බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Saturday, April 9, 2011


අලුත් අවුරුද්දට නිවාඩුවකට යන්නයි ලැහැස්තිය. ඔන්න ඉතින් මේ පැත්තෙ ඇවිත් ගිය හැමටම වාසනාවන්ත අලුත් අවුරුද්දක් පතනවා සෙනෙහසින්.

Saturday, April 2, 2011

දහම් පාසැල් වන්දනා ගමන.

සුන්දර මතකයක් එකතුකල දහම් පාසැල් වන්දනා ගමන.



හදිසියෙම මට මගේ මහත්තයා උගන්වන වේරහැර ශ්රී පුන්යසාර දහම් පාසැලේ දරුවන් එක්ක වන්දනා ගමනකට සහභාගී වෙන්න ලැබුනා පහුගිය ඉරිදා. අපි උදෑසනින්ම ගමන පිටත් වුනා. කියන්නේ පාන්දර පහට විතර. ලොකු ස්වාමීන් වහන්සේ, ගුරුමණ්ඩලය, දෙමාපියන් සහ දරුවන් සේරම පනස් පස් දෙනෙක් ගමනට සහභාගි වුනා. අපි යන තර අපි ගමන්ගත් බස් රථයේ රියදුරු මහතා වන ප්රියන්ත මල්ලී පිරිත් දේශනයක් තිබෙන හඬ පටියක් මුලින්ම දැම්මා. ඒක ගොඩක් අගය කරන්න ඕනෙ. ඉතින් එයට සවන් දෙමින් දරු පැටව් ටිකත් සද්ද නැතිව හිටිය. පුංචි වයසේ එහෙම ඉන්නත් අමාරුයි නේ. උනත් බොහොම හික්මීමෙන් හිටිය වග කියන්න ඕනෙ.

මහරගම, කොට්ටාව,හෝමාගම හංවැල්ල,මීපේ,කළු අග්ගල,කොස්ගම පුවක්පිටිය එහෙම පහුකරල ඔන්න අපි අවිස්සාවෙල්ලෙන් රත්නපුරා පාරට වැටුන. හිත නිවන ගීත කීපයකුත් අතර අපිට අහන්න ලැබුන. අපි කුරුවිටට ලගා වෙනකොට උදේ හතට විතර ඇති.

අපි කුරුවිට ඉඳල හැරුන දිවාගුහාවට යන්න. හරිම සුන්දර පරිසරය. මහ උස ගස්කොළන් පිරුන පැත්තක්. ඒ වගෙම පාර දෙපැත්තෙ ජනාකීර්න පැතිත් තිබුන. කුරුවිට සිට කිලෝමීටර් හතක් පමණ ගිය විට බටතොට ගම්මානය හමු වෙන්නේ. එතැන් සිට බටතොට ලෙන් විහාරයට කිලෝමීටර් දෙකක් පමණ යා යුතුයි. පැය භාගයක් වගේ ගමන් කරල අපි දිවාගුහාව පූජා භූමියට ඇතුළු වුනා. කට්ටියට හරි සතුටුයි. නායක ස්වාමීන් වහන්සේ අපිට උදේ ආහාරය ගන්න එතන තුබුන පුංචි වෙළද සැලක ඉඩ අරන් දුන්නා. මම හදාගෙන ගිය සීනිසම්බල සමගින් පාන් තමයි තිබුනේ කෑමට. රසවත් උදේ ආහාරය ගුරුතුමියන් සහ ගුරුවරු එක්ක හැමෝම සතුටින් ගත්ත බව තමයි කියන්න ඕනෙ. රසවත් තේ එකකුත් අපිට ලැබුන. ඊලඟට එතන පිරිසිදු කරල කන්ද නගින්න පටන් ගත්ත. මනම්පේරි මිස් සමඟින් මමත් ඉතින් හිමිහිට කන්ද නගින්න ගත්ත. ඒ මිස්නම් කිවුවේ ඉස්සර හරිම අපහසුවෙන් තමයි මේකේ ගියේ ඒත් දැන්නම් පහසුයි කියල. ඒ උනාට මට නම් කදු තරණය එච්චර පුරුදු නැති නිසාද කොහෙද හරිම මහන්සියි. පහල ඉන්නම තමයි හිත. ඒත් ඉතින් අපේ මහත්තයයි සේන සර් සමඟ අනෙක් අයයි මාව ගෙනියන්න කරපු උනන්දුව නිසාම මටත් කොහොම හරි හිමින් හිමින් නගින්න සිද්ධ වුනා. හති දම දම මායි මාම්පේරි මිසුයි දැන් ටිකක් දුරට ආව. ටිකක් මග නැවතිලා ඔන්න ආයෙත් නගිනවා. ලස්සනම ලස්සන සල් මල් පිරිල තිබුන ගසක් ලඟ නැවතත් නැවතුනා. එතන ඉඳල පඩි නගින්නයි තියෙන්නෙ. ගලින් ගල අඩි තියා යන ගමනේ ගල් පඩි ඉහළට නගින්නට නගින්නට දිය ඇල්ලක් ඇද හැලෙන ශබ්ද හෝ... හෝ... ගාමින් ඇහුනට සිතේ තිබුනේ මහත් කුතුහලයක්. පිටතින් සිට බැලූ විට කිසිදු ජල පහරක් නෑ. සිතේ මතු වූ කුතුහලය නිසාම දෙපා ඉක්මන් කරමින් නගින්නම තමයි හිතුනේ. ඒ උනාට හරිම මහන්සියි. ඒ ටිකත් කොහොම හරි නැග්ගම හරිම සිසිල් ගල් ගුහාවකට ඔන්න ආව. මෙතන අවුරුද්ද පුරාම වතුර වැටෙන දිය උල්පතක් තියෙනවා කියල අපේ හාමුදුරුවන් අපිට කිව්වා. උඩට නැග්ගහම හරිම ලස්සනයි. සිරීපාදේ කන්දත් ලස්සනට පේනවා. කඳු මුදුනේ ගුහාවේ සිට ඈත පෙනෙන පරිසරය දෙස බැලූ විට මගේ ඇස් දෙක මොහොතකට අතරමං වූ වග කියන්න ඕනෙ . ඈත වලාකුළු අතරින් මීදුමෙන් වැසී යමින් විටින් විට සිරි සමනොළගිරි හිස පෙනී නොපෙනී යන හැටි බලන්න ලස්සනයි. ඇතුලේ තියෙන සැතපෙන බුදු පිළිම වහන්සේ බුදුන් වහන්සේ සිරිපා ගමනේ දී ගිමන් නිවන්නට සැතපුන ලෙස තියෙන හැටි දැකම හරිම පහන් හැගීමක් තමයි මට දැනුනේ. නිශ්ශංකමල් රජුන් සමයේ ඉදිකර ඇති සැතපෙන පිළිම වහන්සේ මෙතෙක් ලංකාවේ ඉදිකර ඇති වෙනත් සැතපෙන පිළිමවලට වඩා විශේෂිතයි කියලයි කියවුනේ. සමනළ කන්ද දෙස බලාගෙන බස්නාහිරට සිරස බා නැඟෙනහිරට පාද සිටින සේ අඩවන් වූ නෙතින් සැතපී සිටින ලෙසයි බුදු පිළිම වහන්සේ නිර්මාණය වෙලා තියෙන්නේ. බුදුරජානන්වහන්සේ ශ්රීපාද කන්ද වැඩමකල අවස්ථාවේදි උන් වහන්සේ මෙම ස්ථානයේ පන්සියක්ත් භික්ෂුන් වහන්සේලා සමග විවේක සුවයෙන් වැඩ හිටි බව සදහන්ව තියෙනවා. ඒ ගැන නම් සැකයක් නෑ කියල තමයි මෙතනට ආවහම හිතුනේ. මෙතන ඒ තරමටම සනීපයි. බුදු පහස දැනුත් දැනෙනවා වාගේ.



දිවා ගුහාවට ඇතුල් වෙන තැනම විශාල ගෙඹි රූපයක් අඹල තියෙනවා. මේ ගැන ලස්සන ජනකථාවක් තියෙන බව කියවුනා. දිවා ගුහාව නැවත සොයා ගැනීමෙන් අනතුරුව කැලෑව එළිපෙහෙළි කිරීමේදී උපාසක මහතකු අත රැඳි උදැල්ල වැදීමෙන් ගෙම්බකු මිය ගිය අතර ඉන්පසුව ගෙම්බන්ගේ කෑගැසීමෙන් වෙනත් කිසිදු කාර්යයක් කර ගැනීමට නොහැකි වී පසුව මියගිය ගෙම්බා සිහිකර ගෙබි රූපයක් පොකුණ මැද ඉදිකිරීමෙන් පසුව ගෙම්බන්ගේ කරදරය නිමවී ඇතැයි විශ්වාසයක් තියෙනවා. මෙම ලෙන තුළ චෛත්යයක් ඉදිකර ඇති අත මෙම ස්ථානය වන්දනාකරුවන්ට පැමිණිය හැකි අයුරින් සොයා සකස් කළ බලන්ගොඩ හාමුදුරුවන් සිහිවීම පිණිස උන්වහන්සේ ගේ පිළිරුවක් ඉදිකර තියෙනවා. දුර බැහැර සිට පැමිණෙන බැතිමත්හු මෙතැනින් සිත් සනසවා ගනිති. ගල්පඩි නගිමින්, හැරෙමින් පා පැකිලෙමින් ගිය ගමනේ වෙහෙස දුරුවන්නේ දිවාගුහා ලෙනට ගිය විට . එය ඒතරමට සුන්දරය.

[බුදුරජාණන් වහන්සේ වැඩමකරන අවධිය වන විට මැදරට රාජධානිය මහා සුමනයන්නේ පාලනයට නතුවී තිබූ අතර සමනළ ගිරි හිසට මදක් පහලින් ඇති මහා දිවාගුහාව මහා සුමනයන්ගේ වාසභවනය වී තිබූ අතර බුදුරජාණන් වහන්සේ සිරිපා පිහිටුවීමෙන් අනතුරුව බුදුහිමියන් ඇතුලු රහතුන් වහන්සේලාට දිවා විහරනය සදහා තමාගේ භවනය වූ ලෙන පිදීමෙන් පසු මෙම ලෙන දිවා ගුහාව භගවා ලෙන නමින් ප්රසිද්ධධියට පත්වූ බවත්, සමනළගිර අසල ඇති බෑන සමනළ පර්වථය ආසනනයේ මෙය පිහිටා ඇති බවත් විශ්වාස කෙරේ. මෙම පූජනීය ස්ථානය පොළොන්නරුව රජකළ කීර්ති ශ්රී නිශ්ශංකමල්ල රජතුමා විසින් සොයාගත් බව සඳහන් වෙයි. එතුමා ශ්රීපාද ස්ථානය සොයා යන ගමනේ දී රත්නපුර සමන් දේවාලය පිරිසුදු කර මෙම ලෙණෙහි මද කලක් වායස කළේය. අතර එතුමා විසින් එහි විසිඑක් රියන් සැතපෙන බුද්ධ ප්රතිමාවක් , සත් රියනක් උස ඔත් පිළිමයක් සහ සමාධි බුදු පිළිමයක් කරවන ලදී. සමඟ අහසේ වළාකුළු අතරින් වැඩම කළ බුදුරජාණන් වහන්සේ සහ පසු පසින් සිටින රහතන් වහන්සේ දැක්වෙන බිතුසිතුවමක් කළේය.සැතපෙන පිළිමයේ සිරිපතුල් පිහිටුවා ඇත්තේ නැගෙනහිරටය. ශ්රී පාද ස්ථානය දෙසට සිරිපතුල් පිහිටන සේ කරවන ලද ලක්දිව ඇති සැතපෙන බුදු පිළිමය මෙයයි. එය ශ්රී පාද ලාංජනය සුමන කූඨයෙහි පිහිටුවා ඇති බව දැක්වෙන සංකේතයකි.

වංශ කතා ඉතිහාසය ආරම්භයෙන් පසු බොහෝ රජවරු සිරිපා සටහන දැක වැද පුදාගත් බව හැදින් වේ. ක්රි.පූ. 29-17 ලක්දිව රජකල වලගම්බා රජු ක්රි. . 995-991දක්වා රජකල සිව්වැනි මිහිදු රජු ක්රි.. 1059-1114 රජකල පළමුවන විජයබාහු රජු සිරිපා වන්දනා කොට ඇත. ක්රි.. 1153-1186 දක්වා රජකම්කළ මහා පරාක්රමබාහු රජතුමා සිරිපා වන්දනා කර එහි ඇති මහා සමන්දේවාලය ගොඩනගා ඇත. මහා පරාක්රමබාහු රජුගෙන් පසු ක්රි.. 1187-1196 දක්වා රජකම් කළ කීර්ති ශ්රී නිස්සංක මල්ල රජු සබරගමු මාර්ගයෙන් සමනළගිර නැග සිරිපාවැද දිවාගුහාව ලෙන අසල ශිලා ලිපි දෙකක් කරවා එක් ශිලා ලිපියක තම රුව සහිත තමා ශ්රී පාදය වන්දනා කළ අයුරුත් අනෙකෙහි මීට ශත වර්ෂයකට පමණ පෙර විජය බාහු රජතුමා පූජාකරන ලද අඹගමුව -කෙහෙල්ගමුව ගිලීමලේ බඹර බොටුව ආදී ශ්රී පාදය සතු විහාරගම්වලට කිසිවෙකුටත් හානියක් කළ නොහැකි වන පරිදි නැවතත් අයිතිය තහවුරු කළ බව සදහන් කර වර්ථමානයේ නිශ්ශංක මල්ල ලෙන ම් ලෙනෙහි ගිමන් හැර තම රාජධානය වන පොලොන්නරුව දක්වා ගමන් කළ බව මහා වංශයේ සඳහන් වේ. ]



දිවා ගුහාව වැඳ පුදාගෙන ඊට පස්සේ හිමින් හිමින් අපි පහලට ආව. අන්තිමටම ආවේ අපි. දැන්නම් ටිකක් තිබහ උනත් අපි පුංචි දඹදිව වදින්න පිටත් උනා. ගමනේදි නම් ටික දෙනෙක් වමනේ දැම්ම. පුංචි අයට කදු වලල්ලෙ හැරි හැරී යන ගමන මහන්සි වගේ. සමහරුන්ට නම් ගානක් නෑ. කට්ටිය විනෝදෙන් සංවරව හිටිය එකට නම් මටත් පුදුමයි. සිරිපාගම පාරේ මල්වලට ඇවිත් ගලබඩ හන්දියෙන් ආයෙත් හැරිල කොහොමහරි අපි ඉතින් ඔන්න පුංචි දඹදිවටත් ආව. හැමෝම බස් එකෙන් බැහැල විහාරයට ගියා. හරියට සෙනඟ. ස්වාමීන් වහන්සේලා දන් වළඳන වෙලාව. අපිටත් ඉතින් ටිකක් බඩගිනි දැනුනට ටිකක් ඉන්න ඕනේ වන්දනා කටයුතු ඉවර වෙනකල්. හරිම පහන් හැගීමකින් හිත පිරුනට සෙනඟ නිසා කලබලයි වගේ හැමතැනම. මුලින්ම ගියා ත්ගඟ අයිනට. වතුර ටිකකින් මුහුණ තෙමාගන්න හිතුනට මට එතනට යන්න අමාරුයි. ගල් පඩි උඩින් පනින්න විදිහක් නෑ. හරිම කනගාටුයි කියන්න, මෙතනට එන කට්ටියට කිසිම හැගීමක් නෑ පරිසරය අපි ආරක්ෂා කරගන්න ඕනේ කියල. අපි හිටිය තැන පන්සල් භූමියේ පිටුපස. හරිම අපිරිසිදුයි. පොලිතීන් හැම තැනම. දරුවන්ගේ සනීපාරක්ෂක තුවා හිටන් තැන තැන දමල. අච්චර ලස්සන වතුර ටිකත් අපිරිසිදු වෙලා. මගේ මහත්තයා මීට අවුරුදු කීපයකට කලින් ආව වෙලාවෙ මේ පරිසරය මීට වඩා ටිකක් හොදට තිබුනලු. මටනම් හරිම දුකක් ආව මෙතන දැකල. පන්සලේ ස්වාමීන් වහන්සේලත්, ප්රාදේශීය සභාවත් ටිකක් මීට වඩා පරිසරය රැකගන්න එකට එන අයව උනන්දුකරනවා නම් හොදයි කියල මට හිතෙනවා. අඩුම තරමින් කුණු කසල පරිහරනය කරන විදිහවත් කළමණාකරණය කරල, ඉදිරි දරුවන්ට මෙතන ඉතිරි කර ගත්තොත් හොදයි නේද? හැමෝම සීතල වතුර පොදක සිසිල විඳින අතරෙ එක් දරුවෙක් ගල් වලින් පනිත්දි ඔන්න වතුරටත් වැටුන. ඇදුම් සේරම තෙමාගෙන ආව ගොඩට. හැමෝටම විනෝදයක් එක් කලා දරුපැටිය. කුමුදු මිස් තමයි ඇදුම් ටික වේලලා දුන්නේ.

[පළාතේ නොදියුණු අති දුෂ්කර පෙදෙසක් වූ ගිලීමලේ අභිනවාරාමාධිපති කුඩාවේ විනයවංශ නා හිමියන්ගේ ශිෂ්යරත්නයක් වූ ගිලීමලේ චන්ද්රාලෝක පොඩි හාමුදුරුවන් එවකට විසිහතර හැවිරිදි වියේ පසු වූ උගත් තරුණ භික්ෂුවකි. පැවිදි දිවියට පත්වන්නට පෙර සිට ශාසනික සේවාවට සමාජ මෙහෙවරට කැප වී සිටි උන්වහන්සේ 1981 අපිරයෙල් 14 දා සිංහල අලුත් අවුරුදු දින පස්වරුවේ ගිලීමලේ විහාරස්ථානයෙන් හදිසියේම පිට වී ළඳු කැලෑව මැදින් ගලබඩ රාජ් වතුයායට අයත් රත්ගඟ අසබඩ පිහිටි රූස්ස මහ වනයට වැඩම කළේ ශ්රී සම්බුද්ධ ශාසනයට තවත් අපූරු දායාදයක් එකතු කිරීමේ අදිටණෙනි. චන්ද්රාලෝක පොඩි හාමුදුරුවන්ගේ අප්රතිහත ධෛර්යයෙහි ප්රතිඵලයක් ලෙස මේ පින්බිමේ ඉදිවූ අසූ මහා ශ්රාවක පස්විසි බුදුරජ මහා විහාරය 1986.07.20 දින එවකට ශ්රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අතින් විවෘත විය. තරුණ වයසේදීම මෙසේ සුවිශේෂි නිර්මාණයක් කිරීම වෙනුවෙන් උත්තරීතර සංඝ සභාව මඟින් ශ්රී ලංකාවේ ළාබාලම සංඝ නායක හිමිපාණන් ලෙස සබරගමු පළාතේ ප්රධාන සංඝ නායක ධූරයෙන් ගිලීමලේ චන්ද්රාලෝක පොඩි හාමුදුරුවෝ පුදනු ලදහ.]

ඊට පස්සේ අපි ආව වෙහෙර වහන්සේ වන්දනාවට. මකර තොරණකින් අලංකාර වෙලා තිබුන ඇතුල් වෙන තැනම. පැත්තකින් ඉසිපතන මිගදායේ පිහිටි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ අනුරුව. වෙහෙර වහන්සේ ඇතුලේ රූප අඹල සැරියුත්, මහ මුගලන් දෙනම පිරිවරා සමවතින් වැඩසිටින පිළිම වහන්සේ සිත නිවනවා. අපේ ජීවිතයේ විවිධ අවස්තා දශක ලෙස දක්වා රූප අඹල තිබුන. ඒක දැකමහම අපි දැන් දශක කීයක් පහුකරලද කියල කෙනෙක්ට වටහා ගන්නට පුලුවන්. වෙහෙර වහන්සේ ඇතුලේ වෙස්සන්තර ජාතකය, සාම ජාතකය වැනි කතා වෙහෙර ගැබ දර්ශනීය ලෙස සිතුවම් කරල තිබුන. සිත්සේ මේ දෙමහල් රන්සළු වෙහෙර වහන්සේ වැදපුදා ගත්ත. ඊළගට අපි ගියේ බුද්ධගයාවේ විහාර අනුරුව බලන්නයි. ඒක හරිම ලස්සනයි. ඉන්දියාවට ගියේ නැති කෙනෙකුට මෙහෙම හරි මේ විහාරය දකින්න ලැබෙන එක මොන තරම් දෙයක්ද. ඇතුලෙ තියෙන සමාධි පිළිම වහන්සේ ඉන්දියානු එහෙම නැත්නම් නේපාල පිළිම වහන්සේ නමක් වගේ. හරිම බුද්ධාලම්බන ප්රීතියක් දැනෙනව හිතට.

එතනින් ජය ශ්රි මහා බෝධින් වහන්සේ වන්දනා කරන්නට ගියා. එහිදී අපේ ස්වාමීන් වහන්සේ ගාථා කියල අපිට වන්දනාමාන කරන්නට සැලැස්වූවා. එතනින් අපි ආවේ කිරිගරුඩ ප්රතිමා වහන්සේ වදින්නටයි. ඊළඟට අසූමහා ශ්රාවක මහා විහාරය සිත් පහන් කරවනවා. මට පි, අපේ ගෙදර අසූ මහා ශ්රාවකයින් වහන්සේලා සිහිපත් කරමින් දීපු මහා සාංඝික දානය මතක් උනා. හරියට සතුටු උනා බවත් මතක් වෙලා. ශ්රාවක රහත් උත්තමයින් වහන්සේලා පිරිවරා වැඩ සිටින බුදුන් වහන්සේ දකින හැමෝගෙම සිත් පහදනවා කියල හිතෙනවා. එතනදී ආනන්දෙ අපේ පුතාලටත් මගෙ මහත්තයාටත් උගන්වපු වීරසූරිය ගුරුතුමා හමුවෙලා කථා කලා. අපි එතුමාට වැදල දීර්ගායුශ පැතුව. එතනින් පස්සේ කුසිනාරාවේ තියෙන පිරිනිවන් මංචකයේ අනුරුව වැඳපුදා ගත්තා. මේ හැමදෙයක්ම අතරේ ආව පිරිස්වල සංවරකමයි, පරිසරය අපවිත්‍ර කිරීමේ ක්‍රම වේදයයි හදාගත්තානම් කොච්චර හොදද? කියල හිතුන වාර අනන්තයි. අපේ ස්වාමීන් වහන්සේට දානෙ වෙලාවත් පහු උනාද? කොහෙද. ඒත් මොනව කරන්නද, නඩයේ හැමෝම එන්න ඕනෙනේ තැනකට යන්න. ඉතින් කට්ටිය එකතුකර ගෙන අයෙත් පිටත් උනා පොත්ගුල් විහාරෙට යන්න. මගදී තමයි දවල් ආහාරය ගත්තෙ. හැමෝටම හොද කෑම වේලක් සමග කේක් කෑල්ලකුත් අතුරුපස ලෙස ලැබුන. පින් දීල අපිත් හොදට කෑව.


එතනින් පස්සෙ පොත්ගුල් විහාරයට ආව. මම භාගයක් දුරට ගිහින් නැවතුනා. නගින්න අමාරු උන නිසා. දහනායක මිස් නම් කන්ද නැග්ගේ කොහොම හරි උඩටම යනවමයි කියල. වගේම අධිෂ්ඨානයෙන් ඇය උඩටම ගිහින් ආපසු ආවෙ අන්තිමටම. මහත්තයා හා අනෙක් අයයි මේ විස්තර මට කිව්වේ. මහා සමන්දේවාලයට දකුණුපසින් කළුගඟේ එහා ඉවුර මස්තකයෙන් ඓතිහාසික පොත්ගුල් විහාරය පිහිටා ඇත. පොත්ගුල් විහාරය වලගම්බා රජු දවස කරවූවක් බව පැවසේ. වෙහෙර බිමට සෑහෙන දුරක් ඇවිදලා යන්න ඕනෙ. එතනට ගිහින් ගල් පඩි පෙලක් තියෙනවා කන්ද උඩට යන්න. මෙතන පොත් ගුල් විහාරයේ තියෙන පොකුණට මලක් දැම්මහම මල සමන් දේවාලේ ළිදෙන් මතු වෙනවලු.....ඇත්තත් වෙන්න ඇති. මොකද පොත් ගුල් විහාරයේ උමගක් තියෙන බවත් දැන් කාටවත් යන්න දෙන්නේ නෑ කියලත් කතාවක් තියෙනවා. විස්වාස කරන විදියට උමග සමන් දේවාලේ සම්බන්ද යි ලු. පොත්ගුල් විහාරෙ, වලගම්බා රජ්ජුරුවො හැංහිලා හිටිය තැනක් කියලත් කියනවා.

කොහොම හරි කට්ටියම පහලට එනකොට ඇදිරි වැටෙන්නත් ලඟයි. පැතිවල ජනයා තාමත් හරිම දුෂ්කර ජීවිත ගෙවන්නෙ. බස් එහෙම යන්නෙ වෙලාවට. නිතරම බස් නෑ. හැබැයි දැන් ජල විදුලිය එහෙම කරදරයක් නෑ කියල අය කිව්වා.


ඉතින් අපි සමන් දේවාලෙට තමයි එතනින් ගියේ. කුමුදු මිස් ගෙන් තේ පැන් සංග්‍රහයක් බුක්ති විදින්නත් ලැබුනේ ඒ අතරෙදියි. රත්නපුර කොළඹ ප්රධාන මාර්ගයේ රත්නපුර නගරාසන්නයේ පිහිටි මාරගහයට නම් ස්ථානයෙන් දකුණට හැරී පානදුර මාර්ගයේ කිලෝමීටර් 02 ක් පමණ ගමන්කල විට තමයි සබරගමුව මහා සමන්දේවාලය හමු වෙන්නේ. දේවාලය අවට ප්රදේශයදේවාලේගාවයනුවෙන් හදුන්වන අතර එක් පසෙකින් කළු ගඟද අනෙක් පසින් රත්නපුර - පානදුර මහා මාර්ගයෙන් මායිම් වෙලා තියෙන්නේ.

[ සුමනසමන් දෙවියන් වෙනුවෙන් ඉදිකෙරුනු ප්රධානතම දෙවොල මෙය වන අතර එබැවින්සබරගමු මහ සමන්දේවාලය’ ‍යනුවෙන් ප්රකට වී තිබේ. සබරගමු හා සමන් දේවාලය පුරාවස්තු ආඥා පනත යටතේ ප්රකාශයට පත් කළ ආරක්ෂිත ස්මාරකයකි. එහි පාලන කටයුතු සිදුකෙරෙනුයේ බස්නායක නිළමෙ වරයෙකුගේ මෙහෙයවීමෙනි. ඓතිහාසික තොරතුරු අනූව මහා සමන්දේවාලය ඉදිවී ඇත්තේ ක්රි.. 1228-1263 දඹදෙනිය යුගයේහි විසූ සයවැනි පරාක්රමබාහු රජු දවසය.

ආර්යකාම දේවනම් රජුගේ මහා ඇමතිවරයා රත්නපුර ප්රදේශෙය් මැණික් ගැරීමේ කටයුතු සිදුකරමින් රාජභාණ්ඩාගාරය තර කිරීම ඔහුට පැවරී ඇත. ආර්යකාමදේව ඇමතිවරයා රත්නපුරයට පැමිණ මුලින්ම තම පැමිණී රාජකාරිය නිසි ලෙස ඉදිකොට දෙන ලෙස පිහිට ආරක්ෂාව පතා රජතුමා වෙනුවෙන් සමන් දෙවිදුටභාරයක් වී ඇත. ඉන් පසු මැණික් ගැරීමේ කටයුත්ත සාර්ථක වී වටිනා මිණිකැට රාශීයක් ලැබී ඇත. මේ බව දැනගත්සයවැනි රාක්රමබාහු රජතුමා බෙහෙවින් සතුටු වී සමන් දෙවිදුන් වෙනුවෙන් මහා දෙවොලක් ඉදි කිරීමේ කටයුත්ත ආරම්භ කර ඇත. ආර්යකාම දේව ඇමතිවරයා කටයුත්තද භාරගෙන සබරගමු මහා සමන්දේවාලය ඉදිකො ඇත. ආර්යකාමදේව මහා අමාත් වරයා මහා දෙවොල ඉදිකිරීමට පෙර මෙම ස්ථානයේ සබරගමුවෙහෙර නම් බෞද්ධ සිද්ධස්ථානයක් පැවත ඇත. එයද වලගම්බ රජු කරවූවක් බවට විශ්වාස කෙරේ. ආර්යකාමදේව ඇමතිවරයා මෙම ස්ථානයෙහි සබරගමු මහා සමන්දේවාලය ඉදිකරන විට සබරගමු වෙහෙර නම් බෞද්ධ සිද්ධස්ථානයේ උපාංගයක් ලෙසින් මහා සමන් දේවාලය ගොඩනැගුවා විය හැක. පුරාවිද්යා පරයේෂන මගින් හෙලිකරගත් කරුණු අනූව මහා සමවන්දේවාලය සාදා වර්ෂ 200 කට පමණ පසුව එය පිළිසකර කර තිබේ. ක්රි.. 1410 දී පමණ ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ රජකල ශ්රී සංඝබෝධි හයවැනි පරාක්රමබාහු රජු විසින් මේ සඳහා රිදී පඩුරු 26000 ක් වැය කළ බව කියවේ. මෙම පිළසකර කටයුත්ත මෙහෙයවා ඇත්තේ ආර්යකාමදේව අමාත්යවරයාගේ මුනුපුරෙකු වූ නීලප්පෙරුමාල් නැමති පඩිවරයෙකි.

ඈත සිට බලනකල සබරගමු මහා සමන්දේවාලය ආරක්ෂීත කොටුපවුරකින් වටකර ඇති මහා බලකොටුවක් ලෙස දිස්වේ. මහා සමන්දේවාලයට ඇතුලු වීමට වාහල්කඩ දොරටු දෙකක් ඇත. එයින් ප්රධාන දොරටුව මහුණලා තිබෙනුයේ ඊසාන දෙසටය. සතියේ දින හතෙන් එකද දිනකවත් ඊසාන දෙසට මරු සිටින්නේ නැත. මෙම දොරටුව නිර්මාණය කර ඇත්තේ දෙවොල තුලදී ඕනෑම සුභ කටයුත්තක් සිදුකර මරුට මුහුණ නොදී පිටව යා හැකි ආකාරයටය. එය ඉපැරණී ගෘහ නිර්මාණ ශිල්පයේ සබරගමු ලකුණ පෙන්නුම්කරන නිර්මාණයකි.]

ඇත්තටම මේ භූමිය හරිම ලස්සනටත් පිරිසිදුවටත් තියෙන පුන් භූමියක්. පිලිවෙලට හැම දේම තිබුන. එලියෙන් බැලුවම උස බිමක පිහිටවූ මහා බල කොටුවක් වගේ තමයි දිස් වෙන්නෙ. බුදු මැදුරට ගිහින් නිල් මහනෙල් මලක් පිදුවේ දහනායක මිස්ට පින් දීලයි. දේවාලය ඇතුලේ රන් ආලේපිත කැටයම් දොර පලු දෙකක් ඇතුලේ සුමන සමන් දෙවියන් ගේ රූපය තියෙනවා. ඒක අරින්නේ පූජාව තියෙන වෙලාවට පමණයි. අපි යනකොටම ඒක වහන්න හදනවා. නමුත් යන්තම් බලා ගත්තා ඇතුලත. සමන් දේවාලයේ තියෙනවා ගල් වලින් හැදුන වැලක් වගේ දුවපු ගසක්. ඒකෙ පඬුරු ගැටගහල තියෙනවා. කට්ටියම පුද පඬුරු දමල එහෙම ආවේ හැම ප්රාර්ථනාවක්ම් ඉෂ්ඨ වේවා! කියන ප්රාර්ථනාවෙන්.

එතන දී හැමෝම තම තම නිවෙස් වලට ගෙනියන්න, ඉතින් පුංචි පුංචි සිහිවටන අරගත්තෙ මේ ස්ථානය මතක් වෙන්නත් එක්ක. අපි එතනින් පිටත් වෙනකොට ඇදිරි වැටිල. අපේ දහම් පාසැලේ පුංචි පුතාල දුවල බොහොම හොදට හිටිය බව කියන්න ඕනෙ. මේ පොඩි වයසට මෙහෙම හික්මිලා ඉන්න එක හරිම අමාරුයි නේ. උනාට හැමෝම හොදට කීකරුව හිටිය. එකිනෙකාට උදව් පදව් කරන හැටිත් මම බලා හිටියෙ සතුටින්. හැමගේම මූණු පොඩි මල් වගේ විකසිතවෙලා තිබුන හැටි දැක්කම මගෙ හිතත් සතුටින් පිරුන. අපිත් එක්ක දහම් පාසැලේ ආදි ශිෂ්‍යයෝ කීප දෙනෙක් මේ ගමනට සහභාගී වුනා. ඒ අයගෙන් ලැබුන උදව් උපකාර අමතක කරන්න බැහැ. ඒ පුතාලටත් ස්තූතිය පුදකරන අතර බස් රථයේ රියදුරු ප්‍රියන්ත මල්ලි හා ඔහුගේ සහයක පුතා වගේම දෙමාපියන් හැමටමත් ස්තූතියි. මේ අයට දහම් දැනුම ලබා දෙමින් ඉන්න ලොකු හාමුදුරුවන් වහන්සේ වන කටුවන චන්ද්‍රරතන නාහිමියනට ගෞරවණීය ස්තූතිය පුදකරන්නේ ඉමහත් බැතියෙන්. මාතර කටුවන වැනි ඈත ගමක ඉපදිලා අපේ ගමට ඇවිත් මේ කරන මෙහෙවර අති උතුම් ක්රියාවක් බව නොකියාම බැහැ. මේ දරු පැටව් මේ ගමේ ඉතාම අඩු පහසුකම් මැද අකුරු කරන අය. අයව හොඳ මඟට ගන්න කරන අපමණ වෙහෙස අගය කල යුතුයි. මේ ගුරුමණ්ඩලයෙ හැමෝමත් වගෙම කැපවීමක් කරන බවත් නොකියාම බැහැ. ඔවුන් හැමටමත්, මගෙ ආදරණීය මහත්තයාටත් මගේ හද පිරි ස්තූතිය! පුදමින් ද, පින් පෙත් දෙමින්ම සටහන නිමා කරමි.

මේ සමය තුළ පැමිණෙන්නන් රැගෙන එන පොලිතීන් ඇතුලු ඝන අපද්රව් විශාල පාරිසරික ගැටලු රැසක් ඉදිරියට මතු කිරීමට ඉඩ තියෙනවා. ඔබ රැගෙන යන ආහාර පාන හා අනෙකුත් දෑ වල ඇති අපද්රව් ඔබ විසින්ම ආපසු රැගෙන යා යුතු බව කියන්නම ඕනේ. සිද්ධස්ථාන වලින් හා වනය තුළින් ඔබ රැගෙන යා යුත්තේ ජායාරූප හා මිහිරි මතකයන් පමණි. මෙහි ඇති දෑ විනාශ කිරීම අපේ යුතුකම නොවේ. මා එලෙස කියන්නේ බොහෝ දෙනා කුනු කසළ මහමග දමමින්, එම පැති වල තිබෙන මල් පැල ආදිය කඩා ගෙන එන්නට හිතන නිසයි. ඔබ මල් පැල රැගෙන ආවාට ඒවා මෙහි පැල නොවේ. මොකද ඒවා පැලවීමට අවශ්‍ය පාරිසරික සාධක මෙහි නැත. මේ ගැන අප කාගේත් අවධානය තරයේ යොමු විය යුතුයි.

*[…. .] ඇතුලත විස්තර අන්තර්ජාලයෙන් ලබා ගත් ඒවා බව කරුණාවෙන් සලකන්න.