Sunday, January 20, 2013

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 8 බුදුන් වහන්සේ ගේ ගම්පියස - කපිලවස්තු පුරය .



"භාග්‍යවතුන් වහන්ස, කපිලවස්තු පුරය පොහොසත්ය. සෞභාග්‍යවත් ය. මිනිසුන්ගෙන් පිරී ඇත. ඇතුන් හා අශ්ව කරත්ත වලින් නගරය පිරී ඇත. පවනේ ලෙල දෙන කොඩි සෑම තැනම දැකිය හැක."
 ( සංයුක්ත නිකාය බු.ජ 183 ) 


"කපිල " නම් සෘෂිවරයාගේ නම ප්‍රමුඛ කරගෙන ගොඩනගන ලද නගරය 'කපිලවස්තු' නම් වේ. 
කපිලවස්තුව ශාක්‍ය රජ වරුන්ගේ ප්‍රධාන නගරයයි .
 ශාක්‍ය රාජ පරම්පරාවේ රජතුමන් අතරින් සම්මානනීය රජු සුදොවුන් රජ තුමාය.



 කෝලිය රජ්‍යද ඒ අසලම පිහිටි නිසා වංශ දෙක අතර ආවහ විවාහ සිදුවීම සිරිතක්  විය. මේ නිසා සුදොවුන් රජ තුමා කෝලිය රාජ කුමාරිකාවක් වූ මහාමායා දේවිය විවාහ කර ගත්හ. මේ දෙදෙනාට දාව උපන් කුමරා සිදුහත් බෝසතුන් විය. මේ කුමරා තරුණ වයසට එනතෙක්ම සුදොවුන් රාජ  මාලිගාවේ ඇති දැඩි විය.

 කපිලවස්තු රාජ්‍ය විශාලම රාජ්‍යයක් නොවූවද ඉතාම බල සම්පන්න සශ්‍රික රාජ්‍යයක් විය. 









අප ලුම්බිණිය ට යන්න පිටත් වුනේ පාන්දර 3.35ට. දිනය 2012 ඔක්තොබර් 24 දින. මේ යන්නෙ බුදුන් වහන්සේ ගේ ගම්පියසටයි. මේ අසිරිමත් ගමනේ දී හමුවෙන වැදගත්ම තැන් මේ බලන්න යන්නෙ. පන්සිල් සමාදම් වෙලා උදේ ආහාරයත් අරගෙන පොඩි සින්දු කීපයක් කියන්න ලැබුන.







ගායිකාවො නම් බොහොමයි.







සමහරු නම් නිදි වැද. D; 



 ඇතුල් වෙන තැන පුවරුව. 



පිපිරහාවා නුවර කියා තමා සඳහන් වෙන්නෙ.



ඉතිරිය ඊළඟ දිනයේ දී...................



Friday, January 4, 2013

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 7 v - දෙවුරම් වෙහෙරේ පහන් සිතින් සැරි සැරුවෙමි.

මේ කල්ප සියය ඇතුලත මේ ලෝක ධාතුවේ වැඩ සිටි සත් බුදුරජාණන් වහන්සේලා වන්දනා කරන්නටයි මේ ඇරයුම. 

මේ වන්දනාව බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සිටම මහ රහතුන් විසින් සිදුකරගෙන එන වන්දනාවක්.

මේ අසිරිමත් වූ වන්දනාව සිදු වන්නේ ශ්‍රී සුගන්ධ කුටියෙ දීයි. සුගන්ධ කුටිය සාදා තිබී ඇත්තේ සඳුන් ලීයන්. නිතර නිතර දෙව් බඹුන් පරසතු , මදාරා වැනි දෙව්ලොව සුවඳින් අනූනවු මල් ගෙනවිත් බුදුරදුන්ට පිදූ බව කියවේ. අදත් ඒ අසිරිය සමහර දිනවලදී දැකිය හැකි බව අපට මෑණියන්වහන්සේ කීවා.  මහා මංගල සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මෝර පිරිත වැනි සූත්‍ර දේශණා සිදු කලේ ද මහා කරුණා සමාපත්තියට සම වැදී ලෝක සත්වයා දෙස මහාකරුණාවෙන් බැලුවේත් මේ සුගන්ධ කුටියේ දී යි. 


කල්ප සියයක් ඇතුලත , ලොව පහළවී වී වදාළ විපස්සී නම් වූ බුදුරජාණන් වහන්සේ ද , සිඛී නම් වූ බුදුරජාණන් වහන්සේ ද, වෙස්සභූ නම් වූ බුදුරජාණන් වහන්සේ ද, කකුසඳ නම් වූ බුදු රජාණන් වහන්සේ ද, කෝණාගමණ නම් වූ බුදුරජාණන් වහන්සේ ද , කාශ්‍යප නම් වූ බුදුරජාණන් වහන්සේ ද , ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ යන සත් බුදුරජාණන් වහන්සේලා ඒකාන්තයෙන්ම අරහං වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ  නම් වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානම් වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක. 






විපස්සී  බුදු රජු  -

මෙයින් අනූ එ
ක් වෙනි කල්පයේ දී එකල මිනිසුන් ගේ වයස ආයුෂ වර්ෂ 80,000 යි. විපස්සී බුදුරදුන් ක්ෂත්‍රීය වංශිකයි. පළොල් රුක් සෙවනකදී සම්බුද්ධත්වයට පත් වුණා. ඛණ්ඩ , තිස්ස යනු අගසව් දෙනමයි.  අසෝක යනු අග්‍ර උපස්ථායක භික්ෂුවයි.  පියා බන්ධුම රජුයි. මව බන්ධුමා දේවියයි. රාජධානිය බන්දුමතී රාජධානියයි.


ලොවේ ඇති හැම අඳුර නසනා - මහා නුවණැති මුනිරජාණනි
සදා සැනසිලි සුවය සදනා  -  ලොවේ ආසදිස දම් රජාණෙනි
විපස්සී යන නමින් තිලොවේ - වැඳුම් ලබනා බුදුරජාණෙනි
දෑත නළලේ තවා වඳිනා -  වැඳුම් පිළිගත මැන සුවාමිනි


නසා සියළුම කෙලෙස් සතුරන් - ජය ලැබූ ලොව දම් රජාණෙනි
පළොල් රුක් සෙවනේදී බුදු රැස් - විහිදුවාලූ සිහ රජාණෙනි
මල් පහන් හා සුවඳ දුම් මේ - සිසිල් පැන් හා ගිලන් පස හැම
පුදමි සම්බුදු පියාණෙනි මම  - පතා ගෙන ඒ අම නිවන් සුව





සිඛී  බුදු රජු -

මෙයින් තිස් එක් වෙනි කල්පයයි. එකල මිනිසුන්ගේ ආයුෂ වර්ෂ 70,000 යි.  සිඛී බුදුරදුන් ක්ෂත්‍රිය වංශිකයි. හෙළඹ රුක් සෙවනකදී සම්බුද්දත්වයට පත් වුණා. අභිභූ,  සම්භව අගසව් දෙනමයි.  ඛේම්න්කර  අග්‍ර උපස්ථායක භිෂුවයි. පියා අරුණ  රජුයි.  මව ප්‍රභාවතී දේවියයි.  රාජධානිය අරුණ රාජධානියයි.

හෙළඹ රුක් සෙවණෙ දී බුදුරැස් -  විහිදුවාලූ මුනි රජාණෙනි
බිම්බරක් දස මාර සේනා - පරදවාලූ වීරයාණෙනි
සිඛී යන නාමයෙන් තුන් ලොව - පිදුම් ලබනා බුදු රජාණෙනි
දෑත නළලේ තබා වඳිනා -  වැඳුම් පිළිගත මැන සුවාමිනි

ලොව ඇති දුක් තැවුල් නිවනා - කාරුණික සම්බුදු රජාණෙනි
නුවණ වසනා අඳුර නසනා - මහා නුවණැති ගුණවතාණෙනි

මල් පහන් හා සුවඳ දුම් මේ - සිසිල් පැන් හා ගිලන් පස හැම
පුදමි සම්බුදු පියාණෙනි මම  - පතා ගෙන ඒ අම නිවන් සුව




වෙස්සභූ බුදු රජු -


මෙයින් තිස් එක් වෙනි කල්පයේ දී. එකල මිනිසුන් ගේ වයස ආයුෂ වර්ෂ 60,000 යි. වෙස්සභූ  බුදුරදුන් ක්ෂත්‍රීය වංශිකයි.  සල් රුක් සෙවනකදී සම්බුද්ධත්වයට පත් වුණා.  සෝණ, උත්තර යනු අගසව් දෙනමයි. උපසාන්ත යනු අග්‍ර උපස්ථායක භික්ෂුවයි. පියා සුප්පතීත  රජුයි.  මව යසවතී  දේවියයි. රාජධානිය අනෝම  රාජධානියයි.


වෙස්සභූ යන නමින් තුන් ලොව - එළිය කරනා බුදු රජාණෙනි
සාල රුක් සෙවනේදී බුදු රැස් - විහිදුවාලූ සිහ රජාණෙනි
සියලු ලෝ සත වෙත දයාවෙන් - නිවන් සැප දුන් බුදු පියාණෙනි
දෑත නළලේ තබා වඳිනා -  වැඳුම් පිළිගත මැන සුවාමිනි


සිල් සමාහිත නුවණ  පැතිරූ - වෙස්සභූ සම්බුදු රජාණෙනි
මිහිරි සදහම් සුවය සැලසූ - ලොවේ අසදිස දම් රජාණෙනි 
මල් පහන් හා සුවඳ දුම් මේ - සිසිල් පැන් හා ගිලන් පස හැම 
පුදමි සම්බුදු පියාණෙනි මම  - පතා ගෙන ඒ අම නිවන් සුව






කකුසඳ   බුදුරදුන් - 



මේ මහා භද්‍ර කල්පයේ දී.  එකල මිනිසුන් ගේ වයස ආයුෂ වර්ෂ 40,000 යි. කකුසඳ   බුදුරදුන් බ්‍රාහ්මණ වංශිකයි.  මහරි  රුක් සෙවනකදී සම්බුද්ධත්වයට පත් වුණා. විධුර, සංජීව  යනු අගසව් දෙනමයි.  බුද්ධිජ  යනු අග්‍ර උපස්ථායක භික්ෂුවයි. පියා අග්ගිදත්ත   බ්‍රහ්මණය යි.  මව විසාඛා බැමිණි ය යි. රාජධානිය ක්ෂේමවතී  රාජධානියයි.


උදාහිරු ලොව දිලෙන විලසින් - ලොවට වඩිනා බුදු රජාණෙනි
මහරි  රුක් සෙවනේදී බුදු රැස් - විහිදුවාලූ දම් රජාණෙනි
නමින් කකුසඳ ලෙසින් තුන් ලොව  -  වැඳුම්  ලබනා   රජාණෙනි 
දෑත නළලේ තබා වඳිනා -  වැඳුම් පිළිගත මැන සුවාමිනි


හඬා වැළපෙන ලොවට සැනසුම -  බෙදා දෙන  සම්බුදුරජාණෙනි
අමා සැප ඇති නිවන් සැප දෙන -  කාරුණික වූ දම් රජාණෙනි 
මල් පහන් හා සුවඳ දුම් මේ - සිසිල් පැන් හා ගිලන් පස හැම 
පුදමි සම්බුදු පියාණෙනි මම  - පතා ගෙන ඒ අම නිවන් සුව






කෝණාගමන   බුදුරදුන් - 


මේ මහා භද්‍ර කල්පයේ දී.  එකල මිනිසුන් ගේ වයස ආයුෂ වර්ෂ 30,000 යි. කෝණාගමන   බුදුරදුන් බ්‍රාහ්මණ වංශිකයි. දිඹුල්   රුක් සෙවනකදී සම්බුද්ධත්වයට පත් වුණා. භීයෝස, උත්තර  යනු අගසව් දෙනමයි. සොත්ථිජ   යනු අග්‍ර උපස්ථායක භික්ෂුවයි. පියා යඤ්ඤදත්ත  බ්‍රහ්මණය යි.  මව උත්තරා බැමිණි ය යි. රාජධානිය සොභවතී  රාජධානියයි.




දෙව් මිනිස් ලොව එළිය කරනා - මහා නුවණැති  මුනි රජාණෙනි
දිඹුල් රුක් සෙවනේදී බුදු රැස් - විහිදුවාලූ සිහ රජාණෙනි
නමින් කෝණාගමන  ලෙස  ලොව -  වැඳුම්  ලබනා  ගුණවතාණෙනි 
දෑත නළලේ තබා වඳිනා -  වැඳුම් පිළිගත මැන සුවාමිනි

මහා කරුණා නෙතින් බලනා - කාරුණික  සම්බුදු පියාණෙනි
වළාකුළු නැති අහසෙ දිලෙනා - සුපුන් සඳ වන් පින්වතාණෙනි
මල් පහන් හා සුවඳ දුම් මේ - සිසිල් පැන් හා ගිලන් පස හැම 
පුදමි සම්බුදු පියාණෙනි මම  - පතා ගෙන ඒ අම නිවන් සුව








කාශ්‍යප   බුදුරදුන්-

මේ මහා භද්‍ර කල්පයේ දී.  එකල මිනිසුන් ගේ වයස ආයුෂ වර්ෂ 20,000 යි. කාශ්‍යප   බුදුරදුන් බ්‍රාහ්මණ වංශිකයි. නුග   රුක් සෙවනකදී සම්බුද්ධත්වයට පත් වුණා. තිස්ස , භාරද්වාජ  යනු අගසව් දෙනමයි. සර්වමිත්‍ර   යනු අග්‍ර උපස්ථායක භික්ෂුවයි. පියා බ්‍රහ්මදත්ත බ්‍රහ්මණය යි.  මව ධනවතී බැමිණි ය යි. රාජධානිය කිකී  රාජධානියයි.


සදාකාලික සුවය සදනා - කාරුණික සම්බුදු රජාණෙනි
නුග  රුක් සෙවනේදී බුදු රැස් - විහිදුවාලූ සිහ රජාණෙනි
නිවා හැම දුක් තැවුල් තිලොවේ - අමා සැප දුන් මුනි රජාණෙනි   
දෑත නළලේ තබා වඳිනා -  වැඳුම් පිළිගත මැන සුවාමිනි

ලොවට සැනසුම පතා ගෙන වැඩි - තථාගත  සම්බුදු රජාණෙනි
සැමට යහපත උදාකරනා - කාරුණික වූ මුනි රජාණෙනි
මල් පහන් හා සුවඳ දුම් මේ - සිසිල් පැන් හා ගිලන් පස හැම 
පුදමි සම්බුදු පියාණෙනි මම  - පතා ගෙන ඒ අම නිවන් සුව











ගෞතම   බුදුරදුන්- 

මේ මහා භද්‍ර කල්පයේ දී.  එකල මිනිසුන් ගේ වයස ආයුෂ වර්ෂ 120 යි. ගෞතම   බුදුරදුන් ක්ෂත්‍රිය වංශිකයි. ඇසතු    රුක් සෙවනකදී සම්බුද්ධත්වයට පත් වුණා. සාරිපුත්ත , මොග්ගල්ලාන  යනු අගසව් දෙනමයි. ආනන්ද    යනු අග්‍ර උපස්ථායක  භික්ෂුවයි. පියා සුද්දෝධන රජ තුමා යි.  මව මහා මායා දේවි ය යි. රාජධානිය කපිලවස්තු රාජධානියයි.



පුරා දස පාරමී  ගුණ දම් - ලොවට වැඩි මහ ගුණවතාණෙනි  
ඇසතු   රුක් සෙවනේදී බුදු රැස් - විහිදුවාලූ  බුදු රජාණෙනි
නමින් ගෞතම  ලෙසින් තුන් ලොව - වැඳුම් ලබනා  මුනි රජාණෙනි   
දෑත නළලේ තබා වඳිනා -  වැඳුම් පිළිගත මැන සුවාමිනි

අඳුරු වූ ලොව එළිය කරනා - මහා නුවණැති බුදු රජාණෙනි
අපට සැනසිලි සුවය සදනා - පිහිට ඔබ ම යි  මුනි රජාණෙනි
මල් පහන් හා සුවඳ දුම් මේ - සිසිල් පැන් හා ගිලන් පස හැම 
පුදමි සම්බුදු පියාණෙනි මම  - පතා ගෙන ඒ අම නිවන් සුව

මේ සියළුම පූජාවෝ විපස්සී නම් වූ බුදුරජාණන් වහන්සේ ගේ පටන් ගෞතම නම්වූ අපගේ බුදුසමිඳුන් දක්වා සත් බුදුරජාණන් වහන්සේලා උදෙසා සාදර ගෞරවයෙන් පූජා කරමි. පූජා වේවා!  පූජා කරමි.  පූජා වේවා!!  පූජා කරමි. පූජා වේවා !!!

සාදූ!    සාදූ!!     සාදූ!!!





අපිට මේ අසිරිමත් වූ සත්බුදු වන්දනාව සිදුකලේ අජිත් මහත්තයාම තමයි. එතුමා ඒ වන්දනාව මහමෙවුනාවේ වාගේම බොහොම ශ්‍රද්ධාවෙන් සිද්ධකලා. එතුමාට බොහෝ පින් අත්වේවි මේ අසිරිමත් වන්දනාවට. ඒ සඳහා සහාය දුන් කීර්ති පුතාටත් , අසෝක පුතාටත් බොහොම පිං. සත්බුදුරජාණන් වහන්සේලා වැඩම කරවලා ඒ අවශ්‍ය කටයුතු සිදු කලේ මේ අයම තමයි. දෙවුරමට මේ වන්දනාව අසන්නට දෙවිවරු පැමිණියා වගේ අහස් කුසත් අසිරිමත් ආශ්චර්යයමත් දර්ශණයක් මවා පෑවා.
මේ අසිරිමත් වූ වන්දනාව වෙලාවෙ තායි යුවතියක් බොහොම ශ්‍රද්ධාවෙන් මේ වන්දනාවට සහභාගී උනා ඒ අයගෙ වන්දනාව අතරේදී. මේක අපිටත් හරිම පුදුමයක්. මොකද මේ අය ඒ රටේ ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක හිටියෙ. ඒ උනත් ඇය ඒ  වෙලාවෙ අපේ වන්දනාවට සහභාගී උනා.






ඔබට ඒ දර්ශණත් එක් කලා බලන්නට.














අපි සැවැත් නුවර ශ්‍රී ලංකාරාමයට ආවෙ රෑ බෝ වෙලා. රසවත් කෝපි කෝප්පයක් සීතලටත් එක්ක ලැබුණා. මේ දිනවල ඉන්දියාවෙ ශීත කාලය ආරම්භ වෙන කාලෙ. මදින් මද දැන් ශීතල දැනෙනවා. අපිට පරාටා සමඟ රසවත් බත් වේලක් ලැබුනා වෙනසකටත් එක්ක. අපි බොහොම ආසාවෙන් කෑම ගත්තා උයාපු පුතාලට පින් දෙමින්. මේ ගමන්ම මගෙ මහත්තයාටයි දෙමාපියන්ටයි පිං දෙන්න ඕනෙ. එයාල තමයි මගෙ මේ වන්දනා ගමනට අනුග්‍රහය දැක්වූයෙ.  පාන්දරින්ම යන්නෙ කිඹුල්වතට. ඒ නිසා ඉක්මනින්ම නින්දට ගියා බොහොම සැහැල්ලුවෙන් මෙන්ම පහන් සිතින්. 

ඔන්න අදින් දෙවුරම් වෙහෙර වන්දනාව නිමා වෙනවා.


මීළඟට ..............බුදුන් උපන් දේශයට...........යමු.

Tuesday, January 1, 2013

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 7 iv - දෙවුරම් වෙහෙරේ පහන් සිතින් සැරි සැරුවෙමි.

අද අලුත් අවුරුද්දෙ ඔයාලට තවත් දෙවරම් වෙහෙරේ විස්තරයක්.


 සැමටම වාසනාවන්ත වූ තව තවත් ශ්‍රී සද්ධර්මය අවබෝධ වන වාසනාවන්ත නව වසරක් වේවා! කියල සෙනෙහසින්ම පතනවා. 


                   

මේ තමයි ආනන්ද බෝධීන් වහන්සේ.  ජේතවනයේ දෙව්රම්  වෙහෙරේ  වැඩ සිටින බුදුන් වහන්සේ විහාරයේ නොමැති අවස්ථා වල එහි පැමිණෙන සැදැහැවතුන්ට වන්දනා කිරීම පිණිස ආනන්ද හිමියන්ගේ ඉල්ලීම පිට බුදුන් වහන්සේගේ අනුමැතිය ඇතිව ගයාවේ සිරිමහා බෝධියේ අංකුරයක් දෙව්රම් වෙහෙරේ පැල කරන ලදී.  ආනන්ද  හිමියන් මුල්ව පැල කළ බැවින් එය ආනන්ද බෝධිය නමින් ප්‍රසිද්ධ විය. එම බෝධීන් වහන්සේ අදත් ජීවමානව දෙව්රම් වෙහෙරේ  වැඩ වෙහෙසෙති.  

 ආනන්ද හාමුදුරුවෝ සුද්ධෝදන රජතුමාගේ සහෝදරයකු වූ අමිතෝදන ශාක්‍ය රජුගේ පුතෙකි.එබැවින් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරයෙකි .  ආන්නද හාමුදුරුවෝ මල්ලරට අනුපිය අඹ උයනේදී බුදු සසුනේ පැවිදි වූයේ භද්දිය, භගු, අනුරුද්ධ, කිම්බල, දේවදත්ත යන කුමරුවන් පස් දෙනාත් උපාලි නම් කපුවාත් සමඟ ය.

 පුණ්ණ මන්තානි පුත්ත රහතන් වහන්සේ බණ අසා, ටික කලකින්ම ආනන්ද හාමුදුරැවෝ සෝවාන් වූ හ.
    
වයස අවුරුදු 55ක්ම ගතවන තුරුම භාග්‍යවතුන් වහන්සේට  ස්ථීර උපස්ථායකයෙක් නොවීය.නාගසමාල, නාගිත, සාගත, මේඝීය, රාඝ, උපවාන, සුනක්ඛත්ත සහ චුන්ද ආදී තෙරුන් වහන්සේ වරින් වර බුදුරදුන්ට උපස්ථාන කළ හ.  වයසට යද්දී ස්ථීර උපස්ථායකයෙකු සිටීම අවශ්‍ය බව බුදුරදුන්ට පෙණින. එබැවින් උන්වහන්සේ උපස්ථායකයෙකු වීමට සසර පෙරුම් සපුරා සිටි අනඳ තෙරුන් ඒ සඳහා පත්කර ගත්හ. අනඳ තෙරණුවෝ  මේ වටිනා තනතුරේ වගකීම් තමාට කිසිම ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවී ඉටුකිරීමට සිතට ගත් හ. තනතුර භාර ගත්තේ කොන්දේසී අටක් මතය.  

ඒ තමා (1) භාග්‍යවතුන් වහන්සේට ලැබෙන වටිනා චීවර ආදිය මට නොදිය යුතුයි (2) භාග්‍යවතුවන් වහන්සේට ලැබෙන ප්‍රණීත දානය මට නොදිය යුතුයි (3) භාග්‍යවතුන් වහන්සේ සිටින තැන වැඩ සිටින්නට මට නොදිය යුතුයි (4) භාග්‍යවතුන් වහන්සේ දානයට යම් ආරාධනාවක් බාර ගත්තද ඒ සඳහා නොවැඩ සිටින්නට මට අවසර තිබිය යුතුයි.  ඒ වගේම (5) මම විසින් යම් ආරාධනාවක් බාර ගත්තේනම් ඔබවහන්සේ එය පිළිගත යුතුයි (6) භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ඈත සිට යම් කෙනෙක් ආ විට ඔබවහන්සේ සමීපයට කැඳවාගෙන ඒමට අවසර තිබිය යුතුයි (7) ධර්මය සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවුවොත් එය අසා දැන ගැනීමට මට අවස්ථාව තිබිය යුතුයි (8) මම නොසිටිය අවස්ථාවක ඔබවහන්සේ යම් දේශනාවක් වදාළේනම් එය නැවත මට කියා දිය යුතුයි. ඔබ වහන්සේ මෙයට එකඟ වන සේක්වා කියා ඉල්ලා සිටියා. තථාගතයන් වහන්සේ එයට අවසර දුන්නා. ඉන්පසු ආනන්ද හිමියන් ක්‍රම ක්‍රමයෙන් ධර්ම භාණ්ඩාගාරික බවට පත්වුණා.

 ‘රහතන් වහන්සේ’ යන නම පවා ඇසීම සිත සනසන දෙයක්. රහතන් වහන්සේ නමක් දැක ගන්නට ලැබීම පවා ඇත්තටම වාසනාවක්. 
මිනිස් ලොව මිනිසුන් අතර සිටිමින් මහ පොළොව මත පා තබා ඇවිද ගිය ඒ රහතන් වහන්සේලා අයත් වන්නේ ආශ්චර්යවත් උත්තමයන්ගේ ගණයටයි.

ලෝකයේ ඒ අසිරිමත් උතුමන් බිහි වන්නේ බුද්ධ ශාසනයක පමණි. උන්වහන්සේලාගේ ජීවිත සැහැල්ලු ය. සරල ය. නිදහස් ය. ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටි එවන් අසිරිමත් රහතන් වහන්සේ නමක් ගැන මෙසේ සටහන් තබමි . ඒ තමා ධර්ම භාණ්ඩාගාරික ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ රහතන් වහන්සේ.

උපස්ථාන තනතුර ලැබූ දිනයේ සිට තථාගතයන් වහන්සේට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් දැහැටි දඬු, උණුදිය පිළියෙල කිරීම කුටිය පිරිමැදීම සිට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ තෙල් ගල්වා පා පිරිමැදීම ආදිය සිදුකළා.


දහවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින තැන සිට රාත්‍රිය කාලයේදීත් උන්වහන්සේට ආරක්ෂාව පිණිස නිදිවරා සිටියා.


 රාත්‍රියට නව වතාවක් දඬුවැටි පහනක් අරගෙන තථාගතයන් වහන්සේගේ කුටිය වටේ ඇවිදීම එක් අංගයක් බවට පත්කර ගත්තා.


"මාත් බුදු සමිඳුන් ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. දැන් ඉතින් මට පුනර්භවයක් නැහැ. අවුරුදු විසි පහක් මම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළේ මෛත්‍රී සිතින්මයි. මම සිටියේ උන්වහන්සේ අත හැර නොයන සෙවණැල්ල වගේ."
(ථෙර ගාථා)



 


 


ජේත වනයේ දම්සභා මණ්ඩපය තමයි මේ. මේ දම්සභා මණ්ඩපයේ දී තමයි බොහෝ සූත්‍ර දේශණා කරල තියෙන්නෙ. සඳ පහන් රැයක මහා පුණ්නමා සූත්‍රය දේශණා කෙරුනෙත් මෙතන දී. පටාචාරාවට දහම් දෙසුවෙත්, කිසා ගෝතමියට දහම් දෙසුවෙත්, සුනීත , සෝපාකට දම් දෙසුවෙත්, රාහුල සූත්‍රය ආදිය දෙසුවෙත් මේ අසිරිමත් දම්සභා මණ්ඩපයේ සිටයි.  


අනේ ! අප සිටියේ කොහිද? මේ දම් සභා මණ්ඩපය පිරිවරා කීදෙනෙක් සැනසුම ලැබුවාද? මගේ නෙත් කඳුලින් පිරී ගියේ නොදැනුවත්වමයි. 


 බොහෝ වෙලාවක් ඒ මණ්ඩපයේ හිස තබා ගෙන වන්දනා කලෙමි. මේ මණ්ඩපයේ කොතරම් කාලයක් බුදුපා පහස ලබන්නට ඇත්ද? මේ තරම් දහවලෙත් හිතට දැනුනේ මහා සිසිලක්.








මේ තමයි ශ්‍රී සුගන්ධ කුටිය. මාගේ සම්බුදු පියාණන් බොහෝ කාලයක් වැඩ වාසය කල කුටියයි මේ.   ආනන්ද ස්වාමීන් වහන්සේ රාත්‍රියට නව වතාවක් දඬුවැටි පහනක් අරගෙන තථාගතයන් වහන්සේගේ කුටිය වටේ ඇවිදීම එක් අංගයක් බවට පත්කර ගත්තා.

 බුදු සිසිලස ලබාපු මේ කුටිය මත හිසතබා වන්දනා කලේ මහත් බැතියෙන්. සවස අපි මෙතනම සත් බුදු වන්දනාවට එනවා. ඒ ගැන  පසුව විස්තරයක් දෙන්නම්. 





 
මෙතන ඉන්නේ අර කලින් කියාපු වගේ අන්‍ය තීර්ථකයෙක්. 


මේ තායි විහාරය. මේ විහාරයේ අපි භාවනා කලා. ඇතුලේ පින්තූර ගන්න දෙන්නෙ නෑ. මේ පිටතින් ගත් පිළිරූයි.




මීලඟට සත්බුදු වන්දනාව...........

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...