කුරුළු හඬ මැද්දෙ, මොණරුන්ගෙ කෑ ගැසීම මැද්දෙ අවදි උනේ. ඒ අතරෙ ඇසෙන්නෙ පන්සලේ පිරිත් හඬ. හිමිහිට මුහුණ කට සෝදා ගෙන තේ වත්කරන්න ගියා. ඒ යනකොටත් සන්ධ්‍යා මිස් එතන. තේ බීව කිව්ව. අනෙක් අයටත් එක්ක තේ හැදුව.
ඒ ඉවර වෙලා ඉක්මනින්ම පන්සල් භූමියට උදෑසන බෝධී වන්දනාව සඳහා. අපේ හාමුදුරුවන් හැමදාකම කරන ශ්‍රී මහා බෝධි වන්දනාව. බුදු හිමියන් බුදුවන අවස්ථාවේ පිට දුන් ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ අංකුර ශාඛාවකටත් කරන්නාවූ සත්කාරයට අපිත් සහභාගි වෙන්නේ බොහොම බැතිබරව. අපි හැමෝම බොධි මළුවට එකතු උනා. වන්දනාව සඳහා හැමෝම ලැහැස්තියි.
අපේ හාමුදුරුවන් වහන්සේ වන බොරලැස්ගමුවේ විජිතසිරි ස්වාමීන් වහන්සේ සමඟ පොඩි ස්වාමින්වහන්සේලා දෙපළම බෝධි මළුවට වැඩම කලා.
ඉතින් අපේ ශ්‍රී මහා බෝධි වන්දනාව හරිම ශ්‍රද්ධාවෙන් කලේ. ඒ පූජාව දකින්න ලැබෙන එකත් හරිම පිනක්. මම දැක්ක දහනායක මිස්ගෙ ඇස් වල කඳුළු. පස්සෙ කීප වතාවක් කිව්ව, ඒ පූජාවට ගොඩාක් සතුටෙන් භක්තියෙන් සම්බන්ධ වුනු බව. ඊට පස්සෙ හැමෝම බුදු මැදුරට ගිහින් වන්දනාමාන කල්‍රා.
අපි උදෑසන ආහාරය ගත්තෙ ඊළඟට. ඒ කටයුතු ඉවර වෙලා හරිම කලබලෙන් ආයෙත් පන්සල් භූමියට එකතු උනා. අපේ මහත්තයාට නම් ඉවරයක් නෑ, ඒ හැම කටයුත්තක්ම සොයා බලන්නෙ එයා. රෝහිත සර් හා ඩිලාන් පුතා සමඟ වෙනුර පුතාත් එයාට සහය වෙනව.
මේ අපේ නවාතැනෙදි. රත්නාවලී විශ්‍රාම ශාලාව වීරහෙළ තිස්සමහාරාමය.
අපිත් එක්ක මේ ගමනට දහම් පාසැලේ ගුරු මණ්ඩලයට අමතරව තව සංගීත ගුරුවරයෙකුත් සිය පවුලම සමග සහභාගි උනා. ඒ ගුරුතුමා ගැන පහුගිය සටහනේ කිසිවක් නොලීවෙ හරියටම විස්තර නොදැන ලියන එක හරි නැති නිසා.
( පුංචි දරුවන් ඉගෙනීමට ලැහැස්තිව අපේ උදාරි දුව සමඟ සතුටින්.)
|
රෝහිත ගුරුතුමා සමඟ අපේ මහත්තයා |
රෝහිත සර් අපිත් එක්ක එකතු වෙච්ච එක අපිට ලොකු ශක්තියක් උනා. ඒ ශක්තියෙන් අපිට මිල කල නොහැකි විශාල මෙහෙයක් ඉටු කරන්න අපි කාටත් හැකි උන බව කියන්නම ඕනෙ.
රෝහිත සර් සංගීත විශාරද වරයෙක් වගේම ගුරුවරයෙක්. කලකට ඉහත දී නිර්මාණය කල බොරලැස්ගමුව නගරසභා ගීතයට ආසියාවේ හොඳම ගීතයට සම්මානයක් ලැබුණ බව කීවෙ ලොකු පුතා. බිරිඳ නම් රැකියාවක් කරන්නෙ නෑ. ඇය ඉතාම සුහද ශීලි කරුණාවන්ත කෙනෙක්.
ලොකු පුතා සංගීතයට බොහොම දක්ශ දරුවෙක්. පන්නිපිටියෙ ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබල දැන් රැකියාවක් කරන අතරෙ ගෘහණිර්මාණ ශිල්පය හදාරනවා. තව ගීත නිර්මාණයේ යෙදනව.
අප කාගෙත් හුරතලා වූ චූටි පුතා තාම හත වසරෙ ඉගෙන ගන්නෙ, බොරලැස්ගමුව මහා විද්‍යාලයෙ. එයත් හරිම දක්ශයි සංගීතයට. ලොකු පුතාගෙ නම ගීතක ධනංජය. චූටි පුතා විමුක්ති ස්වරකල්පන. ලස්සන නම් දෙකක්. සංගීතයටම උචිත නම්. මේ අය අපි වාගෙ බෞද්ධ ආගමේ නෙවෙයි. කතෝලික ආගමේ. නමුත් අපිත් එක්ක හැම දෙයකටම සහභාගි උනේ හරිම ලෙන්ගතුව. වෙනසක් දැනුනෙම නෑ අපට. මම ගිය සටහනේ දමාපු කිරිවෙහෙර පින්තූර සර්ගෙ කැමරාවෙන්.
ගුරු මණ්ඩලය
මම පන්සල් මළුවට එනකොට කටිටියම පෙළ ගැහිල ඒ දහම් පාසැලේ ගුරුවරුන්ගෙ පිළිගැනීමට. ඒ අයට බුලත් හුරුළු දීල පිළිගත්තෙ ඒ පාලාතෙ ග්‍රාම නිළධාරී තුමාගෙ බිරිඳ. අපි කාලයක් තිස්සෙ ආශ්‍රය කරන ගුරුමෑණි කෙනෙක්. බොහොම ලෙන්ගතුව ස්තූති පූර්වකව ඒ පිළිගැනීමෙන් පස්සෙ අපි හැමෝම දරුවන් විසින් දෙපා නැමද පිළිගත්තෙ බොහොම ආදරෙන්. මට නම් හරිම සංවේදී උනා ඒ පිළිගැනීම.
ඒ අය බුලත් හුරුළු අරන් පේළියට සංවරව හිඳිමින් අපිට නමස්කාර කලේ. ඒ ගැන ඒ ගුරුබවතුන්ට වගේම දරුවන්ටත් මග පෙන්වූ අපේ ස්වාමින්වහන්සේටත් ස්තූතිපූර්වක ගෞරවය.
අපේ දහම් පාසැලේ ඒ කියන්නෙ වේරහැර ශ්‍රී පුන්‍යසාර දහම් පාසැලේ ගෞරවණීය ස්වාමින්වහන්සේ වන කටුවන චන්ද්‍රරතන ස්වාමින්වහන්සේගේ කාරුණික මග පෙන්වීම නොවන්නට මේ සත්කාරය මේ අයුරින් සාර්ථක කරගන්නට අපිට ලැබෙන්නෙ නෑ.
ඒ ස්වාමින්වහස්සේටත් ස්තූතිපූර්වක ගෞරවණීය නමස්කාරය. හදිසියේ යෙදුන කටයුත්තක් නිසා ස්වාමින්වහන්සේට මේ සත්කාරයට සහභාගි වෙන්න ලැබුනෙ නෑ.
අපේ ස්වාමින්වහසේ වන බොරලැස්ගමුවේ විජිතසිරි ස්වාමීන් වහන්සේ සමඟ පුංචි හාමුදුරුවරු දෙපලත් අසුන්ගත්තා. ඒ අනුව අපිත් නියමිත තැන්වල ධර්ම ශාලාවෙ අසුන් ගත්තා.
ඉතින් පැමිණ සිටි දෙමාපියන් හා දරුවන් සමඟ ගුරුවරුන් හැමෝම පිළිගෙන පන්සිල් හි පිහිටුවීම අපේ හාමුදුරුවන් අතින් සිදුවුනා.
ඊළඟට අප දහම් පාසැල ගැන පොඩි හැඳින්වීමක්. ඒ සමඟම අරමුණ පැහැදිළි කලා වෙනුර පුතා විසින්.
සැදැහැ ගී සරණියේ ආරම්භය. මේ නම දැම්මෙ අපේ වේරහැර කටුවන චන්ද්‍රරතන ස්වාමින්වහන්සේ . බැති ගී සරණිය වෙනුවට සැදැහැ ගී සරණිය. ඒ නමට මමත් හරිම කැමතියි.
කට්ටිය අළුත් ඔසරි ඇදල හරිම ලස්සනයි බලන්න. ඇහැට බොහොම ප්‍රිය වර්ණයක්. ගුරුවරුන් ජාතික ඇඳුමින්. මේ ඇඳුම් සියල්ල පිළියෙල වුනේ සන්ධ්‍යා මිස් අතින් . අනෙක් අයත් ඇයට උදව් කල බව ඈ කීවා. ඒවට ලස්සන මල් අලවලා බොහොම හිත් ඇදගන්න විදිහට කල නිර්මාණය හැමෝම අගය කලා. ඒ සඳහා සෑහෙන මහන්සියක් වෙන්න ඇති. ස්තූතිය ! ඇයට.
මේ අපේ නවාතැනේදි. සන්ධ්‍යා මිස් වමේ සිට තුන් වෙනියා
අපේ මේ ගමනට අසින්තා මිස්, ලක්ෂ්මි මිස්, ඩේසිකා මිස්, රසිකා මිස්, සන්ධ්‍යා මිස්, අයෝමි මිස්, සුභාශිණී මිස්, දහනායක මිස්, පද්මලතා මිස්, කුමුදුණී මිස්, උදාරි මිස්, වෙනුර පුතා, ඩිලාන් පුතා, අපේ මහත්තයා, රෝහිත සර්, සර් ගෙ පුතාල දෙන්නා සහ බිරිඳ හා මම ඇතුළුව 19 දෙනෙක් සහභාගි උනා.
සැදැහැ ගී සරණිය ආරම්භ උනේ “මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝ ලියලා” කියන ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා ලියූ මියුරු ගීයෙන්. පුංචි කාලෙ ඒ නිවසට යන එන හැටිත් දිලී ඇන්ටිගෙ අම්මා ඒ විස්තර කියන විට බොහොම ආසාවෙන් අසා ඉන්නා හැටිත් අදටත් සිහි කරන්නේ සොම්නසින්. ඒ කාලෙ මේ සොඳුරු කලාකරුවා ගැන බොහෝ දේ නොදැන හිටියත් පසුකාලෙක පොත් පත් කියවීමෙන් මේ මහා කලා කරුවා ගැන බොහෝ දේ ඉගෙන ගත්තේ හරිම ආසාවෙන් .
ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ‘මලක මිහිර’ කව්පෙළ මින් අඩ සිය වසකටත් වඩා කලින් ලියූවක් වුනත් අදත් මල් දකින විට ඒ කව්පෙළෙන් වෑහණු මිහිර අපට එකසේ දැනෙනවානෙ. මල් පිපෙන කාලෙට කුරුලූ නාදයෙන් හා පිපුණු මලින් විහිදෙන සුවඳින් අවට පරිසරයම පිරී යනවා. වෙසක් කාලෙට හැමදෙනාගෙම සිත් පුබුදු කරමින් වසන්තය උදාකරමින් මලින් පිරී යන පරිසරයේ සුන්දරත්වය අප කුඩා කාලයේ අප ගම් පියසේ මිහිරි මතකයන්. කිංස්ලි ජයසේකර මහතා හා පි‍්‍රසිලා ඕපාත මැතිණිය මේ ගීතය මියුරු හඬින් ගැයූ බව මට මතකයි.
සැදැහැ ගී සරණියට අපි ගීත අටක් ගැයූවා. ඒ අතර තුර අපේ ඩිලාන් පුතා ඒ දරුවන් ළඟට ගිහින් ඒ අයගේ විස්තරත්, ඒ අයට ද ගීත ගයන්නට ඇරයුම් කලා. බොහොම සුහද ශීලීව ඒ කටයුත්ත ලස්සනට ඉටුවුණා. අතරින් පතර අපේ මහත්තයාත් , රෝහිත සර් හා අපේ හාමුදුරුවනුත් කරුණු කීවා.
ඒ දහම් පාසැලෙත් හරිම දක්ශ දරුවන් හිටිය. ඉතින් අපි ඒ අයටත් ආරාධනා කලා ගීත ගයන්න. ඒ අතරෙ කන්ඩායම් හා තනි තනිව ගීත ගැයුනා. සිත් ගත්ත ගීත කීපයක්ම ඒ අතර තිබුන. තාත්තා ගැන කියන ගීයට හරිම කැමතියි.
" හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ.. කසාය පරාදයි වරදෙදි සැර ඔබේ.. ඇහැ ගහගෙන සිටී - සමාජෙ ගැන කියයි.... හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ.. ආදර මගෙ තාත්තේ ........."
ආසාවෙන් අහන් හිටියා. හැමෝම කැමති උනා මේ ගීත වලට. කවුරුවත් නැඟිටලා ගියේ නෑ අතර මඟ. ඒ දහම් පාසැලෙ දරුවො හරිම සංවරව අහන් හිටියා. අපිටත් ඒ ගැන සතුටුයි. මේ පලාත්වලට වඩා සංවරව දරුවො හිටිය එක ගැන අපි ස්තූති කලාම, ගුරු මැණියන් කිව්වෙ මුල ඉදලම දහම් පාසැලේ ගුරු හාමුදුරුවන් ගේ මග පෙන්වීමෙන් ඒ ටික පුරුදු කරන වගයි.
දහම් පාසැලේ ආදි ශිෂ්යාවක් වූ බුද්ධිකා ජයමාලි මෙනෙවිය මියුරු ගී කීපයක්ම ගැයුවා. ඈ කලින් කිහිප විටක් මට මුණගැහිල තිබුනත් මේ තරම් දක්ෂ දැරියක් කියල මා දැනන් හිටියෙ නෑ. සෞන්දර්යය විශ්ව විද්යාලයේ අවසන් වසර නිමාකරල මේ දිනවල ඈ ඉන්නෙ. ජයම පතනවා! ඒ දුවට සෙනෙහසින්ම.
ඒ අතරට ශ්‍රි සාම විජය දහම් පාසැලෙ ගුරු මෑණිවරුන් ගෙන් ද ගීත කීපයක් තිළින උනා.
මේ අතර වාරෙ අපි දරුවන්ටත් ,දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත් කේක් තැටි හදාගෙන ගියා, ඒව දරුවන්ට දීල පන්සලෙන් තේ පැන් සංග්‍රහයක් තිබුණ.
ශ්‍රි සාම විජය දහම් පාසැලේ දරුවන් නොමද සතුටක් වින්ද බව අපි හැමෝම දැක්ක. ඒ ගැන නිරාමිස සතුටක් මම ලැබුවෙ. අපේ රෝහිත සර් ගේ පුංචි පුතාටත් ගීයකට අරාධනා. ඉපිද මැරේ ………..යලි ඉපිදේ………නොතිර සසර සාගරේ……….අතර තුරේ ………නොමැරී මැරේ……දස දහස් වරේ..... හරිම ලස්සන ගැබුරු කටහඬක් තියෙන්නෙ විමුක්ති පුතාට.
රෝහිත සර් හා ගීතක ධනංජය ලොකු පුතාත්, විමුක්ති ස්වරකල්පන චූටි පුතාත් අපේ අසින්තා මිස් හා අපේ මහත්තයාත් තමයි වාදන වෘන්දයට සහායට හිටියෙ.
මොනවද? මේ රහස් කතා.
අවසන් වෙන වෙලාව ආවහම අපේ ස්වාමින්වහන්සේ ගෙන් ආරාධනාවක් පුංචි දුවකට ස්තූති කථාවට. ඈ ඒ කථාව බොහොම ලස්සනටත් දක්ශ ලෙසත් කලා. ඒ පුංචි දුවට හොද අනාගතයක් තියෙන බව නම් පැහැදිළියි.
ඉතින් අවසානයේ අපි ඔක්කොම රජවරු ගීය ගයා ජාතික ගීය ගැයීමෙන් වැඩ සටහන නිමා උනා.
වැඩ සටහන නිමාවට කලින් අපි අරන් ගිය පොඩි පොඩි තිළිණ වගයක් දරුවන්ට බෙදා දුන්නා. ඒවා දරුවන් මහත් ආසාවෙන් අරගත්තෙ ස්තූති පූර්වකව.
එතනින් ගෙනියන බඩුමුට්ටු ලැහැස්ති කරල අපි හැමෝම ආයෙත් විශ්‍රාම ශාලාවට ආවෙ දහවල් ආහාරය සඳහා. වෙලාව දෙකත් පහුවෙලා කට්ටියටම බඩගිනියි. අපේ ස්වාමින් වහන්සෙ හැම දේම අපට ලැහැස්ති කරල තිබුන. ඒ
දහම් පාසැලේ ගුරුමෑණි වරුත් අපිත් එක්කම ආහාර ගන්න අයට උපකාර කලේ බොහොම ලෙන්ගතුව.
ආහාර ගන්නා අතරෙ අපේ හාමුදුරුවන් කිරි හට්ටි කීපයක් අරන් ආව අපිට කන්න. ඒකට වෙච්ච දේ නම් කියන්නෙ කොහොමද?
හැමෝම කිරි නෑව. සමහරු බත් කෑවෙත් කිරි හට්ටි දිහා බලාගෙන, ඒව ඉවර වෙයි කියල. අපේ ගෙදරක කෑව නම් එක හට්ටිය අට දෙනෙක් නවදෙනෙක් කනව නෙ. එතන එකක් හතර දෙනෙක් වත් කෑවෙ නෑ ඔන්න.
අපිට ඒ දහම් පාසැලෙන් තිළිණයන් වගයකුත් ලැබුනා. ඒවා බොහොම ආදරෙන් අපේ කට්ටිය පිළිගත්තා. වීරහෙළ ශ්‍රී සාම විජය දහම් පාසැලේ ගුරු මණ්ඩලයට , පොඩි හාමුදුරුවන් දෙපළට හා ගෞරවණීය ලොකු හාමුදුරුවන් වහන්සේට බොහෝම ස්තූතියි! වගේම පින්.
භාජන එහෙම අස්පස් කරල ඒ ගුරුමැණි වරුන් පිටත් උනේ අපි හැමටම ආචාර කරල සමුදීලයි. ඔය අතර වාරෙ මම එක්තරා කාරණාවකට එක කාමරයකට ගියා, එක්කෙනෙක් කිරි හට්ටියක බැහැ ගෙන කනව. නම දාන එක හොඳ නෑනෙ. මට ඔළුවෙ අත ගැහුන. හිනාව නවත්තා ගන්න බැහැ. දන්නවා නම් තව හට්ටි ටිකක් ගෙන්න ගන්නවානෙ. "අන්දරේ කිරි කෑවටත් හපන්!!.
ඉක්මණින්ම කාමර එහෙම අස්පස් කරල යන්න පිටත් වුනා. ආයෙත් අපි සංඝාවාසෙට ඇවිත් හාමුදුරුවන්ට පොත් පාර්සලයක් දුන්නා පුස්තකාලෙට. ඒවා ලබා දීල අපිට පිරිත් නූල් ගැට ගහල ලස්සන ශ්‍රී මහා බෝ පත්‍රය බැගින් ආශීර්වාදකව ලබා දුන්නෙ ලොකු හාමුදුරුවො විසින්.
අපි ආයෙත් කොළඹට එන්න පිටත් වෙනකොට හවස හතර විතර වෙලා මයෙ හිතේ. මම හැමටම තැගි ගත්තත් අපේ රෝහිත සර්ගෙ පුතාල දෙන්නාටත් පුංචිම හරි තෑග්ගක් දෙන්න ඕනෙ කියල හිතල අපි එන්න කලින් දවසෙ හන්දියෙන් පොඩි ටී ෂර්ට් එකකුයි කමිසයකුයි අරගත්තා. ඒ දරුවො දෙන්නා අපිත් එක්ක පුහුණු වීම් වලට ආව. හරියට කැපවීම් කලා එයාලගෙ වැඩ පාඩු කරගෙන මේ වැඩ සටහන උදෙසා. අනෙක දෙන්නම කිසිම පැකිලීමකින් තොරව උදව් උනා හැම දෙයටම. ජනප්‍රියත්වය හඹාගෙන යන්නැතිව නිහඬව සේවයක් කරන දරුවො දෙන්නෙක්. ඒ සඳහා අපෙන් සුළු තිළිණයක්. ඒ පුතාල දෙන්නාම ඉතාම සතුටින් ඒ තිළිණය බාර ගත්තෙ ස්තූති පූර්වකව.
මඟ දිඟටම නාන්න තැන් හොයනවා. අතරමග ගීත ගායනා, විහිළු තහළු කෙලවරක් නෑ. මාතරට එනකොට යාන්තමට ඇඳිරි වැටිල. ඒ වෙලාවෙ මුහුද සැරයි, වගේම කොහෙ ගියත් අපේ රටේ මත්වතුර තොල ගාගෙන ඉන්න තරුන කට්ටිය ගැවසෙන තැන් බොහොමයක් තිබුනෙ. අපි ඒව මඟ හැරල හොඳ තැනක් බලාගෙන ආවත් හත විතර වෙනකල් ලැබුනෙ නෑ. අපි තැනක නැවත්තුව රාත්‍රියට ආප්ප කන්න. මුහුද අයිනෙ ලස්සන තැනක්. කෑම ගේන කල් හොඳ සීතල සුලං. එක පාරටම වහින්න ගත්ත තද සුළඟක් එක්ක . ආප්ප හුළගෙ පාවෙනවා. හිරිකඩ හැමෝගෙම ඇගේ. කරන්න දෙයක් නෑ . සැම දෙනාම ඒව ඉවසා හිටිය වැස්ස අඩුවෙනකල්. හොඳ ඉඟුරු තේ කෝප්පයක් හා කෝපි ලැබුන කැමති අයට.
අපි රාත්‍රියට ගත්ත ආහාරය සුළු උනත් හැමෝම විහිළුවෙන් තහළුවෙන් එය පිළිගත්ත බව පෙනුන. හැමටම මහන්සිය දැනෙන වෙලාව. නාන අදහස දැන් අත්හැරියා. අපි එන අතරෙ එක එක ගුරුමෑණියන් ගැන විස්තරයක් අපේ මහත්තයා අතින්.
මුළින්ම පිටි පස්සෙම වාඩිවෙලා හිටිය අය ගැන. පිළිවෙල නම් මේ වෙනකොට මට අමතකයි.
අපේ සුභාෂිණී මිස්, ලඟකදී දහම් පාසැලට ආවත් කැපවෙලා වැඩ කරන ගුණගරුක හැමෝම එක්ක සහයෝගෙන් විහිළුවෙන් හිටිය මිස් කෙනෙක්.
ඊලඟට සන්ධයා මිස්, දරුවොන්ගෙ වැඩ අස්සෙත් අපේ දහම් පාසැලේ දරුවන් උදෙසා කැපවෙලා වැඩ කරන දක්ෂ ගුරුතුමියක්.
ඩිලාන් පුතා, මහත් කැපවීමෙන් ක්‍රියාකරන අපිට මේ ගමනට බස් රථය හා සමහර දේවල් සපයා දීල උනන්දුවෙන් උපකාර කල ගුරුතුමෙක්.
අපේ අසින්තා මිස්. මේ ගමනට අවශ්‍ය බෙහෙත් හේත් සැපයූවත් ඒවා තමන් පාවිච්චි නොකල, මග දිගට වමනෙ දැම්ම ඒ උනාට දක්ශලෙස බෙර වාදනය කරන ගීත ගයන ගුරුතුමියක්.
වෙනුර පුතා, පුතාගෙ ගෙදර බොහොම ප්‍රශ්න තිබුනත් අපිත් එක්ක හැකි හැම වෙලාවෙම මේ වැඩ කටයුතුවලට බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වෙන නිතරම නපුරිත් එක්ක පැටලෙන දහම් පාසැල් වැඩ වලට සහාය දෙන ගුරුතුමෙක්.
සර්ගෙ ලොකු පුතා. හැම වෙලාවෙම සර්ත් එක්ක ඇවිත් රාත්‍රිය වෙනකල් සමහරදාට පුහුණුවීම් වලට උදව් උන, ගිටාර් වාදනයෙන් අපිට සහායවුනු පුතෙක්.
සර්ගෙ පොඩි පුතා අපි කාගෙත් හුරතලා. දක්ශ ලෙස ගීත ගයන, වාදනයෙන් උදව්වෙන හැම වෙලාවෙම නාන්නම බලාගෙනම හිටිය, නිතරම අක්කලා සමඟම ගැවසුන හුරතල් කතා කියමින් දබර කර ගත්ත පුතෙක්.
අපේ රසිකා මිස්, පෞදගලික අවශ්යයතාවයක් පසුවට කල් දාගෙන බොහොම කැපවීමෙන් මේ ගමනට සහභාගිවෙලා දක්ශ ලෙස ගීත ගායනාකල ගුරුතුමියක්. එතුමියගේ අනාගත ජීවිතය සරවප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! කියා ප්‍රාර්ථනා කරනවා සෙනෙහසින්ම.
ඊළගට අපේ නපුරී, නෑ….. නෑ…….. අපේ සුදු දුව! ඒ තමයි අපේ අයෝමි මිස්. නිතරම කටකාර වචන කියන රණ්ඩුවට බර ඒ උනාට හොඳ හදවතක් තියෙන සින්දු කියන්න බෑ කිව්වට බස් එකේදි ලස්සනට, නොනවත්වාම සින්දු කිව්ව දඟකාර, කටකාර, ගුණගරුක , දහම්පාසලට හිතැති ගුරුතුමියක්.
ඊලඟට පද්මලතා මිස්. ගොඩාක් කරදර මැද්දෙ දරුවන් ලොකුමහත් කරගෙන ඉන්න දිරිය කාන්තාවක් වගේම දහම් පාසැලේ හැම වැඩකටම නොපැකිලවම සහාය දෙන ගුරුමෑණි කෙනෙක්.
ඊගාවට ලක්ෂ්මි මිස්. ඒ මිස් මේ වැඩසටහනෙදි පුළුවන් විදිහට හැම දෙයකටම සහභාගි වෙමින් උපකාර කල දක්ශ ගුරුවරියක්.
ඊළඟට කුමුදුණි මිස්. දරුවන් දෙන්නෙක් ගෙ විභාග වැඩ කටයුතු මැද්දෙ, දහම් පාසැලේ හැම කාර්ය්‍යකටම සහභාගීවෙන නිතරම ගුරුහරුකම් දෙමින් හැමෝම එක්ක සුහදව කටයුතුකරන, මේ ගුරුවරියන් දරුවන් සේ බලා ගත්ත ආරක්ශා කල ගුරුමෑණි කෙනෙක්.
ඊළඟට හිටියෙ අපේ දහනායක මිස්. මිස් තමයි ඉන්න වැඩිහිටිම මිස්. බොහොම ආසාවෙන් අසනිප තත්වයන් මැද උනත් දහම් පාසැලේ වැඩ වලට සම්බන්ධ වෙන්නෙ. අපේ මහත්තයා දෙන කැඳවේල හදන්නෙත් ඒ මිස්. ඒ හැම දේම කරගෙන මේ ගමනට සහභාගි උනේ. නම වතාවක් කතරගම ආවත් සිතුල්පව්වට ඒ එකපාරක් වත් ගිහින් නැති උනත්, අද මේ ගමනෙදි හැමෝගෙම උදව්වෙන් උඩටම ගිහින් සිතුල්පව්ව රාජ මහා විහාරය බොහොම භක්තියෙන් වැඳපුදා ගත්ත ගුරුතුමියක්.
ඊළඟට හිටියෙ මම. මම ගැන කිව්වෙ, "මගෙ වැඩ කටයුතු වලට ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් ඉන්න මගෙ යෙහෙලියක් වගේ කටයුතු කරන. " ළමයින්ට බනින කොට , දොස් කියන කොට මාව කොනිත්තන, නිතරම මට සහාය වෙන, හැම දේම සොයා බලන මගෙ බිරිඳ. ………….. ඉතිරිය අමතකයි.
ඊළඟට රෝහිත සර් ගැන. අපේ වාසනාවට අපිත් එක්ක එකතු වෙච්ච හොඳ හදවතක් තියෙන දක්ශ ගුරුවරයෙක්. ගීත ගායනා කරන්න අපිට ඉතා ඉවසීමෙන් ඉගැන්වූ දක්ෂ ගුරුතුමෙක්. ගයන්නට බැරිව හිටිය අය ගායක ගායිකාවන් බවට පත් කල , මේ වැඩ සටහන ඉතාමත් හොඳින් සාර්‍ථකව නිමා කරන්න උදව් කල ඉතා නිහතමානී ගුරුතුමෙක්.
සර් ගෙ බිරිඳ, හැම වෙලාවෙම අපේ කරදර ඉවසා සර්ට මේ කටයුත්ත කරගෙන යන්න උදව් කල, අපිත් එක්ක බොහොම සුහදව ගමනට සහභාගි උන ප්‍රියමනාප සුහද ශීලී මිස් කෙනෙක්.
ඊළඟට අපේ ඩිලාන්ගෙ මල්ලි. අපිත් එක්ක ගමනට සහභාගි වෙලා නොයෙක් අයුරින් උදව් උපකාර කල බස් එකේ හැමදෙයක්ම බලා ගෙන පිරිසිදුකල චාමර පුතා.
ඊගාවට අපේ බස් රථයේ රියදුරු මහතා වන ඩිලාන් පුතාගෙ මාමා. අපිව කරදරයක් නැතුව සුව පහසුව මේ තාක් කල් ගෙනාව, නපුරී අංකල් කියල දොස් අහපු, වන්දනා නඩයට ඕනෙ ඕනෙ තැන්වල අරන් ගිය මාමා හෙවත් අංකල් උනාට තාම තරුණ තුෂාර පුතා.
ඔන්න ඉතින් කට්ටියම ගැන අපේ මහත්තයා කියපුවා. ඒ විදිහටම මට දැන් මතක නෑ. එයාලගෙ පින්තූර ටික දාන්න ඉල්ලුවම , මට ලැබුනෙ සති ගානක් පරක්කුවෙලා. ඉතින් අර කියාපු කරපුවා මතක තියේවි ද? කවුරුත් මට දොස් කියන එකක් නැතිවෙයි කියල හිතනවා. ඉතින් සැමටම ස්තූතියි! කියල කතාව නතර කලා.
දහනායක මිස් අපේ මහත්තයා ඇතුළු සියලුම දෙනාට අනේක වාරයක් පින් දෙමින්, ස්තූතිය පුදකරමින් ස්තූති කතාව සිදුකලේ කදුළු පිරි දෙනෙතින්.
අදට හරියටම අපි ගමන ගිහින් මාසයක් ගතවෙලා.
ඒ සොඳුරු මතකය අදටත් හරිම සුන්දරයි. සැමටම ස්තූතියි! වගේම බොහොම පින්!