බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Monday, February 25, 2013

කිඹුල්වත් පුර අතර මග - දුර්ගා පූජාව




අද ලියන්නේ වෙනස්ම දෙයක් අපි කිඹුල්වත් පුරේ යන අවස්ථාවේ මහ මඟදී දුර්ගා මෑණියන්ට ඉන්දියානුවන් පවත්වන පූජාව පවත්වන දිනයයි. මගතොටදී නොයෙක් ප්‍රමාද වීම් උනේ නම් මේ පූජාව නිසා. පැය ගානක් එකම තැන බලා ඉන්න උනා මේ කට්ටියගෙ නැටුම් ගැයුම් ඉවර වෙනකල්. 












බොහොම භක්තියෙන් පැය ගනන් නටනවා. එකම ගීත හැම තැනම ඇහුනේ. ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට මටනම් හිතුනේ කඳ කපාපු පනුවො නලියනවා වාගේම තමා.  එකම විදිහට එකම තාලෙට පැයගානක් නටමින් යනවා. පාරවල් වල ඉන්න අය හෝන් එකක් වත් ගහන්නෙ නෑ. ඒ අයට ඉඩ දීල ඉන්නවා මේ පූජාව ඉවර වෙන කල්ම.






 අවසානේ දුර්ගා මෑණියන් ව ජලයෙන් නහවා පූජාව ඉවර කරන්නෙ.





මේ වාගේ දේවල් බුද්ධ කාලෙත් තිබුනා. අද වාගේ දවසක අප බොහොම ආදරෙන් සිහිපත් කරන සැරියුත් මුගලන් දෙනම මේ වාගේ නාට්‍ය සංදර්ශනයකට ගිහින් තමයි ඒ ගැන කලකිරී  අස්සජී තෙරුන් හමුවේ දහම් අසා බුද්ධ සාසනයේ පැවිද්ද ලැබූවේ. මේ දෙන්නාටම හිතුනා මේක නෙවෙයි ජීවිතේ, මීට වඩා දෙයක් තියෙනවා කියල. කොච්චර ආශ්චර්‍ය මත් ද? මේ සඳහා මහමගදී හමුවූ අස්සජී තෙරුන්ගෙන් අසනා ලද දහම් පද භාගෙට පවසත්දීම සෝවාන් වුන උපතිස්ස පරිභ්‍රාජකයා තම යහළුවාව සොයාගොස් මේ ධර්මය පවසනවා. ඊට පස්සෙ උපතිස්ස, කෝලිත ත් සමඟින් වේළුවනාරාමයට බුදුන් දකින්න එනවා.  මේ අවස්ථාවේදී බුදුන් වහන්සේ මේ එන්නේ මාගේ සාසනයේ අග්‍ර ශ්‍රාවක දෙනමයි කියා පවසා සිටියා.  

මේ උතුම් රහතන් වහන්සේලා දෙනම බුදු සසුනේ අග්‍ර ශ්‍රාවක දෙනම ලෙස තනතුරු ලබන්නේ අද වැනි උතුම් පොහෝ දිනකයි.



 මේ ටිකේ මදක් අසනීපෙන් ඉන්නෙ. ඒ නිසා අද සිල් සමාදන් උනෙත් ගෙදර ඉඳල. වෙනදා වාගෙ මගෙ සටහන් අද දමන්න වෙන්නෙ නෑ. ඒ ගැන සමාවෙන්ට ඕනෙ. ඉක්මනින්ම ඒවා ටික දමන්නම්. මේක කලින් ලියා තිබූ නිසා අද දමන්න සිදු උනා. සැමට තෙරුවන් සරණයි!

Friday, February 8, 2013

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 9 කපිලවත්තු නුවර දිනක්.


" කපිලවත්තු නුවර පිස හමා එක සිසිල් සුළඟ මගේ ගතටත් සිතටත් මහත් සැනසිළිදායකයි ආනන්ද" -  බුදුන් වහන්සේ. 






 සුද්ධෝදන රජ තුමා තම පුත් කුමරා වන සිදුහත් කුමරාට හේමන්ත, ග්‍රීෂ්ම , වර්ෂා යන සෘතු තුනේම සැපසේ වාසය කිරීම පිණිස මාළිගා තුනක් කරවීය. මේ මාළිගාවල එකක් මහල් පහකින් යුක්ත විය. ඒ මාළිගාවන්හි තමන් සුවසේ වාසයකල බව බුදුන් වහන්සේ පසු කලෙක සුඛුමාල සූත්‍රයේ පැහදිලි කලේය.  

මේ මාළිගා තුනෙහි යැයි විශ්වාස  කෙරෙන නටඹුන් දැන් සොයා ගෙන ඇත. 


කාළුදායි ඇමතියා සුදොවුන් රජ විසින් බුදු රජාණන් වහන්සේ ව කැදවා ගෙන ඒමට යවා එම භික්ෂූ පිරිසට වැඩ වාසය කිරීම පිණිස නීග්‍රෝධාරාමය කරවීය. එම ආරමය පිහිටි භූමියේ අද ගඩොලින් තැනූ චෛත්‍යයක් දක්නට ඇත.  ඔබ මෙහි දකින්නේ එයයි.










මේ විස්තරය කරන්නේ මහින්ද විහාරයේ වැඩ වාසය කරන නේපාල ජාතික භික්ෂූන් වහන්සේ නමක්. ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය ලැබූ නිසාවෙන් හොඳටම සිංහල කතා කරන්න පුළුවන්. උච්චාරනය වෙනස් උනත් පැහැදිළියි. 







මාළිගා අසබඩ නෙළුම් පොකුන හරිම ලස්සනයි. ලස්සන උයනක් එක්ක තිබුනෙ. ඒ කාලෙත් මෙහෙම වෙන්න ඇති.










රම්‍ය , සුරම්ය , සුබ මාළිගා වල නටඹුන් හා සුද්ධෝදන රජ මාළිගාව. 




කිඹුල්වත් නුවරට වැඩම කල අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ පිරිස නිග්‍රෝධාරාමයට වඩමවා ගෙන ගියහ. මානයෙන් අධික ශාක්‍යයෝ බුද්ධත්වයට පත් වූවත් අපට වඩා බාලයයි කියා බුදුන් වහන්සේට නොවැඳ බාල කුමර කුමරියන් හට මල් මාලා ආදිය දී වැන්ද වූහ. මේ ශාක්‍යයන් ගේ මානය දුරු කිරීමට සිතා බුදුන් වහන්සේ සතර වන ධ්‍යානයට සම වැදී අහසට නැඟ යමා මහ පෙළහර දැක්වූහ.  මෙය දුටු සුද්ධෝදන රජ තුමා මෙය මාගේ තෙවන වැඳීමය ‍යි කියා බුදුපාමුල වැඳ වැටුනා.  මේ දැක අන් ශාක්‍යයන් ද බුදුන් වහන්සේට වැඳ නමස්කාර කළහ. මේ දුටු පාවා නුවර මල්ල රජ පුත්‍රයින් සිව් දෙනෙක් වන ගොධික, සුබාහු, වල්ලභ, උත්තිය යන කුමාර වරු හතර දෙනා පැවිදිව රහත් බව ලැබූහ. 

මේ යමක ප්‍රාතිහාර්යය අවසානයේ වර්ෂාවක් ඇතිවිය. එම වැස්සට කැමති අය තෙමෙති, නොකැමති අය නොතෙමෙති, ශාක්‍යයෙනි පෙරත් මහවැසි ඇතිවූ බවත් පවසා වෙස්සන්තර ජාතකය වදාල සේක. නමුත් දෙසුම අවසානයේ සියල්ලන්ම මාලිගාවට ගියත් දනට ආරාධනා නොකළහ. 





පසු දින විසි දහසක් භික්ෂූන් සමඟ පිඬු සිඟා වඩිත්දී ලැජ්ජාවට පත් සුදොවුන් රජ තුමා" ස්වාමීනී, මේ නුවර පිඬුසිඟා යාමෙන් අප රාජ වංශයට අවනම්බු කරන්නේ දැ'යි විමසීය. "මහරජ ඒ ඔබේ වංශයයි, මාගේ වංශය බුද්ධ වංශයයි  , පිඬු සිඟා යාම අපේ සිරිතයි "කියා වදාලා.

උත්තිටෙඨනපපමජෙජය්‍ය - ධම්මං සුචරිතං චරෙ
ධම්මචාරි සුඛං සෙති -අසමිං ලොකෙ පරම්හි ච

උත්සාහ වන්තව නොපමාව කටයුතු කරන්න. සුචරිත ධර්මයෙහි හැසිරෙන්න. මෙලොව පරලොව දෙකෙහිම සුවසේ වාසය කරන්න. 


මේ දේශනාව ඇසූ රජ තුමා සෝවාන් විය. රජතුමා බුදුරජාණන් වහන්සේ  ප්‍රමුඛ මහා සංඝයා මාළිගාවට වඩමවා දන් පිලිගැන්වූහ. නමුත් මෙහිදී යශෝදරාවන් නොදුටු වේ ඇය 'මාගේ යම් ගුණයක් වෙත් නම් බුදුන්වහන්සේ මා දකින්නට එතැයි'  සිතා තම කුටියෙහිම සිටි නිසාය. මෙය දිවැසින් දුටු බුදු හිමියන් අගසව් දෙනම කැටිව පියරජු හා යශෝදරාවන් සිටි මාළිගයට පිටත්විය. මහමඟදී ඇයට සිත්සේ වඳින්නටත් හඩන්නටත් ඉඩ දෙනලෙස අගසව් දෙනමට කියා,  පනවන ලද අසුන් වල වැඩ සිටි සේක. මේ වෙලාවේ යශෝදරාව පැමිණ සිරිපතුල් වන්දනා කරමින් හඬා වැලපුන හ. මහා කරුණාවෙන් ඇය දෙස බලා ඇයගේ ශෝකය සංසිඳී ගිය පසුව සඳ කිඳුරු ජාතකය වදාලා ඇය සැනසූහ. මේ වෙලාවේ ඇය මහණ වීමට අවසර පැතූවද එය නොසලකා නිග්‍රෝධාරමයට වැඩම කළහ.



අදටත් කිඹුල්වත්පුරය හරිම සශ්‍රීක වත්. කෙත්වතු හැම තැනම. ලස්සන ගෙඋයන් පිරිච්ච නගරයක්.  වප්මඟුල ලස්සනට තියෙන්න ඇති කියල හිතෙන්නෙ මේ සාර කෙත්වතු දැක්කමයි. 

Sunday, February 3, 2013

ඉසිදාසි මහරහත් තෙරිණිය!





අද මේ ලියන්නෙ ඉසිදාසි මහ රහත් තෙරිණියගේ ජීවිත කථාවයි. මේ ඉල්ලීම කලේ 'මනසින් දිවියට' බොලොග් අඩවිය ලියන ගයනි නංගියි. මෙය කියවන හැම දෙනාම ඇයට පින් අනුමෝදනාවක් කරන්න. මාත් මේ තෙරණින් වහන්සේ ගැන හෙව්වෙ ඊට පස්සෙයි. ඒ නිසා මුලින්ම ගයනි නංගීට පින් දීලයි මේ  සටහන තැබෙන්නෙ. 

මේ ජීවිත කථාව කාන්තා අපිට වගේම පිරිමි අයටත් බොහොම ආදර්ශවත් කතා පුවතක්. මේ කතාව හරිම ලස්සනයි. කර්ම විපාකයන් අපි පසු පස පන්නන විදිහ අපූරුවට විස්තර වෙනව. කොපමණ ලස්සන උනත්, මුදල් තිබුනත් කර්මය වලක්වන්න බැහැ කියල කියන එක ඇත්තයි. අපි අපේ ජීවිත හදාගන්න ඕනෙ කියන්නෙ ඒකයි. අපේ දරුවන් අපි හදාගන්න ඕනෙ කියන්නෙත් ඒ නිසාමයි.

 අදටත් මේ වගේ දුක් විඳිනා කාන්තාවන් අපිට හමුවෙනව. ඒ සසර කර්ම විපාකයන්ට අනුව ඔවූන් තාම සසර ගමන යනවා. ඉසිදාසිය වගේ සසර ගමන නවතාගන්න උත්සාහයක් දරන්නෙ නෑ.

කුසුම් පුරය කියල කියන ලස්සන පාටලී නගරය මේ මහ පොළොවට ආභරණයක්. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් සිල්වත්  භික්ෂුණීන් දෙනමක් ඒ නගරෙ වාසය කරනව. ඒ එක භික්ෂුණියකගේ නම ඉසිදාසි. අනෙක් භික්ෂුණිය ගේ නම බෝධි. ඒ දෙන්නම වාසය කරන්නෙ ධ්‍යාන සැපයෙන්. බුදු සමිඳුන් ගේ නිකෙලෙස් ධර්මය ගොඩක් අහල එතෙර වෙලයි ඉන්නෙ. 

දවසක් මේ දෙන්නම පිණ්ඩපාතෙ වැඩල දන් වළදලා දෙපා සෝදාගෙන විවේක සුවයෙන් ඉන්නැත්දි තමයි මේ කතාබහ ඇති වුණේ.

බොධි භික්ෂුණිය:   "ආර්ය වූ ඉසිදාසි, ඔයා හරීම ලස්සන කෙනෙක්. තවම ඉන්නෙ තරුණ වයසෙ. ඔය ලස්සන වයසෙදීම ඔයා මහණ වෙන්න කල්පනා කලේ ගිහි ගෙදර කොයි ආකාරයේ දෝෂයක් දැකලා ද?"

විවේක තැනකදී මේ විදිහට අසත්දී දහම් දෙසීමේ දක්ෂ වූ ඉසිදාසි භික්ෂුණිය මේ විදිහට පිළිතුරු දුන්නා. 

"එහෙම නම් පින්වත් බොධි,  මං මහණ වෙච්ච විදිහ අහගන්න"

" මගේ තාත්තා සිල්වත් කෙනෙක්. එයා උදේනි නගරයේ ඉන්න සිටුවරයෙක්. මං ඒ ගොල්ලන්ගෙ එකම දුව. ඒ හැම සැප සම්පතක් මත් හැම ආදරයක් මත් ලැබුනෙ මට.

සාකේත නගරයේ උසස් කුලයකින් මට මංගල යෝජනාවක් ආව. ඒ සිටුවරයාටත් ගොඩාක් වස්තුව තිබුණ. ඒ සිටුතුමාගෙ ලේලිය හැටියට මාව, මගෙ තාත්තා ඒ ගෙදරට පාවා දුන්න.

ඉතින් මං නැන්දයි මාමයි ලඟට උදේ හවා ගිහින් ඒ ගොල්ලන්ගෙ දෙපා වැන්ද. ඔවුන්ට බොහොම කීකරුව ඔවුන් කියන දේ විතරක්ම කෙරුව. 

මං මගේ ස්වාමියා හරි, සහෝදර සහෝදරියන් හරි, ඒ කවුරු හරි දැක්කොත් මං පුටුවෙන් නැගිටිනවා. මං ඒ ගොල්ලන්ට වාඩි වෙන්න දෙනවා. 

කෑමෙන් බීමෙන් වුණත් , කැවිලි පෙවිලි වලින් වුණත් ඒ ගොල්ලන් කැමති දේ හදල දීල මං එයාලව සතුටු කරවනවා. මං ඒ අයට හොඳටම සැලකුව.

අවශ්‍ය දේවල් වෙලාවට හොයල බලල උපස්ථාන කරනව. මං මගේම අතින් ස්වාමියාගෙ පා සෝදලයි ගෙට ගත්තෙ. ස්වාමියා ළඟට මං යන්නෙත් වැඳගෙනයි.

මං පනාවත් සුවඳ විලවුන් වර්ගත්, වෙනත් දේවලුත්, කණ්ණාඩියත් අරගෙන සැමියා ලඟට යනව. මගේ අතින්ම මං එයාව සරසවනව. 

මගෙ අතින්ම මං බත් ඉව්ව. හැලි වලං සේදුව. අම්මා කෙනෙක් තමන්ගෙ එකම දරුවාට සලකනවා වාගේ මං මගේ ස්වාමියාගෙ සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කලා. 

එයාට මං කොයි තරම් ආදරෙන් වැඩකාර කම් කරගෙන හිටියත්, නිහතමානීව සොයා බලා කටයුතු කරගෙන සිටියත්, කම්මැලි නැති සිල්වත් ජීවිතයක් ගෙවන මට ම යි එයා බණින්නෙ. අකටයුතුකම් කරන්නෙ."

අන්තිමේ දී එයා එයාගෙ දෙමාපියන්ට මෙහෙම කිව්ව. " මම යනව මේ ගෙදර අත් හැර දාල, මේ ඉසි දාසියත් එක්ක පවුල් කන්න මට ඕනෙ කමක් නෑ"

"පුතේ එහෙම කියන්න එපා, ඔය ඉසිදාසි ඤාණවන්ත කෙනෙක්, වාසනාවන්ත කෙනෙක්, වීරියවන්ත කෙනෙක්, කම්මැලි නැති කෙනෙක්,ඉතින් පුතේ ඔයා මොකටද ඔය ඉසිදාසියට මේ තරම් අකමැති?"

"ඔව්! ඇය මට වරදක් කරල නෑ. නමුත් මට ඉසිදාසිත් එක්ක පවුල් කන්න ඕනෙ කමක් නෑ, මට ඈව අප්පිරියයි, මට ඇගෙන් වැඩක් නෑ. මං එහෙම නම් ඕගොල්ලන්ටත් නොකියාම මේ ගෙදරින් යන්න යනව"

ඉතින් නැන්දයි මාමයි එයාගෙ වචනෙ පිළිගත්ත. 

ඒ ගොල්ලො මගෙන් ඇහුව, " දරුවො, ඔයා මොකක්ද අපේ පුතාට කරපු වරද? සැක නැතිව අපිට කියන්න දුව"

"මං එයාට කිසිම වරදක් කළේ නෑ. හිංසාවක් කලේ නෑ, වැරදි වචනයක් කියලත් නෑ, ආර්යාවෙනි එයා මේ තරම් මාත් එක්ක තරහ වුණාට මං මොකද කරන්නෙ? "
'' අපේ පුතාව රැක බලාගෙන හිටිය ලස්සන ලක්ෂ්මීව අපේ පවුලට නැති වුණා" කියල ඒ දෙමාපියන් මාව ආයෙමත් අපේ තාත්තා ලඟට ඇරලුවා."

" ඒ වතාවෙ මගෙ තාත්තා ,අපිට වඩා අඩු බදු ආදායම් භාගයක් ලැබන ධනවත් පවුලකට මාව බන්දලා දුන්න.

මාසයයි මං ඒ ගෙදර හිටියෙ. මං කීකරු දාසියක් වගේ උපස්ථාන කරත්දි, ද්‍රෝහිකම් නොකරත්දි, සිල්වත්ව සිටිත්දි, ඒ ගෙදරිනුත් මාව අයින් කලා."

"අන්තිමේ දි මගේ තාත්තා , සිඟමනේ ඇවිද ගිය ඉඳුල් කකා ඉන්න මිනිහෙක් එක්ක ගෙන ආවා. " ළමයෝ ඔය රෙදි කඩමාල්ලයි, ඔය තැටියයි විසිකරාපන්. මගේ දියණිය ගේ සැමියා බවට පත්වෙයන්" කියල ඔහුට කිව්ව.

ඒ මනුස්සයා මාත් එක්ක ටික කලක් හිටිය. ඉඳලා ඒ මනුස්සයාත් මාව අත් හැරදා යන්න ගියා. ඒ යන දවසේ තාත්තාට මෙහෙම කිව්ව. " මගෙ රෙදි කඩමාල්ලයි, මගෙ තැටියයි මට ආපසු ඕනෙ. මං ආයිමත් සිඟාකන්න පටන් ගන්නවා"

එතකොට  අම්මයි තාත්තයි මෙහෙම කිව්ව " දරුවෝ, මේ ගෙදරින් ඔයාට මොනවද ලැබෙන්නෙ නැත්තෙ? ඕනෙ දෙයක් කියන්න හරිගස්සවල දෙන්නම්." 


එහෙම කියද්දිත් එයා මෙහෙම කියනව " නෑ, මට ජීවත් වෙන්න තාම හයිය තියෙනවා. මට මේ ඉසිදාසිය ගෙන් වැඩක් නෑ. මට ඈත් එක්ක පවුල් කන්න ඕනෙ කමක් නෑ" 

ඉතින් , ඒ ඉඳුල් කන මනුස්සයාත් මාව දාල ගියා. "

මං තනියම හිතන්න ගත්තා. ඇයි ? මට මෙහෙම උනේ? එක්කෝ මං කාටවත් නොකියාම දිවි නසා ගන්නවා, එහෙම නැති නම් මං මහණ වෙනව.





විනයධර , බහුශ්‍රැත , සිල්වත් භික්ෂුණියක් හිටියා. ආර්යය වූ ජිනදත්තා භික්ෂුණිය පිණ්ඩපාතේ වඬිනා ගමන් අපේ ගෙදරටත් වැඩියා. එතුමිය දැකල අපි අපේ ආසනේ වාඩිවෙන්න පිළියෙල කලා. එතන හිඳ ගත්ත ඒ භික්ෂුණිය ගේ දෙපා වැඳලා දානෙ පූජා කරගත්තා. 

දන්පැන්වලිනුත්, කැවිලි පෙවිලි වලිනුත් ඇයට සැලකුව. " ආර්යාවෙනි, මාත් කැමතියි මහණ වෙන්ට"

එතකොට තාත්තා , මට මෙහෙම කිව්ව. " දුවේ ඔයා මේ ගෙදර ඉඳගෙනම ධර්මයේ හැසිරෙන්න, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දාන මාන වලින් සලකන්න".

මං තාත්තා ලඟ වැඳ ගෙන හඬා වැටුණා. මං කරගත්තු පව් තමයි මං මේ විඳවන්නෙ, මේ පව් මං ම දිරවල අවසන් කරල දානව. අනේ! මට ඒකට අවසර දෙන්න " කියල මං හඬා වැටුන. 


ඊට පස්සෙ තාත්ත මට මෙහෙම කිව්ව. " නර ශ්‍රේෂ්ඨ වූ බුදු රජාණන් වහන්සේ යම් උතුම් ධර්මයක් අවබෝධ කළා නම් ඔයත් ඒ උතුම් ධර්මයට පැමිණිලා අවබෝධය ලබා ගන්න.  ඒ අමා නිවනටම පත්වෙන්න. "


 මං දෙමාපිය නෑදෑ පිරිසටත් වන්දනා කළා. ඔන්න ඉතින් මාත් මහණ වුණා. මහණ වෙලා හත් දවසින් මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා.

"මට අතීත ආත්මභාව හතක් සිහි කරන්න පුළුවන්. මං මේ ජීවිතේ විපාක වින්ඳෙ පෙර ආත්මයක කරපු පවක්. මං ඔයාට ඒක කියන්නම්. හොඳට අහගෙන ඉන්න"


"මීට ආත්මභාව හතකට කලින් ඒරකච්ඡ නගරයේ ගොඩාක් ධනය තියෙන රන් කරුවෙක් වෙලා මං හිටියෙ. ඒ කාලෙ මං තරුණ මදයෙන් මත්වෙලා හිටියෙ. නොයෙක් නොයෙක් කාන්තාවන් පස්සෙ මං ගියා. කම් සැපෙහි ඇලිලමයි හිටියෙ. ඒකෙ ආදීනව දැක්කෙ නෑ".


 මනුස්ස ලෝකෙන් චුත වෙලා මං කෙළින්ම ඉපදුනේ නිරයේ. මං ගොඩාක් කල් නිරයේ දුක් වින්ඳා. එතනින් චුත වෙලා මං උපන්නෙ වැඳිරියකගේ කුසේ. 


එතකොට මං ඉපදිලා දවස් හතයි. ඒ වඳුරු රැළේ නායක වඳුරා මගේ පුරුෂ ලිංගය හූරලා දැම්මා. පර ස්ත්‍රීන් සේවනය කරපු කර්ම විපාකය තමයි මං ඒ වින්දේ. 


මං ඒ ආත්මෙන් මිඳුනාම සින්ධව වනයේ හිටපු එක ඇහැක් අන්ධ වෙච්ච කුදු ගැහුනු බූරු දෙනෙක්ගෙ කුසේ උපන්න.  මං කුඩා කාලෙ කර අඹවල මගේ රහසඟේ ඇට තැලුව. දොලොස් අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන ඇවිද්දා. නමුත් අර ඇටතලාපු තුවාලෙ පිටින්මයි මං හිටියෙ. ඒ තුවාලෙට පණුවො ගහල මං ලෙඩ වුණා. මේ පර ස්ත්‍රීන් සේවනය කරපු විපාකෙ තමයි.

මං එතනින් චුත වුණා. හරක් වෙළෙන්දෙක් ළඟ හිටපු ගව දෙනකගේ කුසේ මං ඉපදුනා. මං රතුපාට වහු පැටියෙක්. දොලොස්වෙනි මාසෙ දී අර විදිහටම මගේ ලිංගේ ඇට තැලුවා. මං නගුල් උස්සාගෙන ගියා. ගැල් බර කරේ තියාගෙන ගියා. අන්ධයෙක් වගේ මං පර දාර සේවනය කරපු නිසා මාත් අන්ධ වෙලා ලෙඩ වෙලා මැරිල ගියා.

මං එතනින් චුත වෙලා නගරයේ වීදියේ දාසියකගේ කුලයේ ඊළඟට උපන්නෙ. මේ පරදාර සේවනයේ විපාකෙ බලන්න ආර්යාවෙණි, මං ඒ පාර උපන්නෙ ගැහැනියෙකුත් නොවී පිරිමියෙකුත් නොවී නපුංසකයෙක් ලෙසයි. මං අවුරුදු ගානක් ගොඩාක් දුක් වින්දා. මං අවුරුදු තිහේදී මැරුණා. 


 ණය බරින් මිරිකිලා ගිය ගැල් බර ගෙනියන පවුලකයි මං ඊළඟට ඉපදුනේ. ඒ පාර මං ඉපදුනේ ස්ත්‍රියක් ලෙසයි.


අපේ ගෙදරට ණය ගෙවාගන්න අපිට බැරි වුණා. ගැල් නායකයා මං හඬද්දීම බලෙන් මාව අරගෙන ගියා. එතකොට මට වයස දහසයයි. මං තරුණයි. ඒ ගැල් නායකයාගේ පුතෙක් හිටියා ගිරිදාස කියලා. එයා මාව තමන්ගේ ගෙදරට කැඳවා ගත්තා.


එයාට හිටියෙ හොඳ සිල්වත් ස්වාමිභක්තිය තියෙන බිරිඳක්. මට ඈ ගැන ඉරිසියා හිතුනා. ඉතින් මං කලේ ඒ බිරිඳ ගැන ස්වාමියා කිපෙන විදිහට කටයුතු කිරීමයි.


ඉතින් ආර්යාවණි, මං ස්වාමියාට දාසියක් වගේ උපස්ථාන කරද්දී ස්වාමියා මාව අත්හැරල යන්නෙ ඒ අකුසල කර්මයේ විපාක වශයෙන්. මං දැන් ඒ කර්ම සියල්ලම අවසන් කලා. මේ භවකතරෙන් මං සදහටම මිදුන. " කියල ඉසිදාසි මහ රහත් මෙහෙණින් වහන්සේ තම කතාව අවසන් කලා.

සාදූ!  සාදූ!!  සාදූ!!!