගැඹුරු අවබෝධයක් මේ සිත ගැන තිබිල තියෙනවාද. ඒ නිසානෙ හිතේ මෙම ස්වභාවය තිබෙන බව මෙතරම් ලස්සනට කියල දෙන්නෙ. මේ සිත අරමුණක් පාසා සැලෙනවා. ඒ වගේම කිසිම කලක මේ සිත නම් විශ්වාස කරන්නට හොඳ නෑ. වෙලාවකට මේ සිත ඉතාමත් ශාන්තයි. එතකොට අපි මේ සිතට රැවටෙනවා. ආයෙ කලබල වෙන එකක් නෑ කියල හිතනවා. නමුත් ඊළඟ මොහොතේ මේ සිත විසිරෙනවා. සිත සංවර වෙලා තියෙන කොට අපට හිතෙන්නෙ ආයෙත් නම්, මේ සිත කිලූටු වෙන එකක් නෑ කියලයි. නමුත් අපටත් හොරාම සිත වෙනස් වෙනවා. කිලූටු වෙලා යනවා. මේ සිත කියන්නේ චපල දෙයක්. මේ චපල වූ සිත නිසාමයි අපට මේ සසරේ මෙතරම් දුරක් ගෙව ගෙවා පැමිණෙන්නට සිද්ධ වුනේ. තවදුරටත් සසරේ යන්නට සිද්ධ වන්නේ සිතේ චපලකම නිසාමයි.
මේ සිත රැක ගැනීම ලේසි දෙයක් නෙවෙයි. මහත් වීරියක් වුවමනයි. මේ සිත රැකගන්නෙ නුවණැති කෙනෙක්මයි. නුවණැති කෙනා අකුසල් හඳුනාගෙන බැහැර කරනවා. කුසල් දියුණු කරනවා. කුසලයේම සිත පිහිටුවනවා. ඒ තුළින් තමයි මේ සිත ආරක්ෂා කරගන්නට පුළුවන් වන්නෙ. අකුසල් වලින් බේරාගෙන කුසලයේම සිත පිහිටුවාගෙන ඉන්නවා කියන්නෙ මහා ආනුභාව සම්පන්න දේකටයි. එබඳු කෙනෙක් තමන්ගෙ ජීවිතය ඉතාමත් සාර්ථක කරගන්නවා.
දෙවෙනි ගථාවෙන් මේ හිතේ තියෙන ලාමක ස්වභාවය හොඳින් පෙන්වා දෙනවා. පින්වත් දරුවනේ, වතුරෙන් ගොඩට ගත්තු මාළුන්ව ඔබ දැකල ඇති. ඒ මාළු ඉන්නෙ හරි අමාරුවෙන්. හරිම පීඩාවෙන්. ඒ මාළු උඩ පැන පැන දඟලනවා. වතුර නැති නිසාමයි දඟලන්නෙ. මේ සිතත් සැප ලැබෙන වෙලාවට සැප රඳවගන්න දඟලනවා. දුක් ලැබෙන වෙලාවට දුකින් පැන යන්න දඟලනවා. හරිම විසිරීමකින් පවතිනවා. ඉතාමත්ම කලබලයි. මහත් පීඩාවකින් යුක්තයි. මේ වගේ දඟලන සිත නැවත නැවතත් ඇදිලා යන්නෙ වතුර ලැබෙන වෙලාවට සතුටු වෙන මාළුවා වගේ කාම අරමුණුවලටමයි. ඒ කාම අරමුණුවලට හසුවුන කෙනා ලෙහෙසියෙන් ගැලවෙන්නෙ නෑ.
 ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ කාම අරමුණු කියන්නේ මාරයාගේ තොණ්ඩුව කියලයි. ඒ මාර උගුලට හසුවෙන්නෙ හිතේ ඇති මේ ස්වභාවය හඳුනා නොගත් කෙනයි. හිතේ මෙම ලක්ෂණය හඳුනාගත් කෙනා හෙමින් හෙමින් මේ සිත දමනය කරනවා.
සිත දමනය කිරීම ඉතාමත් අසීරු දෙයක් බව සිතේ ස්වභාවය දන්නා කවුරුත් පිළිගන්නවා. එබඳු සිතට හසු නොවී ජය ගැනීමට නම් තමන් තුළ විශේෂ ගුණධර්ම දියුණු කරගත යුතුයි. ඇත්තෙන්ම ජීවිත අවබෝධය සඳහා වුවමනා කරන කුසලතා ඇතිවයි බොහෝ දෙනෙක් උපදින්නේ. නමුත් ඔවුන් අභ්‍යන්තර ගුණධර්ම දියුණු කිරීම ගැන අවධානය යොමු නොකරන නිසා කලක් යන විට තම කුසලතා පිරිහී යනවා. වයසට යන විට දුර්වල වෙනවා. කල්පනාව නැතිව යනවා. නොමඟ ගිය සිතක් සමඟ ජීවත් වෙලා මිය යනවා. එසේ මිය යාමේදී ඔහුට සිත දියුණු කිරීමේ දුර්ලභ අවස්ථාව අහිමි වීමෙන් අවසනාව තමයි ඉතුරු වෙන්නෙ.
මේ සිත දමනය කළ යුත්තේ ඒ නිසයි. ඒ ගැන බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාළා. මෙහි පළමු ගාථාවෙන් එම උපමාව සඳහන් වෙනවා. හී වඩුවෙක් ඉන්නවා. ඔහුට ලැබෙන්නේ ඇද වෙච්ච යකඩ කූරු. ඔහු ඒ යකඩ කූරු හොඳට රත් කරනවා. ඊට පස්සේ හොඳින් රත් වුණු ඒ යකඩ කූරු මිටියෙන් තලනවා. ටිකෙන් ටික ඍජු කරනවා. අන්තිමේදි ඉතාමත්ම ඍජු හී දඬු සදන්නට ඔහු සමත් වෙනවා.
 අන්න ඒ වගේ නුවණැති කෙනා මේ සිතට රැවටෙන්නෙ නෑ. සිතට අවවාද කරනවා. කීකරු කරගන්නවා. මෙවැනි ලාමක සිතක් ධර්මය තුළ දමනය කරගෙන නිවන් මගට ඍජු කරන්නට ඇත්නම් මොන තරම් වාසනාවක්ද.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ!

**  මේ ටිකේ මට බොහෝ දේ මගහැරුනා. සමාවෙන්න ඕනෙ. හරියට වැඩ. පොඩියට පෙර පාසැලක් පටන් ගන්නවා. ඒ සඳහා
 මගේ කාලයෙන් වැඩි කොටසක් වැය උනා. මෙන්න තැන.

Saturday, July 20, 2013

ධම්ම පදය - අප්පමාද වර්ගය - 11 - 12



11 . අප්පමාද රතෝ භික්ඛු – පමාදේ භයදස්සිවා

සංයොජනං අණුංථූලං – ඩහං අග්ගී ව ගච්ඡති



යම් භික්ෂුවක් අප්‍රමාදයෙහි ඇලී සිටිනවා නම්, ප්‍රමාදවීමේ 

ඇති භයානක අනතුර දකිනවා නම්, හැම දෙයක්ම 

දවාගෙන යන ගින්නක් වගේ, ලොකු කුඩා හැම 

බන්ධනයක්ම නසා ගෙන ඒ අමා නිවන කරාම යනවා.


(ජේතවනාරාමයේ දී එක්තරා භික්ෂුවක් අරභයා වදාල ගාථාවකි )


Appamādarato bhikkhu pamāde bhaya dassivā
Saṃyojanaṃ aṇuṃ thūlaṃ ḍahaṃ aggīva gacchati. 


The monk, as the seeker after truth is frightened of mindlessness because he knows that if one is unmindful ,one will be caught up in the unending suffering of samsara.   Therefore , he forges ahead diligently , and mindfully  burning away those bonds that  fetter people to worldliness. 



උත්සාහය කියන්නේ පුදුම දෙයක්. කැපවීම කියන්නේ පුදුම දෙයක්. නුවණින් විමසනවා කියන්නේ පුදුම දෙයක්. මේ සියලු දේ ඕනම කෙනෙකුගේ සාර්ථකත්වය පිටුපස තියෙනවා. මේ සියලු දේ තුළින් තමයි සියලු බාධක මැඬගෙන ඉදිරියට යන්නෙ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ වුනත් සසුන්ගත වූ භික්ෂූන් වහන්සේලා හට ඉබේම සිල් පිහිටියේ නෑ. ඉබේම සිත සමාධිමත් වුනේ නෑ. ඉබේම ප‍්‍රඥාව ඇති වුනේ නෑ. බොහෝම මහන්සි වුනා. කැපවුනා. වීරියවන්ත වුනා. අඩු පහසුකම් වලින් සතුටු වුනා.

එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වදාළා භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙක් ඉක්මනින්ම අරහත්වයට පත්වීමට උන්වහන්සේලාගේ කැපවීම මහත් සේ උපකාරී වූ බව. ඒ කාලයේ බොහෝ භික්ෂූන් වහන්සේලා නිතර නිතර උත්සාහ කළේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමටයි. ඇතැම් අවස්ථාවලදී නින්දට කිසිම තැනක් දුන්නෙ නෑ. හිසට තබා ගත්තෙ ලී කොට්ට. ඒ නිසා නිදාගැනීමෙන් සතුටක් ලැබුවෙ නෑ. නිදාගත්තෙ වෙහෙස නිවාගන්න විතරයි. සිහිනුවණින්ම සැතපුනා. සිහිනුවණින්ම අවදිවුනා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ පුළුන් කොට්ට ලැබුනට පස්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා නින්දට ආසා කළ බවයි. ඒ නිසාම අප‍්‍රමාදී බවට ආසා කරන භික්ෂූන් අඩු වුනා.
මෙම කථාවේ සඳහන් ස්වාමීන් වහන්සේ ඉතා හොඳ වීරියකින් යුතු අප‍්‍රමාදී කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටිද්දී උන්වහන්සේගෙන් භාවනා උපදෙස් ලබාගත් මෙම ස්වාමීන් වහන්සේ වනාන්තරයකට වැඩියා. වනයට පැමිණි දවසේ සිට සතර සතිපට්ඨානය තුළ සිත පිහිටුවා ගන්නට මහත් උත්සාහයක් ගත්තා. නමුත් සාර්ථක වුනේ නෑ. මොහොතක්වත් චිත්ත සමාධිය ඇතිකරගන්නට පුළුවන් වුනේ නෑ. නමුත් මෙම ස්වාමීන් වහන්සේ ඒ ගැන දුකට පත්වුනේ නෑ. කම්පා වුනෙත් නෑ. උත්සාහය අත්හැරියෙත් නෑ. දිගින් දිගටම උත්සාහ කළා. හිත කළබල කරගත්තේ නෑ. මෙසේ කාලයක් ගත වූ නමුත් ප‍්‍රතිඵලයක් නැති නිසා උන්වහන්සේ යළිත් බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට කල්පනා කළා.
සැවැත් නුවරට වඩිද්දී හැම මොහොතේම සිහි නුවණින් යුතුව පා තැබුවා. සිහි නුවණින් යුතුව වටපිට බැලුවා. සිහිනුවණින් යුතුව ගමන් කළා. උන්වහන්සේට ඒ ගමනේදී එක්තරා වන ලැහැබකදී ඇවිලෙමින් තිබෙන මහා ගිනිකඳක් දකින්නට ලැබුනා. ඒ ගිනිකඳ විශාල ගස් වෙලා ගන්නවා. පුංචි ගසුත් ගොදුරු කරගන්නවා. ගින්නට අහු නොවෙන දෙයක් නෑ. ගිනි දැල් වලින් වනයේ සෑම දෙයක්ම වෙලා ගෙන පුළුස්සා දමනවා. ඒ ස්වාමීන් වහන්සේ බුර බුරා ඇවිලෙන ගින්න දෙස පුදුමයෙන් වගේ බලාගෙන සිටියා. ”මේ ගින්න හරි අපූරු දෙයක් නෙව. හැම දෙයක්ම පුළුස්සා දමනවා. ගින්නට හසු නොවී බේරෙන්නට මේ කිසිම ගහකොළකට පුළුවන් කමක් නැහැ නෙව. අර…. අර…. මහ ගිනි දැල් වලින් ගස් වැල් වෙලෙනවා. ඒ ගින්නට මැදිවෙන ගස් වැල් ඇඹරිලා කඩාවැටෙනවා. පුංචි ගස්වල මේ ගින්න සැණෙකින් වෙලෙනවා. ඒ ගස් ගින්නෙන් ඇඹරිලා පිළිස්සිලා යනවා. අළුයි, දැලියි තමයි අන්තිමට විසිරිලා යන්නෙ. අනේ මටත් මේ ගින්න වගේ විදර්ශනා ප‍්‍රඥාව උපදවා ගන්න ඇත්නම්…. එතකොට මේ සිතේ තියෙන කුඩා මහත් හැම ක්ලේශයක්ම ඒ විදර්ශනා ප‍්‍රඥාව නැමැති ගින්නෙන් පුළුස්සා දමන්න පුළුවනි.”
තමන් බලා සිටින ගින්න තුළින් දියුණු කරමින් යන ධර්මය ගැන වැටහෙන්න පටන් ගත්තා. මෙතෙක් කලක් කොතෙක් උත්සාහ කළත් සංසුන් කරගත නොහැකිව තිබුනු සිත සංසුන් වෙන්න පටන් ගත්තා. ශාන්ත වෙන්න පටන් ගත්තා. සංසිඳෙන්න පටන් ගත්තා. සැවැත් නුවර වැඩසිටි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ වීරියවන්ත භික්ෂුවගේ සිතේ ඇතිවෙන අප‍්‍රමාදී සංකල්පනා දැක්කා. බුදුරජාණන් වහන්සේ ආලෝක ධාරාවක් ඒ භික්ෂුව දෙසට පෙනෙන්න සැලැස්සුවා. ඉර්ධි බලයෙන් එතැනට වැඩම කළා. ”පින්වත් භික්ෂුව, ඒක ඇත්ත. මේ ආර්ය මාර්ගය දියුණු කරන්න ගන්න උත්සාහය තුළ ඇතිවෙන විදර්ශනා ප‍්‍රඥාව මේ ගින්න වගේ තමයි. ඔබ සිතුවා හරි. ඒ විදර්ශනා ප‍්‍රඥාව නැමැති ගින්නට සතර අපායේ උපදවන සියලු කෙලෙස් පුළුස්සා දමන්න පුළුවන්. සසරේ ඇදි ඇදී යන යළි යළි උපත ලබා දෙන සියලු කෙලෙස් පුළුස්සා දමන්න පුළුවන්. ඒ වගේම කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ යන මේ ඕනම භවයක උපතක් කරා ගෙනයන සියලූම කෙලෙස් නැති කර දමන්න විදර්ශනා ප‍්‍රඥාව නැමැති ගින්නට පුළුවන්.”
ඒ ස්වාමීන් වහන්සේගේ සිත මහත් ප‍්‍රමෝදයට පත් වුනා. ප‍්‍රීතියට පත් වුනා. ධර්මය සිහි කිරීම නිසා සිත, කය සැහැල්ලු වුනා. සමාධිමත් වුනා. ඒ ස්වාමීන් වහන්සේ ඒ අවවාදයෙහි පිහිටා සිහි නුවණින් යුතුව ගින්න නොමැති පැත්තට වැඩියා. රුක් සෙවණක වාඩි වුනා. නුවණින් විමසන්න පටන් ගත්තා. සතර සතිපට්ඨානය තුළ ඉතා හොඳින් සිත පිහිටියා. බොජ්ඣංග ධර්මයන් දියුණු වුනා. චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිමින් අරහත්වයට පත් වුනා. බුදුරජාණන් වහන්සේ ඒ වීරියවන්ත භික්ෂුවගේ අප‍්‍රමාදී බව අගය කරමින් මෙම ගාථාව වදාළා.
ප‍්‍රමාදයෙහි බිය දකිමින් – නොපමා බවෙහිම ඇලෙමින්
නිවන් මගම පුරුදු කරන - නුවණැති සමණෙක් වෙයි නම්
ප‍්‍රඥා ගිනි දැල්ල තුළින් – කුඩා මහත් සියලු කෙලෙස්
හැම වනසා දමන්නේය – ලැව් ගින්නක් දවන ලෙසින්
මේ ස්වාමීන් වහන්සේ ජය ගත්තේ නිරතුරුවම උත්සාහය පැවැත් වූ නිසයි. තමන්ගේ උතුම් අදහස මුදුන්පත් වන තුරු සිත ශක්තිමත්ව තබා ගෙන සිටි නිසයි. ඒ ස්වාමීන් වහන්සේ ප‍්‍රමාදය ගැන බියට පත්වෙන කෙනෙක්. ප‍්‍රමාදයට හේතු වන කරුණු ගැන බියවන නිසා ප‍්‍රමාදී වන්නෙ නෑ. අප‍්‍රමාදයේමයි ඇලී වාසය කරන්නෙ. තමන්ගේ සිත සමාධිමත් වුනේ නෑ කියල බාහිර වැඩවල යෙදුනෙ නෑ. තමන්ගේ සිත විසිරුනා කියල කලබල වුනේ නෑ. සිවුරු හරින්න කල්පනා කළේ නෑ. සිතේ ස්වභාවය ගැන හොඳ අවබෝධයකින් හිටියා. එනිසාම ප‍්‍රමාදය ඇතිවෙන දෙයට යොමු වුණේ නෑ. තමන්ගේ උතුම් අදහස අත්හැරියෙත් නෑ. මෙවැනි වීරියක් පවත්වන්නට පුළුවන් නම්, ජය ගැනීම එතරම් දුර තියෙන දෙයක් නෙවෙයි.



12. අප්පමාද රතෝ භික්ඛු – පමාදේ භයදස්සිවා

අභබ්බෝ පරිහානාය – නිබ්බාණස්සේව සන්තිකේ

යම් භික්ෂුවක් අප්‍රමාදයෙහි ඇලී සිටිනවා නම්, ප්‍රමාදවීමේ ඇති භයානක අනතුර දකිනවා නම්, ඔහු පිරිහෙන්නට සුදුසු කෙනෙක් නෙවෙයි. ඒ අමා නිවන ඔහු ළඟමයි.

(නිගමතිස්ස තෙරුන් අරභයා දෙසන ලදී)

The Heedful Advances To Nibbana

The bhikkhu liking heedfulness,
seeing fear in heedlessness,
never will he fall away,
near is he to Nibbana.
Explanation: The monk as the seeker after the truth, see fear in lack of mindfulness. He will certainly not fall back from any spiritual heights he has already reached. He is invariably in the proximity of Nibbana.

නිගමතිස්ස තෙරුන්ගේ කථා වස්තුව
”අප‍්‍රමාදී කෙනා පිරිහෙන්නෙ නෑ….
කෙනෙකුගේ පිරිහීම ඇතිවන්නේ පව්වලට ඇති බය නැති වූ විටයි. ඊට පස්සේ ඒ කෙනා කෙමෙන් කෙමෙන් පාපී ක‍්‍රියාවල යෙදෙනවා. පාපී වචන කතා කරනවා. පාපී සිතුවිලි සිතනවා. ඒ ප‍්‍රමාදී පුද්ගලයා බලාගෙන සිටිද්දීම පිරිහී යනවා. නමුත් අප‍්‍රමාදී පුද්ගලයා එවැනි අනතුරකට පත්වන්නේ නෑ. ඔහු කෙමෙන් කෙමෙන් සිහි නුවණ දියුණු කරනවා. සිල්වත් බව දියුණු කරනවා. නුවණින් විමසීම දියුණු කරනවා. සමාධිය දියුණු කරනවා. ප‍්‍රඥාවන්ත කෙනෙක් වෙනවා. එබඳු කෙනා පිරිහෙන්නෙ නෑ. එබඳු කෙනා ළංවෙන්නෙ සසරට නොව අමා මහ නිවනටයි.

මෙම කථාවේ සඳහන් ස්වාමීන් වහන්සේ නිවනට ළං වූ කෙනෙක්. උන්වහන්සේට ඒ අමා නිවන බොහෝ දුර වුනේ නෑ. නිවන බොහෝ දුර වෙන්නෙ ප‍්‍රමාදී පුද්ගලයන්ටයි. අකුසල්වල සිත පිහිටුවන පුද්ගලයන්ටයි. අප‍්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනා කෙමෙන් කෙමෙන් නිවනට ළංවෙනවා.

සැවැත් නුවරට ආසන්නයේ කුඩා නගරයක් තිබුණා. ඒ නගරයේ ධනවත් පවුලක තරුණ පුතෙක් හිටියා. මේ පුතාට බුදුරජාණන් වහන්සේගෙන් උතුම් ධර්මය අසන්නට ලැබුනා. බුදුරජාණන් වහන්සේ තුළ පවතින අතිවිශිෂ්ට වූ අවබෝධය ගැන මේ තරුණ පුතා පුදුමට පත් වුනා. ඒ ගැන මහත් සේ පැහැදුනා. මේ පුතා මව්පියන්ගෙන් අවසර ගෙන බුදු සසුනට ඇතුලූ වුනා. ස්වාමීන් වහන්සේලා යටතේ ධර්ම විනය ඉගෙන ගත්තා. ලද දෙයින් සතුටු වෙන ජීවිතයක් පුරුදු කළා. චාරිකාවේ යෙදෙමින්ම හිටියෙ නෑ. සමහර ස්වාමීන් වහන්සේලා එක එක ප‍්‍රදේශවල විවිධත්වය නරඹන්නට ආසාවෙන් චාරිකාවේ වඩිනවා. එවැනි ඇවිදගෙන යාමක් තුළින් මේ ස්වාමීන් වහන්සේ සතුටක් ලැබුවෙ නෑ. හැම තිස්සෙම කල්පනා කළේ පාඩුවේ පිළිවෙත් පිරීමටයි. ඉතින් තමන්ගේ ඤාති මිත‍්‍රාදීන් එකතු වෙලා තමන්ගේ ගමට ආසන්නයේ වන ලැහැබක කුටියක් හදලා දුන්නා. මේ ස්වාමීන් වහන්සේ ඒ කුටියට වැඩියා. ගමට පිණ්ඩපාතය වඩිමින් ආගන්තුක භික්ෂුවක් හැටියටයි. ”අසවල් තැන මගේ දෙමව්පියෝ ඉන්නවා. අසවල් තැන අසවල් අසවල් ඤාතීන් ඉන්නවා. මං ඒ ඒ ගෙවල්වලට ගියොත් ප‍්‍රණීත ආහාර පාන වලින් මට දානෙ හදල දේවි” කියල අදහසක් මේ ස්වාමීන් වහන්සේට කවදාවත් ඇතිවුනේ නෑ. අහසේ මෝදු වෙන අලූත් සඳක් වගේ මේ ස්වාමීන් වහන්සේ හැමදාම ගමට වැඩියේ අලූත් කෙනෙක් හැටියටයි. ඤාතීන් කෙරෙහි සිත් අලවා ගත්තේ නෑ.

ඤාතීන් සිටින ප‍්‍රදේශය ආසන්නයේ ඇති කුටියක වාසය කරමින් වෙන කොහේවත් නොවඩිනා මේ ස්වාමීන් වහන්සේ ගැන අමුතු කතා පැතිරුනා. ”නිගමතිස්ස තෙරුන් නෑදෑයන්ට ඇලිලයි ඉන්නෙ. නෑයන්ගේ ආහාර පානවලට සිත බැඳිල වගේ තියෙන්නෙ. නෑයන්ගෙ ගෙවල්වල නිතර නිතර යනව ඇති. නෑයන්ගෙ මඟුල් තුලාවලට අවවාද අනුශාසනා කරනවත් ඇති. එහෙම නැත්නම් ඇයි චාරිකාවෙ වඩින්න බැරි? ඇයි වරින් වර සැවැත් නුවර වඩින්න බැරි? මේ භික්ෂුව කුලයන්හි ඇලී වාසය කරන කෙනෙක් වෙන්නම ඕන. මේ භික්ෂුවට මේක මහා අවාසියක්. ඔය විදිහට දිගටම හිටියොත් පැවිදි කාරණය ඉෂ්ට කරගන්න බැරිව යනවා. නැදෑයන්ගෙන්ම සතුටු වෙන්නට ගියොත් අත්හැර ගන්න බැරිව යනවා. ඒ නිසා මේ භික්ෂුව ඔය අනතුරින් මුදවා ගන්නට ඕන.” කියල භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට නිගමතිස්ස තෙරුන් ගැන කරුණු ඉදිරිපත් කළා.

බුදුරජාණන් වහන්සේ නිගමතිස්ස තෙරුන් කැඳවා එම කරුණේ ඇති සත්‍ය අසත්‍යතාවය විමසුවා. නිගමතිස්ස ස්වාමීන් වහන්සේ කලබල වුනේ නෑ. තරහගත්තේ නෑ. අනිත් උදවිය කේලාම් කිව්වා කියල බොරුවට කිපුනෙ නෑ. ඉතාම කරුණාවෙන් යටහත් පහත්ව පිළිතුරු දුන්නා.”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඒ චෝදනාවේ පුංචි ඇත්තක් තියෙනවා. ඒ තමයි මම නෑයන් විසින් තනවා දීපු කුටියක වාසය කිරීම. නමුත් ස්වාමීනී, මම ඤාතීන් සමඟ කිසිම ආකාරයක ගිහි කල්පනාවක් ඇති කරගෙන නෑ. ඤාතීන්ට ඇලී වාසය කරන්නෙ නෑ. ඤාතීන්ගේ ආහාර පාන වලින් සතුටු වන්නේ නෑ. ස්වාමීනී, ඒ කිසිවක් මට වැදගත් නෑ. මං හැම තිස්සේම කල්පනා කරන්නේ නොඇල්ම පුරුදු කරන්නයි. මම හැමතිස්සේම වීරිය කරන්නේ සතර සතිපට්ඨානය වඩන්නයි. මා ගමට පිණ්ඩපාතය යන්නේ ආගන්තුක භික්ෂුවක් කියල හිතාගෙනයි. නැදෑකම් වලින් මට ප‍්‍රයෝජනයක් නෑ. මට ප‍්‍රයෝජනය තියෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධයට උපකාර වන ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කිරීමෙන්. ඉතින් ස්වාමීනී, මං චාරිකාවේ වඩින්න කැමති වුනේ නැත්තෙත් මගේ සිත පිරිහේවි කියන බිය නිසයි. ඇවිදින්න පුරුදු වේවි කියන බිය නිසයි. එවැනි පුරුද්දක් ඇති වුනොත් අත්හැර ගන්නට බැරිවේවි කියන බිය නිසයි. ඉතින් ස්වාමීනී, මගේ උත්සාහය ටික ටික සාර්ථක වන බවක් මට තේරෙනවා. දැන් මගේ සිත ඉස්සර වගේ විසිරෙන්නෙ නෑ. සතර සතිපට්ඨානයේ පිහිටනවා. නොඇල්ම ඇතිවෙනවා. මං හැම තිස්සේම කල්පනා කරන්නේ සිහියෙන් සිටීම ගැනයි. නිදාගැනීම පිණිස මං එච්චර කාලයක් ගන්නෙ නෑ. ප‍්‍රමාදී පුද්ගලයෙක් වෙන්න මං බයයි.”
බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. උන්වහන්සේ මේ ගාථාව දේශනා කොට නිගමතිස්ස තෙරුන් වහන්සේගේ උත්සාහය මහත් සේ අගය කළා. මේ තුළින් වඩ වඩාත් අප‍්‍රමාදී වූ මෙම ස්වාමීන් වහන්සේ ඒ මොහොතේම අරහත්වයට පත් වුනා.
ප‍්‍රමාදයෙහි බිය දකිමින් – නොපමා බවෙහිම ඇලෙමින්
නිවන් මගම පුරුදු කරන – නුවණැති සමණෙක් වෙයි නම්
නැත කිසි දින පිරිහෙන්නේ – නිවනටමයි යොමු වන්නේ
නොපමා වන ඒ සමණා – නිවන ළඟයි නවතින්නේ
අපට මේ කථා වස්තුව තුළින් අප‍්‍රමාදී බවෙහි ඇති අනුසස් ඉතා හොඳින් පැහැදිලි වෙනවා. උතුම් රහතන් වහන්සේලා ලෝකෙ බිහිවුනේ ප‍්‍රමාදයෙහි බිය දුටු අප‍්‍රමාදයෙහි ඇලූණු ශ‍්‍රමණයන් වහන්සේලා නිසයි.
වරක් ධර්මාශෝක රජතුමා සඳළුතලයේ සිට ඈත බලා සිටියා. රජ මිදුලේ ඉතාමත්ම කුඩා සත් හැවිරිදි වියේ පසුවන ළදරු ස්වාමීන් වහන්සේ නමක් ශාන්තව වඩින අයුරු දකින්නට ලැබුනා. ඒ දර්ශනයට රජතුමා වසඟ වුනා. මේ ළදරු ශ‍්‍රමණයන් වහන්සේ සමඟ කතා බස් කරන්න ඕන කියලා රජතුමාට සිතුනා. රජතුමා පණිවිඩ යවලා මේ ස්වාමීන් වහන්සේව වඩම්මවා ගත්තා. කිසි කලබලයක් නැතිව තැති ගැනීමක් නැතිව සිනා මුසු මුහුණින් මේ කිරිකැටි ශ‍්‍රමණයන් වහන්සේ මාළිගාවට වඩින අයුරු රජතුමා මහත් ආදරයෙන් බලා සිටියා. ”පුංචි ස්වාමීන් වහන්ස, මේ රාජ මන්දිරයේ කැමති ආසනයක වැඩඉන්න” කියල රජතුමා කිව්වා. පුංචි ස්වාමීන් වහන්සේ වන නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ පුංචි ඇස් වලින් වටපිට බැලූවා. රජතුමාගේ මුහුණ බැලූවා. සිනහ වුනා. ශාන්ත ගමනින් සිංහාසනය ළඟට වැඩියා. මේ පොඩි ස්වාමීන් වහන්සේ වාඩිවෙන්නට හදන්නේ සිංහාසනය මත බව රජතුමාට තේරුනා. පුංචි වුනත් මෙම ස්වාමීන් වහන්සේ තුළ තිබෙන අසාමාන්‍ය නිර්භීතකම ගැන රජතුමා සතුටු වුනා. ඒ ස්වාමීන් වහන්සේට සිංහාසනයට නැඟගන්නට බැහැ. උස මදි. රජතුමා උදව් කළා. සිංහාසනයට නැගලා භාවනා ඉරියව්වෙන් වාඩි වුනා. රජතුමාගේ සිතෙහි මහත් ආදරයක් පැන නැංගා. ”මගේ ආදරණීය පුංචි ස්වාමීන් වහන්ස, ධර්මය දන්නවාද?” ”පින්වත් මහරජ, එසේය. මා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගත්තා.” ”පින්වතුන් වහන්ස, එසේ නම් මට ඒ උතුම් බණ ටිකක් වදාළ මැනව.” නිග්‍රෝධ ස්වාමීන් වහන්සේ ඉතාමත් මිහිරි ස්වරයෙන් ධම්ම පදයෙහි අප‍්‍රමාද වර්ගයට අයත් මෙම කොටසේ ගාථා දොළහම පැවසුවා. තේරුම කියලා දුන්නා. රජතුමා පැහැදුනා. ගොඩාක්ම පැහැදුනා. ඒ පැහැදීම මුලූ ලෝකය පුරා ධර්මය පැතිරීමේ ආරම්භය බවට පත්වුනා.

අප‍්‍රමාදය තුළ සඳහන් උත්සාහය, වීරිය, නොපසු බැසීම, සිත ශක්තිමත් කරගැනීම, අකුසල් දුරුකිරීම, කුසල් වැඞීම, උතුම් අදහස මුදුන් පත්වන තුරු අඛණ්ඩ උත්සාහයක යෙදීම ධර්මාශෝක රජතුමා හැමවිටම ක‍්‍රියාත්මක කළා. අප‍්‍රමාදයේ අනුසස් දන්නා නිසා ධර්මය පතුරුවන්නට මහත් මහන්සියක් ගත්තා.

 අපගේ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන සල්වනයේ පිරිනිවන් පාන්නට මොහොතකට කලින් සියලූ දෙනා අමතා උන්වහන්සේගේ අවසන් අවවාදය වදාළා. එනම්, ”හන්දදානි භික්ඛවේ, ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා. අප්පමාදේන සම්පාදේථ” ”පින්වත් මහණෙනි, මා දැන් ඔබව අවසන් වතාවට අමතමි. සකස් වී තිබෙන සෑම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්තයි. එම නිසා අප‍්‍රමාදීව නිවන් අවබෝධ කිරීමට මහන්සි ගන්න.” කියාය.

සැදැහැවතුන්ගේ සිත් සතන්
දහම් රසයෙන් සනසනු පිණිස ලියන ලද
”අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය”
දෙවෙනි කොටස වන අප්පමාද වර්ගය නිමා විය.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

විසින් දෙසනා ලද දේශනා ඇසුරෙනි.

Friday, June 28, 2013

යශෝධරා තෙරණිය .


බෝසතාණන් වහන්සේ උපත ලබන අවස්ථාවේදී තවත් පස් දෙනෙක් උපන්නා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ, කන්තක අශ්වයා, ඡන්න ඇමැතිවරයා, කාලුදායි අමාත්‍යවරයා සහ ශාක්‍යයන්ගේ කුලයේ උපන්න යශෝධරා. බෝසත් උපත සමග මේ  පස්දෙනාගේත් ඉපදීම ලෝකයට ලැබුණා.

යශෝධරා භික්ෂුණිය ගැන අපි හැමෝම බොහෝම ආදරයෙන් ගෞරවයෙන් කථාකරනවා. ඇය සිද්ධාර්ථ කුමාරයා සමඟ විවාහ වූයේ අවුරුදු 16 දී. එතැන් සිට සෙවනැල්ලක් වගේ කුමාරයාගේ ඇසුරේ සිටියා. රාහුල කුමාරයා උපන් දවසේ සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙයින් නික්මුණා. 


ඉන් පස්සේ ඔහු ජීවත් වන ආකාරය යශෝධරා සොයා බැලුවා. එවිට ආරංචි වුනා ගිහි ඇඳුම් අත් හැරියා කියලා. යසෝදරාත් සියලුම කණකර අභරණ අතහැරියා. ඊළඟට ආරංචි වුණා කුමාරයා බිම සයනය කරනවා කියලා. යසෝදරාත් බිම සයනය කරන්න පටන් ගත්තා. ඊළඟට ආරංචි වුණා කුමාරයා එක වේලක් වළදන්නට පටන් අරගෙන කියලා. ඇයත් එක වේලක් කෑම ගන්න පටන් ගත්තා. මේ වගේ සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතයට සම්බන්ධ අසීමිත ස්වාමි භක්තියකින් වායස කළ උතුම් කාන්තා රත්නයක් ලෙස යශෝධරාව ඉතිහාස ගත වෙලා තියෙන්නේ.

තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා කිඹුල්වත් නුවරට වැඩිය ගමනේ දී එදා යශෝධරාව උන්වහන්සේ බැහැ දකින්න පැමිණියේ නැහැ. ඒ ඇගේ දුක උහුලා ගන්න බැරිකම නිසා. එදා සන්ධ්‍යාවේ ධර්ම දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ අහනවා ‘මහරජ යශෝධරාවට කොහොමද?’ කියලා. එවිට පිය රජතුමා කියනවා ස්වාමිනි, යශෝධරාව ඔබවහන්සේ ගියදා සිට ඇය හැඬු කඳුළෙන් වාසය කරන්නේ. ඔබවහන්සේ නැති ශෝකයෙන් අප්‍රමාණ දුක් කන්දරාවක් ඇය වින්දා. දැන් යහන් ගබඩාවෙහි ඉන්නේ’’ කියලා.

තථාගතයන් වහන්සේ මහත් වූ අනුකම්පා සහගත සිතින්ම යශෝධරා දේවිය සිටි උඩුමහලට වැඩ ‘යශෝධරා’ කියා කථා කළා. ඇය ඇවිත් තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාදපත්මය ළඟ වැඳ වැටී වැළපුනා. ඇය හඬල ඉවරවුනාට පස්සේ තමයි “සඳකිඳුරු ජාතකය” දේශනා කොට වදාළේ.



යශෝධරා කුමරියගේ ජීවිතය සම්බන්ධව තියෙන මේ අසාමාන්‍ය අද්භූත තොරතුරු ගැන යම් කිසි අනුමාත්‍ර හැඟීමක් ඇතිකර ගන්න පුළුවන්  විස්තරයක් තියෙනවා ථේර අපදානයේ.

එහි සඳහන් වෙනවා යශෝධරා පිරිනිවන් පෑමට තීරණය කිරීමේදී ඇයට වයස අවු.78 ක් වුණා. එතුමිය කල්පනා කළා නන්ද, රාහුල, අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, සුද්ධෝදන මහරජ, ප්‍රජාපති ගෞතමිය, ප්‍රසිද්ධ මහ තෙරුන් වහන්සේ මහ තෙරණියන් බොහෝ දෙනෙක් මේ වන විට පිරිනිවන් පා අවසන්. ලෝකනාථ තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී මමත් පිරිනිවන් පාන්න ඕන කියලා සිතා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් පවසනවා,
"ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ජීවිතයේ අවසාන භාගයට මම මේ පැමිණ සිටින්නේ. මහ වීරයන් වහන්ස, මම අද රාත්‍රියේ පිරිනිවන් පානවා. සංසාරය පුරාවටම මම ඔබ වහන්සේ සමඟ මේ ගමන ආවා. ඔබවහන්සේ ගැන මගේ සිත කය වචනය තුළින් යම් වරදක් වූවානම් ඒ සියලු වරදට මට සමාව ලැබේවායි” කියා ඉල්ලා සිටියා.

එවිට තථාගතයන් වහන්සේ වදාළා "යශෝධරා ඔබ තථාගත ශාසනයේ අනුශාසනා අනුව කටයුතු කළ තැනැත්තියක්. ඔබ නිවන් අවබෝධ කළ තැනැත්තියක්ද කියා මේ සිව්වනක් පිරිසේ කාටහරි යම් සැකයක් ඇතිවුනානම් ඒ සැකය නැති කිරීම සඳහා සෘද්ධි ප්‍රාතිහාර දක්වා පෙන්වන්නැ"යි වදාළා.
එවෙලෙහි යශෝධරා තෙරණිය පවසනවා "මහවීරයන් වහන්ස ශාක්‍ය කුලයේ උපන් ස්ත්‍රි ලක්ෂණයන්ගෙන් යුක්ත වූ මම යශෝධරා වෙමි. ගිහි ගෙයි දී ඔබගේ බිරිඳ වී සිටියෙමි. මහ වීරයන් වහන්ස, මම එක්ලක්ෂ අනූසහසක් කාන්තාවන්ට නායිකාව වී සිටියා. මේ ලෝකයේ සුන්දරත්වය තුළ තථාගතයන් වහන්සේ හැරුණු කොට සුන්දරම අග්‍ර රූපයෙන් යුක්ත වූයේ මායි".

ඊළඟට ඇය ශරීරය සක්වල හා සම කරගෙන ලිහිනි රූපයක් මවාගෙන පිල් කළඹ දකුණු සයුරට සමකරගෙන හිමාලයේ තිබෙන නානා රූක්ෂයන්ට පියාපත් සමකරගෙන සඳ හිරු දෙක දෑස වශයෙන් තබාගෙන අද්භූත ආශ්චර්යක් දක්වනවා.
ඒ වගේම ඇත්, අස්, පර්වත මහ සයුර, සඳ හිරු ආදී ස්වරූප උන්වහන්සේ අහසේ පෙන්වනවා. ඒ තුළින් හඬක් මතුවෙනවා “මහා වීරයන් වහන්ස, මම යශෝධරා. ඔබ වහන්සේගේ් ගිහි කාලයේ බිරිඳ. ඇස් ඇතියාණන් වහන්ස, නුඹ වහන්සේගේ පා මම වන්දනා කරමි” කියලා
ඒ වගේම එක් පියුමක් මවා දහසක් ලෝක ධාතුව ඒ පියුමෙන් වසනවා.
ඒ පියුම තුළින් හඬක් මතුවෙනවා "ස්වාමිනි, මම යශෝධරා වෙමි. ඔබවහන්සේ ගිහි කාලයේ බිරිඳ. ඇස් ඇතියාණන් වහන්ස මම ඔබවහන්සේගේ පා වන්දනා කරමි" කියලා.
ඊළඟට බ්‍රහ්ම රාජයෙකුගේ ස්වරූපය මවා ගෙන අනිත්‍යය ගැන ධර්මය ප්‍රකාශ කරනවා. ඒ වගේම කියනවා "මහ මුනින්ද්‍රයන් වහන්ස, දිව්‍ය ශ්‍රවණයෙන්ද අනුන්ගේ සිත් දක්නා නුවණින්ද පෙර විසූ කඳ පිළිබඳ දක්නා නුවණින්ද දිවස් ඤාණයෙන්ද යුක්තවූ ෂීනාෂ්වර තැනැත්තියක් වෙමි. මම අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන පටිසම්භිදා ඤාණය ඔබවහන්සේගේ ශාසනය තුළින් ලැබුවෙමි. ඒ නිසා මහ වීරයන් වහන්ස මා විසින් බොහෝ පින් රැස්කර ගත්තා. මා විසින් අනාචාරය දුරුකොට ඔබවහන්සේ උදෙසා කල්ප ගණන් ජීවිතය පූජාකළා. කල්ප දහස් ගණන් ඔබවහන්සේ පාරමි ධර්ම පුරද්දී මම බිරිඳ වෙලා හිටියා. ඒ බොහෝ අවස්ථාවලදී මාව දන් දුන්නා. නමුත් ඒ කිසිම අවස්ථාවකදී මම ද්වේෂ සහගත සිතක් ඇතිකර ගත්තේ නැහැ. මහ මුනින්ද්‍රයන් වහන්ස, ඔබ වහන්සේ පාරමි පුරද්දී නොයෙක් කල්ප ගණන් සිය දහස් ගණන් ලක්ෂ ගණන් ආත්මවලදී යක්ෂ රාක්ෂයන්ට මාව දන් දීල තිබෙනවා. ඒත් මම කිසිම අවස්ථාවකදී ඔබවහන්සේ කෙරෙහි නපුරු සිතක් ඇතිකර ගත්තේ් නැහැ. නොයෙක් අවස්ථාවල දී මගේ ජීවිතය මම ඔබහන්සේ උදෙසා පරිත්‍යාග කොට තිබෙනවා. සිංහයන්, ව්‍යඝ්‍රයන්ගෙන් කරදර වූ අවස්ථාවලදී ඔබ වහන්සේගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මම ඒ සතුන්ට බිලිවෙලා තියෙනවා".
මේ විදිහට සංසාර ගමන මතක් කරමින් නැවත වදාළා "ඔබ වහන්සේ සම්බුද්ධත්වය උදෙසා පාරමි පුරද්දී යාචකයන්ට බොහෝ දන් දුන්නා. මම මගේ ශරීරයේ තිබුණු සියලු වස්ත්‍ර ආභරණ සියල්ලම නොසඟවා ඔබවහන්සේ ඉදිරියේ තමා ‘ස්වාමිනි මෙයත් පූජා කරන්න’ කියා කිව්වා.
කෙත්වතු, දූ පුතුන් සියල්ල, පරිත්‍යාග කරන කල්හි ගණන් කළ නොහැකි ප්‍රමාණයේ අත්, අස්, ගව, මහේෂ්‍ය ආදී සේවකයෝ ද ඔබවහන්සේ බුදුබව පිණිස පූජාකරන කල්හි ඒ සියල්ලටම මමත් එකඟ වුණා. යාචකයන්ට දන් දෙමියි ඔබවහන්සේ මට යම්කිසි බසක් පැවසුවාද මමත් ඒ සඳහා සූදානම් වෙලා හිටියා. මගේ සිතේ ඒ සඳහා කිසිදු දොම්නසක් හට ගත්තේ නැහැ. මහ වීරයාණන් වහන්ස, ඔබවහන්සේ පාරමි පුරද්දී විවිධ ජාතිවල බොහෝ දුක්පීඩා වින්දා. ඒත් කවදාවත්ම මම ඔබ වහන්සේ කෙරෙහි දොම්නසක් ඇතිකර ගත්තේ නැහැ".

මේ ආකාරයට යශෝධරා තමන්ගේ ජීවිත කතාව විස්තර කරමින් තමන් බුදුසසුන තුළ ත්‍රිවිද්‍යාව ලැබූ බවත් ඒ නිසා නිවන ශාක්ෂාත් කරන බවත් පවසා පිරිනිවන් පෑවා.

බොහෝ නිහතමානි අහිංසක චරිතයක් වූ යශෝධරා තෙරණියගේ චරිතය අපේ බෞද්ධ කාන්තා පරපුරට බොහෝ දේ ඉගෙනගත හැකි ආදර්ශමත් උදාර චරිතයක්.


මේ සටහන උපුටා ගත්තේ පූජනීය කිරිබත්ගොඩ  

ඤාණානන්ද ස්වාමීන් වහන්සේ  විසින් කරනා ලද 

දේශනා සටහන් වලිනි.

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...