බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Thursday, April 25, 2013

ධම්ම පදය - අප්පමාද වර්ගය 6 - 7



පමාද මනුයුඤ්ජන්ති – බාලා දුම්මේධිනෝ ජන
අප්පමාදංච මේධාවී – ධනං සෙට්ඨං ව රක්ඛතී

නුවණින් තොර උදවිය ලොව – මෝඩ කමින් ඉන්නේ
නිසරු දෙයට වසඟ වෙමින් – ප‍්‍රමාදයෙන් ඉන්නේ
එනමුදු නුවණැති ජනයා – නුවණින් සලකන්නේ
නොපමා බව සුරකත් නිති – ධනයක් විලසින්නේ


Treasured Mindfulness

Foolish folk of little wit
in heedlessness indulge,
the one who’s wise guards heedfulness
kin to the greatest wealth.

Explanation: Those who are foolish and indiscriminating indulge in heedlessness. But the wise cherish mindfulness as a great treasure. The foolish people live a life of sensual pleasure. They indulge in pursuits that are not at all conductive to spiritual advancement. To obtain worldly acquisitions, people need wealth. In the same way, to obtain high spiritual acquisitions we need some wealth, and that wealth is mindfulness.

මෙම ගාථාවෙහි ‘බාලා, දුම්මේධිනෝ’ යන වචන සඳහන් වෙනවා. මෙතන බාලයන් කියන්නේ කුඩා දරුවන්ට නොවෙයි.
 බාලයන් කියන්නේ මෝඩ පුද්ගලයන්ටයි. සරු දෙය, නිසරු දෙය තෝරා බේරා ගත නොහැකි පුද්ගලයන්ටයි.
 දුම්මේධිනෝ කියන්නෙත් නුවණින් තොර පුද්ගලයන්ටයි. 
ඒ බාල වූ, නුවණින් තොර පුද්ගලයන් හැම ඇදහිල්ලක්ම පසුපස යනවා. පරම සාරවත් බවෙන් යුතු තුනුරුවන් ගැන අවබෝධයක් නෑ. අවබෝධයක් ඇති කරගැනීමට උත්සාහයක් ගන්නෙත් නෑ.
 එනිසා ඒ මෝඩ පුද්ගලයා ජීවිතය සාර්ථක කරගැනීමට වුවමනා අප‍්‍රමාදී ලක්ෂණ වන නැගී සිටි වීරිය, ඉන්ද්‍රිය දමනය, නුවණින් විමසීම, කැපවීම ආදිය අත්හරිනවා. ඒ වෙනුවට අලසකම, නුවණින් තොර වීම, පර්යේෂණ නොකිරීම, අධ්‍යයන නොකිරීම, හීන වීරිය, නිසරු දෙයෙහි යෙදීම, අර්ථ ශූන්‍ය වූ උත්සව වලින් කල්ගත කිරීම ආදී දේවල් කරමින් දියුණුව පත පතා සිටිනවා. එබඳු අයට කියන්නේ ප‍්‍රමාදීව කල්ගත කරනවා කියලයි.

නමුත් නුවණ තියෙන කෙනා එහෙම නෑ. ඔහු තම නුවණින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට ඉගෙන ගන්නවා. එම ධර්මයෙන් විස්තර වන ගුණධර්ම පුහුණු කරනවා.
 අප‍්‍රමාදී කෙනෙක් වෙනවා. ඒ අප‍්‍රමාදී බව ඒ කියන්නෙ නිරතුරුව පවත්වන උත්සාහය, කැපවීම, වෙහෙස නොබලා අධ්‍යයන කිරීම, ගුරු දෙගුරුන්ට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, අවවාදයේ පිහිටා සිටීම, සත්පුරුෂ ආශ‍්‍රය ආදී අප‍්‍රමාදී බව ඇතිකරන ගුණධර්ම තමන් තුළ රැකගන්නවා. ශ්‍රේෂ්ඨ වූ ධනයක් රකින කෙනෙක් වගේ.
එම නිසා ප‍්‍රමාදයෙන් කල් ගත කරන්නට එපා. ප‍්‍රමාදයට හේතුවන කරුණු ඇති කරගන්නට එපා. කාම සැපය පමණක් ජීවිතයේ එකම ඉලක්කය බවට පත්කරගන්නට එපා. පින් දහම් රැස්කර ගැනීමත් ජීවිතයට අවශ්‍යයි. අප‍්‍රමාදීව බණ භාවනා කරන අය මහා සැපයකට පත්වෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා.





මා පමාද මනුයුඤ්ජේථ – මා කාමරති සන්ථවං
අප්පමත්තෝහි ඣායන්තෝ - පප්ඵෝති විපුලං සුඛං

එපා කිසිවිට මෝඩයෙක් ලෙස - පමාවෙන් කල්ගත කරන්නට
එපා කිසිවිට කාම සැපයට - ඇලී රැවටී කල් ගෙවන්නට
හොඳින් කැප වී දහමෙ හැසිරී - දැහැන් වඩමින් ගත කරන විට
ලබන්නේමය මහා සැප ඇති - සුවය ගෙන යන අමා නිවනට


Meditation Leads To Bliss

Don’t indulge in heedlessness!
Don’t come near to sexual joys!
The heedful and contemplative
attains abundant bliss.

Explanation: Do not indulge in heedlessness. Avoid craving for sensual pleasures, whatever their nature. The mindful person is tranquil in mind. He will attain the great bliss.


බුදුරජාණන් වහන්සේගේ කාලෙ සැවත් නුවර හත් කෝටියක් ජනතාව වාසය කළා. ඒ අතරින් පන් කෝටියක් දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෝ. ඒ අය නැකත්වලට සැලකුවේ නැහැ. ඒ අය සැලකුවේ පිනටයි. ඒ අය සැලකුවේ දානය, සීලය, භාවනාව ආදී පුණ්‍ය ක‍්‍රියාවලටයි. ඒ වගේම මහා මංගල සූත‍්‍රයේ සඳහන් වෙන මංගල කාරණා තිස් අටම ක‍්‍රියාත්මක කරන්න තමයි ඒ කාලෙ සිටිය ආර්ය ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් මහන්සි ගත්තේ.

ඒ සැවැත් නුවර පෘතග්ජන අය දෙකෝටියක් පමණ හිටියා. පෘතග්ජන කියල කියන්නේ බුදු සසුනෙන් පිට අයටයි. ඒ අය ඕනම වෙලාවක තමන්ගේ ඇදහීම වෙනස් කරනවා. හිතුන හිතුන දේවල් සරණ යනවා. ඉතින් මේ පෘතග්ජන පිරිස් ජීවිතයේ සාර්ථක වෙන්න කියල විශේෂ නැකත් දවස් තෝරගත්තා. ඒ නැකත් දවස් නියම කළේ බ‍්‍රාහ්මණයන් විසිනුයි. ඒ නැකැත පටන් ගත් දිනයේ සිට සතියක් පුරාවට එම උත්සවය තිබුනා. ඒ උත්සවයේදී බොහෝ දෙනෙක් ඇෙඟ් අළු තවරා ගත්තා. ගොම තවරා ගත්තා. පාරෙ මුණ ගැසෙන ඕනම කෙනෙකුට තරාතිරමකින් තොරව අළු වලින් ගහනවා. ගොම වලින් ගහනවා. ගොම දියකරලත් ගහනවා. හිතු මනාපේ විහිළු තහළු කරනවා. පිරිස් කණ්ඩායම් හැදිලා ගෙවල් ගානෙ යනවා. මිදුලට ගිහින් සිංදු කියනවා. අළු වලින් ගහගන්නවා. ගොම දියකරලා ගහගන්නවා. සතියක් මුළුල්ලේම ඔය නැකත් විකාරය පවත්වනවා.

තෙරුවන් සරණ ගිය ශ‍්‍රැතවත් ආර්ය ශ‍්‍රාවකයන්ට මේක මහා කරදරයක්. ඒ ආර්ය ශ‍්‍රාවකයන් කරන්නේ නැකත් ක‍්‍රීඩකයන්ට තමන්ගේ මිදුලට එන්නට කලින්ම ඔවුන්ට මුදල්දී පිටත් කොට හැරීමයි. ඒ සතිය පුරාවට බුදුරජාණන් වහන්සේ හෝ භික්ෂූන් වහන්සේලා පිඬු සිඟා වඩින්නේ නෑ. දායකයන් වෙනම දන් පැන් පිළියෙල කරලා බුද්ධ ප‍්‍රමුඛ මහා සඟරුවනට පිළිගන්වනවා.

නැකැත් කෙළිය අවසන් වුනා. ආර්ය ශ‍්‍රාවකයන් කළඑළි බැස්සා. බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂු සංඝයා මහත් ගෞරවයෙන් නගරයට වැඩැම්මුවා. දන් පැන් පූජා කළා. නැකැත් කෙළිය නිසා ඔවුනට සිදු වූ අනේක අතවර ගැන පැමිණිලි කළා. ”අනේ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ මිනිසුන් නැකතක් නිසා මුලාවෙන් මුලාවට පත්වෙලයි ඉන්නෙ. නැකත මහා ආනුභාව සම්පන්නයි කියලා සිතාගෙන ඉන්නෙ. දවස් හතක් මුළුල්ලේ අපි මහා ගැහැටක් වින්ඳා. ඔවුන්ට කිසි ලැජ්ජා භයක් නෑ. අළු වලින් ගහගන්නවා. ගොම වලින් ගහගන්නවා. ගොම දියකරලත් ගහගන්නවා. අම්ම මුත්තා කාලෙවත් අහපු නැති මහා අසභ්‍ය වචන කිය කියා විහිළු කරගන්නවා. අනේ ස්වාමීනී, අපිට ඒවා අසනවා තියා සිතන්නවත් බැහැ. අපි කවුරුවත් මේ සුමානෙ ගෙදරින් එළියට බැස්සෙ නැහැ. බුදු කෙනෙකුගේ ධර්මයක් පවතින කාලයක පවා මේ මනුෂ්‍යයන් නැකත් පස්සේ යන එක මොනතරම් අවාසනාවක්ද?
එවේලෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ මිසදිටු විශ්වාසයන්හි ඇති නිසරු බව පෙන්වා දුන්නා. කර්ම කර්මඵල විශ්වාසයෙහි ඇති අනුසස් පෙන්වා දුන්නා. ක‍්‍රියාවෙහි වැදගත්කම පෙන්වා දුන්නා. හොඳ නරක තෝරා බේරා ගැනීමේ හැකියාව ගැන පෙන්වා දුන්නා. මේ ගාථා රත්නයන් දේශනා කොට වදාළා.

Wednesday, April 24, 2013

ථේර ගාථා 29





උත්තිය තෙරුන් ගේ ගාථාව. 

මට ලෙඩ වුණ ගමන් සිහිනුවණ ඉපදුනා. " මං දැන් ලෙඩ වෙලා ඉන්නෙ. දැන් ඉතින් පමා නොවී මේ ධර්මයේ හැසිරෙන්නට යි කාලය උදා වුණේ."

මෙය වනාහී උත්තිය නම් රහත් මුණිඳුන් වදාල ගාථාවයි.

***පොහොය දිනට දමන සූත්‍ර ටික එක ලඟ දමන්නෙ. එවා සේරම කියවන්න. සැමට තෙරුවන් සරණයි!
http://piyumvila.blogspot.com/2013/04/3.html
http://piyumvila.blogspot.com/2013/04/6.html

සංයුක්ත නිකාය -ජරා වර්ගය - 3 මිත්ත සූත්‍රය





යහළුවා ගැන වදාළ දෙසුම. (මිත්ත සූත්‍රය )

දෙවියා :- 

" ගෙදරින් බැහැර ඉන්න යහළුවා කවුද? තමන් ගෙ ගෙදර ඉන්න යහළුවා කවුද? හදිසි අවස්ථාවක දී ඉන්නා යහළුවා කවුද? පරලොවදී ඉන්න යහළුවා කවුද? " 

භාග්‍යවතුන් වහන්සේ :-

"තවලම තමයි ගෙදරින් බැහැරව ඉන්න යහළුවා. තමන් ගෙ ගෙදර ඉන්න යාළුවා තමයි අම්මා. හදිසි අවස්ථාවකදී  උපකාර කරන කෙනා තමයි නැවත නැවතත් යහළුවා වෙන්නෙ. පරලොව දී ඉන්න යහළුවා තමයි තමා විසින් රැස්කරන පින."

සාදු!  සාදූ!!  සාදූ!!!


***පොහොය දිනට දමන සූත්‍ර ටික එක ලඟ දමන්නෙ. එවා සේරම කියවන්න. සැමට තෙරුවන් සරණයි!

Tuesday, April 23, 2013

ථේරි ගාථා - - දුක නිපාතෝ 6




මෙත්තිකා තෙරිණියගේ ගාථා.

මං ගොඩාක් දුකට පත් වෙලා හිටියෙ. දුර්වල වෙලා හිටියෙ. තරුණ කාලෙ ගෙවිල ගිහින් හිටියෙ. ඒ වුණත් මං හැරමිටියෙ එල්ලී ගෙන ගිජුකුළු පර්වතයට නැග ගත්තා.


පාත්තරේ මුනින් නවල පැත්තකින් තිබ්බ.  දෙපට සිවුරත් පැත්තකින් තිබ්බ. ගල්පර්වතේ මත වාඩි වුණා.  එතනදී තමයි මගේ සිත ආශ්‍රවයන් ගෙන් නිදහස් වුණේ. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්ත. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.  

මේ වනාහී මෙත්තිකා නම් රහත් තෙරිණියගේ ගාථායි. 

Saturday, April 13, 2013

අලුත් අවුරුදු සුබ පැතුම්!

   

ඔබ සැමට  අලුත් අවුරුදු සුබ පැතුම්!  සෙනෙහසින්. 

Wednesday, April 10, 2013

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 12 - අසිරිමත් කුසිනාරාව

                 සැවැත් නුවර සිට කිඹුල්වත් පුරයට ආව අපි එතැන්සිට ලුම්බිනියට ගියෙමු. සවස් කාලය නිමාවන විට බොහෝ වෙහෙස වී සිටියත් යායුතු මග බොහෝදුර බැවින් වේලාසන පිටත්වීමු. නමුත් දුර්ගා පූජාවට පවත්වන්නා වූ පෙරහැර නිසා මග දෙපස ජනීජනයා පිරී මාර්ගය  අවහිර වී තිබුණි. මහ රෑ බෝවන තෙක් අප මහමග සිටියෙමු.
 රාත්‍රියේ අප කුසිනාරාවේ ජපන් පන්සලට පැමිණියෙමු. එය ඉතාම පිරිසිදු පන්සල් භූමියකි. මෙහි වැඩ වාසය කරන අස්සජී හිමියන් බැහැ දැක්කෙමු.

  වේලාවේ හැටියට ඉක්මනින් පිළියෙල කරගත හැකි ආහාරයක් අපට ලැබුණි.

 නින්දට වැටුනු අපි පාන්දර නැගිට බුදුන් වහන්සේ පිරිනිවන් පෑ කුසිනාරා නුවර විහාරයට ගියෙමු. ඉතාම සංවේගයෙන් දහම් කවි කියමින් ගමන් ගත් මේ ගමන මගේ මතකයෙන් කිසිදා නොමැකෙනු ඇත. විහාරගෙය මත හිසතබා කඳුළු පිරි නෙතින් වන්දනා කලෙමි. හරිම සංවේගයක් උපදින්නෙ මේ වෙහෙර බිමේ. ඒක මටත් තේරුම් ගන්න බැරි වූණා. උදෑසන සිසිලෙන් වෙහෙර බිම නැහැවිලා මනස්කාන්ත දර්ශනයක් මවා පෑවා.





 කුසිනාරාවේ පින් බිම ළඟ මේ - සම්මා සම්බුදු සමිඳුන් සිහිවේ
අතීතයට මේ සිත යන මොහොතේ - කඳුළින් මාගේ නෙතු අග තෙත් වේ
...............
................
දහම් අමා ගඟ නැවතී යනවා - මහ කරුණා තෙත් පියවී යනවා
ඒ බුදු සිත පිරිනිවන් පානවා - පහන් සිලක් ලෙස නොපෙනී යනවා................



ලා හිරු රැස් මැදින් පෙනෙනා වෙහෙර බිම බලන්න ලස්සනයි.



එක් දිනක් ආනන්ද හිමියන් අමතා මෙසේ වදාලහ.
" ආනන්දය ..... බොහෝ කලකට පෙර මහා සුදර්ශන නමින් බලවත් රජකෙනෙක් විසූහ. හේ රජුන්ටත් රජ විය. කුසාවතී නමින් එකල හැඳින්වූ මේ කුසිනාරාව සුදර්ශන රජුගේ රාජකීය නගරය විය" 
බුදු හිමියන්ගේ පරිනිර්වානය උදෙසා මල්ලව රජ දරුවන්ගේ අගනුවර වූ කුසිනාරාව සුදුසු යැයි ගත් තීන්දුව වෙනස් කීරීම පිණිස ආනන්ද හිමියන් ගත් උත්සාහයේදී ඊට පිළිතුරු ලෙස දුන්  බුදු හිමියන්ගේ මේ පිළිතුර මේ කුඩා නගරය අතීතයේදී ශ්‍රී විභූතියෙන් පිරි නගරයක් වූ බවට කදිම සාක්ෂියකි.

අප අද දකින්නේ මේ අසිරිමත් කුසිනාරාවය.




------------------------------------
ඉන් පසු බුදු පියාණෝ කුසිනාරාවේ උපවත්තන සල් උයනට වැඩියහ.

“ආනන්ද, මට ක්ලාන්තයක් දැනෙනවා. මේ සල් ගස් දෙක අතර මට සැතපෙන්න තැනක් පිළියෙල කරන්න,” බුදු හිමියෝ වදාළහ.

සැතැපෙන තැන පිළියෙල විණ. බුදු පියාණෝ දකුණු පය මත වම් පය මඳක් මෑත් කොට තබා සිංහ සෙය්‍යාවෙන් එහි සැතැපුණහ. සල් ගස් දෙකේ අකලට පිපුණු මල් හිමියන්ගේ සිරුර අසල පතිත විණ. අහසින් දිව සඳුන් සුනු වැගිරිණ. දිව්‍ය මදාරා මල් ද වැටිණ. දිව්‍ය සංගීතය ද ඇසිණ.

බුදු නෙත් විවර විණ. ආනන්ද හිමියන්ට මෙසේ කී හ:

“ආනන්ද, මේ මල්, සුවඳ, මේවා තථාගතයන්ට කරන සැබෑ පූජා නො වෙයි. යමකු ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් යුක්ත ව, ධර්මානුකූල ව වසයි ද, අන්න ඔහු තථාගතයන්ට උතුම් ප්‍රතිපත්ති සත්කාර කරයි, පුදයි.”

සැදැහැති කුල පුතකුට දැකීමට සුදුසු වූ, සංවේග කටයුතු වූ ස්ථාන හතර කුමක් දැයි ද, බුදු හිමියෝ මෙහිදී වදාළහ. බුදු හිමි උපන් තැන, බුදු වූ තැන, දම්සක් පැවැත්වූ තැන, පිරිනිවන් පෑ තැන ඒ උතුම් තැන් හතර යි. ආනන්ද හිමියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බුදු රජාණන් වහන්සේ සර්වඥයන් වහන්සේගේ ආදාහනය සිදු කළ යුතු ආකාරය ද පැහැදිලි කළහ.

ආනන්ද හිමියෝ බුදු හිමියන් කෙරෙන් මඳක් ඈත් ව කණුවකට හේත්තු වී ඉකිබිඳිමින් හඬන්නට වූ හ.

“අනේ! මට තාමත් රහත් වීමට බැරි වුණා… මට මහත් දයාවෙන් අවවාද අනුශාසනා කළ බුදු රජාණන් වහන්සේ අද පිරිනිවන් පානවා. හෙට සිට මා මුහුණ සේදීමට වතුර දෙන්නේ කාට ද? පා සොදන්නේ කාගේ ද? කාගේ සේනාසන පිළියෙල කරන්නේ ද? කාගේ පාත්‍රා සිවුරු ගෙන ඇවිදින්නේ ද?”

බුදු හිමියෝ ආනන්ද හිමි ළඟට කැඳවාගත්හ. අවවාද දුන්හ.




බුදු රජාණන් වහන්සේගේ අවසාන ශ්‍රාවකයා වූයේ සුභද්‍ර ය. මඳ වේලාවකට පසු බුදුහු නැවත ආනන්ද හිමියන් ඇමැතූ හ.

“මගෙන් පසු මා දෙසූ දහම ශාස්තෘ වශයෙන් සලකන්න.”

භික්ෂූන් වහන්සේලාට වැදගත් වන අවවාද රැසක් මේ අවස්ථාවේ බුදු හිමියන්ගෙන් ලැබිණ. උන් වහන්සේ අවට සිටි භික්ෂූන් දෙස බලා මෙසේ විමසූ හ:

“මහණෙනි, මේ එක භික්ෂුවකට වත්, බුදුන්, දහම්, සඟුන් කෙරෙහි හෝ මේ ධර්ම මාර්ගය කෙරෙහි හෝ ප්‍රතිපදාව කෙරෙහි හෝ සැකයක්, විමතියක් තිබෙනවා ද? එසේ නම් දැන් මගෙන් විමසන්න. ‘අනේ! අපි බුදුන් හමුවෙලත් මෙය අසාගන්නට බැරි වුණා’ යි පසුව කණගාටුවෙන්න එපා.”

භික්ෂූහු නිහඬ ව සිටියහ. බුදු හිමියෝ තෙවරක් ම විමසූ හ. භික්ෂූන්ගේ නිශ්ශබ්දතාව නො බිඳිණ.

“එසේ නම් මහණෙනි, දැන් අවසාන වශයෙන් ඔබ අමතමි. සියලු සංස්කාරයෝ වෙනස් වනසුලු යි. අප්‍රමාද ව නිවන් අවබෝධයට උනන්දු වන්න.

“වය ධම්මා සංඛාරා – අප්පමාදේන සම්පාදේථ”.

බුදු මුවින් නැඟුණු මේ අවසන් හඬත් සමඟ ම උන් වහන්සේ ප්‍රථම ධ්‍යානයට සමවැදුණහ; ඉක්බිති ඉන් නැඟී දෙවැනි ධ්‍යානයට ද, තෙවැනි ධ්‍යානයට ද, සිව් වැනි ධ්‍යානයට ද සමවැදුණහ. ඉන් නැඟී ආකාසනඤ්ඤායතනයට, විඤ්ඤාණඤ්ඤායතනයට, ආකිඤ්චඤ්ඤායතනයට, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සහ සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදුණහ.

එවිට ආනන්ද හිමියෝ අනුරුද්ධ හිමියන්ගේ කනට කොඳුරා, “බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑවා” යි කී හ.

“නැහැ. සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවැදුණා පමණ යි. තාම පිරිනිවන් පෑවේ නැහැ.” අනුරුද්ධ හිමියෝ කී හ.

ඉක්බිති බුදු රජාණන් වහන්සේ ඒ සමාපත්තියෙන් නැඟී නේවසඤ්ඤායතනයේ සිට ප්‍රථම ධ්‍යානය දක්වා සමවැද, යළි ප්‍රථම ධ්‍යානයෙන් නැඟී දෙවැනි, තෙවැනි, සිව්වැනි ධ්‍යානවලට පැමිණ අවසානයේ එයින් නැඟී පිරිනිවන් පෑ සේක.






මෙවන් පුතුන් ලද අම්මා කෙනෙකුගේ වාසනාව කොපමණද? මේ අම්මා ගැන මුල් සටහන් වල ලීවා. මේ පුතා බුදුවේවා! කියා  අම්මා කීප විටක් කීවා. අපේ නෙතටත් කඳුලක් එක් කලා මේ අම්මා. නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා එතුමියට. 


අද ඔයාලට මේ සටහන තබන්නේ විහාර මලුවේ දර්ශන පමනයි. ඇතුලේ දර්ශන ගැන ලියන්නට ගියොත් සටහන දුගු වේවි.

සැමට වාසනාවන්ත නව වසරක් වේවා!'යි සෙනෙහසින්ම පතමි.

Friday, April 5, 2013

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 11 බුදුන් උපන් දේශයේ විසිතුරු.



සාරාසංක්‍යය කල්ප ලක්ෂයක් දස පාරමී පුරා බුදු බව පතන බෝසතුන් මනුෂ්‍ය ලොව පහල වීමට පෙර කරුණු පහක් පිළිබඳව සලකා බැලීම සිරිත වේ.
කාලය - බුදුවරයෙකු ලොව පහල වෙන්නේ මිනිසුන්ගේ ආයුෂ අඩුත් නැති වැඩිත් නැති කාලයකයි. ඒ මිනිසුන්ගේ ආයුෂ වැඩිකල ආඩම්බරයත්, අඩු කල මෝඩ කමත් අධික වීම නිසා ධර්මය අවභෝධ කර ගැනීම අපහසු නිසාය.

දීපය -  බුද්ධ වංශය අනුව දස පාරමී පුරණ උතුමන් දඹදිව හැර වෙන කිසිම තැනක උපදින්නේ නැත.

දේශය - බෝසත්වරු උපදින්නේම දඹදිව උතුරු කරයේමය.

කුලය - දඹදිව කුලභේදය සමාජ පරිහානියට වගකිව යුතුය. දඹදිව බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර යනුවෙන් කොටස් හතරකට බෙදේ. බ්‍රහ්මණ කුලයේ අය පූජක පක්ෂය වේ. සම්මතයේ හැටියට බ්‍රහ්මණයින් පහළ වෙන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙනි.  ක්ෂත්‍රිය කුලය රට පාලනය හා යුධ කටයුතු වල නිරත වෙයි. වෛශ්‍ය අය වෙළඳාම් වල යෙදෙයි. ශුද්‍ර කුලයේ අය හම්වැඩ, වැසිකිළි, කැසිකිළි සුද්ද කිරීමේ යෙදේ. සැමට සෞම්‍ය නිසා බෝසත් වරු උපදින්නේ ක්ෂත්‍රිය කුළයේය.

මව -  බුදු බව ලබනා අන්තිම ජන්මයේ බෝසත්තුමා උපදින කුසයේ තවත් කෙනෙකුට ඉපදීමට ඉඩක් නොතැබේ. ඒ බුද්ධනියාමක ධරමතාවකි. බෝසතුන් ඉපදීමෙන් පසුව සත් දවසකින් මව්තුමිය මිය යෑමද සිදුවිය යුතුමය.
සුදොවුන් රජතුමා විසින් බෝසත් කුමාරයා මව්කුස පිළිසිඳ ගැනීමෙන් පසුව මාස ගණන සම්පූරණ වීමත් සමඟම මහාමායා දේවිය දෙව්දහ නුවරට පිටත් වීමට කටයුතු සම්පාදනය කරන ලදී. කපිලවස්තුපුරයේ සිට දෙව්දහ නුවර යන අතරමග රුමෙන්ද්‍රා හෙවත් ලුම්බිණී උයන පිහිටා ඇත. රුමෙන්දා නම් දෙවඟන සඳහා තනනා ලද දේවාලය නිසා මේ උයන රුමෙන්ද්‍රා උයන ලෙසද හඳුන්වයි.


මහාමායා දේවිය මේ උයනේ විවේකය සඳහා නතරවූ අවස්ථාවේ විළිරුදා ඇතිවිය. සේවිකාවන් තිර ඇදීමෙන් පසුව මායා දේවිය පින්වත් කුමරෙකු ලොවට බිහිකලාය. අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් පරිදි පින්බර ධර්ම කථිකයාණන් කෙනෙක් ධර්මාසනයෙන් බැසයන්නේ යම් සේද ,
අග්ගෝ හමස්මිං ලෝකස්ස
ජෙට්ටෝ හමස්මිං ලෝකස්ස
සෙට්ඨෝ හමස්මිං ලෝකස්ස
අයමන්ති මා ජාති නත්ථි දානි පුනබ්බවෝ ති 
යනුවෙන් අභීත සිංහනාද කර සත් පියුම් මත වැඩම කළ සේක. ලුම්බිණී උයනේ වෙහෙස නිවාගෙන දෙව්දහ නුවරට යන ගමන අතර මඟ නවතා දේවිය ඇතුළු පිරිස යළි කපිලවස්තුව බලා පිටත් විය.




 මේ මායා කුමරියගේ පිළිරුවයි. මෙය හින්දු භක්තිකයින් විසින් දරුවන් ලැබීම උදෙසා ගලගාගෙන වතුර ගෙනයාම නිසා විනාශ වෙලා. මේ ස්ථානය ඇතුලේ පින්තූර ගන්න දෙන්නේ නෑ.
 මේ ඇතුලේ ඒ කියන්නෙ සුදු පාට විහාරය ඇතුලේ පින්තුර අන්තර් ජාලයෙන් ගත් ඒවායි.


මේ සිදුහත් කුමරුගේ පා සටහන් යැයි විශ්වාස කෙරෙන තැනයි. එතන ආරක්ශා සහිතව වීදුරු පෙට්ටියක දමා මැද මිදුලේ තබා තියෙනවා. පින්තුර ගන්න දෙන්නේ නෑ. මේ පා සටහන මොග්ගලීපුත්ත මහ රහතන් වහන්සේ ධ්‍යානයකට සමවැදී ධර්මාශෝක රජතුමාට බෝසත් කුමරා උපන් ස්ථානය පෙන්වීම සදහා කල පා සටහනයැයි ද කියවෙනවා. 

අපි ලුම්බිණියට යත්දි හිටියේ හරිම වෙහෙස වෙලා. ඒ උනාට මේ උයනට ගිහාම පුදුම සනීපයක් දැනුනා. ශ්‍රී ලංකාරාමයේ නෙමින්ද ස්වාමීන්වහන්සේ තමා අපිට විස්තර කියා දුන්නෙ. උන්වහන්සේට බොහෝ පිං. 

සිද්ධාර්ථ කුමරු උපන් වේලාවේ මහ පොළව කම්පාවී නිරයේත් ආලෝකය පැතුරුණ බව කීයවෙනවා. ඒත් සමඟම යශෝදරා දේවිය, කන්තක අශ්වයා චන්න ඇමති වැනි සහජාත වස්තු එකම අවස්ථාවේ ඇතිවූ බවද කියවේ.








වර්ථමාන නේපාලයේ ‍‍භෟරව දිස් ත්‍රික්කයේ රැමිමින්දෙයි (ලුම්බිණී) නමි ගමෙහි ක්‍රි.පූ. 566 දී පමන සිදුහත් ගෞතම බෝසතානන් වහන්සේ උපත ලබා ඇත.

ඉතාමත් සතුටු දායක ලෙස බුද්ධ චරිතයට අයත්, ස්ථාන සියල්ලම පුරා විද්වතුන් විසින් තහවුරැ කර ඇත. සිද්ධාර්ථ ගෞතම බෝසතානන් වහන්සේ ශාක්‍ය වංශයට අයත් සුද්ධෝදන නමි රජ කෙනෙකුගේ පුතෙකි. මව මහමායා.

 සිද්ධාර්ථ ගෞතම බෝසතානන් වහන්සේ උපත ලැබු‍ෙව ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සොන්රැලි දිස්ත්‍රික්කයේ නේපාල දේශ සීමා‍ෙව සිට කි.මි.10 නේපාලයතුලට ගිය පසු භෛෟරව දිස්ත්‍රික්කයේ රැමිමින්දෙයි (ලුම්බිනි) නමි ගමෙහිය.

 ක්‍රි.ව.1896 දී රැමිමින්දෙර් හි කැණීමි කරන ලදී. එහිදී ශිලාලේඛනයක් සහිත අශෝක අධිරාජ්‍යා පිහිට වූ ශිලා ස්ථමිභයක්ද හමුවිය. සිදුහත් උපත සිදු වූ ස්ථානය නිශ්ච්තව දැන ගැනීමට හැකි හොදම සාදකය වන්නේ එකී ලුම්බිනි ශිලා ලිපියයි. එහි සිංහල පරිවර්ථනය මෙසේය,

“....අභිෂේක කළ විසිවස් ඇත්තාවූ (ක්‍රි.පූ. 248 වසර ) දී දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජු (හෙවත්, අශෝක අධිරාජ්‍යා: ක්‍රි.පූ. 268- 237 ) මෙහි ශාක්‍යමුණි වූ භාග්‍යවතුන් වහන්සේ උපන් සේකැයි තමා විසින්ම ඇවිත් පූජා කරන ලදී. ලුමිබිණි ග්‍රාමය අය බද්දෙන් නිදහස් කරන ලදී. ........”

ඉහත ශිලා ලේඛන‍ෙය් සදහන් ‘ලුමිබිණි ග්‍රාමය’ සහ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්තවල සදහන් සිදුහත් උපත සිදු වූ බව කියන ‘ලුමිබිණිය’ පැහැදිළිවම එකම ස්ථනයකි. ශිලා ලිපියේ සදහන් “ශාක්‍යමුණි වූ භාග්‍යවතුන් වහන්සේ” ලෙස හදුන්වා ඇත්තේ බුදුන් වහන්සේ බව නිරවුල්ව හදුනාගෙන ඇත. ‍ෙමි අනුව, වත්මන් නේපාලයේ භෛෟරව දිස්ත්‍රික්කයේ රැමිමින්දෙර් (ලුම්බිනි) නමි ගමෙහි ක්‍රි.පූ. 566 දී පමන සිදුහත් ගෞතම බෝසතානන් වහන්සේ උපත ලබා ඇත.






 ලෝකයේ මෙතෙක් උපත ලද ආගමික ශාස්තෘන් වහන්සේලා අතරින් උපන් ස්ථානය ශිලා ලේඛන සාක්ෂි සහිතවම දැන ගැනීමට හැකිවී ඇති එකමස්ථානය මෙකල නේපාල රාජ්‍යයට අයත් වන ලුම්බිනි පුදබිම හෙවත් රුම්මින්දෙයි නමින් අතීතයේ දී හඳුන්වන ලද මහා සල් උයනය. සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුවේ මෙම ලුම්බිනි සල් උයනේ බව (ථෙරවාද) බෞද්ධ සාහිත්‍යයෙහි මෙන් මහායාන බෞද්ධ සාහිත්‍යයෙහිද ඉතා පැහැදිලි ලෙසින්ම සඳහන් වෙයි.
 මේ ශිලා ලේඛනය පිහිටා ඇත්තේ ශිලා ස්තම්භයකය. (ශිලා ටැඹකය) ක්‍රිස්තුස්වහන්සේ උපත ලැබීමට සියවස් තුනකට පෙර මෙම ශිලා ලේඛනය සහිත වූ ස්තම්භය පිහිටුවන ලද පුද්ගලයා ගැන ද ඔහු එම ස්ථානයට පැමිණි බවද එම ශිලා ස්තම්භයේ සටහන් කර තිබීම බෞද්ධ අපට ඉතා වැදගත් කාරණයක් වන්නේය. 

භාරතයේ පුදබිම් පිළිබඳ විමසා බලන විට මෙම පුදබිම බෞද්ධ සංචාරකයන්ගේ පමණක් නොව අන්‍ය ආගමික සංචාරකයින්ගේද ගෞරව බහුමානයට හේතු වූ පුදබිමක් ලෙසින් ලුම්බිනි සල් උයන ඉතා වැදගත්ය.






මේ මයා පොකුණයි. මේ පොකුණෙන් කුමරා නැහැවූ බව විශ්වාස කෙරේ.

වර්ථමාන ඉන්දියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිද්ධාර්ථ නගර් නගරයේ සිට කි.මි. 20 දුරින් පිහිටි වත්මන් පිපිරහාවා ප්‍රදේශය   අතීත කපිලවස්තු නගරයයි.

ඉන් පසුව වයස 27 තෙක් සිදුහත් ගෞතම බෝසතානන් වහන්සේ ජීවත්ව ඇත්තේ සුද්ධෝදන පිය රජුට අයත් කිබුල්වත් නුවරය. ෆා - හියං නමි චීන ජාතික දේශාටක භික්ෂුව ක්‍රි.ව. 5 සියවස කිබුල්වත් නුවරට ගොස් ඒ ගැන වාර්තා කර ඇත. ෆා- හියං වාර්තා අනුව ලුමිබිණියට  කි.මී. 50ක් පමණ  දුරින් කිබුල්වත් නුවර පිහිටා ඇත. 

මෙම ඉපැරණි නගරය ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ්   ප්‍රාන්තයේ   සිද්ධාර්ථ නගර් නගරයේ සිට කි.මි. 20 දුරින් පිහිටි වත්මන් පිපිරහාවා ප්‍රදේශය ලෙස ක්‍රි. ව. 1971 දී එහි කැණීමි කළ කේ. එමි. ශ්රී  වාස්තව නැමැති පුරාවිද්වතා හදුනාගෙන ඇත. පිපිරහාවා ග්‍රාමයේ තිබූ එක් ඉපැරණි ස්ථුපයක කරඩුවක තිබී අගනා ශිලා ලිපියක් හමු විය. එහි සිංහල පරිවර්ථනය මෙසේය,
“මෙය භාග්‍යවත් බුදුරජානන් වහන්සේගේ ධාතූන්වහන්සේලා ශාක්‍ය සුකිට් සහෝදරවරැන්, සොහොයුරියන් පුත්රයන් සහ පතිනිවරැන් සමගින් පුදකරන ලද දානයයි.........”

මෙම ධාතු කරඩුව පිහිටි ප්‍රදේශය කොතැනද එය බුදුරජානන් වහන්සේගේ “ශාක්‍ය ” ඥාතීන් වාසය කළ ප්‍රදේශය බව කිසිම සැකයක් නැත. 

එබැවින් , බුදුරජානන් වහන්සේගේ “ශාක්‍ය” ඥාතීන් පිළිබද සදහන් මුද්‍රාවේ  ඵලක හමු වූ පිරහාව ස්ථූපය අවට ප්‍රදේශය අතීත ශාක්‍යයන්ගේ  ජනපදය ලෙස හදුනාගත හැකිය. පිපිරහාවා ස්ථුපයට නුදුරැ තැනක තිබු ගොඩනැගිල්ලක  භික්ෂූන් ලියූ මැටි මුද්රා ඵලක කීපයක්ම හමුවිය. ඒවායේ, "කපිලවස්තු භික්ෂු සංඝස්ස ” සහ “ මහ කපිලවස්තු භික්ෂු සංඝස්ස ” යන වැකි සහිත මුද්රාම ඵලක කීපයක්ම හමුවිය. ඒවායේ සදහන් “කපිලවස්තු” නැමැති ස්ථානය සහ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල සදහන් සුද්ධෝධන රජුගේ අගනුවර වූ කපිලවස්තු (කිබුල්වත් නුවර) එකම ස්ථානයක් ලෙස නිරවුල්ව පිළිගත හැකිය. “ කපිලවස්තු භික්ෂු ”න් වහන්සේලා පිළිබද සදහන් මුද්රා ඵලක හමු වූ පිපිරහාවා ස්ථූපය අවට ප්‍රදේශය අතීත කපිලවස්තු නගරය බව වඩ-වඩාත් තහවුරැ විය. 

සිදුහත් ගෞතම බෝසතානන් වහන්සේ වසර 27 පුරා ජීවත්ව ඇත්තේ, මෙම වත්මන් ඉංදියාවෙ උත්තර ප්‍රදේශ  ප්‍රාන්තයේ සිද්ධාර්ථ නගර් නගරයේ සිට කි.මි. 20 දුරින් පිහිටි වත්මන් පිපිරහාවා ප්‍රදේශයේය.

 යාන්තම් මම ඉන්න පින්තූරයක් තියෙනවා. වමේ ඉන්නෙ මම.


අශ්ව රූපය සහිත ස්ථම්භයෙන් නිරූපනය වන්නේ වේගයෙන් ගමන්කරන සංසාරයේ බුදුන්වහන්සේගේ ජීවිතයවන්නට ඇති යි කියා හිතනවා. මේ විහාරයේ හතරැස් කොටුවේ ඇස් දෙකක් නිරූපණය වෙනවා. ඒ මෝහාන්ධකාරය දුරු කොට ලොවට ප්‍රඥාව පහලවූ ස්ථානය මේ නිසායි. යුනෙස්කෝව මඟින් ලෝක උරුමයක් ලෙස මේ ස්ථානය නම් කරල තියෙනවා. අපි මෙතැන ඉඳලා දරුප්‍රසූති කරන්නට බලා ඉන්නා ලෝකවාසී සියලූම මෑණිවරුන්ට සෙත් පැතුවා. ඒක හරිම වටිනවා. අජිත් මහත්තයා ඒ වන්දනාව සිදු කලේ. 



ඊට පස්සෙ අපි හැමෝම එකතු වෙලා දෙමාපිය වන්දනාවක් කලා. ඒකත් හරිම වටිනවා. අපේ අම්මලා එතන හිටියේ නෑ. නමුත් එතැන හිටිය හැම වැඩිහිටියෙකුටම අපි වැන්දා. මට වඩා දවසක් හරි වැඩිමල් නම් අපි හැමෝම වන්දනා කලා. හරීම සංවේදී අවස්ථාවක්, හැමෝගෙම ඇස් වල කඳුළු දැක්කා. ඒ අය අතරේ කවමදාකවත් තමන්ගේ ස්වාමියාට වන්දනා නොකල අය හිටියා. එයාලා බොහොම සංවේදී වුණා මේ වෙලාවේ. මටත් මගේ දෙමාපියන්,  මහත්තයාගේ දෙමාපියන් හා මගේ ආදරණීය මහත්තයාවත් මතක් වුණා. 










මේ දැනට සල්ගස කියල ඉන්දියාවෙ තියෙන ගසයි. ඒක අපේ සල්ගස වගේ නෙවෙයි.